ගාඩි: පූර්ව යටත් විජිත ශ්‍රී ලංකාවේ කුල පීඩනය

[මෙය Gaadi: Caste oppression in pre-colonial Sri Lanka යන මැයෙන් 2023 අගෝස්තු 24 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ විසින් නිර්මානය කරන ලද නවවැනි වෘත්තාන්තය, ගාඩි, මේ වසරේ මුල් භාගයේදී කොලඹදී නිකුත් වූ අතර පසුව රට පුරා සිනමාහල්වල තිරගත විය. චිත්‍රපටය මීට වසර දෙක තුනකට පෙර ඩකා, චෙන්නායි සහ බ්‍රිස්බේන් ආසියා-පැසිෆික් චිත්‍රපට උලෙල ආදී විවිධ ජාත්‍යන්තර චිත්‍රපට උලෙලවල ප්‍රදර්ශනය කර සම්මාන දිනා ගත් නමුත්, එය ශ්‍රී ලංකාවේ නිකුත් කිරීම කෝවිඩ්-19 වසංගතය නිසා ප්‍රමාද විය.

ටිකිරි (දිනාරා පුංචිහේවා) සහ විජයා (සජිත ඇන්තනි). [ඡායාරූපය: සංජය මෙන්ඩිස්/ගාඩි] [Photo: Sanjaya Mendis/Gaadi]

විතානගේ විසින් තිර රචනයකොට අධ්‍යක්ෂනය කරන ලද ගාඩි, බ්‍රිතාන්‍ය යටත් විජිතවාදය විසින් සමස්ත දිවයිනේම පාලනය සියතට ගැනීමේ අවසන් ප්‍රයත්නය දැරූ 19 වන සියවසේ මුල් භාගයේ මහනුවර වැඩවසම් රාජධානියේ අවසාන වසරට අනුරූපව දිග හැරෙයි.

ගාඩි කුලයේ සාමාජිකයෙකු වන විජයා (සජිත ඇන්තනි) සහ මහනුවර පාලක ප්‍රභූ පැලැන්තියේ තරුන ස්ත්‍රියක් වන ටිකිරි (දිනාරා පුංචිහේවා) අතර පවත්නා සංකීර්න සම්බන්ධතාවයක් කේන්ද්‍ර කර ගනිමින් නිමවා ඇති මිනිත්තු 103 ක චිත්‍රපටය, කුල පීඩනයේ ම්ලේච්ඡත්වය ගවේෂනය කරයි. ටිකිරිගේ දෙබස් ඉතා සීමිත වුවද, මුහුනේ සියුම් භාව ප්‍රකාශනයෙන් සහ ශාරීරීක අභිනයෙන් පුංචිහේවා කරන නිරූපනය ඒත්තු ගැන්වෙනසුලුය.

ගාඩි යනු උඩරට සමාජයේ පහලම කුලය විය; 15 වැනි සියවසේ මුල් භාගයේ දී මතු වූ එම වැඩවසම් රාජ්‍යය දිවයිනේ මධ්‍යම හා නැගෙනහිර පිටිසරබද ප්‍රදේශයන්හි ආධිපත්‍යය දැරීය.

'සූර්යයාගේ දරුවන්' යන අරුත දෙන ගාඩි, හින්දු ඉන්දියාවේ දලිත්වරුන්ට හෝ 'කුලහීනයන්ට' සමාන සමාජ ස්ථරයකි. ජනවාර්ගික වාර්තා වලට අනුව, ගාඩි 'රත්නවල්ලි' දේවතාවිය ඇදහූ අතර විතානගේ ඔවුන්ගේ උපභාෂාව, සංගීතය සහ නැටුම් භාවිතා කිරීමෙන් චිත්‍රපටයට වැදගත් ආකර්ෂනයක් සහ තථ්‍යතාවයක් ලබා දෙයි.

