ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් දිවයින පුරා මහජනතාව ගෙනයන උද්ඝෝෂනයේ අපිකේන්ද්‍රය වන ගෝල්ෆේස් විරෝධතාවේ අප්‍රකාශිත නායකත්වය, එම භූමියට දෛනිකව එක් රොක්වන දසදහස් සංඛ්‍යාත කම්කරුවන් සහ අනෙකුත් පීඩිතයන්, ඊනියා නිර්පාක්ෂිකත්වය තුල සිරකොට දේශපාලනිකව අවමංගත කිරීමේ දැනුවත් ව්‍යායාමයක නිරතව සිටී.
මෙම මහජන ව්‍යාපාරය තුල බහුලව භාවිතා කෙරෙන '#GotaGoHome2022' හෑෂ්ටැගය නිර්මානය කලේ තමා යැයි කියා ගන්නා පැතුම් කර්නර් නමැත්තා, ගෝල්ෆේස් නායකත්වයේ 'නිර්පාක්ෂිකත්වය' ට යටින් දිවෙන ධනපති දේශපාලන වැඩපිලිවෙල ප්‍රවර්ධනය කිරීමේ ලා ප්‍රමුඛ භූමිකාවක් ඉටු කලේය. එම නායකත්වයෙන් තමා ඉවත්කොට තබා ඇතැයි කර්නර් මැසිවිලි නැගුව ද, ඔහු විසින් සමාජ මාධ්‍ය හරහා කරන වැඩකටයුතු එම වැඩපිලිවෙලට මුලුමනින්ම අනුපූරක වේ.
කර්නර් යනු වෛද්‍යවරයෙකු ලෙස සේවයේ යෙදුනු හිටපු හමුදා නිලධාරියෙකි. තමා කවුදැයි හඳුන්වාදෙන වීඩියෝවක ඔහු කියා සිටින්නේ, කොලඹ පාලකයන් ගෙනගිය සිවිල් යුද්ධයට තම දායකත්වය සැපයීම සඳහා හමුදාවට බැඳුනු බවයි. දෙමල පීඩිත මහජනතාවට එරෙහිව ගෙනගිය එම වර්ගවාදී යුද්ධයේදී ලක්ෂයකට අධික දෙමල ජනයා මරා දැමුනු අතර, ලක්ෂ සංඛ්‍යාවකට උන්හිටිතැන් අහිමි විය.
වැඩී ඇති මහජන විරෝධය සමස්ත ධනපති ක්‍රමයට අභියෝග කෙරෙන මහජන ව්‍යාපාරයක් දෙසට වර්ධනයවීම වලකා, එය පාර්ලිමේන්තු මාවත තුලම සිරකොට ධනපති ක්‍රමය රැකදීමටත්, එමගින් ජාත්‍යන්තර සහ ජාතික ප්‍රාග්ධනයේ ප්‍රහාරයන්ට කම්කරු-පීඩිත ජනයා යටත්කර දීමටත්, කර්නර් ගේ ප්‍රකාශ සියල්ල යොමුව පවතී.
විරෝධතාකරුවන් විසින් ගෝල්ෆේස් හි ගොඩනගා ඇති වේදිකාවේ සිට මහජනයා ආමන්ත්‍රනය කරන දර්ශනය සහිත වීඩියෝ පටයකින් 'අර්බුදය විසඳා ගැනීම' සඳහා ඔහු යෝජනා කරන වැඩපිලිවෙල ඉදිරිපත් කෙරේ. ආර්ථික අර්බුදය විසඳා ගැනීමට පලමුව පවතින ආන්ඩුව පලවා හැරියයුතු බවත්, අනතුරුව 'නීත්‍යනුකූල අධිකාරී බලය සහිත, ව්‍යවස්ථානුකුල ව පත් කරගත් අන්තර් පාලන රජයක්' පිහිටුවා ගැනීම අවශ්‍ය වෙතැයි ඔහු අවධාරනයෙන් කියා සිටී.
'පාර්ලිමේන්තුවේ 225 ම එපා යැයි නොකියන' බවත්, රාජපක්ෂවරුන්ගෙන් තොර, විපක්ෂයේ සහ ආන්ඩු පක්ෂයේ දැනට සිටින මන්ත්‍රීවරුන්ගෙන් එම 'අන්තර්වාර ආන්ඩුව' සමන්විත යුතු බවත් කර්නර් කියා සිටී. එම ආන්ඩුවේ අගමැතිවරයා ලෙස, හිටපු හමුදාපති සමගි ජන බලවේග (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රනවක සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක යන අයගේ නම් කර්නර් අනුපිලිවෙලින් ඉදිරිපත් කරයි. වර්ගවාදී යුද්ධයේ ලේ නාගත් මොවුහු හිසේ සිට දෙපතුල දක්වා කම්කරු පංති විරෝධියෝ වෙති.
