ආතති සහගත ඉන්දු-චීන දේශසීමා අර්බුදය මධ්‍යයේ, එක්සත් ජනපදය හා ඉන්දියාව මිලිටරි-ආරක්ෂක හවුල්කාරීත්වය වර්ධනය කර ගනිති

ඉන්දීය හා චීන භටයන් දස දහස් ගනනක් පටලැවී සිටින ආතති සහගත දේශසීමා අර්බුදය මධ්‍යයේ, ඉන්දියාව හා එක්සත් ජනපදය ඔවුන්ගේ විදේශ හා ආරක්ෂක අමාත්‍යවරුන්ගේ සමුලුවක් වන 2+2 සංවාදයේ තුන්වන අදියර අඟහරුවාදා (ඔක්තෝබර් 27) නව දිල්ලියේ දී පැවැත්වූ හ. එක්සත් ජනපද රාජ්‍ය හා ආරක්ෂක ලේකම්වරුන් වන මයික් පොම්පියෝ හා මාක් එස්පර් සහ ඉන්දියාව තුල ඔවුන්ට සම තනතුරු දරා සිටින සුබ්‍රමනියම් ජයිෂංකර් හා රාජ්නාත් සිං සහභාගි වූ රැස්වීමේ ප්‍රධාන ඉලක්කය වූයේ, සියල්ලට ඉහලින් චීනය ඉලක්ක කරගන්නා ඔවුන්ගේ රටවල මිලිටරි-මූලෝපායික හවුල්කාරීත්වය වැඩි දියුනු කර ගැනීම යි.

ජුනි මාසයේ ඉන්දියාවේ ශ්‍රී නගර්හි ඊසානදිග පිහිටි ගගන්ගීර්හි ශ්‍රී නගර්-ලඩක් මහා මාර්ගයේ ඉන්දීය හමුදා ආරක්ෂක භට ඛන්ඩයක් ගමන් කරද්දී කාෂ්මීරයේ බකර්වාල් සංචාරක එඬේර ජනයා ඇවිද යති. (ස්තුතිය: ඒපී ඡායාරූප/මුක්තාර් කාන්)

 බෙයිජිනයට එරෙහි වොෂින්ටනයේ මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට නව දිල්ලිය වඩ වඩා ඒකාග්‍ර කිරීම පිනිස, අගමැති නරේන්ද්‍ර මෝදි නායකත්වය දෙන ඉන්දීය ආන්ඩුව පසුගිය මැයි මාසයේ පුපුරා ගිය දේශසීමා අර්බුදය ගසා කා ඇත. කොවිඩ්-19 වසංගතය විසින් ප්‍රේරනය කරන ලද එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ලෝක තත්ත්වය වැඩි දුර ඛාදනය වීමට ප්‍රතිචාර ලෙස, චීනයට එරෙහි රාජ්‍ය-තාන්ත්‍රික, ආර්ථික හා මූලෝපායික පීඩනයේ උද්ඝෝෂනය නාටකාකාර ලෙස තීව්‍ර කරමින් ද න්‍යෂ්ටික අවිවිලින් සන්නද්ධ තම ප්‍රතිමල්ලවයාට එරෙහි සැලසුම් වේගවත් කරමින් ද සිටින ට්‍රම්ප් පරිපාලනය, පෙරලා ප්‍රතිචාර දැක්වීමට වැඩි යමක් කිරීමේ සූදානමින් සිට ඇත.

මෙය වනාහි ලබන සතියේ පැවැත්වෙන ජනාධිපතිවරනයේ ප්‍රතිඵලය නො තකා අඛන්ඩ ව ඉදිරියට යන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ද්වි-පක්ෂ පිලිවෙතකි.

