ජාමූඅ කප්පාදුවට එරෙහිව කම්කරුවන් බලමුලුගැන්වීමේ සසප සටනට එරෙහි ජවිපෙ වෘත්තීය සමිති මැර තර්ජනවලට විරුද්ධ වනු

(මෙය Oppose JVP trade union thuggery against SEP’s fight to mobilise Sri Lankan workers against IMF austerity මැයෙන් 2023 ජූලි 15දා පල කල සසප ප්‍රකාශයේ පරිවර්තනය යි.)

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව පටවමින් සිටින, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පියවරවලට එරෙහි ව කම්කරුවන් බලමුලුගන්වනුවස්, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාවේ යෙදවීම වැලැක්වීමට, ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අනුබද්ධ වෘත්තීය සමිතිවල නිලධරයෝ මෑත මාස කිහිපය තුල උත්සාහ දරා ඇත්තාහ.

සේවක අර්ථසාධක අරමුදල ආරක්ෂා කරගැනීම සඳහා 2023 ජූලි 10දා කොලඹ වරායෙන් පිටත විරෝධතාවේ යෙදෙන වරාය කම්කරුවෝ

ලංකාවේ ධනපති ආර්ථිකය ආරක්ෂා කරගැනීමේ හැකියාව ඇති එක ම පක්ෂය තමන් බව කියමින්, දේශපාලන බලය සඳහා ඔට්ටු අල්ලමින් සිටින ප්‍රජාගනවාදී ජවිපෙහි දේශපාලන ක්‍රියා මාර්ගය සමග, මෙම වෘත්තීය සමිති නිලධරයන්ගේ ක්‍රියාවන් එකපෙලට සිටී. ජවිපෙ පෙරමුනු සංවිධානය වන ජාතික ජන බලවේගයේ අනාගත ආන්ඩුවකට සහයෝගය දීමට, ජාමූඅ-විධානිත පියවරවලට එරෙහි ව වැඩෙන කම්කරු-පන්තික විරුද්ධත්වය අපසරනය කිරීම පිනිස, ජවිපෙ වෘත්තීය සමිති උත්සාහ දරමින් සිටිති.

කම්කරුවන් සමග සසප සාකච්ඡා නවතා දැමීමට මංමුලා සහගත වන ජවිපෙ වෘත්තීය සමිති මැරයෝ, සසප උද්ඝෝෂකයන්ට තර්ජනය කර, කායික ප්‍රචන්ඩත්වය යොදා ගනිමින්, අවස්ථා ගනනාවක දී ම එම උද්ඝෝෂකයන්ගෙන් ලිපි හා පත්‍රිකා පැහැර ගත්හ.

ජූලි 10දා, ශ්‍රී ලංකා ආන්ඩුව විසින් රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය කිරීමට එරෙහි වනු! රැකියා සහ වැටුප් සඳහා සටන් කිරීමට කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනඟමු!නමැති පත්‍රිකාව, කොලඹ වරායේ ප්‍රධාන පිවිසුම ඉදිරිපට ඛාන් ඔරලෝසු කනුව අසල දී සසප සාමාජිකයෝ බෙදා හැරිය හ. “ඊපීඑෆ් හා ඊටීඑෆ් මංකොල්ල කෑමට එරෙහි ව්‍යාපාරය” නමැති වරාය වෘත්තීය සමිති සන්ධානය පැවැත්වූ රැලියකින් අනතුරු ව එය සිදු විය.

එක්වර ම එක් උද්ඝෝෂකයෙකුගෙන් පත්‍රිකා සිය ගනනක් උදුරාගත් වෘත්තීය සමිති මැරයෝ, තවත් උද්ඝෝෂකයෙකුට කුනුහරුපයෙන් බැනවදිමින් අඩන්තේට්ටම් කල හ. කොලඹ වරායේ සිටින සසප සබඳතාවල සහයෝගය සමගින්, එම මැරයන්ගෙන් එක් අයෙකු ජවිපෙ හා එහි වෘත්තීය සමිතියේ සාමාජිකයෙකු බව හඳුනාගෙන ඇත.

