වෘත්තීය සමිති රාජ්‍ය මර්දනයට එරෙහි ව ව්‍යාජ උද්ඝෝෂනයක් ගෙන යයි

[මෙය Sri Lankan unions mount phony campaign against state repression මැයෙන් 2022 සැප්තැම්බර් 10 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවට එහි මර්දනීය ක්‍රියා නවත්වන්නැයි පීඩනය යෙදීමට පසු ගිය මාසයේ දී පැවැත් වූ සම්මන්ත්‍රනයකට, වෘත්තීය සමිති හා මහජන සංවිධානය (වෘසමස) විපක්ෂ දේශපාලන පක්ෂවලට සහ එක්සත් රාජධානිය, කැනඩාව හා ඕස්ට්‍රේලියාව ඇතුලු මූලික රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ආරාධනා කලහ.

වෘත්තීය සමිති හා මහජන සංවිධානවල ඒකාබද්ධ රැස්වීම. ඉදිරිපෙල වමේ සිට දෙවනියට සිටින්නේ සජිත් ප්‍රේමදාසයි.

වෘසමස වනාහි, ලංකා ගුරු සංගමය (ලංගුස), ලංකා වානිජ හා පොදු කම්කරු සමිතිය, ලංකා බැංකු සේවක සංගමය මෙන් ම ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුලු වෘත්තීය සමිති දුසිම් තුනක් පමන එකතු ව සාදා ගත් පෙරමුනකි. ධීවරයන්ගේ කන්ඩායමක් හා සමහර රාජ්‍ය නො වන සංවිධාන ද මෙම සන්ධානය තුල සිටිති.

“මර්දනයට එරෙහි මහජන ව්‍යාපාරය” නමින් අගෝස්තු 24 දා පැවැත් වූ සම්මන්ත්‍රනයට ආසන්නත ම හේතුව වූයේ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ (අවිශිබම) කැඳවුම්කාර වසන්ත මුදලිගේ, තවත් අවිශිබම නායකයෙකු වන ගල්වැව සිරිධම්ම හා ශිෂ්‍ය ක්‍රියාධරයෙකු වන හෂාන් ගුනතිලක රඳවා ගැනීම යි. විසකුරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, ඔවුන් තිදෙනාව දින 90ක් රඳවා තැබීමේ නියෝගයකට වික්‍රමසිංහ අගෝස්තු 22දා අත්සන් තැබී ය.

ආන්ඩුවට එරෙහි විරෝධතා “ත්‍රස්තවාදය” ලෙස හංවඩු ගැසීම, රටෙහි ගැඹුරු ආර්ථික හා සමාජ අර්බුදයට එරෙහි ව පසුගිය මාස හතර තුල පුපුරා ගොස් ඇති, මහජන විරෝධතාවන්ට හා වැඩ වර්ජනවලට එරෙහි ව, වික්‍රමසිංහ ආන්ඩුව සිය සියලු පුලුල් බලතල යොදා ගන්නා බවට, කම්කරු පන්තියට කරන තර්ජනයකි. ජීවන තත්ත්වයන්ට වඩා ගැඹුරු ප්‍රහාර අවශ්‍ය කරන හා වඩා පලල් විරුද්ධත්වයක් අවුලුවනු ඇති හදිසි නයක් ලබා ගැනීමට ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සමග දැන් ගනුදෙනුවකට එලැඹී ඇත.

මහජන විරෝධතා ව්‍යාපාරය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා යාමට හා ඉල්ලා අස්වීමට බලකලේ ය. පලා ගිය ඔහු, වැඩ බලන ජනාධිපති ලෙස වික්‍රමසිංහ ස්ථාපනය කලේ, ජාමූඅ කප්පාදු පටවන්නෙකු ලෙස ඔහුට ඇති දීර්ඝ වාර්තාව හඳුනා ගනිමිනි. ගැඹුරින් ම අපකීර්තිමත් වික්‍රමසිංහ, පාර්ලිමේන්තුවේ පැවැත් වූ ඡන්දයක් හරහා, ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලෙස ජනාධිපති ධූරයට පත් කරන ලදී.

වෘසමස සම්මන්ත්‍රනයෙහි ඉලක්කය වූයේ රාජ්‍ය මර්දනයට එරෙහි ව සටන් කරනු වෙනුවට, එවන් විරුද්ධත්වයක් පාර්ලිමේන්තු දේශපාලනයේ උගුල තුලට අපසරනය කිරීමේ අරමුන ඇති ව ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයන්ගේ පිටුබලය ලබන, විපක්ෂයේ ධනපති පක්ෂ සමග සන්ධානයක් වාත්තු කරගැනීම යි. ජාමූඅ කප්පාදු පියවරයන්ට සහයෝගය දෙන සියලු විරුද්ධ පක්ෂ, බලයේ සිටිය හොත්, විරෝධතා හා වැඩ වර්ජන මර්දනය කිරීමේ දී, වික්‍රමසිංහ ආන්ඩුව තරම් ම රුදුරු වනු ඇත.

සම්මන්ත්‍රනයට සහභාගි වූ පක්ෂ අතරට, සමගි ජන බලවේගය (සජබ) හා එහි සගයෝ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමල ප්‍රගතිශීලී සන්ධානය මෙන් ම දෙමජ ජාතික සන්ධානය (දෙජාස) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලත් වූ හ.

විශාලත ම පාර්ලිමේන්තු විපක්ෂය වන සජබ වනාහි වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයෙන් (එජාප) කැඩී ගිය කන්ඩායමකි. වික්‍රමසිංහ සමග මූලික වෙනස්කම් රහිත එහි නායකයෝ, එජාපය විසින් කම්කරු පන්තියට එරෙහි ම්ලේච්ඡ මර්දනය යොදාගැනීමේ දීර්ඝ වාර්තාවේ දේශපාලන වගකීම දරති. රට විනාශයට ලක් කල ම්ලේච්ඡ වාර්ගික යුද්ධය අවුලුවාලූ 1983 දෙමල-විරෝධී සංහාරයන් සඳහා එජාපය ඍජු වගකීම දැරී ය.

1980 ගනන් අගභාගයේ දී, දිවයිනෙහි දකුනු ප්‍රදේශය තුල ගම්බද තරුනයන් මහා පරිමානයෙන් සංහාරයට ලක් කල ලේ වැකි මර්දනය කර ගෙන ගියේ, ජනාධිපති රනසිංහ ප්‍රේමදාසගේ එජාප ආන්ඩුව යි. මිලිටරිය හා එයට අනුබද්ධ ඝාතක කල්ලි තරුනයන් 60,000ක් පමන මරා දැමූ හ. තවත් බොහෝ පිරිසක් සිරගත කොට වද බන්ධනයට ගොදුරු කල හ.

එහෙත්, 2020 තරම් මෑත දී එජාපයෙන් කැඩී ගිය සජබ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගේ කප්පිත්තෙකු ලෙස, වෘසමස හා පෙසප ඉදිරියට දමමින් සිටී.

“රට තුල විශාල මර්දනයක් සිදු වෙමින් පවතිනවා. මෙම මර්දනයට එරෙහි ව ක්‍රියාත්මක වීමට කාලය පැමින තිබෙනවා. තනියෙන් කිසිවෙක්ට මෙම මර්දනය පරාජය කරන්න බැහැ. ඒ නිසා, අපි සියලු දෙනා එකමුතු වී දැඩි ලෙස මෙම ක්‍රියාවන් ඉදිරියට ගෙන යමු” යැයි ලංගුස ප්‍රධාන ලේකම් හා වෘසමස කැඳවුම්කාර ජෝසෆ් ස්ටැලින් සම්මන්ත්‍රනයේ දී කීවේ ය.

එහෙත්, අන් සියල්ලටමත් වඩා, එවන් ධනපති-ගැති සංවිධානයක ඉලක්කය වන්නේ, ධනපති පාලනයට හා ලාභ පද්ධතියට තර්ජනය එල්ල විය හැකි කම්කරුවන්ගේ හා දුගීන්ගේ ස්වාධීන ක්‍රියා වැලැක්වීම යි. එම සන්ධානය යොමු වන්නේ, වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන් පලල් කරද්දී, කම්කරු පන්තිය පක්ෂඝාත කිරීමටයි.

හිටපු ජනාධිපති ප්‍රේමදාස ගේ පුත් සජබ නායක සජිත් ප්‍රේමදාස රැස්වීමේ දී මෙසේ කීවේ ය: “රට ප්‍රපාතයෙන් මුදාගැනීම සඳහා, සියලු පක්ෂවලට එකඟ විය හැකි වැඩපිලිවෙලක් අවශ්‍ය යි.” මර්දනය සඳහා ගෝඨාභය රාජපක්ෂට වරද පටවමින් හා “පොහොසත් බිලියනපතියන්ට දෙන බදු සහන හා අන්ත දක්ෂිනාංශික නව-ලිබරල්වාදී පිලිවෙත්වලට” දොස් පවරමින්, “දක්ෂිනාංශික පිලිවෙත් හා ආන්තික වාමවාදය” ප්‍රතික්ෂේප කොට, “සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී මැද මාවතක්” කරා හැරෙන ලෙස ඔහු කැඳවුම් කලේ ය.

මෙම පච ගෙතීම්වලට හා වැරදි නිරූපනයන්ට සම්මන්ත්‍රනයේ කිසිවෙක් අභියෝග නො කල හ. “සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී මැද මාවත” යනු, ක්‍රියාවට දැමෙමින් පවතින රුදුරු ජාමූඅ න්‍යාය පත්‍රය මිස අනෙකක් නො වේ. සත්‍ය වසයෙන් ම, රාජපක්ෂ එවන් මූලෝපායක් වැලඳ ගැනීමටත් පෙර සජබ ජාමූඅ සමග සාකච්ඡා සඳහා කැඳවුම් කලේ, එමගින් අනිවාර්යයෙන් ම ජනනය කරනු ඇති මහජන විරෝධය පිලිබඳ ව ඉතා හොඳින් දැනුවත් ව සිටිමිනි. මර්දනය ගැන සැලකීමේ දී, සිය පියාගේ ලේවැකි විධි ක්‍රම කිසිදා ප්‍රතික්ෂේප කර නැති සජිත් ප්‍රේමදාස, එවනි මර්දනයන්ට සූදානම් වනු ඇත.

1980 ගනන් අග එජාප මර්දනයේ ක්ෂනික ඉලක්කය වූයේ ජවිපෙ ය. සන්නද්ධ දෙමල කන්ඩායම් නිරායුධ කොට මර්දනය කිරීම සඳහා, දිවයිනෙහි උතුරට ඉන්දියානු හමුදා භටයන් ගෙන ආ 1987 ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි ව, ජවිපෙ ප්‍රතිගාමී ස්වෝත්තමවාදී උද්ඝෝෂනයක් දියත් කර තිබුනි. සිය උද්ඝෝෂනයට විරුද්ධ වූ කම්කරුවන්, වෘත්තීය සමිති නායකයන් හා දේශපාලනඥයන් සිය ගනනක් ජවිපෙ තුවක්කුකරුවෝ මරා දැමූහ. එහෙත්, දීර්ඝ කාලයකට පෙර තම “සන්නද්ධ අරගලය” හා සමාජවාදී පූච්චානම් අවසන් කර ඇති ජවිපෙ, කොලඹ ධනපති දේශපාලන සංස්ථාපිතයේ කොටසක් ලෙසඉ දැන් ක්‍රියාත්මක වේ.

සම්මන්ත්‍රනයේ දී, ජවිපෙ නායක සුනිල් හඳුන්නෙත්ති වික්‍රමසිංහ ආන්ඩුවේ හා එහි මර්දනයේ විරුද්ධවාදියෙකු ලෙස පෙනී සිටි නමුත්, සජබ සමග අතිනත ගෙන වැඩ කරන ඔහු ජාමූඅ කප්පාදු විධානයන්ට සහයෝගය දෙයි. වැඩකරන ජනයා මුහුන දෙන දුෂ්කරතා මහ මැතිවරනයකින් අවසන් වනු ඇතැයි යන පචය ජවිපෙ ද ඉදිරියට දමමින් සිටී. යතාර්ථයේ දී, “යුක්තිසහගත ආන්ඩුවක්” සඳහා ජවිපෙහි පෙනී සිටීමේ අර්ථය වන්නේ, වර්තමාන පාලන තන්ත්‍රය විසින් පටවනු ලබන ම්ලේච්ඡ පියවරයන් වඩා හොඳින් පැටවීමට සුදානම් වීමයි.

මෙම සම්මන්ත්‍රනය, ධනපති-ගැති පක්ෂ හා දේශපාලන චෞරයන් සමග පෙරමුනක් සඳහා උද්‍යෝගීමත් ලෙස සහයෝගය දුන් හා ජවිපෙන් කැඩී ගිය කන්ඩායමක් වන ව්‍යාජ-වාම පෙසපට එරෙහි නිර්දය චෝදනා පත්‍රයකි. පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ උද්දාමයෙන් යුතු ව මෙසේ ප්‍රකාශ කලේ ය: “අපි අපේ බලවේග එක්සත් කරගෙන, සම්මන්ත්‍රන පැවැත්වීමෙන් හා ප්‍රකාශ නිකුත් කිරීමෙන් ඔබ්බට යමු... මෙම මර්දනයට විරුද්ධ සියලු බලවේග පොදු වේදිකාවකට ගෙන ඒම සඳහා අපේ උපරිම සහයෝගය දෙන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රතිඥා දෙනවා.”

කම්කරු පන්තිය හා දුගීන් මෙම ප්‍රකාශ අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු ය. අප්‍රේල් මාසයේ පටන් මිලියන ගනන් කම්කරුවන් හා දුගීන් නිරත වූ විරෝධතා හා වැඩ වර්ජන තුල දී, ජවිපෙ නායකත්වය දෙන වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය සමගින් වෘසමස ද්‍රෝහී භූමිකාවක් ඉටු කලේ ය. විරුද්ධ පක්ෂවල හා පෙසප පිටුබලය ලද ඔවුහු, මහජන ව්‍යාපාරය සීමා කොට පීලි පැන්නවීම සඳහා ඔවුන්ට හැකි සෑම දෙයක් ම කල හ.

අප්‍රේල් 28 හා මැයි 6 පැවති එක් දින මහා වැඩ වර්ජනවලට මිලියන ගනන් කම්කරුවෝ සහභාගි වූ හ. එහෙත් විරුද්ධ පක්ෂ මෙන් ම වෘත්තීය සමිතිවල ද දේශපාලන ඉදිරි දර්ශනය වූයේ, වැඩකරන ජනයා මත ප්‍රහාර වඩා හොඳින් දියත් කිරීම සඳහා අන්තර්වාර සර්ව-පාක්ෂික ආන්ඩුවක් සඳහා කැඳවුම් කිරීම යි.

දේශපාලනික ව හා සංවිධානාත්මක ව වැඩ වර්ජන සීමා කිරීම මගින්, වික්‍රමසිංහ ජනාධිපති ලෙස ස්ථාපනය කරනු ලැබීමට මාවත විවෘත කල වෘත්තීය සමිති, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ල කරන මෙම නව ප්‍රහාරවලට දේශපාලනික ව වගකිව යුතු ය. දැන් වෘත්තීය සමිති හා ව්‍යාජ වම්මු විරුද්ධ පක්ෂ සමග සන්ධානයන් සඳහා උත්සාහ දරමින් සිටින්නේ, කම්කරුවන්ට තවත් දේශපාලන උගුලක් සූදානම් කිරීම පිනිසයි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගේ ආරක්ෂාව ඉදිරියට ගෙන යා හැක්කේ, සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, ගම්බද දුගීන්ගේ සහයෝගය සහිත ව, කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීමෙන් පමනි. මේ සඳහා, වික්‍රමසිංහ ආන්ඩුවටත්, ලාභ පද්ධතිය ආරක්ෂා කරන සියලු ධනපති පක්ෂවලටත් එරෙහි ව, දේශපාලන ප්‍රහාරයක් සංවිධානය කිරීම අවශ්‍ය වේ.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, සියලු හදිසි නීති හා අත්‍යවශ්‍ය සේවා පනත අහෝසි කිරීම සහ සියලු රැඳවියන් වහා ම නිදහස් කිරීම හා ඒකාධිපති විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම කම්කරුවෝ ඉල්ලා සිටිය යුතු ය.

එවන් දේශපාලන සටනක් සිදු වනු ඇත්තේ, කම්කරුවන් තීන්දු ගැනීම තමන්ගේ ම අතට ගන්නේ නම් පමනි. සියලු ධනපති පක්ෂ, වෘත්තීය සමිති හා පෙසප වැනි ඔවුන්ගේ අන්තේවාසිකයන්ගෙන් ස්වාධීන ක්‍රියාකාරී කමිටු සෑම වැඩපොලක ම හා නිවහන් ප්‍රදේශයක ම ගොඩනගන ලෙස, සමාජවාදී සමානතා පක්ෂය (සසප) කැඳවුම් කරයි. ඒ හා සමාන සමාජ අර්බුදයකට මුහුන දෙන ගම්බද පීඩිතයන්ගේ අයිතීන් සඳහා සටන් කිරීමට ගම්බද ප්‍රදේශවල ද ක්‍රියාකාරී කමිටු ගොඩනගනු ලැබිය යුතු ය.

ලංකාවේ කම්කරුවන්ගේ සගයා වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් මත එක හා සමාන ප්‍රහාරයන්ට එරෙහි සටනක නිරත වී සිටින ලොව පුරා කම්කරුවන් හා ලංකාවේ වැඩකරන ජනයා වෙතට ක්‍රියාකාරී කමිටු හැරිය යුතු ය.

වික්‍රමසිංහ පාලන තන්ත්‍රයෙහි මර්දනය හා ජීවන තත්ත්වයන් මත එය එල්ල කරන ප්‍රහාරයේ මූලය ඇත්තේ ධනපති ක්‍රමය තුල යි. එබැවින්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම, සමාජවාදී ක්‍රියා මාර්ගයක් මත පදනම් වන, ධනපති ක්‍රමයට එරෙහි සටන සමග බැඳී තිබේ.

සිය අවශ්‍යතා ආරක්ෂා කරන දේශපාලන ක්‍රියා මාර්ගයක් ඉදිරියට ගැනීමටත්, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා පදනම දැමීමටත්, ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප කැඳවුම් කර ඇත.

මෙම ක්‍රියා මාර්ගය සඳහා සටන් වැදීම පිනිස සසපට බැඳෙන ලෙස, අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.

Loading