හම්බන්තොට වලවේ ගඟ වම් ඉවුරේ ගොවි ජනයා, අලි උවදුර ප්‍රමුඛ ගැටලු මාලාවකට විසඳුම් ඉල්ලා ජනවාරි 18 දා ආරම්භ කල “සත්‍යග්‍රහයට” හෙට වනවිට දෙමසක් සපිරෙයි. අඩි සියයේ පාර නමින් හඳුන්වන ප්‍රධාන මාවතේ වල්සපුගල යන ස්ථානයේ පැවැත්වෙන මෙම සත්‍යග්‍රහයට ගොවි සංගම් 86 ක් සහයෝගය දෙති.
යෝජිත අලි කලමනාකරන රක්ෂිතය ගැසට් කරනු! අක්‍රිය විදුලි වැටවල් සක්‍රීය කරනු! ගම් වලට වැදී ඇති අලින් වනජීවි කලාපයට යවනු! ගවයන්ට වෙන් කර තිබූ තෘන භූමි නැවත ලබා දෙනු! ගොවීන්ට ලැබිය යුතු ජලය මංකොල්ලකෑම නතර කරනු! යන ඉල්ලීම් ගොවීහු ඉදිරිපත් කරති.
ඉහත ඉල්ලීම් මත උද්ඝෝෂනය ආරම්භවූ පලමු අදියරේ සිට දේශපාලකයන්, රාජ්‍ය නිලධාරින් වාචිකව සහ ලිඛිතව ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටු නොවී ඇති බැවින් අඛන්ඩ සත්‍යග්‍රහයකට පිවිසි බව ගොවීහු ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසූහ.
දින තුනක් ගත වුවද සත්‍යග්‍රහයට කවර හෝ ප්‍රතිචාරයක් නොලැබුනු බැවින්, ජනවාරි 21 වන දින, “වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ” සභාපති මහින්ද සමරවික්‍රම සහ තවත් දෙදෙනෙකු ඉහත වල්සපුගල සත්‍යග්‍රහ වේදිකාවේ උපවාසයක් ආරම්භ කර තිබේ. ජනවාරි 24 දා එහි පැමිනි කෘෂි කර්මාන්ත ඇමති චමල් රාජපක්ෂ වල් අලින්ගෙන් වන අනතුරු වැලක්වීම සඳහා අලි කලමනාකරන රක්ෂිතයක් නිර්මානය කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කරන බව ප්‍රකාශ කර උපවාසය නතර කරන ලෙස ඉල්ලා ඇත.
ගැසට් නිවේදනය නිකුත් කෙරෙන්නේ කවදාදැයි අවට රැස්ව සිටි ගොවි ජන කොටස් ප්‍රශ්න කලවිට, මසක් ඇතුලත සිදුකරන බවට ඇමතිවරයා පොරොන්දු වී තිබේ.
පෙබරිවාරි 8 චන දින ගොවි සංගම් නියෝජිතයන් තිදෙනෙකුට අගමැති මහින්ද රාජපක්ෂ මුන ගැසීමට අවස්ථාව ලැබී ඇත. එම සාකච්ජාවෙන් පසු එදිනම වනජීවී අමාත්‍යාංශයේ සාකච්ජාවක් ලබාදී ඇති අතර සතියක් තුල ගැසට් නිවේදනය නිකුත් කරන බවට එහිදී පොරොන්දුවක් ලැබී තිබේ. මෙම පොරොන්දු ඉටු නොවූ තත්වයක් තුල මාර්තු 7 වන දින ගොවි සංගම් සභාපති ගාමිනි සමරවික්‍රම නැවත උපවාසයක නිරත වී ඇත. ඊට පසුදින තවත් කාන්තාවන් දෙදෙනෙකු එම උපවාසයට එක්වී තිබේ.
මාර්තු 10 වන දින සූරියවැව නගරයේ ගොවි ජනයාගේ සහභාගිත්වයෙන් උද්ඝෝෂනයක් පැවැත්වුන අතර, එහි සිට රථ පෙලපාලියකින් අම්බලන්තොට නගරයට පැමිනි දහසක් පමන ගොවීහු කොලඹ කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පැය ගනනාවක විරෝධතාවයක් පැවැත්වූහ.
10 වන දා විරෝධතා ව්‍යාපාරයෙන් පසු හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් සමග සාකච්ජාවකට ගොවි නියෝජිතයන්ට අවස්ථාව ලබා දී ඇත. එම සාකච්ජාවෙන් පසු, යෝජිත අලි කලමනාකරන ගැසට් නිවේදනය නිකුත් කරන බවට වනජීවි අධ්‍යක්ෂක ජෙනරාල් අත්සන් කල ලිපියක් දිස්ත්‍රික් ලේකම් හරහා තමන් වෙත ලැබුන බව මයුරපුර කොට්ඨාස ගොවි කමිටුවේ හිටපු සභාපති ඩී.කේ. ශාන්තිපාල ලෝසවෙඅ ට පැවසීය.
මෙම ලිපිය ලැබීමෙන් පසු උපවාසයේ යෙදී අසාධ්‍ය තත්වයෙන් පසුවූ තිදෙනා රෝහල් ගතකර ඇත. උපවාසය නතර කලද, පොරොන්දු ඉටු නොවීමේ පෙර අත් දැකීම මත සත්‍යග්‍රහය නොනැවැත්වූ බවද ශාන්තිපාල කීවේය.
