සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් -- 10 වන කොටස

The Historical and International Foundations of the Socialist Equality Party (Sri Lanka)—Part 10

By the Socialist Equality Party (Sri Lanka), 31 May 2012

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මේ සමග පල කරන්නේ, 2011 මැයි 27-29 දිනවල කොලඹ දී පැවති පක්ෂයේ ආරම්භක සමුලුවේ දී ඒකමතිකව සම්මත කෙරුනු සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නමැති ලියවිල්ලයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මේ සමග පල කරන්නේ, 2011 මැයි 27-29 දිනවල කොලඹ දී පැවති පක්ෂයේ ආරම්භක සමුලුවේ දී ඒකමතිකව සම්මත කෙරුනු සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නමැති ලියවිල්ලයි. එය කොටස් 12කින් පල කෙරෙනු ඇත. මෙහි 1, 2, 3, 4, 5,6 , 7 ,8 හා 9 වන කොටස් පිලිවෙලින් මැයි 3, 5, 9, 10, 12, 15, 19 ,23 හා 29 දිනවල පල කෙරින.

23. 1985-86 කවිප සමග භේදය

23-1 1985 ජනවාරි ජාත්‍යන්තර කමිටුව 10 වන සමුලුව, කවිප තුල විනාශකාරී දේශපාලන අර්බුදයක් ද වසර තුනක ට පෙර වර්කර්ස් ලීගය විසින් මතුකර තිබුනු අතිමූලික දේශපාලන මතභේද යට ගැසීමේ උත්සාහයක් ද විසින් අරක්ගනු ලැබ තිබුනි. මෙම කාරනා දෙකෙන් එකක් වත් සමුලුව තුල සාකච්ඡාවට ලක් කෙරුනේ නැත. කවිප පැබ්ලෝවාදයට එරෙහිව කර තිබුනු මූලධර්මාත්මක අරගලය අත හරිමින් සිටිය දී, ඇමරිකානු වර්කර්ස් ලීගය ප‍්‍රතිවිරුද්ධ දිසාවට ගමන් කරමින් සිටියේ ය. 1974 එවකට ජාතික ලේකම්ව සිටි ටිම් වුල්ෆර්ත් පක්ෂය හැර යාමෙන් පසුව වර්කර්ස් ලීගය, ඉතා දැනුවත්ව කම්කරු පන්තිය වෙත හැරෙමින් පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහි අරගලය පක්ෂ වැඩ කටයුතුවල හරි මැදට ගෙන ආවේය. "ආරක්ෂාව හා හතරවන ජාත්‍යන්තරය” නමැති පරීක්ෂනය තුල වර්කර්ස් ලීගය ප‍්‍රධාන භූමිකාව ඉටු කලේය. එයට සියලු පැබ්ලෝවාදී කන්ඩායම් දැඩි ලෙස විරුද්ධ වූ හ. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල ට රිංගා ට්‍රොට්ස්කි ඝාතනයේ කුමන්ත‍්‍රනය ක‍්‍රියාත්මක කල, ස්ටැලින්වාදී ඒජන්තයින් ජාලයක් එමගින් එලිදරව් කරන ලදී. එම පරීක්ෂනය එස්ඩබ්ලිව්පී නායක ජෝසප් හැන්සන්, එකල ස්ටැලින්වාදී ඒජන්තයෙකුව සිට පසුව එෆ්බීඅයි ඒජන්තයෙකු වූ බවට නිසැක සාක්ෂි ඉදිරිපත් කලේය.

23-2 1982දී වර්කර්ස් ලීගයේ ජාතික ලේකම් ඩේවිඩ් නොර්ත්, ජෙරී හීලිගේ "අපෝහක භෞතිකවාදය පිලිබඳ අධ්‍යයනය” පිලිබඳ සවිස්තර විවේචනයක් ඉදිරිපත් කලේය. එයින් හීලි මාක්ස්ගේ අපෝහක හා ඓතිහාසික භෞතිකවාදය අතහැර ඇති බව එහි දී නොර්ත් පෙන්වා දුනි. "අපෝහක භෞතිකවාදය සඳහා ද ප‍්‍රචාරකවාදයට එරෙහිව ද කරන අරගලයේ නාමයෙන්” ට්‍රොට්ස්කිවාදය සඳහා, විශේෂයෙන්ම නොනවතින විප්ලවයේ න්‍යාය සඳහා, සටනෙන් අනවරත ලෙසම ඉවතට පැදීමක් තිබෙන බව ද නොර්ත් පෙන්වා දුන්නේය. කවිප නායකයන් ඊට ප‍්‍රතිචාර දැක්වූයේ නොර්ත් සිය විවේචන ඉවත්කර නොගතහොත් වර්කර්ස් ලීගය සමග සම්බන්ධකම් නතර කරන බවට තර්ජනය කරමිනි. 1984 ජනවාරියේ දී කවිප ප‍්‍රධාන ලේකම් මයික් බන්ඩා වෙත ලිපියක් යැවූ නෝර්ත්, කවිප ආස්ථානයන් විශේෂයෙන්ම මැද පෙරදිගට ආස්ථානයන්, තව දුරටත් විස්තාරනය කරමින් කවිපය "පැබ්ලෝවාදය සමග ඓතිහාසිකව සම්බන්ධ වී ඇතැයි අප සලකන ආස්ථානයන්ට -නිගමන හා ක‍්‍රමවේදය යන දෙකෙන්ම- බෙහෙවින් සමාන ආස්ථානයන් කරා දේශපාලනිකව ඇදී යාමක වැඩෙන සලකුනු” වර්කර්ස් ලීගය "බෙහෙවින් කනස්සල්ලට පත් කර” ඇති බව එහි දී නෝර්ත් සඳහන් කලේය. 1984 පෙබරවාරියේ දී නෝර්ත්, ඇමරිකානු එස්ඩබ්ලිව්පීය 1982 දෙසැම්බරයේ දී නොනවතින විප්ලව න්‍යාය පැහැදිලිව ම ප‍්‍රතික්ෂේප කිරීමේ අර්ථභාරය විශ්ලේෂනය කරමින් පටන් ගත් දේශපාලන වාර්තාවක්, ජාත්‍යන්තර කමිටුව වෙත ඉදිරිපත් කලේය. මැද පෙරදිග ධනේශ්වර තන්ත‍්‍රයන්ට පමනක් නොව, බි‍්‍රතාන්‍යයේ ලේබර් වම්මුන්ට හා වෘත්තීය සමිති නිලධරයට ද කවිපයේ අනුගත වීම ඔහු ඉස්මතු කලේය. යලි වතාවක් කවිපය වර්කර්ස් ලීගය සමග භේද වීමට තර්ජනය කරමින් කුමන හෝ සාකච්ඡාවක් වැලැක් වීය. එම සාකච්ඡාව පිලිබඳව කිසිදු දැනුම් දීමක් නො ලද විකොස ඊට සහභාගී වුයේ නැත.

