රාජ්‍ය සේවකයෝ ලක්ෂ ගනනක් වැඩි වැටුප් ඉල්ලා උද්ඝෝෂනය කරති

අයවැයෙන් වැටුප් වැඩි නොකිරීමට විරුද්ධව සහ රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මත රාජ්‍ය සේවකයෝ අසනීප නිවාඩු වාර්තා කොට බදාදා සංකේත වර්ජනයක නිරතවුහ. මෙම වර්ජනයට ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පලාත්සභා, තැපැල් හා කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන වල සේවකයෝ සහ විශ්‍රාමිකයෝ සම්බන්ධ වුහ. ලක්ෂ හයක් පමන වර්ජනයට සහභාගී වූ බව උද්ඝෝෂනයේ සංවිධායකයන් මාධ්‍යයට පවසා ඇත.

වර්ජනයට සමගාමීව කොලඹ බත්තරමුල්ලේ පාර්ලිමේන්තු වට රවුමේ එදින දහවල් පැවති විරෝධතා උද්ඝෝෂනයට කොවිඩ් වසංගතය නිසා අඩු සංඛ්‍යාවක් කැඳවූ බවත් ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ (ශ්‍රීලරානිවෘසස) ජාතික සංවිධායක ප්‍රදීප් බස්නායක පැවසීය. ඊට 300ක් පමන සහභාගී වී සිටියහ.

2021 දෙසැම්බර් 08 වැනි දා, වැඩි වැටුප් සහ විශ්‍රාම වැටුප් ඉල්ලමින්, වැටුප් වැඩිකර ගැනීමේ වෘත්තීය සමිති එකමුතුව පාර්ලිමේන්තු වට රවුමේ දී පැවැත් වූ පිකට් උද්ඝෝෂනය

උද්ඝෝෂකයෝ 'රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් ඉහල දමනු!”, 'රාජ්‍ය සේවක විශ්‍රාම ගැනීමේ සීමාව අවුරුදු 65 කිරීමේ යෝජනාව හකුලා ගනු!', 'රාජ්‍ය සේවකයින් රටට බරක් ලෙස කල ආන්ඩුවේ ප්‍රකාශය අස් කරගනු!', 'අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බඳින චක්‍රලේඛය අහෝසි කරනු!' ආදී පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ හඬ නැගුහ.

වර්ජනය කැඳවුම් කලේ වැටුප් වැඩිකර ගැනීමේ වෘත්තීය සමිති එකමුතුව (වැවැවෘසඑ) විසිනි. එම සමිති එකමුතුව ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් මෙහෙයවනු ලබන වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය සහ ශ්‍රීලරානිවෘසස සම්බන්ධ සමිතිවල එකතුවකි. සංවර්ධන සේවා නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂන නිලධාරීන්ගේ සංගමය, තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා කාර්යාල කනිෂ්ට කාර්ය මන්ඩල නිලධාරි සංගමය, හා ස්වාධීන වරාය සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති 50 ක් පමන එම එකතුවට අයත්වේ.

රුපියල් 10,000 වැටුප් ඉල්ලීමට අමතරව, රාජ්‍ය නිලධාරීන්ගේ භාෂනයේ නිදහසට පනවා ඇති තහංචි ඇතුලු ඔවුනට එරෙහි රාජ්‍ය මර්දනය නතර කිරීම සහ විශ්‍රාමික වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම නතර කොට අවුරුදු 55 ලෙස යලි තහවුරු කිරීම හා විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩි කිරීම ද ඔවුන්ගේ ඉල්ලීම් වලට ඇතුලත් විය.

බදාදා උද්ඝෝෂනයට පෙරාතුව එම ඉල්ලීම් ම පාදක කර ගනිමින් ඔව්හු නොවැම්බර් 29 දා සිට දෙසැම්බර් 6 වෙනිදා දක්වා දහවල් කෑම පැයේ දිවයින පුරා තම සේවා ස්ථාන ඉදිරිපිට උද්ඝෝෂනයන්හි නිරත වූහ.

රාජ්‍ය සේවකයන්ගේ උද්ඝෝෂනයට අමතරව වයඹ පලාතේ සෞඛ්‍ය සේවකයන්ගේ වර්ජනයක් සහ විරෝධතාවක් පැවැත්වුනි.

එදිනම ලංකා විදුලිබල මන්ඩලයේ, වරායේ සහ ඛනිජ තෙල් සංස්ථාවේ කම්කරුවෝ 500ක් පමන කෙරවලපිටිය යුගදනවී විදුලි බලාගාරයේ කොටස් සියයට 40 ක් ඇමරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට විකිනීමේ ගිවිසුමට විරුද්ධව සහ රාජ්‍ය ආයතන පුද්ගලීකරනයට එරෙහිව කොලඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට පිකට් උද්ඝෝෂනයක නිරත වුහ.

2021 දෙසැම්බර් 08 වැනි දා, වරාය, විදුලිබල සහ පෙට්‍රෝලියම් කම්කරුවන් කොටුව දුම්රියපල ඉදිරිපිට පැවැත් වූ විරෝධතාවය

උද්ඝෝෂකයෝ 'යුගදනවී ගිවිසුම හකුලා ගනු!', 'ජාතික සම්පත් විකිනීම නතර කරනු!' ආදී සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් එම සටන් පාඨ හඬ නැගුහ. පිකට් උද්ඝෝෂනයෙන් ඉක්බිතිව ඔව්හු ජනාධිපති කාර්යාලය අසල පිහිටි හිල්ටන් හෝටලය අසලට පෙලපාලියකින් ගමන් කලහ.

2021 දෙසැම්බර් 08 වැනි දා, වරාය, විදුලිබල සහ පෙට්‍රෝලියම් කම්කරුවන් කොටුව දුම්රියපල ඉදිරිපිට පැවැත් වූ විරෝධතාවයෙන් අනතුරු ව ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පාගමනේ යෙදෙමින්

ඉන් අනතුරුව, සමිති නායකයෝ ජනාධිපති කාර්යාලයට ගොස් සන්දේශයක් බාර දුන්හ. ඔවුන් මාධ්‍යට ප්‍රකාශ කල ආකාරයට සංදේශයේ මුලික ඉල්ලීම් වුයේ යුගදනවී ගිවුසුම අහෝසි කිරීම සහ ජාතික සම්පත් විකිනීම නතර කිරීමය.

“රනුක්ගේ වැටුප් කමිටු වාර්තාවේ” නිර්දේශ ක්‍රියාත්මක කර විෂමතා ඉවත් කිරීම, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට අදාල ප්‍රවාහන සහ අනෙකුත් දීමනා (ඩැට්) රුපියල් 3,000 සිට රුපියල් 10,000 දක්වා ඉහල දැමීම, අතිකාල රේට්ටු මූලික වැටුපෙන් 1/80 බවට පත් කිරීම හා උසස්වීම් වලට අදාල චක්‍රලේඛ නිකුත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන වයඹ පලාතේ සෞඛ්‍ය සේවකයෝ අසනීප නිවාඩු වාර්තාකර වර්ජනයක යෙදුන අතර කුරුනෑගල ශික්ෂන රෝහල ඉදිරිපිට දහවල් කෑම පැයේ පිකට් උද්ඝෝෂනයක යෙදුනි.

උද්ඝෝෂනයට වයඹ පලාතේ සෞඛ්‍ය හෙද, පරිපුරක වෛද්‍ය, පවුල් සෞඛ්‍ය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුලු දහසක් පමන සෞඛ්‍ය කම්කරුවෝ සම්බන්ධවුහ. එය සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් පලාත්මට්ටමින් දිවයිනේ සියලුම පලාත්වල කෙරෙන උද්ඝෝෂනයක කොටසකි.

මෙම අරගල මගින් පෙන්නුම් කෙරෙන්නේ ජීවන තත්වයන්ට හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට රාජපක්ෂ ආන්ඩුව එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධව කම්කරු පන්තිය තුල වර්ධනය වන බරපතල පෙරලිකාරිත්වයයි. ගතවූ මාස දොලහකට ආසන්න කාලය සලකුනු වන්නේ කම්කරු පන්තියේ සෑම කොට්ටාශයක්ම අලලාගෙන වර්ජන හා විරෝධතා ක්‍රියා වැඩිම සංඛ්‍යාවක් දියත් වූ කාලයක් ලෙසය.

දින සියයක් පැවති රජයේ ගුරුවරුන්ගේ වර්ජනය; සෞඛ්‍ය සේවකයන්ගේ තිහකට ආසන්න වර්ජන හා විරෝධතා; වරාය, විදුලි බල මන්ඩලය, තෙල් සංස්ථාව, තැපැල්, දුම්රිය හා රාජ්‍ය අංශයේ තවත් තැන්වල වර්ජන හා විරෝධතා; වතුකරයේ එක දිගට පැනනගින සටන් ඒ අතරින් කිහිපයකි. ගම්බද දුගී ගොවීහු පසුගිය මාස කිහිපය පුරා පොහොර හා අනෙකුත් වගා පහසුකම් ඉල්ලා අරගල වලට එලඹුනු අතර විශ්ව විද්‍යාල සිසුහු තම අධ්‍යාපන අයිතීන් රැකගැනීමේ උද්ඝෝෂනවල නිරතවුහ. මෙම අරගල ජාත්‍යන්තරවම වැඩි දියුනුවන පන්ති අරගල රැල්ලේ කොටසකි.

කොවිඩ්-19 වසංගතයෙන් ආසාදනයට හා මරනයට ගොදුරු කිරීමටත්, පෙර නොවූ විරු ලෙස උග්‍ර කෙරුනු ආර්ථික අර්බුදයේ බර පටවමින් ජීවන හා සමාජ කොන්දේසි තලා දැමීමටත් එරෙහිව මෙම අරගල පැන නැගී තිබේ. මෙම අරගලවලින් බලගතු ලෙස ඉල්ලුම් කෙරුනේ රාජපක්ෂ ආන්ඩුව හා ධනපති සංගත උසිගන්වා ඇති ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ ප්‍රතිප්‍රහරාත්මක අරගලයක් සංවිධානය කිරීමයි.

එහෙත් වෘත්තීය සමිති ක්‍රියාත්මක වී ඇත්තේ එම අරගල ඛන්ඩනය කොට කම්කරුවන් බෙදා වෙන්කිරීමට හා රාජපක්ෂ ආන්ඩුවට හා හාම්පුතුන්ට බලපෑම් දැමීම මගින් ඉල්ලීම් දිනාගත හැකිය යන මිත්‍යාවන් පතුරමින් හුදු විරෝධතා වලට කොටුකර කම්කරුවන් දුර්මුඛ කිරීමට ය. ප්‍රතිපලය වූයේ අරගල පාවාදීම් මගින් කෙලවර කිරීමයි.

බදාදා කැඳවා තිබූ සෑම අරගලයකදීම සමිතිවල මෙම ක්‍රියා කලාපය කැපී පෙනුනි.

පාර්ලිමේන්තු වටරවුමේ පැවති උද්ඝෝෂනයෙන් පසු ඊට සහභාගිවූවන් ඇමතු ජවිපෙ නායකයෙකු වන වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ආන්ඩුව අයවැය සම්මත කිරීමට පෙර වැටුප් ඉල්ලීම නොදුන්නොත් ජනවාරි මාසයේ “දැවැන්ත සටනක්” කරන බවට පාරම්බෑවේය.

'රටේ සමස්ත වැඩ කරන ජනතාව මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය ගොවියො එක්ක මේ ඉල්ලීම් දිනාගැනීමට, මේ ආන්ඩුව ගෙනියන තුච්ඡ ක්‍රියාමාර්ගයට එරෙහිව දැවැන්ත සටනක් පටන් ගන්න' බව ඔහු කීවේය.

'දැවැන්ත' අරගලයක් කරන බවට සමරසිංහ ගේ ගෝරනාඩුව හුදෙක් ම කම්කරුවන් නොමග යැවීමේ කයිවාරුවක් පමනි. රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා අයවැයට පෙරාතුව උද්ඝෝෂනය කල සමරසිංහ ඇතුලු මේ සමිති නායකයෝ එසේ නොකලොත් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල දිනට පසු දින සිට ම 'දැවැන්ත'අරගලයක් කරන බවට හඬ තැලූහ.

ජනාධිපති කාර්යාලයට සංදේශයක් භාර දීමෙන් පසුව උද්ඝෝෂකයන් ඇමතු ජවිපෙ තවත් නායකයෙකු වන ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් ද සතියක් ඇතුලත ජනාධිපති සහ අගමැති සමග සාකච්චාවක් ලබාදීමට නිලධාරීන් පොරොන්දු වූ බව පවසමින් ඉන් විසඳුමක් නොලැබුනොත් 'දැවැන්ත' අරගලයක් කරන බවට කයිවාරු ගැසීය.

රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් දැමීම මගින් ඉල්ලීම් දිනාගත හැකිබවට සමිති නායකයින් පලිගසා කීවත් සමිති 'වැටුප් ඉල්ලීම සම්බන්ධව ආන්ඩුව මෙතෙක් සාකච්චාවකට අවස්තාවක් නොදුන්' බවට ශ්‍රීලරානිවෘසස යේ ජාතික සංවිධායක ප්‍රදීප් බස්නායක ද මොර්නින් පුවත්පතට දුන් ප්‍රකාශයක කනිපින්දම් දොඩා ඇත.

ඔහු මේ ප්‍රකාශ දෙන්නේ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ 'රාජ්‍ය සේවය රටට බරක්' බව පවසා වසරක් යනතුරු රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකල නොහැකි බව ද අවධාරනය කර ඇති තත්වයකයි. රාජපක්ෂ රාජ්‍ය සේවය 'රටට බරක්' බව පැවසුවේ එය කපාහෙලා සැකිල්ලක් කිරීමේ අරමුනු ඇතිවය.

ආන්ඩුව සුදානම් කරන ප්‍රහාරයට පිලිවෙතට එරෙහිව රජයේ සේවකයන් අවශේෂ කම්කරුවන් සමග එක්සත් කොට බලමුලු ගැන්වීම වෙනුවට බස්නායක ඇතුලු නිලධරය නිවට ලෙස ඉල්ලා ඇත්තේ රාජපක්ෂගේ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙසයි!

එ පමනද? මිලියන 1.5 ක් වන රාජ්‍ය සේවකයන් සඳහා දැනට රුපියල් බිලියන 1000 වාර්ෂිකව වැයවන බව ද රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉල්ලීම් දුන්නොත් අමතරව රුපියල් බිලියන 324 ක් වැය කිරීමට සිදුවන බවත් මේ මොහොත එය කිසිසේත් ම කල නොහැකි බව ද මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල මාධ්‍යට පවසා තිබේ.

මහා ව්‍යාපාරිකයන්ට හා විදේශ ආයෝජකයන්ට පිදේනි දෙන ආන්ඩුව වැඩකරන ජනතාව මත සියලු බර පටවන පිලිවෙතක් ගෙනයන බව පැහැදිලි ය. එම පිලිවෙත පරාජය කිරීම ආන්ඩුවට හා ධනපති පන්තියට එරෙහි දේශපාලන අරගලයකි. ධනපති ක්‍රමයට හා රාජ්‍යයට ගැටගැසී සිටින සමිති එම දේශපාලන අරගලයට සතුරු ය.

වෘත්තීය සමිති විසින් වර්ජනය නිසිලෙස සංවිධානය නොකල බවට කම්කරුවෝ චෝදනා කරති. “වෘත්තීය සංගම් වැහි වැහැලා ඔක්කමලා එහාට -මෙහාට අදිනවා හරිහමන් අරගලයක් කරන්න බෑ. අපි සේවකයින් දාහක් විතර මෙතන වැඩ කරනවා අසනීප නිවාඩු දැම්මේ ඉන් කොටසක් විතර යි. අනිත් අය වැඩට ආවා.ඉතින් කොහොම ද වර්ජනය සාර්ථක වෙන්නේ' යැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහනුවර ප්‍රධාන කාර්යාලයේ සේවකයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවී වාර්තාකරුවන්ට පැවසීය.

අරගලවලට කම්කරුවන් ඒම දුර්මුඛ කිරීම සමිති නිලධරයේ දැනුවත් ක්‍රියාවකි.

ලංකාවේ මහනුවර තැපැල් කාර්යාලයේ සියයක් පමන සේවය කරන නමුත් වර්ජනයට සම්බන්ධ වුයේ ඉන් 16 ක් පමනක් බව එහි සේවකයෙක් සඳහන් කලේ ය.

“අපි ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමයේ. වෘත්තීය සමිති එපා වෙලා තියෙන් නේ. යූපීටිඕ එක වර්ජනයට ආවේ නෑ.' අයවැයෙන් යම් පඩි වැඩිවීමක් වේයැයි පැවති බලාපොරොත්තු කඩ වූ බව කී ඔහු මෙසේ සඳහන් කලේය: 'දැන් ජීවත් වෙන්න කොහෙත් ම බැහැ. අපට දරුපවුල නඩත්තු කරන්න බැහැ. බඩුමිල අධිකයි .ඒකයි අපි අරගලයට ආවේ. අපි සුදානම් ඉල්ලීම් ලැබෙන තුරු සටන් කරන්න.'

'රාජ්‍ය සේවය රටට බරක්' යනුවෙන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කල සඳහන හෙලා දුටු සංවර්ධන නිලධාරිනියන් දෙදෙනෙකු මෙසේ කීහ: 'අපි ක්ෂේත්‍ර නිලධාරින්. රාජකාරියේ යෙදෙන විට ජනතාවගේ අගහිඟකම් දුටුවහම රාජකාරියට අමතරව අපි අපේ පුද්ගලික මුදල් වලින් ඔවුන්ට උපකාර කරනවා. වසංගතය සම්බන්ධ කටයුතුවලදීත් රාජ්‍ය සේවකයෝ කැපවීමකින් කටයුතු කරන්නේ.'

විශ්‍රාම වයස් සීමාව 65 ක් කිරීම ගැන නොසතුට පලකල ඔවුන් ඉන් ජීවිතයේ සැලසුම් අවුල්වන බව ද පැවසීය.

ආන්ඩුව විශ්‍රාමිකයන්ගේ වැටුප් කප්පාදු කල බව කී විශ්‍රාමික ඉංජිනේරුවරයෙකු මෙසේ පැවසීය: '2016 සිට 2019 දක්වා පසුගිය ආන්ඩුව වැඩිකල රුපියල් 10,000 කොටසක් ලබා ගැනීමට තිබුන. 2020 ජනවාරි මාසයේ එය ගෙවන බවට මේ ආන්ඩුව චක්‍රලේඛයක් නිකුත් කලා. පසුව එය අවලංගු කලා. එකෙන් රුපියල් 15,000 පමන අපට අහිමි වුනා' ඔහු කීවේය.

Loading