වෙලඳ කලාප වලට හමුදාව යෙදවීමට එරෙහි සසප උද්ඝෝෂනය:

"හමුදාව මැදිහත් වුනේ අපි, දුගී කොටස් එක්ක උද්ඝෝෂනයට එකතු වීමත් සමග": සීතාවක අපනයන කලාපයේ කම්කරුවෙක්

මැයි 6දා පැවති එක් දින මහා වැඩ වර්ජනයෙන් හා හර්තාලයෙන් දිනකට පසු, ආන්ඩුව, නිදහස් වෙලඳ කලාප (නිවෙක) තුල මිලිටරිය යෙදවීමට එරෙහිව සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගෙනයන උද්ඝෝෂනයේ කොටසක් ලෙස, සසප සාමාජිකයන් පිරිසක් පසුගිය සති අන්තයේ, අවිස්සාවේල්ලේ පිහිටි 'සීතාවක අපනයන සැකසුම් කලාපයේ' කම්කරුවන් අතර මැදිහත්වීමක් කලහ.

අවිස්සාවේල්ල නගරයට නුදුරින් පිහිටා ඇති සීතාවක අපනයන සැකසුම් කලාපය කොලඹ දිස්ත්‍රික්කය තුල පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මන්ඩලයට අයත් එකම අපනයන සැකසුම් කලාපය යි. කොලඹ සිට එයට දුර කිලෝමීටර් 50ක් පමන වෙයි. ඇඟලුම්, රෙදිපිලි, ප්ලාස්ටික්, රසායනික, තීන්ත සහ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කම්හල් සියයක් පමන, අක්කර හාරසිය තිස් දෙකක් පුරා පැතිරී පවතින මෙම කලාපය තුල ක්‍රියාත්මක වේ. ඉන්දියාව මෙහි විශාලතම ආයෝජකයා වන අතර, බෙල්ජියම, හොංකොං, ජපානය, ඇමරිකාව, චීනය තායිලන්තය හා කැනඩාව අනිකුත් ආයෝජකයෝ වෙති. දේශීය සහ විදේශීය ආයෝජකයන්ට අයත් කර්මාන්ත 27 ක් ද මෙහි පවතී.

මැයි 18 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරුනු, 'නිදහස් වෙලඳ කලාප තුල මිලිටරිය යෙදවීමට එරෙහි වනු!' යන සසප ප්‍රකාශයේ පිටපත් සිය ගනනක් බෙදාහරිමින් සසප සාමාජිකයෝ වැඩමුර අවසන් වී නිවෙස් සහ නවාතැන් වෙත යන කම්කරුවන් සමග සාකච්ඡාවන් හි නිරත වූහ.

මැයි 6දා පැවති එක් දින මහ වැඩ වර්ජනයට හා හර්තාලය ට, රට පුරා අනෙකුත් කම්කරුවන් මිලියන ගනනක් සමගින්, තමා ද සහභාගි වූ බව සීතාවක කම්කරුවෝ පැවසූහ.

මැයි 6 වැනි දින හර්තාලයට සම්බන්ධ වූ සීතාවක අපනයන සැකසුම් කලාපයේ කම්කරුවෝ

ජේ.ජේ.ගාමන්ට් හි කම්කරුවෙකු වන රසිත ප්‍රකාශ කලේ, අප්‍රේල් 28 වෙනිදාත්, මැයි 06 වැනිදාත් කලාපයේ කම්කරුවන් ප්‍රදේශයේ පීඩිතයන් සමග උද්ඝෝෂන වලට සම්බන්ධ වූ බවයි. කම්කරුවන් වර්ජනය ඉදිරියට ගෙනයාම බලාපොරොත්තු වුනත්, නායකත්වයක් නොතිබීම නිසා එය නැවතුනු බව ඔහු පැවසීය. කම්කරුවන්ගේ එකතුවීමට එරෙහිව එක් පසෙකින් හාම්පුතුන් ද, අනෙක් පසින් ආන්ඩුව ද මර්දනය අරඹා ඇති අයුරු ඔහු විස්තර කලේය.

'ඉස්සෙල්ලම නිවේදනය කරා අහිමි වෙච්ච දින දෙකට නිවාඩු ඉරිදා දවස් දෙකක් වැඩ කල යුතු බව. කම්කරුවෝ බලාපොරොත්තු වුනේ මේ උද්ඝෝෂන මගින් පාලකයෝ සහන දීමට පෙලඹේවි කියලා. නමුත් දැන් කලාපයට හමුදාව මැදිහත් කරගෙන උද්ඝෝෂන මඩින්න ක්‍රමානුකුලව සැලසුම් හදාගෙන යනවා. හමුදාව යෙදවීමෙන් පේන්නේ කම්කරුවො ඉදිරියට පැමිනීම පිලිබඳ ඔවුන්ගේ බය.'

