ව්‍යාජ වම්මු මුස්ලිම් කවියා නිදහස් කරගැනීම පිලිබඳ රැස්වීමේදී වාර්ගික භේදකරනයේ වගකීම මහජනයා මත පටවති

'අන්තවාදී අදහස් අඩංගු කාව්‍ය ග්‍රන්ථයක් ලියා පල කිරීම', 'දරුවන්ට අන්තවාදී මත ඉගැන්වීම' ආදී බොරු චෝදනා මත ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් තරුන කවියෙකු වන අහ්නාෆ් ජසීම් පොලීසිය විසින් රඳවා තබා ගෙන මැයි 16 දිනට වසරක් සපිරුනි.

අහ්නාෆ් ජසීම්

කවියා දඩයමට ලක්කිරීමට විරෝධය පලකිරීමේ නමින් එදින ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) මූලිකත්වය ගෙන පශ්චාත් නූතනවාදීන් සහ ධනේශ්වර ගැති සංවිධානවල කථිකයන් ද ගොනුකරගත් අන්තර්ජාල රැස්වීමක් පැවත්වූයේය. 

අහ්නාෆ් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් උනන්දු වන ඔහුගේ පියා ඇතුලු පවුලේ සාමාජිකයෝ, කලාකරුවෝ, ලේඛකයෝ සහ තරුනයෝ සියයකට වැඩි පිරිසක් සාකච්ඡාවට සම්බන්ධවී සිටියහ. එහෙත් කථිකයන්ගේ ප්‍රකාශවල එල්ලය වූයේ, 'සමාජය' තුල මුල්බැස පවතිනවා යයි ඔවුන් කියන 'මුස්ලිම් විරෝධයක්'  නිසා අහ්නාෆ් කවියා නිදහස් කර ගැනීමට කම්කරු පන්තිය හා තරුනයන් මෙහෙයවා ගනිමින් අරගලයක්  ගෙන යා නොහැකි බවට ව්‍යාජ තර්ක ගෙතීමයි.

පෙසප හිටපු නායකයෙකු වන චන්දන සිරිමල්වත්ත රැස්වීමේ මුලසුන දැරූ අතර එහි කථිකයන් වූයේ පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ,  ඇත්ත පුවත්පතේ ලේඛක  සඳුන් ප්‍රියංකර විතානගේ, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රම්සි රසීක් සහ පශ්චාත් නූතනවාදී ෆ්රැක්සිස් සාමූහිකයේ විදර්ශන කන්නන්ගර නැමැත්තන් ය. 

අහ්නාෆ් රඳවා තබාගැනීම වනාහි රාජපක්ෂ ආන්ඩුව වර්ගවාදය අවුලුවා තබාගැනීමට සහ භාෂනයේ හා අදහස් ප්‍රකාශනයේ නිදහසට එරෙහිව ගෙනයන අඛන්ඩව ප්‍රහාරයක කොටසකි. එම ප්‍රහාර වල ඉලක්කය, කොවිඩ් 19 වසංගතය නිසා ගැඹුරුවී ඇති අර්බුදයේ බර මහජනයා මත පැටවීමට විරුද්ධව නැගෙන පන්ති අරගල වාර්ගිකව භේද කොට තලාදමමින් ආඥාදායක පාලනයක් පිහිටුවීම සඳහා වන පියවර තවත් ශක්තිමත් කිරීමයි. 

මෙම ප්‍රහාරයේ සැබෑ පන්ති මූලයන් ආවරනය කල උක්ත රැස්වීමේ කථිකයෝ සිංහල-බෞද්ධ වර්ගවාදය අවුලුවමින් ගෙනයන රුදුරු මර්දනකාරී පාලනයට සෘජුවම වගකිවයුතු ලංකාවේ පාලක පන්තිය කොක්කෙන් ගලවා නිදහස් කර හැරීමට ද මහජනයා මත වර්ගවාදයේ වගකීම පැටවීමට ද විවිධ තර්ක ගෙතුහ.  

