විමුක්ති කොටි සංවිධානය, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) වන්නි ප්රදේශයේ සාමාජිකයන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් උල්ලංඝනය කිරීමට විරුද්ධව සසප විසින් 1998 දෙසැම්බර් 20 දා බදුල්ලේ සේනානායක පිටියේ දී ප්රසිද්ධ රැස්වීමක් පවත් වන ලදි.
එල්ටීටීඊ අත් අඩංගුවෙන් නිදහස් කර ගන්නා ලද සසප සාමාජිකයන් සතර දෙනාගෙන් එක් අයෙකු වන රාජේන්ද්රන් සුදර්ශන් මෙම රැස්වීම ඇමතීම වැදගත් සිද්ධියක් විය. අත් අඩංගුවෙන් මුදා ගැනුනු පරමුතිරුඥාන සම්බන්ධන් ද මෙම රැස්වීමට සහභාගි වූයේ ය.
1998 ජූලි-අගෝස්තු මාසවල එල්ටීටීඊ අත් අඩංගුවට ගත් සසප සාමාජිකයන් සතර දෙනා නිදහස් කර ගන්නා ලද්දේ සසප හා හතර වන ජාත්යන්තරයේ ජාත්යන්තර කමිටුව දියත් කල ලෝක පරිමාන උද්ඝෝෂනයකිනි. එහෙත් ඔවුන් අත් අඩංගුවට ගැනීම හෝ නිදහස් කිරීම ගැන එල්ටීටීඊය නිල වසයෙන් කිසිදු ප්රකාශයක් කර නැත. එය වන්නි ප්රදේශයේ ක්රියාකාරී සසප සාමාජිකයන්ගේ නිදහස් ක්රියාකාරිත්වයට බාධාවක් වන බැවින් සිය සාමාජිකයන් අත් අඩංගුවෙන් නිදහස් කිරීම පිලිබඳව එල්ටීටීඊය නිල ප්රකාශයක් කල යුතු යයි සසප බල කර සිටී. බදුල්ල රැස්වීම සසප විසින් සූදානම් කර තිබුනේ මෙම තේමාව යටතේ ය.
මීට පෙර ඔක්තෝබර් 4 දා මෙම තේමාව යටතේ ම සසප බදුල්ල නගරයේ පැවැත් වූ පිකට් කිරීමක් කඩාකප්පල් කිරීමට වර්ගවාදීන් නඩයක් පොලීසියේ ද සහාය ඇතිව ප්රකෝපකාරී ලෙස මැදිහත් ව තිබුනි. ඉන් අනතුරුව එම පිකට් කිරීම එල්ටීටීඊයට පක්ෂව තැබූවක් බවට ද ඊට 'ජනතාව' විරුද්ධත්වය දැක්වීම නිසා පිකට්කරුවන් පලා ගිය බව ද තුච්ඡ වර්ගවාදී වාර්තාවක් 'ජාතික රූපවාහිනියේ' හා දිවයින පත්රයේ පලවිය.
මෙම තතු යටතේ, සසප තියුනු උද්ඝෝෂනයකින් බදුල්ල නගරයේ මෙම ප්රසිද්ධ රැස්වීම සංවිධානය කලේ ය. බදුල්ල නගරය තුල, නගරාසන්නයේ, වතු හා ගම් කීපයක ගෙන යන ලද මෙම උද්ඝෝෂනයේ දී සසප පුවත් පත් වන කම්කරු මාවත හා තොලිලාලර් පාදෙයි 600ක් පමන බෙදා හැරුනු අතර රැස්වීම ගොඩනැගීම සඳහා මුලු මහත් වියදමට ම බරපැන් දරන ලද්දේ ප්රදේශයේ කම්කරුවන්, පීඩිතයන් හා තරුනයන් විසිනි. බොහෝ කොටස් සමග සසප ක්රියාමාර්ගය පැහැදිලි කිරීම සඳහා පලල් දේශපාලන සාකච්ඡාවක් ද උද්ඝෝෂනය තුල දී ගෙන යාමට සසප සමත් විය.
සසප මධ්යම කාරක සභික ආර්.එම්. ගුනතිලක රැස්වීමේ මුලසුන හෙබ වූ අතර සසප සාමාජික දයානන්ද, සුදර්ශන් හා මධ්යම කාරක සභික හා කම්කරු මාවත කර්තෘ කේ. රත්නායක රැස්වීම ඇමතූහ. සිංහල හා දෙමල භාෂාවලින් පැවැත් වූ එම කතාවලට රැස්වීමට සහභාගි වූවෝ අවධානයෙන් සවන් දුන්හ. මේ සමග පලවන්නේ එල්ටීටීඊ අත් අඩංගුවෙන් නිදහස් කර ගන්නා ලද රාජේන්ද්රන් සුදර්ශන් පැවැත් වූ කතාවේ කෙටි සටහනකි.
'විමුක්ති කොටි සංවිධානයේ අත් අඩංගුවෙන් අප නිදහස් කර ගැනීමට ලංකාව තුලත් ජාත්යන්තරවත් උද්ඝෝෂනයේ නිරත වුනු සියලු දෙනාට ම අපගේ ස්තුතිය පුද කරමු. ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය, කම්කරුවන්, බුද්ධිමතුන්, ප්රජාතන්ත්රවාදී අයිතීන් ගරු කරන සංවිධාන, හතර වන ජාත්යන්තරයේ ජාත්යන්තර කමිටුව, එහි ශාඛා සංවිධාන, ලෝකය පුරා සිටින ප්රජාතන්ත්රවාදී අයිතීන් ගරු කරන අය මේ උද්ඝෝෂනයට සම්බන්ධ වුනා. මේ උද්ඝෝෂනය නො තිබුනා නම් අපට නිදහස් වෙන්න ඉඩ ලැබෙන්නේ නැහැ.
'සම්බන්ධන්, නගුලේෂ්වරන් යන සහෝදරවරුන් එල්ටීටීඊය අත් අඩංගුවට ගත්තේ ජූලි 26 දා පෝස්ටර් අලවමින් සිටිද් දී. මා අත් අඩංගුවට ගත්තේ අගෝස්තු 1 දා. පසුව රාජවේල් සහෝදරයා අත් අඩංගුවට ගත්තා.
'එල්ටීටීඊ නායකයන් අප කරන්නේ මොනවාදැයි ඇසුවා. සිංහල-දෙමල කම්කරුවන් එක්සත් කරන්ට අප වැඩ කරනවා යයි අප පිලිතුරු දුන්නා. අප සටන් කරන්නේ ලෝක සමාජවාදී විප්ලවයේ ක්රියාමාර්ගයට බවත් දෙමල පීඩිත ජනතාවට විමුක්තිය අත්කර ගන්ට හැකි වන්නේ ඒ ක්රියා මාර්ගය යටතේ සටන් කිරීමෙන් බවත් අප ඔවුන්ට කීවා.
'පොදු පෙරමුනු ආන්ඩුව උග්ර කරන යුද්ධය නිසා මේ ප්රදේශයේ ජන ජීවිතය වැනසිලා. බොහෝ අය ඉන්නේ කැලෑවල. කෑමට අවශ්ය දේවල් හෝ බීමට අවශ්ය වතුර වත් නැහැ. එල්ටීටීඊයේ බෙදුම්වාදී ක්රියාමාර්ගයට අප එකඟ නෑ. එයින් දෙමල ජනයාගේ ප්රජාතන්ත්ර අයිතීන් දිනා ගන්න බෑ. ඔවුන් යටතෙත් මහජනයා මර්දනයට ලක් ව සිටිනවා.
'සමාජවාදී සමානතා පක්ෂය ගොඩනගා සිංහල-දෙමල කම්කරුවන් එක්සත් කර සමාජවාදී වැඩපිලිවෙල මත මෙහෙයවීම එකම ඉදිරි මාවත යි. පොදු පෙරමුනු ආන්ඩුවේ යුද්ධයෙන් පහර වදින මේ ප්රදේශයේ ජනතාවටත් ඇති එකම මාවත එය යි.'
sri-lanka-civil-war, SEP
