2023 සසප ගිම්හාන පාසලේ දේශනය

පැබ්ලෝවාදී සංශෝධනවාදයේ සම්භවයන්, හතරවන ජාත්‍යන්තරය තුල භේදය සහ ජාත්‍යන්තර කමිටුව පිහිටුවීම

[මෙය The Origins of Pabloite Revisionism, the Split Within the Fourth International and the Founding of the International Committee මැයෙන් 2023 අගෝස්තු 18දා පල කල සසප ගිම්හාන පාසලේ දී පවත්වන ලද දේශනයේ පරිවර්තනය යි.]

2023 ජූලි 30 සිට අගෝස්තු 4 දක්වා පවත්වන ලද සසප (එක්සත් ජනපදය) ගිම්හාන පාසලට එම පක්ෂයේ ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් මෙම දේශනය පැවැත්වී ය.   

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් ඉදිරිපත් කල “ලියොන් ට්‍රොට්ස්කි සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ හා සමාජවාදී විප්ලවයේ යුගය තුල සමාජවාදය සඳහා අරගලය” නමැති ආරම්භක වාර්තාව අගෝස්තු 24දා පලකෙරුනි. “හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික හා දේශපාලන පදනම්” නමැති දෙවන දේශනය සැප්තැම්බර් 23දා පලකරන ලදී.

ජෝසෆ් කිෂෝර් පවත්වන ලද දේශනය:  පැබ්ලෝවාදී සංශෝධනවාදයේ සම්භවයන්, හතරවන ජාත්‍යන්තරය තුල භේදය සහ ජාත්‍යන්තර කමිටුව පිහිටුවීම
හැඳින්වීම

ජේම්ස් පී. කැනන් “ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට විවෘත ලිපිය” නිකුත් කිරීමෙන් සතියකට පසු, එහි දේශපාලන පදනම මත, 1953 නොවැම්බර් 23දා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) ආරම්භ කිරීමේ 70වන සංවත්සරය මෙම එලැඹෙන නොවැම්බරය විසින් සලකුනු කරනු ලැබෙයි. වාමාංශික විරුද්ධ පාර්ශවය ආරම්භ කිරීමේ සිට වසර 100ක් ගතවීම ද ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) ස්ථාපිත කිරීමේ සිට වසර 25ක් ගතවීම ද අපි සලකුනු කරමින් සිටිමු. එනම්, ලෝසවෙඅ දියත් කිරීමේ සිට ශතවර්ෂ කාලක් සහ ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය යටතේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පැවතී ආසන්න වසයෙන් ශතවර්ෂ තුන්කාලක් ගත වී ඇත.

එහි [පැබ්ලොවාදයේ] ප්‍රධාන නායකයා හා යෝජකයා වූ මයිකල් පැබ්ලෝගේ නමින් හඳුන්වන, සංශෝධනවාදයේ හා අවස්ථාවාදයේ රූපාකාරයක් වූ පැබ්ලෝවාදයට එරෙහි ව, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ආරක්ෂා කරනු වස් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ස්ථාපිත කරනු ලැබුවේ ය. සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නමැති ලියවිල්ල තුල අපි මෙසේ ලීවෙමු: “පරදුවට තැබී තිබුනේ හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමේ දී පදනම් කරගත් සාරභුත දේශපාලන මූලධර්මයන් ආරක්ෂා කිරීමයි; එමෙන් ම ස්වාධීන දේශපාලන විප්ලවවාදී සංවිධානයක් ලෙස එහි පැවැත්මය.” [1].

පැබ්ලෝවාදය විවිධ රටවල දී විවිධ රූපාකාර ගත්තේ ය. එක්සත් ජනපදය තුල දී, පැබ්ලෝගේ ආධාරකරුවෝ, ප්‍රතිකොමියුනිස්ට්වාදී වෘත්තීය සමිති යාන්ත්‍රනයට තම යටත් වීම සාධාරනීකරනය කරනුවස්, පැබ්ලෝගේ සංකල්පයන් යොදාගත්ත ද පබ්ලොවාදයේ එක් කේන්ද්‍රීය ලක්ෂනයක් වූයේ, ස්ටැලින්වාදයට හා ධනේශ්වර ජාතිකවාදයට අනුගත වීමයි. අප රක්නා උරුමය තුල ඩේවිඩ් නෝර්ත් විස්තර කරන පරිදි එහි සාරය වූයේ, “එදත් (අදත්) පැබ්ලෝවාදය මුල සිට අග දක්වා ම දියකර හැරීම්වාදයකි. එනම් සමාජවාදී විප්ලවය තුල නිර්ධන පන්තියේ ආධිපත්‍යය සහ නිර්ධන පන්තියේ ඓතිහාසික කාර්යභාරයේ සවිඥානක ප්‍රකාශනය හැටියට හතරවන ජාත්‍යන්තරයේ සැබවින් ම ස්වාධීන පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමකි...” [2]   

මෙම උපුටා දැක්වීම පෙන්නුම් කරන පරිදි, අපි හුදෙක් පොර බදමින් සිටින්නේ, අතීතයේ දේශපාලනික ප්‍රවනතා සමග පමනක් නො වේ. 1939-1940 සකප භේදය තුල සිය සම්භවයන් පවතින “රාජ්‍ය ධනවාදී” සංවිධාන සමග බොහෝ අවස්ථාවල දී ඒකාබද්ධ වී ඇති පැබ්ලෝවාදී ප්‍රවනතා සහ ඒවායෙන් පැවත එන්නෝ, රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයේ වඩාත් ම ස්ථීරසාර ආධාරකරුවන් ලෙස ද ධනවාදී පාලනයේ තීරනාත්මක උපකරන හෝ සමහර අවස්ථාවල දී පුටින්ගේ ප්‍රතිගාමී ජාතිකවාදයට අධාර කරන්නන් ලෙස ද අද දින ක්‍රියාත්මක වෙති.

ජාත්‍යන්තර කමිටුව ආරම්භ කිරීමෙන් කූටප්‍රාප්ත වීමට තුඩුදුන් පැබ්ලෝවාදයේ සම්භවයන් හා වර්ධනය මෙම දේශනය තුල දී මම විමර්ශනය කරන්නෙමි. 2019 දී පැවැත්වූ සසප (එක්සත් ජනපදය) ගිම්හාන පාසලේ දී සටහන් කරන ලද හතරවන ජාත්‍යන්තරයෙහි ඉතිහාසයේ අවධීන් පිලිබඳ වර්ගීකරනය අනුව, මෙය සලකුනු කරන්නේ, 1938 දී හතරවන ජාත්‍යන්තරය ආරම්භ කිරීම සමග ඇරඹුනු දෙවන අවධියේ අවසානය සහ විවෘත ලිපිය නිකුත් කිරීම හා ජාත්‍යන්තර කමිටුව ස්ථාපිත කිරීම සමග ඇරඹුනු තුන්වන අවධියේ ආරම්භය යි.

පැබ්ලෝවාදය පිලිබඳ ව අපේ ව්‍යාපාරය විසින් හෝ වෙනත් කවර හෝ තැනක සම්පාදනය කර ඇති වඩාත් ම සංගෘහිත විශ්ලේෂනය වන්නේ, අප රක්නා උරුමයයි. මෙම ඉතිහාසය විමර්ශනය කිරීමට පෙර, මගේ කරුනු උකහා ගන්නා ප්‍රාථමික මූලාශ්‍රය වන මෙම කෘතිය ගැන කරුනක් සඳහන් කිරීම මට අවශ්‍ය ය. සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ වර්කර්ස් ලීගයෙහි බුලටින් පුවත්පතට 1986 අප්‍රේල් හා 1987 පෙබරවාරි අතර කාලයේ කොටස් 35ක් ලෙස නෝර්ත් සහෝදරයා අප රක්නා උරුමය ලීවේ ය.

අප රක්නා උරුමය

“ජාත්‍යන්තර කමිටුව දැන් ම වලදමා හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමට හේතු 27ක්” මැයෙන්, කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප) නායකයෙකු වූ මයිකල් බන්ඩා විසින් ලියන ලද ලේඛනයට ප්‍රතිචාර ලෙස, කවිප ජාතික අවස්ථාවාදීන් සමග භේදයෙන් ක්ෂනික ඉක්බිත්තේ අප රක්නා උරුමය පලකරන ලදී. 1986 පෙබරවාරි 7දා මුල්වරට පලකරන ලද බන්ඩාගේ ලේඛනය, ඊට පසු දින කවිපය අස්කොන්හි පැවැත්වූ “අටවන සම්මේලනය” විසින් අනුමත කරන ලද අතර, කවිප තුල සිටි සියලු ජාත්‍යන්තර කමිටුවේ ආධාරකරුවන්, ලන්ඩන් පොලීසියේ සහයෝගය සහිත ව බන්ඩා හා ස්ලෝටර් විසින් එම සම්මේලනයෙන් එලියට දමනු ලැබී ය.

මෙම කෘතියේ සැලකිය යුතු කොටසක් කැප කරනු ලබන්නේ, පැබ්ලෝවාදයට එරෙහි අරගලය විමර්ශනය කිරීමට යි.    “හතරවන ජාත්‍යන්තරය හා යුගෝස්ලාවියානු විප්ලවය” සිට “ජේම්ස් පී. කැනන්ගේ විවෘත ලිපිය” නමැති පරිච්ඡේද 7ක් ද 1963 දී එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂය (සකප) පවත්වන ලද පැබ්ලෝවාදීන් සමග යලි එකමුතු වීමේ සම්මේලනය සහ ලංකාව තුල ධනපති ආන්ඩුවකට ලසසපය ඇතුල් වීම තුලින් කූටප්‍රාප්ත වූ දේශපාලන පිරිහීම මත කේන්ද්‍රගත වන “භේදයෙන් පසු” කාල පරිච්ඡේදයේ සිට “ලංකාවේ ඓතිහාසික පාවාදීම” යනුවෙන් යුත් පරිච්ඡේද 11ක් ද මෙයට ඇතුලත් වෙයි. මේ සියල්ල එක් ව ගත්විට, අප රක්නා උරුමය කෘතියෙන් අඩකටත් වඩා සමන්විත වන්නේ මෙම පරිච්ඡේදවලිනි.