23-3 1985 කලක් පැවති බි‍්‍රතාන්‍ය පතල් කම්කරු අරගලය පරාජයට පත් කරන ලද තතු තුල කවිපය තුල අර්බුදයක් පුපුරා ගිය අතර, ජාත්‍යන්තර කමිටුවෙන් කවිපය බිඳීමට ද දේශපාලන පරිහානියට ද ඉක්මනින් ම ගමන්කලේ ය. 1985 ඔක්තෝබරයේ ලන්ඩන්හි දී ප‍්‍රථම වතාවට කවිපය පිලිබඳ ඩේවිඩ් නෝර්ත්ගේ විවේචන දුටු කීර්ති බාලසූරිය ඕස්ටේ‍්‍රලියානු එස්එල්එල් හා ජර්මනියේ බීඑස්ඒ නියෝජිතයින් ද සමග නෝර්ත්ගේ විශ්ලේෂනය පිලිබඳව සිය එකඟත්වය පල කලේය. 1985 ඔක්තෝබර් 25 දා ජාත්‍යන්තර කමිටුව ප‍්‍රකාශ දෙකක් නිකුත් කලේය. පලමු වැන්න ජෙරී හීලි නෙරපා හැරීම හා බි‍්‍රතාන්‍ය ශාඛාවේ අර්බුදය පිලිබඳවයි. දෙවැනි ප‍්‍රකාශය, දේශපාලන අර්බුදයේ මූලය "කවිප නායකත්වය දිගු කාලයක් තිස්සේ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීමේ මූලෝපායික කර්තව්‍යය වෙතින් ඉවතට හැරී වඩවඩා ජාතිකවාදී ඉදිරි දර්ශනයක් හා භාවිතයක් දෙසට ඇදී යාම” බව පෙන්වා දුනි. ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන අධිකාරය පැහැදිලි ලෙසම පිලිගැනීමේ ද බි‍්‍රතාන්‍ය ශාඛාව එහි තීරනවලට යටත් වීමේ ද පදනම මත සිය සාමාජිකයන් යලි ලියාපදිංචි කිරීමට කවිප කි‍්‍රයා කල යුතු බවට ජාත්‍යන්තර කමිටුව යෝජනාවක් සම්මත කලේය.

23-4 1985 දෙසැම්බර් 16දා ජාත්‍යන්තර කමිටුවේ පරිපාලන කොමිසමේ වාර්තාව ලබා ගත්, ජාත්‍යන්තර කමිටුව කවිපය ජාත්‍යන්තර කමිටුව ද ජාත්‍යන්තර කම්කරු පන්තිය අද ඓතිහාසික වශයෙන් පාවා දී ඇති බව ප‍්‍රකාශ කරන යෝජනාවක් සම්මත කලේය. එහි මෙසේ සඳහන් විය. "නොනවතින විප්ලව න්‍යාය මුලූමනින්ම අතහැර දැමීමේ ප‍්‍රතිපල වශයෙන් කවිපය, මුදල් සඳහා යටත් විජිත ධනේශ්වරයේ කොටස් සමග මූලධර්ම විරහිත සම්බන්ධතා ගොඩනගා ගැනීම කරා යොමුවී ඇත.” කවිපයේ අටවන සමුලුවෙන් පසුව පැවැත්වෙන ජාත්‍යන්තර කමිටුවේ හදිසි සම්මේලනය තෙක්, කවිප සාමාජිකත්වය තහනම් කිරීමට යෝජනාවක් ද සම්මත කෙරිනි. පසු දින සම්මත කල තවත් යෝජනාවක්, ජාත්‍යන්තර කමිටුවේ සාරභූත ඓතිහාසික කි‍්‍රයාමාර්ගික පදනම් හා පැබ්ලෝවාදයට එරෙහි අරගලයේ ඓතිහාසික නිරවද්‍ය භාවය යලි තහවුරු කලේය. ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන අධිකාරය හා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ කි‍්‍රයාමාර්ගික මූලධර්මයන්හි කේන්ද්‍රීය වැදගත්කම යලි තහවුරු කිරීම සඳහා කවිපය තහනම් කිරීම තීරනාත්මක විය. එම තීරනය, මෙම අතිමූලික ප‍්‍රශ්න සම්බන්ධයෙන් කිසිදු සම්මුතියක් නැති බව පැහැදිලි කල අතර, කවිපය තුල අර්බුදය විසඳීම සඳහා ප‍්‍රතිපත්තිමය පදනමක් ද පිහිටුවීය. කවිප නියෝජිතයින් අතරින්, කවිප තුල සුලූතරයකට නායකත්වය දෙමින් සිටි ඩේවිඩ් හයිලන්ඩ් පමනක්, යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේය. පසුව ජාත්‍යන්තර කමිටුවේ බි‍්‍රතාන්‍ය ශාඛාව බවට පත්වූයේ එම සුලුතරයයි. බන්ඩා-ස්ලෝටර් කන්ඩායමේ විරුද්ධත්වය මගින් පෙන්නුම් කෙරුනේ, ඔවුන් හීලිගෙන් වෙන් වුනත්, ඔවුන් බෙදා හදා ගත්තේ ද යටින් පැවති එම අවස්ථාවාදී හා ජාතිකවාදී ඉදිරි දර්ශනයම බව ය.

23-5 ක්ලිෆ් ස්ලෝටර් විසින් ඩේවිඩ් නෝර්ත්ට යවන ලද ලිපියක් ජාත්‍යන්තරවාදය සමන්විත වන්නේ, "පන්ති පිලිවෙත් නිර්නය කරගෙන ඒ මත සටන් වැදීම” බව අවධාරනය කරමින්, කවිපය ජාත්‍යන්තර කමිටුවට යටත් කිරීමට විරුද්ධත්වය ප‍්‍රකාශ කලේ ය. වර්කර්ස් ලීගයේ දේශපාලන කමිටුව මෙසේ පිලිතුරු දුනි. "එහෙත් මෙම ‘පන්ති රේඛා’ නිර්නය කරන්නේ කුමන කි‍්‍රයාවලීන් විසින් ද? ඒ සඳහා හතරවන ජාත්‍යන්තරයේ පැවැත්ම අවශ්‍ය වන්නේ ද? . . .‘මාක්ස් හා ලෙනින්ගේ මාක්ස්වාදයේ හා ට්‍රොට්ස්කිවාදයේ සමස්ත කි‍්‍රයාමාර්ගික පදනම’ ඓතිහාසිකව මූර්තිමත් කරන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවයි. ජාතික ශාඛා ජාත්‍යන්තර කමිටුවට යටත් කිරීම වනාහි, එම කි‍්‍රයාමාර්ගය ආරක්ෂා කිරීම සමග ඒවාට ඇති එකඟත්වයේ සංවිධිත ප‍්‍රකාශනයයි. මාක්ස්වාදී මූලධර්ම හා කි‍්‍රයාමාර්ගය පිලිබඳ සමකාලීන වර්ධනය ලෙස ට්‍රොට්ස්කිවාදය පිලිගන්නා පක්ෂ, හතරවන ජාත්‍යන්තරය තුල සංවිධානය වී සිටින අතර ජාත්‍යන්තර කමිටුවේ අධිකාරය පිලිගනිති. ජාත්‍යන්තරවාදය පිලිබඳ යමෙකුගේ නිර්වචනය, කි‍්‍රයාමාර්ගය එහි සංවිධානාත්මක ප‍්‍රකාශනයෙන් වෙන් කිරීම මත පදනම් කිරීම වනාහි, තමන් වැඩ කරන කරලිය තුල කි‍්‍රයාත්මක වීමේ නිදහස තබාගැනීම සඳහා, ජාත්‍යන්තර කමිටුව තුල මූර්තිමත් වන මාක්ස්වාදයේ අඛන්ඩතාවය ප‍්‍රතික්ෂේප කරන, ට්‍රොට්ස්කිවාදයේ මාධ්‍යමික විරුද්ධවාදීන් හා සංශෝධනවාදීන් සියල්ලන්ගේ ම දෘෂ්ටි ආස්ථානය පිලිගැනීමයි.” [54]

