ශ්‍රී ලංකාවේ අයවැය: මහ ව්‍යාපාරිකයට දැවැන්ත බදු සහන සහ වැඩ කරන ජනයා මත උග්‍ර බර පැටවීම්

කොරෝනා වෛරස් වසංගතය මගින් තීව්‍ර කරන ලද පිපිරෙමින් පවතින ආර්ථික බිඳ වැටීමක් මධ්‍යයේ, ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිවරයා ද වන අගමැති මහින්ද රාජපක්ෂ, නොවැම්බර් 17දා, 2021 වසර සඳහා අයවැය ඉදිරිපත් කලේ ය. නය පැහැර හැරීමේ අද්දර සිටින ආන්ඩුව, ඉදිරි වසර පහ සඳහා වසරකට ඩොලර් බිලියන 4.5ක වාර්ෂික නය ආපසු ගෙවීමේ අවශ්‍යතාවට මුහුන දෙයි.

දෙසැම්බර් 10දා පාර්ලිමේන්තුවේ දී ඡන්දයට ඉදිරිපත් කිරීමට නියමිත, “සංවර්ධන අයවැයක්” ලෙස ව්‍යාජ ව නම් කරනු ලබන මෙම අයවැයෙන්, කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන කොන්දේසි මත වැඩිදුර ප්‍රහාර පටවන අතර, විදේශ ආයෝජන ඉහල දමා ගැනීමට හා ධනවතුන් තවත් ධනවත් කිරීමට සැලසුම් කර තිබේ.

ඊ ලඟ වසරේ අයවැය වියදම රුපියල් ට්‍රිලියන 3.5 තෙක් ඉහල යද්දී, තක්සේරුගත ආදායම රුපියල් ට්‍රිලියන 2ක් පමන වේ. දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට නවයක් හෙවත් රුපියල් ට්‍රිලියන 1.5ක් වන අයවැය හිඟයට මුදල් සම්පාදනය කරගනු ඇත්තේ, විදේශීය හා දේශීය නය මගින් වැඩ කරන ජනයා මත බදු ඉහල දැමීම මගිනි.

ගෝඨාභය රාජපක්ෂ (ස්තුතිය: ඒපී ඡායාරූප)

ජාත්‍යන්තර ආයෝජකයන්ට හා රටෙහි මහ ව්‍යාපාරිකයට ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති බදු සහනවලට පහත ඒවා ඇතුලත් වේ:

*දැනට සියයට 28ක් වන පුද්ගල හා සංගත ආදායම් බදු, නිෂ්පාදන අංශ සඳහා සියයට 18 දක්වා ද වෙලඳ හා මූල්‍ය අංශවලට සියයට 24 දක්වා ද අඩු කෙරෙනු ඇත.

*අපනයන, කිරි, රෙදිපිලි, සංචාරක හා කෘෂිකාර්මික නිෂ්පාදන සහ තොරතුරු තාක්ෂන අංශවල ඩොලර් මිලියන 10 ඉක්මවන සියලු ආයෝජනවලට වසර දහයක බදු සහන කාලයක් හිමි වේ.

*තම ව්‍යාපාර මත, කොටස් වෙලඳපොලේ හෝ ශ්‍රී ලංකාවේ සුරැකුම්පත් මත තම ලාභාංශ ආයෝජනය කරන විදේශ සංගතවලට වසර තුනක බදු සහන හිමි වේ. ඩොලර් මිලියන 100ක මිල දී ගැනීම්වලට යටත්ව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳුම්කර මිලදී ගන්නා වානිජ බැංකු වල ප්‍රාග්ධන මත ලාභ හා පොලී, ආදායම් බදු වලින් නිදහස් කෙරේ.

* කෘෂිකර්මාන්තය, පශු සම්පත් කර්මාන්තය, මත්ස්‍ය ගොවිතැන හා තොරතුරු තාක්ෂනය මත පුද්ගලික හා සංගත බදු අය කිරීම අහෝසි කරනු ලැබේ.

*කොලඹ කොටස් හුවමාරුව මත ලැයිස්තුගත කෙරී ඇති සියලු දේශීය සමාගම් සඳහා සියයට 50ක බදු සහනයක් වසර තුනක් යන තෙක් හිමි වේ.

