ඉදිරිදර්ශන

දේශගුනික අර්බුදය තීරනාත්මක සන්ධිස්ථානයට ලඟාවෙයි

[මෙය The climate crisis reaches a tipping point යන මැයෙන් 2023 ජූලි 29 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

යුරෝපීය කොපර්නිකස් දේශගුනික විපර්යාස සේවය (C3S) සහ ලෝක කාලගුන විද්‍යා සංවිධානය (WMO) විසින් බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක් ජූලි මාසයේ පලමු සති තුන මෙතෙක් වාර්තා වී ඇති උනුසුම්ම සති තුනේ කාල පරිච්ඡේදය බව සනාථ කරන අතර මාසය මානව ශිෂ්ටාචාරය විසින් කවදා හෝ අත්විඳින ලද උනුසුම්ම මාසය වනු ඇතැයි පුරෝකථනය කරයි.

ප්‍රකාශයේ කොටසක් ලෙස C3S හි අධ්‍යක්ෂ කාලෝ බොන්ටෙම්ප සඳහන් කලේ, “වාර්තා අභිබවා යන උෂ්නත්වය ගෝලීය උෂ්නත්වයේ දැඩි වැඩිවීමේ ප්‍රවනතාවයේ කොටසකි. මානව විමෝචනය (මිනිසා විසින් පරිසරයට හරිතාගාර වායු යනාදිය මුදහරින ක්‍රියාවලිය-පරිවර්තක ) මෙම ඉහල යන උෂ්නත්වයේ අත්‍යන්ත ප්‍රධාන ධාවකයයි. ඔහු තවදුරටත් කියා සිටියේ, 'ජූලි වාර්තාව මේ වසරේ තනි සිදුවීමක් ලෙස පවතිනු ඇතැයි සිතිය නොහැක, C3S හි සෘතුමය පුරෝකථනයන් පෙන්නුම් කරන්නේ භූමි ප්‍රදේශයන්හි උෂ්නත්වය සාමාන්‍යයට වඩා වැඩි විය හැකි අතර එය වර්ෂයේ කාලය සඳහා දේශගුන විද්‍යාවේ 80 වන ප්‍රතිශතය ඉක්මවන බවයි.'

2023 ජූලි 25, අඟහරුවාදා, ගිනිකොනදිග ග්‍රීසියේ, ඊජියන් මුහුදේ රෝඩ්ස් දූපතේ, ගෙනාඩි ගම්මානයේ ගිනිදැල් ගස් ඇවිලෙන විට ප්‍රදේශවාසියෙකු එයට ප්‍රතිචාර දක්වමින්. [AP Photo/Petros Giannakouris] [AP Photo/Petros Giannakouris]

එක්සත් ජනපද ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (NOAA) විසින් මනිනු ලබන පරිදි ගෝලීය සාමාන්‍ය උෂ්නත්වය සෙල්සියස් අංශක 16.92 (ෆැරන්හයිට් අංශක 62.46) දක්වා ඉහල ගිය මෙම ජූලි මාසයේ වාර්තාව අවසන් වරට පිහිටුවන ලද්දේ 2016 අගෝස්තු මාසයේදීය. නමුත් ජුලි 3දා සිට, සෑම පැය 24 කට වරක්ම ලෝක උෂ්නත්වය සාමාන්‍යයෙන් ඉහල ගොස්, ජූලි 6 වන දින සෙල්සියස් 17.23 (ෆැරන්. 63.01) හි නව ඉහල අගයකට ලඟා විය. එතැන් සිට සිසිල්ම දිනය ජූලි 14, තවමත් පෙර උච්චයට මදක් ඉහලිනි, සෙල්සියස්16.94 ( ෆැරන්. 62.49) දක්වා පහත වැටුනි.

