සතොස රැකියා රැකගැනීමේ අරගලයෙන් සියලුම කම්කරුවන්ට වැදගත් පාඩම්

තම රැකියා අහිමි කිරීමට එරෙහිව සමුපකාර තොග වෙලඳ සංස්ථාවේ (සතොස) කම්කරුවෝ සැප්තැම්බර් 25 වෙනිදා සිට දින අටක් අඛන්ඩ සත්‍යග්‍රහයක නිරත වූහ. සතොස ප්‍රතිව්‍යුහකරනය ට අදාලව ක්‍රියාවට දැමූ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ සැලැස්මක් (සීආර්එස්) යටතේ සැප්තැම්බර් 30 වෙනිදා සිට, 292 ක් වූ එහි සියලුම සේවකයන් ගේ සේවය අවසන් කරන බව සතොස පාලනාධිකාරය විසින් ඔවුන් ට දැනුම් දී තිබුනි.

2023 සැප්තැම්බර් 27දා කොලඹ වොක්ෂෝල් වීදිය සතොස ශාඛාවේ සත්‍යග්‍රහ විරෝධතාවක නිරත වන සතොස කම්කරුවෝ

ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරනය ආන්ඩුවේ ක්‍රියාවන් යුක්ති සහගත කරමින් මෙම ආරවුලට මැදිහත් වීම ප්‍රතික්ෂේප කිරීමත් සමග සතොස සේවකයින්ට සිය උද්ඝෝෂන ව්‍යාපාරය අවසන් කිරීමට සිදු විය. පෙර නොවූ විරූ සමාජ ව්‍යසනකාරී තත්වයන් මධ්‍යයේ තම රැකියා සහ ජීවන කොන්දේසි රැකගැනීම සඳහා සටන් කිරීමට කම්කරුවන්ට අධිෂ්ඨානයක් ඇත. ඔවුන්ගේ අරගලය සතොස කම්කරුවන්ට පමනක් නොව සමස්ත කම්කරු පන්තිය ට ම වැදගත් පාඩම් සපයා තිබේ.

සතොස ප්‍රතිව්‍යුහකරනය යටතේ සේවකයන් ගේ රැකියා විනාශ කර දැමීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් ට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින් ක්‍රියාවට දමා ඇති රුදුරු කප්පාදු වැඩපිලිවෙලේ කොටසකි. එහෙයින්, සතොස කම්කරුවන්ගේ අරගලය තුල ඍජුව මතු කෙරුනේ ආන්ඩුවේ මෙම පිලිවෙතට එරෙහි සටනක හා එම අරගලයට සමස්ත කම්කරු පන්තියේ සහාය බලමුලු ගැන්වීමේ අවශ්‍යතාවයයි.

පුද්ගලීකරනයට, රැකියා කප්පාදුවට සහ ඉසිලිය නොහැකි ජීවන වියදම් බරට තමන් ද මුහුන දී සිටින තතු යටතේ සතොස අරගලයට සියලු කම්කරුවන්ගේ සහාය ගොනුකර ගැනීමේ හැකියාව පැවතුනි.

එහෙත්, කම්කරුවන් සංවිධානය කරගෙන සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප්‍රගතිශීලී කම්කරු සංගමයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නායකයන් කම්කරුවන් එබඳු පොදු අරගයකට කැඳවීමට විරුද්ධ ය. ඔවුන් කලේ කම්කරුවන් සත්‍යග්‍රහයක රඳවා, ඔවුන්ගේ සේවය අහෝසි කිරීමට හා සතොස ඈවර කිරීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරනය ට පෙත්සමක් ගොනු කිරීමයි. අධිකරනයේ පිහිටෙන් රැකියා රැකගත හැකිය යන මිත්‍යාවේ කොටුකිරීමට සමිති නායකයෝ ක්‍රියා කලහ.

