මෙම ලිපිය Sri Lankan president reluctantly imposes pandemic lockdown මාතෘකාවෙන් 2021 අගෝස්තු 24 දින පලවූ ලිපියේ පරිවර්තනයකි.
සිකුරාදා හවස හදිසියේම “විශේෂ කතාවක්” පැවැත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඉහල නගිමින් පවතින කොරෝනා වෛරස් ආසාදනවලට හා මරනවලට ප්‍රතිචාර ලෙස, දින 10ක සීමිත ජාතික අගුලු දැමීමක් ප්‍රකාශයට පත්කලේ ය.
ඉහල යන ඩෙල්ටා ප්‍රභේද ආසාදනවලින් මහජනයා ආරක්ෂා කරගැනීම සඳහා, දැඩි සීමා පනවන ලෙස ස්වාධීන වෛද්‍ය විශේෂඥයන් විසින් යලි යලිත් කල ආයාචනාවන් එක දිගටම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, රාජපක්ෂ සිය කතාව පැවැත්වී ය.
ආර්ථිකය විනාශ මුඛයේ පැවතීම නිසා, තමන් අගුලු දැමීම පනවන්නේ අකමැත්තෙන් බව රාජපක්ෂ පැහැදිලි කලේ ය. ඒ සමගම, දීර්ඝ කාලීන අගුලු දැමීම් අවශ්‍ය වුවහොත්, මහජනයා “වඩ වඩා කැපකිරීම් වලට සූදානම්” විය යුතු යයි ඔහු අනතුරු අඟවා සිටියේය.
අගෝස්තු 1 හා 23 අතර ලංකාවේ නිල කොරෝනා වෛරස් ආසාදන සංඛ්‍යාව 85,516කින් ද මරන සංඛ්‍යාව 2,838කින් ද ඉහල නැගුනි. ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ගෝලීය ව ඉහල නගිමින් තිබෙන ආසාදන හා මරන සමග, මෙම සංඛ්‍යාවන් අඛන්ඩ ව ඉහල යමින් තිබේ.
පැවති සීමිත සංචරන සීමා ජූලි 5දා ඉවත්කල ආන්ඩුව, නිවසේ සිට රාජකාරී කල සියලු රාජ්‍ය සේවකයන්ට අගෝස්තු 2දා සිට පෙරලා වැඩට පැමිනෙන ලෙස නියෝග කරමින්, වෛරසයේ ගින්න පැතිරී යාමට තෙල් වත්කලේ ය. දරුනු ලෙස පැතිරෙන කොරෝනා වෛරසය වැලඳුනු රෝගීන් සියලු දෙනාට ප්‍රතිකාර කල නො හැකි තත්වයකට ලංකාවේ ගරාවැටුනු සෞඛ්‍ය පද්ධතිය දැන් ඇදවැටී තිබේ.
සීමිත ජාතික අගුලු දැමීමක් නිවේදනය කිරීමට රාජපක්ෂ සිකුරාදා තීරනය කලේ, මහජනයා කෙරෙහි පවතින කිසිදු අනුකම්පාවක් නිසා නොව, ආන්ඩුව සමග ගැටීමක් කරා වේගයෙන් වැඩෙන කම්කරු-පන්තික පෙරලිකරිත්වයට තැතිගත් ප්‍රතිචාරයක් ලෙස ය. විවිධ වැඩපොලවල ඉහල යමින් පවතින ආසාදන හා මරන සමග ආන්ඩුව කෙරෙහි විරුද්ධත්වය ද ඉහල යමින් තිබේ. වහා අගුලු දැමීමක් ඉල්ලා පසුගිය බදාදා සෞඛ්‍ය කම්කරුවන් දහස් ගනනක් විරෝධතා දැක්වූ හ.
තත්ත්වය පාලනයෙන් පිට පනිතැයි භීතියට පත් සෞඛ්‍ය, දුම්රිය, බැංකු, අධ්‍යාපන, තැපැල්, විදුලිබල හා පුද්ගලික අංශවල වෘත්තීය සමිති කිහිපයක්, “විද්‍යාත්මක අගුලු දැමීමක්” පනවන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලමින් ඒකාබද්ධ “අවසන් නිවේදනයක්” නිකුත් කල හ. මෙම ඉල්ලීමට ඇහුම්කන් දීමට ආන්ඩුව අසමත් වුව හොත්, තම සාමාජිකයන්ට නිවෙස්වලට වී සිටින ලෙස කියන බව වෘත්තීය සමිති ප්‍රකාශ කලහ.