මතභේදයට තුඩු දී ඇති හිමාලයානු දේශසීමාව අරබයා ඉන්දියාව හා චීනය අතර ඇති ගැටුම අඛන්ඩ ව පැතිරේ. ලෝකයේ ජනගහනය වැඩි ම රටවල් දෙක වෙන් කරනු ලබන කල්පනික දේශ සීමා රේඛාව අසල, භටයන් 50,000කට වැඩි පිරිසක් බලමුලුගන්වා, යුද යානා, මිසයිල හා ප්‍රති-මිසයිල කාලතුවක්කු ඉදිරියෙන් දිගේලි කිරීම පාර්ශව දෙක ම විසින් කර ඇත. ඉන්දියාව විසින් පාලනය කරන ලඩක් ප්‍රදේශය, චීන පාලනය යටතේ පවතින අකාසි චින් වෙත යාබද වන උතුර තුලට දේශසීමා ගැටුම දැනට ඉලක්ක වේ.

චීන “ආක්‍රමනය” හෙලාදකිමින් හා දැඩි ආස්ථානයක් අනුගමනය කිරීමට ඉන්දියාව පොලඹවමින්, වොෂින්ටනය මුල පටන් ම වර්තමාන අර්බුදයට ප්‍රකෝපකාරී ලෙස කඩා වැදී තිබේ. එසේ කිරීම මගින්, දැනට මත් දුසිම් ගනනකගේ මරනයට හේතු වී ඇති මෙම ගැටුම පූර්න පරිමාන යුද්ධයක් බවට වර්ධනය වීමේ අවදානම වොෂින්ටනය විසින් විශාල ලෙස ඉහල දමා ඇත. වොෂින්ටනයේ මෙම ආස්ථානය, නව දිල්ලිය විසින් දීර්ඝ කාලයක් තිස්සේ තම ආධිපත්‍යය යටතේ පවතින රාජ්‍යයක් ලෙස සලකා ඇති හිමාලයානු භූතාන රාජ්‍යය හා චීනය යන දෙරට ම විසින් හිමිකම් කියා පාන ඩොක්ලාම් සානුව අරබයා, ඉන්දීය හා චීන භටයන් දවස් 73ක් තිස්සේ එකිනෙකාට අවි අමෝරෝ සිටි 2017 දී එය ප්‍රසිද්ධියේ අනුගමනය කල මධ්‍යස්ථ පිලිවෙතින් සහමුලින් ම වෙනස් වේ.

එක්සත් ජනපද ආස්ථානය අවධාරනය කරන ඇමරිකානු නිලධාරීහු, එක්සත් ජනපදය විසින් චීනය හා එහි අසල්වැසි රටවල් අතර දේශසීමා අර්බුද අවුලුවමින්, බෙයිජිනයට එරෙහි ව නාවික හා මිලිටරි ප්‍රකෝපකරනයන් මාලාවක් ම සිදුකර ඇති දකුනු චීන මුහුදේ එහි ක්‍රියාවන්, ඉන්දියාවට එරෙහි චීනයේ “ආක්‍රමනයට” සම්බන්ධ කර  ඇත.

පොම්පියෝ හා එස්පර්ගේ සංචාරය, චීනයට එරෙහි වොෂින්ටනයේ යුද සැලසුම් තුලට ඉන්දියාව තව දුර ඒකාග්‍ර කර ගැනීම අතින් සාර්ථක විය. බොහෝ කාලයක් තිස්සේ සාකච්ඡා කරන ලද මූලික හුවමාරු හා සහයෝගිතා ගිවිසුමට (බීඊසීඒ) වොෂින්ටනය හා නව දිල්ලිය ඔක්තෝබර් 27දා අත්සන් තැබූ හ. ඉහල පෙලේ මිලිටරි තාක්ෂනය, රහස්‍ය චන්ද්‍රිකා හා අනෙකුත් තොරතුරු දෙරට අතර හුවමාරු කර ගැනීමට එමගින් ඉඩ ලබා දෙනු ඇත. බීසීඊඒ ගිවිසුම පරිසමාප්ත කිරීම, එක්සත් ජනපදයේ නිෂ්පාදිත ප්‍රිඩේටර් ඩ්‍රෝන් යානා අත් පත් කර ගැනීමට ඉන්දියාවට දොර විවෘත කරමින්, නිරවද්‍ය මිසයිල හා ඩ්‍රෝන් ඉලක්ක සඳහා අවශ්‍ය කරන භූ-අවකාශීය තොරතුරු වොෂින්ටනය හා නව දිල්ලිය අතර බෙදා හදා ගැනීමට ඉඩ දෙනු ඇත.