ඇත්ත පුවත්පතේ විතානගේ ප්‍රකාශ කලේ, “අහ්නාෆ් ආධුනික කලාකරුවෙකු වීම නිසාත් මුස්ලිම් ජනවර්ගයට අයිතිවීම නිසාත්” ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රබල විරෝධයක් ගොඩනැගීමට බැරි වූ බවයි. 

වත්මන් ආන්ඩුවේ කොටස්කාරයෙකු ලෙස එහි මර්දනයට හවුල්වී සිටින ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ඇත්ත පත්තරයේ ලියනප්පු එසේ පවසමින්, අහ්නාෆ් නිදහස් කිරීමේ උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමට ඉදිරිපත්වීම පුදුමයක් නොවේ. මෙම පක්ෂයට දෙමල හා මුස්ලිම් විරෝධී  ප්‍රකෝපකරනයන්ට උඩගෙඩි දෙමින් සිංහල වර්ගවාදය ඇවිස්සීමට හා 26 අවුරුදු දෙමල විරෝධී යුද්ධයට සහයෝගය දීමේ ඉතිහාසයක් ඇත.  

කන්නන්ගර කීවේ මෙම ප්‍රහාර පරාජය කිරිමට නම් “භාෂනයේ නිදහස සම්බන්ධයෙන් නීතීයේ තිබෙන යුක්තිය ඉෂ්ඨවිය යුතුයි" කියන පදනම මත සියලු දෙනා ඒකරාශී වීමක් අවශ්‍ය” බවයි. නීතියේ පිලිසරන පැතීමට උද්ඝෝෂනය සිමා කිරීම ඔහුගේ යෝජනාවයි. 

පුබුදු ජයගොඩ (ඡායාරූපය අනුග්‍රහය - ෆේස්බුක්)

මේ අදහස් අනුමත කල, පුබුදු ජයගොඩ ධනපති පාලක පන්තිය හා එහි ආන්ඩු ආරක්ෂා කිරීම සඳහා නරුම තර්ක ගෙතුවේය.  ඔහු පැවසුවේ, “විවිධ ආන්ඩුවලින් කරන දේවල් වලට වඩා බරපතල ලෙස විනාශකාරී ජාතිවාදී විභවයක් සමාජය තුල මෝරමින් තිබෙන” බවයි. 

"ආන්ඩුවලට පවා අවශ්‍ය වෙලාවට උඩට ගන්න පුලුවන් [වර්ගවාදය නැමති] සර්පයෙක් සමාජය ඇතුලේ ඉන්නවා. ඒක කාලයක් තිස්සේ සමාජය තුල පැලපදියම් වෙලා...අහ්නාෆ්ව හිර කරගෙන සිටිද්දී ඊට විරෝධය දක්වන්න බැරි අන්දමේ සමාජමය ඒකමිතියක් ඇතිවෙලා තියෙනව,” යයි ඔහු කීවේය.  

ඔහු කියන පරිදි, පවතින්නේ වර්ගවාදයෙන් ගොඩිගල්වී  "ඒකමිතියක්" ඇතිව තිබෙන සමාජයක් නම්  අෆ්නාෆ් නිදහස් කරන ලෙස පාලකයන්ට කන්නලවු කරනවා හැර කුමන හෝ අරගලයක් කිරීමට පදනමක් නැත. ජයගොඩට අනුව, පාලක පන්තිය හා එහි ආන්ඩු ද ඒවා විසින් පෝෂනය කෙරෙන ස්වෝත්තමවාදී ෆැසිස්ට් කල්ලි ද  රුදුරු ලෙස වර්ගවාදය පතුරුවා හැරීමට වගකිවයුතු නැත; වර්ගවාදය අවුලුවමින්  ආන්ඩුව හා පාලක පන්තිය ගෙනයන  ප්‍රහාරයට වගකිවයුත්තේ "සමාජයයි." 

සමාජය තුල ඉබේ වර්ගවාදය තැන්පත්වී "සර්පයෙකු" ලෙස මතුවන බවට තොරොම්බල් කරන තර්කවලින් ඔහු දැනුවත්වම  යටගසන්නේ ධනපති ආන්ඩු විසින් ලංකාවේදී මෙන්ම ජාත්‍යන්තරවත් කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදා ඔවුනගේ පන්ති ශක්තිය දුබල කිරිම සඳහා ඉතිහාසය පුරා ක්‍රියාවට දමා ඇති නිමක් නැති ප්‍රතිගාමී ප්‍රහාරයි. 

