ආන්ඩුව සෞඛ්‍ය සේවකයන්ට පැනවූ වාරනයට ශ්‍රී ලංකා සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමය එකඟ වෙයි

[මෙය Sri Lankan union agrees to government censorship of health employees යන මැයෙන් 2023 අගෝස්තු 07 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකා සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමය (සෞවෘසං) අගෝස්තු 4 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අවලංගු කලේය. මෙම වැඩවර්ජනය කැඳවා තිබුනේ, මහජන සෞඛ්‍යය සේවයට අදාල ගැටලු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයන්ට තහනම් කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලමිනි.

ජුලි 20 වැනි දින නිකුත් කරන ලද චක්‍රලේඛය තුල, මහජන සෞඛ්‍ය කාර්ය මන්ඩලයට, අදාල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කිරීම හෝ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සපුරා තහනම් කිරීම ඇතුලත් විය. රාජ්‍ය සේවකයින්ට තම දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ පූර්ව අනුමැතියකින් තොරව පුවත්පත්වලට අදහස් දැක්වීමට අයිතියක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරනය දුන් තීන්දුවක් එහි සඳහන් කර තිබුනි.

මෙම රෙගුලාසිය කඩ කිරීම, රාජ්‍ය අංශයේ සේවකයින් පාලනය කරන ආයතන සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි බවට චක්‍රලේඛයෙන් අනතුරු ඇඟවීය. විනය ක්‍රියාමාර්ගවලට අනතුරු ඇඟවීම්, අත්හිටුවීම් සහ සේවය අවසන් කිරීම් ඇතුලත් වේ.

රවී කුමුදේශ් (ලෝසවෙඅ)

කාර්මික ක්‍රියාමාර්ග අවලංගු කිරීම සාධාරනීකරනය කරමින් සෞවෘසං නායක රවී කුමුදේශ් පැවසුවේ, එම තහනම වෘත්තීය සමිතියට සහ ඒ හා සමාන සංගම්වලට අදාල නොවන බවට අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ලිඛිත සහතිකයක් ලබා දී ඇති බවයි. කෙසේ වෙතත්, එය සාමාන්‍ය සෞඛ්‍ය සේවකයින්ට අඛන්ඩව අදාල වන බව කුමුදේශ් වැඩිදුරටත් පැවසීය.

ඇත්ත වශයෙන්ම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බිඳවැටීම ගැන කතා කරන හෝ හෙලිදරව් කරන සෞඛ්‍ය සේවකයින්ට දඬුවම් කිරීමට ප්‍රජාතන්ත්‍ර විරෝධී රෙගුලාසි භාවිතා කිරීම සම්බන්ධයෙන්, සංගමය අමාත්‍යාංශය සමග එකඟ වී ඇත; එය රෝගීන්ගේ, සේවකයින්ගේ සහ සමස්ත ජනගහනයේ ජීවිතවලට බලපාන කාරනයකි.

මෙලෙස වාරනයට එකඟවීම, ප්‍රකාශනයේ නිදහස සඳහා වූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මුලුමනින්ම පාවාදීමකි. එය ආන්ඩුවේ සහ සංගතවල කාර්මික පොලිස් බලකායක් ලෙස සංගමයේ භූමිකාව අවධාරනය කරයි.

පසුගිය සඳුදා (ජූලි 31) සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල එම චක්‍රලේඛය ආරක්ෂා කරමින් කියා සිටියේ, “සෞඛ්‍යය ඉතා සංවේදී ක්ෂේත්‍රයක් ලෙස යොදාගෙන රට තුල තවත් උද්ඝෝෂනයක් ගෙන ඒමට ඇතැමුන් උත්සාහ කරනවා” යනුවෙනි. අංශු මාත්‍ර සාක්ෂියකින් තොරව, නරක අතට හැරෙන සෞඛ්‍ය අර්බුදය පිලිබඳව මාධ්‍ය තුල සංසරනය වන සියලුම අදහස් 'බොරු' ලෙස ඔහු නරුමව හංවඩු ගැසීය.

වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුලු සෞඛ්‍ය වෘත්තිකයන් නිහඬ කිරීමට දරන ප්‍රයත්නය, ඔවුන්ගේ රෝගීන්ට සේවය කිරීම සඳහා වූ වෛද්‍ය දිවුරුම කඩ කිරීමට ඔවුන්ට බල කර සිටීමට සමාන ය. මහජන සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමේ අද්දරට ගෙන ආ ආන්ඩුවේ කප්පාදුවේ ප්‍රතිවිපාක ගැන කතා කිරීම ඔවුන්ට තහනම්‍ය.

