[මෙය Sri Lankan pseudo-left FSP promotes “people’s councils” and class collaboration යන මැයෙන් 2023 අප්‍රේල් 18 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ශ්‍රී ලංකාවේ ව්‍යාජ-වාම සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), කම්කරුවන්, තරුනයන් හා ගම්බද ජනතාව මුහුන දෙන දැවෙන දේශපාලන ප්‍රශ්න වලට සහ සමාජ අර්බුදයට ව්‍යාජ විසඳුමක් ලෙස “ජන සභා” සහ “ජනතා ආන්ඩුවක්” පිහිටුවීම වෙනුවෙන් පෙනී සිටී. පසුගිය ජූලි මාසයේ එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව නෙරපා හරින ලද කම්කරුවන්, තරුනයන් සහ ගම්බද දුගීන්ගේ මහජන නැගිටීමේ පටන් පෙසප “ජනතා සභා” වෙනුවෙන් පෙනී සිටියේය. දැන් එය පලාත් පාලන මැතිවරනය සඳහා සිය වැඩසටහන ලෙස නිකුත් කර ඇති “අලුත් මාවත” නම් පොත් පිංචකින් මෙම යෝජනා ඉස්මතු කර ඇත.
පෙසප යනු, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් ගෙන යන ලද වාර්ගික යුද්ධයට උද්‍යෝගිමත්ව සහයෝගය දීම ගැන අපකීර්තිමත් වාර්තාවක් සහිත සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) බිඳී ගිය කන්ඩායමක සංවිධානයකි. වර්ගවාදී යුද්ධයට සහාය දීම නිසා ද ධනේශ්වර ආන්ඩුවලට සම්බන්ධවීම හා පිටුබලය දීම නිසාද කම්කරුවන් හා විශේෂයෙන්ම තරුනයින් අතර ජවිපෙ වඩ වඩාත් අපකීර්තියට පත් වූ තතු තුල, පෙසප නායකයෝ 2011 දී ජවිපෙන් කැඩී ගොස් 2012 දී නව පක්ෂය පිහිටුවා ගත්හ.
1960 ගනන්වල අග භාගයේ ශ්‍රී ලංකාවේ දකුනේ ග්‍රාමීය සිංහල තරුනයින් අතර පදනම් වූ ජවිපෙ සුලු ධනේශ්වර සංවිධානයක් ලෙස මතු වූ අතර, ස්ටැලින්වාදය-මාඕවාදය, කැස්ත්‍රෝවාදය සහ සිංහල ජනතාවාදය යන මේවායේ සාරසංග්‍රහවාදී දෘෂ්ටිමය මිශ්‍රනයක් මත පදනම් ව 'සන්නද්ධ අරගලය' වෙනුවෙන් පෙනී සිටියේය. 1971 දී එහි අතිධාවනකාරී සන්නද්ධ කැරැල්ල කුරිරු ලෙස තලා දැමීමේ ප්‍රතිඵලයක් ලෙස 20,000 ක් පමන තරුනයෝ මිය ගියහ. 1988-89 දී, එය ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවේ උතුරට ගෙනැවිත් දිවයින බෙදූ බව පවසමින් ස්වෝත්තමවාදී පදනම මත ඉන්දු-ලංකා ගිවිසුම දැඩි ලෙස හෙලා දුටුවේය. එහි වෙඩික්කරුවෝ සිය සිංහල දේශප්‍රේමී ව්‍යාපාරයට විරුද්ධ වූ සහ එයට සහාය දීම ප්‍රතික්ෂේප කල කම්කරුවන්ට හා කම්කරු පන්තික පක්ෂවලට මැර ප්‍රහාර එල්ල කලහ. එය, ග්‍රාමීය තරුනයන් 60,000 කට බිහිසුනු මරන සංඛ්‍යාවක් අත්කර දුන් තවත් කුරිරු රාජ්‍ය මර්දනයකට දොර විවර කලේය.