ජාතික ලැයිස්තුව හරහා 'ඒ ඒ ක්ෂේත්‍රවල දැනුම සහිත පුද්ගලයන් 10ක් වත්' එම අන්තර්වාර ආන්ඩුවට ගෙන ඒමට බලපෑම් කල යුතු බවද, ඔවුන් හරහා 'ආර්ථික කොමිසමක්' පිහිටුවා එම කොමිසමටම කැබිනට් බලතල දිය යුතු බව ද ඔහු පවසයි.
එම කොමිසම හරහා 'ආර්ථික ප්‍රතිව්‍යූහගත කිරීම්' සහ අනෙකුත් වෙනස්කම් කල හැකි බවත්, එමගින්, ගෑස් ,තෙල් සහ විදුලි අවශ්‍යතා ඇතුලු මූලික ආර්ථික ගැටලු මාස හයකින් විසඳාගත හැකි බවත්, ඉන්පසුව ඡන්දයකින් නව ආන්ඩුවක් පත්කරගත හැකි බවත් කර්නර් කියා සිටී.
ඔහුගේ යෝජනාවේ සාරාංශය මෙයයි: ලංකාවේ ආර්ථික අර්බුදය, දුර්-කලමනාකරනයේ සහ දූෂනයේ ප්‍රතිඵලයකි. එම දූෂිතයන් සහ දුර්-කලමනාකරුවන් ඉවත්කොට අන්තර්වාර ආන්ඩුවක් බලයට ගෙනඒම හරහා, 'ඒ ඒ ක්ෂේත්‍රවල දැනුම සහිත පුද්ගලයන්ගෙන්' සමන්විත 'ආර්ථික කොමිසමක්' පිහිටුවා ආර්ථික ප්‍රතිව්‍යූහකරන ක්‍රියාත්මක කිරීමෙන් මෙම අර්බුදය ජයගත හැක.
ලංකාවේ අර්බුදයේ යතා මූලය, කර්නර් පවසන පරිදි දුර්-කලමනාකරනය සහ දූෂනය නොවේ. එය ගෝලීය ධනපති ක්‍රමය මුහුන දී සිටින පද්ධතිගත අර්බුදයේ නිර්මිතයකි. නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ධනේශ්වර නිෂ්පාදන ආර්ථික ක්‍රමය සහ නිෂ්පාදනයේ සමාජයීයකරනය අතරත්, එකිනෙකට පසමිතුරුව පිහිටා සිටින ජාතික රාජ්‍ය පද්ධතිය සහ නිෂ්පාදනයේ ගෝලීයකරනය අතරත් පවත්නා ඓතිහාසික පරස්පර විරෝධයන් පසුගිය දශක කීපය තුල දැවැන්ත පරිමානයෙන් ගැඹුරුවීම මෙම අර්බුදයේ මූලය යි.
කෝවිඩ් වසංගතය මගින් තීව්‍ර කෙරුනු මෙම අර්බුදය, යුක්‍රේනය මැදිකරගෙන ඇමරිකාව ප්‍රමුඛ නේටෝ බලයන් රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධයෙන් වඩාත් ගැඹුරු කෙරී පවතී. ලංකාව ද ඇතුලත් ලොවපුරා පාලක පංතීන් ඉන් ගොඩ ඒමට යත්න දරන්නේ තමා මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ බර විවිධ කප්පාදු හරහා කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමෙන් සහ එයට එරෙහිව පැන නගින පංති අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීමෙනි.
කර්නර් ගේ තවත් වීඩියෝවකින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) ආර්ථික ප්‍රතිව්‍යූහකරන යෝජනා මුලුමනින්ම අනුමත කෙරේ. ජාමූඅ හි විධානය පරිදි, ලංකාවේ බදු ආදායම් සුවිසල් ලෙස වැඩිකර ගතයුතු යැයි ද රාජ්‍ය වියදම් දැවැන්තව කපා හැරියයුතු යැයි ද ඔහු කියා සීටී. මෙම බදු බර නිසැකවම පැටවෙනු ඇත්තේ කම්කරු-පීඩිත මහජනතාව මත බව දන්නා ඔහු, බදු නිර්නය කිරීමෙදී ආදායම් විෂමතා සැලකිල්ලට ගතයුතු යැයි ව්‍යාජව කියාපායි. රාජ්‍ය වියදම් කප්පාදුව තුල අධ්‍යාපනය සහ සෞඛ්‍යය බරපතල ප්‍රහාරයකට ලක්වීම නියතව තිබ්‍යදී ඔහු වංචනික ලෙස කියා සිටින්නේ එම ක්ෂේත්‍රයන්හි කප්පාදු කිසිවක් ජාමූුඅ හි යෝජනා කර නොමැති බවයි.