සමූහ ඩ්‍රෝන් ප්‍රහාරවල දී යොදා ගනු ඇත්තා වූ කුඩා ඩ්‍රෝන් යානා නිෂ්පාදනය කිරීම ඇතුලු ආයුධ වර්ධනය කිරීමේ ව්‍යාපෘති හා පුලුල් පරාසයක ආයුධ ගනුදෙනු ගැන ද දෙපාර්ශවය සාකච්ඡා කල බව වාර්තා වේ. අගෝස්තු අග දී භටයන් දහස් ගනනක් සම්බන්ධ වූ ප්‍රකෝපකාරී මෙහෙයුමේ දී අල්ලා ගනු ලැබූ ඉන්දු-චීන දේශසීමාවේ පිහිටි දුරස්ථ කඳු මුදුන් ඇතුලු වාසයට නුසුදුසු හිමාලයානු භූමි ප්‍රදේශ තුලට භටයන් දිගේලි කල හැකි වන පරිදි තියුනු-ශීත සෘතු සටන් ආම්පන්නවල හදිසි අවශ්‍යතාව ඉන්දියාව අවධාරනය කල බව මාධ්‍ය වාර්තා මගින් ඇඟවීය.

එක්සත් ජනපදය හා ඉන්දියාව “චීන කොමියුනිස්ට් පක්ෂයෙන් එන සියලු ආකාරවල තර්ජනයන්ට එරෙහි ව සහයෝගිතා පියවර ගනිමින් සිටිනවා. ... චීන කොමියුනිස්ට් පක්ෂය, නිදහස් හා සෞභාග්‍යමත් ඉන්දු-පැසිෆික් කලාපයක පදනම (වන) නාවික නිදහසේ, ප්‍රජාතන්ත්‍රවාදයේ හා නීතියේ පාලනයේ මිත්‍රයෙක් නො වන බව අපේ නායකයන් හා අපේ පුරවැසියන් වඩ වඩා පැහැදිලි ව දැක ගන්නවා” යි සාකච්ඡාවලින් අනතුරු ව පොම්පියෝ කියා සිටියේ ය.

“ඉන්දියාවේ ජනතාව ඔවුන්ගේ ස්වෛරීත්වයට හා ඔවුන්ගේ විමුක්තියට එල්ල වන තර්ජනවලට මුහුන දෙද්දී, එක්සත් ජනපදය ඔවුන් සමග සිට ගන්නවා” යි ප්‍රකාශ කිරීම දක්වා ඉදිරියට ගිය පොම්පියෝ, ජුනි 15දා සවස “ගෝලාන් නිම්නයේ දී චීන මහජන විමුක්ති හමුදාව විසින් මරා දමන ලද” ඉන්දීය සොල්දාදුවන්ට ගෞරව කිරීම පිනිස තමන් ජාතික යුද ස්මාරකය වෙත ගිය බව සඳහන් කලේ, යලිත් සිතා මතා ම බෙයිජිනය ඉලක්ක කර ගනිමිනි.

2+2 සාකච්ඡාවලට “දේශපාලනික මිලිටරි” අන්තර්ගතයක් තිබුනු බව ඉන්දීය විදේශ ඇමති ජයිෂංකර් කීවේ ය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග ඉන්දියාවේ වැඩෙන හවුල්කාරීත්වයට ගෝලීය ව්‍යාප්තියක් තිබෙන බව විස්තර කරමින් ඔහු මෙසේ කීවේ ය: “වඩ වඩා බහු-ධ්‍රැවීය වන ලෝකයක අපගේ ජාතික ආරක්ෂක අභිසරනයන් පැහැදිලි ව ම වර්ධනය වී තිබෙනවා. හුදෙක් අපගේ ම අවශ්‍යතා ඉදිරියට දැමීමට මෙන් ම, ලෝක තලය තුල දී අපගේ ද්වි-පාර්ශවීය සහයෝගිතාව ධනාත්මක ප්‍රතිපදානයක් කරනු ඇතැයි තහවුරු කර ගැනීමට අද දින අප මුන ගැසෙනවා.”

