ප්‍රාදේශීය වතු සමාගම් ප්‍රතිව්‍යුහකරනය යටතේ කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසිවලට එරෙහි ප්‍රහාරය තීව්‍ර කෙරෙයි

ප්‍රාදේශීය වැවිලි සමාගම් (ප්‍රාවැස) වලට දීර්ඝ කාලීනව බදු දී ඇති වතුකරය ප්‍රතිව්‍යුහකරනය කිරීමට වික්‍රමසිංහ ආන්ඩුව තීන්දු කර ඇත. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියෝග කර ඇති ආර්ථික කප්පාදු වැඩපිලිවෙලට සම්බන්ධිතව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරනයේ කොටසකි.

ඒ අනුව ප්‍රාදේශීය වැවිලි සමාගම් සමග පවතින බදු ගිවිසුම් අලුත් කිරීම, 'නිසි කලමනාකරනයක් නැති වතු' නව ආයෝජකයන් ට ලබාදීම, විකිනීම හෝ සංචාරක කලාප පිහිටුවීම සිදු කෙරෙයි.

ආන්ඩුව මෙය “කෘෂිකාර්මික නවීකරනය” යනුවෙන් නම්කර ඇති අතර ඊට මහවැලි අධිකාරිය සහ එහි ඉඩම් ද අයත් වෙයි. වතු සම්බන්ධයෙන් වෙන ම වතු ප්‍රතිසංස්කරන කමිටුවක්” වික්‍රමසිංහ විසින් පත්කර ඇත. අප්‍රේල් 26 වෙනිදා එම කමිටු සාමාජිකයන් සමග පැවති සාකච්ඡාවක දී, “ආන්ඩුව කෘෂිකර්ම නවීකරනය සඳහා ඉදිරියට යන්නේ නම් එය අලුතෙන් බදුදීම් කලයුතු” බව පැවසූ වික්‍රමසිංහ, ඒ සඳහා “නව බදු පදනමක්” සොයා බලන ලෙස වතු ප්‍රතිසංස්කරන කමිටුවට උපදෙස් දුන්නේ ය.

එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව 1987 දී රාජ්‍ය වැවිලි කර්මාන්තය රාජ්‍ය සමාගම් බවට පරිවර්තනය කල අතර, 1992 දී එම සමාගම් පුද්ගලික අංශයට වසර පනහකට බදු දුන්නේ ය. බදු කල් පිරීමට තව වසර විස්සක පමන කාලයක් පවතින නමුත්, ආන්ඩුවේ සුදානම ඊට පෙරාතුව නව බදුදීම් ක්‍රියාවට දැමීමයි. කෘෂිකර්මාන්තය නවීකරනය කිරීමේ දී ප්‍රාවැස 'නැවත බදු දීමේ පදනම සොයා බැලීමට” ජනාධිපති වික්‍රමසිංහ අප්‍රේල් මුල දී වතු ප්‍රතිසංස්කරන කමිටුව යොමු කලේය.

ප්‍රාවැස නියෝජිතයන් සමග ජූනි 20 පැවති සාකච්ඡාවක දී වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ ආන්ඩුවේ සැලස්ම ගැන ඔවුන්ට දැනුම් දුන් අතර ප්‍රතිව්‍යුහකරනය සඳහා ආන්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ඔවුහු එකඟතාවය පල කලහ.

ඉන්දියානු සංචාරක සම්මේලනය විසින් ජූලි 6 වැනිදා කොලඹ දී පවත්වන ලද “දේශසීමා අභිබවනය-ජීවිත පරිවර්තනය” (Transcending Borders – Transforming Lives) නම් වූ වැඩසටහනක දී වික්‍රමසිංහ සඳහන් කලේ, වතු බංගලා විශාල සංඛ්‍යාවක් සංචාරක සාප්පු බවට පරිවර්තනය කරන බවයි. එය වතුකරයේ තෝරාගත් ප්‍රදේශ සංචාරක කලාප බවට පරිවර්තනය කිරීමේ කොටසකි.

රැකියා හා වැටුප් කප්පාදු කරමින් ද, වැඩ බර වැඩි කරමින් ද වතු කම්කරුවන්ගේ සමාජ අයිතීන් වලට එල්ල කෙරෙමින් පවතින ප්‍රහාරය ප්‍රතිව්‍යුහකරනය තුල දී තියුනු කෙරෙනු ඇත. 2014 සිට ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය මුහුන දී ඇති අර්බුදය තුල ලාබ රේට්ටු ඉහල දමා ගැනීමේ දී නිෂ්පාදන ඵලදායිතාවය වර්ධනය කර ගැනීම වතු සමාගම් වල මුලික ඉලක්කයකි. දෛනිකව නෙලන තේ දලු ප්‍රමානය වැඩි කිරීම සහ තේ පඳුරු එක්දහස් පන්සියයක් පමන වූ බිම් කට්ටිවල නඩත්තුව මුලුමනින්ම කම්කරුවන්ට පැවරෙන ආදායම් බෙදීමේ ක්‍රමය දැනටමත් ක්‍රියාවට දමා ඇත.

ඊට අමතරව, දලු නෙලන යන්ත්‍ර යොදා ගැනීමේ අත්හදා බැලීම් කෙරෙයි. නවීන තාක්ෂනය කම්කරුවන්ගේ වැඩ කාලය සහ කායික වෙහෙසීම අවම කරන නමුත් ධනපති ක්‍රමය තුල තාක්ෂනය යොදා ගැනෙන්නේ කම්කරුවන්ගේ රැකියා කප්පාදුවට හා වැඩ වේගවත් කිරීම සඳහා ය.

වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමති සහ වතු සමාගම් නියෝජිතයන් අතර පැවැති ඉහත සාකච්ඡාවේ දී වතු කම්කරුවන්ගේ හා ඔවුන්ගේ දරුවන්ගේ සමාජ සුබසාධනය වෙනුවෙන් නිවාස, මාර්ග සහ ලමා සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කිරීම සහ නඩත්තුව සඳහා පසුගිය දසක තුන තුල වතු සමාගම් විසින් බිලියන ගනනක් වැය කර ඇති බව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදුරෙයි පැවසීය.

එහෙත් සත්‍යය එහි ප්‍රතිවිරුද්ධයයි. පුද්ගලික සමාගම් වලට වතු පැවරීමෙන් අනතුරුව කම්කරුවන්ගේ සමාජ සහ වැඩ කොන්දේසි බරපතල ලෙස පිරිහුනි. 1990 දී 405,304 වූ ලියාපදිංචි වතු කම්කරුවන් සංඛ්‍යාව මේ වන විට 115,000 දක්වා පහත වැටී ඇත. ඊට ප්‍රධාන වශයෙන් බල පා ඇත්තේ ජීවන වියදමට සරිලන වැටුපක් නොලැබීම සහ දුෂ්කර වැඩ කොන්දේසි නිසාවෙන් වතු කම්කරුවන් සහ තරුනයන් නගරවලට සහ විදේශවලට සංක්‍රමනයවීමයි.

වතු කම්කරු පවුල් බහුතරයක් තවමත් ජීවත් වන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන යුගයේ තැනූ සිය වසකට වඩා පැරනි තනි හෝ කාමර දෙකක් සහිත අබලන් ලයින් කාමරවල ය. ප්‍රමානවත් සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් නැත. දරිද්‍රතාවය, විරැකියාව හා ලමා මන්ද පෝෂනය ඉහලින් ම පවතින්නේ වතු කම්කරු ජනයා අතරයි.

රුපියල් දහසක දෛනික වැටුපක් ඉල්ලා 2021 දී වතු කම්කරුවන් ගෙනගිය දීර්ඝ අරගලයක් මාධ්‍ය යේ එය සමනය කිරීම සඳහා වතු කම්කරු වැටුප රුපියල් දහසක් ලෙස රාජපක්ෂ ආන්ඩුව විසින් ප්‍රකාශයට පත් කෙරුනි. එහෙත්, දෛනික දලු නෙලීමේ ප්‍රමානය කිලෝ දෙකකකින් වැඩි කිරීමෙන් සහ ඉලක්කය සැපිරීමට අසමත් වන විට වැටුප් හරි අඩකින් කැපීමෙන් වතු සමාගම් එය පැහැරහැර තිබේ. ඒ අනුව, කම්කරුවෙකුට දෛනිකව ලැබෙන්නේ රුපියල් 700ක් හෝ ඊට අඩු මුදලකි.

වැඩ වේගවත් කිරීමට සහ වැටුප් කප්පාදුවට එරෙහිව, පිලිවෙලින් මස්කෙලිය, තලවාකැලේ සහ හැටන් හි පිහිටි, ඕල්ටන්, කටුකැලේ සහ වැලිඔය වතුවල මෑත දී පැනනැගුන කම්කරු අරගල මර්දනය කිරීම සඳහා වතු පාලකයෝ, වෘත්තීය සමිති සහ පොලීසිය ඒකාබද්ධ කුමන්ත්‍රනවල යෙදුනහ.

වතු හාම්පුතුන් සමග සාකච්ඡාවේ දී එවන් අරගල ප්‍රචන්ඩ ක්‍රියා ලෙස හංවඩු ගැසූ වැවිලි රාජ්‍ය ඇමති රත්වත්තේ, වතුකරය තුල “නීතිය සහ සාමය තහවුරු කිරීම සඳහා හා වරදකරුවන්ට එරෙහිව දැඩි පියවර” ගන්නා බව සඳහන් කලේ ය

පසුගිය දශක තුන තුල වතු කම්කරුවන් මත මෙම ව්‍යසනය පැටවීමට වතු සමාගම් වලට සහයෝගය දුන් වතු වෘත්තීය සමිති නව වටයකින් එම ප්‍රහාර තීව්‍ර කෙරන ප්‍රතිව්‍යුහකරනය ට සහයෝගය ප්‍රකාශ කර ඇත. ජූනි 20 ඩේලි එෆ්ටි පත්‍රයට දුන් සම්මුඛ සාකච්ඡාවක දී ලංකා ජාතික වතු කම්කරු සංගමයේ (ලජාවකස) සභාපති වඩිවේල් සුරේෂ් සහ දෙමල ප්‍රගතිශීලී සන්ධානයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොන්ග්‍රසයේ (ඩීඩබ්ලිව්සී) නායක මනෝ ගනේෂන් වතු පුද්ගලික සමාගම් වල පරිපාලනය යටතේ තිබීම ගැන “විරුද්ධත්වයක්” නැති බවත් “ප්‍රතිව්‍යහුකරනය” කල යුතු බවත් පැවසූහ.

“පෞද්ගලික සමාගම් වතු කලමනාකරනය කරනවාට අපේ විරුද්ධත්වයක් නැහැ. කෙසේ වෙතත්, කම්කරුවන්ට සාධාරන වැටුප් ලැබෙන බව සහතික කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ. බදු කාලය දීර්ඝ කරන්නේ නම් වතු කම්කරුවන් එම ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට පත් කරන වගන්ති ඇතුලත් නව ගිවිසුමක් ඇති කර ගත යුතු” යැයි ගනේෂන් එහි දී සඳහන් කර තිබේ.

කම්කරුවන්ට “සාධාරන වැටුපක් සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම” පිලිබඳ ගනේෂන් ගේ ඉල්ලීම් අමු වංචාවකි. ඔහුගේ ඩීඩබ්ලිව්සී ඇතුලු සියලු වතු සමිති, වැටුප් ඉල්ලීම් මත ද වැඩ වේගවත් කිරීමට සහ වතු පාලකයන්ගේ මර්දනයට එරෙහිව ද පැනනැගුන සියලු අරගල පාවාදුන්හ. බදුකාලය දීර්ඝ කිරීමේ ක්‍රියාවලියේ දී කම්කරුවන් එහි හවුල්කරුවන් බවට පත්කිරීම ඊට අතුලත් කරන ලෙස කෙරෙන ඉල්ලීම වනාහි ප්‍රතිව්‍යුහකරන ක්‍රියාවලියට කම්කරුවන් ගැට ගැසීමකි.

ප්‍රතිව්‍යුහකරනය සහ ඒ තුලින් එල්ල කෙරෙන ප්‍රහාර පරාජය කලහැක්කේ වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව ගොඩනගන කම්කරු ක්‍රියාකාරී කමිටු හරහා ජාමූඅ සමස්ත කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් තුලින් පමනි. මස්කෙලිය ඕල්ටන් සහ ග්ලිනුයිජ් වතු කම්කරුවන් එවන් ක්‍රියාකාරී කමිටු ගොඩනගාගෙන ඇත. ඒවා තවදුරටත් පුලුල් කිරීමට සහ සියලුම වතු සහ වතු කම්හල් තුල එවන් ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමට පියවර ගන්නා ලෙස වතු කම්කරුවන් සහ තරුනයන්ගෙන් සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටී.

Loading