පොලොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු මධ්‍යස්ථානයේ සහාය “උපදේශකවරු“ ලෙස කටයුතු කරන හමුදා භට පිරිසක් කල පහරදීමකින් පසුගිය බ්‍රහස්පතින්දා ඝාතනයට ලක් විය. ඝාතනයට ලක් වූයේ බදුල්ල දිස්ත්‍රික්කයේ දෙමෝදර පදිංචි වයස අවුරුදු 36 ක තරුනයෙකි.
මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථානය කිරීම සඳහා පවත්වාගෙන යනු ලබන මෙම මධ්‍යස්ථානය තුල භාවිතය තහනම් කෙරී තිබූ දුම්කොල කැබලි කීපයක් අදාල තරුනයා ලඟ තිබී හමුවීමෙන් පසු, ඒ පිලිබඳව සිදුකල ප්‍රශ්න කිරීම්වල දී හමුදා භටයන් ඔහුට අමානුෂික ලෙස පහරදුන් බවත්, ඒ හේතුවෙන් ඔහු ඝාතනය වූ බවත් සිද්ධිය දුටු රැඳවියෝ ප්‍රකාශ කරති. ඝාතනයට සම්බන්ධ ගුවන් හමුදා සැරයන්වරු දෙදෙනෙකු සහ යුද හමුදා සැරයන්වරු දෙනෙක් වැලිකන්ද පොලීසිය විසින් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 14 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.
'මොට්ට ආයුධ වලින් සිදුකල පහරදීම් වලින් ඇතිවූ සංකූලතා' හේතුවෙන් තරුනයාගේ මරනය සිදුව ඇතිබව, පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ දී ඊයේ සිදු කෙරුනු පශ්චාත් මරන පරීක්ෂනයෙන් නිගමනය කෙරුනි. පහරදීම සඳහා ගනකම් වයරයක් සහ බට ලී යොදා ගෙන තිබේ. මෙවැනි පහරදීම් මධ්‍යස්ථානය තුල නිරතුරව සිදුවන බවත් පහරකෑමට තවත් බොහෝ රැඳවියන් ලක් වී ඇති බවත් දැන් හෙලිදරව් වී ඇත.
ඝාතනයට හා මධ්‍යස්ථානය තුල පවතින ඉහිලුම් නොදෙන කොන්දේසිවලට එරෙහිව අවශේෂ රැඳවියන් පසුදින මධ්‍යස්ථානයේ ගේට්ටු සහ වැටවල් බිඳ ගෙන එලියට පැමිනි අතර එහි දී රැඳවියන් වෙත පොලීසිය හා කැරලි මර්දන ඒකකවල කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කෙරුනි.
මේ වන විට 600 ට අධික රැඳවියන් පිරිසක් පොලීසිය භාරයට ගෙන අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. තවත් 40 පමන පිරිසක් සොයා 5,00 ක පමන පොලිස් භටයන් ප්‍රදේශය පුරා මුර සංචාරවල යොදවා සිටී.
වදකාගාරවලට සමාන මෙම මධ්‍යස්ථානවල පවතින අමානුෂික ස්වභාවය ඝාතනයත් සමග එලිමහනට පැමින තිබේ. සිද්ධිය වාර්තා කිරීමට පැමිනි මාධ්‍යවේදීන් වෙත ඝාතනය පිලිබඳව හා මධ්‍යස්ථානයේ කොන්දේසි පිලිබඳව තොරතුරු හෙලිදරව් කිරීමට රැඳවියෝ උත්සාහ ගත්හ.
පහර කෑමෙන් වේදනා විදිමින් සිටි තරුනයා වතුර ඉල්ලු බවත්, 'වතුර දුන්නොත් උඹලවත් ගහලා මරන' බවට හමුදා භටයන් තර්ජනය කල බවට එක් රැඳවියෙක් ප්‍රකාශ කලේ ය. මෑතක දී රැදවියෙකු කිඹුලන්ට ගොදුරු වූ බවටත් තවත් රැඳවියෙකු අතුරුදහන්ව ඇති බවටත් මධ්‍යස්ථාන බලධාරීන් කරන ප්‍රකාශ සැක සහිත යයි තවත් රැඳවියෙක් ප්‍රකාශ කලේ ය. “මගේ ඔලුවට ගහලා තුවාල සිදු වුනා. බේත් ඉල්ලපුවාම, බේත් ඕන නම් ගෙදර ගිහින් දාගනින්“ යනුවෙන් පැවසූ බව පෙර පහර කෑමට ලක් වූ තවත් අයෙක් කීවේ ය.
බොහෝ අවස්ථාවල කෑමවල පනුවන් සිටින බවටත් කඳවුරට ලැබෙන ආහාර මධ්‍යස්ථානයේ ඇතැම් නිලධාරීන් අපහරනය කරන බවටත් රැඳවියන් චෝදනා කලේ ය. “කෑමට තියෙන්නේ බත් සහ පොල් සම්බෝල විතරයි. මේවා පුනරුත්ථානපන මධ්‍යස්ථාන නෙමේ. පුනරුත්ථාපනය වෙන්න නම් මනස නිදහස් වෙන්න ඕන කොල්ලන්ගේ. හමුදා පුහුනුවල දී දෙන වද අපිට ඉවසන්න බෑ. අපිව හමුදාවට භාර දෙන්න එපා. අපිට පෝලීමේ තියලා වෙඩි තියන්න එක මීට සැපයි“ යනුවෙන් තරුනයන් කෑ ගසන දර්ශන රූපවාහිනි නාලිකවල විකාශය කෙරුනි.