පැබ්ලෝවාදය මත අප රක්නා උරුමය කෘතිය මෙලෙස විස්තීර්න ලෙස කේන්ද්‍රගත වීමෙන් පැහැදිලි කෙරෙන්නේ,    කවිප සමග ගැටුමේ දී පරදුවට ලක්ව තිබුනේ, මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සමස්ත න්‍යායික හා දේශපාලනික උරුමය ආරක්ෂා කිරීමය යන කරුනයි. සැබවින් ම මෙය, හීලිගේ “ඥානනයේ භාවිතය” පිලිබඳ නෝර්ත් සහෝදරයාගේ විවේචනයේ සිට මාක්ස්වාදයේ සම්භවයන් කරා ම ආපසු ගියේ ය. මෙහි දී සුවිශේෂී වසයෙන් වැදගත් වූයේ, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නායකත්වය ලෙස ජාත්‍යන්තර කමිටුවෙහි දේශපාලන අධිකාරය සහ එහි සාරභූත දේශපාලනික පදනම් යන දෙක ම ආරක්ෂා කිරීම යි.

“හතරවන ජාත්‍යන්තරයෙ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන අධිකාරය ඍජු ලෙස පිලිගැනීමක පදනම මත කවිප සාමාජිකත්වය යලි ලියා පදිංචි කිරීම” සඳහා කැඳවුම් කල 1985 ඔක්තෝබර් 25 දිනැති යෝජනාව තුල මින් පලමුවැන්න ප්‍රකාශයට පත්විය. 1984 ජනවාරි 23දා නෝර්ත් සහෝදරයා මයික් බන්ඩාට ලියන ලද ලිපිය තුල මෙසේ සඳහන් කෙරුනි: “නිගමන හා විධික්‍රමය යන දෙකේ දී ම, අපි පැබ්ලෝවාදය ලෙස ඓතිහාසික ව සඳහන් කර ඇති දෙයට අතිශයින් ම සමාන ආස්ථාන වෙත” කවිප නායකත්වයේ පසුබැසීමත් එය යෙදී සිටි ජාතික අවස්ථාවාදී දේශපාලනයත් සමග, කවිප නායකත්වය විසින් ජාත්‍යන්තර ව්‍යාපාරයේ අධිකාරය පිලිගැනීම ප්‍රතික්ෂේප කිරීම නො වෙන්කල හැකි ලෙස බැඳී පැවතුනි.[3]

ඒ අනුව, බන්ඩාට පිලිතුරු දීමේ දීත්, ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන අත්තිවාරම් යලි-තහවුරු කිරීමේ දීත්, පැබ්ලෝවාදයට එරෙහි අරගලයෙහි ඉතිහාසය සවිස්තර ව විමර්ශනය කිරීම අවශ්‍ය විය. 1982 හා 1986 අතර වර්ධනය වූ ජාත්‍යන්තර කමිටුව ඇතුලත ගැටුමෙහි විකාශනයේ වැදගත් මූලිකාංගයක් වූයේ, පැබ්ලෝවාදයට එරෙහි අරගලය තුල වර්කර්ස් ලීගයේ නායකත්වය අධ්‍යාපනගත කර තිබීමයි. 1974 දී වුල්ෆර්ත්ගේ පලා යාමෙන් අනතුරු ව පක්ෂයට නායකත්වය දීමට නියමිත වූ සහෝදරවරු, පක්ෂයට දිනාගෙන තිබුනේ, පැබ්ලෝවාදයට එරෙහි අරගලය හා එම අරගලයේ ලේඛන ගැඹුරු අධ්‍යයනයකට භාජනය කිරීමක් මත යි. ඇත්ත වශයෙන් ම, වුල්ෆර්ත් ඔහුගේ නො ඉවසිලිවන්ත ආත්මීයවාදය වෙතටත්, සකප නායක ජෝසෆ් හැන්සන්ගේ තුරුල්ලට ඔහුගේ ගමන් කිරීම වෙතටත්, සහයෝගයක් දිනාගැනීමට අසමත් වූයේ මන්දැයි මෙමගින් පැහැදිලි වෙයි.

පැබ්ලෝවාදයේ සම්භවයන් පිලිබඳ ව අප රක්නා උරුමය නාභිගත වීමේ තවත් වැදගත් මූලිකාංගයක් වන්නේ, 1980 ගනන්වල දී නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී පාලන තන්ත්‍රවල හා සෝවියට් සංගමයේ ම තීව්‍ර වෙමින් පැවති අර්බුදයට සම්බන්ධ කරුනකි. හඳුන්වා දීමේ දේශනය තුල නෝර්ත් සහෝදරයා සටහන් කල පරිදි, 1953 නොවැම්බර් භේදය වේගවත් කරන ලද්දේ, ඊට මාස අටකට පෙර සිදු වූ ස්ටැලින්ගේ මරනයත් ඔහුගේ මරනයෙන් ස්ටැලින්වාදය තුල ජනනය කරන ලද අර්බුදයත් විසිනි. ඉන් දශක තුනකට පසුව කවිප සමග භේදය හටගත්තේ, ස්ටැලින්වාදී යාන්ත්‍රනයේ පරිහානියේ අවසන් අවධියේ මුව විට, සෝවියට් සංගමයේ අවසන් බිඳ විසිරවීමට යන්තම් වසර පහකට පෙරදී ය.

1950 ගනන්වල වර්ධනය කල, පැබ්ලෝවාදයෙහි ආස්ථානය වූයේ, ස්ටැලින්වාදයට ප්‍රගතිශීලී භූමිකාවක් ඉටුකල හැකි බව යි. ජාත්‍යනතර කමිටුව සමග භේදයට ටික කලකට පෙර බන්ඩා ප්‍රකාශ කලේ, සෝවියට් සංගමයේ පැවැත්ම 'විසඳුනු ප්‍රශ්නයක්” බව යි. ජාත්‍යන්තර කමිටුවට එරෙහි ව හතරවන ජාත්‍යන්තරයේ උරුමය ආරක්ෂා කරන බව කියමින් ලියන ලද ඔහුගේ “හේතු 27ට” වසරක් ගත වන්නටත් මත්තෙන්, ට්‍රොට්ස්කිවාදය ප්‍රතික්ෂේප කර තිබුනු බන්ඩා, විවෘත ව ස්ටැලින්වාදය වැලඳගත්තේ ය. අප රක්නා උරුමය  කෘතියේ අවසන් පරිච්ඡේද තුන තුල විමර්ශනය කරන පරිදි, “පහල සිට ඉහලට වර්ධනයේ” අපෝහක නීතිය උල්ලංඝනය කරනු ඇති බැවින්, රාජ්‍ය දේපොල සබඳතා කිසිදු දියකර හැරීමක් නො විය හැක්කක් වූ බව බන්ඩා අවධාරනය කලේ ය. [4]

නැගෙනහිර යුරෝපයේ රාජ්‍යයන් හා ස්ටැලින්වාදය පිලිබඳව පැබ්ලෝවාදී ආස්ථානයන් ගැන අප රක්නා උරුමය තුල එන සවිස්තර විශ්ලේෂනය, කවිප සමග භේදයෙන් අනතුරු ව පැමිනි තීරනාත්මක දේශපාලන සිද්ධීන් අවබෝධ කරගනිමින් ඒවාට ප්‍රතිචාර දැක්වීමට ජාත්‍යන්තර කමිටුවේ කේඩරය සූදානම් කලේ ය. පැබ්ලෝවාදයේ නව-ස්ටැලින්වාදී මනහ්කල්පිතයන් දේශපාලන යථාර්ථය තුල සුනුවිසුනු වී ගිය අතර, සිද්ධීන් විසින් තීරනාත්මක ලෙස නිෂ්ප්‍රභා කරනු ලැබී ය. බොහෝ අවස්ථාවල දී අප අවධාරනය කර ඇති පරිදි, කවිප ජාතික අවස්ථාවාදීන් පරාජය කර ජාත්‍යන්තර කමිටුව ලත් ජයග්‍රහනය ප්‍රගාඪ වෛෂයික ක්‍රියා දාමයන් සමග න්‍යායික ව හා දේශපාලනික ව පෙලගැසී තිබුනු අතර, කවිප සමග භේදයෙන් පසුව ට්‍රොට්ස්කිවාදයේ පුනරුදයකට කොන්දේසි නිර්මානය කලේ ය.

පැබ්ලෝවාදයේ පූර්වගාමියෝ: දෙවන ලෝක යුද්ධය සමයේ හතරවන ජාත්‍යන්තරය ඇතුලත ගැටුම්

මෙම දේශනය, 1938 හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමෙන් පසු වසරවල් තුල ඉස්මතු වුනු දේශපාලන ගැටුම් පිලිබඳ දේශනයක් නො වේ. එහෙත්, ට්‍රොට්ස්කිගේ ඝාතනයට පෙර, 1939-1940 සමාජවාදී කම්කරු පක්ෂය ඇතුලත සුලු-ධනේශ්වර විරුද්ධ පාර්ශවය සමග ගැටුමේ දීත්, ට්‍රොට්ස්කිගේ අභාවයෙන් පසු වසර කිහිපය තුල සකප තුල ඉස්මතු වුනු මොරෝ-ගෝල්ඩ්මන් කන්ඩායමට හා පරාගතවාදීන්ට එරෙහි සටන තුලත් ඉස්මතු වූ දේශපාලන ප්‍රශ්න පිලිබඳව සමහර කරුනු සඳහන් කිරීම මට අවශ්‍ය වන්නේ, විශේෂයෙන් ම ඒවා පසුව ආ පැබ්ලෝවාදය සමග ගැටුමට සම්බන්ධ නිසා ය.

හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භාකයාවූ ලියොන් ට්‍රොට්ස්කි

සකප තුල බර්න්හැම්-ශැට්මන්-ඇබර්න් කන්ඩායමට එරෙහි ගැටුම මධ්‍යයේ, 1939 සැප්තැම්බරයේ පල කල “යුද්ධය තුල සෝවියට් සංගමය” නමැති සිය රචනාව තුල දී, ඊට පෙර මාසයේ අත්සන් තැබූ ස්ටැලින්-හිට්ලර් ගිවිසුම නිසා සෝවියට් සංගමයේ පන්ති ස්වභාවය පිලිබඳ මූලික ව යලි ඇගයීමක් කිරීම අවශ්‍යයි අවධාරනය කල අයගේ ආස්ථානය ට්‍රොට්ස්කිගේ සලකා බැලීමට බඳුන් විය. එය තව දුරටත් “කම්කරු රාජ්‍යයක්” ලෙස නම් කල නො හැකි යයි ඔවුහු තර්ක කල හ. ජර්මානු “වාම කොමියුනිස්ට්වාදී” හියුගෝ උර්බාන්ස් යෝජනා කල පරිදි “රාජ්‍ය ධනවාදය” හෝ ඉතාලියානු “වාම කොමියුනිස්ට්වාදී” බෲනෝ රිස්සි සහ ජේම්ස් බර්න්හැම් විසින් යෝජනා කල පරිදි “නිලධාරිවාදී සාමූහිකවාදය” නමැති නව භාෂිතයක් අවශ්‍ය කෙරුනි. මෙම පාරිභාෂිතයන්ට යටින්, යුගයේ ස්වභාවය සහ කම්කරු පන්තියේ භූමිකාව පිලිබඳ මූලික යලි-ඇගයුමක් පවතින බව ට්‍රොට්ස්කි විස්තර කලේ ය. ඔහු ලියූ පරිදි:

හුදෙක් ශුද්ධමය පාරිභාෂිතය වෙනුවට, විද්‍යාත්මක ව හා දේශපාලනික ව ප්‍රශ්නය ඉදිරිපත් වන්නේ පහත පරිදි ය: නිලධරය සමාජීය ඓන්ද්‍රීයයක් මත තාවකාලික වර්ධනයක් නියෝජනය කරනවා ද, නැතහොත් එය දැනට මත් ඓතිහාසික ව අත්‍යාවශ්‍ය අවයවයක් බවට පරිවර්තනය වී තිබෙනවා ද? සමාජීය පිලිලයන්, ඓතිහාසික සිද්ධීන්වල   “අහඹු” (එනම්, තාවකාලික හා අත්‍යසාමාන්‍ය) අන්තර්ග්‍රස්ත නිෂ්පාදිතයක් විය හැක. සමාජීය අවයවයක් (සූරාකන පන්තියක් ද ඇතුලු ව සෑම පන්තියක් ම) නිෂ්පාදනයේ ම ගැඹුරින් මුල් ඇදී තිබෙන අභ්‍යන්තරික අවශ්‍යතාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස පමනක් සකස් විය හැක. මේ ප්‍රශ්නයට අපි පිලිතුරු නො දෙන්නෙමු නම්, සමස්ත මතභේදය ම වචන සමග කරන වඳ හරඹයක් බවට පිරිහී යනු ඇත. [5]

එනම්, ස්ටැලින්වාදී නිලධරය වනාහි ධනපති දේපොල සබඳතා යලි හඳුන්වා දීමට හෝ කම්කරු පන්තිය නායකත්වය දෙන දේශපාලන විප්ලවයකින් පෙරලා දමනු ලැබීමට නියමිත “තාවකාලික වර්ධනයක්,” “පිලිලයක්” වී ද නැතහොත් එය “නිෂ්පාදනයේ අභ්‍යන්තරික අවශ්‍යතා” තුල මුල් බැස තිබුනු හා එනිසා ම ප්‍රගතිශීලී ඓතිහාසික භූමිකාවක් සහිත වූ එකක් ද යන අතිමූලික ප්‍රශ්නයට, සෝවියට් සංගමය පිලිබඳ අර්ථදැක්වීම පිලිබඳ ප්‍රශ්නය සම්බන්ධ වී තිබුනේ ය. යුගයේ ස්වභාවය, කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව සහ මෙම වෛෂයික බලවේගයෙහි නායකත්වය ලෙස හතරවන ජාත්‍යන්තරයේ භූමිකාව පිලිබඳ තක්සේරුවක් සමග මෙම ප්‍රශ්නය බැඳී තිබුනි.

“සෝවියට් සංගමය පිලිබඳ ප්‍රශ්නය, අපේ යුගයේ සමස්ත ඓතිහාසික ක්‍රියා දාමයෙන් සුවිශේෂී යයි හුදකලා කරනු ලැබිය නො හැක. ස්ටැලින් රාජ්‍යය එක්කෝ පසුගාමී හා හුදකලා රාජ්‍යයක් තුල කම්කරු රාජ්‍යයේ විකෘතියක් වන තාවකාලික රුපාකරයක් ද නැතහොත් (ස්ටැලින්වාදය, ෆැසිස්ට්වාදය, නිව් ඩීල් ආදිය ලෙස) ලොව පුරා ධනවාදය විස්ථාපනය කරනු ලැබෙමින් පවතින නව සමාජ ආකෘතියක් වන    (බෲනෝ ආර්. ලා බියුරෝක්‍රැටයිසේෂන් ඩු මොන්ඩේ, පැරිස්, 1939) ‘නිලධාරිවාදී සාමූහිකවාදය’ ද? (කම්කරු රාජ්‍යය, කම්කරු රාජ්‍යය නො වේ; පන්තිය, පන්තියක් නො වේ; යනුවෙන්) කරන පාරිභාෂිතමය පරීක්ෂනවලට අර්ථයක් ලැබෙන්නේ මෙම ඓතිහාසික අංශය සමගින් පමනි. මින් දෙවැනි විකල්පය පිලිගන්නා අය, විවෘත ව හෝ නිහඬ ව, ලෝක නිර්ධන පන්තියේ සකල විප්ලවවාදී විභවයන් අහෝසි වී ඇති බවත්, සමාජවාදී ව්‍යාපාරය බංකොලොත් බවත්, පැරනි ධනවාදය සූරාකෑමේ නව පන්තියක් සහිත ‘නිලධාරිවාදී සාමූහිකවාදය’ බවට පරිවර්තනය වෙමින් තිබෙන බවත් පිලිගනිති” යි (අවධාරනය ඈඳිනි) [6] 1939 සැප්තැම්බර් 12දා කැනන්ට ලියූ ලිපියක් තුල ට්‍රොට්ස්කි අවධාරනය කලේ ය.

විවිධ “රාජ්‍ය ධනවාදී” සංවිධාන, කම්කරු රාජ්‍යයක් ලෙස සෝවියට් සංගමය අර්ථ දැක්වීම ප්‍රතික්ෂේප කිරීම තුලින් අධිරාජ්‍යවාදයට අනුගත වීමක් තුල මුල් බැස තිබුන ද, 1950 ගනන්වල මතු වූ පැබ්ලෝවාදය සමග බෙදාහදා ගත්තේ, නිලධරයට ස්වාධීන භූමිකාවක් ඉෂ්ට කිරීමට තිබුනේය යන මූලික ආස්ථානය යි. 1930 ගනන්වල දේශපාලන පරාජයන්ට ප්‍රතිචාර වසයෙන්, මධ්‍යම-පන්තික බුද්ධි ස්ථරයන්ගේ දිරිසුන් වීම පිලිබිඹු කල අසුභවාදයක්, ශැට්මන්, බර්න්හැම්, ඇබර්න් සහ අනෙකුත් අයගේ පාරිභාෂිතමය සොයාගැනීම්වලට යටින් පැවතුනේ ය.

ශැට්මන්-බර්න්හැම්-ඇබර්න් කන්ඩාම සමග ගැටුමේ ගමන් මාවතේ දී, දෙවන ලෝක යුද්ධයෙහි මුල් අවධි තුල තම පාලනය යටතට පත් භූමිභාගවල ස්ටැලින්වාදී යාන්ත්‍රනය විසින් සිදු කරන ලද ජනසතු කිරීම් ගැන ඇගයීමක් කිරීම ද අවශ්‍ය විය. මෙම පියවරයන් ගැන ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය තුල දී ,ස්ටැලින්වාදී පාලනයේ නිලධාරීවාදී ක්‍රියාවන් තබන ලද්දේ, සමස්තයක් ලෙස ස්ටැලින්වාදයේ ජාත්‍යන්තර ප්‍රතිවිප්ලවවාදී භූමිකාවෙහි සන්දර්භය තුලය . “යුද්ධය තුල සෝවියට් සංගමය” නමැති රචනාව තුල ඔහු මෙසේ ලීවේ ය:

මෙම පියවර (පෝලන්තය තුල ජනසතු කිරීම්) ස්වභාවයෙන්    -“පැහැරගන්නන්ගෙන්    අස්වාමිකකිරීම”- විප්ලවවාදී වන නමුත්, මෙහි දී එය සිදුකර ඇත්තේ මිලිටරි නිලධාරිවාදී ආකාරයකිනි. නව භූමිභාගවල මහජනයාගේ පාර්ශවයෙන් ස්වාධීන ක්‍රියාකාරීත්වය සඳහා ආයාචනයෙන් -- ආන්තික ප්‍රවේසම් සහගත වචනවලින් යුතු වුව ද කෙරෙන එවන් ආයාචනයකින් තොර ව නව පාලන තන්ත්‍රයක් තැනීම කල නො හැක -- අවදි වී සිටින විප්ලවවාදී මහජනයා මත නිලධරයේ අධිපතිත්වය සුරක්ෂිත කරනුවස්, එම අවදිවීම, හෙට දිනයේ දී නිසැකයෙන් ම අනුකම්පා විරහිත පොලිස් පියවරයන් මගින් තලා දැමෙනු ඇත. මෙය සිද්ධියේ එක් පැත්තකි. එහෙත් එයට තවත් පැත්තක් ද තිබේ. හිට්ලර් සමග වන මිලිටරි සන්ධානයක් හරහා, පෝලන්තය වාඩිලා ගැනීමේ හැකියාව ලබා ගැනීම සඳහා, සෝවියට් සංගමයේ ද සමස්ත ලෝකයේ ද මහජනයා දීර්ඝ කාලයක් තිස්සේ රැවටූ හා දිගට ම රවටන ක්‍රෙම්ලිනය, තමන්ගේ ම කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ සාමාජිකත්වය සම්පූර්න අසංවිධානාත්මක බවකට එමගින් ඇද දමා තිබේ. මෙම පියවරයන් කොතරම් වැදගත් වුවත්, අපට නම් ප්‍රාථමික දේශපාලන නිර්නායකය වන්නේ ඒ හෝ මේ ප්‍රදේශය තුල දේපොල සබඳතාවන්ගේ පරිවර්තනය නො ව, ලෝක නිර්ධන පන්තියේ විඥානය සහ සංවිධානය තුල වෙනසත්, පැරනි ජයග්‍රහන ආරක්ෂා කරගැනීමටත්, නව ජයග්‍රහන කරා ලඟාවීමටත් එහි ධාරිතාව ඉහල දැමීම යි. මෙම තීරනාත්මක ආස්ථානයෙන් සමස්තයක් ලෙස ගත් විට, මොස්කෝවේ දේශපාලනය එහි ප්‍රතිගාමී ස්වභාවය මුලුමනින්ම පවත්වාගෙන යන අතර ලෝක විප්ලවය කරා යන මාවතේ තිබෙන ප්‍රධාන බාධාව ලෙස පවතී. [7]

