අද දින පැවැත් වෙන සසප සභාපති විජේ ඩයස්ගේ අවමඟුල් කටයුතු සජීවී ව විකාශය කෙරෙයි

විජේ ඩයස් සහෝදරයාගේ අවමඟුල් කටයුතු (සජීවී වීඩියෝව)

හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (ජාත්‍යන්තර කමිටුව) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සභාපති, කෘතහස්ත ට්‍රොට්ස්කිවාදී නායකයෙකු වූ විජේ ඩයස්ගේ අවමඟුල් කටයුතු අද දින කොලඹ දී සිදු කෙරේ. ඔහු බදාදා උදෑසන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී දරුනු හෘදයාබාධයකින් නැසී ගියේ, ඔහුගේ 81 වැනි උපන්දිනයට හරියට ම මාසයකට පෙරාතුව ය.

මේ වන විට, විජේ ඩයස් සහෝදරයාගේ දේහය අවසන් ගෞරව සඳහා ජයරත්න රෙස්පෙක්ට් හෝම්, 483/485, බෞද්ධාලෝක මාවත, කොලඹ 08 යන ස්ථානයේ තැන්පත් කර ඇත. අද දින දවල් 2.30ට අවමඟුල් පෙරහර යාබද බොරැල්ල කනත්ත බලා නික්මීමට නියමිත වේ. සවස 3ට අවමඟුල් සභාවේ වැඩකටයුතු ආරම්භ වනු ඇත. සවස 5ට ආදාහන කටයුතු සිදු කෙරෙනු ඇත. අවමඟුල් පෙරහරත් අවමඟුල් සභාවේ වැඩකටයුතුත් පක්ෂයේ ෆේස්බුක් පිටුව හරහා සජීවී ව විකාශය කෙරෙනු ඇත.

විජේ ඩයස් (2006)

විජේ සහෝදරයාගේ මරනය ඍජු ව ම සසපටත් සමස්ත ජාත්‍යන්තර කමිටුවටත් ශ්‍රී ලංකාවේ, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියටත් බලගතු අහිමි වීමකි. ශ්‍රී ලංකාවේත් ලෝකය පුරාමත් කම්කරු පන්තියේ අවශ්‍යතාවන් නියෝජනය කරන ජාත්‍යන්තර සමාජවාදයේ ට්‍රොට්ස්කිවාදී මූලධර්ම උදෙසා අඩ සියවසකටත් වැඩි කාලයක් පුරා ඔහු දෘඪතර ව සටන් වැදුනේ ය.

විජේ සසප පූර්වගාමී සංවිධානය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ආරම්භක සාමාජිකයෙකු විය. 1968 ජූනියේ දී විකොස පිහිටුවනු ලැබූයේ 1964 දී ලංකා සම සමාජ පක්ෂය (ලසසප) අගමැති සිරිමා බන්ඩාරනායකගේ ධනේශ්වර ආන්ඩුවට ඇතුලු වෙමින් සිදු කල පාවා දීමට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය උදෙසා අරගලය අතට ගැනීමට ය.

එකල ලසසප සාමාජිකයෙකු ව සිටි විජේ සහෝදරයා මෙම පාවා දීමට විරෝධය පෑ දීප්තිමත් තරුන කන්ඩායමක ඉදිරිපෙල සාමාජිකයෙකු විය. ඔහු ජාත්‍යන්තර කමිටුවේ මඟ පෙන්වීම යටතේ ලසසප පාවා දීමෙන් අවශ්‍ය දේශපාලන නිගමන උකහා ගෙන විකොස ගොඩනැංවීමට ශක්තිමත් දේශපාලන පදනම් දැමුවේ ය.

