ඉදිරිදර්ශන

ලියොන් ට්‍රොට්ස්කි සහ 20 වන සහ 21 වන සියවස් තුල විප්ලවවාදී මූලෝපාය

[මෙය Leon Trotsky and revolutionary strategy in the 20th and 21st centuries යන මැයෙන් 2022 ඔක්තෝබර් 21 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

හරියටම වසර 100 කට පෙර, 1922 ඔක්තෝබර් 20 වන දින ලියොන් ට්‍රොට්ස්කි, රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ මොස්කව් සංවිධානයේ සාමාජිකත්වය ඉදිරියේ ඔහුගේ විශිෂ්ටතම දේශපාලන දේශනයක් පැවැත්වූයේය. එය ඉදිරිපත් කරන ලද්දේ, සති දෙකකට පසුව 1922 නොවැම්බර් 5 වැනි දින විවෘත වීමට නියමිතව තිබූ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ සිව්වන සම්මේලනයේ ආරම්භය අපේක්ෂාවෙනි.

බොල්ෂෙවික් පක්ෂය විසින් නායකත්වය දුන් කම්කරු පන්තිය විසින් බලය අත්පත් කරගෙන කම්කරු සභා (සෝවියට්) වෙත බලය පවරා ඉතිහාසයේ පලමු කම්කරු රාජ්‍යය නිර්මානය කල 1917 ඔක්තෝබර් විප්ලවයේ පස්වන සංවත්සරය සමග සම්මේලනය සමපාත විය. බොල්ෂෙවික් ජයග්‍රහනය කොමියුනිස්ට් (තුන්වන) ජාත්‍යන්තරය නිර්මානය කිරීම සඳහා ඉමහත් ආවේෂයක් සැපයූ අතර, එය 1919 මාර්තු මාසයේදී එහි ප්‍රථම සම්මේලනය පැවැත්වී ය. ඒ වන විට බොල්ෂෙවික් පාලන තන්ත්‍රය වටලනු ලැබ තිබූ අතර විප්ලවයේ ගෙල සිර කිරීම සඳහා වූ ලෝක අධිරාජ්‍යවාදයේ පිටුබලය ලැබූ ප්‍රතිවිප්ලවවාදී හමුදාවන්ට එරෙහිව සටන් කරමින් සිටියේය. එහෙත් 1922 වන විට, රතු හමුදා ව, එහි ප්‍රධාන අන දෙන්නා වූ ලියොන් ට්‍රොට්ස්කි ගේ නායකත්වයෙන් සටන් කර ප්‍රතිවිප්ලවවාදී බලවේග පරාජය කලේය. ලියොන් ට්‍රොට්ස්කි සෝවියට් සංගමය තුල දැරූ දේශපාලන අධිකාරිය සහ කීර්තිය ඉක්මවා ගියේ ලෙනින් විසින් පමනි.

ලියොන් ට්‍රොට්ස්කි [ඡායාරූපය: ලෝසවෙඅ]

කම්කරු රාජ්‍යය නොනැසී පැවතුන නමුත් බොල්ෂෙවික් තන්ත‍්‍රය, ඔක්තෝබර් විප්ලවයට පෙර පැවති තුන් අවුරුදු ලෝක යුද්ධයේ ආර්ථික විනාශයට සහ තවත් වසර තුනක සිවිල් යුද්ධයේ ප්‍රතිවිපාකවලට මුහුන දුනි. එපමනක් නොව, සෝවියට් පාලන තන්ත‍්‍රය ස්ථාපිත වී තිබුනේ ප‍්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය වැනි දියුනු ධනේශ්වර රටක නොව ආර්ථික හා සංස්කෘතික වශයෙන් පසුගාමී රටක්වූ රුසියාවේ ය.

පසුගාමී රටක කම්කරු පන්තිය බලයට පැමිනීමේ හැකියාව ට්‍රොට්ස්කි විසින් 1917 ඔක්තෝබර් විප්ලවයට දශකයකට වඩා පෙර නොනවතින විප්ලවයේ න්‍යාය විස්තාරනය කරමින් පුරෝකථනය කර තිබුනි. එහෙත් ට්‍රොට්ස්කි හෝ ලෙනින් සහ බොල්ෂෙවික් පක්ෂය, ආර්ථික හා සමාජීය වශයෙන් පසුගාමී රාජ්‍යයක තබා තනි ජාතික රාජ්‍යයක සීමාවන් තුල පවා සමාජවාදය ගොඩනැගිය හැකි යැයි විශ්වාස කර තිබුනේ නැත.

