[මෙය Discredited Sri Lankan ruling party attempts a comeback මැයෙන් 2022 ඔක්තෝබර් 25දා පල වූ ලිපියේ පරිවර්තනය යි.]
මහජන නැගිටීමකට මුහුන පාමින් සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් තනතුරින් ඉල්ලා අස්වීමට සිදු වීමෙන් යන්තම් මාස තුනකට පසුව, ඔහුගේ අපකීර්තිමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) සිය දේශපාලනික බලය ප්‍රකෘතිමත් කරගැනීමට උත්සාහ දරමින් සිටී. මෙම තත්වය පිරික්සා බැලීම සඳහා “එක්ව නැගිටිමු” යන තේමාව යටතේ පැවැත්වෙන ප්‍රසිද්ධ රැස්වීම්වලට, ගෝඨාභයගේ වැඩිමහල් සහෝදරයා හා හිටපු අගමැති වන මහින්ද රාජපක්ෂ නායකත්වය දෙමින් සිටී. පිලිවෙලින් ඔක්තෝබර් 8 හා 16 දිනවල, කලුතර දී හා නාවලපිටියේ දී එම උද්ඝෝෂනයේ ප්‍රථම රැස්වීම් දෙක පවත්වන ලදී.
ආහාර, ඖෂධ හා ඉන්ධන වැනි අත්‍යවශ්‍ය භාන්ඩවල පලල් හිඟයන් හා අහස උසට නගින මිල ගනන් සහ දීර්ඝ දෛනික විදුලි කප්පාදු ඇතුලු වැඩකරන ජනයා, තරුනයන් හා ගම්බද පීඩිතයන් මුහුන දෙමින් සිටි දැරිය නො හැකි කොන්දේසි හේතුවෙන් අප්‍රේල් මුල පටන් පැනනැගුනු මහජන නැගිටීමකට රාජපක්ෂවරු හා ඔවුන්ගේ ශ්‍රීලපොපෙ මුහුන දුන් හ. අප්‍රේල් 28 හා මැයි 6 දිනවල පැවති එක්දින මහා වැඩ වර්ජනවලට මිලියන ගනනින් සහභාගි වෙමින් කම්කරු පන්තිය මෙහි කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකලේ ය. ජනාධිපති රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙසත්, සමාජ ව්‍යසනය අවසන් කරන ලෙසත් මහජන විරෝධතා බලකලේ ය.
අගමැති කාර්යාලයෙන් පිටත හා කොලඹ ගාලු මුවදොර පිටිය වාඩිලාගෙන සිටි ආන්ඩු-විරෝධී විරෝධතාකරුවන් මතට, මහින්ද රාජපක්ෂ විසින් උසි ගන්වා එල්ල කරන ලද ප්රචන්ඩ මැර ප්‍රහාරයක් හේතුවෙන් ඉස්මතු වූ මහජන කෝපය මධ්‍යයේ, මැයි 9දා සිය නිල නිවසින් පලා ගොස් ඉල්ලා අස්වීමට ඔහුට බලකෙරුනි. ඔහුගේ කැබිනට් මන්ඩලය ක්ෂනික ව ඇද වැටුනු නමුත්, ගෝඨාභය රාජපක්ෂ උද්ධච්ඡ ලෙස ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කලේ ය. විරෝධතා අඛන්ඩ ව පැවතීගෙන යද්දී, ඔහු ජූලි 13දා රටින් පලාගියේ ය.
රාජපක්ෂවරුන් හා ශ්‍රීලපොපෙ මන්ත්‍රීවරුන් කෙරෙහි පැවති මහජන විරෝධය කොතෙක් ද යත්, ප්‍රසිද්ධ රැස්වීම්වලට සහභාගි වීම, සිය මැතිවරන බලප්‍රදේශවලට සංචාරය කිරීම ආදිය ඔවුන්ට කල නො හැකි වූ අතර, ඔවුන්ට ගමන් බිමන් යාහැකි වූයේ දැඩි අතිරේක ආරක්ෂාවක් සමගින් පමනි.
දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ (එජාප) එක ම මන්ත්‍රීවරයා වන ගැඹුරින් ම අප්‍රසාදයට පත් රනිල් වික්‍රමසිංහ ප්රජාතන්ත්ර-විරෝධී ලෙස ජනාධිපති ධූරයේ ස්ථාපනය කලේ, ප්‍රධාන වසයෙන් ශ්‍රීලපොපෙ ඡන්ද හරහා, අපකීර්තිමත් පාර්ලිමේන්තුව විසිනි. පැරනි ශ්‍රීලපොපෙ කැබිනට්ටුවට මුලුමනින් ම පාහේ සමාන නව ඇමති මන්ඩලයක් පත්කිරීමට ඔහු ක්‍රියා කලේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු විධානයන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි මහජන විරුද්ධත්වය පැවතිය ද වික්‍රමසිංහ හා ශ්‍රීලපොපෙ අවධාරනය කරමින් සිටින්නේ, 2025 දී වත්මන් පාර්ලිමේන්තුවේ ධූර කාලය අවසන් වන තෙක් ආන්ඩුව බලයේ රැඳී සිටින බව යි. ඒකාධිපති විධායක ජනාධිපති ධූරය භාරගත් තැන් පටන්, විරෝධතාවන් මතට හා විරෝධතාවල නායකයන්ට එරෙහි ව වික්‍රමසිංහ කුරිරු කඩාපැනීමක් දියත් කර ඇත.
වික්‍රමසිංහ ආන්ඩුව එහි ස්ථානය ශක්තිමත් කරගනිමින්, කම්කරුවන්, තරුනයන් හා ගම්බද පීඩිතයන් මතට රටෙහි ගැඹුරු ආර්ථික අර්බුදයෙහි බර පැටවීමට සහ ඕනෑ ම මහජන විරුද්ධත්වයක් තලා දැමීමට උත්සාහ දරන තතු තුල වැඩකරන ජනයා දරුනු අන්තරායන්ට මුහුන දෙති.
සිය පන්ති අවශ්‍යතා ආරක්ෂා කරගැනීමට, ධනපති පාලනය අරටුවට ම සොලවාලූ මහජන අරගලවලින් ඉක්බිති ව, අපකීර්තිමත් ශ්‍රීලපොපෙට එහි අශෝභන හිස යලි එසවීමට හැකියාව ලැබී ඇත්තේ මන්දැයි, කම්කරු පන්තිය අවබෝධ කරගැනීම අවශ්‍ය ය. විරුද්ධ පක්ෂ -සමගි ජන බලවේගය (සජබ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)- හා වෘත්තීය සමිති මෙන් ම එම පක්ෂ අව්‍යාජ විකල්පයක් නියෝජනය කරන්නේ ය යන මාරාන්තික මිථ්‍යාව ඉදිරියට දැමූ ව්‍යාජ-වාම කන්ඩායම්වලට මෙහි ප්‍රධාන දේශපාලනික වගකීම පැවරේ.
වික්‍රමසිංහ ආන්ඩුව සමග මූලික මතභේද නොමැති සජබ හා ජවිපෙ, ජාමූඅ විධානය කරන කප්පාදු පිලිවෙත්වලට සම්පූර්නයෙන් සහයෝගය දෙති. සත්‍ය වසයෙන් ම, ජාමූඅ හදිසි නය පහසුකම් කල් තබා නො ඉල්ලීම ගැන සජබ රාජපක්ෂවරුන් ව විවේචනය කලේ ය. එම න්‍යාය පත්‍රය ම ක්‍රියාත්මක කිරීමට කැපවන සර්ව-පාක්ෂික, අන්තර්-වාර ධනපති ආන්ඩුවක් යෝජනා කරමින් ධනපති පාලනය බේරාගැනීමට, මහජන විරෝධතා සමයේ මෙම විරුද්ධ පක්ෂ දෙක ක්‍රියා කලහ.
අතීතයේ දී තමන් සමාජවාදී යයි කියා පෑ ජවිපෙ, දැන් කරමින් සිටින්නේ, වර්තමාන ආර්ථික හා සමාජ අර්බුදය සම්බන්ධ වගකීම ධනවාදයට පවරනු වෙනුවට, ආන්ඩුවේ දූෂනයට දොස් පැවරීම යි. වැඩකරන ජනයා මත නව බර පැටවීම් සඳහා අවශ්‍ය යුක්තියුක්ත භාවය සහිත ආන්ඩුවක් තැනීම පිනිස පාලක පන්තියට සිය සේවය පුදකරමින්, එය නියමිත කලට පෙර මැතිවරනයක් කැඳවුම් කරමින් සිටී.