* අයවැය මගින් පහසුකම් ලබා දෙන ආයෝජන සිදු කිරීමට, සඟවන ලද දේශීය හෝ ජාත්‍යන්තර අරමුදල් සඳහා සියයට එකක බද්දක් පැනවෙන අතර, එය “මුදල් විශුද්ධිකරනය” වැඩිදුර දිරිමත් කරන පියවරකි.

බදු සහන පිලිබඳ ව උද්දාමයට පත් වූ රටෙහි ප්‍රමුඛ මහ ව්‍යාපාරික කන්ඩායම වන ලංකා වානිජ මන්ඩලය, “ආයෝජන සඳහා වන බදු සහන සාදරයෙන් පිලිගන්නා” බව කියමින්, “ප්‍රශංසනීය යෝජනා” නිසි කලට ක්‍රියාත්මක කරන්නැයි කැඳවුම් කලේ ය. අයවැය සැලසුම් සම්බන්ධයෙන් “අතිශයින් ම සොම්නසට පත් වන” බව කියා සිටි රෙදිපිලි කර්මාන්තකරුවන්ගේ ප්‍රකාශ, සන්ඩේ ටයිම්ස් පත්‍රය තුල උපුටා දක්වනු ලැබී ය.

ජාතික හදිසි සෞඛ්‍ය තත්ත්වයක් පුපුරා යාමේ අන්තරාය මතු කරමින් ශ්‍රී ලංකාව පුරා කොවිඩ්-19 වසංගතය දිගට ම පැතිර යද්දී, දිවයිනේ ගරා වැටුනු සෞඛ්‍ය පද්ධතිය පිරියම් කිරීමට හෝ දුගීන් සඳහා ප්‍රමානවත් මූල්‍ය උපකාර සඳහා නව අරමුදල් වෙන් කොට නැත.

2019 දී රුපියල් බිලියන 187ක් වූ සෞඛ්‍ය අංශයේ ප්‍රතිපාදනය, 2020 දී බිලියන 159 දක්වා දැනටමත් අඩු කර ඇත. මහජන විවේචනයෙන් ගැලවීමට රාජපක්ෂ පාලන තන්ත්‍රය, රුපියල් බිලියන 18ක සොච්චම් අතිරේක මුදලක් යෝජනා කරයි.

කොවිඩ්-19 නිරෝධායනය හේතුවෙන් අහිමිවන ජීවිකාවන් වෙනුවෙන් වන්දි ගෙවීමේ “රක්ෂන යෝජනා ක්‍රමයක්” සඳහා, පුද්ගලයින් 50ට වැඩි දෙනෙකු සේවයේ යොදවන ව්‍යාපාර මත සියයට 0.25ක බද්දක් පනවනු ලැබේ. එහෙත් මෙම යෝජනාව, බලපෑමට ලක්වූ පවුල් වෙත ගෙවනු ලැබිය හැකි මුදල සඳහන් කර නැත.

දැනට පවුල් සඳහා රුපියල් 5,000ක සොච්චමක් ගෙවනු ලැබේ. ප්‍රමානවත් සහනාධාර නො සැපයීම සම්බන්ධ ව ආන්ඩුව හෙලා දකිමින්, පසුගිය දින කිහිපයේ දී කොලඹ දුගීන් ජීවත් වන ප්‍රදේශවල විරෝධතා පුපුරා ගොස් ඇත.

ජනවාරියේ දී නව විශේෂ භාන්ඩ හා සේවා බද්දක් (ජීඑස්ටී) හඳුන්වා දෙනු ලැබේ. එසේ වෙතත් එම බදු රේට්ටු කොපමන වනු ඇද්දැයි ඉඟියක් පල කර නැත. අයවැය කතාවට අනුව, දැනට මත්පැන්, සිගරැට් හා සූදු මත ක්‍රියාත්මක වන මෙම බදු, දුගීන්ට බලපාමින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කරා ද විස්තාරනය කරනු ලැබිය හැකි ය. භාන්ඩ මිල ඉහල දමනු ලැබූ, භාන්ඩ හා සේවා බද්ද (වැට්) මෙන්ම, විශේෂ භාන්ඩ බදු දිගට ම ක්‍රියාත්මක කරනු ලැබේ.

පුද්ගලික අංශයේ පිරිමින් හා ගැහැනුන් යන දෙපාර්ශ්වයේම විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා ඉහල දැමීම පිනිස සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට ආන්ඩුව සැලසුම් කරන බව රාජපක්ෂ පාර්ලිමේන්තුවට කීවේ ය. එම වයස් දැනට පිලිවෙලින් 55ක් හා 50ක් වේ. මෙම පියවරෙහි ඉලක්කය වන්නේ, විශ්‍රාම ලබන විට කම්කරුවන්ට ගෙවනු ලබන අර්ථසාධක අරමුදල්, ප්‍රධාන වසයෙන් කොටස් වෙලඳපොලේ ආයෝජනය කිරීම පිනිස තවත් වසර පහේ සිට දහයක් යන තෙක් රාජ්‍යය අත තබා ගැනීම යි.

වතු කම්කරුවන් අතර වැඩෙන කෝපය මධ්‍යයේ, ඉතා අඩු වැටුපක් ලබන එම කම්කරුවන්ගේ දීර්ඝ කාලීන ඉල්ලීමක් වන දෛනික වැටුප රුපියල් 1,000 දක්වා වැඩි කරන බව, මුහුන බේරා ගැනීමේ පියවරක් ලෙස, රාජපක්ෂ සඳහන් කලේ ය. නමුත් එය ක්‍රියාත්මක කරන්නේ කවදාද කෙසේද යන්න රාජපක්ෂ කීවේ නැත. එලෙස වැටුප් වැඩි කිරීමට “ආන්ඩුවේ ආධාර නො ලැබෙන්නේ නම්,” මෙම වැටුප් වැඩි කිරීමට තමන් එකඟ නො වන බව මාධ්‍ය වෙත ප්‍රකාශ කල වැවිලිකරුවන්ගේ සංගමය, ක්ෂනික ව එම යෝජනාව විවේචනය කලේ ය.

රාජ්‍ය අංශයේ කම්කරුවන්ට කිසිදු වැටුප් වැඩි කිරීමක් සිදු කිරීම ප්‍රතික්ෂේප කල රාජපක්ෂ, වැඩ කරන වේලාවෙන් පසුව එම කම්කරුවන්ට “වෙනත් රැකියාවල නිරත වීමට” අවසර දිය යුතු බව අවඥා සහගත ලෙස ප්‍රකාශ කලේ ය.

2019 දී රුපියල් බිලියන 166ක් වූ අධ්‍යාපන පිරිවැය රුපියල් බිලියන 126 දක්වා අඩු කිරීමට ආන්ඩුව සැලසුම් කරන්නේ, නිදහස් අධ්‍යාපනයට එරෙහි ව පුද්ගලික අංශය දිරිමත් කිරීම සඳහා තවත් පැහැදිලි පියවරක් ගනිමිනි.

රාජපක්ෂගේ අයවැය ඉදිරිපත් කිරීමේ දී, නම් සඳහන් නො කරමින් “මූලෝපායික නො වන රාජ්‍ය ව්‍යවසායයන් විකුනා දමා” රාජ්‍ය අංශය තුල “අවශ්‍ය ප්‍රතිසංස්කරන” සිදු කිරීම පිලිබඳව කතා කලේය. එහි අර්ථය වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යලි යලිත් විධානය කරන පරිදි පුද්ගලීකරනය ඉදිරියට ගෙනයාම හා රාජ්‍ය අංශය කප්පාදු කිරීම යි. “ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක්” හරහා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් හි රැකියා 700ක් විනාශ කරන බව බලධාරීහු පසුගිය සතියේ නිවේදනය කල හ.

සෞඛ්‍ය හා අධ්‍යාපන පිරිවැය කප්පාදු කරන අතර, 2019 දී රුපියල් බිලියන 393ක් වූ ආරක්ෂක හා පොලිස් ප්‍රතිපාදනය 2021 දී බිලියන 440 දක්වා වැඩි කිරීමට ආන්ඩුව සැලසුම් කරයි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි 30-අවුරුදු වාර්ගික යුද්ධය අවසන් වුනු තැන් පටන්, ශ්‍රී ලංකාවේ සෑම ආන්ඩුවක් ම, ආරක්ෂක වියදම ඉහල දමා තිබේ.

මිලිටරිය හා පොලීසිය සඳහා කෙරෙන නව්‍යතම පිරිවැය ඉහල දැමීම, තමන්ගේ පරිපාලනය මිලිටරීකරනය කිරීම තීව්‍ර කරමින්, කම්කරු පන්තිය මත කඩාපැනීම සඳහා ජනාධිපති ආඥාදායකත්වයක් වෙතට මාරු වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගන්නා පියවර සමග එක පෙලට පිහිටයි.

අයවැය කතාව පැවැත්වූ දිනයේ ම, සිරගත කිරීම, දඩ ගැසීම හා නීතිය කඩ කල හොත් දේපොල රාජසන්තක කිරීමට තර්ජනය කරමින්, ජනාධිපති රාජපක්ෂ වරාය කම්කරුවන්ට එරෙහි ව විෂඝෝර අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පනත යොදා ගත්තේ ය. වරායවල කොවිඩ්-19 ආසාදන ප්‍රමානයන් ඉහල යාම නො තකා දිගට ම වැඩ කිරීමට කම්කරුවන් විරෝධය දැක්වීම ඇරඹීමත් සමග, කොලඹ වරාය කම්කරුවන් මත මෙම නව පියවර පටවන ලදී.

වසංගතය විසින් ඇති කරන ලද කඨෝර ආදායම් කප්පාදුවලින්, මිලියන ගනන් කම්කරුවන් හා ඔවුන්ගෙන් යැපෙන්නන්, සංචාරක හා ඇඟලුම් කර්මාන්තවල, කුඩා ව්‍යාපාරවල හා ස්වයං-රැකියාවල යෙදෙන්නන් සහ ගම්බද දුගීන් පීඩා විඳී. රාජපක්ෂ මෙම කම්කරුවන්ට කිසිදු මූල්‍යමය ආධාරයක් යෝජනා කොට නැත.

ඊට විපරීත ව, ප්‍රධාන බැංකු ඇතුලු මහා ව්‍යාපාර, වසංගතය සමයේ ලාභ ඉහලයාම් නිවේදනය කර ඇත. උදාහරනයක් ලෙස, හේලීස් සමූහය පසුගිය වසරට සාපේක්ෂ ව සැප්තැම්බරය දක්වා ගෙවුනු හය මස තුල සියයට 600ක ශුද්ධ ලාබයක් නිවේදනය කර ඇති අතර, ජංගම සන්නිවේදන සේවා දැවැන්තයෙක් වන ඩයලොග් සංගතය, සැප්තැම්බරය තෙක් ගත වූ මාස තුන තුල පෙර වසරට සාපේක්ෂ ව සියයට 100කට අධික ලාභ ඉහල යාමක් වාර්තා කරමින් රුපියල් බිලියන 4.8 දක්වා ලාභය ඉහල දමා ගත්තේ ය.

පසුගිය සතියේ පැවති අයවැය විවාදවල දී, පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ, හිස් රඟපෑමක නිරත වුනු අතර, ධනවතුන්ගේ බදු කපන හා කම්කරුවන් හා දුගීන් මත කප්පාදු පියවර පටවන ආන්ඩුවේ පිලිවෙතට විකල්පයක් ඉදිරිපත් කලේ නැත.

ආන්ඩුවේ “සෞභාග්‍යයේ දැක්ම” නමැති මැතිවරන ප්‍රකාශය අයවැය තුල පිලිබිඹු නො වන බව සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කලේ ය. කොරෝනා වෛරසයේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය බිඳ වැටෙමින් තිබෙන බවට ශෝකය පල කල ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක, ආන්ඩුවේ “ආර්ථික මූලෝපායන් වැරදි” යැයි කීවේ ය.

සති දෙකකට පෙර නොවැම්බර් 3දා, සජබ, ජවිපෙ හා දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කථිකයෝ, ඔවුන්ගේ සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වෙමින්, ආර්ථික හා වංසගත අර්බුදයට මුහුන දීම පිනිස, සර්ව-පාක්ෂික සම්මේලනයක් කැඳවන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටියහ. ආන්ඩුව හා විරුද්ධ පක්ෂ යන දෙපාර්ශ්වයම, මහජන සමාජ විරෝධයෙහි පුපුරා යාමක් පිලිබඳ ව භිතියෙන් සිටිති.

[මෙම ලිපිය නොවැම්බර් 25 දා ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.]

Loading