ගෝඨාභය රාජපක්ෂ-රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව මැදිහත් වන ලෙස ඉල්ලා 'වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව (වෘසබසඑ)' විසින් මැයි 21 වෙනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොලඹ කාර්යාලයට ලිපියක් භාර දුන්නේ ය. එය ශ්‍රී ලංකාවේ සිටින සියලුම විදේශ තානාපතීන් ට ද යොමුකරන බව වෘසබසඑ නායකයෙකු වන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මාධ්‍යයට පැවසීය.
මැයි 9 වෙනිදා, ගාලුමුවදොර දී සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට දී ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන්ට එල්ල කෙරුනු ප්‍රහාරයට එරෙහිව රටපුරා පැනනැගි මහජන උද්ඝෝෂනයෙන් අනතුරුව, ආන්ඩුවේ දේශපාලකයන්ගේ උසිගැන්වීම යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින පුද්ගලයන් 'නිදහස් කිරීම සහතික කරන ලෙසත්, ශ්‍රී ලංකා ආන්ඩුක්රම ව්‍යවස්ථාව, මානව හිමිකම් පිලිබඳ විශ්ව ප්‍රකාශය සහ සිවිල් සහ දේශපාලන අයිතීන් පිලිබඳ ජාත්‍යන්තර ප්රඥප්තිය මගින් තහවුරුකර තිබෙන ප්රකාශනයේ සහ රැස්වීමේ නිදහස ශ්‍රී ලංකා රජය විසින් උල්ලංඝනය කිරීම වලවක්වන ලෙසත්' වෘසබසඑ තම ලිපියෙන් ඉල්ලා ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ අනෙකුත් රටවල ධනපති පාලකයන්ට, වෘසබසඑ ඉදිරිපත් කරන මෙම ඉල්ලීම තුල මානව හිමිකම් රැකදීමේ කවර හෝ සැබෑ උත්සුකයක් නොමැත. මෙය ආන්ඩුවට එරෙහිව කම්කරුවන් සහ අනෙකුත් පීඩිත මහජනතාවන් අතර පැනනැගී ඇති විරෝධය අපසරනය කිරීමේ දැනුවත් උපාමාරුවකි.
සමිති එකමුතුව තම ඉල්ලීම් යොමු කරන අධිරාජ්‍යවාදී සහ අනෙකුත් රටවල ධනපති පාලක පන්තීන්ට ඇත්තේ මානව හිමිකම් දුෂ්ඨ ලෙස උල්ලංඝනය කිරීමේ සහ කම්කරු පන්තියට සහ මහජනතාවට එරෙහි රාජ්‍ය මර්දනය මුදා හැරීමේ කුප්‍රකට වාර්තාවන් ය. අනෙක් අතට, එක්සත් ජාතීන්ගේ සංවිධානයට උරුමව ඇත්තේ, මෙම පාලක පංතීන්ගේ, විශේෂයෙන්ම එක්සත් ජනපදය ප්රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විවෘතවම ආරක්ෂා කිරීමේ අපකීර්තිමත් ඉතිහාසයකි.
මෙම අධිරාජ්‍යවාදී රටවල පාලක පංතීන්, අන්‍ය රටවල මානව හිමිකම් සම්බන්ධයෙන් මැදිහත් වනුයේ, තම භූ-දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් එම රටවල් පෙලගස්වා ගැනීමේ උවමනාවෙන් මිස ඒ රටවල මහජනතාවන්ගේ ප්රජාතන්ත්රීය අයිතීන් ගැන කවර හෝ උනන්දුවක් නිසා නොවේ.
කෝවිඩ්-19 වසංගතයෙන් සහ එක්සත් ජනපද-නැටෝ බලයන් යුක්රේනය මැදිකරගෙන රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධයෙන් වඩාත් ගැඹුරු කෙරී ඇති ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ, සෑම රටකම පාලක පංතීන්ගේ පිලිවෙත වී ඇත්තේ එම අර්බුදයේ සමස්ත බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමත්, එයට එරෙහිව පැන නගින පංති අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීමත් ය
මැයි 9 වෙනිදා ප්‍රහාරය සහ ඊට එරෙහිව විරෝධතාවන්හි යෙදුන අයට එරෙහිව රාජපක්ෂ-වික්‍රමසිංහ ආන්ඩුව මුදාහැර තිබෙන රාජ්‍ය දඩයම මෙම ජාත්‍යන්තර ප්රපංචයේ කොටසකි.
ප්‍රහාරය එල්ලවූයේ, ජනාධිපතිට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙසත්, ජීවන වියදම ඉහල යාමට සහ අත්‍යවශ්‍ය භාන්ඩ හිඟයට සහනදායි විසඳුමක් සම්පාදනය කරන ලෙසත් ඉල්ලමින්, මාසයකට අධික කාලයක් සාමකාමී උද්ඝෝෂනයක නිරතව සිටි විරෝධතාකරුවන්ටයි.