මෑතක දී සියත ටීවීහි පැවති සාකච්ඡාවක දී, ජාමූඅ වෙත යාම සඳහා ආන්ඩුව ගත් ප්රවිෂ්ටය, “(විදේශ) නය පැහැර හැරීම සමග බැඳී තිබෙන” බව කියමින් සාධාරනීකරනය කිරීමට, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කටයුතු කලේ ය. “අර්බුදයෙන් එලියට මාවතක් සොයාගැනීම සඳහා සමාජය යම් බරක් දැරිය යුතුයි” යි ඔහු අවධාරනය කලේ ය. නව “ජනවරමක්” සහිත ආන්ඩුවකට පමනක්, අවශ්‍ය කරන කප්පාදු වැඩසටහන ක්‍රියාවට දැමිය හැකි බව ඔහු අවධාරනය කලේ ය.
රාජ්‍ය අංශයේ යෝධ රැකියා කප්පාදු, වැඩකරන ජනයා මත නව බදු පැටවීම්, විස්තීර්න පුද්ගලීකරනයන් හා අත්‍යවශ්‍ය සමාජ සේවාවන් හි කප්පාදු ආදී ජාමූඅ හි විධානයන් පැටවීමේ දී සහ ඕනෑ ම මහජන විරුද්ධත්වයක් තලා දැමීමේ දී, සජබ හෝ ජවිපෙ විසින් තනන ඕනෑ ම ආන්ඩුවක්, වික්‍රමසිංහ තරම් ම කුරිරු වනු ඇත.
ශ්‍රීලපොපෙහි යලි නැගිටීමට දේශපාලනික පහසුකම් සලසනු ලැබ ඇත්තේ, වෘත්තීය සමිති හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඇතුලු ව්‍යාජ-වාම කන්ඩායම් රාජපක්ෂ ආන්ඩුවට එරෙහි මහජන ව්‍යාපාරය පාවා දීම මගිනි. මහා වැඩ වර්ජනවලට කම්කරුවන් මිලියන ගනනින් බලගතු ලෙස සහභාගි වුවත්, වෘත්තීය සමිති ඒවා එක් දින ක්‍රියාවන්ට සීමා කල හ. ඒ අතර ම, ධනපති පාලනය ස්ථාවර කිරීම සඳහා විපාර්ශවික සජබ හා ජවිපෙ විසින් අන්තර්-වාර ආන්ඩුවක් සඳහා කල කැඳවුමට වෘත්තීය සමිති හා ව්‍යාජ-වම්මු පිටුබලය දුන් හ.
කම්කරු පන්තිය සීමා කොට විසුරුවා හැරීම මගින්, වික්‍රමසිංහට බලයට පැමිනීමටත්, රාජපක්ෂවරුන්ට හා ඔවුන්ගේ ශ්‍රීලපොපෙට සිය දේශපාලනික බලය පුනරුත්ථාපනය කරගැනීම සඳහා උත්සාහ දැරීමටත්, වෘත්තීය සමිති විසින් මාවත පාදා දුන්නේ ය. දේශපාලන ධාරාව මාරු වෙමින් තිබෙන බවට වූ පැහැදිලි ඇඟවීමක් වූයේ, සැප්තැම්බර් 3දා කිසිදු විරුද්ධත්වයකින් තොර ව ගෝඨාභය රාජපක්ෂ පෙරලා ලංකාවට පැමිනීම යි.
අප්‍රේල් මුල දී ගාලු මුවදොර පිටිය වාඩිලා ගැනීම කැඳවුම් කල විවිධාකාර මධ්‍යම-පන්තික කන්ඩායම් සහ ස්වයං-ප්‍රකාශිත නායකයෝ, ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීම පිනිස ඔවුන් කල කැඳවුම වටා රැලි වූ කම්කරුවන් හා තරුනයන් දසදහස් ගනනක් අධෛර්යයට පත් කිරීමේ දී, එයට ඉතා සමාන භූමිකාවක් ඉටු කල හ. මහ ව්‍යාපාරිකයේ ද පිටුබලය ඇතිව, අන්තර්-වාර ආන්ඩුවක් සඳහා විරුද්ධ පක්ෂ කල කැඳවුම පිටුපස එම සහයෝගය ගාල් කීරීමට ඔවුහු වැඩ කලහ.
ගාලු මුවදොර වාඩිලා ගැනීම දේශපාලන අරගලයෙහි අපිකේන්ද්‍රය යයි ප්‍රකාශ කරමින්, ව්‍යාජ-වාම පෙසප මෙම මධ්‍යම-පන්තික කන්ඩායම්වලට හා ඒවායේ ධනපති-ගැති න්‍යාය පත්‍රයට සහයෝගය දුන්නේ ය. වැඩෙන රාජ්‍ය මර්දනය මධ්‍යයේ, වාඩිලා ගැනීම පිටුපස සිටි කන්ඩායම් හා නායකයෝ බෙදී ගොස් හා විසිරී ගොස් ඇති අතර, ඔවුන්ගෙන් සමහරු ආන්ඩුවට ද සමහරු විරුද්ධ පක්ෂවලට සහයෝගය දෙද්දී, තවත් සමහරු පෙසපහි ව්‍යාජ උද්ඝෝෂනයට ඒකාබද්ධ වෙමින් සිටිති.
පෙසප, ආන්ඩුවට එරෙහි “මහජන ව්‍යාපාරයක්” ගොඩනැගීමේ නාමයෙන්, වෘත්තීය සමිති හා එය විසින් ප්රජාතන්ත්රවාදයේ කප්පිත්තන් ලෙස ඉදිරියට දමන විරුද්ධ පක්ෂ සමග අවස්ථාවාදී දේශපාලන පෙරමුනක් වාත්තු කරගැනීම සඳහා, එහි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) යොදාගනිමින් සිටී. වික්‍රමසිංහ පාලන තන්ත්රයට පීඩනය යෙදීමෙන් එහි මර්දනය නතර කල හැකිය යන ව්‍යාජ අපේක්ෂාව, පෙසප මෙහිදී දිරිමත් කරයි.
අතීතයේ දී කටුක ප්රතිමල්ලවයන් වුව ද, වික්‍රමසිංහ හා රාජපක්ෂවරුන් ලංකාවේ ධනවාදය ආරක්ෂා කිරීමේ දී එකමුතු වී ඇත. විධායක ජනාධිපති ලෙස වික්‍රමසිංහ දුර දිග යන ඒකාධිපති බලතල භුක්ති විඳින නමුත්, සමස්ත කැබිනට් මන්ඩලය ම පාහේ සම්පාදනය කරන සහ පාර්ලිමේන්තු බහුතරය නියෝජනය කරන ශ්‍රීලපොපෙ මත ඔහු රඳා සිටී.
තව ද යුක්තියුක්ත භාවයේ බොරු ඔපයක් ලබා දීම මගින් ශ්‍රීලපොපෙ යලි නැගිටවා ගැනීම සඳහා රාජපක්ෂවරු වික්‍රමසිංහ මත රැඳී සිටිති. නාවලපිටිය රැස්වීමේ දී කතා කල, මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂ “ගාලු මුවදොර අරගලය අතුගා දැමීම” පිලිබඳ ව වික්‍රමසිංහට ස්තුති කලේ ය.
එහෙත්, ආන්ඩුවේ කප්පාදු පියවරයන්, රැකියා විනාශයට, සියයට 102ක් වන ආහාර උද්ධමනයට සහ සියයට 75 දක්වා ලඟා වී ඇති ඉහල යන උද්ධමනයට දායක වෙමින් පවතින තතු තුල, ගැඹුරු වන සමාජ අර්බුදය විසින් කම්කරු පන්තිය දැනට මත් අරගල කරා තල්ලු කරමින් පවතී. මර්දනීය අත්‍යවශ්‍ය මහජන සේවා නියෝග මගින් ආන්ඩුව කරන තර්ජන නො තකා, ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඇතුලු රාජ්‍ය අංශයේ කම්කරුවෝ, දැනට මත් වැඩ වර්ජන ක්‍රියාවන්ට හා විරෝධතාවන්ට පිවිසී සිටිති.
වැඩ වර්ජන හා විරෝධතාවල නව වටයක් පිලිබඳ ව පාලක පන්තිය පැහැදිලි ව ම බියට පත් ව සිටී. ඔක්තෝබර් 17දා කතුවැකියක් පලකල දි අයිලන්ඩ් පුවත්පත මෙසේ ප්‍රකාශ කලේ ය: “කලින් පැවති මහජන නැගිටීම් හුදු මඩ කඩිත්තක දිය රැල්ලක් බවට පත්කරනු ඇත්තා වූ නව නැගිටීම් රැල්ලකට කොන්දේසි නිර්මානය කරන ආන්ඩුව මහජනයාගේ ඉවසීම පරීක්ෂා කරමින් සිටින බවට අනතුරු ඇඟවුනා වේ.”