2021 මැයි මාසයේදී, කෝවිඩ්-19 වසංගතය මධ්‍යයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍රලේඛය ප්‍රථම වරට නිකුත් කරන ලද්දේ සේවකයින් සහ මහජනතාව අතර වඩාත් පුලුල් ලෙස කෝපය අවුස්සමිනි. “වගකිවයුතු නිලධාරීන් අනවශ්‍ය ලෙස මාධ්‍ය සාකච්ඡා පවත්වමින් වසංගතය ගැන මහජනයා කලබල නොකල යුතු” බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කලේය.

එම මාසයේම රාජපක්ෂ, සෞඛ්‍යය ඇතුලු රජයේ ප්‍රධාන සේවාවන් මත අත්‍යවශ්‍ය මහජන සේවා පනත පැනවීය. මෙම පනත මගින් සිරගත කිරීම, දඩ මුදල් සහ සේවයෙන් පහ කිරීම ඇතුලු දඬුවම් සමගින් සියලුම කාර්මික ක්‍රියා තහනම් කෙරේ.

පසුගිය නොවැම්බරයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්, සිවිල් හා වෛද්‍ය අයිතීන් සඳහා වන වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කරනු ලැබුවේ මාධ්‍ය වෙත “අසත්‍ය” තොරතුරු ඉදිරිපත් කරමින් “ආන්ඩුව අපහසුතාවයට පත් කල” බවට චෝදනා කරමිනි.

සෞඛ්‍ය සේවකයින්ගේ 2022 ජූලි 7 වන දින කොලඹදී පැවති විරෝධතා පාගමනක කොටසක් [ඡායාරූපය: WSWS]

දකුනේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව එක් ප්‍රදේශයක, ලමුන්ගෙන් සියයට 30 ක් දැඩි මන්දපෝෂනයෙන් පෙලෙන බවත් සියයට 50 ක් මද මන්දපෝෂනයෙන් පෙලෙන බවත් සංජීව පුවත්පත්වලට හෙලි කර තිබුනි.

එම සංඛ්‍යා ලේඛන පදනම් වී ඇත්තේ විද්‍යාත්මක සමීක්ෂනයක් මත බව ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ, “එහි ප්‍රතිඵල මිනිසුන්ට හෙලි කිරීම මගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්” යැයි ද සඳහන් කරමිනි.

සෞඛ්‍ය සේවකයින් සහ පුලුල් ජනතාව අතර වැඩෙන කෝපය මධ්‍යයේ පසුගිය මාසයේ චක්‍රලේඛය යලි නිකුත් කරන ලදී. ගුනාත්මක බවින් අඩු ඖෂධ සහ එන්නත් නිසා සිදු වූවා යැයි සැලකෙන මරන සහ බරපතල රෝගාබාධ ගනනාවක් රජයේ රෝහල්වලින් වාර්තා වී ඇත.

ජුලි 11 වැනිදා පේරාදෙනිය ශික්ෂන රෝහලේදී 24 හැවිරිදි කාන්තාවක් සෙෆ්ට්‍රියැක්සෝන් (Ceftriaxone) ප්‍රතිජීවක එන්නතක් ලබා දීමෙන් පසු මිය ගියාය. කොලඹ, මහනුවර, රාගම, නුවරඑලිය, කිලිනොච්චිය සහ පානදුර යන රෝහල්වල මෙවැනි මරන සහ අසාත්මිකතා 15 කට වැඩි ප්‍රමානයක් වාර්තා වී තිබේ.

ගුනාත්මක බවින් අඩු බවට රෝහල්වලින් ලද පැමිනිලි හේතුවෙන් රාජ්‍ය වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ සහ ශල්‍ය උපකරන 64 ක් භාවිතයෙන් ඉවත් කිරීමට සිදුව ඇත. ඖෂධ නොමැතිකම සහ වෛද්‍ය උපකරන නිතර ක්‍රියා විරහිත වීම හේතුවෙන් හෘද සැත්කම්, වකුගඩු බද්ධ කිරීම් ඇතුලු ස්කෑන් පරීක්ෂන, ඩයලිසිස් (එමගින් වකුගඩු වල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය සඳහා ආදේශකයක් ලෙස රුධිරය සායනිකව පිරිසිදු කෙරේ - පරිවර්තක) සහ හදිසි සැත්කම් කල් දැමීමට සිදුව තිබේ.

ගුනාත්මක බවින් අඩු ඖෂධ ගෙන්වීමට සම්බන්ධ ඖෂධ සමාගම් සහ අමාත්‍යාංශ නිලධාරීන් දූෂිත ක්‍රියාවන්හි සහ හොර ගනුදෙනුවල නිරත වී ඇති බවට පල වන වාර්තා නිසා මහජන කෝපය ද ඇවිලී ඇත.

ජුලි 11 වැනිදා රූපවාහිනී සාකච්ඡාවකදී ජාතික වසංගත රෝග විද්‍යා ආයතනයේ වෛද්‍ය, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික වෛද්‍ය නියාමන අධිකාරිය විසින් අනුමත නොකල ඖෂධ ආනයනය කරන බවයි.

සෞඛ්‍ය සේවකයින්, රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඇතුලු මාධ්‍ය වෙත ඔවුන් මුහුන දෙන තත්වය ගැන කතා කලහ.

පේරාදෙනිය ශික්ෂන රෝහලේ සේවය කරන හෙද නිලධාරිනියක් පැවසුවේ, ප්‍රමානවත් කාර්ය මන්ඩලයක් නොමැතිකම හේතුවෙන් තමන් සහ තම සගයන් ඉතා දරුනු තත්වයක් තුල සේවය කරන බවයි. වකුගඩු රෝගීන් සඳහා සතියකට තුන් වතාවක් ඩයලිසිස් කිරීමට අවශ්‍ය වුවද එය සිදුවන්නේ දෙවතාවක් පමනි. මහනුවර ජාතික රෝහලේ එය සිදුවන්නේ සතියකට වරක් පමනි.

ඇය තම රෝහලේදී සෙෆියොරොක්සීම් (cefuroxime) එන්නතක් ලබාදී මිය ගිය තරුනියක් ගැන මෙසේ පැවසුවාය: “මෙම එන්නත ලබා දුන් අපගේ සගයා ෆේස්බුක් හි හෙලා දැකීමට ලක්වෙලා, මානසික ආතතියට මුහුන දී සිටිනවා. එය ඇගේ වරදක් නෙවෙයි. පවතින එකම ඖෂධය මෙයයි. සෞඛ්‍ය අර්බුදය වෙනුවෙන් සේවකයින්ට වන්දි ගෙවීමට සිදුවෙලා. එකදු වෘත්තීය සමිතියක්වත් ඇයගේ ආරක්ෂාවට පැමිනියේ නැහැ.

“ඒ මදිවට, සේවකයින්ට එරෙහිව මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී චක්‍රලේඛය භාවිතා කිරීමට වෘත්තීය සමිති දැන් බලධාරීන් එක්ක එකඟ වෙලා. වෘත්තීය සමිතිවලට තමන් ගැන කරන විවේචන නිහඬ කිරීමට මෙම චක්‍රලේඛය භාවිතා කල හැකියි.”

මහනුවර ජාතික රෝහලේ වෛද්‍යවරයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ මීට පෙර වෛද්‍ය ඖෂධවල බරපතල හිඟයක් පැවති බවයි. තත්වය තරමක් යහපත් වී ඇත. කෙසේ වෙතත්, මෙම ඖෂධ ගුනාත්මක බවින් අඩු නිසා කාර්ය මන්ඩලයට රෝගීන්ට තත්වය පැහැදිලි කර ඒවා භාවිතා කිරීමට අවශ්‍ය දැයි විමසීමට සිදු විය.

“සල්ලි තියෙන අයට අදාල ඖෂධ පිටතින් ගන්න පුලුවන්. අනෙක් අය ගැන කුමක් කියන්නද?” වෛද්‍යවරයා විමසීය. “අපි රජයේ සේවකයන් නිසා අපිට මේ ඖෂධය පාවිච්චි කරන්න සිදුවෙලා. අමාත්‍යාංශ ලේකම්වරයාගේ චක්‍රලේඛය නිසා අපිට මේ ඇත්ත තත්වය ජනතාවට පැහැදිලි කරන්න බැහැ.”

සෞවෘසං නායකයින් සෞඛ්‍ය බලධාරීන් හමුවූ අතර, අනෙකුත් වෘත්තීය සමිති නායකයින් සිදු කලේ, ඇල්මැරුනු ප්‍රකාශ නිකුත් කිරීම හෝ කම්කරුවන් අතර කෝපය වාෂ්ප කර දැමීම සඳහා සීමිත විරෝධතා කැඳවීම ය.

සෞඛ්‍ය සේවකයින් පිරිසක් 2022 ජූලි 7 වන දින කොලඹදී විරෝධතාවයක නිරත වෙමින්

ජුලි 18 දා, රෙගුලාසිවලට එරෙහිව, දහස් ගනන් රාජ්‍ය සෞඛ්‍ය සේවකයින් කොලඹ ජාතික රෝහල ඇතුලු ප්‍රධාන රෝහල්වල සහ ප්‍රාදේශීය පරිශ්‍රවල විරෝධතා පැවැත්වීය. විරෝධතාකරුවෝ, “බාල ඖෂධ ආනයනය වලක්වමු,” “රෝගීන්ගේ ජීවිත අනතුරේ,” “සෞඛ්‍ය සේවා පෞද්ගලීකරනය නවත්වනු”, “රෝගීන්ගේ ජීවිත බිලිගන්නා අක්‍රීයය ආන්ඩුව පන්නා දමමු” වැනි සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කලහ.”

