ලංකාවේ විරුද්ධ පක්ෂ කොලඹ වරාය නගරය අරබයා චීන විරෝධී උද්ඝෝෂනයක් අවුලවයි

[මෙම ලිපිය Sri Lankan opposition mounts anti-China campaign over Colombo Port City bill යන මාතෘකාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් 2021 අප්‍රේල් 21 දින පලවූ ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකා ආන්ඩුව සිය කොලඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව හරහා ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී, විපක්ෂ කන්ඩායම් කිහිපයක් උද්ඝෝෂනඝෝයක් දියත් කර ඇත්තේ යෝජිත පියවර ශ්‍රී ලංකාවේ “චීන කොලනියක්” සඳහා මග පෑදෙනු ඇතැයි කියමිනි.

ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය (සජබ), එක්සත් ජාතික පක්ෂය (එජාප), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ තවත් සංවිධාන හා පුද්ගලයින් කිහිප දෙනෙකු පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරනයට පෙත්සම් ගොනු කර තිබේ.

කොලඹ වරාය නගරය ව්‍යාපෘතිය [ අනුග්‍රහය: චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගම (සීසීසීසී]

පෙත්සම්කරුවන් කියා සිටින්නේ එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවයි. මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ජාතික ජනමත විචාරනයකට ඉදිරිපත් කල යුතු යැයි ඔවුන් අධිකරනයෙන් ඉල්ලා සිටී. අධිකරනය විසින් මෙම තර්ක විභාග කිරීම සඳුදා ආරම්භ විය.

බීජිනය වෙතින් ලැබූ ඩොලර් බිලියන 1.4 ක නයක් යටතේ චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගම (සීසීසීසී) විසින් ඉදිකල කොලඹ වරාය නගරය මෙතෙක් ශ්‍රී ලංකාවේ විශාලතම තනි ආයෝජනයයි. එය සම්පූර්න වූ විට, කොලඹ වරාය නගරය හෙක්ටයාර 230 ක සංකීර්නයක් වන අතර, කොලඹ වරාය සමීපයේ ගොඩකල බිමක් මත ඉදිවෙනු ඇත. මුල් ගිවිසුමට අනුව, සීසීසීසී විසින් හෙක්ටයාර 108 ක් පාලනය කරනු ඇත - හෙක්ටයාර 20 ක් සින්නක්කර පදනමක් මත ද ඉතිරිය වසර 99 ක බද්දකට ද වේ. ඉතිරිය ශ්‍රී ලංකාවට හිමිවනු ඇත.

ආන්ඩුවේ පනත් කෙටුම්පත සැලසුම් කර ඇත්තේ වරාය නගරය තුල විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීම සඳහා නීතිමය රාමුවක් සහ එහි ක්‍රියාකාරකම් අධීක්ෂනය කිරීම සඳහා ආර්ථික කොමිසමක් පිහිටුවීමටයි. මෙම මන්ඩලය ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සාමාජිකයන් 5 සිට 7 දක්වා සංඛ්‍යාවකින් සමන්විත වනු ඇත.

මෙම ආර්ථික කලාපය තුල පිහිටුවනු ලබනුයේ මූල්‍ය හා වානිජ ආයතන පමනි. දේශීය හා විදේශීය ආයෝජකයින් සඳහා විශාල සහන ලබා දීම සඳහා ව්‍යවස්ථාපිත බදු නීති සහ වානිජ රෙගුලාසි ගනනාවකින් ඔවුන් නිදහස් කරනු ඇත. ආර්ථික කොමිෂන් සභාවේ කටයුතු පාර්ලිමේන්තුවේ පරීක්ෂාවට භාජනය නොවනු ඇත.

වැටුප්, සේවා නියුක්තිය, විශ්‍රාම වැටුප් සහ වෛද්‍ය ප්‍රතිලාභ ආරක්ෂා කරගැනීම වැනි වෙනත් කම්කරුවන්ට අදාල වන සීමිත නෛතික විධිවිධාන මෙම ආර්ථික කලාපයේ කම්කරුවන් සඳහා මෙම පනත මගින් ප්‍රතික්ෂේප වෙනු ඇත. කලාපය තුල රැකියා 83,000 ක් පමන ඇති කරන බව ආන්ඩුව ප්‍රකාශ කර ඇති මුත් කම්කරුවන්ට එහි ක්‍රියාත්මක වන සංගතවලට යටවී සිටින්නට සිදුවනු ඇත.

ශ්‍රී ලංකාවේ දැනටමත් සේවකයින් 300,000 ක් පමන සිටින නිදහස් වෙලඳ කලාප (නිවෙක) 16 ක් ඇත. හාම්පුතුන් කම්කරු නීති පිලිපැදීම නිතරම ප්‍රතික්ෂේප කලද සමහර කම්කරු නීති නිවෙක සඳහා අදාල වේ. කුරිරු ලෙස සූරාකෑම අරබයා නාමික සීමා කිරීම් පවා නොමැති වරාය නගරය රට පුරා කම්කරුවන්ගේ අයිතිවාසිකම් යටපත් කිරීම සඳහා අටවන මොඩලයක් ලෙස යොදා ගනු ඇත.

ගෝලීය වසංගතය මධ්‍යයේ ලාභ උපයා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ නිර්දය මෙහෙයුම දිරිගැන්වීම අරමුනු කරගත් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතිවාසිකම් මර්දනය කිරීම ගැන, පනතට විරුද්ධ විරුද්ධ කන්ඩායම් සැලකිලිමත් නොවේ. ඔවුන් ඒ වෙනුවට දියත් කර ඇත්තේ ආන්ඩුව, රටේ ස්වෛරීභාවය පාවා දෙන බවට කරන ප්‍රකාශ මත පදනම් වූ ජාතිකවාදී උද්ඝෝෂනයකි.

සජබ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍යයට පැවසුවේ “මෙම පනත මේ රට විදේශ රටවලට වහල්භාවයට පත් කිරීමේ පියවරක්” යනුවෙනි. ඔහු “විදේශ රට” නම් නොකල මුත් එයින් ඇඟවුනේ චීනය යි.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක වඩාත් පැහැදිලිව කියා සිටියේ පාර්ලිමේන්තුව පනත සම්මත කලහොත් කොලඹ වරාය නගරය “චීනයේ තවත් පලාතක්” වනු ඇති බවයි. “ජනතාව කිසි විටෙකත් චීන භූමියක් ඉදිකිරීමට ජනාධිපති ගෝටාබය රාජපක්ෂට හෝ ඔහුගේ ආන්ඩුවට වරමක් ලබා දුන්නේ නැත” යනුවෙන් දිසානායක ප්‍රකාශ කලේය.

පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු (ශ්‍රීලපොජපෙ) පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ සහ ආන්ඩුවේ මැතිවරනයට සහාය දුන් ප්‍රමුඛ බෞද්ධ භික්ෂුවක් වන මුරුත්තෙට්ටුවේ ආනන්ද යන දෙදෙනාම චීන යටත් විජිතයක් පිහිටුවීමේ උත්සාහයක් ලෙස මෙම පනත හෙලා දුටහ.

චීනයට එරෙහි ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමේ ඊනියා ව්‍යාපාරය මූලික වශයෙන් පදනම් වන්නේ බීජිනය, වරාය නගර ව්‍යාපෘතියට අරමුදල් සැපයන්නේය සහ වැඩි ආයෝජනයක් කිරීමට ඇති සූදානම පෙන්නුම් කරන්නේය යන කරුනු මතය. නිවෙක හෝ ආර්ථික කලාප පිහිටුවීමට සජබ, එජාප සහ ජවිපෙ විරුද්ධ නැත.

