[මෙහි පලවන්නේ Modi pledges to “save India from lockdown”—not infection and death මාතෘකාවෙන් 2021 මැයි 11 දින පලවූ ඉදිරිදර්ශනයේ සිංහල පරිවර්තනයයි.]
පෙරදැකීමට හැකි වූ හා පෙරදක්නා ලද සෞඛ්‍ය හා සමාජ ව්‍යසනයක්, දැන් ලෝක ජනගහනයෙන් හයෙන් පංගුවකටත් වඩා වාසය කරන ඉන්දියාව වෙලා ගනු ලැබ තිබේ.
පසුගිය දවස් පහ තුල පමනක්, ඉන්දියාව නව කොවිඩ්-19 ආසාදන මිලියන 2ක් හා මරන 20,928ක් නිල වසයෙන් වාර්තා කලේ ය. අප්‍රේල් 12 සඳුදා සිට, ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදන ගනන මිලියන 8.99කින් නොහොත් සියයට 65ට වැඩි ප්රමානයකින් වැඩි වී ඇත්තේ, වසංගතය පටන් ගත් තැන් පටන් වාර්තා වන සමස්ත ආසාදන සංඛ්‍යාව මිලියන 22.6 දක්වා ගෙන එමිනි. එම සති හතරේ කාලය තුල ම, නව කොරෝනා වෛරසය ඉන්දියානුවන් 75,213ක් මරා දැමූ අතර එය, සමස්ත වසංගත කාලය පුරා රටවල් 11ක මිය ගිය පිරිසට වැඩි ගනනකි.
මෙම සංඛ්‍යා ලේඛන ඛේදජනක වනවාක් මෙන් ම, අගමැති නරේන්ද්‍ර මෝදි හා ඔහුගේ අන්ත-දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුවේ වඩාත් ම චිරකාලීන ආරක්ෂකයන් සියලු දෙනාම පාහේ පිලිගන්නා පරිදි ඒවා ඉන්දියාවේ සැබෑ ආසාදන හා මරනවල ප්රමානයන්ගෙන් හුදු කොටසක් පමනක් නියෝජනය කරයි.
ඉන්දියාවේ දිස්ත්‍රික්ක 718න් 301ක ම, කොවිඩ්-19 පරීක්ෂනවලින් ආසාදිතයන් බවට හඳුනාගැනීමේ අනුපාතය සියයට 20ට අධික බවත්, ඉන්දියාවේ ජාතික අගනුවර හා විශාලතම නාගරික කේන්ද්‍රය වන දිල්ලියේ එය සියයට 30ට වැඩි බවත්, මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි. සියයට 5 හෝ ඊට වැඩි ආසාදන රේට්ටු, ආසාදන සංඛ්‍යාව බරපතල ලෙස අඩු කර පෙන්වීමක් බව, ලෝක සෞඛ්‍ය සංවිධානය (ලෝසෞස) දීර්ඝ කාලයක් තිස්සේ අවධාරනය කර ඇත.