මහනුවර ප්‍රභූවරුන් සහ අනෙකුත් ඉහල කුලයන් විසින් ගාඩිවරුන්, රොඩීන් (රොඩු) ලෙස හැඳින්වූ අතර ඔවුන් දැඩි ලෙස වෙනස් කොට සැලකීමට බඳුන් කලහ. භෝග වැවීම හෝ පොදු ලිංවලින් ජලය ලබා ගැනීම තහනම් කර තිබූ ගාඩි කුල සාමාජිකයෝ දඩයම් කිරීම, කැලෑවෙන් ආහාර සොයා ගැනීම හෝ හිඟාකෑම මගින් දිවි සරිකර ගත්හ. දැඩි කුල නීති මගින් ඉල්ලා සිටි නොයෙකුත් දේ අතර, ගාඩි, පිරිමි සහ ගැහැනු යන දෙකොටසම ඔවුන්ගේ ඉනට ඉහලින් කිසිදු ඇඳුමක් නොඇඳිය යුතු බව ද විය.

චිත්‍රපටිය ආරම්භ වන්නේ, සිංහල ප්‍රභූවරුන් වන ඇහැලේපොල අදිකාරම් (රවීන්ද්‍ර රන්දෙනිය) සහ බුලත්ගම දිසාවේ (ශ්‍යාම් ප්‍රනාන්දු) බ්‍රිතාන්‍ය තානාපති ජෝන් ඩොයිලි (මොහොමඩ් ඇඩමලි) සමඟ, එවකට මහනුවර රජු වූ දකුනු ඉන්දීය සම්භවයක් ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රනය කරමිනි. තමා උනන්දු වන්නේ වෙලඳාම ව්‍යාප්ත කිරීමට පමනක් බවත්, නව රජු ලෙස ඇහැලේපොලට සහාය දෙන බවට සහතිකවන බවත් ඩොයිලි පවසයි.

කෙසේ වෙතත්, කුමන්ත්‍රනය අසාර්ථක වන අතර, කූට වංශවතුන්ට සැඟව සිටීමට සිදුවිය. කුමන්ත්‍රන කල ප්‍රභූවරුන්ගේ භාර්යාවන්ට දැඩි දඬුවම් දෙන ලෙස රජු නියෝග කරයි. බුලත්ගම දිසාවේගේ නව යොවුන් වියේ බිරිඳ වූ ටිකිරි ද මෙයට ඇතුලත් ය. වැඩවසම් නීතිය යටතේ, මෙම කාන්තාවන්ට 'තම ගෞරවය රැක ගත හැක්කේ' ප්‍රසිද්ධියේ සියදිවි නසාගැනීමෙන් පමනි. එසේ කිරීමට අපොහොසත් වුවහොත්, ඔවුන් ගාඩි කුල මිනිසුන්ගේ භාර්යාවන් විය යුතුය.

ජෝන් ඩොයිලි (මොහොමඩ් ඇඩමලි), ඇහැලේපොල අදිකාරම් (රවීන්ද්‍ර රන්දෙනිය) සමඟ කුමන්ත්‍රනය කරයි. [ඡායාරූපය: සංජය මෙන්ඩිස්/ගාඩි] [Photo: Sanjaya Mendis/Gaadi]

ගාඩි චිත්‍රපටයේ භාවමය වශයෙන් වඩාත්ම බලගතු දර්ශනයක, වින්දිත උසස් කුල කාන්තාවෝ, රක්ත වර්න මල් මාලා පැලැඳ, ගෙලින් දරාගත් සුවිසල් ශෛලමය භාරයන් සහිතව, ගඟ දෙසට නෙරූ ජැටියක් මත පෙල ගැසී සිටිති. වයස්තම තැනැත්තියගෙන් ආරම්භ කර එකිනෙකා පිලිවෙලින් ගැඹුරු දියට පතිත වී අතුරුදහන් වන අතර, ඔවුන් පැලැඳ සිටි රක්ත වර්න මල්මාලා බුබුලු දමමින් සෙමෙන් සෙමෙන් මතුපිටට පැමිනේ.

පෙලෙහි අවසන් තැනැත්තිය වන ටිකිරි, මෝවිට දක්වා ම පියනැගූ මුත් දියට පැනීම ප්‍රතික්ෂේප කරමින් ආපසු හැරෙයි. මෙය, ගං ඉවුරේ රැස්වන ලෙස වැඩවසම් බලධාරීන් විසින් කලින් උපදෙස් දී තිබූ ගාඩි තරුන පිරිසට සංඥාවකි. නව යොවුන් වියේ තරුනිය වෙත පලමුව පැමිනෙන ගාඩි පුරුෂයාට ඇයව විවාහ කර ගත හැකි බව දන්නා ඔවුහු හැකි තරම් වේගයෙන් පිහිනති. මුලින්ම ඉවුරට ලඟා වූ විජයා ඇයට හිමිකම් කියයි.