අනතුරුව, ගොවීන් මුහුන දී ඇති ප්‍රශ්න ඔහු දීර්ඝ වශයෙන් පැහැදිලි කලේය: “2006 දි වලව කලාපයේ මයුරපුර කොට්ඨාසයේ ගොවි පවුල් 5000 කට පමන මහවැලි අධිකාරිය මගින් එක් අයෙකුට ගොඩ ඉඩම් අක්කර දෙකක් කුඹුරු අක්කර දෙක හමාරක් හා නිවස තැනීමට අක්කර කාලක් බැගින් ලබා දුන්නා. ඒ වාගේම අලින්ට හා ගවයන්ට හෙක්ටයාර් 25,000 ක් ඒ කියන්නේ අක්කර 65,000ක පමන භූමි ප්‍රමානයක් වෙන්කර තිබුනා. අපි වසර 10ක් පමන අනතුරකින් තොරව ගොවිතැන් කටයුතුවල යෙදුනා. 2014 පමන සිට සතුන්ට වෙන් කල භූමියෙන් ධනපති ව්‍යාපාරිකයන්ට විශාල ඉඩම් යායවල් ලබාදීම ආරම්භ කලා. මේ වනවිට මේ භූමි පෙදෙසේ ගල් කොරි 8ක් පවත්වා ගෙන යනවා.”
ශාන්තිපාල ට අනුව, සතුන්ට වෙන්කර තිබූ පෙදෙසේ ගවයනට තෘන භූමි ද අලි ඇතුනට ආහාර ද තිබී ඇත. එසේම වියලි කාලවලදි අනෙක් කොටස් වලට යාමටත්, ප්‍රජනනය සඳහා වෙනත් ප්‍රදේශ වලට යාමටත් එම භූමිභාග තුලම අලිමංකඩවල් පැවති නමුත්, ඉහත අවහිරවීම් නිසා අලි ගම් හරහා ගමන් කිරීම් ආරම්භ වී තිබේ. “ඒ ගමන් කිරීම් අතරතුර ගොවිබිම් වැනසීම ඇරඹුනා. මිනිස් ජීවිත නැති වුනා.”
ඔහු ජල මංකොල්ලය ගැන ද පැහැදිලි කලේය: “ගොවීන්ට ඉතාම අර පරිස්සම් ආකාරයකටයි ජලය ලබා දෙන්නේ. තිබෙන ජලය එහෙම කලමනාකරනය අවශ්‍යයි. එසේ වුවත් මේ අනවසර ඉඩම් හිමියන් විශාල නල සහ යන්ත්‍ර යොදවා ගොවි බිම් වලට ආයුතු ජලය මංකොල්ලයක යෙදෙනවා. ඒ වගේම, මේ ඉඩම් වලට යොදවා ඇති විදුලි වැටවල් සාමාන්‍ය ඒවා නොවෙයි. ඒවා අධිබල විදුලි රැහැන් නිසා අලින් එම ඉඩම් ආසන්නයටවත් යන්නේ නැහැ.”
රාජ්‍ය නිලධාරීන් සහ ආන්ඩුව ලබාදුන් පොරොන්දු ඉටුවෙතැයි තමා ඇතුලු ගොවීන් බලාපොරොත්තු නොවන බවත්, සත්‍යග්‍රහය අඛන්ඩව ඉදිරියට ගෙනයන්නේ එනිසා බවත් ඔහු තවදුරටත් පැවසුවේය. “අලි කලමනාකරනය පිලිබඳ ගැසැට්ටුව ප්‍රකාශිත වුවත් වනරක්ෂිතය තුල ඉඩම් අත්පත්කරගෙන ඇති අය ඉවත් නොකර මේ ප්‍රශ්න වලට විසඳුම් ගේන්න බැහැ. රටපුරා සිදුවන ඉඩම් කොල්ලය සිදුවන්නේ පවතින ආන්ඩුවල අනුග්‍රහය යටතේයි.”
උපවාසයේ යෙදී සිටි ගයානි සාගරිකාගේ සැමියා වූ ලලිත් අරුනසිරි සාකච්ජාවට සහභාගි වෙමින් මෙසේ අදහස් පල කලේය:.
“වල්සපුගල වනාන්තරය අලි නිජබිමක් ලෙස පැවතුනා. පායන කාලවලදි ආහාර සොයා ගැනීම සඳහා වෙනත් වනාන්තර වෙත යාමට අලි මංකඩවල් තිබුනා. මේ තත්වය තුල අලි ගම්වැදී හානි සිදු කලේ නැහැ. නමුත් මෑත කාලවල පැවති ආන්ඩු වලින් මෙම වනාන්තරයේ අක්කර 100, 200 සහ 300 ඉඩම් කට්ටි කඩා ධනවතුන්ට පවරා දුන්නා. අලි මංකඩවල් අසුරා වෙන්කර ඇති මෙම ඉඩම් යායවල් හේතුවෙන් අලින් ගම්වැදීමෙන් සිදුව ඇති හානිය විශාලයි. පසුගිය මාස තුන ඇතුලෙ මිනිස් ජීවිත හයක් අලි පහරදීම් නිසා නැති උනා.”
2014 සිට අලි ප්‍රහාර වලින් ගොවියන් 24 ක් මියගිය බවත්, අලි 38 දෙනෙකු ඝාතනයට ලක්වූ බවත් අරුනසිරි කීවේය. “ධනපතියන්ට පවරා ඇති ඉඩම් නිදහස් කර අලි මංකඩවල් පාදා එම බිම් රක්ෂිතයක් ලෙස ආරක්ෂා කරන ලෙස තමයි අප ඉල්ලන්නේ. කෙසේ වෙතත්, මේ දේශපාලනඥයන් මේ ප්‍රශ්න විසඳාවියයි කිසිදු විශ්වාසයක් මා තුල නෑ” යැයි ඔහු අවසානයේදී පැවසුවේය.