වසංගතයට පෙරාතුව, ඉන්දියාවේ ගරා වැටුනු හා දුස්සාධ්‍ය ලෙස අඩුවෙන් අරමුදල් යොදවා ඇති සෞඛ්‍යාරක්ෂන පද්ධතිය, සියලු මරනවලින් හතරෙන් පංගුවක පමනක් වෛද්‍යමය හේතු වාර්තා කලේ, ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ මරන ලියාපදිංචි කිරීම පවා නො කරමිනි. බලධාරීන්ගේ මරන ගනන් හිලවු තුල වාර්තා කරනවාට වඩා බොහෝ ගුනයකින් වැඩි පුද්ගලයන් පිරිසක්, කොවිඩ්-19 රෙගුලාසි යටතේ ආදාහනය හා භූමදානය කරන බව, මෑත සතිවල දී සෞඛ්‍ය විශේෂඥයන් හා ජනමාධ්‍යවේදීන් විසින් සිදුකරන ලද අධ්‍යයන හා සමීක්ෂන මගින් පෙන්වා දී ඇත. එක් උදාහරනයක් උපුටා දක්වන්නේ නම්, මෝදිගේ ජන්මලාභී ප්‍රාන්තය වන ගුජරාටය තුලින් වාර්තා වන කොවිඩ්-19 මරන 10කින් වසංගතයට බැර කරනු ලබන්නේ එක් මරනයක් බව, එම ප්‍රාන්තයේ පලවන සන්දේශ් නමැති දෛනික පුවත්පත විසින් සොයාගෙන තිබේ. මිලියන 2ක් වාසය කරන රාජ්කොට් නගරයේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, අප්‍රේල් මස පසුභාගයේ දී කොවිඩ්-19 මරන 220ක් සිදු වූ බව පෙන්වී ය. එහෙත්, එම කාලපරිච්ඡේදයේ දී ම, නගරයේ “කොරෝනා වෛරසයට පමනක් වෙන් කෙරුනු” ආදාහනාගර හතෙන් එකක පමනක්, මෘත ශරීර 673ක අවසන් කටයුතු සිදුකලේ ය.
දිල්ලිය, මුම්බායි හා අනෙකුත් ප්‍රධාන නගරවල දරුනු ලෙස රෝගාතුර ජනයාට, පිරී ඉතිරී ගිය රෝහල් වෙතට ඇතුලුවිය නො හැකි වීම, රෝහල් තුල ඖෂධීය ඔක්සිජන් අවසන් වීම නිසා දුසිම් ගනන් රෝගීන් ශ්වාසරෝධනය හේතුවෙන් මිය යාම සහ ඔක්සිජන් සිලින්ඩර හා රෙම්ඩිසිවීර් වැනි ඖෂධ හිඟය හේතුවෙන් වේගයෙන් වැඩෙන කලු කඩ වෙලඳාම පිලිබඳ මාධ්‍ය වාර්තා දැක, ඉන්දියාව මෙන් ම ලොව පුරා මහජනයා කම්පනයටත් කෝපයටත් පත් ව ඇත.
රටෙහි ජනගහනයෙන් තුනෙන් දෙපංගුවක් ජීවත් වන්නා වූ ද මහජන සෞඛ්‍යාරක්ෂන පහසුකම් බොහෝ සෙයින් නොමැති වන්නා වූ ද ගම්බද ඉන්දියාව තුල, ව්‍යසනය තව තවත් විශාල වීමට තර්ජනය කරයි. බොහෝ ඒවා තුල හෝ සියල්ලේ ම මිලියනයක් හෝ ඊට වැඩි ජනගහනයක් සහිත ගම්බද දිස්ත්‍රික්ක 15ක, වර්තමාන කොවිඩ්-19 ආසාදිතයන් හමුවීමේ රේට්ටුව සියයට 50ට අධික ය.
හින්දු අධිපතිවාදී, අනාගතයේ ඒකාධිපති අනසක පතුරවන්නෙක් බවට පත්විය හැකි මෝදි විසින් නායකත්වය දෙන ඉන්දියාවේ දූෂිත ධනපති ප්රභූව, වැඩකරන ජනයාගේ ජීවිත හා ජීවිකාවන් මත වසංගතය මගින් ඇති කරන මනුෂ්‍ය සංහාරයට ප්‍රතිචාර නො දක්වනසුලු ය.
අප්‍රේල් 20දා ජාතිය අමතා කල කතාවක දී, තමන්ගේ ආන්ඩුවේ ප්රමුඛ ඉලක්කය වන්නේ “මෙම රට අගුලු දැමීමෙන් බේරාගැනීම” බව මෝදි ප්‍රකාශ කල අතර, එහි අර්ථය වන්නේ, වෛරසය සමග සටන් වැදී ජීවිත ආරක්ෂා කිරීම නොව, ඉන්දියාවේ බිලියනපතියන්ගේ හා සංගත ප්රභූවේ ධනය හා ලාභවලට මුක්කුව දීම යි. ඊනියා “ක්ෂුද්‍ර-සීමාකාරී කලාප” (සීමාසහිත සංචරන සීමා ක්‍රියාත්මකවන කලාප -පරිවර්තක) සඳහා දිරිගන්වමින්, ඉතාම දැඩි ලෙස කොවිඩ්-19 බලපෑමට ලක්වූ ප්‍රාන්ත පවා අගුලු දැමීමෙන් වැලකී සිටීමට උනන්දු කිරීම දක්වා ම ඔහු ඉදිරියට ගියේ ය.