චිත්‍රපටය පසුව අවධානය යොමු කරන්නේ, ප්‍රධාන චරිත-ද්වය එකිනෙකා පිලිබඳ ඔවුන්ගේම පූර්ව සංකල්පයන් ද, ගාඩි සහ අනෙකුත් පහත් කුලවල ජීවිතයේ කටුක යථාර්ථයන් ද සමඟ කටයුතු කිරීමට දරන ප්‍රයත්නයේ දී ඔවුන් මුහුන දෙන සමාජ සංකීර්නතාවන් කෙරෙහි ය.

ටිකිරි විසින් සියදිවි නසා ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිර්භීත ක්‍රියාවක් වන අතර, එය මෙම ම්ලේච්ඡ සම්මුතියට සහ කාන්තාවන් වහලුන් ලෙස සැලකීම ඇතුලු අනෙකුත් වැඩවසම් නීති සංග්‍රහවලට ද කරන අභියෝගයකි. කෙසේ වෙතත්, තරුනියට ඇගේම වංශාධිපති ඇතිදැඩි වීමෙන් සහ එහි දී මුල් බැසගත් කුල අගතීන්ගෙන් නිදහස් විය නොහැක. ඇය විජයාගේ සියලු යෝජනා බැහැර කරයි; ඇය දැන් ඔහුගේ බිරිඳ බවට වන ඕනෑම ඇඟවීමකට විරුද්ධ වන අතර අනෙකුත් ගාඩි සමාජ නීති ප්‍රතික්ෂේප කරයි.

අනෙකුත් වංශවත් කොටස්වලින් ගාඩි ජනයාට එල්ලවන මර්දනය වඩාත් ගැඹුරුවන තතු තුල, ටිකිරිගේ ප්‍රතිරෝධය වරිගය තුල ආතතීන් ජනිත කරයි. විජයා රූමත් තරුනිය නිසා මනමෝහනය වී සිටි නමුත්, දෙදෙනා වරිගයෙන් නික්ම යායුතුබව ඔහු තීරනය කරයි; ගාඩි සම්ප්‍රදායන් පිලිගැනීමට ඇයට ඒත්තු ගැන්වීමෙන් පසුව පමනක් ඔහු නැවත එක්වන බවට වරිග නායකයාට පොරොන්දු වේ.

විජයාගේ වරිගයේ සාමාජිකයින්. [ඡායාරූපය: සංජය මෙන්ඩිස්/ගාඩි] [Photo: Sanjaya Mendis/Gaadi]

අනතුරුව පැමිනෙන්නේ, අතේ තඹ දොයිතුවක් හෝ නොමැති විජයා සහ ටිකිරි ඔවුන්ගේ කුලවල සිරිත් විරිත්වලට පටහැනිව, වනයේ ජීවත් වීමට සහ ආරක්ෂිත ස්ථානයක් සොයා ගැනීමට යත්න දැරීම වැනි එකිනෙක හා බැඳුනු කථාංග මාලාවකි.

විජයා, තම කාය ශක්තිය හා ජවය තිබියදී ම කාව්‍යමය සංවේදිතාවක් ඇති මෘදුමොලොක් තරුනයෙකි. ආහාර, ඇඳුම් පැලඳුම් සහ නවාතැන් සපයා දෙන අතරම ඔහු වනාන්තරයේ ස්වභාවික උවදුරුවලින් ඇයව ආරක්ෂා කරයි. ගිනිමැලයක් අසල රාත්‍රී දර්ශනයක, ටිකිරිගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිකරන ලද තාවකාලික ඇටවුමක, ඇය සවන් දෙමින් සිටියදී, රත්නවල්ලියේ කවි පෙලේ එන කවියක් ගයමින් විජයා නර්තනයේ යෙදෙයි. මෙම ගීතය, ටිකිරි දේවතාවියක් ලෙස හඳුන්වමින්, කුල අගතියේ 'වෘක්ෂයෙන් බිමට බසින ලෙස' ඇයට ආයාචනා කරයි.