අභියාචනාධිකරනය සැප්තැම්බර් 3 වෙනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කොට, ගාස්තුවට යටත් නොකොට, වෘත්තීය සමිතිවල පෙත්සම නිෂ්ප්‍රභා කලේ ය. තීන්දුවේ මෙසේ සඳහන් විය:“නීත්‍යානුකූලභාවයේ සහ සාධාරනත්වයේ සීමාවන් තුල ආන්ඩුවේ ප්‍රතිපත්ති පවතිනතාක්, ආර්ථික කටයුතුවලදී, විශේෂයෙන් අර්බුදකාරී කාලයන්හි දී, විධායක බලයට ගරු කිරීමේ වැදගත්කම පිලිගනිමින් මෙවන් නඩු වලදී ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට මැදිහත් නොවීමේ මූලධර්මය අධිකරනය විසින් තහවුරු කර ඇත.”

නඩු තීන්දුව තවදුරටත් මෙසේ සඳහන් කරයි: “ආන්ඩුවේ ආර්ථික ප්‍රතිව්‍යුහකරන කටයුතුවලට, විශේෂයෙන් ම මුල්‍ය අර්බුදයක දී, එවැනි ප්‍රතිපත්ති නීති විරෝධී හෝ පැහැදිලිව අසාධාරන නොවන්නේ නම් අධිකරනය එයට මැදිහත් වීමෙන් වැලකී සිටිය යුතුය”.

නඩු තීන්දුවේ අර්ථය ඕනෑම කම්කරුවෙකුට අපැහැදිලි නැත. ධනපති පන්තියට සිය ආර්ථිකය ගැටගසාගෙන යා හැකි කාලවල 'අපක්ෂපාති' බවක් ප්‍රදර්ශනය කරන අධිකරනය, ධනපති ක්‍රමය අර්බුද ග්‍රස්ත කාලවල එහි ආරක්ෂාවට ඉදිරිපත්වේ. සෑම රටකම, අධිකරනය ධනේශ්වර රාජ්‍යයේ උපකරනයක් ලෙස තම ක්‍රියා කලාපය පසුගිය දශකවල විවෘතව එලිදරව් කර තිබේ.

සතොස සම්බන්ධයෙන් ගත්කල, අධිකරනය තුලින් කම්කරුවන් ට රැකියා සහ අනෙකුත් අයිතීන් ආරක්ෂා කල හැකි බවට වෘත්තීය සමිති විසින් ප්‍රවර්ධනය කරන මිත්‍යාව පුපුරුවා හැර ඇත. අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල මත බදු පනවා සිදුකරන විශ්‍රාම අරමුදල් කප්පාදුව නතරකරන ලෙස ජනතා විමුක්ති පෙරමුනේ අන්තර් සමාගම් සේවක සංගමය ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට නොගෙනම, අගෝස්තු 10 දා ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ප්‍රතික්ෂේප කෙරිනි.

අනෙකුත් අතුරු ප්‍රශ්නවලට අමතරව ශ්‍රේෂ්ඨාධිකරනය සැලකිල්ලට ගත්තේ, රාජ්‍ය මූල්‍ය සහ දේශීය නය ප්‍රතිව්‍යුහකරනය සඳහා බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවයි. ජාමුඅ වැඩපිලිවෙල පාර්ලිමේන්තුව අනුමත කර ඇති නිසා කිසි තැනෙක එයට අභියෝග කල නොහැකිබව මුලින් ම ප්‍රකාශ කලේ ජනාධිපති වික්‍රමසිංහ විසිනි. ධනේශ්වරයෙන් එල්ලවන ප්‍රහාර පරාජය කිරීමට, එම ප්‍රහාර වලක්වා ගැනීමට නීතියේ පිලිසරන පැතිය හැකිය යන වෘත්තීය සමිති නිලධරයේ ප්‍රචාරයේ පල්ල ගොස් ඇත. ඔවුන් එසේ කරනුයේ නොදැනුවත්ව නොවේ; කම්කරු පන්තිය බලමුලුගැන්වීම වැලක්වීමේ දැනුවත් මැදිහත් වීමක් ලෙස ය.