අධ්‍යාපන අවස්ථා අහිමි කිරිම, තරුන විරැකියාව හා දුප්පත්කම හේතුවෙන් පසුගිය දශක කිහිපය පුරා අසාරදර්ශනයට ඇදවැටුනු ලංකාව ද ඇතුලු ලොවපුරා තරුනයන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහල ගොස් තිබේ. බොහෝ විට බන්ධනාගාර තුලින් නිදහස් වූ පසුවත් යලිත් එම මෙම පිරිස් මත්ද්‍රව්‍ය භාවිතයට, සොරකම් හා අපරාධවලට ද යොමු වීමේ දුෂ්ට චක්‍රයක් ක්‍රියාත්මක වෙමින් පැවතීම පෙන්නුම් කරන්නේ සමාජ අර්බූදයේ බරපතලකමයි.
අන්තරායකාර ඖෂධ පාලක ජාතික මධ්‍යස්ථානයේ (අඖපාජාම) සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදරට අනුව 2020 වර්ෂය වන විට ලංකාවේ හෙරෝයින් සහ ගංජාවලට ඇබ්බැහි වූ සංඛ්‍යාව පිලිවෙලින් 93,000 ක් ලක්ෂ 04 ක් පමන වේ. සැබෑ තත්වය මීට වඩා ඉහල අගයක් ගනු ඇති අතරම පසුගිය දෙවසර තුල වර්ධනය වන සමාජ ආර්ථික අර්බූදය මේ තත්වයේ වර්ධනයට විශාල ලෙස බලපා ඇති බවට සැකයක් නැත.
මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවන්නන්ගේ වර්ධනයට සාපේක්ෂව රටතුල පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ඉඩකඩ හා පහසුකම් ප්‍රමානවත් නොවේ. අඖපාජාම මගින් පාලනය වන්නේ මධ්‍යස්ථාන 04 ක් පමනි. ඒ හේතුවෙන් ගොදුරුවූවන්ගෙන් සැලකිය යුතු කොටසක් යොමු කරනු ලබන්නේ අපායවල් බඳු බන්ධනාගාර වෙතටයි.
කන්දකාඩු රැඳවියාගේ ඝාතනය මගින් පෙන්නුම් කරන්නේ වෛද්‍ය ප්‍රතිකාර, පෞරුෂ වර්ධනය, වෘත්තීය හැකියාවන් වර්ධනය ලබා දෙනවා යයි කියන පුනරුත්ථාපන මධ්‍යස්ථානවල තත්වය හා බන්ධනාගාරවල තත්වයෙහි කිසිදු වෙනසක් නො මැති බවයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මේ වන විට රැඳවියන් 1,000 ක් පමන සිටී. 25 අවුරුදු වර්ගවාදී යුද්ධය හේතුවෙන් අතහැර දමන ලද ගොවිපලක කන්දකාඩු මධ්‍යස්ථානය 2008 වසරේ ආරම්භ කර තිබේ. දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) සිට හමුදාවට යටත් වූ යයි නම් කරන පිරිස් එහි පලමුව “පුනරුත්ථාපනය“ සඳහා යොමු කෙරුනි.
සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුව ඝාතනය හෙලා දැක ඇති අතර ඝාතනය සම්බන්ධව මිලිටරියට චෝදනා එල්ල කරයි. ද මෝනින් පුවත්පතට අදහස් දැක් වූ හමුදා ප්‍රකාශක නිලන්ත ප්‍රේමරත්න, පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාංශය අධිකරන අමාත්‍යාංශය යටතේ පවතින බව ප්‍රකාශ කොට මිලිටරියේ සම්බන්ධය අකාමකා දැමීමට උත්සාහ ගත්තේ ය.
නමුත්, 2013 වසරේ අගෝස්තු මාසයේ සිට ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ සහ අධිකරන අමාත්‍යාංශයේ පාලනය යටතේ පවතින පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාලය විසින් මෙය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම අරඹා තිබේ. ඒ තත්වය තුල කන්දකාඩු මධ්‍යස්ථානයේ පාලනය මිලිටරියේ මැදිහත්වීම යටතේ අඛන්ඩව සිදු කෙරෙමින් තිබේ.
මිලිටරිය හා පොලිසිය සිදු කරන මෙවන් කුරිරු ඝාතන කන්දකාඩු මධ්‍යස්ථානයට සීමා වී නැත. ඉන් කිහිපයක් සඳහන් කරතොත්, 2020 වසරේ මහර බන්ධනාගාරයේ සිදු කල වෙඩි තැබීමකින් රැඳවියන් 11 ක් ඝාතනයට ලක්ව තවත් දුසිම් ගනනකට තුවාල සිදු කෙරුනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටිය දී 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුකල තවත් වෙඩි තැබීමකින් රැඳවියන් 27 ක් ඝාතනය කෙරුනි.
අනෙක් අතින්, මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා මහජනයා තුල පවතින දැවෙන උත්සුකය ගසා කමින් “මත්ද්‍රව්‍යවලින් තරුනයන් ගලවා ගැනීම, පාතාලය මැඩලීම“ වැනි පොරොන්දු ලංකාවේ ප්‍රධාන ධනපති පක්ෂ සිය මැතිවරන පොරොන්දු ලැයිස්තුවල පෙරට ගනු ලැබ තිබේ. 2019 ජනාධිපතිවරනයේ දී රාජපක්ෂගේ පාඨය වූයේ “මතින් නිදහස් ජාතියක්, සෞභාග්‍යමත් දේශයක්“ යන්නයි.
යතාර්ථය වී ඇත්තේ ලෝක ධනේශ්වර ක්රමයේ අර්බූදයේ බර පැටවීමේ මගින් මහජනයා පෙර නොවූ විරූ ආහාර ඇතුලු අත්‍යාවශ්‍ය භාන්ඩ මිල ගනන් ඉහල යෑමකට මුහුන දෙමින් සමාජ කාලකන්නිභාවයට ඇද දමා තිබීමයි. ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ප්‍රධාන ධනපති පක්ෂවල ඉහල පෙලේ දේශපාලනඥයන්, පොලිස් හා බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධ බවන දැන් ප්‍රසිද්ධ රහසකි.
ලංකාවේ බස්නාහිර, දකුන, වයඹ හා මධ්‍යම පලාත්වල ප්‍රධාන නගරාශ්‍රිතව මත්ද්‍රව්‍ය භාවිතය ඉහල අගයක් ගෙන තිබේ. ජාත්‍යන්තරව ගතහොත් ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 23 ක් මත්ද්‍රව්‍ය හෝ මත්පැන්වලට ඇබ්බැහි වී සිටන අතර එය එරට සමාජ ව්‍යසනයක් නිර්මානය කර තිබේ. අසල්වැසි ඉන්දියාවේ තත්වය ඊටත් වඩා භයංකර ය. එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව 2021 අවසන් වූ දශකය තුල ලොවපුරා මත්ද්‍රව්‍ය භාවිතය සියයට 11 න් වැඩි වී තිබේ.
කම්කරු පන්තියේ හා තරුනයන්ගේ පන්ති සටන් ඇවිලි යන තත්වයේ දී පොලිස් මිලිටරි රාජ්‍ය සැලසුම් දිගේලි කිරීමටත්, කිසිදු විභාගයකින් තොරව තම දේශපාලන විරුද්ධවාදීන්, විවේචකයන්, කම්කරු සහ ශිෂ්‍ය ක්‍රියාධරයන් ඝාතනය කිරීමට ඉඩකඩ විවෘත කර ගැනීමටත් කඩතුරාවක් ලෙස පාලකයෝ ඊනියා පාතාලය මැඩීම යොදා ගනිමින් තිබේ. අත්අඩංගුවේ පසුවෙද්දී පොලිස් වෙඩි තැබීම් මගින් සිදුවන ඝාතන ලොවපුරා මෙන්ම, ලංකාවේ ද ඉහල යමින් තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ පොලිස් වෙඩි තැබීම් මගින් සෑම වසරකම 1,000 ට අධික පිරිසක් මේ අන්දමින් ඝාතනයට ලක්වේ.
“නීතිමය හා දේශපාලන උපරි ව්‍යුහය” සමාජයේ ආර්ථික ව්‍යුහය තුලින් පැන නගින බව කාල් මාක්ස් 1859 දී ලියා ඇත. වධහිංසා පැමිනවීම්, අත්තනෝමතික ලෙස සිරගත කිරීම්, නීති ක්ෂේත්රය තුල පැතිර යන පොලිස් ම්ලේච්ඡත්වය සහ සෑම සිවිල් වැඩකටයුත්තක් සඳහාම මිලිටරිය යොදා ගැනීමේ රැදුරු මිලිටරිකරනය පවත්නා ධනේශ්වර සමාජ සබඳතාවල කුරිරු හා සූරාකෑමේ ස්වභාවය ප්‍රකාශයට පත් කරයි.
ලෝක අසමානතා දත්ත ගබඩාවේ මෑත වාර්තාවන්ට අනුව, ශ්‍රී ලංකාවේ ධනවත්ම සියයට 10 දිවයිනේ සමස්ත ධනයෙන් සියයට 63.8ක් සතුකරගෙන තිබෙන අතර, පහලම සියයට 50 සතුව ඇත්තේ සියයට 4.3ක් පමනි. මෙම දැවැන්ත සමාජ අසමානතාව සමග ප්රජාතන්ත්රවාදය කිසිසේත් නොපෑහේ. එය සමග පෑහෙනුයේ ම්ලේච්ඡත්වය පමනි.