රුසියාවේ ධනවාදය පෙරලා දැමීම සංවිධානය කරන විට පවා, ලෙනින් සහ ට්‍රොට්ස්කි අවධාරනය කලේ, රුසියාවේ සමාජවාදී විප්ලවයේ ඉරනම, දියුනු ධනේශ්වර රටවල් එකක හෝ කිහිපයක කම්කරු පන්තිය විසින් බලය අත්පත් කර ගැනීම මත රඳා පවතින බවයි. බොල්ෂෙවිකයන්ගේ දේශපාලන ගනන් බැලීම් තුල ලෝක සමාජවාදී විප්ලවයේ මුඛ්‍ය ක්‍රියාකලාපය මනෝරාජික දවල් සිහිනයන්හි ප්‍රකාශනයක් නොවීය. ලෝක පද්ධතියක් ලෙස ධනවාදයේ ප්‍රතිවිරෝධතා තුලින් මතු වූ 1914-1918 ලෝක යුද්ධය, ආර්ථික අර්බුදය හා සමාජ ගැටුම් වේගවත්ව තීව්‍ර කර බටහිර හා මධ්‍යම යුරෝපය පුරා හමා ගිය සටන්කාමී හා විවෘත විප්ලවවාදී කම්කරු පන්ති අරගලවල දැවැන්ත රැල්ලක් ජනනය කලේ ය.

එහෙත් ජර්මනිය, ඉතාලිය සහ අනෙකුත් රටවල පාලක පන්තීන්, විප්ලවවාදී රැල්ලට එරෙහිව දරුනු ලෙස පෙරලා සටන් කලේ ‌ය; සෝවියට් සංගමය හුදකලා කම්කරු රාජ්‍යයක් ලෙස පැවතුනි. මෙම හුදකලාවීම නිසා, සෝවියට් ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ධනේශ්වර කටයුතුවල සීමිත පුනර්ජීවනයක් පිලිගැනීම් වශයෙන්, සෝවියට් සංගමය තුල නව ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට බොල්ෂෙවික් පාලනයට බල කෙරුනි.

1921 කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ තුන්වන සම්මේලනයේ ට්‍රොට්ස්කි

1921 දී කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ තුන්වන සම්මේලනය තුල රුසියානු නියෝජිත කන්ඩායම - එ තුල ලෙනින් සහ ට්‍රොට්ස්කි ප්‍රමුඛ භූමිකාවන් ඉටු කරමින් - අලුතින් ආරම්භ කරන ලද යුරෝපීය කොමියුනිස්ට් පක්ෂ කම්කරු පන්තිය තුල තම අධිකාරය ස්ථාපිත කිරීමේ දිග්ගැස්සුනු අරගලයක් දෙසට යලි හරවා ගැනීමට සටන් කලහ. මෙම යලි දිශානති කර ගැනීමේ සහ දේශපාලන අධ්‍යාපනයේ ක්‍රියාවලිය සිව්වන සම්මේලනයේදී ද දිගටම ගෙන යා යුතුව තිබුනි.

ඔක්තෝබර් 20දා ට්‍රොට්ස්කිගේ කතාව, නව කොමියුනිස්ට් ජාත්‍යන්තරය මුහුන දුන් අභියෝග පිලිබඳ අත්‍යසාමාන්‍ය විශ්ලේෂනයකි. මෙම දේශනයේදී පොරබදන ලද බොහෝ ප්‍රශ්න, හතරවන සම්මේලනයට සති තුනකට මඳකට පෙර ට්‍රොට්ස්කි විසින් ඉදිරිපත් කරන ලද පැය තුනේ දැවැන්ත වාර්තාව තුල තවදුරටත් වර්ධනය කෙරුනි. 1922 නොවැම්බර් 14 වැනි දින දීම, ට්‍රොට්ස්කි, පලමුව ජර්මන් භාෂාවෙන් ද පසුව ප්‍රංශ භාෂාවෙන් සහ අවසානයේ රුසියානු භාෂාවෙන් ද පැය නවයක් කතා කරමින් සිය වාර්තාව ඉදිරිපත් කලේ ය.

ට්‍රොට්ස්කි ලෝක අධිරාජ්‍යවාදයේ දියුනු මධ්‍යස්ථාන තුල දීට වඩා පසුගාමී රුසියාව තුල සිය ප්‍රථම මහා ජයග්‍රහනය අත්කර ගෙන තිබුනු ලෝක සමාජවාදී විප්ලවයේ පරස්පර විරෝධී වර්ධනය පරීක්ෂාවට ලක් කලේය.

එක්සත් ජනපදය වැනි දියුනු රටකට සාපේක්ෂව රුසියාවේ විප්ලවවාදී ක්‍රියාවලියේ මූලික වෙනසක් ඔහු සඳහන් කලේ ය. රුසියාවේ දී විශාල ප්‍රශ්නය වූයේ බලය අල්ලා ගැනීම නොව ධනේශ්වර රාජ්‍යය පෙරලා දැමීමෙන් පසුව එය පවත්වා ගැනීමයි.

දියුනු රටවල බලය අල්ලා ගැනීම වඩා දුෂ්කර වනු ඇත, මන්ද යත් “ධනේශ්වරය වඩා හොඳින් සංවිධානය වී ඇති අතර වඩා අත්දැකීම් සහිතවීම නිසාත්, එහිදී සුලු ධනේශ්වරය මහා ධනේශ්වරයේ පාසලෙන් පරිචය ලබා ඇති නිසාත්, එහි ප්‍රතිඵලයක් ලෙස වඩා බලවත් ව හා අත්දැකීම් ලබා සිටින නිසාත් ය. ...”

රුසියානු පාලක පන්තිය පෙරලා දැමීම දැකීමෙන් භීතියට පත්ව සිටි දියුනු රටවල ධනේශ්වරය, විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරය විනාශ කිරීම සඳහා “ප්‍රතිවිප්ලවවාදී කල්ලි” සන්නද්ධ කරමින් සිටින බවට ට්‍රොට්ස්කි පෙරදැකුමෙන් යුතුව අනතුරු ඇඟවූයේය.

ඉතාලියේ මුසෝලිනිගේ නැඟීමේ අර්ථභාරය පැහැදිලි කරමින් ට්‍රොට්ස්කි, ෆැසිස්ට්වාදය විස්තර කලේ, “දැවැන්ත වැඩ වර්ජන රට පුරා පැතිර ගිය 1920 සැප්තැම්බර් දිනවල තමන් අත්විඳින ලද භීතියට එරෙහිව ධනේශ්වරය විසින් සිදු කරන ලද පලිගැනීමක් සහ ප්‍රතිප්‍රහාරයක්” ලෙසය.

එහෙත් විප්ලවවාදී ව්‍යාපාරය අසාර්ථක වී ෆැසිස්ට්වාදයේ නැගීමට තුඩු දුන්නේ කුමක් ද? එහිලා “අඩුව ලෙස තිබුනේ කුමක් ද?” යන ප්‍රශ්නයට පිලිතුරු දෙමින්. ට්‍රොට්ස්කි මෙසේ පැවසී ය: “අඩුව තිබුනේ දේශපාලන ප්‍රස්තුතයයි, ආත්මීය ප්‍රස්තුතයයි, එනම්, නිර්ධන පංතිය විසින් තත්වය ඥානනය කර ගනු ලැබීම පිලිබඳ ප්‍රශ්නයයි.

“අඩුව ලෙස පැවතුනේ, නැගිටීම, පෙරලා දැමීම, බලය අල්ලා ගැනීම යනාදිය ඍජුව සංවිධානමය හා තාක්ෂණිකව සූදානම් කිරීම සඳහා ම තත්වය උපයෝගී කරගැනීමට සමත් සංවිධානයක් නිර්ධන පංතියේ ශීර්ෂයෙහි පිහිටා නොතිබීමයි. අඩුව ලෙස තිබුනේ මෙයයි.”

මහා සමාජ-ආර්ථික හා ඓතිහාසික ක්‍රියාවලීන්ගේ නොවැලැක්විය හැකි සහ මුලුමනින්ම පුරෝකථනය කල හැකි ප්‍රතිඵල අවධාරනය කල යාන්ත්‍රික රූපිකවදාය ට්‍රොට්ස්කි ප්‍රතික්ෂේප කලේය. “ඓතිහාසික බලවේගවල අපෝහකය” තුල, මාක්ස්වාදී පක්ෂය විසින් ආනුභාවය පතුරුවාගනු ලැබූ සහ නායකත්වය දෙන ලද කම්කරු පන්තියේ ක්‍රියාකාරිත්වය තීරනාත්මක ය.

ලෙනින් (වමේ) සහ ට්‍රොට්ස්කි

කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ (කොමින්ටර්න් ලෙසද ප්‍රසිද්ධය) සිව්වන සම්මේලනය ලෙනින් සහභාගී වූ අවසන් අවස්ථාව වූයේය. ඔහු ඒ වන විටත් ඔහුගේ දේශපාලන කටයුතු අවසන් කිරීමට හේතුකාරක වූ ආඝාත මාලාවක පලමුවැන්නට ගොදුරු ව සිටියේ ය. මාසයකට පසුව 1922 දෙසැම්බරයේ දී, 1923 ඔක්තෝබර් මාසයේදී වාම විපක්ෂය පිහිටුවීමට තුඩු දුන් දේශපාලන ගැටුම් රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය තුල මතුවීමට පටන් ගත්තේය. ස්ටැලින්ගේ නැඟීම මගින් සංකේතවත්වූ නිලධරීකරනයේ සහ දේශපාලන ප්‍රතිගාමිත්වයේ ක්‍රියාවලිය, නොනවතින විප්ලවයේ මූලෝපාය සහ ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය ප්‍රතික්ෂේප කිරීමටත් “තනි රටක සමාජවාදය” යන මාක්ස්වාද විරෝධී ජාතිකවාදී වැඩපිලිවෙල පිලිගැනීමටත් තුඩු දුන්නේ ය.

මෙම ජාතිකවාදය විසින් සමාජවාදී ජාත්‍යන්තරවාදය පෙරලා දමනු ලැබීම, කොමියුනිස්ට් ජාත්‍යන්තරයට, ජාත්‍යන්තර කම්කරු පන්තියට සහ සෝවියට් සංගමයටම විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දුන්නේය. 1991 දෙසැම්බරයේ සෝවියට් සංගමය විසුරුවා හැරීම, ස්ටැලින්වාදයේ ප්‍රතිවිප්ලවවාදී සාරාර්ථය මෙන්ම සමාජවාදය කරා ජාතිකවාදී මාවතක් පිලිබඳව සහ ඊට සම්බන්ධ සියලු සංකල්පවල ව්‍යසනකාරී සනාථවීම විය.

ට්‍රොට්ස්කි 20 වැනි සියවසේ විප්ලවවාදී සමාජවාදයේ ඉතිහාසයෙහි උත්තුංග පුරුෂයා වේ. 1922 ඔක්තෝබර් 20 වැනිදා කල කතාව ඔහුගේ දේශපාලන චින්තනයේ කැපී පෙනෙන අදාලත්වය පෙන්නුම් කරයි. සියවසකට පෙර කරන ලද මෙම කථාව වියපත් වී නැත. මේ සඳහා පාරිභාෂික ශබ්ද කෝෂයක් පරිශීලනය කිරීම පවා අවශ්‍ය නොකරයි. ට්‍රොට්ස්කි පොරබදන්නේ සම්පූර්නයෙන්ම නූතන අර්ථයෙන් තේරුම් ගත හැකි ආර්ථික, දේශපාලන හා සමාජීය ප්‍රශ්න සමඟ ය. විප්ලවවාදී නායකත්වයේ සාරභුත අර්ථභාරය, ලෝක ධනේශ්වර අර්බුදයේ ගතිකය, ෆැසිස්ට්වාදයේ දේශපාලන අර්ථභාරය සහ ධනවාදයේ සිට සමාජවාදය දක්වා විප්ලවවාදී සංක්‍රමනය තුල වෛෂයික හා ආත්මීය සාධකවල සම්බන්ධතාව යන සියල්ල ට්‍රොට්ස්කිගේ වාර්තාව තුල සාකච්ඡා කෙරේ.

