මැයි දින ඔන්ලයින් රැලිය ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය පිහිටුවීමට කැඳවුම් කරයි

[මෙහි පලවන්නේ 2021 මැයි 03 දින May Day Online Rally calls for formation of International Workers Alliance of Rank-and-File Committees  යන මාතෘකාවෙන් පලවූ ලිපියේ පරිවර්තනයකි.]  

මැයි 1වන සෙනසුරාදා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) වාර්ෂික ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලිය පැවැත්වීය. රැලිය විසින් උනන්දු කරවනු ලැබුවේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය පිහිටුවීමයි.

රැලිය ප්‍රධාන ජාත්‍යන්තර සිද්ධියක් විය. එය රටවල් 73කින් 2000කට අධික පිරිසකගේ ගෝලීය ප්‍රේක්ෂක ආකර්ෂනය දිනා ගත්තේ ය. එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඉන්දියාව, ප්‍රංශය, බ්‍රසීලය, පිලිපීනය, තුර්කිය, තායිලන්තය, ස්පාඤ්ඤ්ය, පකිස්තානය, ජපානය, මෙක්සිකෝව, ඉරානය, ඊශ්‍රායලය, රුසියාව, දකුනු අප්‍රිකාව, නයිජීරියාව සහ තවත් බොහෝ රටවල ප්‍රේක්ෂකයෝ එයට සහභාගි වූහ.

ප්‍රංශය, එක්සත් රාජධානිය, ජර්මනිය, ශ්‍රී ලංකාව, තුර්කිය, බ්‍රසීලය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව සහ එක්සත් ජනපදය යන රටවල් 10ක අන්තර්ජාතික කමිටුවේ ප්‍රමුඛ නියෝජිතයින් ඇතුලු කථිකයෝ දහදෙනෙක් මෙම රැලිය ඇමතූහ. ඉංග්‍රීසි, ජර්මානු, ප්‍රංශ, දෙමල, සිංහල, තුර්කි සහ පෘතුගීසි යන භාෂා හතකින් දේශන පැවැත්විනි.

ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලිය 2021

සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපද) ජාතික ලේකම් ජෝශප් කිෂෝර්  මෙම රැලිය මෙහෙය වූ අතර, ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්  හඳුන්වාදීමේ වාර්තාව ඉදිරිපත් කලේ ය.

නෝර්ත් තම ආරම්භක වාර්තාවේ දී, කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් සිදු වූ මරනවල දැවැන්ත පරිමානය  පිලිබඳ ව අවධානය යොමු කලේය. “හරියටම වසරකට පෙර, 2020 මැයි 1වන දින සමස්ත ගෝලීය වසංගත මරන සංඛ්‍යාව 240,000 දක්වා ලඟා වී තිබුනා. අද වන විට මියගිය අයගේ සංඛ්‍යාව 3,200,000ක්, එය 13ගුනයකින් වැඩි වීමක්. ”

ජීවිත බේරා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ වගකීම සම්බන්ධයෙන් ලොව පුරා ධනේශ්වර ආන්ඩුවලට නෝර්ත් චෝදනා කලේ ය. “අර්බුදය අවසානය කරා ලඟා වෙනවා වෙනුවට වසංගතය සමස්ත ලෝක ධනේශ්වර පද්ධතියම ගැඹුරු ලෙස අස්ථාවර කර තිබෙනවා. වසංගතයේ අවසානයට හෝ අවසානයෙහි ආරම්භයට ලෝකය ලඟා නොවී පවතිනවා පමනක් නොව, සෞඛ්‍ය අර්බුදයක් ලෙස මුලින් ආරම්භ වූ දෙය සමස්ත ලෝක ධනවාදී පර්යායේ මූලික ආර්ථික, සමාජීය හා දේශපාලන අර්බුදයක් බවට ඔඩු දුවලා තියෙනවා.”