කුලු හරකුන් ඇල්ලීම සඳහා විජයාට ගෙවීමට පොරොන්දු වන, දුප්පත් සහ දරුනු ලෙස තුවාල ලැබූ ගොවියෙකු සමඟ මෙම යුවල මුලින් කටයුතු කරන නමුත්, පසුව තවත් සැක කටයුතු ගොවීන් තිදෙනෙකු විසින් පහර දී වධහිංසා පැමිනවීමෙන් පසු මෙම බලාපොරොත්තු සහගත අපේක්ෂාව බිඳවැටේ.

විජයා සහ ටිකිරි, පලා යන වංශාධිපතියෙකුට සහ ඔහුගේ පිරිවරට උදවු උපකාර කරති. ආක්‍රමනයට එරෙහිවන ප්‍රාදේශීය ගම්මාන භීතියට පත් කරමින් සහ විනාශ කරමින් සිටි බ්‍රිතාන්‍ය හමුදා සහ ඔවුන්ගේ ප්‍රාදේශීය කුලීකරුවන් විසින් ඔවුන් අල්ලා ගනු ලැබේ. බ්‍රිතාන්‍යයන් වංශාධිපතියාට වෙඩි තැබීමට සූදානම් වන විට පලා යන විජයා සහ ටිකිරි අවසානයේ විජයාගේ වරිගය සමඟ නැවත එක් වෙති.

බ්‍රිතාන්‍යයන් සහ ඔවුන්ගේ ප්‍රාදේශීය සගයන් රජු පෙරලා දැමූ ආකාරය ගාඩි පෙන්නුම් නොකරයි. එසේ වුවද, රජු පෙරලා දැමූබව, විජිත තානාපති ඩොයිලි විසින් සංවිධානය කරන ලද විජයග්‍රහන සැමරුම් උත්සවයක් මගින් නිරූපනය කෙරේ. මෙම අවස්ථාවට, ඇහැලේපොල අදිකාරම් සහ අනෙකුත් උසස් කුලවල සහායකයින් සමඟ බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන් දෙදෙනෙක් සහභාගීවෙති.

මෙම උත්සවයට ගාඩි ස්ත්‍රීන්ගේ සාම්ප්‍රදායික ගීත සහ නැටුම් ප්‍රසංගයක් ඇතුලත් වන අතර, විජයා, ටිකිරි සහ අනෙකුත් වරිග සාමාජිකයෝ ද සහභාගී වෙති. ටිකිරි, විජයග්‍රහන වේදිකාවේ වාඩි වී සිටින ඇගේ හිටපු සැමියා වන දිසාවේ හඳුනා ගනී. ඇය නැඟිට ඔහු දෙස බලා සිටින්නේ, ඇයව පිලිගෙන තම පවුලේ අය සමඟ නැවත එක් කරගනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් විය හැකිය. ඔහු ප්‍රතිචාර දක්වන්නේ ඇයව ඉවත් කරන ලෙස ඔහුගේ මැරයන්ට අන කිරීමෙනි. විජයා ඇයව ආරක්ෂා කිරීමට උත්සාහ කරන විට දරුනු ලෙස පහර දෙනු ලැබේ.

ශිල්පීන්ගේ නර්තනයෙන් මනමෝහනයට පත් ඩොයිලිට, ප්‍රචන්ඩ සටන ප්‍රහේලිකාවක් වන අතර, එයට හේතුව කුමක්දැයි අදිකාරම්ගෙන් විමසයි. ඔබ කුලහීනයින්ට රඟ දැක්වීමට ආරාධනා කරන විට සිදුවන්නේ මෙයයි, අදිකාරම්ගේ අවඥා සහගත පිලිතුරු එය විය. “කුලහීනයින් දූවිලි හා සමානයි. ඔබ ඔවුන් සමඟ සෙල්ලම් කලහොත් ඔබ කිලිටි වෙනවා,” යැයි ඔහු පවසයි.

මෙම කිලිපොලායන ප්‍රතිචාරය ගාඩි වරිගයට මුහුන දීමට සිදුවන බිහිසුනු සිද්ධි මාලාවක් පෙර ඇඟවුම් කරයි; එය විජයා සහ ටිකිරි පමනක් ඉතිරි වන ඛේදවාචකයකි. මෙම දර්ශනය දෙමල ජනයාට සහ අනෙකුත් පීඩිත ස්ථරයන්ට එරෙහිව රටේ දේශපාලන ප්‍රභූන් විසින් මුදා හල ප්‍රචන්ඩ සංහාරයන් සිහිගන්වයි. මෙම ලේඛකයාට, එය 1983 දී සිංහල මැරයන් විසින් කොලඹ විසූ දෙමල ජනයාට එල්ල කල ම්ලේච්ඡ ප්‍රහාරයන් සිහිගැන්වීය.