පෙසප මෙම ඉතිහාසය ප්‍රතික්ෂේප නැත. 2004 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සමග ධනේශ්වර සභාග ආන්ඩුවක ඇමතිවරුන් වීමට පක්ෂය ගත් තීරනය පෙසප නායකයින් විවේචනය නොකල ද, ජවිපෙ කොලඹ දේශපාලන සංස්ථාපිතයට සම්බන්ධ වීම ගැන එය දැන් ජවිපෙ විවේචනය කරයි. 2011 දී ඔවුන් ජවිපෙන් සංවිධානාත්මකව කැඩී ගිය මුත්, ඔවුන්ගේ පසුකාලීන දේශපාලන පරිනාමය සහ පෙසප වත්මන් “අලුත් මාවත” පෙන්නුම් කරන පරිදි, ඒ දෘෂ්ඨිවාදීව බිඳීමක් නොවේ.
පෙසප පත්‍රිකාව මෙසේ ප්‍රකාශ කරයි: “අප යෝජනා කරන්නේ රාජ්‍ය බලය ජනාතවගේ සභා විසින් මෙහෙයවන ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදි මූලධර්මය මත පදනම් වූ නව ආකාරයේ රාජ්‍ය ව්‍යුහයක්.” මෙම “ජනාතවගේ සභාවල” භූමිකාව පැහැදිලි කරමින් පෙසප යෝජනා කරන්නේ, “මේ ආකාරයේ ජනතාවගේ රාජ්‍යයක් ගොඩනගා ගැනීමේ පලමු පියවර ලෙස දැනට පවතින නියෝජිත සභාවලට පිටින් ඒවාට බලපෑම් කල හැකි ජනතා බලයක් නිර්මානය කර ගැනීමට යි.”
'ජනතාව' යන යෙදුම නිරන්තරයෙන් භාවිතා කිරීම සමාජය පිලිබඳ පන්තිමය ගුනාංගීකරනය කිරීමක් දැනුවත්වම ප්‍රතික්ෂේප කිරීමකි. ධනේශ්වර සමාජය පන්තිවලට බෙදී ඇත—ප්‍රධාන පන්ති දෙක වන්නේ නිෂ්පාදන මාධ්‍ය හිමිකරුවන් වන ධනේශ්වර පන්තිය සහ තම දෛනික ආහාර වේල ලබා ගැනීම සඳහා තම ශ්‍රම ශක්තිය විකිනීමට බල කෙරී ඇති කම්කරු පන්තිය යි. ශ්‍රී ලංකාවේ විශාල ගොවි ජනතාවක් ද ඇතුලත් වන නිර්‍රුපී අතරමැදි හෝ මධ්‍යම පන්තිවලට, ධනේශ්වරය හෝ නිර්ධන පංතිය යන දෙකෙන් එකක් අනුගමනය කිරීමට බල කෙරේ.
පෙසප, කම්කරුවන් ගැන නොව 'ජනතාව' ගැන සඳහන් කරන්නේ, ධනේශ්වර පන්තියේ කොටස්වලට සහ ඔවුන්ගේ දේශපාලන පක්ෂවලට අනුගත වීම වසං කිරීම සඳහා ය. එබැවින්, “ජනතාවගේ සභා” සහ “ජනතාවගේ ආන්ඩුව,” මහා ව්‍යාපාරිකයන්ගේ ඊනියා “ප්‍රගතිශීලී” කොටස්වල සහ ජවිපෙ සහ දක්ෂිනාංශික සමගි ජන බලවේගය (සජබ) වැනි ධනේශ්වර විරුද්ධ පක්ෂවල සහයෝගය සාදරයෙන් පිලිගනී.
“ආර්ථික අර්බුදය හා දේශපාලන අර්බුදය ඉදිරියේ කෙටි කාලීනව දිනාගත යුතු ප්‍රතිසංස්කරන මාලාවක්” සඳහා “මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට” පෙසප යෝජනා කරන අතරම “මෙම අර්බුදයට අවසානාත්මක විසඳුම සමාජවාදය ගොඩනැගීම” යැයි එයට පසු වදනක් එකතු කරයි. මෙය, සමාජවාදය සඳහා අරගලය අවිනිශ්චිත අනාගතයකට—එනම් කිසිදා නොඑලඹෙන අනාගතයකට භාර දෙමින්, කෙටි කාලීන ප්‍රතිසංස්කරන සඳහා “ප්‍රගතිශීලී ධනේශ්වරය” සමඟ සන්ධානගත වීම වෙනුවෙන් පෙනී සිටින ස්ටැලින්වාදී අදියර දෙකේ න්‍යාය නැවත සකසා ගැනීමක් මිස අන් කිසිවක් නොවේ.