රැලියට දින හතරකට පෙර කොන්ග්‍රසයේ ඒකාබද්ධ සැසිවාරයට පෙර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කල කතාවේ වැදගත්කම ගැන විශේෂයෙන් ම නෝර්ත්  අවධාරනය කලේ ය. බයිඩන් ඉදිරිපත් කල “අඩමාන හා සොච්චම් පොරොන්දුවලට” වඩා බෙහෙවින් අර්ථභාරී වන්නේ චීනයට එරෙහි උත්සන්න කරමින් තිබෙන එක්සත් ජනපද යුද ධාවනය සහ තම ප්‍රධාන ප්‍රතිවාදීන්ට එරෙහිව “21වන සියවස ජයගන්නා” ලෙස බයිඩන් එක්සත් ජනපදයෙන් කල ඉල්ලීම බව නොර්ත් පැහදිලි කලේ ය.

නොර්ත් ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයේ කාර්යභාරය පැහැදිලි කලේ මෙම රාමුව තුල ය. බයිඩන් පරිපාලනය සහ එහි ජාත්‍යන්තර  සහචරයන් කම්කරු පන්තියේ සමාජ ප්‍රතිරෝධය මැඩපැවැත්වීම සඳහා තදබල ලෙස නිල වෘත්තීය සමිති ප්‍රවර්ධනය කරමින් ඉන්නවා. නොර්ත් මෙසේ  පැහැදිලි කලේ ය:

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය පිහිටුවීම සඳහා ඉල්ලීමක් කර ඇත්තේ මේ නිසයි. මෙම ගෝලීය ආරම්භකත්වයේ පරමාර්ථය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ අව්‍යාජ පුලුල් විස්තීරන ව්‍යාපාරයක් වර්ධනය කිරීමයි; එමෙන්ම දක්ෂිනාංශික ධනේශ්වර ගැති විධායකයින් විසින් මෙහෙයවනු ලබන, සාමුහික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී වෘත්තීය සමිති විසින් අත්අඩංගුවට ගැනුනු බන්ධනාගාර වැනි විලංගුවලින් මිදීමට සියලු රටවල කම්කරුවන් දිරිමත් කිරීමයි.

ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය ජාතික බාධක බිඳ දැමීමට උත්සාහ කරනු ඇත, වාර්ගික, ජනවාර්ගික හා ඒ හා සම්බන්ධ අනන්‍යතා දේශපාලනය ප්‍රවර්ධනය කිරීම තුලින් පන්ති සමගිය අඩපන කිරීමට ගන්නා සියලු උත්සාහයන්ට විරුද්ධ වනු ඇත.

ජාතික සීමාවහරහා කම්කරුවන් එක්සත් කිරීමේ මෙම උත්සාහයන් තුලින්, යුද්ධයට එරෙහි තල්ලුවට ප්‍රතිරෝධය දැක්වීම හා වැලැක්වීමට ගෝලීයන්  ව්‍යාපාරයක් නිර්මානය කිරීමට එය විශාල දායකත්වයක් සපයනු ඇත.

නෝර්ත් මෙසේ අවසන් කලේ ය: “ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය පිහිටුවීම හා ගොඩැගීමේ දී කම්කරුවනට සහාය දීමේ තම උත්සාහයේ දී, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ඊට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙම උත්සාහයන්ට පැහැදිලි ජාත්‍යන්තර මූලෝපායක් ප්‍රදානය කිරීමට, දේශීය අරගල සහ ධනවාදය හා අධිරාජ්‍යවාදයට එරෙහි කම්කරු පන්තියේ දිගහැරෙන ගෝලීය අරගලය අතර සම්බන්ධය පැහැදිලි කිරීමට උත්සාහ කරනු ඇත.”

වසංගතයේ තත්වය, ධනේශ්වර ආන්ඩුවල වගකීම සහ වෘත්තීය සමිතිවල කාර්යභාරය පැහැදිලි කරමින් සියලු දේශන එක්සත් ගෝලීය ඉදිරිදර්ශනයක් මත පදනම් කෙරුනි. ඒවා කම්කරු පන්තියේ විප්ලවීය සමාජවාදී නායකත්වය ලෙස ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය  පිහිටුවීම සහ හජාජාක ගොඩනැගීම සඳහා වූ ඉල්ලීම අභිප්‍රේරනය කලේ ය.

