[මෙය, Sri Lankan government’s employment bill aims to abolish workers’ basic democratic rights යන හිසින් ජුලි 27 ලෝසවෙඅ හි පලවූ ලිපියේ පරිවර්තනයයි.]
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ජාතික කම්කරු උපදේශක සභාවේ (ජාකඋස) අනුමැතිය සඳහා ඔහුගේ “නව රැකියා පනත” ඉදිරිපත් කර ඇත. ජාකඋස යනු කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන්, සේවා යෝජකයන්ගේ නියෝජිතයින් සහ තෝරාගත් වෘත්තීය සමිති වලින් සමන්විත ත්‍රෛපාර්ශ්වික ආයතනයකි.
මාධ්‍ය වාර්තාවලට අනුව, පනත් කෙටුම්පත ජාකඋස හි සාකච්ඡා කර අවසන් කිරීමෙන් පසුව කැබිනට් මන්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කම්කරු පන්තිය අසීරුවෙන් දිනාගත් අයිතීන් අහෝසි කිරීමටත්, ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයින්ට ශ්‍රී ලාංකීය ජනතාව සූරාකෑම තවදුරටත් තීව්ර කිරීම සඳහා මාවත විවෘත කිරීමටත් වික්‍රමසිංහ ආන්ඩුව සූදානම් වන බව යෝජිත කෙටුම්පතෙන් පැහැදිලි කෙරෙයි.
නව පනත මගින් වෘත්තීය සමිති ආඥාපනත (1935), මාතෘ ප්රතිලාභ ආඥාපනත, වැටුප් සභා ආඥාපනත, කර්මාන්තශාලා ආඥාපනත (1942), කාර්මික ආරවුල් පනත (1950), සාප්පු සහ කාර්යාල (රැකියා සහ වැටුප් නියාමනය) පනත (1954) සහ සේවා අවසන් කිරීමේ පනත 1971 ඇතුලු දැනට පවතින කම්කරු නීති 13 ක් ප්‍රතිස්ථාපනය කරනු ඇත. සීමිත ප්රජාතන්ත්රවාදී බවක් සහ සමාජ ආරක්ෂනයක් අඩංගු වූ මෙම නීති, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී සහ 1948 නිදහසෙන් පසු කම්කරු පන්තියේ අධිෂ්ඨානශීලී අරගලවල ප්රතිඵලයන් ය.
නානායක්කාරගේ යෝජනා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් ඉල්ලා සිටින දැඩි කප්පාදු පියවර සහ 'කම්කරු නම්‍යශීලීභාවය' සමග අනුකූල වේ. මේවා දැන් ක්‍රියාත්මක කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින් ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීම සඳහා ය.
මෙම නීතිමය පියවර වලට, 'වැඩපලේ විනය', වැඩ කරන වේලාවන්, නව වෘත්තීය සමිති පිහිටුවීම, වැඩවර්ජන කිරීමේ අයිතිය සහ සේවා යෝජකයින්ගේ ඉල්ලීම් තෘප්තිමත් කිරීමේ අනෙකුත් පියවර ඇතුලත් වෙයි.
* යෝජිත පනත් කෙටුම්පතේ 18 වැනි වගන්තියේ සඳහන් වන්නේ, සේවා ස්ථාන නීති උල්ලංඝනය කිරීම, විෂමාචාර ක්‍රියාවන්, හිරිහැර කිරීම සහ රැකියා ස්ථානයේ ඕනෑම කෙනෙකුට හෝ මහජන ආරක්ෂාවට ක්ෂනික අනතුරක් ඇති කරන හෝ නිර්මානය කරන ඕනෑම ක්‍රියාවකට ප්‍රතිචාර වශයෙන් සේවා යෝජකයාට සේවකයෙකු සමඟ ඒකපාර්ශ්විකව සහ වන්දි ගෙවීමකින් තොරව සේවා ගිවිසුමක් අවසන් කල හැකි බවයි. සේවකයන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂනයක් පැවැත්වීමට නීතිමය ප්‍රතිපාදන නොමැත. මෙයින් අදහස් කෙරෙන්නේ, කාර්මික හෝ දේශපාලන දඩයමක කොටසක් ලෙස, සේවා යෝජකයන්ට ඕනෑම සේවකයෙකු අත්තනෝමතික ලෙස සේවයෙන් පහ කල හැකි බවයි.