ධනපති ක්‍රමය තුල නීතිය තීන්දුවන්නේ කුමකින් ද එම නීතිය කවුරුන් සඳහා ද යන්න තේරුම් ගැනීමට, කාල් මාර්ක්ස් 1875 ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ගෝතා වැඩපිලිවෙල පිලිබඳ ඔහුගේ විවේචනයේ දී සඳහන් කල පැහැදිලි කිරීම් ඉතා වැදගත් ය. මාක්ස් මෙසේ සඳහන් කලේය: ධනේශ්වර පන්ති පාලනය තුල “ආර්ථික සබඳතා නීතියෙන් තීරනය නොවේ; ඒ වෙනුවට නීතියේ පදනම තීරනය වන්නේ පවතින ආර්ථික සබඳතා මගිනි.”

ධනේශ්වර ක්‍රමය තුල, ආර්ථික සම්බන්ධතාවල අධිකාරිත්වය දරන්නේ ධනපති පන්තිය විසිනි. අර්බුද කල පරිච්ඡේද වල, ධනේශ්වර රාජ්‍යයේ අවයව, මෙම අධිකාරිත්වයට එල්ලවන අභියෝග මැඩලීමට එන්ටඑන්ටම විවෘතව ක්‍රියාවට බසී.

ශ්‍රීලපොපෙ -වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රමුඛ ධනපති පාලක පන්තියේ පෙර නොවූවිරූ මූල්‍ය අර්බුදය ගෝලීය ධනවාදයේ අර්බුදය සමග අත්‍යන්තයෙන් බැඳී ඇත. අන් හැම රටක පාලකපන්තීන් මෙන් ම, ශ්‍රී ලංකාවේ පාලක පන්තිය ඉන් ගොඩ ඒමට උත්සාහ කරන්නේ අර්බුදයේ මුලුබර වැඩකරන ජනතාව මත පැටවීම තුලින්‍ ය. එය හසුරුවනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය විසින් ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් අනකරනු ලැබ ශ්‍රිලපොපෙ-වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දමන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනය හරහා කෙරෙන රැකියා විනාශය එහි කොටසකි. අධිකරනය ධනපති රාජ්‍යයේ මෙම පිලිවෙත ට “මැදිහත් නොවීමට” තීන්දු කර තිබෙන්නේ එම තතු තුල ය.

ධනේශ්වර රාජ්‍යයේ විධායකය, ව්‍යවස්ථාදායකය හෝ අන් කවර සංස්ථාවක් තුලින්වත් කම්කරු පන්තියට තම අයිතීන් ආරක්ෂා කරගත නොහැකි බවද ඉන් තහවුරු කෙරෙන අනෙක් කාරනාවයි. ධනේශ්වර රාජ්‍යයේ සියලු සංස්ථාවන් අතිමුලිකව ආරක්ෂා කරන්නේ ධනපති පන්තියේ පන්ති අවශ්‍යතාවයන් හා ආර්ථික සබඳතාවයන් ය.

එබැවින් ප්‍රතිව්‍යුහකරනය ට හා රැකියා විනාශය ට එරෙහි සතොස කම්කරුවන්ගේ අරගලයේ මූලික පාඩම වන්නේ ධනේශ්වර රාජ්‍යය ට බලපෑම් දැමීමෙන් හා හා එහි අධිකරනය ට ආයාචනා කිරීමෙන් කම්කරුවන් ට තම අයිතීන් කිසිවක් ආරක්ෂා කරගත නොහැකි බවයි. එමෙන්ම එම අයිතීන් සඳහා සටන, අධිකරනය ඇතුලු ධනේශ්වර රාජ්‍යයට වැඳ නමස්කාර කරන නිලධරයන්ට එරෙහිව යයි.

ජාමූඅ කප්පාදු පිලිවෙත හැර රට අර්බුදයෙන් ගොඩ ගැනීමට වෙනත් විකල්පයක් නැති බව ජනාධිපති වික්‍රමසිංහ යලියලිත් අවධාරනය කරයි. සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුන ඇතුලු “විපක්ෂයේ ” ධනපති පක්ෂ සහ වෘත්තීය සමිති ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධ නැත.

