වරාය, ඛනිජතෙල් සහ විදුලිය පුද්ගලීකරනයට එරෙහිව සටන් වැදීම සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!

ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ විධානයන් මත ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ගනනාවක් පුද්ගලීකරනය කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව ගෙනයන වැඩකටයුතු වේගවත් කෙරී ඇත. එහි ප්‍රධාන ඉලක්කයන් වන, වරාය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (ලඛනීස ) සහ ලංකා විදුලි බල මන්ඩලය (ලංවිම) පුද්ගලීකරනයට එරෙහිව බලගතු කම්කරු විරෝධයක් වැඩෙමින් පවතී.

කොලඹ වරාය: ශ්‍රී ලංකා වරාය අධිකාරියට (ශ්‍රීලවඅ) අයත් මූලෝපායිකව වැදගත් ගැඹුරු මුහුදේ පිහිටි කොලඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය (සීඩබ්ලිව්අයිටී), ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ ප්‍රමුඛතම අනුබද්ධ සමාගමක් වන අදානි පෝට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන්ස් සමාගමට සියයට 51ක් ද, දේශීය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමට (ජේකේඑච්) සියයට 34ක් ද, ඉතිරි සියයට 15ක කොටස් වරාය අධිකාරියට ද අයත් වන පරිදි වසර 35කට යටත්ව ගොඩනගා පැවරීමේ ගිවිසුමකට සැප්තැම්බර් 30 දින අදාල නියෝජිතයන් අත්සන් තබා ඇත.

පුද්ගලීකරනයට එරෙහි වරාය කම්කරුවන්ගේ විරෝධය

එම ව්‍යාපෘතිය සදහා එජ ඩොලර් මිලියන 700ක් ආයෝජනය කෙරෙන අතර එය වරාය තුල කෙරෙන විශාලතම ආයෝජනය ලෙසද සඳහන් වේ. මෙම පර්යන්තය මීටර් 1400 ක දිගකින් සහ මීටර් 20 ක ගැඹුරකින් යුත්තවන බැවින් විශාල නැව් මෙහෙයවීමට හැකිවීම එහි ඇති විශේෂත්වයකි. බහාලුම් මිලියන 3.2 ක් හැසිරවීමේ වාර්ෂික ධාරිතාවක්ද එය සතුය.

මේ හා සමගම වරාය අධිකාරිය යටතේ පවතින කොලඹ වරාය අසල ඉඩම් අක්කර 13ක් (හෙක්ටයාර 5.3ක් ) චීනයට අයත් කොලඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයට (සීඅයිසීටී) පැවරීම සඳහා යෝජිත කැබිනට් පත්‍රිකාව පසුගිය 27 දින, වරාය හා නාවික ඇමති රෝහිත අබේගුනවර්ධන විසින් අමාත්‍ය මන්ඩලයට ඉදිරිපත් කල බව වාර්තා විය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (ලඛනීස): ලඛනීස පුද්ගලීකරනය කඩිනම් කිරීම සඳහා ඛනිජ තෙල් පනත සංශෝධනය කිරීමට නියමිත අතර එය මෙම වසර අවසාන වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගැනීමට අපේක්ෂා කරන බව මැයි මාසයේ දී බලශක්ති ඇමති උදය ගම්මන්පිල මාධ්‍යයට සඳහන් කර තිබුනි. මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙම පනතේ එල්ලය වන්නේ, රටට අවශ්‍ය සියලු ඉන්ධන ගෙන්වීමට, බෙදාහැරීමට, නිෂ්පාදනයට, මුසු කිරීමට හා අලෙවියට කැබිනට් මන්ඩලය මගින් තෝරා ගනු ලබන විදේශීය හෝ දේශීය සමාගම් වලට අවස්ථාව ලබා දීමයි.

