විරුද්ධ පක්ෂ “කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත” අරබයා ව්‍යාජ මිලිටරීකරන විරෝධයක් මවා පාති

විරුද්ධ පක්ෂ පාර්ලිමේන්තුව තුල සහ ඉන් පිටත, “කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත” අරබයා ‘මිලිටරීකරන විරෝධයක්’ මවා පාමින් සිටිති. කෙසේ නමුත්, මෙය කම්කරු පීඩිත මහජනතාවට එරෙහි ව රාජපක්ෂ ආන්ඩුව කර ගෙන යන තථ්‍ය මිලිටරීකරනයට එරෙහි වූ අව්‍යාජ විරෝධයක් නොවේ. ඔවුනගේ විරෝධය පිටුපස ඇත්තේ, අධ්‍යාපන ක්ෂේත්‍රයට මිලිටරිය මැදිහත් කරවී‍ම පිලිබඳ ඒ හෝ මේ නොඑකඟතාවන් සහ පනතට එරෙහිව වැඩෙන මහජන විරෝධය ගසාකෑමේ උත්සුකයන් පමනි.

පසු ගිය 8 වැනි දා උක්ත පනත පාර්ලිමේන්තුව තුල දෙ වැනි වර විවාදයට ගනු ලැබූ අවස්ථාව මෙම ව්‍යාජ විරෝධය තියුනුව විශද කල අවස්ථාවකි,

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන ධනේශ්වර පෙරමුනක් වන ජාතික ජන බලවේගයේ (ජාජබ) පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය විවාදයට එක් වෙමින්, “කැඩෙට් ඔෆිසර්ලාට මිලිටරි විෂයන් තුල පුහුනුව ලබා ගැනීමට එම ආයතනය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් අපිට කිසිදු ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නය වෙන්නෙ මේක ඊට එහා ගිහිල්ලා සමස්ත උසස් අධ්‍යාපන ව්‍යූහයට ම කරන බලපෑම තුල” යැයි කීවා ය.

දෙමල ජාතික මහජන සන්ධානයේ (ටීඑන්පීඒ) ජී. පොන්නම්බලම් කියා සිටියේ, “මම තමයි ශ්‍රී ලංකා යුද හමුදාවේ ලොකු ම විවේචකයා. නමුත් රටට මිලිටරියක් අවශ්‍යයයි කියන කාරනාව සම්බන්ධයෙන් කිසිදු සැකයක් නෑ. ඒ හමුදාව උසස් විශේෂඥ බවක් අත්පත් කර ගත යුතුයි කියන කාරනාව සම්බන්ධයෙනුත් සැකයක් නෑ. නමුත් මිලිටරිය විශාල වශයෙන් සමාජයට මුසු වීම සමාජය බෙලහීන කරනු ඇති” බව යි.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්

දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) වෙනුවෙන් සංවාදයට එක් වූ මඩකලපුව මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මෙසේ පැවසීය: “ආරක්ෂක ප්‍රතිපත්තිය අනුව හමුදාවට පුහුනුව ලබා දෙන්න. අපි ඒකට විරුද්ධ නෑ. සිවිල් වැසියන්ගේ අධ්‍යාපනයට අත තියන්න එපා කියලා කියන්නෙ.”

අමරසූරිය විසින් මෙලෙස ප්‍රවර්ධනය කොට පවත්වාගෙන යායුතුයැයි කියන්නේ, තමා නියෝජනය කරන සංවිධානයට නායකත්වය දෙන ජවිපෙ හි සාමාජිකයන් ද ඇතුලු ගම්බද තරුනයන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක්, 1971 දී සහ 1988-89 දී, කුරිරු ලෙස මරා දැමූ මිලිටරිය යි. අනෙක් අතට, දෙමල ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවක් කියාපාන ටීඑන්ඒ සහ ටීඑන්පීඒ පක්ෂ, දශක තුනක සිවිල් යුද්ධයේදී, දසදහස් සංඛ්‍යාත දෙමල මහජනයා මරාදැමූ මිනීමරු මිලිටරියට “පුහුනුව” සහ “උසස් විශේෂඥ බවක්” ලබාදිය යුතුයැයි නරුම ලෙස කියා සිටී.

මෙම කුහකත්වය සහ නරුමත්වය ගලා එන්නේ ඔවුන්ගේ පංති අවශ්‍යතාවයන්ගෙනි. සිංහල වුව ද, දෙමල වුවද ඔවුන් නියෝජනය කරන්නේ ධනපති පංතියේ අවශ්‍යතාවයන් ය. නිෂ්පාදන මාධ්‍ය හිමි ධනපති පංතිය, කම්කරු පංතියේ ශ්‍රමය සූරාකනු වස් ඓතිහාසික ව වර්ධනය කරගත් උපකරනය වන ධනපති රාජ්‍යය ආරක්ෂා කිරීමට මෙම “විපක්ෂ” දිවිහිමියෙන් කැප වී සිටිති. එහි අත්‍යන්ත අවයවයක් වන මිලිටරිය ප්‍රවර්ධනය කොට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඔවුන් මෙතරම් උත්සුක වන්නේ එබැවිනි.

වි.අයි.ලෙනින් තම 'රජය සහ විප්ලවය' කෘතියෙහි පෙන්වාදුන් පරිදි, ධනපති රාජ්‍යය යනු, කම්කරු පංතිය 'මර්දනය කිරීම සඳහා වන ප්‍රචන්ඩත්වයේ සංවිධානය යි'. මෙම සංවිධානයට මිලිටරිය, පොලීසිය, පාර්ලිමේන්තුව, අධිකරනය, සිර ගෙවල් සහ ආගමික සංස්ථාපිතය ආදී අවයව අන්තර්ගත වෙයි. ධනපති ක්‍රමයේ අභ්‍යන්තර පරස්පර විරෝධතා ගැඹුරු වී එය අර්බුදග්‍රස්ථ වෙත්ම, කම්කරු පංතියට එරෙහි ප්‍රචන්ඩත්වය වඩාත් තීව්‍ර කෙරෙන අයුරින් මෙම අවයව සංවිධානය කර ගැනීමට සහ මෙහෙයවීමට ධනපති පංතිය පියවර ගනී.

1970 ගනන්වල අගභාගයේ පැනනැගි ලෝක ආර්ථික අර්බුදය හමුවේ සෑම රටකම පාලක පංතීන් ප්‍රතිචාර දැක්වූයේ, එහි බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමෙන් සහ එම ප්‍රහාර වලට එරෙහිව පැනනැගි පංති අරගල ප්‍රචන්ඩ ලෙස මඩිමිනි. ලංකාවේ ජේ.ආර්.ජයවර්ධන ආන්ඩුව 1980 මහවැඩවර්ජනයේ දී ලක්ෂයක් කම්කරුවන් රැකියා වලින් දොට්ට දමමින් මෙම මර්දනය ආරම්භ කලේය. කම්කරු පංතියේ ශක්තිය දුබල කරනුවස් ලංකාවේ පාලකයන් ආරම්භයේ සිට යොදාගත් වර්ගභේදවාදය වඩාත් ඉස්මත්තට ගනිමින් 1983 දී එය කුරිරු වර්ගවාදී යුද්ධයක් බවටම පර්වර්තනය කිරීමට ජයවර්ධන පියවර ගත්තේය.

අධ්‍යාපනය සහ සෞඛ්‍යයට වෙන් කෙරුනු මුදල් දැවැන්තව කපා දමමින් රුදුරු මිලිටරි යාන්ත්‍රනයක් රටපුරා වර්ධනය කරනු ලැබුවේ මිලිටරිය රටෙහි ඉහලම වියදම් ක්ෂේත්‍රය බවට පත් කරමිනි. සෑම අනුප්‍රාප්තික ආන්ඩුවක් විසින්ම මෙය ඉදිරියට ගෙනගිය අතර, යුද්ධයේ ප්‍රධාන කසකරුවෙකු වූ ජවිපෙ මෙම සෑම ප්‍රතිගාමී පියවරකට ම පූර්න සහාය ලබා දුන්නේ ය.

දශක තුනකට ආසන්න කාලයක් පැවති වර්ගවාදී යුද්ධය තුලදී සමාජ, ආර්ථික සහ දේශපාලන ක්ෂේත්‍රයේ සෑම අංශයකට ම මිලිටරිය කා වද්දනු ලැබුවේ සහ “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත” වැනි රුදුරු ප්‍රජාතන්ත්‍ර-විරෝධී මර්දන නීති ස්ථාපිත කරනු ලැබුවේ, ධනපති පක්ෂ, ජවිපෙ ඇතුලු සිංහල ස්වෝත්තමවාදී නඩ, සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ වැනි පාරාජිකාවූ සංවිධාන, නව සමසමාජ පක්ෂය වැනි මාධ්‍යමික ව්‍යාපාර, ව්‍යාජ-වාම පක්ෂ සහ වෘත්තීය සමිති ලබාදුන් සහායෙනි.

වසංගතයෙන් උග්‍ර කෙරුනු ආර්ථික අර්බුදය හමුවේ රාජපක්ෂ ආන්ඩුව කම්කරු-පීඩිත මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන් වඩාත් ගැඹුරු කර ඇත. තම පාලනය ආරම්භ කල මොහොතේ පටන් රජයේ මර්මස්ථාන වලට, සේවයේ නියුතු සහ විශ්‍රාමික ඉහල මිලිටරි නිලධාරීන් පත් කරමින් මිලිටරීකරනය ගැඹුරු කල රාජපක්ෂ, වසංගත පාලනය මිලිටරිය යටතට ගෙනඑමින් එය වඩාත් ඉස්මත්තට ගත්තේය.

“කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත” පාර්ලිමේන්තුව තුල කඩිනමින් සම්මත කර ගැනීමට දරන ප්‍රයත්නය ද මෙම මිලිටරීකරන වැඩපිලිවෙලේ කොටසකි. කොතලාවල විශ්ව විද්‍යාලය කේන්ද්‍රකර ගනිමින්, මිලිටරිය මගින් පාලනය වන සහ ගාස්තු අයකොට අධ්‍යාපනය ලබාදෙන විශ්ව විද්‍යාල ජාලයක් රටපුරා ගොඩනැගීම පනතේ අරමුනයි. 1981 දී මිලිටරි අභ්‍යාස විද්‍යාලයක් වශයෙන් පටන් ගෙන 1986 දී උපාධි ප්‍රදාන ආයතනයක් බවට පත් කෙරුනු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට, 2012 දී ගාස්තු අයකිරීම යටතේ සිවිල් සිසුන් ද ඇතුලත් කර ගැනුනි.

ගාස්තු අය කිරීම යටතේ මෙම විශ්ව විද්‍යාල පද්ධතියට බඳවා ගැනෙන දහස් සංඛ්‍යාත සිවිල් සිසුන් සමග සමීප සබඳතා වර්ධනය කර ගන්නා මිලිටරිය විසින්, සිවිල් ක්ෂේත්‍රවල රැකියාවන්ට ඔවුන් යොමුවූ පසු ගොඩනගාගන්නා ජාලයක්, ආන්ඩුවලට එරෙහි ව පැන නැගිය හැකි පන්ති අරගල තලා දැමීමට යොදා ගැනීම මෙහි ප්‍රධාන අරමුනකි.

මිලිටරිය මත පාදක වූ ජනාධිපති ආඥාදායකත්වයක් දෙසට ගමන් කරන රාජපක්ෂ ආන්ඩුව, එලඹීමට නියමිත දැවැන්ත පන්ති අරගල තුල තරුනයන් ඉටු කරනු ඇති ප්‍රමුඛ භූමිකාව කෙරෙහි තියුනු අවධානයකින් පසු වෙයි. තරුනයන් විනයගත කිරීමට මිලිටරි පුහුනුවක් ලබා දිය යුතු ය යන්න ධනේශ්වර සංවාද මන්ඩප තුල කලක් තිස්සේ සාකච්ඡාවට ගැනෙන්නකි. තම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් එවැන්නක් ගෙන ඒමට සූදානම් වෙමින් සිටින බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර පසුගිය දා සඳහන් කලේ ය.

ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරිය පමනක් නොව, මිලිටරියේ පරම විවේචකයන් ලෙස තමා ව ම හඳුන්වා ගන්නා දෙමල ධනේශ්වර දේශපාලකයන්ට ද ධනපති මිලිටරිය පවත්වාගෙනයාම සම්බන්ධයෙන් විරෝධයක් නැත. ඔවුන් මිලිටරියට විරුද්ධ වන්නේ, තම වරප්‍රසාද තහවුරු කර ගැනීමට ගෙනයන දෙමල ජාතිකවාදී දේශපාලන වැඩකටයුතු වලට එය හරස් වනතාක් පමනි.

මුහුන දී සිටින ගැඹුරු දේශපාලන සහ ආර්ථික අර්බුදය හමුවේ සමස්ත සමාජය ම මිලිටරීකරනය සඳහා රාජපක්ෂ ආන්ඩුව වෛෂයික ව තල්ලු කෙරී ඇති තතු යටතේ, හුදෙක් අධ්‍යාපනයේ මිලිටරීකරනය නතර කල හැකි නොවේ. මිලිටරීකරනය ඇතුලු අනෙකුත් ප්‍රහාරයන්ට එරෙහි සටන වනාහි, ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන සටනකි.

කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් හරහා ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසක් ලෙස, කම්කරු-ගොවි ආන්ඩුවක් මගින්, පවත්නා ධනපති ආන්ඩුව විස්ථාපනය කල යුතුය. කම්කරු පංතිය විසින් ගොඩනගා ගන්නා තමාගේ ම බල සංස්ථා අතට බලය ලබා ගනිමින් පිහිටුවන මෙම කම්කරු-ගොවි ආන්ඩුව, ධනපති රාජ්‍යය බිඳ හෙලා මිලිටරිය ඇතුලු එහි සියලු අවයව විසුරුවා හරිමින්, කම්කරු පංතියේ අරමුනු සාක්ෂාත් කෙරෙන කම්කරු රාජ්‍යයක් ස්ථාපිත කල යුතු ය.

1871 පැරිස් කොමියුනය පරාජයට පත්වීමෙන් පසු, 1872 පලකල කොමියුනිස්ට් ප්‍රකාශනයේ ජර්මානු සංස්කරනයට කාල් මාක්ස් සහ එංගල්ස් එක්ව ලියූ පෙරවදන තුල, ධනපති මිලිටරිය ද ඇතුලු ධනපති රාජ්‍යය කම්කරු පංතියේ අරමුනු සඳහා යොදාගත නොහැකි බව පෙන්වා දුන්නේ මෙසේය: 'කොමියුනය මගින්, විශේෂයෙන්, එක් කරුනක් සනාථ කෙරේ: කම්කරු පන්තියට හුදෙක් සදා නිමකල රාජ්‍ය යාන්ත්‍රනයක් අල්ලාගෙන එය තමන්ගේ අරමුනු සඳහා යොදා ගත නොහැක.'

Loading