මිලියන ගනන් වැඩිපුර ආසාදන හා මරන දස දහස් ගනනකින් අනතුරු ව, තවමත් රාජ්‍ය පිලිවෙත වන්නේ මෙය යි.
වෛරසයේ මාරාන්තික නැගීම වැලැක්වීමට ජාතික පරිමාන අගුලු දැමීමක් පැනවීමට සහ “සෞඛ්‍ය යටිතල පහසුකම් ප්‍රතිපූර්නය කිරීමට” ඉඩ දීමට අසමත් වීම ගැන බීජේපී ආන්ඩුව හෙලා දකිමින්, ඉන්දියාවේ වෛද්‍යවරුන්ගේ විශාලතම සංවිධානය වන ඉන්දීය වෛද්‍ය සංගමය (අයිඑම්ඒ), “ආර්ථිකයට වඩා ජීවිතය ඉතා වටී” යනුවෙන් ප්‍රකාශ කරන ප්‍රකාශයක් පසුගිය සෙනසුරාදා නිකුත් කලේ ය. “කොවිඩ්-19 වසංගතයේ විනාශකාරී දෙවන රැල්ලෙන් ජනනය වූ වේදනාකාරී අර්බුදය පරාජය කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගන්නා නුසුදුසු ක්‍රියා මාර්ග හා එහි ආන්තික අලස බව දැකීමෙන් අපි පුදුමයට පත්වන්නෙමු” යි අයිඑම්ඒ සඳහන් කලේ ය.
පසුගිය සති තුන තිස්සේ ජාතික පරිමාන අගුලු දැමීමක් සඳහා පීඩනය යොදමින් සිටි බව සටහන් කරන අයිඑම්ඒ, තමන් හා අනෙකුත් විද්‍යාත්මක විශේෂඥයන් කල ඉල්ලීම් “කුනු කූඩයට” දමා ඇති බවටත්, “මහපොලොවේ යතාර්ථයන් තේරුම් නොගෙන” තීරන ගැනීම පිලිබඳවත්, මෝදි ආන්ඩුවට චෝදනා කලේ ය. මෙය, කොවිඩ් රෝගයෙන් පෙලෙන රෝගීන් ගනන “සෑම දිනක ම ලක්ෂ 400,000 ඉක්මවා” යාමටත්, “මැදහත් මට්ටමේ සිට දරුනු මට්ටමේ ආසාදන ගනන” “ආසන්න වසයෙන් සියයට 40ක්” තෙක් පිම්බීමටත් තුඩු දී ඇත.
ඉන්දියාව තුල වසංගතයේ දෙවන රැල්ල පෙබරවාරි මැද ආරම්භ වූ අතර, ඉන් ක්ෂනික ව ඉක්බිත්තේ, කොවිඩ්-19 රෝගයේ යලි ඉහල යාමට ඉන්දියාව මුලුමනින් ම නුසූදානම් බවට, වඩා අවධාරනීය හා දරුනු අනතුරු ඇඟවීම් වෛද්‍ය විශේෂඥයින් විසින් නිකුත් කිරීම ඇරඹින. ඒ සියල්ල සිදුවෙද්දී, වෛරසයේ පැතිරී යාම අවුලුවනු ලබන්නේ, පලමු වරට බ්‍රිතාන්‍යයේ දී හඳුනා ගත් බී.1.1.7 ප්‍රභේදය හා ඉන්දියාවේ ම “ද්විත්ව විකෘති” මාදිලිය ඇතුලු වඩා පහසුවෙන් බෝවන හා මාරාන්තික ප්රභේදයන් විසින් බව සෑම දෙයක් මගින් ම ඉඟි කලේ ය. මෝදිට ඍජුව වාර්තා කරන වෛද්‍ය විශේෂඥ කන්ඩායමක්, ඉදිරියේ එන වෛද්‍යමය ඔක්සිජන් හිඟයක තර්ජනයක් පිලිබඳ ව පැහැදිලි ලෙස අනතුරු ඇඟවූ හ.