* 31 වැනි වගන්තියේ සඳහන් වන්නේ, සාමාන්‍ය වැඩ කරන දිනය පැය 8 ක් සහ වැඩ කරන සතිය පැය 45 ක් වන නමුත්, අමාත්‍ය නියෝගයකින් නිශ්චිතව දක්වා ඇති ඕනෑම කර්මාන්තයකට හෝ සේවාවකට ආහාර විවේකය ද ඇතුලුව පැය 12 ක වැඩ කරන දිනයක් ක්‍රියාත්මක කල හැකි අතර අතිකාල නොගෙවිය හැකි බවයි.
33 වෙනි වගන්තිය යටතේ, සේවා යෝජකයන්ට, එම කාලය තුල සේවකයින්ට පැයක විවේක කාලයක් පමනක් ලබා දෙමින්, විශේෂිත කර්මාන්ත හෝ සේවාවන්හි අතිකාල ගෙවීමකින් තොරව පැය 16 ක් වැඩ කරන ලෙස ඉල්ලා සිටිය හැක.
මෙම කොටස මඟින්, නම් කරන ලද කර්මාන්ත හෝ ව්‍යාපාරවලට පැය 6 ක අතිකාල දීමනාවක් සහ වෙනම පැයක විවේක කාල දෙකක් සමග පැය 24 පුරා සේවා මුර ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා දේ. බඳවා ගැනීමේදී හෝ පසුව පවා මෙම දීර්ඝ සේවා කාල සීමාවන් භාර ගැනීමට සේවා යෝජකයන්ට සේවකයින්ගෙන් ගිවිසුමක් ලබා ගත හැකි බව එහි සඳහන් වේ.
පසුගිය වසර තුනක කාලය තුල දැඩි අර්බුදයකට වැටී ඇති ඇඟලුම් කර්මාන්තය තුල, දීර්ඝ වැඩ දින සහ අතිකාල දීමනා නොමැති දිගු පැය ගනන් දැනටමත් පවතී. මෙම පනත මගින් ක්ෂේත්රයේ දැනටමත් ක්‍රියාත්මක වන ම්ලේච්ඡ සූරාකෑම සඳහා නීතිමය පදනමක් සපයනවා පමනක් නොව, අනාගතයේ ඕනෑම වේලාවක වැඩ කරන කාලය අත්තනෝමතික ලෙස දීර්ඝ කිරීම සඳහා ද ඉඩකඩ සලසා ඇත.
* 57 වැනි වගන්තිය, වසංගත රෝග, ස්වභාවික විපත්, යටිතල පහසුකම් බිඳවැටීම් හෝ දේශීය හෝ ගෝලීය ආර්ථික තත්ත්වයන් හේතුවෙන් ඇනවුම් ලබා ගැනීමට නොහැකි වීම හෝ අඩු කිරීම හේතුවෙන් සේවය කල නොහැකි සේවකයෙකුට මූලික වැටුපෙන් සියයට 50 ක් පමනක් ගෙවීමට ව්‍යාපාරවලට ඉඩ ලබා දේ. කෝවිඩ්-19 වසංගතයේ පලමු වසර දෙක තුල, වෘත්තීය සමිතිවල සහාය ඇතිව මහා ව්‍යාපාරිකයන් මෙම භාවිතයන් ක්‍රියාවට නැංවීය. කම්කරුවන්ට ලැබුනේ සොච්චම් වැටුපකි, එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ දෙනෙකුට ප්‍රමානවත් ආහාර ලබා ගැනීමට නොහැකි විය. බොහෝ දෙනෙකුට රැකියා ද අහිමි විය.
*යෝජිත නීති සම්පාදනයේ තවත් වගන්තියක් වන්නේ, දැනට පවත්නා, කාන්තාවන් රාත්‍රී 10 න් පසුව වැඩෙහි යෙදවීම තහනම් කෙරෙන සීමාවන් ඉවත් කිරීමයි. රාත්රියේදී කාන්තා සේවිකාවන් සේවයේ යොදවා ගැනීමට අවශ්‍ය සමාගම්වලට මසකට දින 10 ක් සඳහා කම්කරු කොමසාරිස්වරයාගෙන් ලිඛිත අනුමැතියක් ලබාගත හැක. නව පනත් කෙටුම්පත මගින් කාන්තා සේවිකාවකගේ “කැමැත්ත” අනුව රාත්‍රී වැඩ කරන දින ගනන 15 දක්වා දීර්ඝ කරයි.
* වෘත්තීය සමිතියක් පිහිටුවීමේ අයිතිය ද සීමා කර ඇත. පවතින නීති අනුව ආයතනයක සේවකයන් හත් දෙනෙකුට වෘත්තීය සමිතියක් පිහිටුවිය හැකිය. යෝජිත පියවර යටතේ, වෘත්තීය සමිතියක් පිහිටුවීම සඳහා ඉල්ලීමක් සාමාජිකයින් 100 ක් අත්සන් කල යුතුය. පුද්ගලයන් 100 කට අඩුවෙන් සේවය කරන සේවා ස්ථානවල සාමාජිකයින් 25 දෙනෙකු සිය කැමැත්ත ලබාදිය යුතුය. කෙසේ වෙතත්, දැනට පවතින වෘත්තීය සමිතිවලට නව නීතිය බලපාන්නේ නැති බව කම්කරු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
* වැඩවර්ජන කිරීමේ අයිතිය ඊටත් වඩා දැඩි ලෙස සීමා කර ඇත. වෘත්තීය සමිතියක් වැඩවර්ජන කිරීමට අදහස් කරන ගැටලුව සම්බන්ධයෙන් බහුතර සාමාජිකයින්ගේ කැමැත්ත තහවුරු කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්විය යුතුය. රාජ්‍ය නිලධාරියෙකු වන වෘත්තීය සමිති රෙජිස්ට්රාර්වරයාට නොදන්වා කිසිදු වැඩවර්ජනයක් කල නොහැක. ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් ඇති සාමාජිකයින්ගෙන් සියයට 50 කට වැඩි ප්‍රමානයක් යෝජිත වර්ජනය සඳහා සහාය දිය යුතු අතර රෙජිස්ට්‍රාර්වරයා විසින් ඡන්දය නිරීක්ෂනය කල යුතුය.
වැඩවර්ජනයට නියමිත දිනට දින 28 කට පෙර සේවායෝජකයාට සහ රෙජිස්ට්රාර්වරයාට ලිඛිතව දැනුම් දිය යුතුය. මෙම කොන්දේසි සපුරා නොමැති නම්, යෝජිත වැඩ වර්ජනය නීති විරෝධී වේ.
යෝජිත පනතේ තවත් වගන්තියක් මගින්, වැඩවර්ජනයක් අත්හිටුවීමට අධිකරන වාරන නියෝගයක් ලබා ගැනීමට කම්කරු ඇමතිට බලය ලබා දෙයි. මෙම කර්මාන්ත හෝ සේවාවන්හි, කාර්මික ක්‍රියාමාර්ග සඳහා දැඩි සීමාවන් පනවා ඇති ඕනෑම කර්මාන්තයක් හෝ සේවාවක් අත්‍යවශ්‍ය යැයි අමාත්‍යවරයාට ප්‍රකාශ කල හැකිය.
ඕනෑම වැඩ වර්ජනයක් “මහජන අවශ්‍යතාවයට පටහැනි” බව හෝ ජාතික ආර්ථිකය, මහජන ආරක්ෂාව හෝ ජීවනෝපාය අනතුරට පත් කරන බව ඇමතිවරයාට තීරනය කල හැකිය. කාර්මික ආරවුලකදී, අත්තනෝමතික ලෙස ක්‍රියාමාර්ග අවසන් කරවමින් එය කාර්මික අධිකරනයට යොමු කිරීමට ඔහුට බලය ඇත.
කම්කරුවන් කුලියට ගන්නා මිනිස් බල සැපයුම් සමාගම් සහ රැකියා නියෝජිතායතන නීතිගත කල යුතුය. දැනටමත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ශ්‍රමිකයින් සේවයේ යොදවන එවැනි සමාගම් රාශියක් ඇත. ඔවුන්ගේ සේවකයින්ට වෙනත් සේවකයින්ගේ කිසිදු අයිතිවාසිකමක් නොමැති අතර ඕනෑම වේලාවක කුලියට ගැනීමට හෝ සේවයෙන් පහ කිරීමට හැකිය.
නව කම්කරු නීතිවලට කම්කරු පන්තික විරෝධය ඉහල යාම මධ්‍යයේ, නිදහස් වෙලඳ කලාපවල වෘත්තීය සමිතිවලට සීමිත විරෝධතා සංවිධානය කිරීමට බල කෙරී ඇත. අඟහරුවාදා (ජූලි 24), නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවක සංගමය හා ජනතා විමුක්ති පෙරමුන පාලනය කරන අන්තර් සමාගම් සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති කිහිපයක්, නව පියවර නතර කරන ලෙස ආන්ඩුවට ආයාචනා කරමින් කොලඹදී විරෝධතාවයේ නිරත වූහ.
මෙම ක්‍රියාවන් කම්කරුවන්ගේ කෝපය විසුරුවා හැරීම ඉලක්ක කර ඇත. මෙම වෘත්තීය සමිති, සීමිත විරෝධතා සහ වැඩවර්ජන කැඳවීම හැරුනුකොට, ජාමූඅ පියවර වලට එරෙහිව සටන් කිරීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ වෙනුවට, ඔවුහු ආන්ඩුවට බලපෑම් කල හැකි බවට දේශපාලන මිත්‍යාවන් ප්‍රවර්ධනය කරති. කම්කරුවන් දේශපාලනිකව අඩපන කිරීමේ ඔවුන්ගේ භූමිකාව, රැකියා ලක්ෂ ගනනක් විනාශ කිරීමට තුඩු දෙන රාජ්‍ය අංශයේ සැලසුම්ගත පුද්ගලීකරනය ඇතුලුව, වික්‍රමසිංහ තන්ත්රයට එහි සමාජ ප්‍රහාර අඛන්ඩව පවත්වා ගෙන යාමට හැකියාව ලබා දී ඇත.
කම්කරු අමාත්‍ය නානායක්කාර මැයි මාසයේදී නව නීති පිලිබඳ මූලික කෙටුම්පත ඉදිරිපත් කරමින්, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් කන්ඩායම් සහ සේවා යෝජකයින්ට ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරන ලෙස ආරාධනා කලේය.
සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර ඇමතිවරයාට ලිපියක් යවමින් මෙම ආරාධනය තරයේ ප්‍රතික්ෂේප කලේය. 'ඔබේ ආන්ඩුවට අවශ්‍ය වන්නේ, දේශීය හා විදේශීය ආයෝජකයින් විසින් කම්කරුවන් අසීමිත ලෙස සූරාකෑමට ඉඩ සැලසීම සඳහා නව කම්කරු නීති ස්ථාපිත කිරීම' යැයි ජයසේකර පැවසීය.
නානායක්කාරගේ “නව රැකියා පනත්” කෙටුම්පත, සසප ප්‍රධාන ලේකම්ගේ අනතුරු ඇඟවීම් නිශ්චිතවම තහවුරු කරයි.
ශ්‍රී ලංකාවේ ධනවාදයේ සහ ජාත්‍යන්තර ආයෝජකයින්ගේ අවශ්‍යතා සඳහා ස්ථිර කැපවීමක් පෙන්නුම් කර ඇති වෘත්තීය සමිති හරහා කම්කරුවන්ට තම අයිතීන් ආරක්ෂා කර ගත නොහැක.
රැකියා, සමාජ කොන්දේසි සහ ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ, කම්කරුවන් වෘත්තීය සමිති නිලධරයන්ගෙන් සහ ධනපති පක්ෂවලින් ස්වාධීනව, ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගතහොත් පමනි.
වික්‍රමසිංහ තන්ත්රය බිඳ දැමීමට අවශ්‍ය දේශපාලන අරගලය කම්කරුවන්ට ඉදිරියට ගෙන යා හැක්කේ සහ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කල හැක්කේ මෙම තීරනාත්මක පියවර ගැනීමෙන් පමනි. ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන මෙම ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයින් මත පාදක වූ, ප්රජාතන්ත්රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප කැඳවුම, මෙම ඉදිරිදර්ශනයේ අත්‍යවශ්‍ය සංරචකයකි.