ශ්‍රී ලංකාව තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය නියෝජනය කරන සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් පසුගිය ශතවර්ෂයේ ගමන් මග තුල ජාත්‍යන්තරව හා ශ්‍රී ලංකාව තුල කම්කරු පන්තියට එකකට පසු තවත් ව්‍යසනයක් අත්කර දුන්, මෙම ප්‍රතිගාමී පන්ති සහයෝගීතාවය සැමවිටම හෙලා දැක ඇත. ලංකා සමසමාජ පක්ෂය (ලසසප) 1964 දී ධනේශ්වර බන්ඩාරනායක ආන්ඩුවට ඇතුලුවෙමින් කල පාවාදීම විසින් කම්කරු පන්තියේ 'ඉල්ලීම් 21' මහජන ව්‍යාපාරය පීලි පන්නවන ලදී; ජවිපෙ වැනි වාර්ගික සුලු ධනේශ්වර ප්‍රවනතාවයන් වර්ධනයවීම දිරිමත් කිරීමටත්, අවසානයේ වාර්ගික යුද්ධයටත් එය හේතු විය.
දැන් පෙසප යෝජනා කරන්නේ, ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලනයේ වඩාත් ගැඹුරු අර්බුදයක් මධ්‍යයේ එම දේශපාලන පරාජය නැවත අත්කර දීමට ය. එමෙන්ම 'මහජන ව්‍යාපාරයක්' සහ 'මහජන ආන්ඩුවක්' සඳහා වන පෙසපයේ පන්ති සහයෝගීතා යෝජනාවලින් කම්කරු පන්තියට අත්වන ප්‍රතිවිපාක වඩාත් විනාශකාරී වනු ඇත.
ශ්‍රී ලංකාව වැනි කල් පසු වූ ධනේශ්වර සංවර්ධනයක් ඇති රටවල ධනේශ්වරයේ කිසිදු කොටසකට මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් හෝ සමාජ අවශ්‍යතා සපුරාලිය නොහැකි බව ලියොන් ට්‍රොට්ස්කි සිය නොනවතින විප්ලව න්‍යාය තුලින් තහවුරු කලේය. බලය සඳහා දේශපාලන අරගලයකට ග්‍රාමීය දහඩිය වගුරන ජනයා ද නැගිටුවා ගන්නා කම්කරු පන්තියට පමනක් ම, එම අවශ්‍යතා සපුරාලමින් ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන සටනේ කොටසක් ලෙස සමාජය සමාජවාදී ප්‍රතිනිර්මානය කිරීම ආරම්භ කල හැකිය.
වැඩකරන ජනතාව භයානක දේශපාලන ආවෘත අන්තයක් කරා ගෙන යන පෙසප විසින් යෝජිත “මහජන සභා” සහ “මහජන ව්‍යාපාරය” යනු ආන්ඩුවට සහ පාර්ලිමේන්තුවට හිඟන පාත්තරයක් රැගෙන යෑම හැර අන් කිසිවක් නොවේ. ශ්‍රී ලංකාවේ ධනවාදය බේරා ගැනීම සඳහා ජාමූඅ කප්පාදු පියවර ක්‍රියාවට නැංවීමේ සහ නොඉවසිය හැකි බර ජනතාව මත පැටවීමේ අවශ්‍යතාවයට ආන්ඩුවත්, ජවිපෙ සහ සජබ ඇතුලු ධනේශ්වර විරුද්ධ පක්ෂත් එකඟ ය.
පසුගිය වසරේ දේශපාලන පාඩම් මොනවාද? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට එරෙහි මහජන නැගිටීම මධ්‍යයේ, පෙසප පුලුල් පෙරමුනක් සඳහා ජවිපෙ, සජබ, අනෙකුත් විරුද්ධ පක්ෂ සහ වෘත්තීය සමිති වෙත ආයාචනා කලේය. එහෙත් මහජන ව්‍යාපාරය සීමා කිරීමටත්, රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස බලයට පත් කරමින් එය පාර්ලිමේන්තුවේ දේශපාලන ආවෘත අන්තයකට යොමු කිරීමටත් හැකි සෑම දෙයක්ම කලේ ද එම සංවිධානමය. වික්‍රමසිංහ ආන්ඩුව බලයට පැමිනීම පිලිබඳව විරුද්ධ පක්ෂ හා වෘත්තීය සමිති සමග පෙසප ද එකසේ දේශපාලන වගකිව යුතුය.