චිත්‍රපටයේ අවසන් සිරැසිවල සඳහන් වන්නේ බ්‍රිතාන්‍යය මහනුවර ප්‍රභූවරුන්ට දුන් පොරොන්දු ප්‍රතික්ෂේප කර 1815 පෙබරවාරි 15 වන දින ලංකාව යටත් විජිතයක් බවට පත් කල බවයි. දශක කිහිපයකට පසු බ්‍රිතාන්‍යයන් කුලය මත පදනම් වූ රාජකාරි ක්‍රමය අහෝසි කල බව සහ සමාජයේ අනෙකුත් පහල ස්ථරයන් සමග ගාඩි ඒකාබද්ධ වූ බව අවසන් සිරැසි තුල සඳහන් ය. නමුත් චිත්‍රපටයෙන් පැහැදිලි වන පරිදි, විජයා සහ ටිකිරි යන දෙදෙනාම ඔවුන්ගේ කලින් කුල තරාතිරම් වලින් පිටුවහල් කරනු ලැබූ අතර, අවිනිශ්චිත අනාගතයකට මුහුන දෙති.

චිත්‍රපටිය අවසානයේදී, විජයා, තවත් යාර කිහිපයක් පසුපසින් සිටින ටිකිරි සමඟ, සුවිසල් නිම්නයක් ඈතින් දිස්වන දැවැන්ත ගල්කුලක් මත, එහි අද්දර සිටියි. ඔවුන් තම කුල භේදවලින් ඉහලට නැඟී සිටියද, දෙදෙනාට එක්ව දිවි ගෙවීමට නියමිත පහල ලෝකය, දරුනු සහ සමාව නොදෙන සමාජ බෙදීම්වලින් ඉරිතලා ඇති බව එය සංකේතාත්මකව ඉඟි කරයි.

වැදගත්ම කාරනය නම්, ගාඩි විසින්, බ්‍රිතාන්‍යයන් පාලනය කරන තෙක් ශ්‍රී ලංකාව තුල 'උත්තරීතර සංස්කෘතියක්' පැවති බවට පවසන සමකාලීන සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදීන්ගේ මිථ්‍යාවන් දැදුරු කිරීමයි. මෙම ප්‍රකාශයන්ට පටහැනිව, චිත්‍රපටය හෙලි කරන්නේ, මිනිස් දූවිලි ලෙස සලකනු ලැබූ සහ නිරන්තරයෙන් ප්‍රචන්ඩ හිංසාවලට සහ ඇතැම්විට මරා දැමීමට පවා ලක් වූ පහත් කුලවල ජීවිතයේ කටුක යථාර්ථයයි.

සමකාලීන ශ්‍රී ලංකාවේ පන්ති සබඳතා සහ වර්ගවාදී බෙදීම් පිලිබඳව ද, සංවේදී ගවේෂන සඳහා විතානගේ සුප්‍රකටය. (බලන්න: පවුරු වලලු, පුරහඳ කලුවර?, ඉර මැදියම සහ ඔබ නැතුව ඔබ එක්ක). රටේ වැඩවසම් යුගය, කුලය සහ අනෙකුත් කෘතිම අනන්‍යතා මානව සබඳතා වලට විෂ කවන ආකාරය පිලිබඳව ද ඔහුගේ විමර්ශනය—ඔහුගේ පලමු නාටකීය ඉතිහාස චිත්‍රපටය—මෙම බුද්ධිමත් හා තීරනාත්මක ප්‍රවේශය පවත්වාගෙන යයි.

අදාල අනෙකුත් ලිපි:

“කලාකරුවන්ට යුද්ධයේ යථාර්ථය හෙලිදරව් කිරීමේ ශක්‍යතාව තියෙනවා“ ශ්‍රී ලාංකික සිනමාකරු ප්‍රසන්න විතානගේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග කතා කරයි

Loading