බෞද්ධ සංස්ථාපිතයේ මැදිහත්වීමෙන් තරුන ලේඛකයා සිරගත කෙරෙයි
වසන්ත රූපසිංහ විසිනි, 2019 අප්‍රේල් 4
තරුන ලේඛක ශක්තික සත්කුමාර සිය මුහුනු පොතේ පලකල “අර්ධ” නම් කෙටිකතාවක් මුල්කරගෙන ප්රතිගාමී බෞද්ධ සංස්තාපිතයේ කන්ඩායම් වල උසිගන්වීමකින් අප්‍රේල් 1දා පොලිස් අත්අඩංගුවට ගෙන අප්‍රේල් 9 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අදහස් ප්‍රකාශ කිරීමේ හා කලාවේ නිදහසට එල්ල කල දුෂ්ට ප්‍රහාරයක් ලෙස සත්කුමාර අත්අඩංගුවට ගැනීම හෙලා දකින සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ කොන්දේසි විරහිතව ඔහු වහා නිදහස් කල යුතුයැයි බලකොට කියා සිටී.
පොලිසිය ක්‍රියාත්මක වී ඇත්තේ ලේඛකයාගේ “අර්ධ” නම් කෙටිකතාව, “ආගමික ද්වේශයට අනුබල සපයා ඇති බවට” ඔහු ජීවත්වන පොල්ගහවෙල ප්‍රදේශයේ ශාසනාරක්ෂක බල මන්ඩලය හා ‘බුදුදහම රැකගැනීමේ යොවුන් පෙරමුන’ නම් බෞද්ධ කල්ලි විසින් කරන ලද පැමිනිල්ලක් මත ක්‍රියාත්මක වෙමිනි.
පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු වසයෙන් සේවය කරන සත්කුමාර ඔහුගේ කෙටිකතා හේතුවෙන් කාලයක පටන් අන්තවාදී බෞද්ධ භික්ෂූන්ගේ උදහසට ඉලක්ක වී සිටි ලේඛකයෙකි. මාර්තු 3 දා, ඉහතින් සඳහන් අන්තවාදී කල්ලි විසින් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් වෙත යැවූ මාධ්‍ය නිවේදනයකින් “බුදුදහම විනාශ කිරීමේ කුමන්ත්රනකාරී ලේඛන කලාවක නිරත” වන සත්කුමාර වැනි “විකෘති පුද්ගලයන්ගේ නිර්මාන, විචාර හෝ ලිපි පල කිරීමට ඉදිරියේදී ඔබ මාධ්‍යයෙන් ඉඩක් ලබා නොදෙන ලෙස” ඉල්ලා සිටියේ ය
මීට කලින්, විස්සක පමන භික්ෂු කන්ඩායමක් පාගමනින් පැමින සත්කුමාරට එරෙහිව සන්දේශයක් පොල්ගහවෙල ප්‍රදේශීය ලේකම්ට හා කුරුනෑගල දිස්ත්‍රික් ලේකම්ට භාර දුන් බව සිහිපත් කල නිවේදනය, “අර්ධ” කෙටිකතාව හැඳින්වූයේ, “බුදුදහමට හා සංඝ සමාජයට අභියෝගයක් වන අශ්ශීල ලියවිල්ලක්” ලෙසිනි.
පෙබරවාරි 25දා සත්කුමාරට එරෙහිව තවත් සිංහල-බෞද්ධ අන්තවාදී සංවිධානයක් වන “සිංහලේ” මහලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක පොලිස් මූලස්ථානයට පැමිනිල්ලක් ඉදිරිපත් කර ඇති බව ජන මාධ්‍ය වාර්තා කලේ ය. ලේඛකයා “භික්ෂු චරිතයටත්, බුද්ධ චරිතයටත් නිගා දෙන කෙටිකතා මාලාවක් රචනා කල බවට” සිංහලේ මහලේකම් විසින් තම පැමිනිල්ලෙන් චෝදනා නගා තිබේ.