දැන් පෙසප වෑයම් කරන්නේ, වැඩකරන ජනතාව යලිත් වරක් විරුද්ධ පක්ෂවලට යටත් කිරීමට ය. මෙම පක්ෂ ද බලයට පැමිනියහොත් ජාමූඅ න්‍යාය පත්‍රය නිර්දය ලෙස ක්‍රියාත්මක කරනු ඇති අතරම විරෝධතාකරුවන්ට සහ වර්ජකයින්ට ප්‍රචන්ඩ ලෙස පහර දෙනු ඇත. වත්මන් ආර්ථික අර්බුදය අවසන් කිරීමට විකල්පයක් නොමැති බව සමස්ත කොලඹ සංස්ථාපිතයම තර්ක කරයි. ධනවාදයේ රාමුව තුල එය සැබැවින්ම සත්‍යයකි. එහෙත් කම්කරු පන්තියට තම පන්ති අවශ්‍යතා ආරක්ෂා කර ගත හැක්කේ සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සහ ඒවා ක්‍රියාත්මක කිරීමට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමෙන් පමනි.
පෙසපට ප්‍රතිවිරුද්ධ ලෙස, සසප තරයේම පදනම් වන්නේ කම්කරු පන්තිය මතයි. මහජන සභාවලට බැඳෙන ලෙස ධනේශ්වර විරුද්ධ පක්ෂවලට පෙසප කරන ආයාචනවලට එරෙහිව, සසප, සියලු ධනේශ්වර පක්ෂවලින් හා ඒවායේ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව සෑම වැඩපලකම සහ තදාසන්න කම්කරු ප්‍රදේශයකම ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තිය සමඟ ඒකාබද්ධ වීමට ඔවුන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙස, අපි ගම්බද දුගීන්ගෙන් ඉල්ලා සිටිමු.
මෙම ක්‍රියාකාරී කමිටුවල කර්තව්‍යය වන්නේ, වැඩකරන ජනතාවගේ දුක් වේදනා අවසන් කිරීමට කිසිවක් නොකරන ආටෝපමය ක්‍රියාමාර්ග ක්‍රියාවට දමන ලෙස රජයට බලපෑම් කිරීම නොවේ. කම්කරුවන්ගේ සහ ගම්බද ජනතාවගේ දැවෙන සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා අපි ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කරමු.
* ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය ප්‍රතික්ෂේප කරනු! වැටුප් කප්පාදු එපා! විශ්‍රාම වැටුප් කප්පාදු එපා!
* සියලුම කම්කරුවන් සඳහා ජීවන වියදමට අනුව වැඩි වන යහපත් වැටුප්! ඉහල උද්ධමනයට ගැලපෙන පරිදි විශ්‍රාම වැටුප යහපත් මට්ටමකට වැඩි කරනු!
* කුසගින්න සහ මන්දපෝෂනය එපා! සැමට පෝෂ්‍යදායී ආහාර වේලක් සුරක්ෂිත කරනු!
* සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! සුපිරි ධනවතුන්ගේ වත්කම් අත්පත් කර ගනු! කම්කරුවන්ගේ පාලනය යටතේ ප්‍රධාන බැංකු සහ සංගත ජනසතු කරනු!
සසප සියලු ආකාරයේ පන්ති සහයෝගිතාවාදය තරයේ ප්‍රතික්ෂේප කරයි. 'මහජන ආන්ඩුවක්' සඳහා පෙසප කරන කැඳවුම ධනේශ්වර පක්ෂ සමග සභාගයක් සඳහා කැඳවීමකි—එනම් ධනේශ්වර ආන්ඩුවකි. සසප ඉල්ලීම්, ග්‍රාමීය ජනතාව මෙහෙයවා ගන්නා කම්කරු පන්තියේ දේශපාලන බලය සඳහා අරගලයට සහ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම කරා අනවරතයෙන්ම ගමන් කරයි.