ලංකා විදුලි බල මන්ඩලය (ලංවිම): ආන්ඩුව එක්සත් ජනපද නිව් ෆෝට්‍රෙස් එනර්ජි (එන්එෆ්ඊ) සමාගම සමග සැප්තැම්බර් 17 වෙනිදා අත්සන් කල ගිවිසුම මගින් කෙරවලපිටිය යුගධනව් විදුලි බලාගාරය පාලනය කරන රාජ්‍ය සමාගමක් වන සීමාසහිත වෙස්ට් කෝස්ට් සමාගමේ කොටස් වලින් සියයට 40 ක්, එජ ඩොලර් මිලියන 250 කට, එකී ඇමරිකානු සමාගමට විකිනීමට එකඟ වී ඇත.

ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට වලට අනුව එන්එෆ්ඊ සමාගමට ගැඹුරු මුහුදෙන් ස්වාභාවික ද්‍රව ගෑස් (එල්එන්ජී) ලබා ගැනීමේ, ගබඩා කිරීමේ සහ වර්ගීකරනය කිරීමේ පර්යන්තයක් පිහිටුවීමේ අයිතිය ලැබේ. එය ගොඩ නගා පවත්වාගෙන යාම සඳහා සමාගමට වසර 15 ක කාලයක් හිමි වේ.

රාජ්‍ය ආයතන පුද්ගලීකරනය වේගවත් කිරීමේ අති මූලික ගාමකය කොවිඩ්-19 වසංගතයෙන් වඩාත් ගැඹුරු කෙරුනු රාජපක්ෂ ආන්ඩුවේ ආර්ථික අර්බුදය යි. සුවිසල් නය අර්බුදයකට සහ විදේශ සංචිත හිඟයකට මුහුන දී ඇති ආන්ඩුව තම අර්බුදයෙන් ගොඩඒමට දරන මංමුලාසහගත ප්‍රයත්නයේදී රාජ්‍ය ආයතන පුද්ගලීකරනය ක්ෂනික සහ ප්‍රධාන මුල්‍ය උත්පාදන මාර්ගයක් ලෙස දැක ගනී.

අනෙක් අතට, වත්මන් ආන්ඩුවට නය ලබාදෙන සහ පෙර ආන්ඩු වලට නය ලබාදුන් ජාතික සහ ජාත්‍යන්තර බැංකු සහ මුල්‍ය ආයතන, විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, පුද්ගලීකරනය වේගවත් කිරීම සඳහා ආන්ඩුවට යොදන පීඩනය වඩාත් තීව්‍රකොට ඇත.

ලංකාවේ පුද්ගලීකරන වැඩපිලිවෙල ආරම්භවූයේ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන ගේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව යටතේ 1978 දී ප්‍රථම වතාවට ක්‍රියාවට දැමූ 'නිදහස් වෙලද ආර්ථික ප්‍රතිපත්තිය' යටතේ ය. 1970 ගනන් වල අගභාගයේදී ආරම්භ කෙරී 1980 ගනන් වලදී වේගවත් කෙරුනු නිෂ්පාදනයේ භූගෝලීයකරන සන්තතියට ශ්‍රී ලංකාව ඒකාග්‍ර කරනුවස් ක්‍රියාවට දැමුනු මෙම 'නිදහස් වෙලද ආර්ථික ප්‍රතිපත්තිය' යටතේ, ලාභ ශ්‍රමය සොයා ලොව පීරා යමින් සිටි ජාත්‍යන්තර ප්‍රාග්ධනය ලංකාවට ද කඩා වැදුනි.

විදුලි සංදේශ දෙපාර්තමේන්තුව, වරාය, ලඛනීස සහ ලංවිම ආංශික වශයෙන් පුද්ගලීකරනය කරමින් ආරම්භ වූ පුද්ගලීකරන සන්තතිය මගින් සාක්ෂාත් කෙරුනේ මෙම ප්‍රාග්ධනයේ අවශ්‍යතාවය යි. එය යටතේ, කම්කරුවන් දසදහස් ගනනකට රැකියා අහිමි විය. රැකියාවේ තවදුරටත් රඳවා ගැනුනු සේවකයන්ගේ වැඩ වේගවත් කෙරුනු අතර, දීමනා සහ වැටුප් කප්පාදු කෙරින. එයට සමගාමීව කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගා දැමුනි.

කම්කරු-පීඩිත මහජනතාවට එවන් රුදුරු ප්‍රතිවිපාක ජනනය කල පුද්ගලීකරන වැඩපිලිවෙල වේගවත් කිරීම හේතුවෙන්, රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වැඩෙමින් පැවති මහජන විරෝධය වඩාත් ඉස්මත්තට පැමින ඇත. වැටුප්, දීමනා සහ රැකියා කප්පාදු මෙන්ම, දැවැන්ත බදු වැඩි කිරීම් සහ අත්‍යවශ්‍ය භාන්ඩවල මිල අධික ලෙස ඉහල දැමීම් මගින් ආන්ඩුව එහි අර්බුදය තම උර මත පැටවීමට එරෙහිව, කම්කරුවෝ සහ අවශේෂ පීඩිතයෝ අරගල මාලාවකට අවතීර්නව සිටිති.

250,000 කට ආසන්න ගුරුවරුන් තෙමසකට අධික කාලයක් යෙදී සිටින වැටුප් අරගලය, වැටුප් කප්පාදුවට සහ වැඩ වේගවත් කිරීමට එරෙහි වතු කම්කරුවන් ගේ විරෝධතා, වරාය, ඛනිජතෙල් සහ විදුලිබල කම්කරුවන්ගේ අරගල සහ රසායනික පොහොර තහනමට එ‌රෙහි ගම්බද ගොවීන් ගේ විරෝධතා ඒ අතරින් ප්‍රමුඛ වෙයි.

අන් රටවල පාලකයන් මෙන්ම, මෙම වැඩෙන විරෝධතා තලා දැමීම එල්ල කර ගනිමින් ‌ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආඥාදායක පාලනයක් වෙතට වේගයෙන් මාරුවෙමින් සිටී. රාජපක්ෂ දැනටමත් පාලනය ගෙන යන්නේ තමා අත දැවැන්ත මර්දන බලතල ගොනුකරගත් හදිසි නීතිය හා රාජ්‍ය සේවකයන් බහුතරයකට වැඩවර්ජන තහනම් කෙරුනු විෂඝෝර 'අත්‍යවශ්‍ය සේවා' නියෝග යටතේ ය.

ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයෙන් සහ විධානයෙන් මෙහෙයවෙන මෙම ප්‍රහාර ආන්ඩුවලට බලපෑම් යෙදීමෙන් ආපසු හැරවිය හැකිය යන ව්‍යාජය මත කම්කරුවන් අවමංගත කිරීමට වෘත්තීය සමිති නව මට්ටමකින් වැඩට බැස ඇත්තේ මෙම තතු තුලයි.

වරායේ, විදුලි බල මන්ඩලයේ හා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එක්ව පිහිටුවා ගත් “ජාතික සම්පත් විකිනීමට එරෙහි තෙල්, වරාය, විදුලිබල ඒකාබද්ධ සන්ධානය”, බෞද්ධ භික්ෂූන් සහ අන්‍ය ආගමික පූජකයන් සමග එක්ව සියලු 'දේශප්‍රේමීන්ට' සහ ආන්ඩුවේ හා විරුද්ධ පක්ෂ කොටස් වලට ආයාචනා කරන 'ජාතික සංවිධානයක්' ගොඩනැගීමේ ප්‍රතිගාමී වැඩපිලිවෙලකට කම්කරුවන් යටත් කිරීමේ ප්‍රයත්නයක නියැලෙමින් සිටිති.

එම 'සන්ධානයේ' නායකයින් ඔක්තෝබර් 2 දින ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) අරාධනාවක් මත එහි නායකයින් හමුවූහ. මුහුනුපොත මගින් ප්‍රසිද්ධ කල එම හමුවේ වීඩියෝවට අනුව ජවිපෙ නායක අනුරකුමාර දිසානායක එයට සහභාගි වී ඇත. 'සන්ධානය' ගොඩනැගීමේ මූලිකත්වය ගත් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයේ කැඳවුම්කරු හා ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් කියා සිටියේ, තම සන්ධානය, විරුද්ධ පක්ෂ නායකයා, ජාතික සම්පත් විකිනීමට විරුද්ධ බව පවසන ආන්ඩුවේ පාර්ලිමේන්තු කන්ඩායම, දෙමල ජාතික සන්ධානය සහ බෞද්ධ භික්ෂූන් ආදීන් හමුව තම සටනට සහාය පතන බවයි.

ධනපති නායකයන් සමග එක්ව පුද්ගලීකරනය නතරකල හැකි බවට සහතික වූ ඔහු උදාහරනයක් ලෙස 'මෑතක දී වරායේ නැගනහිර ජැටිය ඉන්දීය සමාගමකට පැවරීම නතර කලා' යයි කියා සිටියේ, ආන්ඩුව ඒ වෙනුවට එකී සමාගමටම බටහිර ජැටිය පවරා දුන් බව යට ගසමිනි. නැගෙනහිර ජැටිය පුද්ගලීකරනය කිරීමේ සැලසුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

'මෙම මර්මස්ථාන තුන (වරාය, ඛනිජතෙල් සහ විදුලිය) වැඩ නතර කලොත් (වර්ජනය කලොත්) මහජනතාවයි ඉන් අපහසුතාවයට පත්වන්නේ' යයි පවසමින් සියලු භික්ෂූන්ගෙන් හා විරුද්ධ පක්ෂ නායකයින්ගෙන් ඔහු ඉල්ලා සිටියේ 'එතනට යාමට තල්ලු නොකර', ආන්ඩුවට බලකිරීමෙන් එහි පුද්ගලීකරන පිලිවෙත වෙනස්කොට වර්ජනයකට යාම වලක්වන ලෙසයි.

සමිති නායකයන් භීතියට පත්ව සිටින්නේ මහජනතාව අපහසුතාවයට පත්වීම පිලිබඳව නොව ආන්ඩුවේ පුද්ගලීකරන වැඩපිලි‌වෙලට සහ අනෙකුත් ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පංතියේ ඒකාබද්ධ අරගලයක් ඇවිලීයාම පිලිබඳවය.

ජවිපෙ වෙනුවෙන් කරුනු දැක්වූ එහි නායකයෙකු වන සුනිල් හදුන්නෙත්ති කියා සිටියේ වෘත්තීය සමිති ගොඩනගන ජාතික ව්‍යාපාරයට සම්පූර්න සහයෝගය දෙන බවයි. 'පොදුජනතාව ඒකාබද්ධ වුනොත් රාජ්‍ය දේපල ආරක්ෂා කල හැකි' යැයි ඔහු පැවසීය. 'පොදුජනතාව' යන වචනයට මුවා වෙමින් ජවිපෙ සහ මෙම 'සන්ධානය' ඇටවීමට යෝජනා කරන්නේ කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයකට එරෙහි ධනපති පෙරමුනකි.

පෙරටුගාමී සමජවාදී පක්ෂය මෙම වැඩපිලිවෙලේම කොටස්කරුවන්ව සිටිති. ඔක්තෝබර් 4 දින පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් පෙසප ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේ තම පක්ෂය 'හදිසි නීති නිශ්ක්‍රියකර ශුන්‍ය කිරීම' සඳහා ද 'විදේශීය ආයෝජකයන්ට රට විකිනීමට එරෙහිව' ද, 'කම්කරු පන්තිය වෘත්තීය සමිති හා මහජනතාව බලමුලු ගන්වන' බවයි.

2021 ජනවාරි මාසයේදී ද, වරායේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මූලිකත්වයෙන් සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී නඩ, ජවිපෙ, වෙනත් වෘත්තීය සමිති සහ පෙසප වැනි ව්‍යාජ-වාම සංවිධාන සමග එක්ව, 'කොලඹ වරායේ නැගෙනහිර ජැටිය බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරය' නමින් මෙවැනිම අන්ත දක්ෂිනාංශික සංවිධානයක් අටවා ගත්හ. එමගින්, පුද්ගලීකරනයට එරෙහි වරාය කම්කරුවන් 10000ක් සහභාගි වූ අරගලය අන්ත ප්‍රතිගාමී ඉන්දියානු විරෝධයක් තුල කොටුකොට පාවා දුනි.

ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයන් මත එල්ල කෙරෙන ප්‍රහාර, එහි ආවතේවකරුවන් වන ධනපති ආන්ඩු වලට බලපෑම් යෙදීමෙන් නතර කල නොහැකිය. මාස තුනකටත් අධික කාලයක් ලංකාවේ ගුරුවරුන් අධිෂ්ඨාන සහගතව නියැලී සිටි වැටුප් අරගලය වෘත්තීය සමිති විසින් අවසානයේදී පාවාදෙනු ලැබුවේ, එය පාදක කෙරුනු බලපෑම් යෙදීමේ වැඩපිලිවෙලෙහි බංකොලොත්බව ගැඹුරින්ම අනාවරනය කරමිනි.

ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ සහ එහි කලාපීය සහකරුවන ඉන්දියාවේ, චීනයට එරෙහි භූ-දේශපාලනික අවශ්‍යතා සමග මූලෝපායික වශයෙන් වැදගත් කොලඹ වරාය තුල ඉන්දීය ආයෝජනයන් අත්‍යන්තයෙන් බැඳී ඇත. ශ්‍රී ලංකාව විසින් කොලඹ වරාය නගර ව්‍යාපෘතිය චීනයට පවරාදීමට එරෙහිව ඇමරිකාවෙන් සහ ඉන්දියාවෙන් ප්‍රබල විරෝධයක් එල්ල වුනි. ඊට ප්‍රතිචාර වශයෙන්, කැබිනට් මන්ඩලයේ අනුමැතියෙන් බටහිර පර්යන්තය ඉන්දීය සමාගමට පවරාදෙනු ලැබුවේ වෘත්තීය සමිති දුන් සහයෝගය ද භාවිතයට ගනිමිනි.

මෙම තත්වය තුල, පුද්ගලීකරනය ඇතුලු සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන් පරාජය කල හැක්කේ ගෝලීය ප්‍රාග්ධනයට සහ ඉන් මෙහෙයවෙන අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයන්ට ද, උන්ගේ බත්බැලයන් වන රාජපක්ෂ තන්ත්‍රය වැනි ආන්ඩු වලට අභියෝග කලහැකි කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් මත සටන් වැදීමෙන් පමනි.

වරාය, ලඛනීස සහ ලංවිම කම්කරුවන් එවන් වැඩපිලිවෙලක් මත ඒකාබද්ධ අරගලයකට යායුතුය. ධනපති ලාභ පද්ධතියට හා ජාතික රාජ්‍යයට තදින්ම බැඳී ගත් ජවිපෙ, පෙසප හා වෘත්තීය සමිති එවන් අරගලයකට ඉඳුරාම එරෙහි ය. පුද්ගලීකරනයට සහ අනෙකුත් ධනේශ්වර ප්‍රහාරයන්ට එරෙහිව සටන තම අතට ගැනීම සඳහා සෑම වැඩපොලකම කම්කරුවන්, වෘත්තීය සමිති වලින් ස්වාධීනවූ ක්‍රියාකාරී කොමිටි ගොඩනැගීමට පෙරට පැමිනිය යුතුය.

වරාය, ලංවිම සහ ලඛනීස කම්කරුවන් සන්ධානගත විය යුත්තේ, ධනපති පක්ෂ, වර්ගෝත්තමවාදී සංවිධාන සහ ව්‍යාජ-වාම පක්ෂ සමග නොව, ධනපති ප්‍රහාර වලින් බැටකන ලංකාවේ සෙසු කම්කරුවන් හා ජාත්‍යන්තර කම්කරු පංතිය සමගය. ඒ සඳහා ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීමට සටන්වැදිය යුතුය.

පුද්ගලීකරනය පරාජය කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල යටතේ කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනි. මේ වැඩපිලිවෙල සඳහා සටන් වදින සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීමට එක්වන්න.

Loading