රාජපක්ෂගේ පොහොර තහනමට විරෝධය පාමින් ගොවියෝ ලෝසවෙඅ ට කතා කරති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්, රසායනික පොහොර සහ වෙනත් කෘෂි රසායනිකයන් ආනයනය තහනම් කරනු ලැබීමත් සමග,  ලංකාව පුරා වෙසෙන ලක්ෂ සංඛ්‍යාත ගොවීහු, ඉමහත් පීඩාවකට ලක්ව සිටිති. ජනාධිපතිගේ නියෝගයට විරෝධය දක්වමින් වහා පොහොර ලබාදෙන ලෙස ඉල්ලා සමස්ත දිවයින අලලාගත් ගොවි උද්ඝෝෂන මාලාවක් පැන නැගී ඇත.

නැගෙනහිර කින්නියා පීන්ගාන් උඩයින්ධාරු ගොවියෝ-2021 ජූනි 19

වී සහ එලවලු වගාවට අමතර, වෙනත් භෝග වගාවන්හි නිරත ගොවීන්, පොහොර හිඟාකමින් තමා මුහුන දී සිටින ව්‍යසනය විවිධ අයුරින් ප්‍රකාශයට පත් කරමින්, වගාබිම්, කුඹුරු සහ මහමඟ ආන්ඩුවට එරෙහිව විරෝධතාවන්හි යෙදී සිටින්නේ වසංගතයෙන් ද බැට කමින් සිටියදී ය. ඔවුනගේ වේදනාව සහ කෝපය කැටිකොටගත් ප්‍රකාශයන් සහිත රූපවාහිනී දර්ශන සහ පුවත්පත් වාර්තා දෛනිකව පලවෙන අතර, අවශේෂ කම්කරු-පීඩිත මහජනතාව අතර මෙම පීඩිත ගොවීන් කෙරෙහි ඇතිවන සහානුමතිය වේගයෙන් වැඩෙමින් පවතී.

කෙසේ නමුත්, පසුගිය ඉරිදා මහනුවර දී බෞද්ධ භික්ෂු නායකයන් හමු වූ ජනාධිපති රාජපක්ෂ කියා සිටියේ, රසායනික පොහොර තහනම් කිරීමට ගත් පියවර කිසිවිටෙකත් පසුපසට නොගන්නා බවයි. රසායනික පොහොර භාවිතය හේතුවෙන් ගොවීන් වකුගඩු රෝගය ඇතුලු බෝ නොවන රෝග රැසකින් පීඩා විඳීම සහ එමගින් පරිසරයට සිදුවන අතිමහත් හානිය සලකා තමා මෙම පියවර ගත්බවත්, රසායනික පොහොර ආනයනය හේතුවෙන් වාර්ෂිකව විදේශයන්ට ඇදී යන ඩොලර් මිලියන 400කට අධික මුදල රටේ ගොවි ජනතාව වෙත ලබාදීමට හැකිවන බවත් ඔහු එහිදී පැවසීය.

“රාජපක්ෂ ආන්ඩුවේ රසායනික පොහොර තහනම විනාශයකට අත වැනීමක්” යන හිසින් මැයි 24 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පල කෙරුනු ලිපියේ  සඳහන් කෙරුනු පරිදි, “රසායනික පොහොර තහනම, මහජන සෞඛ්‍යය හෝ පරිසරය පිලිබඳ උත්සුකයකින් සිදු කෙරුනක්ය යන්න අමූලික බොරුවකි”. ඊට විපරීතව මෙම පියවර, කොවිඩ් වසංගතය මගින් වේගවත්කොට ඇති ආර්ථික අර්බුදය හමුවේ, විදේශ විනිමය පිටතට ගලා යාම අවම කරගැනීමේ මංමුලාසහගත ප්‍රයත්නයක් බව එම ලිපියෙන් පෙන්වා දුනි.

“අතීත ශ්‍රී විභුතියකට” හා “සරල ග්‍රාමීය දිවි පෙවෙතකට” ඉතිහාසය ආපසු හැරවිය හැකිවෙතැයි යන අන්ත පසුගාමී චින්තනයට, මෙම “රසායනික පොහොර තහනම” මගින් ආමන්ත්‍රනය ‌කිරීම හරහා, වසංගතය මගින් තීව්‍ර කෙරී ඇති පන්ති අරගල රැල්ල අපගමනය කිරීමේ අරමුනෙන් ප්‍රවර්ධනය කෙරෙන ජාතිකවාදයට ගැම්මක් ලබා ගැනීමට ද රාජපක්ෂ බලාපොරොත්තු වන බව එම ලිපිය පැහැදිලි කලේය.