ජවිපෙට අනුබද්ධිත වෘත්තීය සමිති මැරයෝ සසප උද්ඝෝෂකයන්ට පහර දෙති

ජවිපෙ නායකයෙකු වන නිරෝෂන් ගොරකාන ප්‍රධානත්වය දරන සමස්ත ලංකා වරාය සේවක සමිතිය වරාය වෘත්තීය සමිතිවල මධ්‍යම සංවිධානය වන අතර, එයට ස්වාධීන වරාය සේවක සමිතිය සහ වරාය හා ඩොක් කම්කරු සමිතිය ද ඇතුලත් වෙති. මෙම සමිතිවල නායකයන් සසප සාමාජිකයන්ට එරෙහි ප්‍රහාරය දෙස නිශ්ශබ්ද ව බලා සිටිමින් එය සිදුවීමට ඉඩහල හ.

පසුව ඔවුන්ගේ සමාජ මාධ්‍ය සහයෝගීකරුවෝ සසපට මඩගැසීමේ දුෂ්ට උත්සාහයක යෙදෙමින්, “රනිල්ගේ කන්ඩායමක් විරෝධතා උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමට එවති” යන ශීර්ෂය සමගින් යූටියුබ් මත සිද්ධිය පිලිබඳ වීඩියෝ පටයක් පල කලහ.

එහෙත් එදින සවස සිරසටීවී ප්‍රවෘත්ති ප්‍රකාශය, ඛාන් ඔරලෝසු කනුව අසල සිද්ධිය වාර්තා කරමින්, සසප සාමාජික එස්. කේ. කීර්ති වෘත්තීය සමිති මැරයන්ගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවන් පැහැදිලි කිරීම විකාශය කලේ ය.

2023 ජූලි 10දා කොලඹ වරායෙන් පිටත දී, සසප සාමාජික එස්. කේ. කීර්ති වෘත්තීය සමිති නිලධරයන් විසින් සිදු කල ප්‍රකෝපකරනය පිලිබඳ ව මාධ්‍යයට කියයි

ජුනි 20දා, කොලඹ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පිවිසුම අසල සසප කන්ඩායමක් පත්‍රිකා බෙදමින් සිටියේ ය. ටෙලිකොම් යනු වහා පුද්ගලීකරනය කිරීම සඳහා ආන්ඩුව විසින් ඉලක්ක කරන රාජ්‍ය ව්‍යවසායයන්ගෙන් එකකි. සසප සාමාජිකයන්ට තර්ජනය කල ජවිපෙ වෘත්තීය සමිති නිලධරයන් කිහිප දෙනෙක් “වෘත්තීය සමිති නායකයන් විවේචනය කරන ඔය පත්‍රිකා මෙතන බෙදන්න එපා” යි ප්‍රකාශ කල හ.

ටෙලිකොම් කම්කරුවන් අතර උද්ඝෝෂනය කිරීමට තමන්ට පවතින ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පැහැදිලි කරමින්, සසප කන්ඩායමේ සාමාජිකයෝ වෘත්තීය සමිති නිලධරයන්ට අභියෝග කල හ. ටෙලිකොම් සේවකයන්ගෙන් සහයෝගයක් දිනාගැනීමට අසමත් වූ නිලධරය පසු බැස ගියේ ය.

පෙබරවාරි 8දා, කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී සසප පත්‍රිකා පැහැරගත් නිරෝෂන් ගොරකාන, අපේ කන්ඩායමේ එක් සාමාජිකයෙකුට කායික ව පහර දුන්නේ ය. ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහි ව විරෝධතාවක් පැවැත්වීමෙන් පසුව, සසප කන්ඩායමේ සාමාජිකයෝ කොලඹ වරායේ සහ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මන්ඩලයේ කම්කරුවන්ට කතා කරමින් සිටිය හ .

සමස්ත ලංකාව වරාය කම්කරු සමිතියේ ප්‍රධානී හා ජවිපෙ නායක නිරෝෂන් ගොරකාන.

සසප පත්‍රිකා තුල වෘත්තීය සමිති පිලිබඳ විවේචන තිබෙන නිසා, ඒවා බෙදිය නො හැකි බව කියමින් ගොරකාන සසප උද්ඝෝෂකයන්ට තර්ජනය කලේ ය. අඛන්ඩ ව තම උද්ඝෝෂනය ගෙන ගිය සසප සාමාජිකයන්ට එරෙහි ව කම්කරුවන් කිසිදු ආකාරයකින් මෙහෙයවා ගත නො හැකි වූ නිසා ගොරකානට පසුබැසීමට සිදු විය. ජවිපෙ සමිති නායකයාගේ ක්‍රියාව ප්‍රජාතන්ත්‍ර-විරොධී යයි හෙලාදැකීමට කම්කරුවන් කිහිප දෙනෙක් ඉදිරියට ආවෝ ය.

වික්‍රමසිංහ පාලනය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට එල්ල කරන ප්‍රහාරවලට එරෙහි ව සටන් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ගය සාකච්ඡා කරනුවස්, ජූලි 6දා පැවැත්වූ ප්‍රසිද්ධ රැස්වීම සඳහා කල උද්ඝෝෂනය තුල දී, වෘත්තීය සමිති මැරයන් ජූලි 10දා පැහැරගත් සසප පත්‍රිකාව, පලමුව ලෝක සමාජවාදී වෙබ් අඩවිය මත පලකරනු ලැබිනි. එය මෙසේ විස්තර කලේ ය: “ගම්බද දුගීන්ගේ සහයෝගය සහිත ව ආන්ඩුවේ කප්පාදුවට එරෙහි ව සමාජවාදී ක්‍රියා මාර්ගයක් මත සටන්වදිනුවස්, කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලුගැන්වීමේ සසප උද්ඝෝෂනයට, වෘත්තීය සමිති සහ ව්‍යාජ-වම කටුක ලෙස විරුද්ධ ය.

“(2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීම විසින්) රාජපක්ෂ බලයෙන් පහකිරීමෙන් පසුව, කිසිදු සැලකිය යුතු මහජන සහයෝගයක් නැති දක්ෂිනාංශික රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තුව තුල සිදු කල ප්‍රජාතන්ත්‍ර-විරෝධී ඡන්දයක් හරහා ජනාධිපති ධූරයේ පිහිටුවීමට පාලක පන්තිය සමත් වූයේ, වෘත්තීය සමිතිවල ද්‍රෝහීත්වයේ ප්‍රතිඵලයක් ලෙසිනි.”

ජවිපෙ වෘත්තීය සමිති නිලධරයන්ගේ මැර ක්‍රියා හෙලාදකින ලෙසත්, අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන ලෙසත්, සසප කම්කරු පන්තියට හා තරුනයන්ට කැඳවුම් කරයි.

වැඩපොලවල හා සෑම ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක ම, ධනපති පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සසප කරන කැඳවුම පිලිබඳ ව, වෘත්තීය සමිති නිලධරය විශේෂයෙන් ම භීතියට පත්ව ඇත. වෘත්තීය සමිති යලි යලිත් සිදු කරන පාවාදීම් අරභයා, ඒවාට එරෙහි සතුරු කම වර්ධනය වෙමින් තිබෙන කම්කරුවන් අතර, මෙම ඉල්ලීම අනුනාද වෙතැයි ඔවුහු බිය වෙති. කොලඹ වරාය ඇතුල වැඩපොලවල් කිහිපයක ම, සමහර කම්කරුවෝ සසපට ප්‍රතිචාර දක්වමින් ක්‍රියාකාරී කමිටු තනාගෙන ඇත.

ජවිපෙට අනුබද්ධ ඒවා ද ඇතුලු වෘත්තීය සමිති, කොලඹ ආන්ඩුවේ ප්‍රහාර කෙරෙහි වැඩෙන කම්කරු-පන්තික විරුද්ධත්වයට ප්‍රතිචාර ලෙස විරෝධතා කැඳවා ඇතත්, එම ක්‍රියාවන් අතිශයින් සීමාකොට හා හුදකලා කොට ආන්ඩුවට හා කලමනාකාරීත්වයට කරන නිෂ්ඵල ආයාචනයන් බවට සෑම විට ම පත් කොට ඇත.

උදාහරනයක් ලෙස, ජවිපෙට අනුබද්ධ වෘත්තීය සමිති, විශ්‍රාම වැටුප් කප්පාදු පිලිබඳ ව සාකච්ඡාවක් ඉල්ලමින් මෑත දී මහ බැංකුවේ අධිපතිවරයාට ලියූ හ. මහ බැංකු අධිපතිවරයා කේන්දීය ලෙස නිමග්න වී සිටින්නේ, ආන්ඩුවේ හා ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ම්ලේච්ඡ කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීමෙහි ය.

ජවිපෙහි ප්‍රතිගාමී දේශපාලනය අඛන්ඩව ව හෙලිදරවු කර තිබෙන නිසා, සසපට හා එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට ජවිපෙ තදබල ලෙස හතුරු ය.

ජාමූඅ වෙත යාම “අනිවාර්ය” බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, කප්පාදු පියවරයන් පැටවීමට වික්‍රමසිංහ අසමත් වෙතැයි උත්සුක ය. ධනපති පාලනයට තර්ජනයක් ගෙන එන මහජන විරුද්ධත්වය සීමා කරගැනීමට අපකීර්තිමත් වික්‍රමසිංහ පාලනය අසමත් වනු ඇතැයි, ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වන සමගි ජන බලවේගය මෙන් ජවිපෙ ද බිය වෙයි.

මාඕවාදයේ, කස්ත්‍රෝවාදයේ හා සිංහල දේශප්‍රේමයේ විෂකුරු මිශ්‍රනයක් මත පදනම් ව, 1960 ගනන් අග දී ජවිපෙ ඉස්මතු විය. ගෝලීය ධනවාදයේ වර්ධනය හා ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය බිඳ විසිරවීම විසින් එහි රැඩිකල් මවාපෑම්වලට වලකපනු ලැබූ විට, ගෝලීය අනෙකුත් ජාතිකවාදී සංවිධාන මෙන් ජවිපෙ ද ධනේශ්වර සංස්ථාපිතයේ පක්ෂයක් බවට පරිවර්තනය විය.

තව ද, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ව 1983 දී ආරම්භ කරන ලද, 26-අවුරුදු ම්ලේච්ඡ දෙමල-විරෝධී වාර්ගික යුද්ධයේ ප්‍රබල සහකරුවෙක් ලෙස ජවිපෙ ක්‍රියා කලේ ය. 1987-1990 ඉන්දියානු-විරෝධී ස්වෝත්තමවාදී උද්ඝෝෂනය තුල දී, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත්වල පදනම මත වාර්ගික රේඛා හරහා කම්කරු පන්තියෙහි එකමුතුව වෙනුවෙන් අපේ පක්ෂය සටන් වැදීම නිසා, ජවිපෙ තුවක්කුකරුවෝ සසප/විකොස සාමාජිකයන් තිදෙනෙකු මරා දැමූ හ.

පසුගිය දශක තුන පුරා, ජවිපෙ එක් හෝ තවත් ධනපති පක්ෂයක් සමග පෙලගැසී ඇත. 2004 දී එය, ඇමති තනතුරු හතරක් භාරගනිමින්, ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ආන්ඩුවට සම්බන්ධ විය. 2015 ජනාධිපතිවරනය සමයේ -වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය සමගින්- ජවිපෙ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයේ ස්ථාපිත කරනු ලැබීමට පිටුබලය දුන් අතර, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය දෙසට විදෙස් පිලිවෙත තියුනු ලෙස මාරු කිරීමට සිරිසේන ක්‍රියා කලේ ය.

ආන්ඩුවේ කප්පාදු පියවරවලට එරෙහි ව සටන් කිරීම පිනිස, තමන්ගේ වැඩපොලවල්, කම්හල්, වතු හා නිවහන් ප්‍රදේශවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු සංවිධානය කරන ලෙස, සසප කම්කරුවන්ගෙන් ඉල්ලයි. මෙම ක්‍රියාකාරී කමිටු තුල වෘත්තීය සමිති නිලධරයන්ට හා ධනපති දේශපාලනඥයන්ට ඉඩක් නැත.

ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගය මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන දේශපාලනික අරගලයකට පහසුකම් සපයනු ඇති, ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනගන ලෙස සසප කැඳවුම් කරයි.

කම්කරුවන් ලංකාවේ ධනවාදයට ගැටගැසීම තුලින්, කම්කරුවන් හා දුගීන් මතට අනුකම්පා විරහිත සමාජ ප්‍රහාර වැඩි දියුනු කිරීම සඳහා වික්‍රමසිංහට හා ඔහුගේ ආන්ඩුවට ජවිපෙ හා වෘත්තීය සමිති කොන්දේසි නිර්මානය කර දී ඇත. මෙම මහා ව්‍යාපාරික ක්‍රියා මාර්ගයට එරෙහි විප්ලවවාදී විකල්පයක් ඉදිරිපත් කරන එක ම පක්ෂය සසප පමනි. එම පක්ෂයට බැඳී, මෙම සටන සියතට ගන්නා ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.