එහෙත් ඉන්දියානු සංගතවල අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කරන ආන්ඩුව, මේ සියල්ල උද්ධච්ඡ ලෙස නොතකා හැරියේ ය. යෝධ ප්‍රාන්ත මැතිවරන රැලිවලට හා ලෝකයේ විශාලතම ආගමික උත්සවය වන ද කුම්භමේලා පැවැත්වීමට අවසර දීම ඇතුලු ඉතුරු පහදුව තිබූ කොවිඩ්-19 සීමාකිරීම් අත්හැර දමමින් ආන්ඩුව ඉදිරියට ගියේ, ඉන්දියාව “සාමාන්‍යය” කරා ආපසු යාමේ ඉලක්කය සමගිනි. වසංගතය තර්ජනයක් ලෙස පවතින බව එය පිලිගත් තාක් දුරට, එය සමග ගනුදෙනු කල යුතුව තිබුනේ “විශ්වීය පරිමාන” එන්නත්කරන වැඩසටහනක් හරහා වන අතර, දැන් එම වැඩසටහන එන්නත් හිඟය හේතුවෙන් අර්බුදයේ හෙලී ඇත. මේ දක්වා, පලමු එන්නත් මාත්‍රාව ලැබී ඇත්තේ ඉන්දියානුවන්ගෙන් සියයට 10ට අඩු පිරිසකට වන අතර, සම්පූර්නයෙන් එන්නත්කරනය කරනු ලැබ තිබෙන්නේ ජනගහනයෙන් යන්තම් සියයට 2.5ක් පමනි.
කොංග්රස් පක්ෂය හා අනෙකුත් විරුද්ධ පක්ෂ, මෝදි ආන්ඩුවේ විනාශකාරී වසංගත දුෂ්පාලනය පිලිබඳ බයාදු විවේචන කරමින් සිටිති. එහෙත් ඔවුන්ට එල්ලවන සාපරාධී චෝදනා එයින් අඩු නොවෙයි. විරුද්ධ පක්ෂය විසින් නායකත්වය දෙන ආන්ඩු ද ඇතුලු ප්‍රාන්ත ආන්ඩු, මෝදිගේ මිනීමරු “විවෘත ආර්ථික” පිලිවෙත ක්‍රියාවට දැමූ හ. විනාශයට එරෙහි මහජන කෝපය වැඩුනු මෑත දිනවල දී, මහාරාෂ්ට්‍ර හා දිල්ලි වැනි ප්‍රාන්ත ආන්ඩු “අගුලු දැමීම්” නිවේදනය කර තිබුන ද එය සිදු කරන්නේ ජීවිතවලට ඉහලින් ලාභවලට ප්‍රමුඛත්වය දීම පමනි. පලමුව, නිෂ්පාදනයේ සිට ගොඩනැගිලි කර්මාන්තය ඇතුලු සියලු නිෂ්පාදන නිදහස් කරනු ලැබේ; දෙවනුව, අගුලු දැමීමේ පියවරයන් මගින් ඍජු ව බලපෑමට ලක්වන දෛනික කම්කරුවන්, සේවා අංශ කම්කරුවන්, වාරික වෙලෙන්දන් හා කාර්මික ශිල්පීන්ට සපයනු ලැබෙන්නේ, වැඩිම වුවහොත් සොච්චම් සහනාධාරයක් පමනි. මෙය සිදුකරනු ලබන්නේ, පසුගිය වසරේ මාර්තුවේ දී සූදානම් විරහිත ව මධ්‍යම ආන්ඩුව ක්‍රියාවට දැමූ -සමාජ සහයෝගය අර්ථවත් ව සැපයීමකින් තොර ව පුද්ගලයන් මිලියන සියයකට එක් රැයකින් ඔවුන්ගේ ජීවිකාවන් අහිමි කල- අගුලු දැමීම, තවත් මිලියන 230ක් වන ඉන්දියානුවන්ව ජාතික දරිද්‍රතා රේඛාව වන දිනකට රුපියල් 375න් (එක්සත් ජනපද ඩොලර් 5න්) පහලට ඇද දැමූ තතු යටතේ ය.
ඉන්දීය පාලක පන්තියේ රංචු ප්‍රතිශක්ති පිලිවෙත සහ ලාභෝත්පාදන ක්‍රියාවලියට අවහිර නො වන පරිදි, මහජනයා හරහා වෛරසයට පැතිරීමට ඉඩ දීමට එවිසින් ගනන් බලා ගත් තීරනය, කම්කරු පන්තිය සහ ගම්බද දුගීන් සූරාකෑම නාටකාකාරව තීව්ර කිරීමේ එහි ධාවනයෙහි වැදගත් ම සාධකය යි. රාජ්‍ය වත්කම් විකුනා දැමීමේ සිට, කෘෂි ව්‍යාපාර-ගැති නීති මාලාවක් හා කම්කරුවන්ගේ බොහෝ රැකියා ක්‍රියාවන් නීති-විරෝධී කරන, කම්කරු නීති සංග්‍රහයේ ප්රතිසංස්කරනයක් දක්වා වන ආයෝජක-ගැති පිලිවෙත් මාලාවක්, “ආර්ථිකයට යලි පනදීමේ” නාමයෙන් මෝදි පසුගිය මාස 12 පුරා ක්‍රියාවට දමා ඇත්තේ, මහ ව්‍යාපාරිකයේ උද්යෝගීමත් අත්පොලසන් මධ්‍යයේ ය.
මෙම පන්ති-යුද ප්‍රහාරය, කම්කරු පන්තියේ හා ගම්බද දුගී ජනයාගේ මහජන විරෝධයට මුහුන දෙමින් සිටියි. මෝදි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමති ධුරයට පත් කල හින්දු අධිපතිවාදී මැරයා ඇතුලු බීජේපීය, ඇඳන් හා ඔක්සිජන් හිඟය හේතුවෙන් මතු වන මහජන කෝපය මර්දනය කිරීම පිනිස, අත්අඩංගුවට ගැනීම් හා වාරනයන් සමගින් ප්‍රතිචාර දක්වා ඇත් නම්, එයට හේතුව වන්නේ, කම්කරු පන්තියෙන් එන වැඩෙන අභියෝගය සමගින් එය අන්තර් ඡේදනය වීම හා එය වැඩිදුර ඇවිලීයාම අරබයා, ඔවුන් භීතියට පත්වීම යි.
ඉන්දියාව යනු දරිද්‍රතාව හා දුගී බව විසින් විනාශ භාගයට පත් කරනු ලබන ඓතිහාසික ව පීඩිත රටකි. එතෙකුදු වුවත්, ඖෂධ නිෂ්පාදන අංශය ඇතුලු නිෂ්පාදන පහසුකම් එය විසින් වර්ධනය කර ඇත; පසුගිය වසරේ තම වටිනාකම් ඩොලර් බිලියන 594 දක්වා ආසන්න වසයෙන් දෙගුන වුනු එහි බිලියනපතියන් 130 දෙනාගේ යෝධ මුදල් පොදි ද එයට ඇතුලත් ය. තව ද ඉන්දියානු රාජ්‍යය යෝධ සම්පත් පාලනය කරන අතර, එය සතුව, ලෝකයේ තෙවැනියට විශාලතම මිලිටරි වියදම්කාරයා ලෙස ඩොලර් බිලියන 72.9ක් වෙන් කිරීමට ප්‍රමානවත් සම්පත් ඇත.