එම කම්හලේම, තාවකාලික කම්කරුවකු ලෙස සේවය කරන ශෂී අප හා කතාවට එක් වූයේ 'බඩු මිල එන්න එන්නම වැඩිවෙමින් ජීවත්වීම අමාරු වෙන' බව ප්‍රකාශ කරමිනි. 'මගේ පඩිය දිනකට රුපියල් දාහයි ඒක වැඩි වෙන්නේ නැහැ. එත් දැන් හාල් කිලෝ එකක් රුපියල් දෙසීයක්. පඩියෙන් මොනවද ගන්න පුලුවන්' යැයි ඔහු ප්‍රශ්න කලේය. 'මම මෙහේ වැඩ කරන අතරේ පවුල නුවර ප්‍රදේශයේ ජීවත් වනවා මට උපරිම රුපියල් තිස් පන්දාහක් විතර හම්බ කරනවා. එකෙන් රුපියල් පහලොස්දාහක් විතර ගෙදරට යවන්න පුලුවන්. ගෙදර යන්න ලැබෙන්නේ මසකට එක වරයි. ඉරිදා දිනවල රැකියාව නොකරන නමුත් දිනකට කෑම සඳහා පමනක් රුපියල් දාහක් පමන වැය වෙනවා. තව බෝඩින් ගාස්තු ගෙවීමටත් සිදුවෙනවා' යැයි ඔහු සඳහන් කලේය.

නව අගමැති රනිල් වික්‍රමසිංහ ගේ පත්වීම පිලිබඳව ඔහු මෙසේ පැවසීය: 'රනිල් ඇවිල්ල තියෙන්නේ ධනපතියො බේරගන්න. මිනිස්සු ඉල්ලුවේ පෝලිං නැති කරලා බඩු මිල අඩු කරන්න කියල. නමුත් සිද්ධ වුනේ පෝලිං වැඩිවීම සහ බඩුමිල වැඩිවීම පමනයි. කුලී වැඩ කරන අයටත් දැන් වැඩ අඩුයි. ඉක්මනින් මේ තත්වය වෙනස් කරගන්න සිද්ධ වෙනවා.'

ටී.ජේ. ලංකා ආයතනයේ සේවය කරන කම්කරුවෙකු පැවසුවේ රැකියා කාලයෙන් පසුව තම ආතනයේ සහෝදර සේවකයන් උද්ඝෝෂන වලට සම්බන්ධ වූ බවයි. 'වැටුප් වර්ධකයක් ලබා දෙනලෙස කම්කරුවන් යලියලිත් ඉල්ලා සිටියත් පාලකයො ඒක දෙන්නෙ නෑ. වෘත්තිය සමිති නොමැති තත්වයක් යටතෙ ක්‍රියාත්මක වන පාලක සභා වලට පත්වෙන කම්කරුවන් පාලකයො බිලිබා ගන්නව. පාලක සභාවට පත්වෙල ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ පුද්ගලයෙක්. පඩි වැඩිකිරීම පිලිබදව ඔහුගෙන් ඇහුවම නිතර කියන්නේ සාකච්ඡා කරමින් පවතින බව සහ ඉක්මනින්ම වැඩිකිරීම් ලැබෙනු ඇති බව.'

කම්කරුවන් උද්ඝෝෂන වලට සම්බන්ධ වූයේ මෙම තත්වය වෙනස්කර ගැනීමේ අදහසින් බව ඔහු කීවේය. 'ගමේ ඉතාම දුගී කොටස් උද්ඝෝෂන වලට සම්බන්ධ වුනා. කම්හලේ පාලකයන් ඔවුන් කුඩුකාරයන් ලෙස හඳුන්වා ඔවුන් සමග සම්බන්ධ නොවන ලෙස ඉල්ලා සිටියා. හමුදාව මැදිහත් වුනේ අපි ඒ දුගී කොටස් එක්ක එකතු වීමත් සමග. ඔවුන්ගෙ මංකොල්ලකෑම නතර කිරීමේ මුවාවෙන් හමුදාව වීදි වලට බැස්සුවෙ මූලිකවම අපි බියවද්දන්න.'

'හමුදාව කලාපය ඇතුලට ආවේ නැහැ. නමුත් ඔවුවන් උද්ඝෝෂන අසලටම පැමිනියා. දැන් උද්ඝෝෂන නැති වුනත් තවමත් කලාපය අසල මිලිටරිය සහ පොලිසිය රැඳී සිටිනවා.'

