2022 වසර තුල 70,000 කට අධික සංඛ්‍යාවකට ඩෙංගු රෝගය වැලැඳී ඇති බව ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය නිලිකා මලවිගේ පසුගිය දෙසැම්බර් 29 දා අනාවරනය කලා ය. මෙය, වසර දෙකකට පසු, වාර්තාවූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව යි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව 2022 වසර තුල ආසාදිත වූ මුලු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 75,434ක් වන අතර එය පෙර වසරට සාපේක්ෂව දෙගුනයක ඉහල යෑමකි. දිනකට ඩෙංගු රෝගීන් 200-300 ත් අතර සංඛ්‍යාවක් රෝහල්ගත වන බවත් එම තත්වය මේ මාසය තුල ද වර්ධනය විය හැකි බව වාර්තා වේ. 2022 වසරේ ඩෙංගු රෝගයෙන් 54 දෙනෙකු මරනයට පත්ව තිබේ.
වැඩිම රෝගීන් වාර්තාවන ගම්පහ දිස්ත්‍රික්කයේ රෝග ව්‍යාප්තිය ද වාර්තාගත ලෙස ඉහල ගොස් ඇත. ජනගහනයේ ලක්ෂයකට රෝගීන් සියයක් ලෙස සෙසු දිස්ත්‍රික්කවල පැවති අනුපාතය සුවිසල් ව ඉක්මවා, ගම්පහ දිස්ත්‍රික්කයේ එම අගය ලක්ෂයකට රෝගීන් 505 ක් දක්වා ඉහල නැග ඇතැයි දිස්ත්‍රික් වසංගත රෝග අංශයේ වෛද්‍ය නිලංගී සුභසේකර මේ මස 02දා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී පෙන්වා දුන්නා ය. ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, දිවුලපිටිය, බියගම, මීගමුව, සීදුව, ජා-ඇල හා කැලනිය යන ප්‍රදේශ, ඩෙංගු සඳහා දැඩි අවදානම් කලාප ලෙස නම් කර තිබේ.
බස්නාහිර පලාතේ සෙසු දිස්ත්‍රික්ක වන කොලඹ හා කලුතර තත්වය ද මීට වෙනස් නැත. බස්නාහිර පලාතින් පිටත මහනුවර, යාපනය හා පුත්තලම දිස්ත්‍රික්කවල ද රෝග ව්‍යාප්ත බහුල ලෙස පවති. රටපුරා මහජන සෞඛ්‍ය බලප්‍රදේශ 41 ක් අවදානම් තත්වයේ පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඩෙංගු රෝගයට වැඩි වශයෙන් ගොදුරු වනුයේ කෝවිඩ්-19 වසංගතයෙන් හා ඉහිලිය නොහැකි උද්ධමනයෙන් බැටකමින් සිටින කම්කරු පීඩිතයන් ය.
කෝවිඩ්-19 වසංගතයෙන් සහ යුක්ක්‍රේන යුද්ධයෙන් ගැඹුරු කෙරෙන ලෝක ධනේශ්වර අර්බූදයේ බර කම්කරු පීඩිත මහජනයා මත පැටවීම ලොවපුරා ධනපති ආන්ඩුවල පිලිවෙතයි. එහි කොටසක් ලෙස, වික්‍රමසිංහ ආන්ඩුව, 2023 අය-වැයෙන්, සෞඛ්‍යය සහ අධ්‍යාපනය ඇතුලු මහජන සේවාවන් සඳහා වන වියදම් තවදුරටත් කප්පාදු කර තිබේ. අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වෙන් කර ඇත්තේ පිලිවෙලින් රුපියල් බිලියන 232 ක් හා 332 ක් තරම් සොච්චමකි. සෞඛ්‍ය සේවාවේ කප්පාදුව යටතේ රජයේ රෝහල් සඳහා ගෙවීම් වාට්ටු ක්‍රමය යෝජනා කෙරී ඇත.