23-6 කවිප, 1986 පෙබරවාරි 8 දින පවත්වන ලද සිය පිලිකුල් සහගත සමුලුවේදී, "ජාත්‍යන්තර කමිටුව සදහට ම වල දමා හතරවන ජාත්‍යන්තරය ගොඩනැගිය යුත්තේ මන් ද යන්නට හේතු 27ක්” යන බන්ඩාගේ ලියවිල්ල පදනම් කරගෙන, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙන් භේද විය. බන්ඩාගේ ලියවිල්ල, පැබ්ලෝවාදයට එරෙහිව කරන ලද ජාත්‍යන්තර කමිටුවේ සමස්ත අරගලය ම ප‍්‍රතික්ෂේප කලේය. ජාත්‍යන්තර කමිටුවට සහයෝගය දුන් සියලූ දෙනාම සමුලූවෙන් ඉවත්කර තැබිනි. මාස කිහිපයක් තුල බන්ඩා ට්‍රොට්ස්කිවාදය ප‍්‍රතික්ෂේප කොට, සෝවියට් සංගමය තුල ධනවාදය පුනස්ථාපනය කල නොහැකි බව කියා සිටිමින්, ඔක්තෝබර් විප්ලවයේ ජයග‍්‍රහන ආරක්ෂා කිරීම සඳහා අවශ්‍යව තිබූ බොනපාට්වාදී නායකයෙකු ලෙස ස්ටැලින්ට හුරේ දැමීය. 1985-86 වසරවල ජාත්‍යන්තර කමිටුවෙන් භේදවූ සියල්ලන් පිලිබඳව වසරකට පසුව කරන ලද වෙහෙසකර අධ්‍යයනයක් නිමා කරමින් ජාත්‍යන්තර කමිටුව මෙසේ ප‍්‍රකාශ කලේය. "ජාත්‍යන්තර කමිටුව” විරෝධී සියලු ප‍්‍රවනතාවන්ගේ මූලික දිශානතිය පවතින්නේ, අතොරක් නැතිව ස්ටැලින්වාදයට හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රයට යටත් වීම, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ප‍්‍රතික්ෂේප කිරීම සහ වඩාත් ප‍්‍රකට ආකාරයෙන් ධනේශ්වරයේ කොටස් සමග මහජන පෙරමුනු සන්ධානයන්ට සහභාගී වීම දෙසට ය.” [55]

23-7 ජාත්‍යන්තර කමිටුව තුල භේදය ලෝක ධනවාදයේ ආර්ථික පදනමෙහි හා දේශපාලන උපරි ව්‍යුහයෙහි ප‍්‍රගාඪ වෙනස්කම් පිලිබඳ ප‍්‍රකාශනයක් විය. නිෂ්පාදන කි‍්‍රයාවලීන්ගේ ගෝලීය ඒකාග‍්‍රකරනය හා 1970 ගනන් අවසන් අදියරේ ආරම්භ වූ ආසියාවේ ලාභ ශ‍්‍රම වේදිකාවන් සූරාකෑම, පශ්චාත් දෙවන ලෝක යුද්ධ අවධිය තුල සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී, ස්ටැලින්වාදී හා ධනේශ්වර ජාතිකවාදී නායකත්වයන් රැඳී සිටි ජාතික ආර්ථික නියාමනයේ කි‍්‍රයාමාර්ගයන්ට වල කපා තිබුනි. හතරවන ජාත්‍යන්තරය තුල පැබ්ලෝවාදය නැගී ආවේ, කම්කරු පන්තිය මත පවත්වාගෙන ගිය මෙම නිලධාරිවාදී යාන්ත‍්‍රනයන්ගේ අධිකාරයට අවස්ථාවාදීව යටත්වීමක් ලෙස ය. බි‍්‍රතාන්‍ය එස්එල්එල්/කවිප ට්‍රොට්ස්කිවාදයේ කි‍්‍රයාමාර්ගය ආරක්ෂා කල නමුත් එන්ට එන්ටම හුදෙකලාවට මුහන පෑවේය. ඒ, විශේෂයෙන්ම 1963 දී පැබ්ලෝවාදීන් සමග එස්ඩබ්ලිව්පීයේ යලි එකමුතුවට හා 1971 දී ඕසීඅයි සමග භේදයෙන් පසුව ය. එස්එල්එල්හි එන්ට එන්ටම ජාතිකවාදී වූ දිශානතිය, 1953 හා 1961-63 භේදයන්ගේ පාඩම් මත පදනම් වූ, 1960 ගනන්වල හා 1970 ගනන්වල මුල පිහිටුවන ලද ජාත්‍යන්තර කමිටුවේ අලුත් ශාඛා වෙතින් අපසරනය වීමට පටන් ගති. කවිප, ජාත්‍යන්තර කමිටුව තුල සිය දේශපාලන අධිකාරියේ පදනම වූ පැබ්ලෝවාදයට එරෙහි අරගලය අතහැර දැමීමත් සමග, එය ජාත්‍යන්තර ව්‍යාපාරය තුල දේශපාලන සාකච්ඡුාව අවහිර කල අතර විවේචනයන්ට ප‍්‍රතිචාර දැක්වූයේ සංවිධානමය තර්ජන හා දේශපාලන ප‍්‍රකෝපකරනයන් මගිනි. ජාත්‍යන්තර කමිටුව තුල ට්‍රොට්ස්කිවාදීන් ලද ජයග‍්‍රහනය සහ එහි වැඩ කටයුතුවල හරි මැදට ට්‍රොට්ස්කිවාදය යලි ගෙන ඒම මගින් සලකුනු කෙරුනේ, කම්කරු පන්තියේ පැරනි නිලධාරිවාදී සංවිධාන දිරාපත්වී සුනු විසුනුවී යාම හා සියලු පැබ්ලෝවාදී කන්ඩායම් වේගයෙන් දකුනට තල්ලුවී යාම සමග වඩාත් පැහැදිලි වීමට නියමිත වූ, පන්ති සම්බන්ධතාවන්ගේ ප‍්‍රගාඪ මාරුවකි.

24. කවිප සමග භේදයෙන් පසුව

24-1 ජාත්‍යන්තර කමිටුව පැහැදිලි කල පරිදි: "1985-86 භේදය වනාහි, නිසැකව ම, හතරවන ජාත්‍යන්තරයේ වර්ධනයේ ඓතිහාසික සන්ධිස්ථානයකි. එය, 1953 ජාත්‍යන්තර කමිටුව පිහිටුවනු ලැබීමෙහි සිට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහිව ගෙන ගිය දිග්ගැස්සුනු අරගලයේ කූටප‍්‍රාප්තිය යි. පැබ්ලෝවාදී අවස්ථාවාදීන් විසින් නිර්මානය කරන ලද විභේදනයේ හා ව්‍යාකූලත්වයේ දීර්ඝ කාලපරිච්ඡේදය අවසානයකට එමින් තිබේ. ජාත්‍යන්තර කමිටුවේ ධජය යටතේ ලොව පුරා සියලු අව්‍යාජ ට්‍රොට්ස්කිවාදීන්, එනම් විප්ලවීය මාක්ස්වාදීන් ඒකාබද්ධ කිරීම සඳහා කොන්දේසි නිර්මානය කෙරී පවතී.” [56]

24-2 කවිප සමග භේදය ජාත්‍යන්තර සහයෝගිතාවේ නව ඉහල මට්ටමකට ද ජාත්‍යන්තර ව්‍යාපාරය තුල මාක්ස්වාදයේ පුනරුදයකට ද මග පෑදීය. "කම්කරු විප්ලවවාදී පක්ෂය ට්‍රොට්ස්කිවාදය පාවාදුන්නේ කෙසේ ද? 1973-1985” නමින් කවිප පරිහානිය පිලිබඳ දීර්ඝ විශ්ලේෂනයක් ජාත්‍යන්තර කමිටුව විසින් සම්පාදනය කෙරුනුු අතර, එය නිෂ්ප‍්‍රභා කිරීම තබා එයට අභියෝග කිරීම හෝ කිසිදු කවිප භ‍්‍රෂ්ටයෙකු විසින් මේ වන තෙක් සිදු කරනු ලැබ නැත. ඩේවිඩ් නෝර්ත් හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයේ හා කි‍්‍රයාමාර්ගයේ තීරනාත්මක අංශ පැහැදිලි කල අප රක්නා උරුමය නම් සිය කෘතිය මගින් බන්ඩාගේ ප‍්‍රති-ට්‍රොට්ස්කිවාදී අවලාදයන්ට පිලිතුරු දුන්නේ ය. මෙම කෘතීන් ද තවත් අනේක ලිපි හා ප‍්‍රකාශන ද ව්‍යාපාරයේ කේඩරය අධ්‍යාපන ගත කිරීමේ ද ජාත්‍යන්තර කමිටුවේ වැඩකටයුතු මත කවිප දේශපාලන පරිහානියේ බලපෑම පරාජය කිරීමේ ද පදනම බවට පත්විය.

24-3 භේදය විකොස වැඩකටයුතුවල පරිවර්තනයක් ඇති කලේ ය. පක්ෂයේ නායකත්වය හා සාමාජිකත්වය ජාත්‍යන්තර කමිටුව ට මුලුමනින්ම සහාය දුන් අතර ජාත්‍යන්තර කමිටුව ඉදිරියේ මතුවූ ප‍්‍රශ්න හා එහි ලියකියවිලි නායකත්වය හා සාමාජිකත්වය තුල තරයේ සාකච්ඡාවට භාජනය කලේය. ඊ ලඟ වසර දෙක පුරා කීර්ති බාලසූරිය තම අවධානය මුලූමනින්ම යොමු කලේ, ජාත්‍යන්තර කමිටුවේ කි‍්‍රයාමාර්ගික වැඩ කටයුතුවලට ය, විශේෂයෙන් ම නො නවතින විප්ලව න්‍යායට සම්බන්ධිත වැඩ කටයුතුවලට ය. බාලසූරිය හා ඩේවිඩ් නෝර්ත් එකතුව 1987 මාර්තුවේ හතරවන ජාත්‍යන්තරය (14 වෙලූම. අංක1- සඟරාවට ලියූ කතුවැකිය,) 1960 ගනන්වල පසුභාගයේ දී බන්ඩා මා ඕ හා හෝචිමිං ප‍්‍රශංසාවට ලක්කිරීම දක්වා අතීතයට යමින්, ඔහු නො නවතින විප්ලව න්‍යාය ප‍්‍රතික්ෂේප කිරීම පිලිබඳව සවිස්තරාත්මකව හෙලිදරව් කලේය. එම කලාපයේ ම බාලසූරිය හා එස්එල්එල් නායකයන් අතර බංග්ලාදේශ විමුක්ති අරගලය පිලිබඳව හුවමාරු වූ ලියකියවිලි පලකෙරින. ජාත්‍යන්තර කමිටුව සමග සහයෝගීව විකොස ඉන්දියාවේ සිය දේශපාලන වැඩ කටයුතු ද යලි අරඹා ප‍්‍රසාරනය කලේ ය.

24-4 එල්ටීටීඊයට එරෙහිව උග‍්‍ර කෙරුනු සිවිල් යුද්ධයේ රූපයෙන් විකොසට ඍජුව මුහුන පෑමට සිදුවූ ජාතික ප‍්‍රශ්නය පිලිබඳ වැදගත් සාකච්ඡාවක් සඳහා කොන්දේසි, භේදය මගින් නිර්මානය විය. 1970 ගනන් මුල දෙමල අරගලය මුලුමනින් ම නො තකා හැරීමේ සහ ශී‍්‍ර ලංකාවේ ජාතික රාජ්‍යයට සහයෝගය දීමේ සිට 1979 පටන් එල්ටීටීඊයට අවිවේචනාත්මකව සහයෝගය දීම දක්වා කවිපයේ අවස්ථාවාදී වැනීම් හෙලිදරවු කරමින්, "දෙමල අරගලය සහ හීලි, බන්ඩා හා ස්ලෝටර්ගේ ද්‍රෝහීත්වය” නම් දීර්ඝ ලිපියක් බාලසූරිය 1986 දී ලිවීය. "දෙමල ජාතික අරගලය පිලිබඳ හීලි, බන්ඩා හා ස්ලෝටර්ගේ ඓතිහාසික වාර්තාව පිලිබඳ මෙම විභාග කිරීම පෙන්නුම් කරන පරිදි ට්‍රොට්ස්කිවාදීන් ලෙස වෙස් පාන මෙම වංචනිකයන් රැල දෙමල හා සිංහල කම්කරුවන් එක සේ ක‍්‍රමානුකූලව පාවාදී ඇත. සියල්ලටත් වඩා ශී‍්‍ර ලංකාව තුල නො නවතින විප්ලව න්‍යායේ ඉදිරිදර්ශනය සඳහා සටන් වැදුනු එකම පක්ෂය වන විකොස විනාශ කිරීමට අසාර්ථකව වුවත් ඔවුහු සවිඥානිකව වැඩ කලහ” යයි ඔහු සමාප්ත කලේ ය.

24-5 භේදයෙන් පසු කාලය, ශී‍්‍ර ලංකාවේ ධනපති පන්තියේ තියුනු දේශපාලන අර්බුදයක් සමග සම්පාත විය. උතුරේ දී බරපතල මිලිටරි පසුබෑම්වලට මුහුන පෑ එජාප ආන්ඩුව දකුනේ ආර්ථික පසු බැසීමක් හා එහි වෙලඳපොල ගැති පිලිවෙත්වල බලපෑම මගින් අවුලුවන ලද වැඩෙන සමාජ අසහනයකට ද මුහුන දුන්නේ ය. විවිධ දෙමල සන්නද්ධ කන්ඩායම් සමග සාකච්ඡා කරන ලෙස ඉන්දියාව කල ඉල්ලීම්වලට එකඟ වෙමින් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, කල් මැරීම සදහා මං සෙවීය. 1985 භූතානයේ තිම්පු අගනුවර පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු "සාමය සඳහා පොදු වැඩපිලිවෙලක්” වෙනුවෙන් විරුද්ධ පක්ෂවල සහයෝගය ගොනුකර ගැනීමට ජයවර්ධන, 1986 දී කොලඹ වට මේස සාකච්ඡා ඇරඹීය. නසසපයේ සුලු ධනේශ්වර රැඩිකල්වාදියෝ එජාප ආන්ඩුව සමග සාකච්ඡ‍ා සඳහා ලසසප, කොප හා බන්ඩාරනායකගේ දියනිය වන චන්ද්‍රිකා කුමාරතුංග නායකත්වය දුන් හිටපු ශී‍්‍රලනිප පාර්ලිමේන්තු මන්තී‍්‍රන්ගේ වාම කන්ඩායමක් වූ ශී‍්‍ර ලංකා මහජන පක්ෂය (ශී‍්‍රලමප) සමග එකතු වූහ. එහි ප‍්‍රතිඵලය වූයේ ජයවර්ධන හා ඉන්දියාවේ අගමැති රජීව් ගාන්ධි 1987 ජූලි මාසයේ අත්සන් කල ඉන්දු-ලංකා ගිවිසුම මගින් උතුරු හා නැගෙනහිර පලාත්වලට ඉන්දියානු හමුදා යැවීමයි. සාකච්ඡාවලට එක්වූ සියලූ දෙනා එම ප‍්‍රතිඵලය පිලිබද දේශපාලනික වගකීම දරති. සාම ගිවිසුමක් කි‍්‍රයාවට දැමීමේ මුවාවෙන් කරන ලද මිලිටරි මෙහෙයුමේ සැබෑ අභිප‍්‍රාය වූයේ, දෙමල ගරිල්ලන් නිරායුධ කිරීම සහ ගිවිසුමේ කොන්දේසිවලට එරෙහි ඕනෑම දේශපාලන විරුද්ධත්වයක් මර්දනය කිරීම යි. සාකච්ඡාවලට සහභාගි වීම ප‍්‍රතික්ෂේප කල ශී‍්‍රලනිපය, ජවිපෙ ද සමග එක්ව මොනම සාම ගනුදෙනුවකට හෝ එරෙහිව ස්වෝත්තමවාදී උද්ඝෝෂනයක් දියත් කලේ ය.

24-6 මිලිටරි මැදිහත් වීමට එරෙහිව එකමුතුවන ලෙස ශී‍්‍ර ලංකාවේ හා ඉන්දියාවේ කම්කරු පන්තියට ආයාචනා කරමින් නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදයේ ආස්ථානයෙන් වටමේස සාකච්ඡාවලට හා ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධ වූ එකම පක්ෂය විකොස යි. ජයවර්ධන හා ගාන්ධි ආන්ඩු මුහුන දුන් අර්බුදවලින් පැනනැගුනු හමුදාව යෙදවීම, කම්කරු පන්තියට හා ගම්බද ජනතාවට එරෙහිව එල්ල කෙරුනු බවත් එමෙන්ම එය දෙමල ජනයාට ද එරෙහි උගුලක් බවත් විකොස අනතුරු ඇඟවීය. 1986 ජුනි වටමේස සාකච්ඡා මධ්‍යයේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ රැස්වීමක් සඳහා උද්ඝෝෂනයේ යෙදෙමින් සිටි විකොස සාමාජිකයන් තිදෙනෙකු වූ විජේ ඩයස්, බෲටන් පෙරේරා හා රූමන් පෙරේරා පොලිස් අත්අඩංගුවට ගෙන සති හයක් රඳවා ගැනීම අහම්බයක් නො වීය. ඔවුන් නිදහස් කරද්දී බෲටන් පෙරේරා හා විකොස තරුන නායක විරාන් පීරිස් යලි රඳවාගත් අතර ඔවුන්ව නිදහස් කලේ ජාත්‍යන්තර කමිටුව සියලු ශාඛාවන් ද ඇතුලත්ව ගෙනගිය පුලුල් ජාත්‍යන්තර උද්ඝෝෂනයකින් පසුව පමනි. විකොස බියපත් කොට නිහඬ කිරීමට දරන ලද මෙම උත්සාහය පැහැදිලිව ම සිය ‘සාම’ කූටෝපායන් පිලිබඳ කවර හෝ විවේචනයක් කෙරෙහි එජාප දක්වන සංවේදි භාවයෙන් අවුලුවන ලද්දකි.

24-7 ඉන්දු-ලංකා ගිවිසුම වනාහි දෙමල ජනතාවගේ ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතිවාසිකම් සහතික කිරීම සඳහා ඉන්දියානු ආන්ඩුව හා හමුදාව මත විශ්වාසය තබා සිටි එල්ටීටීඊය ඇතුලූ සියලූ දෙමල සන්නද්ධ කන්ඩායම් පිලිබඳ ව්‍යසනකාරී හෙලිදරව්වකි. දිගින් දිගටම ඔවුන්ගේ ඉදිරිදර්ශනය වූයේ, වෙනම ධනේශ්වර ඊලම් රාජ්‍යයක් බිහිකිරීම සඳහා ඉන්දියානු ධනේශ්වරයේ සහයෝගය පැතීම යි. එසේ වුව ද ගාන්ධි ආන්ඩුවට දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පිලිබඳව බිංදු මාත‍්‍ර හෝ උත්සුකතාවක් නොපැවති අතර, එය මැදිහත් වූයේ, ඉන්දියාවේ නොසංසුන් තත්වයක් ඇවිලවීමේ ද දකුනු ආසියාවේ ප‍්‍රතිගාමී පශ්චාත් යුද්ධ රාජ්‍ය පද්ධතියට වල කැපීමේ ද තර්ජනය මතු කල සන්නද්ධ නැගිටීමක් මැඞීම සඳහා ය. කලාපයේ අධිපතිවාදී බලවතා බවට පත්වීමේ ඉන්දියාවේ ම අභිලාෂයන්ට තල්ලුවක් ලබා ගැනීමට ද එය උත්සාහ දැරීය. ඊපීආර්එල්එෆ්, ටෙලෝ හා ප්ලොට් ඇතුලු නව දිල්ලිය සමග වඩාත් ම සමීප සබඳතා තිබූ කල්ලි, වාඩිලාගත් ඉන්දීය හමුදාවේ සහායක භටයන් ලෙස කි‍්‍රයාත්මක වූ අතර, අලුතින් ඒකාබද්ධ කරන ලද උතුරු-නැගෙනහිර පලාතේ මහ ඇමති ලෙස ඊපීආර්එල්එෆ් නායක වර්දරාජා පෙරුමාල් පත් විය. සිය අනභියෝගී පාලනය තහවුරු කිරීමට ගෙන ගිය උත්සාහයේ දී, ඉන්දියානු හමුදාව, පුලුල් අත්අඩංගුවට ගැනීම්, ස්තී‍්‍ර දූෂන, වධබන්ධන හා අධිකරන කි‍්‍රයාදාමයට පරිබාහිර ඝාතන යොදාගත් අතර එය දෙමල ජනයා විරසක වීමට ද එල්ටීටීඊය සමග ගැටුමකට ද මග පෑදීය. කෙසේවෙතත්, සිය සටන් කරුවන් දඩයම් කරද්දී පවා එල්ටීටීඊය, ඉන්දියාව හා රජීව් ගාන්ධි කෙරෙහි දිගටම විශ්වාසය පල කලේ ය.

24-8 ඉන්දු-ලංකා ගිවිසුම ශී‍්‍ර ලංකාවේ දෙමල සංවිධාන තුල මෙන් ම වඩා පුලූල්ව ජාත්‍යන්තර දෙමල විගාමිකයන් අතර ද දේශපාලන අර්බුදයක් නිර්මානය කලේ ය. යුරෝපයේ දී කීර්ති බාලසූරිය, සිය සංවිධානවල ද්‍රෝහීත්වයට පිලිතුරු සොයමින් සිටි තරුන දෙමල සටන්කාමීන් ආකර්ශනය කරගත් මනා සහභාගිත්වයක් සහිත රැස්වීම් කිහිපයක් ඇමතීය. වඩාත් දුර දක්නා කොටස්, දෙමල ජාතිකයන් පීඩනයට ලක්කිරීම අවසන් කල හැක්කේ, ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනයේ පදනම මත හා කම්කරු පන්තිය දෙසට හැරී ගැනීමෙන් පමනක් යයි නිගමනය කලහ. ජාත්‍යන්තර කමිටුවට බැඳුනු ඔවුහු, එහි යුරෝපා හා දකුනු ආසියා වැඩකටයුතුවලට බලගතු ප‍්‍රතිපදානයක් කර ඇත. දකුනු ආසියාව තුල ජාත්‍යන්තර ව්‍යාපාරයේ නව ශාඛා ගොඩනගනු ඇත්තේ, විශේෂයෙන් ම යුරෝපයේ සිටින අපගේ දෙමල සහෝදරයන් ද ඇතුලත්ව, සසප හා ජාත්‍යන්තර කමිටුව තුල එහි සහෝදර පක්ෂවල ඒකාබද්ධ ප‍්‍රයත්නයන් හරහා ය.

25. ශී‍්‍ර ලංකා-දෙමල ඊලම් එක්සත් සමාජවාදී සමූහාන්ඩුව

25-1 1987 නොවැම්බරයේ දී ජාත්‍යන්තර කමිටුව, ශී‍්‍ර ලංකාවේ හා දෙමල ඊලම්හි එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් පිලිබඳ සටන් පාඨය ප‍්‍රථම වරට ඉස්මතු කල "ඉන්දු-ලංකා ගිවිසුම සහ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ කර්තව්‍යයෝ” යන හිසින් යුත් පූර්න ප‍්‍රකාශනයක් ප‍්‍රසිද්ධ කලේ ය. නො නවතින විප්ලව න්‍යාය මත පදනම් වූ එම ප‍්‍රකාශනය, දෙමල ජනයාගේ ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතිවාසිකම් සාක්ෂාත් කරගත හැක්කේ කම්කරු පන්තිය සමාජවාදය සඳහා කරන අරගලය හරහා පමනක් බව පැහැදිලිව අවධාරනය කලේ ය. වෙනත් වචනවලින් කියතොත් අනෙකුත් ප‍්‍රජාතාන්ති‍්‍රක කර්තව්‍යයන් මෙන් ම ජාතික ස්වයං-නීර්නය ද, කොතරම් දිරිමත් හා සටන්කාමී වුවත්, ධනේශ්වර හා සුලු-ධනේශ්වර ව්‍යාපාරවලට විසඳිය නො හැකි ය. කවිප කල ආකාරයට, පක්ෂය, දෙමල ජාතික ව්‍යාපාරයට හුරේ දැමීමේ හා එහි දේශපාලන උපදේශකත්වයේ භූමිකාවට ලඝු කිරීමේ ඕනෑම ප‍්‍රවනතාවකින් වෙන්වී ගෙන, සමාජවාදය සඳහා ගෙනගිය අරගලය හරහා මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කරගැනීමට සිංහල හා දෙමල කම්කරු පන්තිය බලමුලුගැන්වීම සඳහා සටන් වැදීම තුල පවත්නා විකොස දිශානුගතවීම මෙම සටන් පාඨය මගින් පැහැදිලිව විදහා දැක්වුනි.

25-2 ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රකාශනය පැහැදිලි කල පරිදි දෙවන ලෝක යුද්ධයෙන් පසුව ස්ථාපනය කරන ලද ඊනියා ස්වාධීන රාජ්‍යයන්ගෙන් එකක්වත්, මහජනතාවන්ගේ ප‍්‍රජාතාන්ති‍්‍රක අභිලාෂයන් හෝ මූලික ද්‍රව්‍යමය අවශ්‍යතා ඉටු කර නොමැත. "අධිරාජ්‍යවාදයේ අනුමැතිය ලත් ‘ස්වාධීනත්වයේ’ අර්ථය වූයේ අනිවාර්යයෙන්ම ප‍්‍රජාතාන්ත‍්‍ර මූලධර්ම මාරක ලෙස උල්ලංඝනය කිරීම මත පදනම් කරනු ලැබූ අවජාතක රාජ්‍යයන් බිහිකිරීමයි. මෙම කි‍්‍රයාදාමයේ දී ජාතික ධනේශ්වර පන්තිය කි‍්‍රයාකොට ඇත්තේ පීඩිත ජනතාවගේ විමුක්ති දායකයා ලෙස නොව අධිරාජ්‍යවාදී කොල්ලයේ කනිෂ්ට හවුල් කරුවා ලෙසය. මෙම කි‍්‍රයාවලිය තුලදී නිර්මානය කරනු ලැබූ රාජ්‍ය වර්ගය, නිෂ්පාදන බලවේගයන්ගේ ප‍්‍රගතිශීලී වර්ධනයක් ඇති කිරීමට අසමත්වූ, කුනුවන ධනවාදයේ සිපිරි බිමක්මැ විය. . . . එවැනි කොන්දේසිවලින් බිහිවන්නේ අන්තර්-වාර්ගික යුද්ධයේ සංත‍්‍රාසය යි. ධනේශ්වර පාලනය පවතින තුරු මෙම තත්ත්වය වෙනස් කල නො හැක. ඉන්දියාව, පාකිස්තානය, ශී‍්‍ර ලංකාව, බංග්ලාදේශය, බුරුමය මෙන් ම ලෝකයේ සෑම පශ්චාත් යටත් විජිත රටක ම පශ්චාත් නිදහස් ඉතිහාසය තීරනාත්මක ලෙස සාධනය කරන්නේ, ධනේශ්වරයට අව්‍යාජ ජාතික එකමුතුව හා දේශපාලන නිදහස ස්ථාපනය කල නො හැකි බව යි.” [57]

25-3 මෙහි විපාකයක් ලෙස එම ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී කර්තව්‍යයන් කම්කරු පන්තිය මතට පැවරේ. ස්වයං-නීර්න අයිතිය පිලිගන්නා අතර ම ජාත්‍යන්තර කමිටුව අවධාරනය කලේ, ජාතික ප‍්‍රශ්නය විසඳිය හැක්කේ, සමාජවාදී විප්ලවයේ මූලෝපාය මගින් පමනක් බවයි, එබැවින් ස්වයං-නීර්නය එම මූලෝපායට යටත් බවයි. "ස්වයං-නීර්නය සඳහා ජාතීන් ගේ අයිතිය සාක්ෂාත් කරගත හැකි එකම සමාජ බලවේගය නිර්ධන පන්තිය යි. එහෙත් නිර්ධන පන්තිය මෙය ඉටු කරන්නේ ජාතික ධනේශ්වරයේ වලිගයක් හැටියට නොව එහි සම්මුති විරහිත සතුරෙකු හැටියට ය. නිර්ධන පන්තිය ජාතීන්ගේ ස්වයං-නීර්නය අයිතිය සඳහා සටන් වදින්නේ තමන්ටම ආවේනිකවූ අවි වලිනි; තමන්ගේම ක්‍රියාමාර්ගය මතය; ගමේ හා නගරයේ සියලු පීඩිත ජනතාව තමන් පිටුපස බලමුලුගන්වා ගනිමිනි. ජාතික ස්වයං නීර්නය අයිතිය තහවුරු කෙරෙනවා ඇත්තේ සිය ඒකාධිපතිත්වය පිහිටුවාගෙන සියලුම පීඩිත ජනයාට ඔවුන්ගේ යුක්ති යුක්ත ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සහතික කරන්නාවූ කම්කරු පන්තිය විසින් නායකත්වය දෙනු ලබන සමාජවාදී විප්ලවයේ අතුරු ඵලයක් ලෙසය. ජාතීන් අතර සැබෑ සමානත්වයේ රාමුවක් ලෙස සිය කැමැත්තෙන් එක්සත්වූ සමාජවාදී සමූහාන්ඩුවක් නිර්මානය කිරීමට නිර්ධන පන්තිය යෝජනා කරයි. ආර්ථික හා සංස්කෘතික ප‍්‍රගමනය සඳහා හොඳම අවස්ථාව සහතික කෙරෙන්නේ සියලුම පීඩිත ජාතීන්ගේ ස්වේච්ඡා ඒකාබද්ධතාවයෙන් යයි විශ්වාස කරන අතරම නිර්ධන පන්ති ඒකාධිපතිත්වය වෙන් වීමට කැමති සෑම ජාතියකටම වෙන් වීමට ඇති අයිතිය සහතික කර දෙන්නේය. දෙමල ඊලම් හා ශ‍්‍රී ලංකාව අතර එක්සත් සමාජවාදී රාජ්‍යයන්ගේ සමූහාන්ඩුවක් සඳහා විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති කි‍්‍රයා මාර්ගයේ සාරභූත අන්තර්ගතය මෙය යි.” [58]

25-4 ඉන්දියාවේ ධනේශ්වරයට එල්ටීටීඊය දේශපාලනිකව යටත්වීමේ ආලෝකයෙන්, ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රකාශනය, විවිධ ජාතික විමුක්ති ව්‍යාපාරවල ස්වභාවය යලි තක්සේරු කිරීමේ කි‍්‍රයාදාමයක් ද ඇරඹීය. දෙවන ලෝක යුද්ධයට පෙර හා පසුව බිහිවූ, ජාතිකත්ව, භාෂා, ආගම් හා කුල භේද කපාගෙන මහජනයා ආකර්ෂනය කරගත්, පුලුල් විජිත විරෝධී ව්‍යාපාරවලට විපරීතව, එල්ටීටීඊය වැනි සංවිධාන, ජාතික සුවිශේෂතාවාදය මත පදනම් විය. ලෙනින් අනතුරු අඟවා තිබුනු පරිදි මෙය වනාහි තමන්ගේ ම ජාතික වරප‍්‍රසාද හා තමන්ගේ ම ‘ස්වාධීන’ රාජ්‍යය තුල කම්කරුවන් හා ගොවීන් සූරාකෑමේ කොන්දේසි ස්ථාපනය කිරීමේ ආස්ථානයෙන් පමනක් ස්වයං-නීර්නය අවබෝධ කරගත් ජාතික ධනේශ්වරයේ දෘෂ්ටිය යි. එල්ටීටීඊය සම්බන්ධයෙන් ගත්කල, ස්වාධීන ඊලමක් සඳහා වන එහි කි‍්‍රයාමාර්ගය, දිවයිනේ මධ්‍යම ප‍්‍රදේශයේ ලක්ෂ ගනනක් වන දෙමල වතු කම්කරුවන් හෝ පෝක් සමුද්‍ර සන්ධියෙන් එහා දකුනු ඉන්දියාවේ දෙමල මහජනයා පිලිබඳ ඉදිරිදර්ශනයක් නො තිබුනු ශී‍්‍ර ලංකාවේ දෙමල ධනේශ්වරයේ අල්ප ඉලක්ක නියෝජනය කල ධනේශ්වර ටීයූඑල්එෆ් වෙතින් ඍජුව ම උකහා ගත් එකක් විය.

25-5 ජාත්‍යන්තර කමිටුවේ ලියවිල්ල තුල උපුටා දක්වන ලද විකොස ප‍්‍රකාශයක් මෙසේ පැහැදිලි කලේ ය: "එහෙත් ජාතික සුවිශේෂතාවාදය පදනම් කරගෙන තමන්ගේ පමනක් අයිතීන් පතා ගොඩනගන ව්‍යාපාරයක් මගින් ජාතික විමුක්තිය ලැබිය නො හැකි ය. අප ජීවත් වන මෙම කාලයේ දී එබඳු ව්‍යාපාරයක් කොතරම් ප‍්‍රබල මහජන ව්‍යාපාරයක් ජනනය කලත්, සතුරු රාජ්‍යයන් පෙලක් මැද තනි වන්නේය. සුවිශේෂ පීඩිත ජාතියක විමුක්ති ව්‍යාපාරයක් පෙරට යා හැක්කේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා නිරවශේෂව ද පුලුල්ව ද සටන් වදින ව්‍යාපාරයක කොටසක් ලෙස පමනි. ජාතික සුවිශේෂතාවාදය පීඩිත ජාතියේ විමුක්ති අරගලය, එබඳු ව්‍යාපාරයක කොටසක් බවට පත්වීම නවතයි. එසේ වන්නේ ජාතික සුවිශේෂතාවාදය අවසන් විග‍්‍රහයේදී, ජාතික ධනපතියන් තමන්ගේම රටේ කම්කරුවන් සූරාකෑමටත් ගොවීන් ගසා කෑමටත් දරන පරිශ‍්‍රමයකට සම්බන්ධවී ඇති හෙයිනි. දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ දේශපාලන බෙලහීනත්වය ගලා එන්නේ එතැනිනි.” [59] ජාත්‍යන්තර කමිටු ප‍්‍රකාශය, ජාතීන්ගේ ස්වයං-නිර්න අයිතියට මාක්ස්වාදී ව්‍යාපාරය දෙන සහයෝගය පිලිබඳව වඩා පුලුල්ව සලකා බැලීමක් සඳහා පදනම දැමීය.