කථිකයෝ හතර දෙනෙක්: ජර්මානු සසප හි නියෝජ්‍ය ජාතික ලේකම් හා එලඹෙන ජර්මානු ෆෙඩරල් මැතිවරනයේ අපේක්ෂක ක්‍රිස්ටෝෆ් වැන්ඩ්‍රෙයර්; එක්සත් රාජධානියේ සසප ජාතික ලේකම් ක්‍රිස් මාස්ඩන්;  එහි සහකාර ජාතික ලේකම් තෝමස් ස්ක්‍රිප්ස් සහ ප්‍රංශයේ සසප ජාතික ලේකම් ඇලෙක්ස් ලැන්ටියර් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ යුරෝපීය ශාඛා නියෝජනය කලහ  .

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධ හෙලි කිරීම වෙනුවෙන් ලන්ඩනයේ උපරිම ආරක්ෂක බන්ධනාගාරයක සිර කර සිටින විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ක්‍රිප්ස් ප්‍රබල ලෙස කතා කලේය.

තුර්කියේ සිට, තුර්කියේ සමාජවාදී සමානතා කන්ඩායම වන සොසාලිස්ට් එසිට්ලික් හි ප්‍රමුඛ සාමාජික උලායි ආටෙසි, න්‍යෂ්ටික යුද්ධයේ අන්තරාය, තුර්කියේ සමාජ අර්බුදය සහ අපසු වැඩට යාම හා ආපසු පාසලට යාමේ ප්‍රතිපත්තිවල දී වෘත්තීය සමිතිවල උදාසීනත්වය පිලිබඳව කතා කලේ ය. විවිධ ධනේශ්වර හා සුලු ධනේශ්වර පක්ෂ හා සංවිධාන හෙලා දකිමින් ආටෙචි මෙසේ ප්‍රකාශ කලේ ය. “අධිරාජ්‍යවාදයට යටත් වූ මෙම පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී හෝ සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අසමත්.එම කාර්යය පැවරෙන්නේ ලෝක සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස ධනවාදය පෙරලා දැමීමට සටන් කරමින් සිටින ජාත්‍යන්තර කම්කරු පන්තියටයි.”

රැලිය ඇමතූ අයගෙන් තිදෙනෙක් මේ වන විට වසංගතයේ කේන්ද්‍රස්ථානයක් වන ඉන්දියාව ඇතුලු දකුනු ආසියාවේ තත්වය පිලිබඳව කථා කලහ. දකුනු ආසියානු දේශපාලනය හා ඉතිහාසය පිලිබඳ විශේෂඥයෙකු වන කැනඩාවේ සසප ජාතික ලේකම් කීත් ජෝන්ස් මෙයට ඇතුලත් විය.

විශේෂයෙන් වැදගත් වූයේ ශ්‍රී ලංකාවේ කථිකයන් දෙදෙනෙකු, එනම්  සසප සහකාර ජාතික ලේකම් දීපාල් ජයසේකර සිංහල බසිනුත්, සසප ජාතික කමිටුවේ සාමාජික එම්. දේවරාජා දෙමල බසිනුත් රැලිය ඇමතීම යි. මෙම කතා දෙක  මූර්තිමත් කලේ ශ්‍රී ලංකා ආන්ඩුවේ සිංහල ස්වෝත්තමවාදයට මෙන්ම දෙමල ජාතිකවාදයට එරෙහි ව ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාව එක්සත් කිරීමේ සසප අරගලය යි.

“එම ද්‍රෝහී පක්ෂ හා වෘත්තීය සමිතිවලින් දේශපාලනිකව හා සංවිධානාත්මකව බිඳී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා තමන්ගේ අරගල එක්සත් කරන ලෙස හා තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස අපි දකුනු ආසියාවේ කම්කරු පන්තියෙන් ඉල්ලා සිටිනවා” යැයි ජයසේකර ප්‍රකාශ කලේ, සමාජවාදය සඳහා වන සටන ජාත්‍යන්තරවාදය සහ ට්‍රොට්ස්කිගේ නොනවතින  විප්ලව න්‍යාය මත පදනම් කල යුතු යැයි පැහදිලි කරමිනි.