පෘථිවි නිවර්තන කලාපයට සහ උතුරු අර්ධගෝලයට දැනට පවතින තාප තරංගයෙන් දැඩි ලෙස පහර වැදී ඇති අතර, එම ප්‍රදේශවල දැනට සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 0.9 ( ෆැරන්හයිට්1.6) සහ සෙල්සියස් 1.2 (ෆැරන්හයිට් 2.1) පමන උෂ්නත්වයක් පවතී. උතුරු අත්ලාන්තික් සාගරයේ සාගර උෂ්නත්වය මාර්තු මාසයේ සිට සෘතුමය වාර්තා බිඳ දමමින් සාමාන්‍යයට වඩා සෙල්.1.5 (ෆැරන්. 2.7 ) දක්වා ලඟා වෙමින් පවති. ධ්‍රැවවලින් පිටත ලෝක සාගර උෂ්නත්වය සාමාන්‍යයට වඩා ඉහල සෙල්.0.8 (ෆැරන්.1.4) ලෙස පවතින අතර මාර්තු මාසයේදීනව වාර්තාගත සෙල්සියස් අංශක 21.1 (ෆැරන්හයිට් 69.98) අගයක් ද සලකුනු කරයි. 2023 සමස්තයක් ලෙස මෙතෙක් වාර්තා වූ උනුසුම්ම වසර බවට පත්වීමට වැඩි ඉඩක් ඇත.

මෙම වසරේ වාර්තාගත උෂ්නත්වයේ වඩාත්ම ව්‍යසනකාරී ප්‍රතිවිපාක අතර කැනඩාවේ ලැව්ගිනි, වර්ග කිලෝමීටර් 100,000 (වර්ග සැතපුම් 38,600) ට වඩා වැඩි ප්‍රමානයක් පිලිස්සී ඇත- මෙය 1989 හි පෙර වාර්තාවට වඩා දෙගුනයකට ආසන්න ප්‍රමානයකි. මෙ මගින් උතුරු ඇමරිකාවේ ඊසානදිග අවකාශය විෂ දුම් හා අලු විෂ සහිත මට්ටම් වලින් වසාගෙන ඇත. දකුනු යුරෝපයේ, මැද පෙරදිග, දකුනු ආසියාවේ සහ සමස්ත දකුනු එක්සත් ජනපදයේ විශාල කොටස් තාප අනතුරු ඇඟවීම් යටතේ තවමත් පවතීහෝ පැවතී ඇත. ජූලි මාසයේ ඇති වූ හදිසි ගංවතුරෙන් 13 දෙනෙකු ඇතුලුව එක්සත් ජනපදයේ ගංවතුරින් 47 දෙනෙකු මිය ගොස් ඇති අතර යුරෝපයේ සහ උතුරු අප්‍රිකාවේ ලැව්ගිනි මගින් 40 කට වඩා මිය ගොස් ඇත. ඇල්ජීරියාව, චීනය, සයිප්‍රසය, ග්‍රීසිය, ඉතාලිය, මෙක්සිකෝව සහ ස්පාඤ්ඤයේ තාප ආඝාතයෙන් සිය ගනනක් මිය ගොස් ඇත.

එපමනක් නොව, දැන් දේශගුනික විපර්යාස නිසා ඇති වන විපත් ඊටත් වඩා ව්‍යසනකාරී සිදුවීම්වල පූර්වනිමිත්තකි. ෆ්ලොරිඩා වෙරලට ඔබ්බෙන් වන ජල උෂ්නත්වය - සෙල්සියස් 38.38 (ෆැ. 101.1 ) - සහ ඇන්ටාක්ටිකා මුහුදු අයිස්වල ප්‍රමානය - වර්ග කිලෝමීටර මිලියන 2.6 (වර්ග සැතපුම් මිලියන 1 ක් පමන) ප්‍රමානයකින් සාමාන්‍යයට වඩා පහලය - ඉදිරියට එන දේ පිලිබඳ දර්ශක වේ.උනුසුම් වන සාගර බරපතල කොරල්පර පද්ධතිවලට සහ ගෝලීය ප්ලවාංග ජනගහනයට රෝග සහ මහා විනාශය තර්ජනයක් වන අතර එමඟින් සමස්ත ආහාර දාමයේ පදනමටම තර්ජනයක් ඇතිකරයි. ඇන්ටාක්ටික් මුහුදු අයිස් නොමැතිකම නිරන්තරයෙන් ගොඩබිම් අයිස් සාගරයට වැටීමේ මාරාන්තික අනතුරක් මතු කරයි. මෙය ලොව පුරා සාගර මට්ටම ඉහල නංවමින් බිලියන 3 ක ජනතාවක් ජීවත් වන වෙරලබඩ ප්‍රදේශ ස්ථිරවම ගංවතුරට යටකරයි.

අරාජික ධනේශ්වර නිෂ්පාදනය විසින් පෘථිවි සම්පත් සූරාකෑම, විශේෂයෙන් ශතවර්ෂ එකහමාරක් තිස්සේ ගල් අඟුරු, තෙල් සහ ස්වාභාවික වායු අත්‍යවශ්‍ය නියාමනයකින් තොරව දහනය කිරීම මගින් ගෝලීය උනුසුම ඉහල යාමට හේතු වී ඇති බවට තවදුරටත් සැකයක් නැත. දැවෙන ප්‍රශ්නය වන්නේ දැනට පවතින සහ වේගවත් වෙමින් පවතින පාරිසරික අර්බුදයට විසඳුමක් සොයාගැනීම යි.

යුරෝපීය කොපර්නිකස් දේශගුනික විපර්යාස සේවය (C3S) සහ ලෝක කාලගුන විද්‍යා සංවිධානය (WMO)වාර්තාවට ප්‍රතිචාර වශයෙන්, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියො ගුටරස් මාධ්‍ය හමුවකදී සඳහන් කලේ “මනුෂ්‍ය වර්ගයා වගකිව යුතුව පවතින් අතර දොස්පැවරිය යුත්තේ මිනිසුන්ට යි” යනුවෙනි. මෙය ව්‍යාජ සාම්‍යයක් ඇඳීමක් වන අතර ගුටරස් මෙය දනියි.

දොස් පැවැරෙන්නේ “මනුෂ්‍ය වර්ගයාට නොව”; ධනවාදයට යි. දේශගුන අර්බුදය බැරෑරුම් ලෙස ආමන්ත්‍රනය කිරීමට දරන සෑම උත්සාහයක්ම සැබවින්ම අවහිර කරන්නේ ලාභ පද්ධතිය, ආර්ථික ජීවිතය පුද්ගලික ලාභයට යටත් කිරීම සහ ලෝකය ප්‍රතිවාදී ජාතික රාජ්‍යවලට බෙදී තිබීමයි.

2008 දී, එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ මූලධර්ම ප්‍රකාශ කලේ,

ශාස්ත්‍රීය අර්ථයකින් ගත් කල, ලාභ පද්ධතිය හා මනුෂ්‍යත්වයේ ම පැවැත්ම අතර නොවැලැක්විය හැකි ගැටුමේ අතිශය හානිකර ප්‍රකාශනය අත්කර ගන්නේ,ගෝලීය උනුසුම්වීම හා ස්වාභාවික පරිසරය පිලිබඳ අර්බුදය තුලය. මෙහි හේතුව රඳා ඇත්තේ මනුෂ්‍ය ශිෂ්ඨාචාරයේ දියුනුවට තීරනාත්මක වන, විද්‍යාවේ හා තාක්ෂනයේ සංවර්ධනයෙහි නොව, අතාත්වික හා යල්පිනූ ආර්ථික පර්යායක් මඟින් ඒවා අවභාවිතා කිරීම තුලය.

එය මෙසේ අවසන් කරයි,

සියලු විද්‍යාත්මක සාක්ෂි පෙන්නුම් කරන්නේ, ග්‍රහලෝක පරිසරය, ලාභාපේක්ෂාව හෝ විනාශකාරී ජාතික අවශ්‍යතාවන් වෙනුවෙන් තව දුරටත් ප්‍රාන ඇපකරුවන් කර නොගන්නාවූ, ලෝක ආර්ථිකයේ සමාජවාදී ප්‍රතිසංවිධානයකින් මෙහාපැත්තේ නම්, ව්‍යසනයක් වැලැක්වීමට නැතුව ම බැරි හරිතාගාර වායූන් අවම කිරීම, සිදුකල නොහැකිය යන කාරනයයි.

දේශගුනික විපර්යාස ආමන්ත්‍රනය කිරීම සඳහා වූ සෑම ජාත්‍යන්තර සම්මන්ත්‍රන සහ ඉතා මෑතක දී පැවති COP27 දේශගුන සමුලුව, අන්ත අසාර්ථකත්වයකින් අවසන් වී ඇත්තේ, ධනේශ්වර ජාතික රාජ්‍යයන් එකිනෙකා සමග ගැටීමේ පදනම මත, මූලික වශයෙන් ගෝලීය ගැටලුවක් ආමන්ත්‍රනය කිරීමේ නොහැකියාවේ ප්‍රතිඵලයක් වශයෙනි. ඔවුන් මිලිටරි වියදම් විශාල වශයෙන් පුලුල් කරන තත්වයක් තුල පූර්ව කාලපරිච්ඡේදයේ දී වූ දේශගුනික පොරොන්දු කඩ කරමින් සිටී.

ධනේශ්වර පන්තියේ ආත්ම අභිලාෂය මත සමාජය සංවිධානය කරන ධනේශ්වර ලාභ පද්ධතිය, දේශගුනික අර්බුදය විසඳීමට අවශ්‍ය දැවැන්ත සමාජ සැලසුම් සහ සංවිධානකිරීමට ඓන්ද්‍රීයව අසමත් ය.

2020 දී ඉතා මෑතකදී යාවත්කාලීන කරන ලද කාබන් මේජර්ස් වාර්තාවට (Carbon Majors Report) අනුව, 1751 (වසර බොහෝ විට ගෝලීය උනුසුම සඳහා පදනම ලෙස භාවිතා කරයි) සිට හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 70 කට වගකිව යුත්තේ ඉහලම පොසිල ඉන්ධන සමාගම් 108 (උදා. Saudi Aramco, Chevron, Gazprom, BP, ExxonMobil) වේ. එයින් අඩක් 1990 සිට විමෝචනය වී ඇත. ගෝලීය විමෝචනයෙන් සියයට 30 කට වගකිව යුත්තේ එම සමාගම් 20 යි.

ලාභ අතිවිශාලය. මෙම සමාගම් පාලනය කරන සෑම ප්‍රධාන ධනේශ්වර රටකම ආයෝජන සමාගම් සහ මූල්‍ය ආයතන තවදුරටත් පොහොසත් කරමින් 2022 දී තෙල් හා ගෑස් ලාභය ගෝලීය වශයෙන් ඩොලර් ට්‍රිලියන 4 දක්වා ඉහල ගිය බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානී ෆාති බිරෝල් පසුගිය පෙබරවාරියේ ප්‍රකාශ කලේය.

කෝටිපතියන් සහ ප්‍රකෝටිපතියන් පෘථිවි සම්පත් මත ගිජුලෙස අරක්ගෙන සිටින අතර, එහි මිල ගෙවන්නේ කම්කරු පන්තිය සහ ග්‍රාමීය ජනතාව ය. පසුගිය වසරේ යුරෝපයේ ඇති වූ තාප තරංගයෙන් පුද්ගලයින් 61,000 කට වැඩි පිරිසක් මිය ගිය අතර, එය මේ වසරේ එම සංඛ්‍යාව සමකිරීමට හෝ එය ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ. පසුගිය වසරේ පාකිස්තානයේ දේශගුනික විපර්යාස හේතුවෙන් ඇති වූ ගංවතුර හේතුවෙන් මිලියන 33 ක ජනතාවක් අවතැන් විය. පශු සම්පත් ගොවිතැන් කරන මිලියන 500 ක පමන ජනතාවකට තම ජීවනෝපාය අහිමි වීමේ අවදානමක් ඇත. බිලියන 1 කට ආසන්න ජනතාවක් ආහාර සඳහා යැපෙන භූමිය මිනිස් ජීවිතය පවත්වා ගැනීමට නොහැකි තරමට ශුෂ්ක වීම නිසා සාගතයේ අවදානමට ලක්ව ඇත.

වෙනත් වචන වලින් කිවහොත්, දේශගුනික විපර්යාසයන්ට එරෙහි සටන මූලික වශයෙන් පන්ති ප්‍රශ්නයකි. දේශගුනික විපර්යාසවල බලපෑම වඩාත් සෘජුව හා ව්‍යසනකාරී ලෙස දැනෙන්නේ නියඟය, සාගතය, ලැව්ගිනි සහ ගංවතුර ඇතුලුව කම්කරු පන්තියට ය. ආන්තික කාලගුනික තත්ත්වයන් සහ ගෝලීය උෂ්නත්වය ඉහල යාමේ අනෙකුත් ප්‍රතිවිපාක හේතුවෙන් ශ්‍රමය යටතේ වැඩ කරන සහ මිය යන සියලුම කම්කරුවන් මෙයට එකතු කල හැකිය.

එබැවින් ධනේශ්වර පාලක ප්‍රභූවේ ඕනෑම කොටසකට කරන සියලු ආයාචනා බංකොලොත් ය. එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකානුවන් විසින් හෝ යුරෝපයේ කොන්සර්වේටිව් හෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් මෙහෙයවනු ලැබුවද, ප්‍රධාන ධනේශ්වර බලවතුන් අර්බුදය විසඳීමට අසමත් හා උනන්දුවක් නොදක්වන බව හෙලිදරව් වේ. විවිධ කාබන් වෙලඳ ගනුදෙනු හරහා ධනවත් වීමට සහ සියලු රටවල් ආක්‍රමනය කර විනාශ කිරීමට ඔවුහු වඩාත් උනන්දු වෙති.