1987 දෙසැම්බරයේ, විකොස ආරම්භක ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරියගේ අකල් මරනින් පසු එලැඹුනු දුෂ්කර තතු යටතේ විජේ සහෝදරයා ප්‍රධාන ලේකම් තනතුරේ වගකීම තම උර මතට ගත්තේ ය. ඔහු විකොස ප්‍රධාන ලේකම් තනතුර ද, අනතුරු ව, මේ වසරේ මැයිවල පැවැත් වුනු සසප පක්ෂ සම්මේලනය දක්වාම එහි ප්‍රධාන ලේකම් තනතුර ද දැරුවේ ය. එම පක්ෂ සම්මේලනයේ දී ඔහු අලුතින් ස්ථාපිත කෙරුනු පක්ෂ සභාපති තනතුරට තෝරා පත් කර ගනු ලැබුනි.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි කොලඹ ආන්ඩුවේ දිග් ගැස්සුනු යුද්ධයට එරෙහි ව සමස්ත දේශපාලන සංස්ථාපිතය ම භේදකාරී දෙමල විරෝධී ස්වෝත්තමවාදය අවුලුවද්දී, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය, ඒකාබද්ධතාව සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උදෙසා සටන් කරමින් විජේ තම පක්ෂය මෙහෙය වීය.

විජේට තම ජීවිත කාලය තුල දී ම ශ්‍රී ලංකාව තුල නැවතත් විප්ලවවාදී අරගලවල පුනර්ජීවය දැක ගැනීමට හැකි විය. රාජපක්ෂ සහ වික්‍රමසිංහ ආන්ඩුවලටත්, ඔවුන්ගේ කප්පාදු සහ මර්දන න්‍යාය පත්‍රයන්ටත් එරෙහි ව වර්තමානයේ පැන නැගී ඇති කම්කරුවන්ගේ සහ ග්‍රාමීය දුගීන්ගේ මහජන නැගිටීමට විප්ලවවාදී සමාජවාදී මාවතකින් මග පෙන්වීම සඳහා විජේ තම වයස නොතකා ප්‍රධාන භූමිකාවක් ඉටු කලේ ය.

ශ්‍රී ලංකාව තුල දැන් පැන නැගී ඇති පෙර නුවූ විරූ ආර්ථික, දේශපාලනික සහ සමාජීය අර්බුදය තුල දී ඔහු නැති අඩුව තදින් ම දැනෙනු ඇති. කෙසේ නමුත් ඔහුගේ බලගතු දේශපාලන උරුමය, මානව වර්ගයාට සමාජවාදී අනාගතයක් උදා කරලීමට ඔහු ජීවිත කාලය පුරා ගෙන ගිය අරගලය පෙරට ගෙන යන සසප කේඩරය තුලත් ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන වැඩකටයුතු තුලත් ජීවමාන ව පවතී.

ජාත්‍යන්තර කමිටුව විජේ සහෝදරයාට පුද කල තම උපහාරය අවසන් කලේ මෙලෙසයි:

විජේ ඩයස් සහෝදරයා ශ්‍රී ලංකාව තුල ට්‍රොට්ස්කිවාදය සඳහා සටනේ අනුස්මරනීය චරිතයකි. ඔහුගේ ජීවිතය හා උරුමය දැන් සමාජවාදය සඳහා අරගලයේ ඉතිහාසයට පිවිසෙයි. ලෝක සමාජවාදී විප්ලවය වියයුතු සහ කලයුතු මෙම දශකය තුල කම්කරුවන් හා තරුන ජනයා ආවේශ ගැන්වීමට ද, විශේෂයෙන්ම ඔවුන් දේශපාලනික ව දිශාගත කිරීමට ද ඒවා සේවය කරනු ඇත.

අපි බොරැල්ල කන්තතේ දී පැවැත් වෙන විජේ සහෝදරයාගේ අවමඟුල් කටයුතුවලට සහභාගීවන්නැයි කම්කරුවන්ට, තරුනයන්ට, ග්‍රාමීය දුගීන්ට සහ වෘත්තිකයන්ට ආරාධනය කරමු. පැමිනීමට නොහැකි අයට සසප ෆේස්බුක් පිටුවේ සජීවී විකාශය හරහා අවස්ථාවට සම්බන්ධ විය හැකි ය.