නිරායුධ උද්ඝෝෂකයන්ට ඉවබව නොමැතිව පොලු මුගුරු වලින් පහර දුන්නේ, ශ්‍රී ලංකා පොදු පෙරමුනු (ශ්‍රීලපොපෙ) ආන්ඩුවේ මැති-ඇමතියන් විසින් අගමැති මහින්ද රාජපක්ෂගේ නිල නිවසට කැඳවාගෙන ආ දහසක් පමන වූ ආධාරකරුවන් පිරිසක් සහ ඔවුන් මෙහෙය වූ ශ්‍රීලපොපෙ දේශපාලකයන් කන්ඩායමක් විසිනි.
ප්‍රහාරයට පෙරාතුව අගමැති රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු ඇමතියන් විසින් කල ප්රකෝපකාරී කතාවලින් ඔවුන් උසිගැන් වූ බව එලිදරව් වී ඇත. මැර ප්‍රහාරය වැලක්වීමට හැකියාව තිබු නමුත් පොලීසිය ඒ සඳහා කිසිවක් ම නොකලහ.
ප්‍රහාරය සැල වූ සැනින් සෞඛ්‍ය, තැපැල්, වරාය සහ දුම්රිය ඇතුළු කම්කරුවන් දහස් ගනනක් ගාලුමුවදොරට පැමින මැරයන් පලවාහැර විරෝධතාකරුවන් ආරක්ෂා කිරීමට ක්ෂනිකව මැදිහත් වූහ. ප්‍රහාරයේ ආරංචිය දිවයින පුරා පැතිරයාමත් සමග වීදිවලට එක්රොක් වූ ජනයා විරෝධතාවල නිරත වූ අතර ප්‍රහාරයට පලිගැනීමක් ලෙස ආන්ඩුවේ හිටපු මැති-ඇමැතියන්ගේ නිවාස, කාර්යාල දේපලවලට හා මැර කන්ඩායම් ප්‍රවාහනය කල වාහනවල ට හානි කිරීමට ඇතැම්හු පෙලඹුනහ.
එම තත්වය උපයෝගිකරගෙන පොලීසිය ශ්‍රීලපොපෙ මැති ඇමැතියන්ගේ මැදිහත්වීම ඇතිව දැන් විරෝධතාකරුවන්ට එරෙහිව රාජ්‍ය දඩයමක් දියත් කර ඇත්තේ කම්කරු-පීඩිත ජනයා ත්‍රස්ත කර ආන්ඩුවට එරෙහි ව පැතිර පවතින මහජන විරෝධය මර්දනය කරනු පිනිසය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මැයි 24 වෙනිදා මාධ්‍යයට කල ප්‍රකාශයට අනුව 1808 ක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 784 ක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. තවත් අය අත්අඩංගුවට ගැනීමට සිටින බව ද පොලීසිය පවසයි. නමුත් විරෝධතාකරුවන් පවසන්නේ මේ වනවිට 3000 ක් පමන අත්අඩංගුවට ගෙන ඇති බවයි.
නමුත්, 9 දා මැර ප්‍රහාරය මෙහෙයවූවන් සහ ප්‍රහාරකයන් සම්බන්ධයෙන් පොලීසියේ ප්‍රතිචාරය මෙයට හාත්පසින්ම වෙනස් ය. පොලීසිය ඔවුන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩහැරියේ ය. එයට එරෙහිව මහජනතාව අතරින් මතු වූ බලගතු විරෝධය මැද්දේ ඔවුන්ගෙන් 22ක් අත්අඩංගුව ට ගන්නා ලෙස නීතිපති පොලීසියට නියෝග කලේ ය.
ඒ අතර ශ්‍රීලපොපෙ මැති-ඇමතිවරුන් කීප දෙනෙකුගේ නම් වෙයි. ප්‍රහාරය සැලසුම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින බස්නාහිර පලාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට දී තිබූ නියෝගය පසුව වෙනස් කල නීතිපති ඔහුට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස පොලිස්පතිට නියෝග කලේය. අවසානයේදී පොලීසිය තෙන්නකෝන්ගෙන් ප්‍රකාශයක් පමනක් සටහන් කරගෙන ඇත.
ඉහත 22 අතරින් තවමත් අත්අඩංගුවට ගෙන ඇත්තේ 8 දෙනෙකු පමනි. ප්‍රහාරය උසිගැන්වූ ප්රමුඛයෙකු වන හිටපු මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කරන ලෙස නීතිපති නියෝග කර තිබු නමුත් මැයි 24 වෙනිදා පොලිස් මූලස්ථානයට කැඳවූ ඔහු පැය 5 ක් ප්‍රශ්නකොට ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසු මුදා හැරියේය.
ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික වශයෙන් වගකිවයුතු හිටපු අගමැති මහින්ද රාජපක්ෂට අවම වශයෙන් කැඳවීමක් හෝ නොකල පොලීසිය අවසානයේදී පසුගිය බදාදා ඔහු හමුවට ගොස් ප්‍රකාශයක් සටහන් කරගත් බව මාධ්‍යයන්හි සඳහන් කෙරින.
මේ සියල්ල ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් ආරක්ෂා කෙරෙන ඇස්බැන්දුම් පමනි.
උද්ඝෝෂකයන් ට මෘග ප්‍රහාරයක් එල්ල කිරීම ට සහ එම ප්‍රහාරය ට එරෙහිව විරෝධය පෑ ජනතාව ත්‍රස්ත කිරීමේ රාජ්‍ය දඩයමක් මුදා හැරීමට ආන්ඩුව සමත් වී ඇත්තේ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව මෙන්ම, වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානයේ (වෘසසම) ද්‍රෝහී භූමිකාව නිසාවෙනි.
රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව දසහස් ගනන් මහජනයා අප්‍රේල් මුල සිට වීදිවලට අවතීර්න වෙද්දී ඒ ගැන තැකීමක් නැතිව දින ගනනක් කල්මැරූ මෙම සමිති අවසානයේ සීමිත වර්ජන සහ උද්ඝෝෂන සංවිධානය කලේ කම්කරුවන් ස්වකැමැත්තෙන් උද්ඝෝෂනයට සම්බන්ධ වන කොන්දේසි තුලය.
එහෙත් ඔවුහු අප්‍රේල් 28 සහ මැයි 6 වෙනිදා ට නිවේදනය කර තිබූ අඛන්ඩ වැඩවර්ජන එක් දින සංකේත වර්ජන වලට සීමා කලහ. ධනපති පාලක පන්තිය පමනක් නොව, වෘත්තීය සමිතිමත් භීතියට හා තිගැස්මට පත්කරමින් මෙම මහ වර්ජන දෙකට ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් සහභාගි වූ අතර, මැයි 6 වෙනිදා වර්ජනය සමග දියත් කෙරුන හර්තාලයට ගම්බද දුගීන්, නාගරික පීඩිතයන්, සුළු ව්‍යාපාරිකයන් ඇතුළු මිලියන ගනනක් ජනයා සම්බන්ධ වූහ.
මැර ප්‍රහාරයට එරෙහිව කම්කරුවන් අතර පැන නැගුනු දැවැන්ත විරෝධය හමුවේ, මැයි 11 වෙනිදා සිට යලි වර්ජනයක් ආරම්භ කරන බව සහ ජනාධිපති රාජපක්ෂ ඉවත්වනතුරු එය අඛන්ඩව ඉදිරියට ගෙනයන බව වෘත්තීය සමිති කියා සිටියහ. නමුත් පසුව එය ද අවලංගු කෙරින.
දැන් මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වන ලෙස එජා සංවිධානයට, අධිරාජ්‍යවාදී බලයන් ට සහ සෙසු ධනපති පාලක පන්තීන්ට සමිති කරන ආයාචනය පන්ති අරගලය මර්දනය කර යටපත් කිරීමට ධනපති පාලක පන්තියට දුන් ඉහත සහයෝගයේ ම දිගුවකි.
තම සමාජ සහ ප්රජාතන්ත්ර අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා ද, රාජපක්ෂ-වික්‍රමසිංහ ආන්ඩුවේ රාජ්‍ය මර්දනය ට එරෙහිව ද කම්කරු පන්තිය යොමුවිය යුත්තේ ධනවාදයේ උපකරනයක් ලෙස ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ අධිරාජ්‍යවාදී බලයන් වෙත නොව ලෝක කම්කරු පන්තිය දෙසට ය.
කම්කරු පන්තියට එය කලහැක්කේ ධනපති පාලක පන්තියේ ඒජන්තයන් හා කාර්මික පොලීසියක් ලෙස ක්‍රියාත්මක වෙමින් පන්ති අරගලයට තිරිංග දමන මෙම වෘත්තීය සමිති වලින් ස්වාධීනව සෑම වැඩපලක ම, කම්හලක ම, වතුකරයේ සහ කම්කරු නිවහන් ප්‍රදේශවල කම්කරු ක්‍රියාකාරී කමිටු සහ ආරක්ෂක කමිටු පිහිටුවා ගැනීමෙන් හා එවන් ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් තුලින් පමනි.
එම පදනම මත කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් බලමුළු ගන්වා ගනිමින්, රඳවාගෙන සිටින විරෝධතාකරුවන් නිදහස් කර ගැනීමට, තම සමාජ සහ ප්රජාතන්ත්ර අයිතීන් ආරක්ෂා කර ගැනීමට සහ රාජ්‍ය මර්දනය පරාජය කිරීමට ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීම අවශ්‍යවේ.