ඉන්දියාව සමග වඩ වඩා සමීප මිලිටරි-මූලෝපායික හවුල්කාරීත්වයක් සඳහා වොෂින්ටනය දෙන තල්ලුව පිටුපස තිබෙන මූලික සාධකයක් වන්නේ, චීනයට එරෙහි මූලෝපායික ප්‍රහාරයේ දී එක්සත් ජනපදය ඉන්දියන් සාගරයට දෙන කේන්ද්‍රීය වැදගත්කම යි. චීනයේ අපනයන වෙලඳාමටත්, තෙල් හා අනෙකුත් අමු ද්‍රව්‍ය ආනයනයනුත් ගමන් කරන වැදගත් මුහුදු මාර්ග වැටී තිබෙන්නේ ඉන්දියන් සාගරය හරහා ය.

ඉන්දියන් සාගරය හරහා ගමන් කරන ගුවන් යානා ගෙන යන එක්සත් ජනපද සටන් කන්ඩායම් සමග ක්ෂනික අභ්‍යාස දෙකක් සංවිධානය කරමින්, වොෂින්ටනයේ දීර්ඝ-කාලීන අපේක්ෂාවක් වන, ඉන්දු- එක්සත් ජනපද ඒකාබද්ධ නාවික මුර සංචාර ඉන්දියන් සාගරය තුල මෑත සති කිහිපයේ පැවැත්වීම පිනිස ඉන්දියාව වැදගත් ආරම්භක පියවරක් ගෙන ඇත.

ආසියා-පැසිෆික් කලාපය තුල චීනයට එරෙහි ව එක්සත් ජනපදය නායකත්වය දෙන ආරක්ෂක සන්ධානය තුලට ඉන්දියාවේ තව දුර ඒකාග්‍ර වීම සංඥා කරමින්, ලබන මාසයේ පැවැත්වීමට නියමිත වාර්ෂික මලබාර් නාවික අභ්‍යාසයට සහභාගි වන ලෙස නව දිල්ලිය ගිය සතියේ ඕස්ට්‍රේලියාවට ඇරයුම් කලේය.

එක්සත් ජනපදය හා එහි ප්‍රධාන ආසියා-පැසිෆික් සගයන් දෙදෙනා වන ජපානය හා ඕස්ට්‍රේලියාව සමග ඉන්දියාව පවත්වන පලමු ඒකාබද්ධ මිලිටරි අභ්‍යාසය මෙය වනු ඇත. එම රටවල් අතර ම පවතින ඒකාබද්ධ ආරක්ෂක සංවාදයක් වන, එක්සත් ජනපදය නායකත්වය දෙන ක්වොඩ් සන්ධානය නැටෝව පන්නයේ මිලිටරි සන්ධානයක් බවට දොර විවෘත කිරීමක් ලෙස එය පලල් ව සලකනු ලැබේ. චීනය හතුරුකර ගැනීමේ භීතිය හේතුවෙන් ඉන්දියාව මීට කලින් ඕස්ට්‍රේලියාවට ආරාධනා කිරීමට අදිමදි කර තිබුනි.

ආසියා-පැසිෆික් කලාපය පුරා ඉන්දු-එක්සත් ජනපද මිලිටරි සහයෝගීතාවේ පලල් ව්‍යාප්තිය ගැන සඳහන් කරමින් එස්පර් මෙසේ කීවේ ය: “අනාගතය සඳහා නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් පිලිබඳ මූලධර්මය දිරිගැන්වීම සහ දිනයේ අභියෝගයන්ට මුහුන දීම පිනිස අපේ සහයෝගිතාව ආයතනගත කිරීමට හා විධිමත් කිරීමට අපේ අවධානය යොමු විය යුතු යි.” වර්ධනය වන මෙම මිලිටරි සබඳතාවන්ගේ කොටසක් ලෙස, රුසියාව වෙනුවට එක්සත් ජනපදයේ සංගත වෙතින් වඩ වඩා ආයුධ මිලට ගන්නා ලෙස වොෂින්ටනය නව දිල්ලියට තල්ලුව දෙමින් සිටී. 2007 පටන් ඉන්දියාව ඩොලර් බිලියන 21ක් වටිනා එක්සත් ජනපදයේ තනන ලද මිලිටරි උපකරන මිලට ගෙන ඇත.