ජයගොඩගේ අවසන් නිගමනය මෙයයි: “ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව සටන් කිරීමෙන් එහාට ගිහින් ආන්ඩුවට එවැනි ක්‍රියාමාර්ග ගන්න ධෛර්යය සපයන සමාජ පදනම ජයගැනීමට ක්‍රියාකල යුතුයි.” 

ආන්ඩුවේ ප්‍රහාරවලට විරුද්ධව අරගලයට ඇදෙන වැඩකරන ජනතාවට, එහි "ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාමාර්ගවලට ධෛර්ය සපයන්නේ" යයි ප්‍රකාශ කිරීම තරම් තුච්ච අවලාදයක් තවත් තිබේද?  පෙසප නායකයාගේ ප්‍රකාශ  සීරුවෙන් කියවන්න: ඔහු ලංකාවේ පසුගිය ආන්ඩු හා වත්මන් ගෝඨාභය රාජපක්ෂ තන්ත්‍රය ලේ සෝදා ආරක්ෂා කිරීමට ඉදිරිපත්ව සිටී. 

මෙලෙස මහජනතාවට අවලාද නැගීම, පෙසප දිගින් දිගටම ගෙනයන එකකි. ගෝඨාභය රාජපක්ෂ බලයට ආ විට ඊට පාර කැපීමට හවුල්වූ ජනතා විමුක්ති පෙරමුන, පෙසප ඇතුලු වම්මු හා ඇතැම් ශාස්තාලිකයෝ සිංහල ජාතිවාදයේ ගිලුනු මහ ජනතාවන් ඔහු පත්කරගෙන ඇතැයි හඬ තැලුහ.  

ලංකාවේ ධනපති පන්තියේ වර්ගවාදී ඉතිහාසයෙන් 

සමාජවාදියෝ, ධනපති පන්තියට සේවය කරන මෙම කුතර්ක සියල්ල ප්‍රතික්ෂේප කරති. ලංකාවේ සිංහල ස්වෝත්තමවාදය ඉස්මත්තට ගෙන පෝෂනය කෙරුනේ නිශ්චිත ඓතිහාසික සන්දර්භයක, නිශ්චිත පන්තියක, එනම් ධනපති පන්තියේ අවශ්‍යතා සඳහා ය. 

ලංකාවේ ධනපති පන්තිය එහි තිඹිරිගෙහි සිටම සිංහල-බෞද්ධ වර්ගවාදය කරපින්නා ගත්තේය. එදා මෙදා තුර ඔවුන් සිය ප්‍රධානතම දේශපාලන අවිය කරගත්තේ එයයි. 19වන සියවසේ අග, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන්ට ආවතේවකම් කරමින් මතුවෙමින් සිටි සිංහල ඉඩම් හිමියන්, ව්‍යාපාරිකයන් ඇතුලු ස්ථරයක්, අහිමිවූ වරප්‍රසාද ගැන දුක්ගැනවිලි පැවති බෞද්ධ සංස්තාපිතයේ මුදුන් සමග එක්ව “බොදු පුනරුද ව්‍යාපාරයකට” අනුග්‍රහය දුන්නෝය. ඔවුන්ගේ ප්‍රමුඛ දෘෂ්ටිවාදී  ගුරුවරයා වූයේ  සිංහලයන් "අද්විතීය ජාතියක්" ලෙස ප්‍රබන්ධ ගෙතූ අනගාරික ධර්මපාලයි. 

බ්‍රිතාන්‍ය විජිත පාලකයන් ගැන විවේචන කල නමුත්, නැගෙන ධනපතියන්ගේ හා ඔවුන්ගේ දෘෂ්ටිවාද ගුරුන්ගේ මූලික ඉලක්කය වූයේ ඉන්දියානු ව්‍යාපාරිකයින් හා  මුස්ලිම් වෙලඳුන් ය.  