බුදුදහම රැකගැනීමේ නාමයෙන් සත්කුමාරට දැඩි දඬුවම් පැමිනවීමේ අරමුනින් ක්‍රියාත්මකවූ බෞද්ධ සංස්ථාපිතයේ නියෝජිතයෝ, ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිලිබඳ පනත (අයිසීපීපීආර් පනත) යටතේ ය. 2007දී හඳුන්වා දෙන ලද අංක 56 දරන අයි.සී.පී.පී.ආර් පනත මගින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතියේ සීමිත ප්‍රතිපාදන බලාත්මක කරනු ලැබිනි.
“වෙනස් ලෙස සැලකීම, එදිරිවාදීත්වය හෝ ප්රචන්ඩත්වයට පොලඹවන්නාවූ ජාතික, වාර්ගික හෝ ආගමික ද්වේශයට පක්ෂව කටයුතු කිරීම” අයිසීපීපීආර් පනත යටතේ නීති විරෝධී ලෙස සැලකෙන අතර අදාල පනත යටතේ පවරන ලද අපරාධ නඩුවක චූදිතයන්ට ඇප ලබා දීමේ බලය මහේස්ත්‍රාත් වරයෙකු සතු නොවේ. ඒ සඳහා ඉහල උසාවියක් වෙත යාමට චූදිතයාට සිදුවනු ඇති අතර නීරස හා කල්මරන අධිකරන ක්‍රියාදාමක් තුලින් යාමට සිදුකිරීම මගින් ලේඛකයා දැඩි ලෙස පීඩාවට පත් කිරීම මොවුන්ගේ අරමුන බව පැහැදිලි ය.
මෙම පනත අදාල ලේකඛයාට එරෙහිව යොදා ගැනීම පැහැදිලි අවභාවිතයක් සඳහා එහි වගන්තිවලට දුෂ්-අර්ථකතනයක් ආරෝපනය කිරීමකි. එම සීමිත පනත එක්සත් ජාතීන්ගේ සංගමය සම්මත කලේ සිවිල් හා දේශපාලන අයිතීන් රැකීම සඳහා ය. ජාතිවාදී හා ආගම්වාදී වෙනස්කම් කිරීම දේශපාලන පිලිවෙතක් කරගෙන ඇති, එය වාර්ගික යුද්ධයක් ඇවිලීම දක්වාම උත්සන්න කල, ලංකාවේ පාලක පන්තිය, එහි ආන්ඩු සහ සංස්තාපිතයේ කොටස් මෙම පනත ලංකාවේ සම්මත කිරීමට එරෙහිව සිටියේය. දැන් එම වෙනස්කම් අවුලුවන්නන් ම සිවිල් හා දේශපාලන අයිතීන් නැසීමට පනත යොදා ගන්නට යයි.
2010 හා 2014 වසරවලදී විශිෂ්ඨතම කෙටිකතාකරුවාට හිමි යෞවන සම්මාන දිනාගෙන තිබෙන සත්කුමාරගේ කෙටිකතා සංග්‍රහ තෙවරක්ම වයඹ සාහිත්‍ය සම්මානය හිමිකරගෙන ඇත. කූඩු (2018), සිව් වෙනි පරපුර(2016), මිනී කපන්නාගේ හෘද සාක්ෂිය (2015), පතොක් කටු (2012) ඇතුලු කෙටි කතා සංග්‍රහ ද වෙඩි වැදුන පන්හිඳ( 2010) යන කාව්‍ය සංග්‍රහය මෙන්ම තවත් ශාස්ත්‍රීය කෘති සහ පුවත්පත් ලිපි ගනනාවක කතුවරයෙකු ලෙස සත්කුමාර ප්‍රකට ය.