එහෙත් මෙම වෘත්තීය සමිති ම, පසුගිය වසරේ අප්‍රේල් මැද දී ආර්ථිකය “යලි විවෘත කිරීමට” අනුමැතිය දී, මහ ව්‍යාපාරිකයන්ගේ අඛන්ඩ ක්‍රියාකාරිත්වයට සහයෝගය දුන් හ. දැඩි සීමාකිරීම් සහ කොවිඩ්-19 සෞඛ්‍ය හා ආරක්ෂක පියවර ගන්නා ලෙස ඉල්ලා සිටීම ඔවුන් ආරම්භ කලේ යන්තම් සති දෙකකට පෙර දී ය.
බොහෝ රාජ්‍ය ආයතන අලලා ගනිමින් වැඩ වර්ජන තහනම් කොට ඇති, රාජපක්ෂ ආන්ඩුවේ විෂඝෝර අත්‍යවශ්‍ය සේවා පනතට ද ඔවුහු නිහඬ ව පිටුබලය දුන් හ. අගුලු දැමීමක් සඳහා ඔවුන් කරන කැඳවීමේ ඉලක්කය වන්නේ, කම්කරුවන් අතර වැඩෙමින් පවතින කෝපය අපසරනය කිරීම සහ මහ ව්‍යාපාරිකයන් හා රාජපක්ෂ පාලන තන්ත්‍රය බේරා දීමයි.
මුලු කතාව පුරාම, ඉහල යන මරන සංඛ්‍යාව හෝ වර්ධනය වන සෞඛ්‍යමය ව්‍යසනය පිලිබඳ ව වචනයක් හෝ නො කියූ රාජපක්ෂ, සිය ආදරනීයයන් අහිමි වී ඇති වියෝපත් පවුල්වලට කනගාටුව පල කිරීම හෝ විශාල දුෂ්කරතාවන්ට මුහුන දෙමින් සිටින අයට අනුග්‍රහය පෙන්වීමක් කලේ නැත. ඒ වෙනුවට ඔහු ගර්වයෙන් පෙනී සිටියේ, කොවිඩ්-19 රෝගයෙන් බලපෑමට පත් සියල්ලන් ආරක්ෂා කරගැනීමට සියලු දෙය කරමින් කරන්නෙකු ලෙස ය.
ලොව පුරා ආන්ඩු දිනපතා මතුරන්නාක් මෙන් රාජපක්ෂ ප්‍රකාශ කලේ, මහජනයා “යතාර්ථය අවබෝධ කරගත යුතු” බවත්, සියලු රටවල් “‘නව සාමාන්‍යයේ’ විධික්‍රමයට අනුගත වෙමින් සිටින” බවත්, මහජනයා “වෛරසය සමග ජීවත් විය යුතු” බවත් ය. වෙනත් වචනවලින් කියතොත්, කම්කරුවන් එක දිගට ම ඩාදිය වගුරමින් මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ ඉහල දමා ගැනීම අඛන්ඩ ව සහතික කල යුතු ය.
“එක ම විසඳුම එන්නත්කරනය යි” යි ඔහු කීවේ, එය “ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා බහුතර වෛද්‍ය විශේෂඥයන්ගේ පිලිගත් මතය හා ...ගෝලීය ප්‍රමිතිගත විධික්‍රමය” යැයි ව්‍යාජ ව කියාපාමිනි.
සැප්තැම්බර් 10දා වන විට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා එන්නත්කරනය කර තිබෙනු ඇත යන්න තහවුරු කිරීම පිනිස ආන්ඩුව ඇති තරම් එන්නත් ආනයනය කරමින් සිටින බව රාජපක්ෂ කීවේ ය. ඉන්පසු, අවුරුදු 18 හා 30 අතර සියලු දෙනාට එන්නත් මාත්‍රා ලබා දීම සෞඛ්‍ය බලධාරීන් විසින් ආරම්භ කරනු ඇත.
“මෙම වර්ධනයත් සමගින්, රෝගීන් සංඛ්‍යාව හා මරන සංඛ්‍යාව අඩුවනු ඇතැ” යි ඔහු ප්‍රකාශ කලේ ය. එසේ වුවද, මාත්‍රා දෙක ම ලැබී ඇත්තේ එන්නත්කරනයට බඳුන් වූවන්ගෙන් සියයට 43කට පමනක් බව රාජපක්ෂ පිලිගත්තේය.
එන්නත්කරනය කොවිඩ්-19 පරාජය කිරීමේ දී වැදගත් වන නමුත්, ලෝකයේ කිසි තැනකින් එන්නතෙන් පමනක් එය මුලිනුපුටා දැමිය නො හැක. සෑම තැනක ම කම්කරු පන්තියට මෙම මාරාන්තික වෛරසය මුලිනුපුටා දැමීමේ ක්‍රියා මාර්ගයක් අවශ්‍ය ය.
රාජපක්ෂගේ මිනිත්තු 16 කතාවෙන් වැඩි කොටසක් වැය වූයේ, පාලන තන්ත්‍රය හා ධනපති පන්තිය මුහුන දෙන ආර්ථික අර්බුදය ද අගුලු දැමීම් හා සීමා පැනවීම් වහකදුරු වන්නේ මන් ද යන්න ද විස්තර කිරීමටය.
ඇඟලුම් අංශය විසින් උපයනු ලබන ඩොලර් බිලියන 5ක විදේශීය ආදායම් “බරපතල ලෙස බලපෑමට” ලක්ව, වාර්ෂික ව ඩොලර් බිලියන 4.5ක් උපයා දෙන සංචාරක කර්මාන්තය බිඳ වැටී, දේශීය හා විදේශීය ආයෝජන අහිමි ව ගිය පසුගිය වසරේ ලංකාව 1948 නිදහසේ පටන් අඩු ම ආර්ථික වර්ධනයට මුහුන දුන් බව ඔහු සඳහන් කලේ ය.
දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 50කට ප්‍රතිපදානය කරන මධ්‍යම හා කුඩා ව්‍යාපාර ද බලපෑමට ලක් වූ බව ඔහු තව දුරටත් කීවේ ය. සංචාරක කර්මාන්තයේ, දෛනික ආදායම් උපයන්නන් හා ස්වයං-රැකියාවල නියුක්ත වන්නන් මිලියන 4.5කට පමන තම ආදායම් මාර්ග අහිමි වී තිබුනි.
රාජපක්ෂ ඉන්පසු නරුම ලෙස කියා සිටියේ ආන්ඩුව “සිය වගකීම අත්හැර නැති” බවත්, රුපියල් බිලියන 30ක් වියදම් කරමින් රුපියල් 5,000ක සහනාධාර දීමනාවක් ගෙවා ඇති බවත්, ය. පසුගිය වසරේ දී සීමිත පවුල් සංඛ්‍යාවකට පමනක් තෙවරක් ලබාදුන් මෙම ගෙවීම් සාගිනි දීමනා වැනිය. බලාපොරොත්තු සුන් වූ පවුල්වලට ඔවුන් සතුව තිබූ වටිනා කියන සියල්ල උකස් තැබීමට බල කෙරුනි.
නිරෝධායනය වීමට සිදු වුනු පවුල්වලට අත්‍යවශ්‍ය දේවල් සපයා ගැනීම සඳහා සති දෙකකට රුපියල් 10,000ක් ගෙවා ඇති බව ඔහු ඉන්පසු නිර්ලජ්ජිත ලෙස අවධාරනය කලත්, එම මුදල සෞඛ්‍ය අර්බුදය සමග පොරබැදීමට සිදුව ඇති පවුල්වලට කිසිසේත් ප්‍රමානවත් නො වේ.
“මිලියන 1.4ට අධික රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අඩු කිරීමට හෝ දීමනා කප්පාදු කිරීමට ආන්ඩුව පියවර ගෙන නැතැ” යි රාජපක්ෂ සරදම් කලේය. වැටුප් හා දීමනා කැපීම ජනාධිපතිවරයා විසින් සඳහන් කිරීම පෙන්නුම් කරන්නේ, ඒ ගැන සලකා බැලූ බව - හා සලකා බලමින් සිටින- බව යි.
අර්බුදයේ බර මහජනයා මත පැටවමින් හාල්, පිටි, පරිප්පු, අල, හාල්මැස්සන් හා ගෑස් ඇතුලු ඉන්ධනවල මිල ඉහල දැමීමට ආන්ඩුව ක්‍රියා කලේය. අත්‍යවශ්‍ය භාන්ඩ හිඟයන් නිරතුරුව වාර්තා වේ.
මහ ව්‍යාපාරිකයට හා ආයෝජකයන්ට ප්‍රදානය කරන ආන්ඩුවේ නො මසුරු සහනාධාර ගැන කිසිදු සඳහනක් නො කිරීමට ජනාධිපතිවරයා ප්‍රවේසම් සහගත විය. ලාභ නය හා බදු සහන සම්පාදනය කිරීම සහ වැටුප් හා රැකියා කප්පාදු කිරීමට අවසර දීම නිසා ඔවුන් විශාල ලාභ සූරා ගත්තේය. ගිය වසරේ දී, ලංකාවේ විශාලතම සංගත නවය රුපියල් බිලියන 80ක ලාභයක් ඉපැයූ අතර, මේ වසරේ දී ඊට වඩා වැඩි ලාභ ඉපැයීමට සූදානම් වෙයි.
වසරකට ඩොලර් බිලියන 4ක සාමාන්‍ය නය ගෙවීම් සිදු කරමින් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙත තම කැපවීම් පවත්වාගෙන යාමට ද ආන්ඩුව අඛන්ඩ ව කටයුතු කර ඇතැයි රාජපක්ෂ කීවේ ය.
ආන්ඩුව බරපතල අගුලු දැමීමේ පියවරයන් පැනවීමට අකමැති මන්දැයි හෙලිදරව් කරමින් රාජපක්ෂ මෙසේ කීවේ ය: “අපනයන අංශයේ ඇඟලුම් කර්මාන්තයට ඇනවුම් විශාල ප්‍රමානයක් ලැබී තිබෙනවා. මෙම ඇනවුම් නියමිත කාලයට ලබා දීමට අපි අපොහොසත් වුවහොත්, අපට විශාල විදේශ විනිමය ප්‍රමානයක් අහිමි වී යා හැකි යි.”
මිනිස් ජීවිතවලට ඉහලින් ලාභ තබමින්, හුදෙක් ඇඟලුම් කර්මාන්තයේ පමනක් නො ව, සමස්තයක් ලෙස පාලක ප්‍රභූවේ හා ධනපති පද්ධතියේ ලාභ අවශ්‍යතා ආරක්ෂා කිරීමට, රාජපක්ෂ මංමුලා සහගත ලෙස උත්සාහ දරමින් සිටී.
ඔහුගේ කතාව අවසන් කරමින්, ජාතික සමගිය සඳහා ආයාචනයක් කල රාජපක්ෂ තර්ජනයක් ද නිකුත් කලේ ය: “මෙය, විවිධ දෘෂ්ටිවාදීන්, වෘත්තීය සමිති, වෛද්‍යවරු, අනෙකුත් සෞඛ්‍ය නිලධාරීන් සහ ආන්ඩුව අතර හතුරු කමකට හෝ ගැටුමකට අවස්ථාව නෙවෙයි... මෙය වැඩ වර්ජන ක්‍රියා මාර්ග හා විරෝධතා සඳහා අවස්ථාව නොවේ. රට අස්ථාවර කරන්න උත්සාහ කරන්න එපා...සෞඛ්‍ය අංශය මෙම ප්‍රශ්නය දෙස බලන්නේ එක් කෝනයකින්, ආන්ඩුවක් ලෙස අපිට අපේ රටේ කුඩා ආර්ථිකය කලමනාකරනය කිරීමට සිදු වෙනවා.”
පෙර නුවූ සෞඛ්‍ය හදිසි තත්වය සමග කටයුතු කිරීම සඳහා සෞඛ්‍ය ආරක්ෂාවන් හා අනෙකුත් සෞඛ්‍ය සේවා වර්ධනය කිරීම් ඉල්ලා සිටිමින්, මෑත මාසවල රට පුරා පුපුරා ගොස් තිබෙන විරෝධතාවල පෙරමුනේ සිටින්නේ සෞඛ්‍ය කම්කරුවන් ය.
එහෙත් ජනාධිපතිවරයාගේ තර්ජනය එල්ල වන්නේ සෞඛ්‍ය සේවකයන්ට පමනක් නො ව, සමස්ත කම්කරු පන්තියට යි. රට දීර්ඝ කාලයක් සඳහා අගුලු දැමීමට සිදුවන්නේ නම්, “රටේ සෑම කෙනෙක් ම මීට වඩා කැපකිරීම් වලට සූදානම් විය යුතු” යැයි ඔහු කීවේ ය.
මේ “කැපකිරීම්” මොනවාදැයි රාජපක්ෂ විස්තර කලේ නැත. එහෙත්, ආන්ඩුවේ ඇමතිවරු රාජ්‍ය හා පුද්ගලික අංශවල වැටුප් කැපීම් සඳහා උද්ඝෝෂනය කිරීම අරඹා ඇති අතර, එවන් පියවරයන් සඳහා අවශ්‍යතාව පිලිබඳ ව මාධ්‍ය බිස්ස කතුවැකි පලකරමින් සිටී.
“එවන් කටුක ක්‍රියා (වැටුප් කැපීම්) නො වැලැක්විය හැකි වනු ඇත...වර්තමාන අනුපාතයෙන් රාජ්‍ය ආදායම දිගට ම අඩු වන්නේ නම්, වැටුප් හෝ ජීවිත ආරක්ෂා කරන ඖෂධ සඳහා පවා අරමුදල් නො තිබෙනු ඇත. මෙම කටුක සත්‍යය මහජනයාට පැවසිය යුතු ය” යි ඊයේ දි අයිලන්ඩ් කතුවැකිය ප්‍රකාශ කලේ ය.
කොවිඩ්-19 රෝගයත්, ආන්ඩුවේ හා හාම්පුතුන්ගේ කප්පාදු පියවරයනුත් පරාජය කිරීම සඳහා, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියා මාර්ගයක පදනම මත, කම්කරු පන්තිය තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ස්ථාපිත කොට, ගම්බද හා නාගරික දුගීන් රැලි කරගත යුතු ය.