නාගරිකවත් රටපුරාත් ඩෙංගු රෝග ව්‍යාප්තිය මැඩීම සඳහා කවර හෝ විධිමත් පියවරක් නො ගන්නා වික්‍රමසිංහ ආන්ඩුව, පෙර ආන්ඩු සේම වගකීම මහජනයා මත පටවමින්, දෙසැම්බර් 30,31 යන දිනයන්, විශේෂ “ඩෙංගු මැඩලීමේ“ දිනයන් ලෙස ප්‍රෝඩාකාරීව නම් කලේ ය. එම දින දෙකේ තම නිවෙස්වල රැඳී පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදෙන ලෙසත්, ජනවාරී 02 පාසල් ආරම්භයට පෙර පාසල් අවට පවිත්‍රතා කටයුතු දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ, ආදි ශිෂ්‍ය සංගම්වල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දුන්නේ ය.
මහජනයා පිට වරද පැටවීමට ආන්ඩුවලට සහාය දෙන ධනපති මාධ්‍ය බිස්ස, ඩෙංගු පැතිරීම, වර්ෂාවේ වැඩිවීම හේතුවෙන් සිදුවන්නක් ලෙස හුවා දැක්වීමට උත්සාහ ගෙන තිබේ. නමුත්, පසුගිය වසරවල ඩෙංගු ව්‍යාප්තිය පිලිබඳ සංඛ්‍යා සහ දත්ත මගින් පෙන්නුම් කරන්නේ වර්ෂාව නොමැති මාසයන්හි පවා රෝගය අඩුවක් නැතිව පැතිරී ඇති බවයි.
සැලසුමකින් තොර නාගරීකරනය, කැලිකසල බැහැර කිරීමට හා කසල ප්රතිචක්රීකරනයට නිසි වැඩපිලිවෙලවල් නොමැති වීම, ජලය බැස යන කානු පද්ධති සහ ඇල මාර්ග කුනුකසල මගින් අවහිර වීම, ජලනල පද්ධතීන් අබලන් වී ජලය කාන්දු වීම වැනි සාධක රටපුරා රෝග ව්‍යාප්තිය සිදු වීමට ඍජුව බලපා තිබේ.
නගර සභා, මහ නගර සභා හා ප්‍රාදේශීය සභාවල සේවක කප්පාදුව මෙන්ම උපකරන හිඟය හේතුවෙන්, මහජන සෞඛ්‍යය ආශ්‍රිතව නිසි සේවාවක් සම්පාදනය නොවේ.
රටේ සමස්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංඛ්‍යාව 3,200 ට සීමා වී තිබීම ද මෙම කප්පාදුවේ ම කොටසකි. මෙම පිරිසෙන් ද 1,00 ක් පමන පසුගිය වසර තුල විශ්‍රාම ගැනීම හේතුවෙන් තම සේවාව සිදු කිරීමට සිදුව ඇත්තේ දැඩි අසීරුතාවයන් යටතේ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් උපුල් රෝහන මාධ්‍යයට ප්‍රකාශ කලේ ය.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග අදහස් දැක් වූ සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු කියා සිටියේ ක්ෂේත්‍ර වැඩකටයුතු කිරීමට සිටින්නේ රටේ සිටින මුලු පරීක්ෂකවරුන්ගෙන් සීමිත කන්ඩායමක් බවයි.
“මම සේවය කරන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාම සේවක වසම් 42 ක් ආවරනය කිරීමට ඉන්නේ පරීක්ෂකවරුන් දෙන්නයි. ඒ සංඛ්‍යාව කොහෙත්ම ප්‍රමානවත් නෑ. අපි මේ සේවාවන් කරන්නේ බොහො දුෂ්කරතා යටතේ“ යයි ඔහු ප්‍රකාශ කලේ ය.
කෝවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා ගෙන ගිය සීමිත සෞඛ්‍යාරක්ෂන පිලිවෙත් පවා රටතුලත් ජාත්‍යන්තරවත් අත්හැරදමා ඇති තත්වයේ දී ජාත්‍යන්තරව පැතිරෙන වයිරසයේ නව ප්රභේදයන් ලංකාව තුල ද ව්‍යාප්ත වීමේ හා මරන ඉහල යෑමේ විශාල අන්තරායක් පවතින බව පරීක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.