පෙසප විසින් පිටුබලය ලබන විරුද්ධ පක්ෂ විසින් පිහිටුවනු ලබන නව ධනේශ්වර ආන්ඩුවක්—එනම්, මහජන ආන්ඩුවක්—සමාජීය වශයෙන් ප්‍රතිගාමී වන ජාමූඅ පියවර පනවනු ඇත. සසප, රට පුරා කම්කරුවන්ගේ සහ ග්‍රාමීය දහඩිය හෙලන්නන්ගේ ක්‍රියාකාරී කමිටු වලින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කර ගන්නා නියෝජිතයින් මත පදනම්ව, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් (ප්‍රසස) රැස්කිරීමට කැඳවුම් කරයි.
පසුගිය වසරේ ජුලි 20 දා නිකුත් කරන ලද සසප ප්‍රකාශය මෙසේ පැහැදිලි කරයි: “කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා වන සසප කැඳවුම, කම්කරු පන්තියට සිය බලවේග තහවුරු කර ගැනීමටත්, ග්‍රාමීය ජනතාවගේ ක්‍රියාකාරී සහයෝගය දිනා ගැනීමටත් දේශපාලන මූලෝපායක් සපයන අතර, සමාජවාදී මාවත් ඔස්සේ සමාජය ප්‍රතිව්‍යුහගත කිරීමට කැපවී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් හරහා තමන්ගේම පාලනයක් සඳහා පදනම සපයා දෙයි.” මෙය දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා වන පුලුල් අරගලයේ කොටසක් විය යුතුය.
'අර්බුදයට සැබෑ විකල්පය' ලෙස 'සමාජවාදය' ගැන පවා පෙසප කතා කලද, එය ලාභ පද්ධතියේ රාමුව තුල සම්පූර්නයෙන්ම ප්‍රතිසංස්කරනවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට දැමීමට කැඳවීමක් මිස අන් කිසිවක් නොවේ. 'අසමානතාවය අවම කිරීම' සඳහා එය 'සාධාරන ආර්ථිකයක්' ඉල්ලා සිටී. එය මෙසේ තර්ක කරයි: “නිෂ්පාදනය වැඩි කරන්න නම්, නිෂ්පාදකයාට, එම නිෂ්පාදනය වෙනුවෙන් ශ්‍රමය හෙලන ශ්‍රමිකයාට සාධාරන කොටසක් හිමිවෙන්න ඕන. ඒ නිසා නිෂ්පාදනය ඉහල නැංවීම මුලුමනින්ම ප්‍රතිලාභ බෙදීයාම සාධාරන පදනමකින් සිදු කරන ආර්ථිකයක් සමඟ බැඳී තිබෙනවා. සමාජවාදය එකම විකල්පය බව අප කියන්නේ , ධනවාදයට පොඩි පොඩි පැලැස්තර දැමීමෙන් මේ කිසිදු ප්‍රශ්නයක් නොවිසෙඳෙන නිසා.”
එහි ප්‍රකාශයන් කුමක් වුවත්, පෙසප යෝජනා කරන්නේ ධනවාදයට ආටෝපමය වෙනස්කම් හැර අන් කිසිවක් නොවේ. ධනේශ්වර පුද්ගලික දේපල හා ලාභ ඉපැයීම නොවෙනස්ව තබා ගනිමින් කම්කරු පන්තියට 'සාධාරන කොටසක්' ලබාදෙන ලෙස පෙසප ඉල්ලා සිටී. එහි 'සාධාරන කොටස' සඳහා වන ඉල්ලුම ද නිෂ්පාදනය වැඩි කිරීම—එනම් සංගතවල ලාභ ඉහල නැංවීම මත රඳා පවතී. පෙසප ධනේශ්වර පන්තියට උපදෙස් දෙන්නේ, ලාභ ඉහල නැංවීම සඳහා කම්කරුවන්ට 'සාධාරන කොටසක්' ලබාදිය යුතු බවයි.