කර්නර් ගේ යෝජනා, සජබ, ජවිපෙ සහ මහ ව්‍යාපාරිකයන් ඉදිරිපත් කරන යෝජනා වලින් කිසිසේත්ම වෙනස් නොවේ. ඔවුන් යෝජනා කරන්නේ ද ඊනියා අන්තර්වාර ආන්ඩුවක් මගින් ජාමූඅ හි විධානයන් ක්‍රියාත්මක කිරීමයි.
ශ්‍රී ලංකාවේ ආන්ඩුවට එරෙහිව නැගී ඇති විරෝධතා මුහුන දෙන තීරනාත්මක දේශපාලන ප්‍රශ්න යන මැයෙන් ලෝක සමාජවාදී බේ අඩවියේ පලවූ ලිපියෙන් පෙන්වා දුන් පරිදි, 'ගාලු මුවදොර පිටියේ විරෝධතාවල නායකයන් විසින් ඉදිරියට දමන ඉල්ලීම්වලින් නියෝජනය වන්නේ, සාපේක්ෂ ව කතා කල හොත්, සිය සුවපහසු තත්ත්වය වැඩි දියුනු කරගැනීම සඳහා ජාමූඅ හා ධනපති විරුද්ධ පක්ෂ මත විශ්වාසය තබන, ඉහල මධ්‍යම-පන්තික ස්ථරයක අවශ්‍යතා මිස, කම්කරු පන්තියේ හා දුගීන්ගේ අවශ්‍යතා නො වේ.'
කර්නර්ගේ ප්‍රකාශයන් මගින් ඉහත පැහැදිලි කිරීම මැනැවින් සනාථ වේ.
අවසාන විග්‍රහයේදී, ගෝල්ෆේස් විරෝධතාවට නායකත්වය දෙන පුද්ගලයන් 'නිර්පාක්ෂික' බැනරය ඔසවා ඇත්තේ, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත පාදක වූ කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් වදින සසප දේශපාලනය කම්කරු-පීඩිත මහජනතාව තුලට ගෙනඒම වලකාලීමට බව පැහැදිලි ය.
මහජන නැගිටීම තලා දැමීම සඳහා ජනාධිපති රාජපක්ෂ හදිසි නීතිය පනවා බලාත්මක කරගෙන ඇති, වරෙන්තුවකින් තොර ව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මිලිටරිය හා පොලීසිය දිගේලි කිරීම, වැඩ වර්ජන, විරෝධතා හා රැස්වීම් තහනම් කිරීම, ඇඳිරි නීතිය හා මාධ්‍ය වාරනය පැනවීම සහ දේශපාලන පක්ෂ තහනම් කිරීම ආදී ප්‍රහාර පරාජය කල හැක්කේ සසප ඉදිරිපත් කරන වැඩපිලිවෙල ඔස්සේ සටන් කිරීමෙන් පමනි.
ලෝසවෙඅ හරහා ඊයේ සසප නිකුත් කල ප්‍රකාශයේ මෙසේ සඳහන් වෙයි:
'රාජපක්ෂගේ මිලිටරි මර්දන තර්ජනය පරාජය කිරීමට හා සිය පන්ති අවශ්‍යතා සඳහා වන දේශපාලන ක්‍රියා මාර්ගයකට සටන් කිරීමට, සිය ශක්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීම කම්කරු පන්තිය මුහුන දෙන හදිසි කර්තව්‍යය යි.
'වෘත්තීය සමිතිවලින් ද ඒවා ගැටගැසී සිටින ධනපති පක්ෂවලින් ද ස්වාධීන ව, ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත්කර ගන්නා ක්‍රියාකාරී කමිටු සෑම කම්හලක හා වැඩපොලක ම සහ කම්කරු නිවහන් ප්‍රදේශවල නොපමාව ගොඩනගා ගන්නා ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලයි.'
ඊයේ කොලඹදී විරෝධතාකරුවන්ට ආන්ඩුව එල්ල කල ම්ලේච්ඡ මැර ප්‍රහාරයෙන් ද සනාථ වනුයේ එම වැඩපිලිවෙලට සටන් වැදීමේ දැවෙන අවශ්‍යතාවය යි.