සමාජ අතෘප්තිය ප්‍රතිගාමී ජාතිකවාදී දිශාවකට හරවා යැවීමට අමතරව, විරෝධතා ව්‍යාපාරය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ චීනය සමඟ තීව්‍ර වන ගැටුම සමඟ පෙල ගැසෙයි. ආසියා-පැසිෆික් කලාපය තුල සහ ජාත්‍යන්තරව එක්සත් ජනපදයේ ආධිපත්‍යය ඉහල නැංවීමේ අරමුනින් වොෂින්ටනය සහ එහි සහචරයින් වන ජපානය, ඕස්ට්‍රේලියාව සහ එහි “උපායමාර්ගික සහකරු” ඉන්දියාව, බීජිනයට එරෙහිව මිලිටරි ආක්‍රමන සූදානම් කරමින් සිටී.

වොෂිංටනය, මෙම මෙහෙයුමේ කොටසක් ලෙස, ලාභදායී නය සැපයීම සහ ආයෝජනය හරහා ශ්‍රී ලංකාව වැනි රටවල් “නය උගුලකට” ඇද ගන්නේයැයි චීන ආන්ඩුවට පහරදෙයි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් කියා සිටියේ මෙම පනත “අනපේක්ෂිත ප්‍රතිවිපාක සඳහා සලකා බැලිය යුතු අතර ඇත්ත වශයෙන්ම එමගින් මුදල් විශුද්ධිකරනය කරන්නන් සහ අනෙකුත් දුෂ්ඨ ක්‍රියාකාරීන් සඳහා තෝතැන්නක් නිර්මානය විය හැකි” බවයි. ටෙප්ලිට්ස් අනතුරු ඇඟවීය: “[ආ]ර්ථික අවදානමට ලක්විය හැකි රටවල් ඔවුන්ගේ ස්වෛරීභාවය හා ස්වාධීනත්වය අවදානමට ලක් කරගනියි.” වර්තමාන නය අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට උදව් කිරීමට එක්සත් ජනපදය කැමැත්තෙන් සිටින බව ඇය පැවසුවාය.

මෙම අදහස් දැක්වීම සම්පූර්නයෙන්ම කුහක ය.

2009 දී ලේවැකි ප්‍රහාරයකින් අවසන් වූ, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව යුද්ධ කරන විට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පූර්ව ආන්ඩුවට වොෂින්ටනය උදව් කලේය. වත්මන් ජනාධිපති රාජපක්ෂ එවකට ආරක්ෂක ලේකම් විය. එක්සත් ජනපදය එම යුද අපරාධ ගැන සැලකිලිමත් නොවන මුත් බීජිනය සහ හිටපු රාජපක්ෂ පරිපාලනය අතර වැඩෙන ආර්ථික සබඳතාවලට සතුරු ය.

2011 දී ප්‍රකාශයට පත් කරන ලද ජනාධිපති බැරැක් ඔබාමාගේ “ආසියාවට හැරීමේ” කොටසක් ලෙස වොෂින්ටනයට චීනය සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා අවසන් කිරීමට අවශ්‍ය විය. මෙය රාජ්‍ය තාන්ත්‍රික හා මිලිටරිමය වශයෙන් බීජිනය වටකර ගැනීමේ පුලුල් න්‍යාය පත්‍රයක කොටසකි. යුද්ධය අතරතුර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ යෝජනා මාලාවකට ඔබාමා අනුග්‍රහය දැක්වූයේ මහින්ද රාජපක්ෂ එක්සත් ජනපදය දෙසට යොමුකර ගැනීම සඳහා බලපෑම් කිරීමට ය.

මෙම උත්සාහයන් අසාර්ථක වූ විට, එක්සත් ජනපදය 2015 ජනවාරි ජනාධිපතිවරනයේදී පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමක් හරහා මහින්ද රාජපක්ෂය නෙරපා හැර එක්සත් ජනපද හිතවාදී මෛත්‍රීපාල සිරිසේන ස්ථාපනය කිරීමට අනුග්‍රහය දැක්වීය. එජාප, ජවිපෙ, දෙමල ජාතික සන්ධානය සහ ව්‍යාජ වාම කන්ඩායම් මෙම මැදිහත්වීමට සහාය දැක්වූහ.

සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ආන්ඩුව වොෂිංටනයට පක්ෂව රටේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරමින් එක්සත් ජනපද පැසිෆික් විධානය සමඟ සිය හමුදාව ඒකාබද්ධ කලේය. කොලඹ වරාය නගරය ඇතුලු චීන ව්‍යාපෘති ද එය නතර කලේය. කෙසේවෙතත්, වැඩි කල් යන්නට මත්තෙන්, මුදල් හිඟ වූ සිරිසේන ආන්ඩුවට ව්‍යාපෘති නැවත ආරම්භ කර තවත් නය ලබා ගැනීමට සිදු විය.

2019 මැතිවරනයෙන් රාජපක්ෂ සහෝදරයන් නැවත බලයට පත්වූ දා සිට වොෂින්ටනය සිය සැලකිල්ල යොමු කර තිබේ. ට්‍රම්ප් පරිපාලනයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමින චීනය සමඟ සබඳතා පුලුල් කිරීමට එරෙහිව රාජපක්ෂ තන්ත්‍රයට අනතුරු ඇඟවීය.

ආර්ථික කඩාවැටීමකට හා වසංගතයට ගොදුරු වූ කොලඹ ආන්ඩුව නැවතත් නය සඳහා බීජිනය වෙත නැඹුරු වී ඇති අතර බදු රහිත ලාභ ශ්‍රමය සඳහා තෝතැන්නක් ලබා දීමෙන් විදේශීය සෘජු ආයෝජන ලබා ගැනීමට මංමුලා සහගත ප්‍රයත්නයක් දරයි.

පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ යුද අපරාධවලට එරෙහි මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට සම අනුග්‍රහය දැක්වූ බයිඩන් පරිපාලනය මෙයට සතුරු ප්‍රතිචාරයක් දක්වා තිබේ.

එක්සත් ජනපදය වරාය නගර ව්‍යාපෘතියට විශේෂයෙන් සතුරු ය, වොෂින්ටනය එය සලකන්නේ බීජිනය, එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන වටලෑමට එරෙහි වීමේ උත්සාහයක් ලෙස ය. එය ඉන්දියානු සහ පැසිෆික් සාගර හරහා ඉතා වැදගත් බලශක්ති හා අමුද්‍රව්‍ය සැපයීමට ප්‍රවේශය ලබා ගැනීමේ සැලසුමක් වන බීජින් හි සමුද්‍ර සේද මාවතේ කොටසකි. චීනයේ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වී ෆෙන්ගේ මේ මස අගදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

රාජපක්ෂගේ කොමිෂන් සභා පනතට කම්කරුවන් විරුද්ධ විය යුතුය, මන්ද එය ඔවුන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නිර්දය ලෙස යටපත් කිරීමට උත්සාහ කරන බැවිනි. එහි ආයෝජක ගැති පියවර ජනාධිපති ආඥාදායකත්වයක් කරා යන ගමනේ, කම්කරු පන්තියට එරෙහි පුලුල් ප‍්‍රහාරයක කොටසකි.

කම්කරු පන්තිය විරුද්ධ පක්ෂවල චීන විරෝධී ව්‍යාපාරය එකහෙලා ප්‍රතික්ෂේප කල යුතුය. කම්කරු පන්තිය බෙදීම, ශ්‍රී ලංකා පාලක ප්‍රභූව කෙරෙහි වැඩෙන සතුරුකම වෙනතකට යොමු කිරීම සහ තුන්වන ලෝක යුද්ධයකට තර්ජනයක් වන චීනය සමඟ ගැටුම් සඳහා වන විනාශකාරී එක්සත් ජනපද සැලසුම් සමඟ ජනගහනය පෙලගැස්වීම එහි අරමුනයි.

මෙම වර්ධනයන් අවධාරනය කරන්නේ, අසමානතාවයට, කප්පාදුවට හා යුද්ධයට එරෙහිව සටන් කිරීම සඳහා සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිලිවෙලක් මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක හදිසි අවශ්‍යතාවය යි.

Loading