එහෙත්, ඉන්දියානු ජනයාගේ ජීවිත හා ජීවිකාවන් ආරක්ෂා කරගැනීමට, මෙම සම්පත්වලින් කුඩා කොටසක් වත් යොදාගනු ලැබිය නො හැක. මේ දැන් පවා, ඩොලර් බිලියන 6.7ක් පමනක් යයි තක්සේරු කෙරී ඇති, කොවිඩ්-19 වෛරසයට එරෙහි ව සියලු ඉන්දීය වැඩිහිටියන් නොමිලේ එන්නත් කිරීම පිනිස අරමුදල් සැපයීම, ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කරයි.
ජී7 රැස්වීමකට සහභාගි වීම සඳහා ආරාධනා ලැබ සිටි ඉන්දීය විදේශ ඇමති එස්. ජයිෂන්කර්ට, පසුගිය සතියේ ලන්ඩනයේ සිටිය දී මතභේදාත්මක කරුනු දෙකක් පිලිගැනීමට බලකෙරුනි: දශක ගනනාවක් තිස්සේ, මධ්‍යම ආන්ඩුවේ නායකත්වය බීජේපීය දැරුව ද කොංග්‍රසය දැරුව ද සෞඛ්‍යාරක්ෂනයට වෙන් කර ඇත්තේ දල දේශීය නිෂ්පාදිතයෙන් යන්තම් සියයට 1.5ක සොච්චමක් පමනක් වන අතර, වසංගතය, ඉන්දීය සෞඛ්‍යාරක්ෂන පද්ධතියේ අත්‍යන්ත අසමත් බව “හෙලිදරව්” කර තිබේ. “අප වැඩි මුදලක් වියදම් කල යුතුව තිබුනා කියා කීම හරි පහසුයි. දැන් මම ඉන්නෙ ආන්ඩුවේ... එය පෙනෙන තරම් පහසු නැති බව මට කිවහැකි” යි යනුවෙන් ඔහු තප්පුලෑවේ ය.
ජයිෂන්කර්ගේ ක්ෂමාලාපය සේවය කරන්නේ, ධනවාදය සමාජයේ අවශ්‍යතා සමග සමහන් කල නො හැකි ගැටුමක නිරත ව සිටින බව අවධාරනය කිරීමට පමනි. වසංගතය මෙය ලෙයින් හා මසින් සැදි ජීවිත වලින් ඔප්පු කර ඇති නමුත්, පාරිසරික විනාශය, අධිරාජ්‍යවාදී ආක්රමනකාරීත්වය හා යුද්ධයේ පෙර නොවූවිරූ ගෝලීය සුලභත්වයක් මධ්‍යයේ දුගී බව හා ආර්ථික අනාරක්ෂිත භාවය විසින් ඇති කරනු ලබන කාලකන්නිකමේ හා සමාජ කාංසාවේ දක්වා සමජ ආර්ථික ජීවිතයේ සෑම අංශයක්ම අලලාගෙන ඇත්තේ මෙම ගැටුමයි.
ඉන්දියාවේ රුදුරු “දෙවන රැල්ල” ගෝලීය තර්ජනයකි. එය දැනටමත්, නේපාලනය, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය තුලට පිටාර ගලා ඇත. තව ද වෛරසය විනාශ නො කරන තාක් කල්, පවතින එන්නත්වලට ප්‍රතිරෝධී ප්‍රභේද වර්ධනය කිරීමට එය තර්ජනය කරයි.