වසංගතය ආරම්භයේදී තාවකාලික පදනමේ සේවය කල සේවකයන් දුසිම් ගනනක් අඩුකිරීමට පාලකයන් ක්‍රියා කල බව ඔහු කීවේය. ඔවුන් ඉවත් කලේ කායික දුරස්ථ භාවය පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සහ විදේශ ඉල්ලුම් අඩුවීම යන ව්‍යාජ හේතු දක්වමිනි. 'එක මැෂිමක තුන්දෙනෙක් සිටියනම් එය දෙන්නෙකුට අඩු කලා. දැන් විදේශ ඉල්ලීම් අඩුවක් නොමැතිව ලැබෙද්දීත් එම අනුපාතය පවත්වාගැනීමෙන් කම්හල ලාභ වැඩිකරගෙන තියෙනව.'

විදුලිබල මන්ඩලයේ කැලනි තිස්ස බලාගාරයේ කම්කරුවෙකු වන ධනුෂ්ක කතාව ඇරඹුවේ ආන්ඩුව මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය වැඩි වූ බව පවසමිනි. 'ආන්ඩුව පෙරලීමෙන් අඩුම තරමින් විදුලිබල මන්ඩලය පුද්ගලීකරනය නතර කරගන්න පුලුවන්වෙයි කියල අපි හිතුව. සමිති වලට නායකත්වය ජවිපෙ හි රංජන් ජයලාල් ල වගේ අය වර්ජන අතහැර දමද්දී ඉස්සරහට ඇවිල්ලා තියෙන්නෙ රනිල් වික්‍රමසිංහ' බව ප්‍රකාශකල ඔහු 'රනිල් නොහඳුනන පුද්ගලයෙක් ද?' යනුවෙන් අපෙන් විමසා සිටියේ, ඔහු පෙර සෑම වතාවකදීම පුද්ගලිකරනය ක්‍රියාවට දැමු ආකාරය මතක් කරමිනි.

කලාපය අසල දී හමුවූ හංසක නැමැති උසස්පෙල හදාරන පාසල් ශිෂ‍්‍යය‌‌ා මැයි දිනය සහ ජාත්‍යන්තරවාදය ගැන බලගතු උනන්දුවක් දැක්වීය. ජංගම දුරකථනයක් මාර්ගයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ද, එය පැවැත්වූ ඔන්ලයින් මැයි දිනය පිලිබඳ විස්තර ද පෙන්වූ උද්ඝෝෂකයෝ කම්කරු පන්තියේ ජාත්‍යන්තර පක්ෂයක් ගොඩනැගීම සඳහා සටන් වැදීමේ අවශ්‍යතාව ඔහුට පැහැදිලි කලහ.

'ලෝකයේ සෑම රටකම මිනිසුන් මුහුන දීලා සිටින්නේ එකම ප්‍රශ්නවලට බැවින් එවැනි ලෝක පක්ෂයක් ගොඩනැගිය හැකි' බව ඔහු කීවෙිය.

උසස් පෙල හදාරන තවත් ශිෂ්‍යයකු වූ නිශාන් අංජු ප්‍රකාශ කර සිටියේ උසස් පෙල සමත්වීම සඳහා පුද්ගලික උපකාරක පන්ති වලට සහභාගි වීම අවශ්‍ය වී ඇතත් ප්‍රවාහන ගාස්තු ඉහල නැගීම නිසා දෙමව්පියන් මුදල් ලබා දෙන්නේ ඉතා අසීරුවෙන් බවයි.

'දැන් පාසල පවත්වන දිනවලටත් ලමයි ඉන්නෙ අඩුවෙන්. ප්‍රවාහන ගාස්තු වැඩිවීම නිසා පමනක් නොවෙයි, අනිකුත් සියලු ප්‍රශ්න ඒකට බලපාල තියෙනවා මෙම අර්බුදයට වගකියන්න ඕන වර්තමාන පාලකයන් පමනක් නොවෙයි. ඉස්සර හිටපු අයත් ඒකට වගකියන්න ඕන. වසංගතය නිසා ආර්ථික ප්‍රශ්න වැඩි වුනා. විදේශ මුදල් ඉතිරි කර ගැනීම සඳහා පොහොර ආනයනය නතර කිරීම වැනි දේවල් නිසා මහා විනාශයක් සිදුවෙනවා මිනිස්සුන්ට කන්න පවා නැති වෙන්න ඉඩ තියෙනවා.'

Loading