ලංකා විදුලි බල මන්ඩලය, තෙල් සංස්ථාව, ජලසම්පාදන මන්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව හා එයාර් ලංකා ඇතුලුව ප්‍රතිව්‍යුහකරනය සඳහා ලැයිස්තුගත කර තිබෙන රාජ්‍ය ව්‍යවසායන් ගනන 430 කි. ඒ යටතේ පන් ලක්ෂයකට අධික කම්කරුවන්ගේ රැකියා විනාශ කෙරෙන අතර ඔවුන්ගේ පවුල්වල මිලියන ගනනක් සාමාජිකයෝ දරිද්‍රතාවය ට හා කුසගින්න ට ඇද දැමෙයි. ඉතිරි වන්නන් මත වැටුප් කප්පාදුව සහ රුදුරු වැඩ කොන්දේසි පැටවෙනු ඇත.

ජාමූඅ කප්පාදු පිලිවෙත ට එරෙහිව, වරාය, රක්ෂන, ටෙලිකොම් හා තෙල් සංස්ථාවේ කම්කරුවන් ගේ අරගල ඇතුලුව මෑත සියලු අරගල වලින් යලි යලිත් තහවුරු වී ඇත්තේ කම්කරු පන්තිය ට තම කිසිදු අයිතියක් ධනපති පාලක පන්තියේ සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ඒජන්තයන් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති නිලධරය හරහා දිනාගත නොහැකි බවයි.

වෘත්තීය සමිති නිලධරයේ පොදු භූමිකාව වන්නේ ශ්‍රීලපොපෙ-වික්‍රමසිංහ ආන්ඩුවට හා ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරු පන්තියේ අරගලය යටපත් කරගෙන සිටීම සහ එසේ නොහැකි වන විට ආන්ඩුවට බලපෑම් දැමීමේ නිස්සාර උද්ඝෝෂන සහ අධිකරනයට ආයාචනා කිරීම් වලට කොටුකිරීමෙන් කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුධ කර විසුරුවා හැරීමයි.

රැකියා, වැටුප් සහ යහපත් වැඩ කොන්දේසි ඇතුලුව තම අයිතීන් දිනා ගැනීමේ අරගලය කම්කරුවන් තමන් අතට ගැනීම අවශ්‍ය වන්නේ එබැවිනි. කම්කරුවන් ගේ අයිතීන් සඳහා අරගලය ජාමූඅ කප්පාදු පිලිවෙතට එරෙහි සමස්ත කම්කරු පන්තියේ පොදු අරගලයකි.

එය ශ්‍රීලපොපෙ-වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වූ දේශපාලන සටනකි. එවන් ආන්ඩුවක් විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කර, කර්මාන්ත, බැංකු හා වතු ඇතුලුව ධනපති පන්තියේ සියලු මූලික දේපල කම්කරු පාලනය යටතේ ජනසතු කරන විධිමත් හා සමාජවාදී ආර්ථික පිලිවෙතක් ක්‍රියාවට දැමීමටත්, කම්කරු පන්තියේ මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කිරීමටත් කැපවීගනු ඇත. එය ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනෙහි අවියෝජනීය කොටසකි.

ඒ සඳහා සියලු ධනපති පක්ෂවලින් සහ වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව හා කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් සියලු වැඩපල වල, කම්හල්, වතු හා කම්කරු නිවහන් ප්‍රදේශවල කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමත්, එවන් ක්‍රියාකාරී කමිටු වල ජාලයක් හරහා සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් හා සමාන ප්‍රහාරවලට මුහුන දී සිටින සහෘද ජාත්‍යන්තර කම්කරුවන් සමග එකමුතුව තහවුරු කරගැනීමත් අවශ්‍ය වේ. කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමේ සටනට ග්‍රාමීය දුගීන් පෙලගස්වන කම්කරු පන්තියේ එක්සත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුය.

Loading