25-6 ප‍්‍රකාශය ප‍්‍රසිද්ධ කිරීමෙන් ටික කලකට පසුව, 1987 දෙසැම්බර් 18 දා කීර්ති බ ාලසූරිය ක්ෂනික හා අනපේක්ෂිත කිරීටක ක්ෂ්‍යානියකින් මිය ගියේ ය. යන්තම් 39 වන වියෙහි පසු වූ ඔහු සිය සමස්ත වැඩිහිටි ජීවිතය ම ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයට කැපකොට තිබුනි. ලසසප පාවාදීම මගින් ජනනය කරන ලද දේශපාලන ව්‍යාකූලත්වය මධ්‍යයේ යන්තම් 19 වන වියේ දී විකොසට නායකත්වය දීමේ භාරදූර වගකීම භාරගත් බාලසූරිය, එසේ කිරීම මගින් ලංකාවේ කම්කරු පන්තිය ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට යලි සම්බන්ධ කිරීමේ වගකීමට කරගැසීය. 1960 ගනන් අග හා 1970 ගනන් මුල, එල්ටීටීඊ හා ජවිපෙ වැනි ව්‍යාපාරවලට ප‍්‍රානය සැපයූ මධ්‍යම පන්තික රැඩිකල්වාදයේ ද "සන්නද්ධ අරගලය” වන්දනාමාන කිරීමේ ද ප‍්‍රවාහයට එරෙහිව ඔහු හා විකොස නැගී සිටියහ. හුදෙක් ස්ටැලින්වාදී පක්ෂවලින් හා ඔවුන්ගේ විවිධාකාර පැබ්ලෝවාදී ක්ෂමාලාපකයන්ගෙන් පමනක් නොව ජාත්‍යන්තර කමිටුව තුල කවිප වෙතින් ම ද නො නවතින විප්ලව න්‍යාය විශ්වීය ප‍්‍රහාරයකට ලක්වෙද්දී, ඔහු එය ආරක්ෂා කලේ ය. එසේ කිරීම මගින් ආසියාවේ හා ජාත්‍යන්තරව ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයට බාලසූරිය නො මැකෙන ප‍්‍රතිපදානයක් කලේ ය.

25-7 ඔහුගේ අභාවානුකථනයේ දී ඩේවිඩ් නෝර්ත් මෙසේ පැහැදිලි කලේ ය: "ට්‍රොට්ස්කි සටන් වැදුනු ඉදිරිදර්ශනයේ විද්‍යාත්මක වලංගු භාවය පිලිබඳව කීර්ති සහෝදරයා ප‍්‍රගාඪ ලෙස ඒත්තු ගෙන සිටියා. සුලු ධනේශ්වර රැඩිකල්ලු මා ඕ සේතුංගේ, හෝ චි මිංගේ හා ෆිඩෙල් කස්ත්‍රෝගේ ‘සාර්ථකත්වයන්ගෙන්’ මෝහනයට පත්වෙද්දී කීර්ති සහෝදරයා අවධාරනය කලේ, අපගේ ග‍්‍රහලෝකයේ එකම සංගතික විප්ලවවාදී බලවේගය ලෙස කම්කරු පන්තිය වෙතට මාක්ස්වාදීන්ගේ දේශපාලන දිශාවනතිය යොමු විය යුතු බවයි... ඉදිරියේ ක්ෂනිකව එලැඹෙන කාල පරිච්ඡේදයේ දී ආසියාවේ පමනක් නොව සමස්ත ලෝකය පුරා කම්කරුවෝ කීර්ති සහෝදරයාගේ ලියවිලි කියවනු ඇති. තරුනයන්ගේ ගුරුවරු වනු ඇත්තේ මා ඕ සේතුංලා, හෝ චි මිංලා හා කස්ත්‍රෝලා නො වන බව අපට විශ්වාස යි. ඒ වෙනුවට කම්කරුවන් හා තරුනයන් අතර සිටින වැඩිදියුනු කොටස් තම විප්ලවීය පාඩම් ඉගෙනගනු ඇත්තේ කීර්ති බාලසූරිය, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය හා ජාත්‍යන්තර කමිටුව වෙතිනු යි.”[60]

25-8 බාලසූරියගේ අකල් මරනය විකොසට, ජාත්‍යන්තර කමිටුවට හා ජාත්‍යන්තර කම්කරු පන්තියට එල්ල වූ ප‍්‍රධාන දේශපාලන පහරක් විය. එය සිදුවූයේ කවිප භ‍්‍රෂ්ටයන් වෙතින් බිඳී වෙන්වීමෙන් ක්ෂනික ඉක්බිතිව විකොස තුල පැහැදිලි කරගැනීමේ හා ශක්තිමත් කරගැනීමේ කි‍්‍රයාදාමය තවමත් සිදුවන තීරනාත්මක කාලයක ය. බාලසූරියගේ කාරකත්වයෙන් ගොඩනැගුනුු පක්ෂ නායකත්වය සිදුවූ පාඩුව දරාගැනීමට සමත්ව, විජේ ඩයස්ගේ නායකත්වය යටතේ යලි ශක්තිමත් වී, ඉහල නැංවෙන සිවිල් යුද්ධයක දුෂ්කර කොන්දේසි යටතේ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා සංගතික අරගලයක් දියත් කිරීමට සමත් වීම බාලසූරිය හා ඔහු සටන් වැද තිබුනු මූලධර්ම පිලිබඳ සාක්ෂියකි.

මතු සම්බන්ධයි,

සටහන්:

[54] Fourth International (හතරවන ජාත්‍යන්තරය, වෙලූම 13 අංක 2, 77 පි.

[55] Fourth International (හතරවන ජාත්‍යන්තරය, වෙලූම 14 අංක 1, 4 පි.

[56] ලෝක ධනවාදයේ අර්බුදය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ, කම්කරු මාවත ප‍්‍රකාශන, 18 පිටුව.

[57] ඉන්දු ලංකා ගිවිසුම හා විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ කර්තව්‍යයෝ, 1987 නොවැම්බර් 19, කම්කරු මාවත ප‍්‍රකාශන. 10 පි.

[58] එම., 10 පි.

[59] එම., පි 3.

[60] Fourth International (හතරවන ජාත්‍යන්තරය), 15 වෙලූම, අංක 1, 1988 ජනවාරි-මාර්තු, 20 පිටුව.

Share this article: