විදේශගත ශ්‍රී ලාංකික කම්කරුවෝ කොවිඩ් වසංගතය පිලිබඳ ගෝලීය කම්කරු පරීක්ෂනයට සහයෝගය පල කරති

කොවිඩ්-19 වසංගතයට හේතුවන සාර්ස්-කොවිඩ්-2 වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ආන්ඩු, සංගත හා මාධ්‍ය ජාලයන්හි විනාශකාරී ප්‍රතිචාරය විමර්ශනය කිරීම සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) ආරම්භකොට ඇති ගෝලීය කම්කරු පරික්ෂනයට ශ්‍රී ලංකාව ඇතුලු ලොවපුරා රටවල කම්කරුවන්ගේ, වෛද්‍ය විශේෂඥයන්ගේ, විද්‍යඥයන්ගේ සහ බුද්ධිමතුන්ගේ සහයෝගය පලවෙමින් පවතී.

පරීක්ෂනය නිවේදනය කරමින් ලෝසවෙඅ නිකුත් කල ප්‍රකාශයේ සඳහන් වන පරිදි මෙම පරීක්ෂනය 'විද්‍යාඥයින්ගේ පර්යේෂන, මහජන සෞඛ්‍ය විශේෂඥයින්ගේ දැනුම සහ වැඩ කරන ජනතාවගේ සහ සිසුන්ගේ සැබෑ ලෝක අත්දැකීම් මත' පදනම් වෙයි.

පහත දැක්වෙන්නේ මැදපෙරදිග රැකියාවේ නියුතු ශ්‍රී ලාංකික කම්කරුවන් පරීක්ෂනයට සහාය පල කරමින් දෙන ලද සම්මුඛ සාකච්ඡා අතරින් කීපයකි. වසංගතය තුල සම්බන්ධයෙන් එම රටවල සහ ලංකාවේ පාලක පංතීන් අනුගමනය කල සාපරාධී පිලිවෙත් හේතුවෙන් තමාට විඳින්නට සිදු වූ අනේකවිධ දුක්ගැහැට පිලිබඳව ඔවුහු එම සාකච්ඡා මගින් අනාවරනය කරති.

ලාංකික සංක්‍රමනික කම්කරුවන් ගේ සංඛ්‍යාව වර්තමානය වනවිට මිලියන දෙක ඉක්මවා යයි. ලෝක කම්කරු සංවිධානයේ නවතම වාර්තා අනුව යුරෝපය මැදපෙරදිග උතුරු කොරියාව සහ ජපානය ආදී රටවලට වාර්ෂිකව රැකියා සොයා සංක්‍රමනය වන ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි.

වසංගතය ආරම්භයේ ගුවන් තොටුපොලවල් වසා දැමීම නිසා 40,000 කට අධික විදේශ ගත කම්කරු සංඛ්‍යාවකට ලංකාවට පැමිනීමට නොහැකිව මාස ගනනාවක් එම රටවල, සිරවී සිටින්නට සිදුවූ අතර ලංකා ආන්ඩුව ඔවුන් වසංගතයේ ගොදුරු බවට පත්වීමට ඉඩ හැරියේය. වසංගතය ව්‍යාප්ත වෙමින් මිලියන ගනන් ජනයා මිය යමින් සිටියදී, ධනපති ආර්ථිකය ලොවපුරා යලි විවෘත කොට ඇති තතු තුල, විදේශ විනිමය සඳහා කම්කරුවන් බුරුතු පිටින් රැකියා සඳහා පිටත්කර හැරීමට රටවල් අතර ඇති වී ඇති තරඟය මධ්‍යයේ, මැදපෙරදිග රටවල් මුහුන දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා සුරාකෑම උග්‍ර මට්ටමට ගෙනවිත් තිබේ.

2020 ජූලි 29 වැනි දා, ජෝර්දානයේ ශ්‍රී ලාංකික සංක්‍රමනික කම්කරුවෝ හිඟ වැටුප් ගෙවන මෙන් සහ තමන් වසංගතයෙන් බේරා ගැනීමට ලංකාවට ගෙන්වන මෙන් ඉල්ලමින් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත් වූ විරෝධතාව. තානාපති කාර්යාලය ජෝර්දාන පොලිසිය කැඳවා මෙම විරෝධතාවට මෘග ප්‍රහාරයක් එල්ල කලේ ය.

සෞදි අරාබියේ අල් ජුබාර් කාර්මික කලාපයේ 2008 වසරේ සිට ඉංජිනේරු කාර්මිකයෙකු ලෙස සේවය කරන අත් දැකීම් සහිත කම්කරුවකු වන සුනිල් ගෝලීය කම්කරු පරීක්ෂනයට තම පූර්න සහයෝගය ප්‍රකාශ කරමින් ඒ සඳහා සහෝදර කම්කරුවන් යොමු කිරීමට තම ශක්තිය යොදවන බව ප්‍රකාශ කලේය.

ලංකාවේ පිලියන්දල පිහිටි ඉලස්ටෝ මෙරික් ආයතනයේ සේවය කල ඔහු එම ආයතනය වසා දැමීමෙන් පසුව මුහුනදුන් දුෂ්කරතා මැද විදේශ සේවයට පැමිනීමට තීරනය කර තිබේ. ඒ වන විට අධ්‍යාපනය ලබමින් සිටි තම පුතුන් දෙදෙනාගේ අධ්‍යාපන වියදම්, තම පවුලේ අනෙකුත් වියදම් සහ නිවසක් ඉදිකිරීම වැනි අවශ්‍යතා සඳහා උපයන මුදල කිසිසේත්ම ප්‍රමානවත් නොවීම විදේශ කම්කරුවෙකු ලෙස සේවයට පැමිනීමට හේතු වී තිබේ.

“පැරනි සේවකයන්ට සාපේක්ෂව නවක සේවකයන්ට ලැබෙන්නේ අඩු වැටුපක්. හැට දෙනෙක් පමන වන සම්පර්න සේවක සංඛ්‍යාවෙන් පැරනි සේවකයන් සිටින්නේ කිහිප දෙනයි. වසංගතයට වැසූ රට විවෘත කිරීමෙන් පසු පැමිනි කම්කරුවන්ට ලැබෙන වැටුප අතිකාල සමග රුපියල් 50000-80000 පමන වනවා. වසංගතයට පෙර පැවතියාට වඩා තුන්ගුනයක පමන වැඩ කරන්න කම්කරුවන්ට සිදුවෙලා තියෙනවා.

'ඒ කාලේ අපි පැය නමයක් වැඩ කලා. ඊට අමතරව පැය දෙකක් අතිකාල කිරීමට සිදුවුනා. නමුත් දැන් බොහෝ දිනවල පැය දහතුනක් වැඩකරන්න සිදුවෙනවා. සෙනසුරාදා දිනවලත් සවස 7.00 වෙනකම් වැඩ කරන්න වෙනවා. ජීවත්වීමට ප්‍රමානවත් අදායමක් ලබා ගැනීමට අතිකාල කිරීම අත්‍යවශ්‍යයි. අඩු පඩියට පහසුවෙන් යොදාගත හැකි බංග්ලාදේශයෙන් සහ නේපාලයෙන් කම්කරුවන් ගෙන්වා ගැනීමට කම්හල් හිමියන් වැඩි කැමැත්තක් දක්වනවා. ලංකාවේ කම්කරුවන්ටත් එම නිසා සාපේක්ෂ අඩු වැටුපකට වැඩකිරීමට සිදුවී තිබෙනවා.

වැඩ වේගවත් කිරීම සඳහා ඔවුන් රුදුරු ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතිබවත්, ඒ අනුව කම්කරුවන් වැඩ කරන ආකාරය නිරීක්ෂනය කොට වේගයෙන් වැඩ කරන අය 'දක්ෂයන්' ලෙසත්, සෙමෙන් වැඩ කරන අය 'අදක්ෂයන්' ලෙසත් වර්ගීකරනය කෙරෙන බවත් ඔහු පැවසීය. ' අදක්ෂයින්ට අතිකාල ලබා දෙන්නේ නැහැ. මේ ආකාරයෙන් සේවකයන් අතර තරගයක් නිර්මානය කරලා වැඩ වේගවත් කිරීම උපරිම තලයකට ගන්න උත්සාහ කරනවා.'

යම් කම්කරුවෙකුට කොවිඩ් ආසාදනයවීම පාලකයින් දකින්නේ ඔහු කල වරදක් ලෙසිනි. මාස තුනකට පෙර එලෙස ආසාදනය වූ සහකාර නිෂ්පාදන කලමනාකරුවෙකු වෙනම කාමරයකට දමා ඇති අතර, ඔහුගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය තබා කෑම බීම ගැන වත් පරිපාලනය සොයාබලා නොමැත. 'රෝගය හොඳ උනහම ඔහු රස්සාවෙන් ඉවත් කලා. අසීමිතව නයවෙලා පිලිසරනක් සොයා ගෙන ආපු ඉන්දියානුවෙකු වෙන මේ තැනැත්තා තවත් අසරන තත්වයට පත් වුනා.' මේ තත්වය තුල, තමන්ට කිසියම් රෝගී තත්වයක් තිබුන ද, 'ඒ තත්වය වහගෙන අමාරුවෙන් හරි රැකියාව කිරීමට' කම්කරුවන් උත්සාහ කරනවා.'

වසංගතය පැතිරීම වැලැක්වීම සඳහා එම ආයතනය ගෙන ඇති එකම පියවර අත සේදීමට ඩෙටෝල් වතුර ස්වල්පයක් සහ මුව ආවරන සැපයීම පමනකි. කායික දුරස්ථභාවය පවත්වා ගැනීම කිසිසේත් කල නොහැක්කකි. 'මුව ආවරන පැලඳ නොසිට වැඩ පරීක්ෂකයෙකුට අසුවුනොත් රුපියල් 5000 ක් පමන දඩ ගහනවා. මුව ආවරන දමාගෙන අධික උනුසුම් දිනවල ලොකු වෙලාවක් වැඩකිරීම අපහසුයි. එමනිසා බොහෝ කම්කරුවන් මුව ආවරන පලදින්නේ පරීක්ෂකයන් පැමිනෙනවිට පමනයි.'

කුවේට් හි ගෘහ සේවිකාවක් ලෙස සේවය කල සචිනි ද තම අත්දැකීම් ලෝසවෙඅ ට විස්තර කලාය. කොන්ත්‍රාත් කාලය අවසන්වීමට පෙර ලංකාවට පැමිනීමට ඇයට අවශ්‍ය වූයේ තම හාම්පුතාගෙන් සිදුවන අඩන්තේට්ටම් ඉවසා ඉවසා ගැනීමට නොහැකි වීම නිසා බව ඇය කීවාය. ඇය පොලීසියට මුදල් ලබාදී ගැලවීමට උත්සාහකොට ඇති අතර, මුදල් උදුරාගත් පොලිසිය ඇය තල්හා රැඳවුම් කඳවුරට යවා තිබේ.

මෙම රැඳවුම් කඳවුරු තුල රැඳවියන්ට සැලකෙන්නේ ඉතාමත් අමානුෂික ආකාරයට බව ඇය පැවසුවාය. බොහෝවිට වීසා නොමැතිව මහ මග දී අල්ලා ගන්නා සංක්‍රමනිකයන් රැඳවුම් කඳවුරු වල සිර කෙරේ. ඇඳිවත පිටින් එන එවැනි කම්කරුවන් සෙනඟ පිරී ඉතිරී ගිය වාතාශ්‍රය නොමැති කාමරවලට දමනු ලැබ මාස ගනන් දුක් විඳීමට සිදු වනබව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කලාය.

'වසංගතය ආරම්භයත් සමගම අප විඳි දුෂ්කරතා ඉමහත් ලෙස වැඩිවී තිබෙනවා බොහොම තැන්වල ගෘහ සේවය සඳහා සිටි සේවකයන් ගනන අඩුකර තිබෙනවා ඒ වගේම වැටුප් ගෙවීම ප්‍රමාදයි. මා සේවය කල ගෘහයේ අවසානයේ ඉතිරිවුනේ මා පමනයි. එනිසා දෙදෙනෙකුගේ වැඩ කිරීමට සිදුවුනා.'

'කඳවුර තුල ආහාර, වතුර, බෙහෙත් හිඟයි. ලංකාවේ කාන්තාවක්ද ඇතුලුව කිහිප දෙනෙකුම දුෂ්කරතාවයන් විඳදරා ගැනීමට නොහැකිව මියගියා. අපේ ශරීර සෞඛ්‍යය පිලිබඳව අපි නිතර නිලධාරීන්ට නිතර කන්නලව් කලා. එහෙත් ඔවුන්ගෙන් තර්ජන හැර කිසිම පිලිසරනක් ලැබුනේ නැහැ. ඔවුන් අපට කතා කරන්නේ තිරිසනා කියන තේරුම තිබෙන 'හෙයිවාන්' නමැති අරාබි වචනයෙන්. රෝගී වන අයට ලබා දුන්නේ නිදි පෙති සහ පැනඩෝල් පමනයි. බොහෝවිට කඳවුර තුලට ගෙනවිත් දැමීම් වලට ලංකාවේ තානාපති නිලධාරීන් මැදිහත් වෙනවා ඊට පසු කිසිම සොයා බැලීමක් නැහැ.'

අවුරුදු 18 කට අධික කාලයක් මාලදිවයිනේ සංචාරක කර්මාන්තය හා සම්බන්ධිතව වැඩ කරන ලංකාවේ කම්කරුවෙකු වන අසංක පැවසුවේ, 'අපි මුහුන දෙන ප්‍රශ්න කොවිඩ් වසංගතය මගින් තීව්‍ර කරන ලද ලෝක ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක්' බවත්, එයට ලංකාවේ පමනක් නොව අනිකුත් රටවල ද කම්කරුවන් ද ගොදුරු වී පවතින බවත් ලෝසවෙඅ සමග පැවැත්වූ සාකච්ඡාවෙන් පසු අවබෝධ කරගත් බවයි.

ඒ අනුව එයට පිලියම් යෙදීම යෙදීම ගෝලීය ප්‍රයත්නයක් ලෙස සලකා ලෝසවෙඅ ලොව පුරා දියත් කර ඇති කම්කරු පරීක්ෂනයට තමන් මුහුන දෙන අත්දැකීම් විස්තර කිරීමට තීරනය කල බව ඔහු වැඩිදුරටත් පැවසිය.

“මා රැකියාව කරන්නේ යාත්‍රා තුල සංචාරකයන්ට සේවා ලබාදෙන සෆාරි බෝට්ටු සේවාවකයි. මෙවැනි බෝට්ටු අසූවක් සීයක් අතර ප්‍රමානයක් මාලේ ආශ්‍රිතව පවතිනවා. මේ සෆාරි බෝට්ටු සේවාව තුල ලාංකික කම්කරුවන් 110-120 අතර ප්‍රමානයක් සේවය කරනවා.”

'විශේෂයෙන්ම සේවකයන් මුහුනු ආවරන පැලඳ සිටිනවාට සංචාරකයන් රුචියක් දක්වන්නේ නැති නිසා පරිපාලනය ආවරන නොමැතිව සේවය කිරීමට උපදෙස් දීලා තියෙනවා. සංචාරකයන් මාලදිවයිනට ඇතුලුවීමේදී කොවිඩ් පරීක්ෂනයකට ලක් කරන්නේ නැහැ. ඔවුන් සලකා බලන්නේ පැමිනෙන රටෙන් පැය හැත්තෑ දෙකක් තුල ලබාගත් පරීක්ෂන වාර්තාව පමනයි. මේ නිසා වසංගතයට ගොදුරු වීමේ අවදානමක් තිබෙනවා.'

වසංගතයට මාලේ වසා දැමූ අවස්ථාවේ සේවායෝජකයා සේවකයන්ට පඩි නොදී මව් රටවල් වලට යැවීමට උත්සාහ කල අයුරු ඔහු විස්තර කලේය. 'මෙහි නතර වෙලා ඉඳපු අයට ලැබුනේ පඩි භාගයයි. සමහර අයට පඩි ලැබුනෙම නැහැ. ඔවුන් ජීවත් වුනේ සහෝදර කම්කරුවන්ගේ ආධාරයෙන්.'

'ඒ අවස්ථාව වන විට මම ලංකාවට නිවාඩු ගිහිල්ලා ආවා විතරයි. ඒ නිසා නැවත යන්න පුලුවන් කමක් තිබුනෙ නැහැ. මම දුෂ්කරතා විඳගෙන මාලේ නතර වෙලා සිටියා ඒ අතර අනිත් අයට ලංකාවට යන්න උදව් කලා. මාලදිවයිනේ පිහිටි ලංකා තානාපති කාර්යාලයට කතා කරලා ලංකාවට යන්න අවස්ථාවක් සලසා දෙන ලෙස ඉල්ලා ඔවුන්ගේ නම් ලැයිස්තු තානාපති කාර්යාලයට ලබා දුන්නා. ඒත් යවන්න ලැබුනෙ 60 දෙනෙක් විතරයි. ඉතිරි අයට 2020 අවසාන වෙනකම්ම දුෂ්කරතාවන්ට මුහුන දෙමින් මෙහි රැඳී සිටීමට සිදුවුනා.'

ලංකාවට පැමිනීමට හැකි වූ අයට ද මුහුනදීමට සිදු වූ දුෂ්කරතා බොහෝ බව ඔහු පැවසීය. හමුදාව යටතේ නොමිලේ නිරෝධායනයට එකඟතාවය පල කල අය කොලඹ නගරයෙන් බොහෝ ඈත පිහිටි හමුදා මධ්‍යස්ථානයන්හි නිරෝධායන කඳවුරුවල වලට යවනු ලැබූ ආකාරය සහ ඒවායේදී විඳින්නට සිදුව ඇති දුෂ්කරතාවයන් ඔහු පැහැදිලි කලේය.

'නිරෝධායන කාමරයක විශාල සංඛ්‍යාවක් රඳවන නිසා එක් අයෙකුට වසංගතය වැලඳුනොත් නැවතත් සති දෙකක් නිරෝධායන වීමට සිදුවෙනවා මේ ආකාරයට බොහෝ අයට මාසයක් පමන එහි ගත කරන්න සිදු වුනා. පුද්ගලික වියදමින් නිරෝධායනය වීමට ඉදිරිපත් වූ අයට විශාල වියදමක් ඒ සඳහා දරන්නට සිදුවීම නිසා බොහෝ විට අතේ සතයක්වත් නැතුව තමයි ගෙදර යන්න සිද්ධ වුනේ රජයේ මේ ක්‍රියාවන් කම්කරුවන්ට දුන්නු දඬුවමක් හැටියටයි සලකන්න වෙන්නේ' ඔහු පැවසිය.

සාකච්ඡාව ආරම්භයේදී බහුතරයක් කම්කරුවන් දරා සිටි අදහස වූයේ, වසංගතය සමග ජීවත්වීම හැර අන් විකල්පයක් නොමැති බවයි. නමුත් වසංගතය මිහිමතින් තුරන් කල හැකි බව, චීනය එය මැඩ පවත්වා ඇති ආකාරය පෙන්නුම් කරමින් ලෝසවෙඅ වාර්තාකරුවන් පැහැදිලි කලවිට ඔවුහු වසංගතය ගෝලීය පරිමානව තුරන් කිරීම සම්බන්ධයෙන් සාරදර්ශී වූහ.

මාල දිවයිනේ සේවය කරන කම්කරුවා මෙසේ පැවසීය: 'සැබවින්ම චීනයේ වගේ සෑම රටකම, වසංගතය මුලදීම, මුහුනු ආවරන භාවිතය සහ සමාජ දුරස්ථභාවය අනිවාර්ය කිරීම, පරීක්ෂන, ආසාදිතයන්ගේ සම්බන්ධතා සොයා ගැනීම, අත්‍යවශ්‍ය නොවන සේවා ස්ථාන වසා දැමීම සහ නිරෝධායන මධ්‍යස්ථාන සහ සෞඛ්‍ය සේවා පහසුකම් ඉදිකිරීම වැනි පියවර වහා ගත්තානම් වසංගතය නතරවෙලා බොහෝකල්. ඒත් ඔබ පෙන්වාදෙන පරිදි මිනිස් ජීවිත වලට වඩා ලාභයට මුල්තැන දෙන මෙම ධනපති සමාජ ක්‍රමය යටතෙ ඒක සිදුවෙන්නෙ නැති බව පැහැදිලියි. ලොවපුරා කම්කරුවො එකතුවෙල ලෝක සමාජවාදයට සටන් වදින්න ඕන ඒක නිසයි. මේ අවබෝධය ලබා දීමට ගෝලීය කම්කරු පරීක්ෂනය ඉතා වැදගත්.'

Loading