සමාජවාදය යනු ධනේශ්වර හිමිකරුවන් සහ කම්කරුවන් අතර 'සාධාරන පදනමක් මත ... ප්‍රතිලාභ බෙදා හැරීම' නොව, තම ශ්‍රම ශක්තිය සූරාකෑම මගින් කම්කරුවන්ගෙන් අතිරික්ත වටිනාකම් ලබා ගන්නා ධනවාදය පෙරලා දැමීම සහ නිෂ්පාදන මාධ්‍ය මත කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ස්ථාපිත කිරීම ය. පෙසප විසින් යෝජනා කරන ලද ව්‍යාජ “සමාජවාදය” යනු, ලාභ පද්ධතියට කිසිසේත්ම අභියෝගයක් නොවන “සාධාරන දිනක වැඩකට, සාධාරන දෛනික වැටුපක්,” යන පැරනි වෘත්තීය සමිති ආදර්ශ පාඨයේ තවත් අනුවාදයකට වඩා වැඩි දෙයක් නොවේ.
එපමනක් නොව, පෙසප සිය ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ, ලංකාවේ පමනක් නොව ගෝලීය වශයෙන් ධනවාදයේ ඓතිහාසික ආර්ථික බිඳවැටීමේ කොන්දේසි තුලයි. පාලක පන්තීන් “සාධාරන කොටසක්” ලබා නොදෙනවා පමනක් නොව, ඔවුන්ගේ බංකොලොත් සමාජ පර්යායට රුකුල් දීම සදහා වැඩකරන ජනයා මත දැවැන්ත නව බරක් පැටවීමට අධිෂ්ඨාන කරගෙන සිටිති. මූර්ත වැටුප් කප්පාදුව, දැඩි සේවා කොන්දේසි සහ රාජ්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ විශ්‍රාම වැටුප් වැනි අත්‍යාවශ්‍ය සමාජ සේවා කප්පාදුව බාරගන්නා ලෙස සෑම රටකම කම්කරුවන්ට අනවනු ලැබේ.
පෙසප, ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලනය මුහුන දෙන ආර්ථික අර්බුදය 'වැරදි ආර්ථික ප්‍රතිපත්ති'—එනම්, 1977 සිට අනුප්‍රාප්තික ආන්ඩු විසින් ගෙන ඇති අතිවිශාල විදේශ නය ද ඇතුලු 'නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති'—වෙත පවරමින් ' නව ලිබරල් ප්‍රතිපත්ති ඒවායේ පදනමින් ම වෙනස් කල” යුතුයයි ඉල්ලා සිටී.
කෙසේ වෙතත්, නව ලිබරල් ප්‍රතිපත්ති, ලෝක ආර්ථිකයේ මූලික වෙනස්කම් හා සියලු ආකාරයේ ජාතික ආර්ථික නියාමනයන්ට වල කැපූ නිෂ්පාදනයේ ගෝලීයකරනය සමඟ සම්පුර්නයෙන්ම බැඳී පැවතුනි. ලංකාවේ ආන්ඩු පමනක් නොව, ලෝකයේ සෑම රටක්ම ගෝලීය ප්‍රාග්ධනයට දොරටු විවර කරමින් “තම” කම්කරුවන් ගෝලීය සංගතවලට ලාභ ශ්‍රමය ලෙස පිරිනමමින් අත්‍යවශ්‍ය සේවා පෞද්ගලීකරනය කලේය. ජාතික වශයෙන් නියාමනය කරන ලද ධනේශ්වර ආර්ථිකයක කාල වකවානුවකට නැවත යාමක් යෝජනා කිරීම මනෝරාජික සිහිනයකි.
නිෂ්පාදනයේ ගෝලීයකරනය වෙත හැරීම සිදු වූයේ 1960 ගනන් අග සහ 1970 ගනන් මුල ගෝලීය ධනවාදයේ පසුගිය මහා අර්බුදයට ප්‍රතිචාරයක් වශයෙනි. එය ධනවාදයේ මූලික ප්‍රතිවිරෝධතා විසඳනවා වෙනුවට, වඩාත් ඉහල නංවා ඇති අතර, පාලක පන්තීන්ට තම ප්‍රතිවාදීන්ට එරෙහි යුද්ධය සහ කම්කරු පන්තියට එරෙහි පන්ති යුද්ධය හැර වෙනත් විසඳුමක් නැති ගැඹුරු ආර්ථික අර්බුදයකට තුඩු දී ඇත.