කම්කරු පන්තිය සඳහා තීරනාත්මක ප්රශ්නය වන්නේ, අරගලයෙහි පලමු අදියරේ සාරභූත දේශපාලනික පාඩම් වටහා ගැනීම යි: එනම්, වෘත්තීය සමිතිවලට හා විරුද්ධ පක්ෂවලට කොටු වී සිටින්නේ නම් කම්කරුවන් විනාශයකට මුහුන දෙනු ඇති බව යි. සිය සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතින් සඳහා සටන් වැදිය හැකි ස්වාධීන ක්‍රියාකාරී කමිටු සෑම වැඩපොලක, කම්හලක, නිවහන් ප්‍රදේශයක හා ගම්බද ප්‍රදේශයක ම ගොඩනගා ගන්නා ලෙස, සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනක් කම්කරුවන්ට හා ගම්බද පීඩිතයින්ට කැඳවුම් කර ඇත.
ජාමූඅ හා ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ විධානයන් පිලිගැනීම හැර වෙනත් විකල්පයක් නැතැයි අනෙකුත් සෑම දේශපාලන පක්ෂයක් විසින් ම කරන කියාපෑම්වලට විරුද්ධ ව, පහත සඳහන් ඉල්ලීම් ඇතුලු සංක්රමන ඉල්ලීම් මාලාවක් සසප ඉදිරිපත් කර ඇත:
* සියලු අත්‍යවශ්‍ය භාන්ඩ සහ වැඩකරන ජනයාගේ ජීවිතවලට තීරනාත්මක අනෙකුත් සම්පත්වල නිෂ්පාදනය හා බෙදාහැරීම, කම්කරු පන්තියේ ප්රජාතන්ත්රවාදී පාලනය යටතට පත්කරනු.
* බැංකු, මහා සංගත, වතු හා අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතු කරනු.
* සියලු විදේශ නය හා ජාමූඅ කප්පාදු විධානයන් ප්‍රතික්ෂේප කරනු.
* බිලියනපතියන්ගේ හා ප්‍රධාන සංගතවල සුවිශාල ධනය අත්පත් කරගනු.
* දුගීන්ගේ, ආන්තික ගොවීන්ගේ හා කුඩා ව්‍යාපාර හිමියන්ගේ නය අහෝසි කරනු. ගොවීන්ට ලබා දෙන පොහොර ඇතුලු සියලු මිල සහනාධාර ප්‍රතිස්ථාපනය කරනු.
* යහපත් හා සුරක්ෂිත වැඩ කොන්දේසි සමගින් සියලු දෙනාට රැකියා සහතික කරනු. ජීවන වියදමට අනුව වැටුප් ඉහල දමනු.
අන්තර්-වාර ධනපති ආන්ඩුවකට විරුද්ධ ව, මෙම ඉල්ලීම් සඳහා වන දේශපාලන සටනට නායකත්වය දීමට, රට පුරා පිහිටුවා ගන්නා ක්‍රියාකාරී කමිටු ජාලයක නියෝජිතයින් මත පදනම් වන, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්රජාතන්ත්රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනගන ලෙස සසප කැඳවුම් කර ඇත. වික්‍රමසිංහ පාලන තන්ත්රනය විසින් කම්කරුවන් හා දුගීන් ඉදිරියේ ඉස්මතු කරන අන්තරායන්ට එරෙහි ව සටන් වැදීමට, කම්කරුවන්ගේ පන්ති අවශ්‍යතා තහවුරු කෙරෙන අත්‍යවශ්‍ය බල මධ්‍යස්ථානය ලෙස මෙම සම්මේලනය ගොඩනගන ලෙස අපි වැඩකරන ජනයාට කැඳවුම් කරමු.
ප්‍රධාන ධනපති රටවල මෙන් ම පසුගාමී රටවල් තුල ද අරගලයට පිවිසෙමින් සිටින, ජාත්‍යන්තර කම්කරු පන්තිය ඒකාබද්ධ වීමෙන් පමනක්, ලංකාවේ කම්කරුවන්ට මෙම සටන සාර්ථක ව දියත් කල හැක. තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම මගින්, එම ජාත්‍යන්තර එකමුතුව ස්ථාපනය කිරීමේ පදනම ලෙස, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ගොඩනැගීමේ අරගලය සමග එක් වන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.
කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්රජාතන්ත්රවාදී හා සමාජවාදී සම්මේලනය ස්ථාපනය කිරීමේ අරගලය, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා කරන පලල් අරගලයක කොටසක් ලෙස, සමාජවාදී පිලිවෙත්වලට කැප වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කරමින් ලාභ පද්ධතිය පෙරලා දැමීමට මග විවර කරනු ඇත.