ධර්මපාල විසින් පවත්වාගෙන ගිය පුවත්පතක් වූ සිංහල බෞද්ධයා 1912දී පලකල කලාපයක සුලුතර ජනවර්ගවලට එරෙහිව මෙලෙස වෛරය මුදාහැර තිබුනි. “විදේශික සුදු මිනිසුන් මේ රටට පා තැබූ දවසේ පටන් සිංහලයාගේ කර්මාන්ත, ගති පැවතුම් අභාවයට ගිය අතර දැන් සිංහලයාට වෙරලබඩ මරක්කලයින් සහ දෙමලුන් ඉදිරියේ දනින් වැටීමට සිදුවී තිබේ.” මෙම වාර්ගික ආතතීන් ඇවිස්සීමේ එක් ප්‍රතිපලයක් වූයේ සිංහල ධනවතුන් විසින් 1915දී මුස්ලිම් ජනතාවට එරෙහිව ලේවැකි මැර ව්‍යාපාරයක් මුදාහැරීමයි. 

1919 පිහිටුවූ ලංකාවේ ධනපතියන්ගේ ලංකා ජාතික කොංග්‍රසය පදනම් වූයේ දිවයිනේ දෙමල හා මුස්ලිම් සුලුතරයන්ට සතුරු සිංහල ප්‍රභුවේ බෞද්ධ පුනරුදවාදය මතය. මේ සතුරුකම් නිසා ලංකා ජාතික කොංග්‍රසයෙන් දෙමල හා මුස්ලිම් ප්‍රභූන් කැඩී ගියේ, තමන්ගේම අධිරාජ්‍ය ගැති පිලිවෙත් ඇතිවය.  

ලංකාවේ ධනපතියන්ගේ විරෝධය ගොනුවෙමින් පැවතියේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව නොව, තමන්ට ද පෙරාතුව බිහිවෙමින් වැඩෙමින් පැවති, ඉන්දියානු සම්භවයක් ඇති වතු කම්කරුවන් ඇතුලු, කම්කරු පන්තියට එරෙහිවයි. පරිහානි ගතවූ  ඒ. ඊ. ගුනසිංහගේ  නායකත්වයෙන් පැවතී ලංකා කම්කරු පක්ෂය 1930 ගනන් වල ඉන්දියානු කම්කරුවන්ට එරෙහිව වර්ගවාදය ඇවිස්සිමද  සිංහල ප්‍රභුවේ ප්‍රමුඛයෙකු ලෙස මතුවූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බන්ඩාරනායක සිංහල බහුතරය පැහැදිලි වර්ගවාදී, ආගම්වාදී පදනමක එක්සත් කිරීම අරමුනු කොට ගත් සිංහල මහා සභාව 1936 පිහිටුවීම ද ධනපතියන්ගේ මෙම වර්ගවාදී උත්සන්නිය පෙරට ගැනීමේ තවත් පියවරයන් ය. 

බ්‍රිතාන්‍ය  විජිත පාලකයන්, තම අධිපත්‍යය රැක ගැනීම සඳහා, සිංහල දෙමල, මුස්ලිම් ධනපති කන්ඩායම් සමග යටිකුට්ටු උපාමාරු දමමින් ඒවා යොදා ගත්තේ, මහජනතාව අතර වාර්ගික වෙනස්කම් ගැඹුරු කොට කම්කරුවන් භේදකිරීම උත්සන්න කිරීමටයි.     

1948 රූපික නිදහසෙන් ඉක්බිත්තේ, විජිත පාලකයින් තමන් අතට බලය මාරුකර දීමෙන් පසු, ලංකාවේ බෙලහීන පාලක පන්තිය, කම්කරු පන්තිය දුර්වලකර අවමංගත කිරීමට වාර්ගික භේදකරන පිලිවෙත විවෘතවම ක්‍රියාවට දැමීමේ විසකුරු අවිය අතට ගත්තේය.  

