ජවිපෙ නායකයා වසංගතය මැඩීමේ කම්කරු පන්තික ප්‍රතිචාරයකට එරෙහිව “ස්වයං ආරක්ෂාව” තොරොම්බල් කරයි

ශ්‍රී ලංකාව තුල කොව්ඩ්-19 වසංගතය ව්‍යාප්ත වෙමින් පවත්නා ඉමහත් වේගය හේතුවෙන් ලබන වසර උදාවන විට මිනිස් ජීවිත 30,000 ක් අහිමිවිය හැකි බවට අනතුරු අඟවමින්, එය වැලැක්වීම සඳහා වහා ගතයුතු පියවර වෛද්‍ය විශේෂඥයන් විසින් නිර්දේශ කලද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් ලක්ෂ සංඛ්‍යාත කම්කරු-පීඩිත මහජනයා මරනයට අත්හැර දමා ඇත. අවම වශයෙන් සති දෙකකට හෝ සමස්ත දිවයින අගුලු දමන ලෙස විශේෂඥයෝ ඉල්ලා සිටිති. රාජපක්ෂ දැඩිව කියා සිටින්නේ, “රටේ ආර්ථිකය” ඉතා දුර්වල මට්ටමක පවතින බැවින් එවන් අගුලු දැමීමක් කිසිසේත් කල නොහැකි බවයි.

අනෙක් රටවල පාලකයන් මෙන්ම, ආරම්භයේ සිටම මහධනපතියන්ගේ ලාභ රැකදෙනුවස් අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන ද පවත්වාගෙන යමින් වසංගතයට නිදහසේ ව්‍යාප්ත වීමට රාජපක්ෂ පාලනය කටයුතු කරද්දී සියලු විරුද්ධ පක්ෂ, ව්‍යාජ-වාම පක්ෂ සහ වෘත්තීය සමිති ඊට මුලුමනින්ම අනුබල දුන්හ. වසංගතය මැඩීමට යැයි කියමින් ආන්ඩුව කැඳවූ ඊනියා සර්ව-පාක්ෂික සාකච්ඡාවන්ට පාර්ලිමේන්තුවේ සියලු විපක්ෂ - සමගි ජන බලවේගය (සජබ), දෙමල ජාතික සන්ධානය (දෙජාස), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ මුස්ලිම් පක්ෂ - බඩ ගෑවෝය. එපමනක් නොව, ආන්ඩුවේ වසංගත මර්දන වැඩපිලිවෙල සාර්ථකව සිදුවන බව පවසමින් එයට ප්‍රශංසා කලහ.

නමුත් 150 ට වැඩි සංඛ්‍යාවක් දෛනිකව මරනයට පත් වෙමින්, ආසාදිතයන්ගෙන් රෝහල් වාට්ටු පිරී ඉතිරි ගොස් නිවෙස්වල සහ මහමග රෝගීන් මිය යමින් තිබියදී පවා අනුයන සාපරාධී පිලිවෙත සම්බන්ධයෙන් ආන්ඩුවට එරෙහිව වැඩී ඇති දැවැන්ත මහජන විරෝධය ගසාකෑමේ අරමුනෙන්, මෙම විපක්ෂ මහජනතාවගේ ගැලවුම්කරුවන් ලෙස වෙස් පෑමට පටන්ගෙන ඇත. තම තානය වෙනස්කොට ඇති ඔවුහු වහා අගුලු දැමීමකට යන ලෙස ආන්ඩුවෙන් ව්‍යාජ ලෙස ඉල්ලා සිටින අතරේ, තමා විසින්ම ආරක්ෂාව සපයා ගන්නා ලෙස මහජනතාවට කියා සිටිති.

අනුර කුමාර දිසානායක

ජවිපෙ එහි ප්‍රමුඛ භූමිකාවක් ඉටු කරයි. අගෝස්තු 15 දා මාධ්‍ය හමුවක් ඇමතූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෙසේ පැවසීය: “මේ රටේ පුරවැසියන්ගෙන් අප පක්‍ෂයක් විදිහට ඉල්ලන්නේ, ඔබගේ ආරක්‍ෂාව මේ පාලකයාගෙන් හෝ මේ පාලනයෙන් බලාපොරොත්තු වෙන්න එපා කියලා. ... දැන් පුරවැසියන් තමන්ගේ ආරක්‍ෂාව පිලිබඳව ගත යුතු සියලු ක්‍රියාමාර්ගවලට යොමු වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.”

සැබැව්න්ම ආන්ඩුව ද දිගින් දිගටම කියා සිටින්නේ “ආර්ථිකය වසා දැමීම කල නොහැකි බැවින් තමාගේ ආරක්ෂාව තමා විසින්ම සකසා ගතයුතු” බවයි. නමුත් ජවිපෙ එය පවසන විට එයට වෙනත් අරමුනක් පවතී; වසංගතය සහ ධනේශ්වර ප්‍රහාර පරාජය කිරීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මැදිහත්වීමක් වැලැක්වීම එහි අරමුනයි. එවන් මැදිහත්වීමක් ධනපති ආන්ඩුවට පමනක් නොව සමස්ත ධනපති ක්‍රමයට අභියෝග කෙරෙතැයි ජවිපෙ ඇතුලු සියලු ධනපති පක්ෂ, ව්‍යාජ-වාම පක්ෂ සහ වෘත්තීය සමිති බියවැදී සිටිති.

දිසානායක මෙම “ස්වයං ආරක්ෂාව” පිලිබඳ සූත්‍රය තවදුරටත් ඉදිරියට ගෙනයමින් කියා සිටියේ, “තමන්ගේ පවුලේ සාමාජිකයන්, අසල්වැසියන්, ඥාතීන් සහ රටේ පුරවැසියන්”ආරක්‍ෂා කිරීම සඳහා ක්‍රියාමාර්ගවලට මහජනයා අවතීර්න වියයුතු බවයි. එහි කොටසක් ලෙස “රජයේ සේවකයන් සේවයට කැඳවූවත් නොයන ලෙස” ඔහු ඉල්ලා සිටියේය.

මෙම ඉල්ලීම දෙආකාරයකින් විසකුරුය: පලමුව, වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා කම්කරුවන්ට ඇති මූලික අයිතිය මත, කම්කරු පන්තියේ සංවිධිත සහ සාමූහික කාර්මික ක්‍රියාවක් ලෙස වැඩ වර්ජනයෙහි යෙදීම වෙනුවට, තනි තනිව තීන්දුගෙන සේවයට නොගොස් සිටීමට කෙරෙන මෙම යෝජනාව කම්කරුවන්ගේ රැකියා අහිමි කිරීම ඇතුලු රාජ්‍ය දඩයමට තුඩුදෙන මර උගුලකි.

දෙවනුව, ජවිපෙ හි මෙම යෝජනාව පිලි නොගෙන සේවයට වාර්තා කරන කම්කරුවන් රෝගය ව්‍යාප්ත කරන්නන් ලෙස, නැතහොත් “තමන්ගේ පවුලේ සාමාජිකයන්, අසල්වැසියන්, ඥාතීන් සහ රටේ පුරවැසියන්” අනතුරේ හෙලන්නන් ලෙස හංවඩු ගසා ඔවුනට එරෙහිව මහජනයා උසි ගැන්වීමේ අන්තරාය ද මෙහි පවතී. 1988-89 වසර වලදී ගෙනගිය “මව්බ්ම රැකීමේ” ෆැසිස්ට් පන්නයේ ව්‍යාපාරය තුල, ජවිපෙ නියෝග නොතකා සේවයට වාර්තා කල කම්කරුවන් සිය ගනනක් අමුඅමුවේ මරා දැමුනි.

ජවිපෙ උපතේ සිට කම්කරු පන්තියට එරෙහි ව්‍යාපාරයකි. 1960 ගනන් වල මැද භාගයේ, මාඕවාදය සහ කැස්ත්‍රෝවාදය සමග සිංහල ස්වෝත්තමවාදය කලතාගත් සුලු ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ ජවිපෙ, ගොවිජනතාව මත පාදකවූ “ලංකාවට ගැලපෙන සමාජවාදයක්” තොරොම්බල් කරමින් සිටියහ. 1988-89 කාල වකවානුවේදී ෆැසිස්ට් පන්නයේ වැඩකටයුතු වල නිරත වූ ජවිපෙ, ඔවුනගේ බලහත්කාරී “වැඩවර්ජන”, පෙලපාලි සහ රැස්වීම් වලට කම්කරුවන් දැක්කුවේ තුවක්කු බටයෙනි.

1980 ගනන් මුල ආරම්භ වූ නිෂ්පාදනයේ භූගෝලීයකරන සන්තතියත් සමග ලොව සියලුම වර්ගයේ ජාතික විමුක්ති ව්‍යාපාර තම අධිරාජ්‍ය-විරෝධී වාගාලාපයන් සහ ජාතිකවාදී ව්‍යාපෘති අත්හැර අධිරාජ්‍යවාදයේ සුවච කීකරු බැලයන් බවට පත්වීමේ ජාත්‍යන්තර ප්‍රපංචයේ කොටසක් ලෙස ජවිපෙ ද තම “සමාජවාදී” වාගාලාප ක්‍රමානුකූලව අත්හරිමින් ධනේශ්වර සංස්ථාපිතයේ පක්ෂයක් බවට පරිවර්තනය විය. දැන් එය නියෝජනය කරන්නේ මහා ව්‍යාපාරික ප්‍රභූවේ අවශ්‍යතාවන් වන අතර එය වටා ගැලතී සිටින්නේ වරප්‍රසාදලත් ඉහල මධ්‍යම පන්තික තට්ටුවකි.

ජවිපෙ හි මෙම ධනේශ්වර ස්වභාවය, දිසානායකගේ ඉහත මාධ්‍ය ප්‍රකාශයෙන් මනාව විශද විය. “සේවයට නොයන ලෙස” රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටි ඔහු පුද්ගලික අංශයේ කම්කරුවන්ට එම ඉල්ලීම ඉදිරිපත් නොකලේ, එවැන්නකින් මහධනපතියන්ගේ ලාභෝත්පාදනයට වන බාධාව සැලකිල්ලට ගනිමිනි. 2020 පාර්ලිමේන්තු මැතිවරනයට සූදානම් වෙම්න් සිටියදී මහා ව්‍යාපාරිකයන් හමුවූ දිසානායක, පුද්ගලික අංශය කෙරෙහි තම පක්ෂයේ ආකල්පය සම්බන්ධයෙන් කවර හෝ සැකයක් ඇති කර නොගතයුතු බවට ඔවුන්ට සහතික විය: “අපට ‘අපේ දැක්ම’ ඇතත් ප්‍රතිපත්ති තීරනය වන්නේ ඔබේ හා අපේ අදහස් එකට එකතු කර ගැනීමෙනි. ආර්ථිකය සඳහා රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ද අත්‍යවශ්‍ය ය.”

වසංගතය මධ්‍යයේ ඇඟලුම් වැනි අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන‌ පවා පවත්වාගෙන යමින්, අඩක් කපා දැමූ වැටුපකට කම්කරුවන් වැඩට දැක්කීම සැලසුම් කෙරුනේ හාම්පුතුන්, ආන්ඩුව සහ වෘත්තීය සමිති යන ත්‍රෛපාර්ශ්වය එක්ව ගත් තීරන මතයි. ජවිපෙ වෘත්තීය සමිති මේ මිනීමරු පිලිවෙතට පූර්න දායකත්වය දුන් අතර එහි ප්‍රතිඵලය වූයේ, සිය ගනන් කම්කරුවන් ආසාදනය කරන වසංගතය ව්‍යාප්ති මධ්‍යස්ථථාන බවට එම කම්හල් පත් වීමයි.

ධනපති ක්‍රමයේ සහ සිංහල-බෞද්ධ ධනපති රාජ්‍යයේ පරම ආරක්ෂකයෙකු වන ජවිපෙ, කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව ධනපති ආන්ඩු එල්ල කරන යම් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඉඳහිට හෝ කතා කරන්නේනම්, ඒ සෑමවිටම උත්සාහ දරන්නේ එම ප්‍රහාරය ධනපති ක්‍රමය මුහුන දී සිටින ඓතිහාසික අර්බුදයේ ප්‍රතිඵලයක් බව වසන්කොට, ඒ හෝ මේ පාලකයාගේ උඩඟු බවක හෝ අමනෝඥ බවක ප්‍රකාශනයක් ලෙස අර්ථ දැක්වීමටයි.

වසංගතයට ලොවපුරා පාලකයන් දක්වන එක හා සමාන සාපරාධී ප්‍රතිචාරය පාදකව පවතින්නේ මිනිස් ජීවිත වලට ඉහලින් මහධනපතියන්ගේ ලාභය තැබීමේ පිලිවෙත බව වසන් කරන ජවිපෙ නායකයා, ආන්ඩුවේ මිනීමරු ප්‍රතිචාරය ජනාධිපති රාජපක්ෂගේ පුද්ගලික දුර්වලකමකට ඌනනය කරයි. ඉහත මාධ්‍ය හමුවේදී ඔහු මෙසේ පැවසීය: “මෙය ආන්ඩුවේ සාමූහික තීන්දු ගැනීමක් නෙවෙයි. ජනාධිපතිවරයාගේ උද්ධච්ඡ තීන්දුවල ප්‍රතිඵලයක්. ඔබ නිහතමානී නැහැ. අනෙකාට ඇහුම්කන් දෙන්න සූදානම් නැහැ.” අනතුරුව රාජපක්ෂ යනු “නොදන්නාබව නොදන්නා” අයෙකු ලෙස හඳුන්වන දිසානායක, වසංගතය කෙරෙහි ආන්ඩුවේ ප්‍රතිචාරය ජනාධිපතිගේ මුග්ධභාවයේ ප්‍රතිඵලයක් ලෙසද ගෙනහැර දක්වයි.

රාජපක්ෂ විසින් පසුගිය වසරේ සම්මත කරගත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරමින් දිසානායක පැවසුවේ, ජනාධිපති එය උපයෝගී කරගෙන තිබෙන්නේ “ජනතාව මරනයෙන් බේරා ගැනීමට නොව ජනතාව මරනයේ දිශාවට තල්ලු කිරීමට” බවයි. මෙම සංශෝධනය සිදු කෙරුනේ, අති මූලික වශයෙන්ම, වැඩෙන පන්ති අරගල තලා දැමීම සඳහා මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට රාජපක්ෂ යන වේගවත් ගමනේදී එයට අවශ්‍ය බලතල සංකේන්ද්‍රනය කර ගැනීමේ අරමුනෙනි.

කෙසේ නමුත්, 2004 දී අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව නෙරපීම සඳහා ජනාධිපති විධායක බලතල යොදා ගන්නා ලෙස එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගට ජවිපෙ එල්ල කල විවෘත පීඩනය, එම පක්ෂය විධායක ජනාධිපතිත්වයට දක්වන විරෝධයේ වංචනිකභාවය මනාව පෙන්නුම් කෙරුනු සිද්ධියක් විය.

වසංගතය නොතකා කම්කරුවන් වැඩට දැක්කීමේ දී ඔවුන්ගෙන් එන කවර හෝ ප්‍රතිරෝධයක් තලා දැමීමේ අරමුනෙන්, රාජ්‍ය අංශයේ ක්ෂේත්‍ර ගනනාවකට “අත්‍යවශ්‍ය සේවා” නියෝග පැනවීමට රාජපක්ෂ පියවර ගත්තේ ඔහු සතු මෙම රුදුරු විධායක බලතල යොදා ගනිමිනි. “අත්‍යවශ්‍ය සේවා” නියෝගයන්ට යටත් වන ක්ෂේත්‍රයන්හි කම්කරුවන්ට වැඩවර්ජන සහ විරෝධතා තහනම් වන අතර, එවන් පන්ති ක්‍රියාවක යෙදෙන හෝ එයට අනුබල දෙන අය සිර දඬුවමකට හෝ රැකියාව අහිමි කිරීමකට යටත් කල හැක. ජවිපෙ සහ ඊට අනුබද්ධ වෘත්තීය සමිති මෙම නියෝගය සම්බන්ධයෙන් පූර්න නිහැඬියාව රකිමින් එයට සහාය දෙති.

දිසානායක ඉහත මාධ්‍ය හමුව අවසන් කලේ, “මේ රටේ මිනිස්සුන් ඇති තරම් කඳුළු හලා තිබෙනවා. මේ මහ පොලොව ඇති තරම් ලේවලින් තෙත් වී තිබෙනවා. අපේ පරම්පරාවේ මිනිස්සු මෙම ජනාධිපතිවරයාගේ තකතීරු තීන්දුවල ගොදුරු බවට පත් නොවිය යුතුයි” යන කුහක ප්‍රකාශය කරමිනි. මේ රටේ මිනිසුන් වැඩිපුරම ලේ සහ කඳුළු හලා ඇත්තේ 26 අවුරුදු වාර්ගික යුද්ධයේ දී වන අතර, කොලඹ පාලකයන් විසින් දෙමල පීඩිත ජනයාට එරෙහිව ගෙනගිය එම ම්ලේච්ඡ යුද්ධයේ ප්‍රධානතම කසකරුවා වූ ජවිපෙ එම ලේ සහ කඳුළු වලට සෘජුවම වගකිව යුතුය.

එම අපරාධ ඉක්මවා යන ඉමහත් ව්‍යසනයක් බවට කොවිඩ් වසංගතය පත්කල ධනපති පන්තිය අතේ එහි පාලනය තවදුරටත් පැවතියදී, මහජනතාව “ස්වයං ආරක්ෂාව” සලසා ගතයුතු බවට ජවිපෙ ඇතුලු ධනපති පක්ෂ සහ ව්‍යාජ-වාම සංවිධාන ඉදිරිපත් කරන යෝජනාව මුලුමනින්ම අයතාර්ථවත් මෙන්ම ප්‍රතිගාමීය.

වසංගතය ජයගත හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මැදිහත්වීමකින් පමනක් බව සමාජවාදී සමානතා පක්ෂය (සසප) වසංගතය ආරම්භයේ සිට පෙන්වා දුනි. ජාතික පරිමාන අගුලු දැමීමක් යටතේ, අත්‍යවශ්‍ය නො වන කම්හල්වල සියලු සේවකයන්ට සම්පූර්න වන්දි සමගින් එම නිෂ්පාදන නවත්වන ලෙස ද, අත්‍යාවශ්‍ය සේවාවල නිරත වන සියලු කම්කරුවන්ට සුදුසු සෞඛ්‍ය හා ආරක්ෂක රැකවරනය සම්පාදනය කරන ලෙසද, ආදායම් අහිමි වන සියල්ලන්ට පූර්න වන්දි ලබාදෙන ලෙස ද ඉල්ලා සිටිමින් කම්කරුවන් සටන් වැදිය යුතු යැයි සසප නිරන්තරව අවධාරනය කරන ලදී.

කම්කරුවන්, තම වැඩපොලවල හා නිවහන් ප්‍රදේශවල තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගාගෙන මේ සඳහා ආරම්භකත්වය ගත යුතු බවත්, තරුනයන්ගේ හා ගම්බද දුගීන්ගේ සහයෝගය ඒ වටා රැලි කර ගතයුතු බවත් සසප පෙන්වා දුනි.

“ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් අර්බුදය: කම්කරු පන්තියට ක්‍රියාමාර්ගයක්” යන හිසින් 2020 මාර්තු 30 දා සසප නිකුත්කල ප්‍රකාශයේ මෙසේ සඳහන් කෙරුනි. “ මෙම අත්‍යවශ්‍ය පියවර වලට විරුද්ධ වනු ඇති ධනපති පන්තිය කම්කරුවන්ට හා දුගීන්ට එරෙහි ව ප්‍රචන්ඩ ලෙස හැරෙනු ඇත. මෙහි අර්ථය වන්නේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහාත්, බැංකු, මහා වතු හා විශාල ව්‍යාපාර කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ අස්වාමික කිරීම සඳහාත් සටන් වැදීම යි.”

“මෙය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයකි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) පැහැදිලි කර ඇති පරිදි: කොරෝනා වෛරසයට දක්වන ප්‍රතිචාරය ජාතික මට්ටමකින් සම්බන්ධීකරනය කල නො හැක... විසඳුම ගෝලීය විය යුතු ය.”

මිනිස් ජීවිතවලට ඉහලින් මහධනපතියන්ගේ ලාභය පිහිටුවීමේ ආන්ඩුවේ පිලිවෙත් ද ආන්ඩුවට මුක්කුව දීමට විරුද්ධ පක්ෂ දරන මංමුලා සහගත උත්සාහයන් ද, ප්‍රතික්ෂේප කරමින් ඉහත වැඩපිලිවෙල මත සටන් වැදීම හැර වසංගතයෙන් සහ අනෙකුත් ධනපති ප්‍රහාර වලින් අත්මිදීමේ අන් ක්‍රමයක් කම්කරු පන්තියට නොමැත.

Loading