මෙම සීමිත ක්‍රියාමාර්ගය කැඳවනු ලැබුවේ විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරනු ලබන සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය විසිනි. ජවිපෙ ප්‍රමුඛ අවශ්‍යතාවය වන්නේ කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නොව, මීලඟ ආන්ඩුව පිහිටුවීම සඳහා එහි උත්සාහය දැඩි කිරීමයි.

කෝවිඩ්-19 වසංගතය විසින්, එම මාරාන්තික රෝගය සමඟ සාර්ථකව කටයුතු කිරීමට නොහැකි වූ රටේ සෞඛ්‍ය පද්ධතියේ ගැඹුරු අර්බුදය හෙලිදරව් කලේය. අනුප්‍රාප්තික ආන්ඩු මහජන සෞඛ්‍යය සඳහා ඔවුන්ගේ වාර්ෂික අයවැයෙන් ලබා දී ඇත්තේ කුඩා ප්‍රතිපාදනයකි—එය සාමාන්‍යයෙන් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක් පමන වේ.

දැන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු ඉල්ලීම් ක්‍රියාවට නංවමින් සිටින අතර, ඉන් එකක් වන්නේ මහජන සෞඛ්‍යය ඇතුලු රාජ්‍ය වියදම් කප්පාදු කිරීමයි. එසේම සෞඛ්‍ය සේවය පෞද්ගලීකරනය කිරීමටත් නිදහස් මහජන සෞඛ්‍ය සේවාවේ ඉතිරිව ඇති දේ ඈවර කර දැමීමටත් ආන්ඩුව පියවර ගනිමින් සිටී.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් අර්බුදයේ වගකීම වෘත්තීය සමිති විසින් දරයි. 2021 සිට, ක්ෂේත්‍රය තුල වෘත්තීය සමිතිවලට වෙනත් කිසිදු රාජ්‍ය ආයතනයකට වඩා වැඩි විරෝධතා සහ වැඩවර්ජන කැඳවීමට බල කෙරුනි. නමුත් එම ක්‍රියාවල අරමුන වූයේ, සහන ලබා දෙන ලෙස ආන්ඩුවට බලපෑම් කල හැකි බවට මිත්‍යාවන් වැපිරීමයි.

සෞඛ්‍ය සේවකයින් තම ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂ වලින් ස්වාධීනව කටයුතු තම අතට ගෙන ක්‍රියාකාරී කමිටු පිහිටුවිය යුතුය. සමාජවාදී සමානතා පක්ෂය (සසප) සෑම වැඩපලකම කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කර ගන්නා එවැනි ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට උද්ඝෝෂනය කරයි. අපි මෙසේ කියමු:

• මර්දනකාරී වාරන චක්‍රලේඛය හකුලාගනු! අත්‍යාවශ්‍ය මහජන සේවා පනත හකුලා ගනු!

• ප්‍රමානවත් කාර්ය මන්ඩලයක්, වෛද්‍ය ඖෂධ සහ අත්‍යවශ්‍ය උපකරන ලබා දෙනු!

මෙයින් අදහස් කරන්නේ මහජන සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන ගනනක් වෙන් කල යුතු බවයි. කෙසේ වෙතත්, වික‍්‍රමසිංහ ආන්ඩුවේ අභිප්‍රාය වන්නේ, කම්කරු පන්තියේ වියදමින් විදේශ නය ආපසු ගෙවීමත්, මහා ව්‍යාපාරිකයන්ගේ සහ ආයෝජකයින්ගේ ලාභ ඉහල නැංවීමමත් ය.

සෞඛ්‍ය, අධ්‍යාපනය සහ අත්‍යවශ්‍ය සුබසාධන වැඩසටහන් සඳහා නිසි සම්පත් සැපයීම, සමාජයේ අතිමහත් බහුතරයකගේ යහපත සඳහා ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමේ පුලුල් අරගලය සමඟ බැඳී පවතී. මේ සඳහා සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීමත්, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ බැංකු, විශාල වතු සහ මහා සමාගම් ජනසතු කිරීමත් අවශ්‍ය වේ.

සමාජවාදී සමානතා පක්ෂය (සසප), දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා වන පුලුල් අරගලයේ කොටසක් ලෙස මෙම සමාජවාදී පිලිවෙත් සඳහා සහ ඒවා ක්‍රියාවට නැංවීමට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කරයි.

Loading