පලමු එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කරමින්, මෙම වර්ගවාදී භේද කිරීම් අලුත් මට්ටමකින් ඇරඹුවේය. එතැන් පටන් බලයට පත් සෑම ආන්ඩුවක්ම, දේශපාලන අර්බුදය ගැඹුරුවන හැම විටම වර්ගවාදී භේදකරනය උත්සන්න කල අතර, 1983 දී සිවිල් යුද්ධයේ ගිනිමැලයක් තුලට ලංකාව ඇද දැමූහ. 

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය යුද්ධය ලේවැකි අවසානයකට පත් කලේය. එහෙත්, සිදුව ඇත්තේ, පාලක පන්තිය වාර්ගික ගිනි ඇවිලවීම තවතවත් ගැඹුරු කිරීමයි; බොදු බල සේනා වැනි ෆැසිස්ට් මුගුරු පෝෂනය කොට පෙරට දැමීමයි. 

2019 අප්‍රේල් 21 මුස්ලිම් අන්තවාදීන් කන්ඩායමක් අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීගේ උදවු ඇතිව එල්ල කල මිනීමරු ප්‍රහාරය පාලක පන්තියට තම ස්වෝත්තමවාදී ගිනිතැබීම් සඳහා තවත් පිනුම් පිත්තක් විය. අර්බුදයේ ගිලීසිටි සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ඇතුලු පාලක පන්තියේ සෑම කොටසක්ම මුස්ලිම් විරෝධය ඇවිලූහ. තස්ත ප්‍රහාරය ගසා කමින් බලයට ආ ගෝඨාභය රාජපක්ෂ මුස්ලිම් හා දෙමල විරෝධී උද්ඝෝෂනය වඩාත් ඉස්මත්තට ගත්තේ, ධනපති පන්තිය ඉල්ලා සිටි දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමට, ආඥාදායක සැලසුම් මුවහත් කිරීමටයි.  

අෆ්නාෆ් මෙන්ම මුස්ලිම් නීතීඥයන්, මාධ්‍යවේදීන්, තරුනයන් සහ කලාකරුවන් ගනනාවක් ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගැනීම මෙම පුලුල් ප්‍රහාරයේ කොටසකි. 

වර්ගවාදයේ බලපෑම පැතිරවීමට වගකිව යුත්තේ කවුද?

කම්කරුවන් ඇතුලු  මහා ජනතාවන් අතර වර්ගවාදයේ බලපෑමක් නැතැයි සමාජවාදී සමානතා පක්ෂය කියන්නේ නැත. එහෙත්, ඊට වගකිව යුත්තේ කවුද? ධනපතියන් සිය පන්ති අවශ්‍යතා රැකගැනීමට මෙම විසකුරු දෘෂ්ටිය පතුරුවනවා පමනක්  නොව ලංකාවේ ව්‍යාජ වම්මු ඇතුලු  විවිධ අවස්ථාවාදීන් ද, ඇතැම් රැඩිකලුන් හා වෘත්තීය සමිති ද ඊට හවුල්වී ඇත. 

ලංකාවේ ට්‍රොට්ස්කිවාදී පක්ෂයක්  ලෙස 1942 පිහිටුවූ බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය ද, 1964 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ආන්ඩුවකට ඇතුලු වෙමින් මහා පාවාදීම සිදුකරන තෙක්, ට්‍රොට්ස්කිවාදී යයි කියාගත් ලංකා සම සමාජ පක්ෂය ද වාර්ගික භේදකරනයට එරෙහිව කම්කරු පන්තියේ එකමුතුව සඳහා සටන් කලහ. එය කම්කරු පන්තියේ ශක්තිය ඉමහත් ලෙස වැඩිදියුනු කලේය.  

සිංහල ධනපති පන්තියේ දිගුකාලීන වෙනස්කම් කිරීම්වලට දෙමල හා මුස්ලිම් ධනපතියන් ප්‍රතිචාර දැක්වූයේ සිය පන්ති වරප්‍රසාද රැක ගැනීමට තමන්ගේම වාර්ගික පක්ෂ තනමින් ක්‍රියා කිරීමයි. කොලඹ ධනපතියන්ගේ ප්‍රහාර සිංහල ජනයා සමග අනන්‍යව දක්වමින් දෙමල හා මුස්ලිම් කම්කරුවන් සිංහල කම්කරුවන්ගෙන් බෙදීමට දෙමල ජාතිකවාදී පක්ෂ ඉටුකල ක්‍රියා කලාපය රටතුල වාර්ගික ගිනිමැලය තවතවත් අවුලුවාලූ  සාධකයකි. 

ලසසප පාවාදීමත් සමග දෙමල ජාතිකවාදීන් අතර එල්ටීටීඊ ය ඇතුලු බෙදුම්වාදී ව්‍යාපාර පැනනැගුනු අතර සිංහල දේශප්‍රේමය වැලඳගෙන රැඩිකල්වාදයන් සමග කලතා ඉදිරිපත්කල ජවිපෙ දකුනු පලාත්වල හිස එස වුයේය.

පෙසප විලිලැජ්ජා නැතිව "සමාජය" වර්ගවාදය තුල ගිලී  ඇතිබව කියන්නේ එය බිහිවූ තැන පටන් පාලක පන්තියේ ග්‍රහනය තුල කම්කරු පන්තිය හා අනෙකුත් ජනයා හිරකරන්නට උදවු වීමෙන් පසුවය. මෙම පක්ෂ නායකයින්ගේ අතීත ගුරා වූයේ  ජවිපෙයි.  1987-1990 දී ජවිපෙ, ඉන්දියානු ව්යාප්තවාදයට එරෙහිවීමේ නමින් වර්ගවාදී කැරැල්ලක් දියත්කල පක්ෂයකි. පෙසප එක දිගටම එම වර්ගවාදී කැරැල්ලේ ගුන වනයි.   

ලංකාවේ පලල් ලෙස වැඩුනු පන්ති අරගලවල ලක්ෂනය වූයේ උග්‍ර කෙරෙන වාර්ගික ප්‍රචාර තිබියදී සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් වෛෂයිකව ඒකාබද්ධ වෙමින් අරගලවලට එලඹීමයි. 2018 පටන් පැනනැගුනු අරගල හා  රාජපක්ෂ ආන්ඩුව  තීව්‍ර  කරන ප්‍රහාර වලට එරෙහිව දැන් නැගෙන අරගල තුල වෛෂයික එකමුතුව සඳහා ප්‍රයත්නය කැපී පෙනේ. සමාජය වර්ගවාදය තුල ගිලී ඇතැයි ජයගොඩ සහ පෙසප කරන ප්‍රකාශ මෙම කම්කරුවන්ට කරන අපහාසයකි. 

සසප මූලිකත්වය සහ මගපෙන්වීම යටතේ පිහිටවූ කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව දියත් කර අති උද්ඝෝෂනයට කම්කරුවන්ගේ, කලාකරුවන්ගේ හා තරුනයන්ගේ පුලුල් සහයෝගයක් ලැබෙමින් පවතියි. ඉන් සලකුනු වන්නේ කම්කරු පන්තිය තුල ජන වාර්ගික භේදකිරීම් කපාගෙන එකමුතුව සඳහා පවතින වෛෂයික ගතිකයයි. අහ්නාෆ් ද සියලු දේශපාලන සිරකරුවන් ද නිදහස් කර ගැනීමට කම්කරු පන්තිය  ප්‍රමුඛ කොටගත් ව්‍යාපාරයක් ගොඩනැගීමට හැක්කේ මේ විප්ලවවාදී ක්‍රියාකලාපය මතය. 

වත්මන් ධනේශ්වර ක්‍රමය තුල ප්‍රමුඛතම විප්ලවවාදී පන්තිය වන කම්කරු පන්තියේ එම විප්ලවවාදී විභවය පෙසප ප්‍රතික්ෂේප කරයි. ඔවුන් ගැලතෙන්නේ ධනපති කන්ඩායම් සහ ඉහල මධ්‍යම පන්තිකයන් සමග ය. මෙම පක්ෂය, අනෙකුත් අවස්ථාවාදීන් සමග එක්ව කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වයට වලකපා ධනපති කන්ඩායම් වලට ගැට ගැසීමට ක්‍රියා කරන මධ්‍යම පන්තිකයන්ගේ සංවිධානයකි. 