කොරෝනා වයිරස් වසංගතයට ලෝක ආන්ඩු දක්වන ලද ප්‍රතිචාරය මෙම කුඩා සමාජ ස්ථරයේ අවශ්‍යතා පිලිබඳ තවත් උදාහරනයක් ලෙස පවතී. මාරාන්තික රෝගය පැතිරීම වැලැක්වීම සඳහා ගෝලීය වැඩසටහනක් ආරම්භ කරනවා වෙනුවට, එක්සත් ජනපදය සහ සෑම ප්‍රධාන බලවතෙකුම පලමුව උත්සාහ කලේ මිනිස් ජීවිත නොව ආයතනික ලාභ ආරක්ෂා කිරීම සහතික කිරීමට ය. “අනර්ථකාරී නොසලකා හැරීමේ” මූලික ප්‍රතිපත්තිය, ඇස්තමේන්තුගත මිලියන 24 ක් මියයාම සහ තවත් මිලියන ගනනක් දිගුකාලීන කෝවිඩ් (Long COVID) තත්වයෙන් පීඩා විඳිමයි.

මධ්‍යම පන්තික පාරිසරික ව්‍යාපාර සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ විකාශය, මිලිටරිවාදයේ සහ පන්ති පාලනයේ තීරනාත්මක උපකරනවල ආධාරකරුවන් බවට පත්ව ඇති හරිතයන් විසින් සංකේතවත් කර ඇත. විශේෂයෙන්ම ජර්මානු හරිත පක්ෂය, ධනවාදයට දෙන සහයෝගයේ ප්‍රතිඵලයක් ලෙස, යුක්‍රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධය ද ඇතුලු අධිරාජ්‍යවාදී යුද්ධයේ වඩාත් උද්‍යෝගිමත් අනුගාමිකයෙකු බවට පත්ව ඇත.

ගෝලීය පරිමානයෙන් ධනවාදය පෙරලා දැමීම සඳහා කම්කරු පන්තියේ ව්‍යාපාරයක් වර්ධනය කිරීම මත පදනම් නොවන ගෝලීය උනුසුම අඩු කිරීමට සහ ආපසු හැරවීමට දරන ඕනෑම උත්සාහයක් බලාපොරොත්තු විරහිත ලෙස මනෝරාජික හා බංකොලොත් බව මෙම පක්ෂවල සහ ප්‍රවනතාවයන්ගේ දේශපාලන ගමන් මග විසින් පැහැදිලි කෙරෙයි.

ගෝලීය උෂ්නත්වයේ වාර්තාගත ඉහල යාම සිදු වන්නේ ලොව පුරා දැවැන්ත වැඩ වර්ජන ව්‍යාපාරයක් පැන නැගීමත් සමගම ය. වාහන, සෞඛ්‍ය සේවා සහ සැපයුම් කර්මාන්ත තුල පසුගිය වසරේදී දැකගතහැකිවූ ආකාරයේම තියුනු අරගල, යූපීඑස්, යූඑස්පීඑස්, වෙස්ට් කෝස්ට් ඩොක්ස්, සහ බිග් ත්‍රී මෝටර් රථ සමාගම්වල පුපුරනසුලු පන්ති සටන් සමගින් එක්සත් ජනපදය තුලමත් දැනටම දිගහැරෙමින් පවතී. කොරෝනා වයිරස් වසංගතයට සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන මෙන්ම, දේශගුනික විපර්යාසයන්ට එරෙහි සටන පන්ති අරගලයේ වර්ධනය සමග අත්‍යයන්තයෙන් බැඳී පවතී.

හදිසි අවශ්‍යතාව වන්නේ, මෙම වැඩෙන කම්කරු පන්ති අරගල සමාජවාදී ඉදිරිදර්ශනයකින් සන්නද්ධ කිරීම, පුද්ගලික ලාභය සඳහා නොව මානව අවශ්‍යතා ආමන්ත්‍රනය කිරීම සඳහා තාර්කික පදනමක් මත සමාජය ප්‍රතිසංවිධානය කිරීමයි. දේශගුනික ව්‍යසනය වලක්වා ගත හැකි එකම මාර්ගය මෙයයි.

Loading