කොවිඩ්-19 වසංගතය විසින් ගැඹුරු කර ඇති වැඩෙන ආර්ථික අර්බුදයකට හා ඉහල නගින සමාජ විරෝධයකට මුහුන දෙන මෝදි ආන්ඩුව, “වෙලඳපාල-ගැති” නව ලිබරල් “ප්‍රතිසංස්කරන” සහ 1991 පටන් ඉන්දියාවේ ධනේශ්වරය හා එහි සෑම ආන්ඩුවක් විසින් ම ලුහු බැඳ යන මූලෝපායික දිශානතිය වන එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග සමීප සබඳතා ලුහු බැඳීම දෙගුන තෙගුන කරමින් සිටී.

කම්කරු නීති විනාශ කිරීම, රාජ්‍ය වත්කම් හැල්මේ විකුනා දැමීම සහ කුඩා ගොවීන්ගේ වියදමින් කෘෂි ව්‍යාපාර වැඩි දියුනු කිරීමේ පියවර ගැනීම ඇතුලු ආයෝජක-ගැති ප්‍රතිසංස්කරන “පිමිවලින් ඉහල නැංවීමක්” මෝදි හා ඔහුගේ භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව විසින් ආරම්භ කර ඇත. ඒ අතර ම, ඉන්දියානු ධනේශ්වරයේ කොල්ලකාරී මහා බල අභිලාෂයන් ලුහු බැඳීමේ දී හා රට තුල කැරලිකාරී වන කම්කරු පන්තියට එරෙහි ව එහි හස්තය ශක්තිමත් කර ගැනීමේ දී, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ කනිෂ්ට සහකරුවෙක් හා චීන-විරෝධී පෙරමුනු රාජ්‍යයක් ලෙස ඉන්දියාවේ භූමිකාව ශක්තිමත් කර ගැනීමේ ව්‍යායාමයක මෝදි ආන්ඩුව යෙදී සිටී.

චීනයට විකල්ප නිෂ්පාදන-දාම මධ්‍යස්ථානයක් ලෙස ඉන්දියාව යොදා ගන්නා මෙන් ඇමරිකානු හා බටහිර සමාගම්වලට පීඩනය යෙදීමේ දී, ඉන්දියාවට සහයෝගය දෙන බවට වොෂින්ටනය පොරොන්දු වී ඇත. අර්ථභාරී ලෙස, මෙම සැලසුමේ මූලාංගයක් ලෙස නව දිල්ලිය හා වොෂින්ටනය යන දෙක ම විසින් දැක ගන්නේ යුද්ධෝපකරන නිෂ්පාදනය යි. ඉන්දියාවේ ලාබ ශ්‍රමය සූරාකෑමට නො ඉවසිලිමත් වොෂින්ටනය, තමන්ගේ කොල්ලකාරී මූලෝපායික න්‍යාය පත්‍රයට ඉන්දියාව ගැට ගසා ගැනීමේ වැඩි දුර යාන්ත්‍රනයක් ලෙස විස්තෘත ආයෝජන යොදා ගැනීමට ද අපේක්ෂා කරයි.

සමීප ඉන්දු-එක්සත් ජනපද සහයෝගිතාව හා ඒකාබද්ධ ක්‍රියා සඳහා රාමුවක් නිර්මානය කිරීම පිනිස වොෂින්ටනය ඉන්දියාව මත පීඩනය යොදා ඇති “ආරම්භක” ගිවිසුම් හතරේ අවසන් එක බීඊසීඒ ගිවිසුම යි. පලමු ආරම්භක ගිවිසුම වන මිලිටරි තොරතුරු පිලිබඳ පොදු ආරක්ෂක ගිවිසුමට (ජීඑස්ඕඑම්අයිඒ) 2002 දී අත්සන් තබන ලදී. එක්සත් ජනපදය ඉන්දියාව සමග බෙදා හදා ගන්නා වැදගත් තොරතුරු ආරක්ෂා කිරීමේ ආරක්ෂක ප්‍රමිතීන් එමගින් තහවුරු කලේ ය. වොෂින්ටනයේ නැටෝ හා ඕස්ට්‍රේලියාව වැනි නැටෝවට අයත් නො වන සමීප සගයන්ට පමනක් සීමා වන තාක්ෂනික ව උසස් එක්සත් ජනපද ආයුධ වර්ග මිල දී ගැනීම සඳහා ඉන්දියාවට අවසර දෙමින්, එක්සත් ජනපදය 2016 දී ඉන්දියාව “ප්‍රධාන ආරක්ෂක හවුල්කරුවෙක්” ලෙස නම් කලේ ය.

පෙන්ටගන් යුද යානා හා යුද නැව්වලට ඉන්දියානු කඳවුරු වෙතට හා අනෙක් අතට ප්‍රවේශ වීමේ ඉඩ ලබා දුන් දෙවන ආරම්භක ගිවිසුම වන ප්‍රවර්ධන හුවමාරු අවබෝධතා ගිවිසුමට (ලෙමෝවා) වොෂින්ටනය හා නව දිල්ලිය 2016 දී අත්සන් තැබූ හ. දෙරටෙහි මිලිටරීන් අතර අන්තර්-මෙහෙයුම්වලට හා ඉහල පෙලේ එක්සත් ජනපද තාක්ෂනය ඉන්දියාවට විකිනීමට හැකියාව සම්පාදනය කරන තුන්වන ආරම්භක ගිවිසුම වන සන්නිවේදන සැසඳුම් හා ආරක්ෂක ගිවිසුමට (කොම්කාසා) ඔවුහු 2018 දී අත්සන් කල හ.

මෝදි හා ඔහුගේ හින්දු අධිපතිවාදී බීජේපීය බලයට පැමිනීමෙන් මාස අටකට පසුව 2015 ජනවාරියේ සිදු කල ප්‍රධාන මාරුවක දී, දකුනු චීන මුහුදු අර්බුදය පිලිබඳ එක්සත් ජනපද ආස්ථානය අනුමත කල ඉන්දියාව, එතැන් පටන් එය ප්‍රතිරාවය කර ඇත. අපේක්ෂා කල හැකි වූ පරිදි ම පොම්පියෝ-එස්පර් සංචාරය අවසානයේ නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය මෙම කරුන ඉස්මතු කලේ ය.

ඉන්දියාවට පැහැදිලි මූලෝපායික වාසියක් ගෙන දෙමින්, කාෂ්මීරයේ ඉන්දියාව පාලනය කරන ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගේ මහජන අතෘප්තිය හා එහි පවතින අඛන්ඩ ඉස්ලාමීය බෙදුම්වාදී කැරලිකාරීත්වය පිලිබඳ ව නව දිල්ලිය සියලු වරද පටවන ඉන්දියාවේ ඓතිහාසික ප්‍රතිමල්ලවයා වන පකිස්තානයට කරන අනතුරු ඇඟවීම් ද ඒකාබද්ධ ප්‍රකාශය තුල අඩංගු විය. “ත්‍රස්තවාදී කුලීකාර හමුදාවන් යොදා ගැනීම” හෙලා දුටු ප්‍රකාශය, “දේශසීමා හරහා සිදු වන සියලු ආකාරයන්ගේ ත්‍රස්තවාදය දැඩි ලෙස හෙලා දකින” බව සඳහන් කලේ ය. පකිස්තානය “යටතේ පවතින කිසිදු භූමි ප්‍රදේශයක් ත්‍රස්තවාදී ප්‍රහාර සඳහා යොදා ගැනීම වලක්වන” බවට තහවුරු කිරීම පිනිස “ක්ෂනික, අඛන්ඩ හා ආපසු නොහරවන ක්‍රියා මාර්ග” ගන්නා ලෙසත්, “26/11 (ඉන්දියානු පාර්ලිමේන්තුවට එල්ල වූ ප්‍රහාරය), මුම්බායි, ඌරි හා පතන්කොට්හි  ප්‍රහාර ඇතුලු එවැනි සියලු ප්‍රහාරවලට වගකිව යුත්තන් හා සැලසුම්කරුවන් කඩිනමින් නීතිය හමුවට ගෙන එන ලෙස” එය පකිස්තානයට බල කලේ ය.

එක්සත් ජනපදය සමග වැඩෙන නව දිල්ලියේ මිලිටරි-මූලෝපායික හවුල්කාරීත්වයටත්, චීනයට එරෙහි ආක්‍රමනශීලී ආස්ථානයටත් සමස්ත ඉන්දීය පාලක ප්‍රභූව පිටුබලය දෙමින් සිටී. “චීන ආක්‍රමනය” වැලැක්වීමට මෝදිගේ ආන්ඩුව ඇති තරම් ක්‍රියා කොට නැතැයි චෝදනා කරමින්, ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය මෝදිට යලි යලිත් දකුනින් පහර දී ඇත. ඉන්දු-එක්සත් ජනපද සන්ධානයට විරුද්ධ යයි ප්‍රකාශ කරන අතර ම, ස්ටැලින්වාදී ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය (සීපීඑම්), බීජේපීයට එරෙහි “ප්‍රජාතන්ත්‍රවාදී, අනාගමික” විකල්පයක් ලෙස එය විසින් හුවා දක්වන කොංගස් පක්ෂය සමග එහි සන්ධානය ගැඹුරු කරමින් සිටී. ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යටතේ පැවති එක්සත් ජනපදය සමග “ගෝලීය මූලෝපායික හවුල්කාරීත්වයක්” පලමු වරට වාත්තු කර ගත්තේ, 2014 මැයි මාසයේ මෝදි තේරී පත්වීමට පෙර දශකයක් බලයේ සිටි කොංග්‍රස් පක්ෂය නායකත්වය දුන් එක්සත් ප්‍රගතිශීලී සන්ධාන (යූපීඒ) ආන්ඩුව යි.

පොම්පියෝ හා එස්පර් ඉන්දියාවට කල සංචාරය, දකුනු ආසියාවේ ආන්ඩු චීනයට එරෙහි එක්සත් ජනපදයේ යුද ධාවනයට ඒකාග්‍ර කර ගැනීමටත්, ඉන්දියන් සාගරය හා විශේෂයෙන් ම ඉන්දියන් සාගරයේ විවිධාකාර මුරපොලවල් චීනයට එරෙහි ඕනෑම ආර්ථික සම්බාධකයක දී හෝ යුද්ධයක දී මූලික රංග භූමියක් බවට පත් කර ගැනීමටත් එක්සත් ජනපදය ගෙන යන පලල් ධාවනයක කොටසකි.

අඟහරුවාදා සවස ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගුවනින් පැමිනි පොම්පියෝ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා විදේශ ඇමති දිනේශ් ගුනවර්ධන සමග බදාදා සාකච්ඡාවල නිරත විය. එතැනින් ඔහු ශ්‍රී ලංකාව මෙන් ම ඉන්දියන් සාගරයේ ප්‍රධාන මුහුදු මාර්ගවලට යාබද ව පිහිටි, දූපත් දහසකින් සැදුම් ලත් කුඩා රාජ්‍යයක් වන මාල දිවයිනට පියාසර කලේ ය. සැප්තැම්බරයේ දී වොෂින්ටනය මාල දිවයින සමග ආරක්ෂක ගිවිසුමක් නිවේදනය කලේ ය. ඉන්දියාව සිය පසුමිදුල ලෙස සලකන රාජ්‍යය තුල එක්සත් ජනපදය මූලෝපායික අවකාශයක් ලබා ගැනීමෙන් අතීතයේ දී වැලැක්වීමට උත්සාහ දරා තිබුනු නමුත්, මෙම ගිවිසුම සඳහා තමන්ගේ ශක්තිමත් සහයෝගය ප්‍රකාශ කල අතර, එම ගිවිසුමේ විස්තර ප්‍රසිද්ධියේ හෙලිදරව් කර ඇත්තේ අල්ප වසයෙනි.

[මෙම ලිපිය ඔක්තෝබර් 29 දින ඉංග්‍රීසි භාෂාවෙන් පල විය. ]

Loading