කම්කරු පන්තියේ එකමුතුවට සතුරු වාර්ගික ව්‍යාකූල කිරීම සඳහා ලෝකය පුරා වැඩට බැසගෙන සිටින ධනපති පාලක පන්තියේ කොටස් වල සහායක ව්‍යාජ-වම්මුන් සමග පෙසප ද පෙකනිවලෙන් සම්බන්ධය. පසුගිය වසරේ මැයි මාසයේදී අප්‍රිකානු ඇමරිකානුවෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනය වීමෙන් පසු සියලු වාර්ගික බෙදීම් පසෙකලා පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහිව  තරුනයන් සහ කම්කරුවන් විරෝධතා දැක්වීමෙන්  බියට පත් ඩිමොක්‍රටික් පක්ෂය වාර්ගික පදනමක ගෙනගිය උද්ඝෝෂනය එහිලා කැපී පෙනේ.

ඩිමොක්‍රටික් පක්ෂයේ කොටස් ඇතුලු ඇමරිකාවේ පාලක පන්තියේ සහය ලත් බ්ලැක් ලයිව්ස් මැට්ර් (කලු ජීවිත වටී) ව්‍යාපාරය  ජෝර්ජ් ෆ්ලොයිඩ් ඇමරිකානු සමාජය තුල පවතින “සුදු වර්ගවාදයේ ගොදුරක්” ලෙස හුවා දක්වමින් ඔහුගේ ඝාතනයට එරෙහිව පෙලගැසුනු කම්කරු පන්තියේ පොදු පන්ති අවශ්‍යතා බොඳකර හරිමින් කලු-සුදු වාර්ගික භේදයක් මවා පෙන්වීමට ක්‍රියා කලේය. 

මෙවැනි සාවද්‍ය සහ වංචනික ආඛ්‍යානයන් ඇමරිකාවේ ඉතිහාසය විකෘත කිරීම දක්වා ඉදිරියට ගොස් ඇත. ඇමරිකාව තුල නිව්යෝර්ක් ටයිම්ස් පත්‍රයේ 1619 ව්‍යාපෘතිය ඇමරිකානු ඉතිහාසය  කලු හා සුදු ජාතිකයන් අතර ගැටුමක ඉතිහාසයක් ලෙස හුවා දැක්වීමේ නින්දිත ප්‍රයත්නයකි. ලෝක පරිමානව යන අනන්‍යතා දේශපාලනයේ පන්දම්කාරයෙක් වන පෙසප  බ්ලැක් ලයිව්ස් මැට්ර් ප්‍රචාරයට සහාය දුන්නේය.  

ලසසප මහා පාවාදීමට එරෙහිව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අරගලයට එක්වෙමින් 1968 බිහි කෙරුනු  විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය හා එහි අනුප්‍රාප්තික සමාජවාදී සමානතා පක්ෂය සිය දේශපාලනික හා න්‍යායික අරගලයේ අතිමූලික කර්තව්‍යයක් කර ගත්තේ විසකුරු සිංහල ස්වෝත්තමවාදී හා සියලුම ආකාරයේ වාර්ගික භේදකරනයන්ට එරෙහිව කම්කරු පන්තිය ජාත්‍යන්තර හා සමාජවාදී පදනමක එකමුතු කිරීමයි. 

අද දින ජාත්‍යන්තර පන්ති අරගල වල කොටසක් ලෙස ලංකාවේ කම්කරු අරගල වර්ධනය වෙමින් පවතී. කම්කරුවන් වාර්ගික භේදකරනය ඇතුලු  පාලක පන්තියේ ග්‍රහනයට හසුකරන සියලු ආකාරයේ දෘෂ්ටිවාදයන්ගෙන් හා දේශපාලනයෙන් බිඳ ගැනීමට කරන අරගලය තීව්‍ර කලයුතුය. කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ සසප මෙම අරගලයට එක්වන ලෙසයි.

වැඩිදුර කියවන්න

Loading