සත්කුමාරගේ ‘අර්ධ’ කෙටිකතාව තුලදී තරුන භික්ෂුවක් පන්සලේ නායක භික්ෂුවගේ ලිංගික අඩත්තේට්ටම්වලට ලක්වෙන සිදුවීමක් ගැන ඉඟි කෙරෙන අතර එවැනි සිදුවීම් කිහිපයක්ම පසුගියදා ඇතම් ජාතික පුවත්පත් තුලින් වාර්තා කෙරුනි. ආගමික සංස්ථාව තුල සිදුවන එවන් අකටයුතුකම් ‘ශාසනය රැකීමේ’ නාමයෙන් බොහෝකොට ම මාධ්‍ය තුලින් ඉක්මනින්ම යටපත් කෙරෙයි. කලාත්මකව ගත් කල ඉතා ඉහල ගනයේ නිර්මානයක් නොවුන ද එවන් කරුනක් කෙටිකතාවක් තුලදී සටහන් කිරීම අරභයා ලේඛකයාට නීතියෙන් දැඩි දඬුවම් පැමිනවීම, ආගමික සංස්ථාව කෙරෙහි විවේචනාත්මක වන සියලු දෙනාට නිකුත් කල බරපතල අනතුරු ඇඟවීමකි.
මෙරට බංකොලොත් ධනපති පාලක පන්තිය, බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කොට එයට විශේෂ වරප්රසාදිත තත්වයක් ලබා දීම හරහා ඒ සම්බන්ධව කෙරෙන මොනම විවේචනයකට හෝ ඉඩකඩ අහුරා ඇත. පසුගිය අගෝස්තු මාසයේදී, “බුදු දහමට අපහාස වෙතැයි” යන බොරු චෝදනා නගමින් විකාශය කිරීමට නියමිතව තිබූ මාලක දේවප්‍රියගේ “කනට පහරක්” නම් ගුවන් විදුලි නාට්‍ය මාලාව සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මන්ඩලය විසින් වාරනය කිරීම මෙයට දිය හැකි මෑතම උදාහරනය යි.
අනෙක් අතට, අනෙක් ආගම්වලට, විශේෂයෙන් ඉස්ලාම් ආගමට අපහාස කිරීමට හා පල්ලිවලට තර්ජනය කිරීමටත් ඇතැම් අවස්ථාවලදී ඒවාට හානි පැමිනවීමටත් බොදුබල සේනා, සිංහලේ, රාවනා බලය යනාදී අන්තවාදී බෞද්ධ කල්ලිවලට නිදැල්ලේ කටයුතු කිරීමට පාලකයන් හා පොලිසිය විසින් අවස්ථාව සලසා ඇත.
සත්කුමාරට එරෙහි දඩයම ක්‍රියාත්මක වන්නේ එවන් ප්රතිගාමී සමාජ වටපිටාවක ය. දිග් ගැස්සී යන ධනේශ්වර ක්රමයේ ලෝක අර්බුදයෙන් ගිනිකන වැටී සිටින මෙරට පාලක පන්තිය මහජනයාට එරෙහිව ප්‍රහාර උත්සන්න කර ඇත. එම වියරුව ඉලක්ක කර ඇත්තේ වඩවඩාත් මහජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන්වලට කෙටීම සඳහා ය. ප්රතිගාමීත්වය පෝෂනය කිරීමෙහිලා පරගත බෞද්ධ ආගමික සංස්ථාවේ සහාය පතන මෙම පාලකයෝ එය සතුටු කිරීම උදෙසා අවශ්‍ය විටකදී ඕනෑම විෂකුරු දන්ඩනයක් ක්‍රියාත්මක කිරීමට ද පසුබට නොවෙති.
සමස්ථයක් ලෙස පොදුවේ ධනේශ්වර පාලනයට එරෙහිවන ඕනෑම අයෙකුට, විශේෂයෙන්ම කම්කරු පන්තිය දඬු ගැසීම සදහා කෙරෙන විසකුරු සූදානම සත්කුමාරට එරෙහි නෛතික ක්‍රියාමාර්ග ගැනීම හරහා පෙන්නුම් කරයි.
Follow us on