ට්‍රොට්ස්කි 20 වැනි සියවසේ විප්ලවවාදී සමාජවාදයේ ඉතිහාසයේ දැවැන්ත චරිතය ලෙස පවතී. 1922 ඔක්‌තෝබර් 20 වැනිදා කල කතාව ඔහුගේ දේශපාලන චින්තනයේ කැපී පෙනෙන අදාලත්වය පෙන්නුම් කරයි. සියවසකට පෙර කරන ලද මෙම කථාව වයසට ගොස් ඇත්තේ යාන්තමි නි. මේ සඳහා පාරිභාෂික ශබ්ද කෝෂයක් පරිශීලනය කිරීම පවා අවශ්‍ය නොකරයි. ට්‍රොට්ස්කි කටයුතු කරන්නේ සම්පූර්නයෙන්ම නූතන අර්ථයෙන් තේරුම් ගත හැකි ආර්ථික, දේශපාලන හා සමාජීය ප්‍රශ්න සමඟ ය. විප්ලවවාදී නායකත්වයේ අත්‍යාවශ්‍ය වැදගත්කම, ලෝක ධනේශ්වර අර්බුදයේ ගතිකය, ෆැසිස්ට්වාදයේ දේශපාලන වැදගත්කම සහ ධනවාදයේ සිට සමාජවාදය දක්වා විප්ලවවාදී සංක්‍රමනය තුල වෛෂයික හා ආත්මීය සාධකවල සම්බන්ධය යන සියල්ල ට්‍රොට්ස්කිගේ වාර්තාවේ සාකච්ඡා කෙරේ.

තවද, කැපී පෙනෙන අහඹු සිදුවීමක් ලෙස පෙන්නුම් කල හැකි පරිදි ට්‍රොට්ස්කි, 1922 ඔක්තෝබර් 19 වන දින, ලිස් ට්‍රස් අවාසනාවන්ත ලෙස අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉවත්වීම හරියටම සියවසකට පෙර, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් ලොයිඩ් ජෝර්ජ්ගේ හදිසියේ බලයෙන් ඉවත්වීමේ ඇඟවුම් කෙරෙහි පවා අවධානය යොමු කරයි. ඇත්ත වශයෙන්ම, ලොයිඩ් ජෝර්ජ්ගේ හය වසරක නායකත්වය ලිස් ට්‍රස්ගේ සති හයක විගඩම සමඟ සැසඳිය නොහැක. එහෙත් ට්‍රොට්ස්කි, බ්‍රිතාන්‍යයේ ධනේශ්වර පාලනයේ ආසන්න බිඳවැටීමේ සහ විප්ලවවාදී අර්බුදයක වර්ධනයේ ලක්ෂනයක් ලෙස විගඩම අර්ථකථනය කරනු ඇතැයි සිතීම අපහසු නැත. ට්‍රොට්ස්කි මෙම අර්බුදය තුල මාක්ස්වාදීන්ට කම්කරු පන්තිය තුල තම අධිකාරිය පුලුල් කිරීමටත් ප්‍රතිගාමී ලේබර් පක්ෂයේ සහ වෘත්තීය සමිති සංවිධානවල බලපෑමෙන් ජය ගැනීමටත් දැවැන්ත අවස්ථාවක් දකිනවා නිසැක ය.

අධිරාජ්‍යවාදයේ මරලතෝනි යුගයේ සමාජවාදී විප්ලවයේ මූලෝපාය සහ උපක්‍රම විස්තාරනය කිරීම සඳහා ට්‍රොට්ස්කිගේ ලේඛන සැලකිල්ලෙන් අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය වේ. ට්‍රොට්ස්කිවාදය යනු 21 වැනි සියවසේ මාක්ස්වාදයයි.

Loading