ලෝසවෙඅ සමග අදහස් දැක් වූ හලාවත රෝහලේ කනිෂ්ඨ කාර්ය මන්ඩල සේවකයෙක් කියා සිටියේ රෝහල් කාර්ය මන්ඩලයේ 20 කට පමන ඩෙංගු රෝගය වැලඳී ඇති බවයි. “රෝහලේ කනිෂ්ඨ කාර්ය මන්ඩල සේවයකයන්ගේ විශාල හිඟයක් තියෙනවා. මේ වසරේ තවත් 12 ක් විශ්‍රාම ගියා. ගොඩක් දුර ඉඳන් සේවයට පැමිනෙන අයත් ඉන්නවා. අපිට අතිකාල කරලා ගෙදර යන්න තත්වයක් නෑ, මොකද වාට්ටු බලන්න සමහර වෙලාවට කවුරුත් නැති වෙනවා. වෘත්තීය සමිති මේ ආන්ඩුවලින් විසඳුම් ඉල්ලුවට මේ කිසි දෙයක් ඔවුන් විසඳන්නේ නෑ“ යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.
පසුගිය සතියේ හලාවත මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් ඩෙංගු රෝගියෙකු ලෝසවෙඅ ට පැවසුවේ රෝහලේ සෑම වාට්ටුවක ම පාහේ ඩෙංගු රෝගීන් සිටින බවයි. ඒ අතර රුධීර පට්ටිකා ප්‍රමානය විශාල ලෙස අඩු වී බරපතල තත්වයේ පසුවන රෝගීන් ද සිටී. සෞඛ්‍ය සේවාවේ ඛාදනය හමුවේ සෞඛ්‍ය සේවකයන් හා රෝගීන් දරුනු කොන්දේසිවලට මුහුන දෙන බව ඔහු ප්‍රකාශ කලේ ය.
“මම දවස් 4ක් රෝහලේ හිටියා. වෛද්‍යවරු නිර්දේශ කල මුත්‍රා සාම්පල පරීක්ෂාව ඇතුලු වැඩකටයුතු කර ගැනීමට මට දිනකට රුපියල් 4,000 ක් වැය කොට සාත්තු සේවකයෙකුගේ සහාය ලබා ගැනීමට සිදු වුනා. රෝහලේ වෛද්‍ය, හෙද හා කනිෂ්ඨ කාර්ය මන්ඩලවල දැඩි හිඟයක් තියෙන්නේ. මට මුත්‍රා බට යෙදීමට වෛද්‍යවරයා නිර්දේශ කලත්, කනිෂ්ඨ කාර්යමන්ඩලවල හිඟය හේතුවෙන් එය යොදා ගැනීමට පැය ගනනක් බලා සිටීමට සිදු වුනා“ යැයි ඔහු කීවේ ය.
සාත්තු සේවකයන්ගේ හිඟය හේතුවෙන්, මුදල් ගෙවා පිටතින් එම සේවා ලබා ගැනීමට රෝගීන්ට සිදුව ඇති බවත්, ඒ හේතුවෙන් ගෙවීමේ ක්‍රමයට සාත්තු සේවකයන් සපයන මිනිස් බල ආයතන කිහිපයක් ම රෝහල අවට ක්‍රියාත්මක වන බවත් ඔහු පැවසීය. රෝහල්වල පවිත්‍රතා කටයුතු සියල්ලම පාහේ පෞද්ගලික සමාගම්වලට පවරා ඇති බව ද ඔහු කියා සිටියේ ය.
“මට මුත්රාබට හා තවත් බේත් ද්‍රව්‍ය කිහිපයක් ම පෞද්ගලික ඖෂධශාලාවලින් මිලදී ගැනීමට සිදු වුනා. මේ තත්වය යටතෙ ආන්ඩුව ගෙවන වාට්ටු ක්‍රමය ඇති කරන්න යන්නෙ. ඒක සාමාන්‍ය මහජනයාට දරුනු පහරක් වෙනවා“ යයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය.