ගොවියෝ තමන් මුහුන දෙන ව්‍යසනකාරී තත්ත්වයන් ගැන කතා කරති

[මෙය Sri Lankan farmers speak out over catastrophic conditions මැයෙන් 2022 සැප්තැම්බර් 12 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

රටේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය හා ග්‍රාමීය ජනතාව මත පැටවීමට පවතින ආන්ඩු දරන ප්‍රයත්නයන්ගෙන්, මිලියන ගනනක් ශ්‍රී ලංකාවේ ගොවීහු දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.

2022 සැප්තැම්බර්, යාපනයේ සංඛානෛ, මිරිස් වගාවේ යෙදෙන කාන්තා කම්කරුවෝ

ගොවීන් රසායනික පොහොර, පලිබෝධනාශක, ඉන්ධන සහ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරන සඳහා අමතර කොටස් හිඟයටත්, සියලු කෘෂිකාර්මික යෙදවුම්වල අධික මිල ඉහල යාමටත් මුහුන පා සිටිති. මීට අමතර ව, ඔවුන්ගේ නිෂ්පාදන සඳහා නිසි සහතික මිල ක්‍රමයක් නොමැති අතර, වර්ධනය වන නයගැතිභාවය සහ නය සඳහා ඉහල පොලී අනුපාත ද පවතී.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය කාබනිකකරනය කිරීමේ මුවාවෙන් රසායනික පොහොර, පලිබෝධනාශක සහ වල්නාශක තහනම් කරමින් ආනයන වියදම් අඩු කිරීමට හිටපු රාජපක්ෂ ආන්ඩුව හදිසියේ ගත් තීරනයට එරෙහි ව ගොවියෝ වසරකට වැඩි කාලයක් තිස්සේ විරෝධතා පවත්වමින් සිටිති.

අප්‍රේල් මාසයේ දී ගොවීන් රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව ඉල්ලා අස්වන ලෙස බල කරමින් රට පුරා කම්කරුවන්ගේ හා අනෙකුත් පීඩිත ස්ථරයන්ගේ මහජන විරෝධතා හා පෙලපාලිවලට සම්බන්ධ විය. මෙම අරගල ගෝඨාභය රාජපක්ෂට රටින් පලා යාමටත් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමටත් බලකරද්දී, ව්‍යාජ-වාම කන්ඩායම්වල පිටුබලය ඇති වෘත්තීය සමිති විසින් මහජන ව්‍යාපාරය පාවා දෙන ලදී.

රාජපක්ෂ ප්‍රතිස්ථාපනය කල වික්‍රමසිංහ ආන්ඩුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් නිර්දය ලෙස ක්‍රියාත්මක කරමින් කම්කරුවන්ගේ, ගොවීන්ගේ සහ ගම්බද දුගීන්ගේ දුක්ඛිත තත්වය තවත් නරක අතට හැරවී ය.

ක්‍රියාකාරී කමිටු පිහිටුවීම සඳහා සහ ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා පක්ෂයේ අරගලයේ කොටසක් ලෙස, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයින් මෑත සතිවල දී දිවයිනේ උතුරු පෙදෙස්වල ගොවීන් අතර උද්ඝෝෂනය කරමින් සිටියහ.

යාපනය නගරයේ සිට කිලෝමීටර් 14 ක් පමන දුරින් පිහිටි සංඛානෛ විශාල ගොවිතැන් කරන ප්‍රදේශයකි. සමහර විශාල ගොවිපලවල් තිබුන ද, බොහෝ ගොවියෝ සාමාන්‍යයෙන් අක්කර භාගයක් හෝ අක්කරයක් අතර වන කුඩා ඉඩම් කැබලි වගා කරති.

මහ කන්නයේ (සැප්තැම්බර් සිට මාර්තු දක්වා ඊසානදිග මෝසම් කාලය) ඔවුන් වී වගා කරන අතර අනෙකුත් කන්නවලදී අමු මිරිස්, බටු හෝ අර්තාපල් වැනි එලවලු වගා කරති. ලිං වලින් ජලය ලබා ගන්නා සීමිත වාරිමාර්ග කිහිපයක් තිබුනද, බොහෝ විට රඳා පවතිනුයේ මෝසම් වර්ෂාපතනය මත ය.

රට පුරා සිටින අනෙකුත් ගොවීන් මෙන් ම, ආන්ඩුව විසින් පනවා ඇති අත්‍යාවශ්‍ය යෙදවුම්වල හිඟය සහ මිල අධික ලෙස වැඩි වීම හේතුවෙන් ඔවුන්ගේ අස්වැන්න විශාල ලෙස අඩු වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ දෛනික කම්කරුවන්ට රැකියා අහිමි වී ඇති අතර ගව පාලනයේ යෙදෙන ගොවියෝ තම ගවයන්ට ආහාර ලබාදීමට වෙහෙසෙති. ඉන්ධන හිඟය නිසා ගොවීන්ට තම නිෂ්පාදන අසල ඇති සංඛානෛ වෙලඳපොලට සහ අනෙකුත් ප්‍රදේශ වෙත ප්‍රවාහනය කිරීම සඳහා බයිසිකල් භාවිතා කිරීමට බල කෙරී ඇත. ගොවීන්, නිෂ්පාදන සඳහා මිල නියම කරන අතරමැදියන්ගේ අත යටට වැඩි වැඩියෙන් ඇද වැටේ.

පී. ආනන්දන් නමැති ගොවියා මෙසේ පැවසීය: “මම ගොවිතැන මතයි යැපෙන්නේ. මම මහ කන්නයේ කුඹුරු වගාවට මගේ කුඹුර යොදා ගන්නා අතර අනෙක් කාලවලදී අමු මිරිස්, බටු, කුරක්කන් වගා කරනවා. පොහොර තහනම නිසා මගේ අස්වැන්න හොඳටම අඩු වුනා.

2022 සැප්තැම්බර් වල, පී. ආනන්දන් යාපනයේ සංඛානෛහි ඔහුගේ මිරිස් වගාවේ වැඩ කරමින්

“ආන්ඩුව අපට කාබනික පොහොර භාවිත කරන්න කියලා බල කලත් ඒවා ලබා දුන්නේ නැහැ. කාබනික පොහොරවලට එක පාරට ම මාරු වීම විශාල ගැටලුවක් වුනා. ආන්ඩුව පසු ව පොහොර ආනයනය තහනම ඉවත් කලද, ගොවීන් තවමත් හිඟයට සහ අධික මිලට මුහුන දී සිටිනවා” යැයි ඔහු පැහැදිලි කලේ ය.

“අපේ අස්වැන්න පලිබෝධකයන්ටත් වල් පැලෑටි වලටත් ගොදුරු වෙන්න පුලුවන්. අපට නිසි වල්නාශක අවශ්‍යයි,” යැයි ඔහු පැවසී ය. “භූමිතෙල් නොමැතිකම නිසා රුපියල් 75,000 කට වඩා වැඩි මිලකට පෙට්‍රල් හෝ ඩීසල් ඉන්ධන වශයෙන් යොදා ගන්නා වතුර පොම්ප මිල දී ගැනීමට අපට සිදු වී ඇත.”

මීට පෙර භූමිතෙල් ලීටරයක මිල රුපියල් 87 ක් විය. ආන්ඩුව මෙය රුපියල් 340 දක්වා සියයට 290 කින් ඉහල නැංවී ය. ඉන් ගොවීන්ට, ධීවරයින්ට සහ වතු කම්කරුවන්ට පහර වැදී තිබේ. කලු කඩේ භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 1000 ක් ගෙවූ බව කී ආනන්දන්, වගාවට භාවිත කරන යන්ත්‍ර කුලියට ගැනීමේ මිල ද ඉහල ගොස් ඇති බව පැවසී ය.

දෛනික වැටුප් ලබන ගොවිපල කම්කරුවෙක් ඔහුගේ නරක අතට හැරෙන තත්වය ගැන සසප සාමාජිකයින්ට පැවසී ය. “අස්වැන්න අඩු නිසා අපේ වැඩ කරන දින අඩුවෙලා. ඉඩම් හිමියන් දැන් අපට කතා කරන්නේ සතියකට දින එකක් හෝ දෙකක් පමනයි. අපගේ පවුල් දරිද්‍රතාවයට වැටිලා, අපට අනියම් රැකියා කිරීමට උත්සාහ කිරීමට බල කෙරී තිබේ,” යැයි ඔහු පැවසී ය.

“අපි අපේ අවශ්‍යතා සපුරා ලොකු අරගලයක් කරන්න වෙලා තියෙනවා. සෑම දිනක ම මිල ඉහල යනවා. අපි දුප්පත් මිනිස්සු. අපට විශාල නය තිබෙනවා. භාගෙට හදපු නිවාසවල අපි ජීවත් වෙන්නේ. අපේ දරුවන් බඩගින්නේ සිටින අතර විදුලිය විසන්ධි කිරීම නිසා ඔවුන්ට රාත්‍රියේ අධ්‍යාපන කටයුතු කරන්න බෑ” යැයි ඔහු පැවසී ය.

සාකච්ඡාව අතරතුර තවත් අයෙක් මෙසේ පැවසී ය: “අපිට සිංහල මිනිස්සු වගේ අරගල කරන්න බැහැ අපිට ආරක්ෂාව නැති නිසා. 30 වසරක යුද්ධය [බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ශ්‍රී ලංකා ආන්ඩුවේ වාර්ගික යුද්ධය] තුල අපි අතිවිශාල ගැටලු සහ දුෂ්කරතා වලට මුහුන දුන්නා.”

“අපි අපේ සමාජ අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට පටන් ගත්තොත්, ඔවුන් [පොලිසිය සහ හමුදාව] අපව අත්අඩංගුවට ගන්නවා හෝ වෙඩි තබා මරා දමනවා ඇත. අපිට හරි නායකත්වයක් නැහැ. දෙමල ජාතික සන්ධානය [ටීඑන්ඒ] උනන්දු වන්නේ මැතිවරන කාලවල දී අපේ ඡන්දය ලබා ගැනීමට පමනයි. ඊට පස්සේ අපි ලඟට එන්නේ නැහැ” යැයි ඔහු පැවසී ය.

සසප උද්ඝෝෂකයෝ උතුරු නැගෙනහිරින් මිලිටරිය ඉවත් කර ගැනීම ද ඇතුලුව, ආන්ඩුවේ සියලු ආකාරයේ මර්දනයන්ට එරෙහි ව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාව පුරා කම්කරු පන්තිය සමග ඒකාබද්ධ දේශපාලන අරගලයක අවශ්‍යතාවය පැහැදිලි කලහ.

“පසුගිය කාලයේ කම්කරු අරගලවලදී මේ එකමුතුකම ප්‍රදර්ශනය වුනා. උතුරේ සහ රටේ සෙසු ප්‍රදේශවල කම්කරුවන් වාර්ගික භේදයන් කපාගෙන තම සහයෝගීතාවය පෙන්වමින් එකට වැඩ වර්ජනය කලා. කෙසේ වෙතත්, ටීඑන්ඒ ඇතුලු දෙමල පක්ෂ කියා සිටියේ අරගලය සිංහල ජනතාවගේ කටයුත්තක් බවත් දෙමල ජනතාව ඊට එක් නොවිය යුතු බවත්‍. දෙමල ධනපතියෝ ද ඔවුන්ගේ සිංහල සගයන් මෙන් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ඒකාබද්ධ අරගලයකට බිය වෙනවා, එබැවින් කම්කරුවන් බෙදීමට වර්ගවාදය භාවිතා කරනවා.”

ගොවීන් ප්‍රතිචාර දැක්වූයේ, නිවැරදි නායකත්වයක් ඇත්නම් මෙම ක්‍රියාමාර්ගයට සහාය දීමට තමන් සූදානම් බවත්, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවන සසප ප්‍රකාශය අධ්‍යයනය කර වැඩිදුර සාකච්ඡාවක් පැවැත්වීමට එකඟ බවත් ප්‍රකාශ කරමිනි.

ගොවියෝ තම යල කන්නයේ (මැයි සිට අගෝස්තු අවසානය දක්වා) අස්වැන්නට අදාල කටයුතු සඳහා ඩීසල් ඉල්ලා අගෝස්තු 22 දින කිලිනොච්චියේ දී උද්ඝෝෂනයක් පැවැත් වූහ. තම අස්වැන්න නෙලා ගැනීමට නොහැකි වුව හොත් ලබන කන්නයේ වගා කිරීමට නොහැකි වන බවට අනතුරු අඟවමින් ඔවුහු පලාත් පාලන පරිපාලන නිලධාරි ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලිපියක් ඉදිරිපත් කලහ. යාපනයේ සිට කිලෝමීටර් 70 ක් දකුනින් පිහිටි කිලිනොච්චිය උතුරේ ප්‍රධාන ගොවිතැන් ප්‍රදේශයයි. මෙම උද්ඝෝෂනය ගොවි ප්‍රජාවන් තුල පැතිරුනු කෝපය සහ කලකිරීම පිලිබඳ කුඩා ඇඟවීමක් පමනි.

කිලිනොච්චියේ මුරසුමොට්ටෛ හි ගොවියකු වන එස්. ජෙයකුමාර් මෙසේ පැහැදිලි කලේ ය: “අපි මුහුන දෙන ප්‍රධානත ම ප්‍රශ්නය වන්නේ ඉන්ධන සහ පොහොරයි. එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ වගාවේ පරිමානය අඩු කිරීමට සිදුවෙලයි තියෙන්නේ. ඉදිරි කන්නයේ දී වගාව නවතා දැමීමට සිදුවනු ඇති. රසායනික පොහොර හිඟය නිසා අපේ අස්වැන්න අක්කර 15 කට ගෝනි 150 සිට 40 හෝ 50 දක්වා අඩු වී තිබෙනවා.

“මගේ කුඹුරට ඉරනයිමඩු ඇලෙන් ජලය ලබා නොදුන් නිසා මට අපජලය යොදා ගැනීමට සිදු වුනා. ඒ වතුර ගේන්න වතුර පොම්පයක් අවශ්‍යයි, නමුත් භූමිතෙල් නොමැතිකම නිසා කුඹුරට වතුර හරියට ගන්න බැහැ.”

ජෙයකුමාර් නය මගින් සහ බැංකු උකසක් තබා වගාවට අවශ්‍ය දේ මිල දී ගැනීමට රුපියල් 150,000 ක මුදලක් සොයාගෙන තිබේ. “මේ නය පියවීමට මට ප්‍රමානවත් මුදලක් උපයා ගත හැකිදැයි මම දන්නේ නැහැ. වර්තමානයේ අපි අස්වැන්න නෙලීමට සූදානම් වන නමුත් ඩීසල් නොමැතිකම නිසා අපේ නිෂ්පාදන මිල දී ගැනීමට දකුනේ සිට වෙලෙඳුන් එන්නේ නැහැ. අපේ දුක්ඛිත තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ප්‍රාදේශීය අතරමැදියන් අපේ නිෂ්පාදන ඉතා අඩු මිලට මිලදී ගන්නවා.”

ගොවීන් සහ ග්‍රාමීය ජනතාව මුහුන දෙන විසම තත්වයන් ශ්‍රී ලංකාවේ ධනවාදයට එරෙහි අරගලයකින් පිටත විසඳිය නොහැක.

පොහොර, පලිබෝධනාශක, ඉන්ධන, තම භෝග සඳහා සහතික මිලක් සමග සියලු නය අවලංගු කිරීම ඇතුලු ව තම භූමිය වගා කිරීමට අවශ්‍ය සියලු ම අවශ්‍යතා ගොවීන්ට ලබා දිය යුතු ය. කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ බැංකු, විශාල වතු සහ ප්‍රධාන සමාගම් ජනසතු කිරීම සහ විදේශ නය ප්‍රතික්ෂේප කිරීම හරහා අවශ්‍යතා සැපයිය හැකි ය. සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන පුලුල් අරගලයේ කොටසක් ලෙස මෙම ඉල්ලීම් සඳහා සටන් කිරීමට කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය වේ.

Loading