සියල්ලට ඉහලින් වොෂින්ටනයෙන් පටන්ගන්නා අධිරාජ්‍යවාදී බලයන්ගේ මුද්‍රා සලකුනු ඉන්දීය ව්‍යසනය තුල තිබේ. නිව් යෝක් ටයිම්ස් පත්‍රය පුනරුච්ඡාරනය කරන වාක්‍යාංශය වන “ප්‍රතිකාරය රෝගයට වඩා නරක නො විය යුතු” යි යන්න යටතේ ඇමරිකානු පාලක පන්තිය රංචු ප්‍රතිශක්ති පිලිවෙත ක්‍රියාවට දැමුවා පමනක් නොවේ. කැනඩාව හා යුරෝපා සංගමයේ බලයන් සමග එය එන්නත්වල පේටන්ට් බලපත්‍ර හිමිකම අත්හැරීම ප්‍රතික්ෂේප කර ඇත; ඉන්දියාව තුල කොවිඩ්-19 ආසාදන පුපුරා යමින් තිබුනු මාර්තු හා අප්‍රේල් මාසයේ තීරනාත්මක සති කිහිපය තුල, ඉන්දියාවේ එන්නත් නිෂ්පාදනය සඳහා තීරනාත්මක අමුද්‍රව්‍ය අපනයනය කිරීම අවහිර කිරීමට ද බයිඩන් පරිපාලනය පියවර ගත්තේ ය. අවසාන, එහෙත් වැදගත් කමින් අඩු නො වන දෙයක් වන්නේ, ට්‍රම්ප් යටතේ වේවා බයිඩන් යටතේ වේවා, වොෂින්ටනය පසුගිය වසරින් වැඩි කාලයක් ගතකර ඇත්තේ, බෙයිජිනයට එරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට ඉන්දියාව තවදුර ඒකාග්ර කරගැනීමේ අරමුන සහිත ව චීනයට එරෙහි ව ඉන්දියාව ප්‍රකෝප කිරීමටයි. ජීවිත හා ජීවිකා ආරක්ෂා කරගැනීම පිනිස වන තාර්කික හා විද්‍යාත්මක ව පදනම් වන සැලැස්මක් ක්‍රියාවට දැමීමට, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මැදිහත් වීමක් මෙන් ම, එය ගෝලීය බලවේගයක් ලෙස බලමුලුගැන්වීමක් අවශ්‍ය කරයි.
අත්‍යවශ්‍ය නො වන සියලු ව්‍යාපාර සහ කායික සහභාගිත්වය සහිත ඉගැන්වීම වහා ම නතර කිරීම, බලපෑමට ලක්වන සියලු කම්කරුවන්ට සම්පූර්න වැටුප් සම්පාදනය කිරීම, මහජන සෞඛ්‍ය පද්ධතිය යෝධ ලෙස ප්රසාරනය කිරීම යන වෛරසය පැතිරී යාම නැවැත්වීමට අවශ්‍ය සියලු අත්‍යවශ්‍ය පියවරවල්, ප්රතිමල්ලව ජාතික ධනපති ප්රභූන්ගේ ලාභ හා භූ-දේශපාලනික අවශ්‍යතාවන් සමග සමහන් කල නො හැකි ගැටුමක යෙදී සිටියි.
වසංගතයට එරෙහි අරගලයට සමාජවාදී ඉදිරි දර්ශනයකින් අනුප්රානය සපයනු ලැබිය යුතු අතර, එය, ඉන්දියාවේ ද ලෝකය පුරා ද පාලක පන්තියෙහි ආපසු වැඩට/ ආපසු පාසලට පිලිවෙත බලාත්මක කර ඇති ධනපති-ගැති වෘත්තීය සමිතිවලට විරුද්ධ ව, කම්කරු-පන්තික අරගලයේ නව සංවිධාන ගොඩනැගීම හරහා ඉදිරියට දැමිය යුතු ය. මේ සඳහා මෙන් ම, ලෝක සමාජවාදී විප්ලවය සඳහා කම්කරු පන්තිය දේශපාලනික ව අධ්‍යාපනගත කොට බලමුලුගැන්වීමට ද ගෙන යන අරගලයෙන් වෙන් කල නො හැකි කොටසක් ලෙස, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එයට අනුබද්ධිත සමාජවාදී සමානතා පක්ෂ, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් සඳහා ආරම්භකත්වය ගෙන ඇත.