ලතින් ඇමරිකාවේ සිට, බ්‍රසීලයේ සමාජවාදී සමානතා කන්ඩායමේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන ටොමාස් කැස්ටන්හයිරා, එය මේ දක්වා බ්‍රසීලයේ මාරාන්තික ම මාසය කරමින්, අප්‍රේල් මාසයේ වාර්තා කෙරුනු මරන 80,000ත් සමග, වසංගතය රට තුල සිදු කර ඇති භයානක විපත පිලිබඳ ව කතා කලේ ය. ලොව පුරා සිදු වන්නාක් මෙන්, “මිනීමරු ධනේශ්වර ප්‍රතිපත්තිවලට එරෙහිව කම්කරු පන්තියේ ප්‍රතිරෝධය බලමුලු ගැන්වීමට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාකාරීව වැඩ කලා” යැයි ඔහු පැවසී ය.

“වෘත්තීය සමිති මෙන්ම ජාතික ධනේශ්වරයේ සියලු බලවේග සමඟ නිශ්චිතව බිඳී වෙන්වීමකින් තොරව බ්‍රසීලයේ අර්බුදයට ප්‍රගතිශීලී විසඳුමක් ලබා දිය නොහැකි” යි  කැස්ටන්හයිරා පැවසී ය.

රැලිය ඇමතූ අයගෙන් හතර දෙනෙක් ඕස්ට්‍රේලියාව සහ දකුනු ශාන්තිකර  කලාපයේ සිට කතා කලහ : ඒ ලෝක ආර්ථික තත්වය පිලිබඳව කතා කල , හජාජාක දීර්ඝකාලීන නායකයෙකු මෙන් ම මාක්ස්වාදී දේශපාලන ආර්ථිකය පිලිබඳ ප්‍රාමානිකයෙකු වන නික් බීම්ස්, ඕස්ට්‍රේලියාවේ සසප ජාතික ලේකම් චෙරිල් ක්‍රිස්ප්, නවසීලන්තයේ සමාජවාදී සමානතා කන්ඩායමේ ප්‍රමුඛ සාමාජික ටොම් පීටර්ස් සහ චීනයට එරෙහි එක්සත් ජනපද යුද මෙහෙයුම පිලිඹඳ විශ්ලේශනය කල ලෝසවෙඅ  ඕස්ට්‍රේලියාවේ ජාතික කර්තෘ පීටර් සිමන්ඩ්ස් ය.  .

ජෝශප් කිෂෝර් රැස්වීම අවසන් කලේ රැලියේ ඓතිහාසික හා ගෝලීය ස්වභාවය අවධාරනය කරමිනි. “ගෝලීය අර්බුදයකට එරෙහිව කම්කරු පන්තියේ ගෝලීය ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කථිකයන් ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත ගෝලීය ඉදිරිදර්ශනයක් යොමු කර ඇත” යි කිෂෝර් පැවසීය.

කිෂෝර් අවසන් කලේ ක්‍රිකජාස සඳහා වන සටන භාර ගැනීම හා සමාජවාදී සමානතා පක්ෂයට බැඳී  හජාජාක ගොඩනැගීමට එක් වන ලෙස සියලු සවන්දෙන්නන්ගෙන් දැඩි ඉල්ලීමක් කරමිනි.

“වෛෂයික යථාර්ථය කම්කරු පන්තිය සමාජවාදී විප්ලවය දෙසට තල්ලු කරයි. නමුත් ශඛ්‍ය දේ ක්‍රියාත්මක කල යුතුය. ලෝකයේ තත්වය විවේචනය කිරීම පමනක් ප්‍රමානවත් නොවේ. කර්තව්‍යය වන්නේ එය වෙනස් කිරීමයි. අතිමූලික කර්තව්‍යය වන්නේ සමාජවාදී නායකත්වයක් ගොඩනැගීමයි. ”

Loading