කෙසේ නමුත්, රාජපක්ෂගේ රසායනික පොහොර තහනම ගෙන එනුයේ කවර හෝ  විද්‍යාත්මක පදනමක් මත නොවන බව ඒ පිලිබඳ ප්‍රාමානිකයෝ පවසති. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය සමන් ධර්මකීර්ති ලෝසවෙඅ ට ප්‍රකාශ කලේ, “ප්‍රශ්නය වන්නේ, රසායනික ද? කාබනික ද? යන්න නොව පොහොර අවභාවිතය” බව යි. ගොවිතැන ක්ෂෙනිකව තීන්දු ගතහැකි විෂයක් නොවන බවත්, අවම වශයෙන් වසර පහකට වැඩි කලක් සිදුකරන පර්යේෂන ප්‍රතිඵල නිරන්තරව, එයට අදාල කරගතයුතු බවත් ඔහු පැවසී ය.

ගිරාඳුරුකෝට්ටේ ගොවියකු වන කරුනාසේන ලෝසවෙඅ ට මෙසේ පැවසීය: “කාබනික පොහොර හරි රසායනික පො‍හොර හරි නෙවෙයි ගොවියා මුහුන දෙන ප්‍රශ්නෙ, මොන පොහොරක්වත් කියක්හරි දීලා ගන්න නැති එක. කරපු වගාවන් ඔක්කොම මැරිල ගිහින්, අනිත් එක ජල ප්‍රශ්නෙ, මේ කිසිම ආන්ඩුවක් ඒක විසඳුවෙ නෑ, වැව් ගොඩවෙලා තියෙන්නෙ. ඒ ප්‍රශ්න මදිවට දැන් පොහොර ප්‍රශ්නෙ,”

වල් නාශක සහ කෘමි නාශක නොමැති බැවින්, කුඹුරු ලියදි පාලුවට ගොස් පවතින බව ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය. “වල් නාශක කෘමි නාශක නෑ, ඒවා දෙවතාවක් ගහලත්, පහුගිය දවස්වල හරියට වල් විනාශ කරගන්න බැරි උනා, දැන් වගා බිම් කැලෑ වෙලා, හොඳ බිත්තර වී නැතිව අස්වැන්න  හොඳටම අඩුයි.”

යමක් කමක් කරගත හැකි කීපදෙනෙකු පමනක් මැෂින් භාවිතයෙන් තම කටයුතු  කරගන්නා බව ප්‍රකාශකල ඔහු එය සෑම ගොවියකුටම කල නොහැකි බව දැඩි අපේක්ෂා භංගත්වයකින් කියා සිටියේ ය. “අපට මොන ආන්ඩු ආවත් වැඩක් නෑ .. වගාවට වතුර ටික, පොහොර ටික, බීජ ටික දෙන්නෙ නෑ, ගොවියට නිසි මිලකට වී ටික, එලවලු ටික විකුනගන්න නෑ.., ගොවියා ඉන්නවද මැරිලද කියල දන්නෑ.” 

පොහොර ප්‍රශ්නය ජීවිතයත් මරනයත් අතර ප්‍රශ්නයක් බව පැවසූ ඔහු, දරුවන් තිදෙනා සහ බිරිඳ මතුවට ජීවත් කරවන්නේ කෙසේදැයි ප්‍රශ්න කලේ ය.

කැප්පෙටිපොල ගොවියකු වන ගුනරත්න කියා සිටියේ ගොවීන් මුහුනදෙන ව්‍යසනකාරී තත්වය සම්බන්ධයෙන් ආන්ඩුව සම්පූර්නයෙන් වගකිවයුතු බවයි. “ආන්ඩුව කියනවා පොහොර මිටියක සැබෑ වටිනාකම රුපියල් 4000 ක් බව, ඒකදෙන්නෙ රු.1000ටලු, ඒ අනුව අපට රු.3000ක සහනයක් දෙනවලු, කොහෙද ඔය ගනනට තබා කීයටවත් ගන්න පොහොර තිනේනෙ, කලුකඩේ තිබුනෙත් රු.1500ට වඩා වැඩි මිලකට,”

ආන්ඩුව වැටී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට පොහොර තහනම පෙරට ගත් බව පැවසූ ඔහු, වකුගඩු වැනි රෝග තුරන් කිරීමට එම පියවර ගත් බවට ජනාධිපති ඇතුලු “ආන්ඩුවේ හෙන්චයියන් රට පුරා ඇවිදිමින්, ගොවීන් ඇතුලු මහජනතාවට බොරු කියා රවටන” බව දැඩි  කෝපයෙන් විස්තර කලේ ය. කෙසේ වෙතත් මෙහි අවසානය පොහොර සහනාධාරය කප්පාදුව බව ඔහු, අවධාරනය කලේ ය.

වැලිමඩ ප්‍රදේශයේ ගොවියකු මෙසේ පැවසීය: “රසායනික පොහොර වලින් තමා අපි දිගටම වගා කලේ, ඒවා අහිත කර වන්න පිලිවන්, ඒත් අපි මොනව කරන්නද? ආන්ඩුව හිටිහැටියේ පොහොර තහනම් කලා, හිතා ගන්නත් බෑ දැන් පොහොර ටිකක් ගන්න තැනක් නෑ, අපි මේ වගා කරන්නේ බැංකු වලට දහස් ගනන් නය වෙලා, පොහොර නැතිව දවසින් දවස වගාවන් විනාශයට යනවා. බැංකු නය ගෙවීම දැන් සිහිනයක්, ඒත් නය පැහැර හැරීම් පිලිබඳ ලිපි සෑමදාම වරදින් නෑ, ආන්ඩුව ඩොලර් හිඟයකින් ඉන්නෙ, ගොවියගෙ ඇහැ වහලා පොහොර ප්‍රශ්නයක් ගෙනාවේ ඒකයි.”

කුරුනෑගල ප්‍රදේශයේ වී ගොවියකු කියා සිටියේ, හෙක්ටෙයාරයක් සඳහා වී වගාවට රු.75,000 කට වැඩි වියදමක් යන නමුත්, බැංකුවලින් නය නොදෙන බැවින්, කීප දෙනකුගෙන් ඉහල පොලියට නය රැගෙන මෙවර වගාව කල බවයි. “මේ පොහොර ප්‍රශ්නෙ ආවට පස්සෙ, කරකලා අත ඇරිය වගේ උනා. ගෙදර දරු පවුලට කන්න දෙන්නෙ කොහොමද? නය ආපසු ගෙවන්නෙ කොහොමද? ලමයි දෙන්නෙක් ඉන්නවා ඒ අයට උගන්වන්නෙ කොහොමද? ඔන් ලයින් කරන්න අවශ්‍ය උපකරන නෑ, ගොවි සංවිධාන තියනවා ඒ අය මාධ්‍ය ඉස්සරහ සුන්දර කතා කීවට අපට කිසිම වැඩක් නෑ ”යැයි ඔහු කෝපයෙන් පැවසීය.

ජූනි 15 දා සිරස රූපවාහිනිය මගින් අදහස් දැක්වූ කන්තලේ ගොවියෙක් තම වගාව පෙන්වමින් මෙසේ පැවසීය: “මේවායේ ගොයම් කරල්වත් නෑ, බජිරි තියෙන්නෙ තනිකරම, බලන්න යනුවෙන්” දැක් වීය. එහි තවත් ගොවියකු පෙන්වා දුන්නේ, අක්කර 200ක් පමන වන කුඹුරු යායේ ගොයමට වඩා තනකොල වැඩී ඇති බවයි. “අද ගොයමට අත්වෙලා තියෙන  ඉරනම තමා මේ පේන්නෙ, වී බෑග් 50ක් වත් ගන්න බෑ, මිනිසුන් විඳින්නෙ අන්ත අසරන දුකක්, ගොවියා නොමග යැව්වා, ගොනාට ඇන්දුවා” යැයි පවසමින් ඔහු තම විරෝධය පෑවේ ය.

වවුනියාව, ඉරට්ට පෙරියකුලම්හි ගොවි කන්ඩායමක් අතරින් කෙනෙක් මෙසේ කීවේය: “අපට පිලිසරනක් වෙයි කියල හිතන්න බෑ. ලංකාව හැමතැනම පොහොර තියෙනවලු. ඒත් මෙහෙනම් දැකගන්න නෑ. වෙලකට බැහැපු මිනිහෙක් ද මන්දන් නෑ එහෙම කියන්නෙ. මම රුපියල් 120,000ක් නයවෙලයි ඉන්නෙ, ඒවා ගෙවන්නෙ කවුද?”

ලූනු බීජ හොන්ඩරය පස් ගුනයකින් පමන ඉහල යාමට එරෙහිව කල්පිටියෙ රතුලූනු ගොවීන් දියත් කල උද්ඝෝෂනයක් ද මාධ්‍ය තුලින් ප්‍රචාරය විය.

ගොවීන් පමනක් නොව, අනෙකුත් කම්කරු-පීඩිත මහජනතාව ද රාජපක්ෂ ආන්ඩුවේ දැඩි ප්‍රහාරයන්ට ගොදුරු වෙමින් සිටිති. සෞඛ්‍ය, අධ්‍යාපන, වතු, ඇඟලුම්, දුම්රිය, වරාය, තැපැල් සහ ප්‍රවාහන ඇතුලු විවිධ ක්ෂේත්‍රයන්හි කම්කරුවෝ, වැඩවර්ජන ඇතුලු උද්ඝෝෂනයන් හි   නිරත වෙමින් මෙම ප්‍රහාරයන්ට එරෙහිව සටන් වදිමින් සිටිති.

ලොවපුරා පාලක පන්තීන් විසින් වසංගතය මැඩීමට අත්‍යවශ්‍ය වන පියවර සාපරාධී ලෙස ප්‍රතික්ෂේප කොට මහජනතාව ඉමහත් ව්‍යසනයකට ඇදදමා තිබියදී, බිලියනපතියන්ගේ ධනය ගිය වසර තුල සියයට 60 කින් වැඩි වී ඇත. ඊට සමාන්තරව අනෙක් පස, කම්කරු පීඩිත ජනතාව, මරනයට, විරැකියාවට, දරිද්‍රතාවට සහ නයගැති බවට ඇද දමා ඇත. 

ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයන් මත එල්ල කෙරෙන මෙම ප්‍රහාරයන්ට එරෙහිව, ලෝක පරිමාන පන්ති අරගල රැල්ලක් මතුව ඇත. එක්සත් ජනපදයේ වොල්වෝ ට්‍රක් රථ කම්කරුවෝ, කැනඩාවේ පතල් කම්කරුවෝ, බ්‍රසීලයේ ගුරුවරු සහ බස් රථ රියැදුරෝ, ඉන්දියාවේ මෝටර් රථ කම්කරුවෝ මෙම අරගල මාලාවට එක්ව සිටිති. 

ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත ගොවීන්, කෘෂි ව්‍යාපාරික ගැති පනත්වලට එරෙහිව  මාස හතකට වැඩි කාලයක් පුරා ගෙනයන විරෝධතා ව්‍යාපාරය මගින් අගමැති නරේන්ද්‍ර මෝදි ගේ බීජේපී ආන්ඩුව ඇතුලු සමස්ත පාලක පන්තිය තැතිගන්වනු ලැබ ඇත. 

ලංකාවේ ගොවියන්ගේ විරෝධතාවන් ද මෙම ජාත්‍යන්තර අරගල මාලාවේ කොටසකි. කෙසේ නමුත්, මෙම අරගල වලට පැනගෙන සිටින ජනතා විමුක්ති පෙරමුන, ව්‍යාජ-වාම සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ඔවුනගේ ඊනියා ගොවි සංවිධාන, මෙම අරගල ධනපති ආන්ඩුවට පීඩනය යෙදීමේ විරෝධතා වලට කොටුකොට දියකර හැරීම සඳහා වැඩට බැස ඇත. 

ලෝක ධනේශ්වර අර්බුදයෙන් සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයෙන් මෙහෙයවෙන මෙම ප්‍ර‍හාර පරාජය කල හැක්කේ, ගොවීන් ඇතුලු අවශේෂ පීඩිතයන් රැලිකර ගන්නා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් මගින්, ගෝලීය ධනවාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා කෙරෙන සටනකින් පමනි. එම වැඩපිලිවෙල මත පිහිටුවන කම්කරු ක්‍රියාකාරි කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීමට සමාජවාදී සමානතා පක්ෂය සටන් වදින්නේ එබැවිනි.

Loading