පෙසප තර්කවලට විපරීතව, ලංකාව මුහුන දෙන ආර්ථික අර්බුදයේ මූල හේතුව වන්නේ, කොවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය විසින් ඉමහත් ලෙස තීව්‍ර කරන ලද ගෝලීය ධනවාදයේ අර්බුදයයි. යුක්‍රේනය තුල යුද්ධය සහ විශේෂයෙන් රුසියාවට එරෙහි එක්සත් ජනපද හා යුරෝපීය සම්බාධක, ගෝලීය සැපයුම් දාමයන් දැඩි ලෙස කඩාකප්පල් කරමින්, ගෝලීය හිඟයකට මග පාදා ඇත. එය ආහාර, ඉන්ධන සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගනන් අහස උසට නැඟීමට තුඩු දීම, ශ්‍රී ලංකාවට විශේෂයෙන් දැඩි ලෙස බලපා ඇත.
පෙසප “අධිරාජ්‍යවාදී උගුල් වලින් තොර ආර්ථිකයක්” ඉල්ලා සිටිමින්, ශ්‍රී ලංකාවේ විදේශ නය අහෝසි කිරීම සඳහා ආර්ථික විද්‍යාඥයින් සහ විද්වතුන් 134 දෙනෙකුගේ ආයාචනයක් උපුටා දක්වයි. “නය අහෝසි කිරීම සඳහා ලෝක මතයක් වර්ධනය කිරීමේ” දී මෙම කන්ඩායමට සම්බන්ධ වීමට වික්‍රමසිංහ ආන්ඩුව අපොහොසත් වී ඇති බවට එය චෝදනා කරයි. මොන විගඩමක්ද! පලමුව පෙසප යෝජනා කරන්නේ, ආටෝපමය ප්‍රතිසංස්කරන සඳහා ශ්‍රී ලංකාවේ ධනේශ්වර පක්ෂවලට බලපෑම් කිරීමට ය. ඉන්පසුව එය ශ්‍රී ලංකාවේ විදේශ නය අවලංගු කරන ලෙස අධිරාජ්‍යවාදී බලවතුන්ට සහ බැංකුවලට සහ ගෝලීය මූල්‍ය ආයතනවලට බලපෑම් කිරීමට යෝජනා කරයි.
මෙය කිසිදා සිදු නොවේ. සසප අවධාරනය කරන්නේ සියලු විදේශ නය කම්කරු පන්තියේ නොව ධනේශ්වර පන්තියේ සහ එහි ආන්ඩුවල අවශ්‍යතා සපුරාලීම සඳහා වන බැවින් ඒවා ගෙවීම මුලුමනින්ම ප්‍රතික්ෂේප කල යුතු බවයි.
පෙසප ගෝලීය බලවතුන් වෙත කරන බෙලහීන ආයාචනයෙන් සරලව අවධාරනය කෙරන්නේ ලංකාවේ හෝ ලෝකයේ වෙනත් ඕනෑම තැනක වැඩකරන ජනතාව මුහුන දෙන දැවෙන ප්‍රශ්න කිසිවක් ජාතික පදනමක් මත විසඳිය නොහැකි බවයි. යුද්ධය, දේශගුනික විපර්යාස හෝ කොවිඩ්-19 වසංගතය වැනි නොඉවසියහැකි සමාජ තත්වයන්ට එරෙහි දේශපාලන අරගලය සඳහා අධිරාජ්‍යවාදයට සහ ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ ආර්ථික ආධිපත්‍යයට එරෙහිව පීඩිත ජනතාව සමග ජාත්‍යන්තරව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම අවශ්‍ය වේ.
කුනු වූ ධනේශ්වර ක්‍රමය ප්‍රතිසංස්කරනය කල නොහැක. එය කම්කරු පන්තිය විසින් පෙරලා දැමිය යුතු අතර, සසප විසින් යෝජනා කරන පරිදි, සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා සමාජය ප්‍රතිනිර්මානය කල යුතුය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛා විසින් ලොව පුරා ගෙන යන දේශපාලන අරගලයේ කොටසක් ලෙස, එම ඓතිහාසික කර්තව්‍යය ඉටු කිරීමට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමට අප හා එක්වන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.