ශැට්මන්ගේ හා බර්න්හැම්ගේ පරිනාමය, ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය සහ ජේම්ස් පී. කැනන් නායකත්වය දුන් සකප බහුතරයේ ආස්ථානය සනාථ කලේ ය. 1940 අප්‍රේල් මාසයේ සකපයෙන් භේදවීමෙන් අනතුරු ව, ශැට්මන් හා බර්න්හැම් “කම්කරු පක්ෂය” බිහිකිරීමට ඒකාබද්ධ වූ හ. ඉන් මාසයක් ඇතුලත, තව දුරටත් තමන් මාක්ස්වාදියෙකු ලෙස නො සලකන බවත්, “‘සමාජවාදය අනිවාර්යයි’ යනුවෙන් ප්‍රකාශ කිරීම තේරුම් රහිත බව හා ‘ධනවාදයට පවතින එක ම විකල්පය’ සමාජවාදය යයි කීම ව්‍යාජ බවත්” ප්‍රකාශ කරමින්, බර්න්හැම් කම්කරු පක්ෂයෙන් ඉල්ලා අස් වී තිබුනි. 1950 ගනන් වන විට, තත්වාරක්ෂක ව්‍යාපාරයේ ප්‍රධාන දෘෂ්ටිවාදියෙකු ලෙස බර්න්හැම් ඉස්මතු වූ අතර, 1983 දී ජනාධිපති රොනල්ඩ් රීගන් ඔහුට නිදහස් පදක්කම පිරිනැමී ය.

මැක්ස් ෂැට්මන් (1904-1971) [Photo: Marxists.org] [Photo: Marxists.org]

1949 දී ශැට්මන් “ස්වාධීන සමාජවාදී ලීගය” (අයිඑස්එල්) සංවිධානය කලේ ය. 1950 ගනන් වල, අයිඑස්එල් තියුනු ලෙස දකුනට ගියේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මෙහෙයුම්වලට සහයෝගය දෙමින් හා වෘත්තීය සමිති නිලධරය තුලට ඒකාග්‍ර වෙමිනි. 1958 දී, ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිගාමී සීතල යුද බලකොටුවක් ලෙස ක්‍රියාත්මක වූ සමාජවාදී පක්ෂයෙහි නායකත්වය බවට අයිඑස්එල් පත් වූයේ තමන් ම එය තුලට දියවී යමිනි.

ජීපීයූ ඒජන්තයෙකු අතින් 1940 අගෝස්තුවේ දී ට්‍රොට්ස්කි ඝාතනය වීමෙන් පසුව, සුලු-ධනේශ්වර විරුද්ධ පාර්ශවයේ මූලික ඉදිරි දර්ශනය විවිධ රූපාකාරයන්ගෙන් අනුමත කල ප්‍රතිවිරුද්ධ ප්‍රවනතාවන් කිහිපයක්, සකප හා හතරවන ජාත්‍යන්තරය තුල ඉස්මතු වූ හ. ජර්මානු ජාත්‍යන්තර කොමියුනිස්ට් සංගමයේ (අයිකේඩී) ජෝසෆ් වෙබර් නායකත්වය දුන් “ප්‍රවාද තුනේ” කන්ඩායම (“පරාගතවාදීන්”) සහ 1944 හා 1946 අතර සකප ඇතුලත මොරෝ-ගෝල්ඩ්මන් කන්ඩායම මෙයට ඇතුලත් විය. මෙම ප්‍රවනතාවන්ගේ දේශපාලනය විමර්ශනය කිරීම සඳහා යලි වතාවක් අත්‍යාවශ්‍ය මූලාශ්‍රය අප රක්නා උරුමය වන අතර, එහි 8වන පරිච්ඡේදය (“පරාගතවාදීන්ගේ ප්‍රවාද තුන”) හා 9වන පරිච්ඡේදය (“මොරෝ-ගෝල්ඩ්මන් කන්ඩායම”) මෙන් ම, ඩැනියෙල් ගයිදෝට හා වෙලියා ලුපරෙය්‍යෝට එරෙහි විවාදයක සන්දර්භය තුල මෙම ප්‍රවනතා දෙකෙහි ආස්ථානයන් සලකනු ලබන 30වන සංවත්සර සංස්කරනයෙහි පෙරවදන මෙහි දී සුවිශේෂී වේ.

යුරෝපය තුල ෆැසිස්ට්වාදය ජයග්‍රහනය කර ඇතැයි යන ආස්ථානය මත පදනම් වූ පරාගතවාදීහු, සමාජවාදී විප්ලවය ඈත අනාගතයේ එක්තරා අවස්ථාවක් දක්වා කල් දමනු ලැබ ඇතැයි 1940 ගනන් මුල දී නිගමනය කල හ. “යමෙක් එය කවර ආකාරයකින් දැකගත්ත ද ප්‍රාථමික වසයෙන් ප්‍රජාතාන්ත්‍රික විප්ලවයට සමාන වන්නා වූ අතරමැදි අදියරකින් තොර ව, ෆැසිස්ට්වාදයේ සිට සමාජවාදයට සංක්‍රමනය වීම මනෝරාජ්‍යයක් ව පවතී” [8] යි ඔවුහු ලියූ හ. 1943 දී පලකරන ලද “ධනවාදී ම්ලේච්ඡත්වය ද සමාජවාදය ද” නමැති රචනාව තුල මෙම ආස්ථානය විදාරනය කරනු ලැබී ය: “අතිශයින් ම හදිසි විසඳුමක් ඉල්ලා සිටින දේශපාලන ප්‍රශ්නය නම් කාර්මික ධනවාදයේ සහ විද්‍යාත්මක සමාජවාදයේ වසන්තය පිලිබඳ සියවස් ගනන් පැරනි ගැටලුව යි – එනම්, ජාතික විමුක්තියටත්, කම්කරු ව්‍යාපාරය උදෙසා පදනම දැමීමටත් නැතුව ම බැරි පූර්ව කොන්දේසිය හැටියට (රුසියාවෙහි ද ඇතුලු ව) ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කිරීමත්, දේශපාලන නිදහස දිනා ගැනීමත් ය.” [9] වෙනත් වචනවලින් කියන්නේ නම්, ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ යුගය ලෙස තව දුරටත් සැලකිය නො හැකි වූ මෙය, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික විප්ලවයේ කාල පරිච්ඡේදයක් කරා ආපසු ගමනක (ප්‍රතිගමනක) යුගය විය.

“විප්ලවවාදී පක්ෂයක නො පැවතීම” සමාජවාදී විප්ලවය කල නො හැක්කක් බවට පත්කලේ යයි නිගමනය කරමින්, 1940 ගනන් මැද පටන් මොරෝ-ගෝල්ඩ්මන් කන්ඩායම මෙම ආස්ථාන ඩැහැගත්තේ ය. 1946 දී මොරෝ මෙසේ ලිවී ය: “‘නැත්තේ විප්ලවවාදී පක්ෂය පමන යි’ යනුවෙන් කියනු වෙනුවට අප අපට පමනක් වුව මෙසේ පවසා ගත යුතු ය. ‘විප්ලවවාදී පක්ෂය නොමැති කම, විසින් විප්ලවීය විය හැකි ව පැවති කොන්දේසි, උද්ඝෝෂන සම්බන්ධයෙන් සලකා බලන කල්හි ඉතා ම ප්‍රාථමික ඉල්ලීම් සඳහා අප සටන් වැදිය යුතු වන කොන්දේසි බවට පරිවර්තනය කෙරේ.” [10]

ඔවුන්ගේ සාධාරනීකරනයන් හා දේශපාලන දිශානතිය අනුව වෙනස් වුව ද (බර්න්හැම්-ශැට්මන්, ප්‍රවාද තුනේ කන්ඩායම සහ මොරෝ-ගෝල්ඩ්මන් යන) සංශෝධනවාදයේ මුල් කාලීන රූපාකාර, 1950 ගනන් මුල වර්ධනය වූ පැබ්ලෝවාදය සමග බොහෝ පොදු දේවල් බෙදා හදා ගත්තේ ය. අප රක්නා උරුමය කෘතියෙහි 30වන සාංවත්සරික සංස්කරනයේ පෙරවදන තුල නෝර්ත් සහෝදරයා ලියන පරිදි, ඔවුන් සියල්ලන් සම්බන්ධ කල සාරභූත දේශපාලනික සම්බන්ධතාව වූයේ, “කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය ප්‍රතික්ෂේප කිරීම යි.”

1940 ගනන් අග ඉස්මතු වූ පැබ්ලෝගේ හා මැන්ඩෙල්ගේ සංශෝධන ට්‍රොට්ස්කිවාදය අතහැරීම සඟවා තැබුවේ මතුපිටින් කෙරෙන වාමාංශික පූච්චානමක් යටිනි. එහෙත්, ඔවුන්ගේ ඉදිරි දර්ශනය තුල, සමාජවාදය ස්ථාපිත කිරීමේ නායක බලවේගය වූයේ කම්කරු පන්තිය නො ව, ස්ටැලින්වාදී නිලධරය යි. පැබ්ලෝවාදී න්‍යාය ශැට්මන්වාදී න්‍යායේ අපූරු ප්‍රතිලෝමනයක් විය. ශැට්මන්වාදීහු ස්ටැලින්වාදී පාලන තන්ත්‍රය සූරාකෑමේ “නිලධාරිවාදී සාමූහිකවාදී” සමාජයේ නව රූපාකාරයක් දරන්නා ලෙස හෙලාදුටු අතර, පැබ්ලෝවාදී ප්‍රවනතාව ප්‍රකාශ කලේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව නැගෙනහිර යුරෝපය තුල ස්ථාපනය කරන ලද නිලධාරිවාදී ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයන් වනාහි ධනවාදයේ සිට සමාජවාදය දක්වා ඓතිහාසික පරිවර්තනයේ අවශ්‍ය රූපාකාරයක් බව යි. මේ සියලු ප්‍රවනතා, තමතමන්ගේ    ක්‍රමවලට අනුව, සිය දේශපාලන ඉදිරි දර්ශනය පදනම් කලේ කම්කරු පන්තියේ විප්ලවවාදී නො වන භූමිකාව මත යි. ඓතිහාසික ක්‍රියා දාමය තුල එය තීරනාත්මක තබා ක්‍රියාකාරී වන හෝ බලවේගයක් නො වී ය. [11] (අවධාරනය ඈඳිනි )

යුද්ධයෙන් පසු හතරවන ජාත්‍යන්තරය සහ පැබ්ලෝවාදයේ සම්භවයන්

හතරවන ජාත්‍යන්තරය තුල පැබ්ලෝවාදයේ ඉස්මතු වීම දැකගත යුත්තේ පශ්චාත්-යුද කාල පරිච්ඡේදයේ පැවති පරස්පර-විරෝධී දේශපාලන වාතාවරනයට සම්බන්ධිතව ය. එක් අතකින් ස්ටැලින්වාදයේ පාවාදීම් හා අපරාධ නිසා ආර්ථික ප්‍රතිස්ථායීකරනයක් ඇතිකර ගැනීමට හැකිවීම ද අනෙක් අතින් විජිත-විරෝධී මහජන ව්‍යාපාරයේ නැගීමක් ද විසින් මෙම කාල පරිච්චේදය විලක්ෂනය වී තිබුනි.

රත්තරන් හා එක්සත් ජනපද ඩොලරය ගැටගැසීම මත පදනම්ව,    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්මානය කරමින් සහ ජාත්‍යන්තර මුල්‍ය පද්ධතිය ස්ථාපිත කරමින් 1944 ජූලි මාසයේ දී ඇති කරගත් බ්‍රෙට්න් වුඩ්ස් ගිවිසුම ඇතුලු    “පශ්චාත් -යුද” පද්ධතියේ රාමුව යුද්ධයේ අවසන් අවුරුදු කිහිපය තුල ම ඉස්මතු වීම ආරම්භ විය. නාසි පාලන තන්ත්‍රයේ අවසන් පරාජයටත්, එය කොන්දේසි විරහිතව මැයි මාසයේ දී යටත් වීමටත් පෙරාතුව, 1945 පෙබරවාරියේ දී පවත්වන ලද යෝල්ටා සම්මේලනයේ දී සහ 1945 ජූලි-අගෝස්තු සමයේ දී පවත්වන ලද පෝස්ට්ඩෑම් සම්මේලනයේ දී, යුරෝපය බෙදා ගැනීමටත්, යුද්ධයේ අවසානය සමග පැන නැගි විප්ලවවාදී නැගිටීම් මැඩීමටත් ස්ටැලින් ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයන් සමග එකඟතාවකට එලැඹුනි.

චර්චිල්, රූස්වෙල්ට් සහ ස්ටැලින් යෝල්ටාහි දී

ස්ටැලින්වාදී පාලන තන්ත්‍රය යුරෝපය තුල විප්ලවයට බිය වූයේ, එය සෝවියට් කම්කරු පන්තිය ධෛර්යය ගැන්වීම සහ සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදී පාලනය අනතුරේ හෙලීමට හේතු වන නිසා පමනක් නො වේ. යෝල්ට් හා පෝස්ට්ඩෑම් සම්මේලන නැගෙනහිර යුරෝපය තුල “බෆර් රාජ්‍යයන්” ගනනාවක් මත පාලනය තහවුරු කරගැනීමට ක්‍රෙම්ලිනයට රාමුව නිර්මානය කලේ ය. එයට හිලව්ව ලෙස ස්ටැලින්වාදී පක්ෂ බටහිර යුරෝපයේ හා ග්‍රීසියේ ධනපති පාලනයන් ආරක්ෂා කිරීමට සිය සහයෝගය රැලි කල හ. ෆැසිස්ට්වාදයේ පරාජයෙන් අනතුරු ව ධනපති ආන්ඩු පුපුරුවා දමා තිබුනු කොන්දේසි යටතේ, ප්‍රතිවිප්ලවයේ ඒජන්තයින් ලෙස ක්‍රියාත්මක වූ ස්ටැලින්වාදීහු, ඉතාලිය හා ප්‍රන්සය තුල වර්ධනය වූ මහජන ව්‍යාපාර නිරායුධ කිරීමට ක්‍රියා කරමින් ධනේශ්වර ආන්ඩුවලට සම්බන්ධ වූ හ. ජපානයේ දී, පරමානු බෝම්බ දෙකක් හෙලීමෙන් හා ජපාන අධිරාජ්‍යවාදයේ යටත් වීමෙන් පසුව, ජෙනරාල් ඩග්ලස් මැක්ආතර් නායකත්වය දුන් ඇමරිකානු වාඩිලා ගැනීමේ හමුදා “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය” සිදු කරන බවත්, අවධි-දෙකේ විප්ලවයේ අවශ්‍ය පලමු අවධියක් ලෙස එයට සහයෝගය දිය යුතු බවත්, කොමියුනිස්ට් පක්ෂය කීවේ ය.

යුද්ධයෙන් ඉරිතැලී ගිය යුරෝපියානු ආර්ථිකයන් යලි ගොඩනැගීමට ඇමරිකානු ධනවාදය ඩොලර් බිලියන 13.3ක් යොදවමින්, 1948 දී බලාත්මක කරන ලද මාෂල් සැලැස්මේ රාමුව ඇතුලත, බටහිර යුරෝපය තුල එක්සත් ජනපදය නායකත්වය දුන් ස්ථායීකරනයක් ඇතිකර ගැනීමට ස්ටැලින්වාදීන්ගේ පාවාදීම් විසින් කොන්දේසි නිර්මානය කර දුන්නේය.

මෙම පොදු ප්‍රතිස්ථායීකරනය මධ්‍යයේ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ හා පැරනි විජිත රටවල පීඩිත මහජනයාගේ යෝධ පුනර්ජීවනයක් පශ්චාත්-යුද්ධ කාල පරිච්ඡේදයදී ඉස්මතු වුව ද ඒවා පීලිපැන්නවීමට ස්ටැලින්වාදීහු ක්‍රියා කල හ. 1947 දී, යටත් විජිතයක් වූ ඉන්දියාව හින්දු ආධිපත්‍ය සහිත ඉන්දියාව හා මුස්ලිම් ආධිපත්‍ය සහිත පකිස්ථානය ලෙස බෙදා දමන ලද අතර, එය, කොමියුනිස්ට් පක්ෂයේ ද එහි “අවධි-දෙකේ” න්‍යායේ ද සහයෝග ලබා ගනිමින් ගාන්ධිගේ හා නේරුගේ ධනේශ්වර කොංග්‍රස් පක්ෂය ගෙනගිය අධිරාජ්‍ය-විරෝධී අරගලය භයංකර ලෙස පාවාදීමක් විය.

1949 ඔක්තෝබරයේ දී, මහජනයාගේ විප්ලවවාදී නැගිටීමක කොන්දේසි යටතේ චීන කොමියුනිස්ට් පක්ෂය බලයට ආ අතර, එය සිදු වූයේ මාඕගේ ස්ටැලින්වාදී දේශපාලනයට වඩා, ජපාන අධිරාජ්‍යයේ බිඳ වැටීම හේතුවෙන් රට තුල නිර්මානය කරන ලද කොන්දේසි හේතුවෙනි. ඉන් අවුරුද්දක් ගතවීමටත් මත්තෙන්, 1950 ජුනි මාසයේ දී, කොරියානු යුද්ධයේ පුපුරා යාම තුල පශ්චාත්-විජිත නැගිටීම් වල ඉතා ම පුපුරනසුලු ප්‍රකාශනය පෙන්නුම් කලේය. නැගෙනහිර යුරෝපය තුල, යුගෝස්ලාවියාව තුල ටිටෝ හා කොමියුනිස්ට් පක්ෂය බලයට පැමිනීම සහ 1948 දී ටිටෝ-ස්ටැලින් භේදය සිදු වූ අතර, එය අප රක්නා උරුමය කෘතියේ 12වන පරිච්ඡේදය තුල විශ්ලේෂනය කරනු ලැබේ.

ඒ අතර ම, සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් ලියවිල්ල තුල අප ලියා ඇති පරිදි, ලෝක ධනවාදයේ සමස්ත ප්‍රතිස්ථායීකරනය හේතු කොටගෙන, “මෙම අරගලයන්හි මුදුනත අරක්ගත් ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාර, ස්ටැලින්වාදීන්, වෘත්තීය සමිති නිලධරය හා විවිධාකාර සුලු ධනපති ප්‍රවනතාවන්ට ඔවුන්ගේ ක්‍රියාකාරී ක්ෂේත්‍රය, බෙහෙවින් පලල් කර දුනි. මෙම ව්‍යාපාර හා සංවිධානවල වෛෂයික කර්තව්‍යය වූයේ එක් හෝ තවත් ආකාරයකින් ගෝලීය ධනේශ්වර පද්ධතිය පවත්වාගෙන යාම සඳහා කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ පුලුල් කොටස් අතර සහයෝගිතා පදනමක් සම්පාදනය කර දීම ය.”[12]

මෙහිදී, මෙම සංකීර්න අත්දැකීම් සෑම එකක් ම සවිස්තරාත්මකව විමර්ශනය කිරීමට මට අවස්ථාව නැත. එහෙත්, පශ්චාත්-යුද කාල පරිච්ඡේදයේ පොදු රාමුව ස්ටැලින්වාදයේ ප්‍රතිවිප්ලවවාදී භූමිකාව ගැන ට්‍රොට්ස්කි විසින් කරන ලද  තක්සේරුකිරීම් මුලුමනින් ම සනාථ කල අතර, නිලධර යාන්ත්‍රනය යටතට පත් එක් හෝ තවත් රටක් තුල සිදුවූ දේපොල සබඳතාවන්හි වෙනස්කම් කවරක් වුවත්, එය [ස්ටලින්වාදය] “ලෝක විප්ලවය කරා යන මාවතේ ප්‍රධාන බාධාව” ලෙස පැවතුනේ ය යනුවෙන්  “යුද්ධය තුල සෝවියට් සංගමය” නමැති රචනාව තුලින් කරන ලද තක්සේරුව විශේෂයෙන් සනාථ විය.

හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ප්‍රතිචාරය පදනම් කරන ලද්දේ මෙම ඉදිරි දර්ශනය මත යි. නැගෙනහිර යුරෝපයේ වර්ධනයන්ට සම්බන්ධිත ව 1946 නොවැම්බරයේ ෆෝර්ත් ඉන්ටර්නැෂනල් සඟරාව තුල පල කරන ලද ප්‍රකාශයක කරුනු පැහැදිලි කෙරුනේ මෙසේ ය:

සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයේ (සෝසසං) ආර්ථික අවශ්‍යතාවන් විසඳීමේ ලා මුලුමනින් ම නිරර්ථක වූ සුලු කොල්ලකෑම වෙනුවට, යුද වන්දිවලින් ගත් කුඩා කාසි වෙනුවට, ක්‍රෙම්ලිනය, නැගෙනහිර යුරෝපයේ ද ලෝකය පුරා ද තමන්ට එරෙහි වෛරයේ ප්‍රාකාරයක් ගොඩනගා ගත්තේ ය. දුගී භාවයෙන් මිරිකී ගිය, බංකොලොත් බෝල්කන් ප්‍රදේශ මත තම මිලිටරි පාලනය තබා ගැනීම වෙනුවෙන් ක්‍රෙම්ලිනය ලෝක විප්ලවය තලා දමා ජරපත් ධනවාදය නගා සිටුවීමට ඇංග්ලෝ-ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ට ඉඩ සැලසුවේ ය. [13]

1949 අප්‍රේල් මාසයේ පැවති හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර විධායක කමිටුවේ (අයිඊසී) හත්වන පුන්සැසිය මෙසේ අවධාරනය කලේ ය: “ස්ටැලින්වාදය පිලිබඳ තක්සේරුවක් එහි පිලිවෙතෙහි ප්‍රාදේශීය ප්‍රතිඵල මත පිහිටා කල නො හැකි ය. අපගේ තක්සේරුව ආරම්භ කල යුත්තේ ස්ටැලින්වාදයේ ක්‍රියාකාරීත්වයේ ලෝක පරිමාන සමස්තයෙනි. අද පවා, එනම් යුද්ධය නිමවීමෙන් සිව් වසරකට පසුව පවා, ධනේශ්වර ක්‍රමයේ ප්‍රකාශිත ජරාජීර්න තත්ත්වය සේම 1943-45 පැවති සංයුක්ත තත්ත්වය ද සැලකිල්ලට ගත් කල්හි, යුරෝපයේත් ආසියාවේත් ධනේශ්වර ක්‍රමය ක්ෂනික හා සමාන්තර කඩා වැටීමකට පාත්‍ර වීම වලක්වාලීමෙහිලා තීරනාත්මක සාධකය ලෙස ලෝක පරිමාන ව ක්‍රියාත්මක වූයේ ස්ටැලින්වාදය බවට සැකයක් පැවතිය නො හැකි ය.[14]

එහෙත්, 1949 ශරත් සමයේ සිට නැගෙනහිර යුරෝපයේ වර්ධනයන් පිලිබඳ ව ද එම නිසා, ඒ සමග බැඳී, ජාත්‍යන්තර මට්ටමක දී ස්ටැලින්වාදයේ භූමිකාව පිලිබඳ ව ද ඉතා වෙනස් අර්ථකථනයක් ඉදිරියට දැමීම පැබ්ලෝ හා ඔහුගේ ආධාරකරුවන් විසින් ආරම්භ කරන ලදී.

මයිකල් පැබ්ලෝ (දකුනේ) අර්නස්ට් මැන්ඩල් සමග

ධනවාදයේ සිට සමාජවාදය දක්වා පරිවර්තනයේ දී, “විකෘත” කම්කරු රාජ්‍යයන් දශක ගනනක් හෝ ශතවර්ෂ ගනනාවක් ආධිපත්‍යය දරනු ඇතැයි යන න්‍යාය 1949 සැප්තැම්බරයේ දී පැබ්ලෝ පලමුවරට ඉදිරියට දැම්මේය. “යුගෝස්ලාවියාවේ පන්ති ස්වභාවය පිලිබඳ ව” නමැති ලේඛනය තුල පැබ්ලෝ මෙසේ ලීවේ ය:

නිර්ධන පන්තියේ දෘෂ්ටිවාදාත්මක හා දේශපාලන ව්‍යාපාරය මෙන් ම සමාජීය පද්ධතියක් ද වන සමාජවාදය, ස්වභාවයෙන් ම ජාත්‍යන්තර හා බෙදිය නො හැකි වේ...එහෙත් මෙය සිතේ තබා ගන්නා අතර ම, ධනවාදයේ සිට සමාජවාදය කරා පරිවර්තනයේ සමස්ත ඓතිහාසික කාල පරිච්ඡේදය ශතවර්ෂ ගනනාවක් කරා විස්තීරන විය හැකි කාල පරිච්ඡේදයක් වන බව සත්‍ය ලෙස පවතින අතර අපේ ගුරුවරුන් පෙරදුටුවාට වඩා බොහෝ සෙයින් වක්‍ර හා සංකීර්න වර්ධනයකට අපට මුහුන දීමට සිදු වනු ඇත්තේ - සාමාන්‍ය නො වන අවශ්‍යයෙන් ම විකෘත වන කම්කරු රාජ්‍යයන්ටය.[15]

මෙම ආස්ථානයන්ගේ ගම්‍යයන් මොනවා ද? පාවාදුන් විප්ලවය කෘතිය තුල හා සුලු-ධනේශ්වර විරුද්ධ පාර්ශවයට විරුද්ධ සටනේ දී ට්‍රොට්ස්කි විශ්ලේෂනය කර තිබුනු පරිදි, ඓතිහාසික “පිලිලයක්” හෝ “තාවකාලික වර්ධනයක්” බවට පත් නො වන ස්ටැලින්වාදය, ස්වාධීන හා “අවශ්‍ය” සමාජීය සැකැස්මකි. ශතවර්ෂ ගනනාවක් ඇදී යන විස්තීර්න “පරිවර්තන කාල පරිච්ඡේදය” “අවශ්‍යයෙන් ම විකෘතියට පත්” එනම්, ස්ටැලින්වාදී පක්ෂ විසින් නායකත්වය දෙන “කම්කරු රාජ්‍යයන්” විසින් විලක්ෂනය කරනු ඇති නම්, ප්‍රගාඪ ඓතිහාසික තේරුමකින් එහි එක ම අර්ථය විය හැක්කේ, ස්ටැලින්වාදයට ඉටු කිරීම සඳහා ප්‍රගතිශීලී භූමිකාවක් තිබෙන බව ය. “සමාජීය අවයවයක් ලෙස නිලධරය තාවකාලික වර්ධනයක් නියෝජනය කරයි ද නැතහොත් මෙම වර්ධනය දැනට මත් ඓතිහාසික අත්‍යවශ්‍ය අවයවයක් බවට පරිවර්තනය වී ඇද්ද?” යන ට්‍රොට්ස්කිගේ ප්‍රශ්නයට ප්‍රතිචාර ලෙස, පැබ්ලෝ පිලිතුරු දුන්නේ “එය ඓතිහාසික ව අත්‍යවශ්‍ය අවයවයක්” බව කියමිනි.   

පැබ්ලෝ, එම ලිපිය තුල ම, හතරවන ජාත්‍යන්තරයේ භූමිකාව ම සංශෝධනය කල සූත්‍රගත කිරීම් ඉදිරියට දැමීම ඇරඹී ය. “අපගේ යුගය තුල, තනි රටක් තුල ස්ථාපනය කර ඇති නිර්ධන පන්තික බලය අනිවාර්යයෙන් ම හා වේගයෙන් නිලධාරීකෘත වනු ඇත. ...මෙම අන්තරායට විරුද්ධ ව සටන් කිරීම සඳහා ලෝක සංවිධානය වන ජාත්‍යන්තරයේ බර යෙදීම හැර වෙනත් ප්‍රතිකාරයක් නැත. බලයේ සිටින පක්ෂය මත ජාතික හුදකලාවේ දූෂනය වන ආනුභාවය ප්‍රතිතෝලනය කිරීමට සමත් වන්නේ එමගින් පමනි” යි ඔහු ලීවේ ය.[16] එනම්, හතරවන ජාත්‍යන්තරයේ භූමිකාව වන්නේ, “බලයේ සිටින පක්ෂය” තුල නිලධාරීකෘත වීමට එක් හෝ තවත් රටක් තුල පවතින “අනිවාර්යය හා වේගවත්” ප්‍රවනතාවට “ප්‍රතිතෝලනයක්” ලෙස හෙවත්, හතරවන ජාත්‍යන්තරය නො වන වෙනත් පක්ෂයක් ලෙස සේවය කිරීම යි. හතරවන ජාත්‍යන්තරයේ “වැදගත් කම හා ඵලදායීත්වය” “දීර්ඝ කාලයක දී” පමනක්, “අනෙකුත් රටවල් තුල බලය අල්ලා ගැනීම” හරහා “ප්‍රකාශයට පත්වනු” ඇත.

යුගෝස්ලාවියාව සහ නැගෙනහිර යුරෝපයේ බෆර් රාජ්‍යයන් නිවැරදි ව නම් කරන්නේ කෙසේද යන ප්‍රශ්නය, හතරවන ජාත්‍යන්තරය ඇතුලත තීව්‍ර සාකච්ඡාවකට විෂයය වූ අතර, එහි දී, හතරවන ජාත්‍යන්තරයේ ඉදිරි දර්ශනය සඳහා ගම්‍යයන්    මෙන් ම විධික්‍රමය පිලිබඳ තීරනාත්මක ප්‍රශ්න ද විශ්ලේෂනය කරනු ලැබිනි. අප රක්නා උරුමය කෘතියේ “පැබ්ලෝවාදයේ සම්භවයන්” නමැති 13වන පරිච්ඡේදය සහ “ජනසතු දේපොල පිලිබඳ පාරභෞතිකවාදය” නමැති 14වන පරිච්ඡේදය තුල, හතරවන ජාත්‍යන්තරය හා සමාජවාදී කම්කරු පක්ෂය ඇතුලත සිටි විවිධ නායකයන් විසින් ඉදිරිපත් කරන ලද සාරභූත ආස්ථානයන් විමර්ශනය කරනු ලැබේ.

සකපයේ කැනන්, මොරිස් ස්ටෙයින් හා ජෝන් ජී. රයිට් සහ ආරම්භයේ දී ජාත්‍යන්තර ලේකම් මන්ඩලයේ අර්නස්ට් මැන්ඩෙල්, දේපොල සබඳතා ජනසතුකරනය කිරීම ස්වයංක්‍රීය ලෙස කම්කරු රාජ්‍යයක් පැවැත්ම සමග සමාන කිරීමේ සරල නිගමනයට එරෙහි ව තර්ක කල අතර, සකපයේ ජෝසෆ් හැන්සන් හා බර්ට් කොක්‍රාන් පැබ්ලෝගේ ආස්ථානයේ පැත්ත ගත්හ.

පසුව පැබ්ලෝගේ සමීප සගයෙකු වූ මැන්ඩල් 1949 ඔක්තෝබරයේ දී තර්ක කලේ, යුගෝස්ලාවියාව හා බෆර් රාජ්‍යයන් “කම්කරු රාජ්‍ය” ලෙස වහා ම නම් කල යුතු යයි අවධාරනය කරන අය – මෙහි දී පැබ්ලෝගේ නම සඳහන් නො කල ද ඔහුව පැහැදිලි ව ගම්‍ය විය – “මෙම ජනසතු කිරීම්වල ස්වභාවය තක්සේරු කිරීමේ දී තීරාන්තමක වන සාධක – එනම්, එම ජනසතු කිරීම් ක්‍රියාත්මක කලේ කවුද, කවදා ද, කාගේ යහපත සඳහා ද, කුමන කොන්දේසි යටතේ ද යන්න – වියුක්තීකරනය” කරන බවට යි. “ඔව්හු ඓතිහාසික සාධකයක් එහි සන්දර්භයෙන් හුදකලා කොට, ගැඹුරු ඓතිහාසික විශ්ලේෂනයක් විය යුතු දේ සරල සංවාක්‍යයක් බවට, වෙනත් වචනවලින් කිව්වොත්, පුනරුක්තියක් බවට,  හුදු උපකල්පයනයක් මත නිගමනයන්ට එලඹීමක් බවට, පිරිහෙලත්.”[17]

1950 පෙබරවාරියේ පැවති සකප ජාතික කමිටුවේ පුන්සැසියක දී, මෙම පූර්ව අවධියේ දී ම, නිෂ්පාදනය රාජ්‍යකරනය කිරීම කම්කරු රාජ්‍යයකට සාම්‍ය වන බවට තර්ක කරමින් සිටි හැන්සන්ගේ ආස්ථානයට එරෙහි ව ස්ටෙයින් තර්ක කලේ ය. දෙන ලද රාජ්‍යයක පන්ති ස්වභාවය නීර්නය කිරීමේ දී එහි ඓතිහාසික සම්භවය මත ස්ටෙයින් සුවිශේෂී අවධාරනයක් කලේ ය. “කම්කරු රාජ්‍යයේ පැවැත්ම හෝ නො පැවැත්ම ස්ථාපිත කිරීම සඳහා ශුද්ධ ආර්ථික නිර්නායක අපේ ව්‍යාපාරය තුල යොදාගෙන ඇත්තේ, නිර්ධන පන්ති විප්ලවයකින් ස්ථාපිත කරන ලද කම්කරු රාජ්‍යයක පිරිහීම පිලිබදව සාකච්ඡා කිරීමේ දී පමනි” යි ඔහු තර්ක කලේ ය.

“සමාජ විප්ලවය තුල වඩාත් ම වැදගත් මූලිකාංගය වන්නේ, එහි පෙරටු බලඇනි පක්ෂයෙහි පිලිවෙත තුල ප්‍රකාශ වන පරිදි කම්කරු පන්තියේ විඥානය හා ස්වයං-ක්‍රියාව” බව ස්ටෙයින් අවධාරනය කලේ ය.

“හරය වශයෙන් ගත් කල්හි, ජනසතු කිරීම කම්කරු රාජ්‍යයට සමාන වෙයි යන ප්‍රශ්තුතයට ඌනනය වන සරල කෙරුනු ප්‍රවේශය අපගේ ව්‍යාපාරය අලාමුලා කරනවා පමනි. එය මාක්ස්වාදයේ විකෘතියකි. ජීවමාන පන්ති බලවේගයන් හා සමාජය තුල ඒවායේ සාපේක්ෂ ස්ථානය පිලිබඳ ව සැබෑ විශ්ලේෂනයක් වෙනුවට එය නිලධාරී තාන්ත්‍රික ජනසතු කිරීමේ අනපනත් ආදේශ කරයි. එබඳු ප්‍රවේශයක් බෆර් රටවල දිග හැරෙන සිදුවීම් අවබෝධ කර ගැනීමට මගපෙන්වීමක් ලෙස හෝ ඒවා කෙරෙහි අපගේ පිලිවෙත හැඩ ගැස්විමේ ආධාරකයක් ලෙස හෝ අපට සේවය කරනු ඇතැයි සිතිය නො හැකි ය.”[18]

හතරවන ජාත්‍යන්තරය, 1950 අප්‍රේල් මාසයේ පැවති ජාත්‍යන්තර විධායක කමිටුවේ අටවන පුන්සැසියේ දී, යුගෝස්ලාවියාව “විකෘත කම්කරු රාජ්‍යයක්” ලෙස නම් කිරීමේ තීන්දුව කරා එලඹුනු අතර, එය පසුව නැගෙනහිර යුරෝපයේ බෆර් රාජ්‍යයන්ට ද ව්‍යවහාර කරන ලදී.

අප රක්නා උරුමය කෘතිය මෙම සාකච්ඡාව තුල නියුක්තනය වූ ප්‍රශ්න සංගෘහිත ලෙස තුල සම්පින්ඩනය කරන අතර, අතිශයින් ම වැදගත් “ජනසතු දේපොල පිලිබඳ පාරභෞතිකවාදය” නමැති පරිච්ඡේදයෙන් විස්තීර්න ලෙස උපුටා දැක්වීම වටනේ ය.

මැන්ඩල්ගේ හා ස්ටෙයින්ගේ තර්කවිතර්කවල වැදගත්කම නම්, සෝවියට් නිලධරයට හා එහි ක්ෂනභංගුර “ජයග්‍රහනයන්ට” අවස්ථාවාදී ව අනුගත වීමේ වර්ධනය වන ප්‍රවාහයකට විරුද්ධ ව ඔවුන් නිර්ධන පන්ති විප්ලවයේ ඓතිහාසික ඉදිරි දර්ශනය මත නිවැරදි ව මූලික අවධාරනය යෙදීම යි. කෙසේ වෙතත්, යුගෝස්ලාවියාවේ සහ නැගෙනහිර යුරෝපයේ අවශේෂ රටවල “විකෘත” කම්කරු රාජ්‍යවල පැවැත්ම පිලිගැනීමට ක්‍රමික ව ගත් තීන්දුව සාවද්‍ය වන බවක් මෙයින් නො ඇඟවේ. උචිත ලෙස අවබෝධ කරගෙන උචිත ලෙස උපයෝගී කර ගැනුනු කල්හි මෙම නව නිර්වචනය අවශ්‍ය න්‍යායික හා දේශපාලනික කර්තව්‍යයන් සපුරාලීය. එහෙත් සියලු අපෝහක සංකල්ප සේ ම “විකෘත කම්කරු රාජ්‍යයක්” පිලිබඳ සංකල්පයත් පිලිගත හැකි වනුයේත් එහි අදාලත්වය දරා සිටිනුයෙත් දෙන ලද ඓතිහාසික හා දේශපාලනික “ඉවසීමේ සීමාවක්” තුල පමනි.

පශ්චාත් යුද්ධ කාල පරිච්ඡේදයෙහි සුවිශේෂී හා අසාමාන්‍ය කොන්දේසි යටතේ පැන නැගුනු “දෙමුහුන්” රාජ්‍යයන් නිර්වචනය කිරීමේත් ඒවායේ සම්භවයන්හි විකෘත හා අසාමාන්‍ය ස්වභාවය අවධාරනය කිරීමේත් මාර්ගයක් වසයෙන් ‘විකෘත’ කම්කරු රාජ්‍යයක් පිලිබඳ සංකල්පය, මෙම රටවල් තුල කම්කරු පන්තිය හමුවේ පවතින දේශපාලනික කර්තව්‍යයන් පැහැදිලිවම පෙන්වා දෙන අතරවාරයේ ම අධිරාජ්‍යවාදී මැදිත්වීම්වලට විරුද්ධ ව මෙම රාජ්‍ය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව දෘඪතර ව ප්‍රකාශයට පත් කිරීමේ දී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පාදක වන සප්‍රතිපත්තික පදනම තහවුරු කරයි.

‘විකෘත’ යන වචනය යෙදීමේ හේතුවෙන්, 1917 ඔක්තෝබරයෙහි ධනේශ්වර රාජ්‍යය පෙරලා දැමීම හා 1940 ගනන්වල අවසාන භාගයෙහි නැගෙනහිර යුරෝපයෙහි ඇති වූ පෙරලා දැමීම් අතර පවතින තීරනාත්මක ඓතිහාසික වෙනස මත කේන්ද්‍රීය අවධානය යෙදවෙයි: එනම්, බොල්ෂෙවික් වර්ගයේ පක්ෂයක් විසින් නායකත්වය දෙන ලද නිර්ධන පන්ති බලය පිලිබඳ මහජන සංවිධාන -- සෝවියට් සභා -- නොමැති වීම යි. තව ද එම වචනයෙන් අස්ථිර ඓතිහාසික ශක්‍යතාවක් ඇති, එසේ ම - දේශපාලනික හා ආර්ථික - සෑම ක්ෂේත්‍රයක ම කටයුතුවල දී, තම සම්භවයේ විකෘත හා අසාමාන්‍ය ස්වභාවයේ මුද්‍රාව දරන රාජ්‍ය තන්ත්‍රයන්ගේ හුදු සංක්‍රමනීය පැවැත්ම ද ඇඟවෙයි.

මේ අනුව, විකෘත යන හැඳින්වීම, එබඳු රාජ්‍යයන්ට නව ඓතිහාසික දර්ශන පථයන් සම්පාදනය කරනවා වෙනුවට, ස්ටැලින්වාදයේ ඓතිහාසික බංකොලොත්කම අවධාරනය කරමින් නිර්ව්‍යාජ මාක්ස්වාදී නායකත්වයක් ගොඩනැගීමේ, පාලක නිලධරයට විරුද්ධ ව දේශපාලනික විප්ලවයක් මගින් කම්කරු පන්තිය බල මුලු ගැන්වීමේ, කම්කරු බලයේ නිර්ව්‍යාජ බල සංස්ථා ගොඩනැංවීමේ, රාජ්‍ය ව්‍යුහය හා ආර්ථිකය තුල පැරනි ධනේශ්වර සම්බන්ධතාවන්හි අපමන නෂ්ඨාවශේෂයන් විනාශ කර දැමීමේ, අවශ්‍යතාව අභිමානවත් ලෙස පෙන්වා දෙයි.[19]

එහෙත්, පැබ්ලෝගේ ආධාරකරුවෝ “විකෘත කම්කරු රාජ්‍යයන්” යන අර්ථ දැක්වීම ඩැහැගත්තේ හා, නෝර්ත් සහෝදරයා සටහන් කරන පරිදි, “විකෘත” යන පදයට සැලකුවේ “පසුව සිතාබලා ඇමුනුනු විශේෂනයකට නොවැඩි වූවක්” සේ ය. යුගෝස්ලාවියාව පිලිබඳ ව පැබ්ලෝ ලියූ පූර්ව රචනාව තුල ඒ වන විටත් ඔහු ඉඟි කොට තිබුනු පරිදි ඔහු යෝජනා කරමින් සිටියේ, සමාජවාදය කරා ලඟා වීමේ අවශ්‍ය මාධ්‍ය වන්නේ එවන් “විකෘත” රාජ්‍යයන් බව යි. මේ සමග අත්වැල් බැඳගෙන, හතරවන ජාත්‍යන්තරය තුල මෙම සංකල්පයන්ට විරුද්ධ වූවන්ට යථාර්ථය පිලිගනු වෙනුවට “ශුද්ධ රූපාකාරයට” ලොල් වඩන්නන් ලෙස අවඥාවෙන් සැලකීම පැවතුනි.

පැබ්ලෝවාදී දියකරහැරීම් වාදය සහ වෛෂයිකවාදය

යුගෝස්ලාවියාව හා බෆර් රාජ්‍යයන් ගුනාංගීකරනය කිරීම අරබයා සාකච්ඡාව වැදගත් වූ අතර ම, එයට යටින් පැවතියේ ඉදිරිදර්ශනයට සම්බන්ධ වඩා මූලික ප්‍රශ්නයන් ය. මෙම යුගයේ ස්වභාවය කවරක් වී ද? සමාජවාදය සාක්ෂාත් කරගනු ඇත්තේ කවරාකාරයෙන් ද? හතරවන ජාත්‍යන්තරයේ භූමිකාව කුමක් වී ද?

ඊ ලඟ වසර දෙක පුරා, පැබ්ලෝවාදයේ සාරභූත ලක්ෂනය පැහැදිලි ව ඉස්මතු විය, මා කලින් උපුටා දැක්වූ පරිදි:

එදත් (අදත්) පැබ්ලෝවාදය මුල සිට අග දක්වා ම දිය කර හැරීම් වාදයකි. එනම් සමාජවාදී විප්ලවය තුල නිර්ධන පන්තියේ ආධිපත්‍යය සහ නිර්ධන පන්තියේ ඓතිහාසික කාර්යභාරයේ සවිඥානක ප්‍රකාශනය හැටියට හතරවන ජාත්‍යන්තරයේ සැබවින් ම ස්වාධීන පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමකි.[20]

“පැබ්ලෝවාදී අවස්ථාවාදයේ ස්වභාවය” නමැති අප රක්නා උරුමය කෘතියේ 15වන පරිච්ඡේදය, අගෝස්තු-සැප්තැම්බර් මාසවල පවත්වන ලද තුන්වන ලෝක සම්මේලනයෙහි වසර වූ 1951 පුරා පැබ්ලෝවාදයේ පරිනාමය විස්තර කරයි. එම කෘතිය තුල විමර්ශනය කරනු ලබන වඩාත් ම වැදගත් කරුනු කිහිපයකට සැඳහුම් කිරීම පමනක් මට යලිත් කල හැකි ය.

ජාත්‍යන්තර විධායක කමිටුවේ නවවන පුන්සැසියෙන් අනතුරුව සූදානම් කරන ලද “අප යමින් සිටින්නේ කොහි ද?” නමැති රචනාව 1951 ජනවාරියේ දී පැබ්ලෝ ලියූ අතර, එය තුල යුගෝස්ලාවියාව පිලිබඳ රචනාව තුල ඉදිරිපත් කරන ලද ආස්ථානය යලි අවධාරනය කිරීමට හා විස්තාරනය කිරීමට ඔහු ක්‍රියා කලේ ය. “ස්ටැලින්වාදය තවමත් පවතිමින් ජයග්‍රහන පවා අත්පත් කරගන්නා නිසා මානව වර්ගයාගේ ඉරනම ගැන අපේක්ෂා භංගත්වයට පත්වන” අය අභිප්‍රේරනය වනු ලබන්නේ, සමාජවාදය “ඔවුන්ගේ කෙටි ජීවිත කාලය ඇතුලත සාක්ෂාත් කරගැනීමේ” ආත්මීය ආශාව විසින් බව පැබ්ලෝ ලීවේ ය. ඒ වෙනුවට, “මෙම පරිවර්තනය ශතවර්ෂ ගනනාවක සමස්ත ඓතිහාසික කාල පරිච්ඡේදයක් අත් කර ගන්නා අතර, ඒ අතර ම, ධනවාදය හා සමාජවාදය අතර පවතින රූපාකාර හා පාලන තන්ත්‍රවලින් පිරෙමින්, අවශ්‍යයෙන් ම ‘ශුද්ධ’ රූපාකාරයන්ගෙන් හා සම්මතයන්ගෙන් අපගමනය වනු ඇත.”[21] (අවධාරනය ඈඳිනි).

“වෛෂයික යථාර්ථය තුල නව වර්ධනයන්” සලකා බැලීමේ කඩතුරාව යටතේ, යුගයේ ස්වභාවය සහ එය තුල සිය භූමිකාව පිලිබඳ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයෙහි අවබෝධයට මූලික සංශෝධන හඳුන්වාදීමට පැබ්ලෝ පටන් ගත්තේ ය. දෙවන ලෝක යුද්ධයෙහි අවසානයේ පටන්, “අතීතයේ දී අප දැන සිටි සියලු දේවලින් සාරභූත වසයෙන් වෙනස් කාල පරිච්ඡේදයකට අප ඇතුලු වී සිටින” බවත්, ව්‍යාපාරය “සම්පූර්නයෙන් විකසිත වන නව යථාර්ථයක අනන්තීය ලෙස පොහොසත් අන්තර්ගතය වෙලා ගැනීමට, විශ්ලේෂනය කිරීමට හා සමාග්‍රහනය කරගැනීමට අසමත් වන සකලාකාර චින්තන වර්ග හා සියලු ධර්මතාවාදයන්” ජයගැනීමේ අවශ්‍යතාව එමගින් මතු කෙරෙන බවත් පැබ්ලෝ ලීවේ ය. [22]

එහි “අනන්තීය ලෙස පොහොසත් අන්තර්ගතය” සහිත මෙම “නව යථාර්ථය” කවරක් වී ද? පැබ්ලෝ එය පහත පරිදි සම්පින්ඩනය කලේ ය:

අපේ ව්‍යාපාරය සඳහා වෛෂයික සමාජ යථාර්ථය සාරභූත වසයෙන් සමන්විත වන්නේ ධනපති පාලන තන්ත්‍රයෙන් හා ස්ටැලින්වාදී ලෝකයෙනි. වැඩි දුරටත්, අපි එයට කැමති වුවත් නැතත්, වෛෂයික සමාජ යථාර්ථය සමස්තයක් ලෙස මෙම මූලිකාංග දෙකෙන් සමන්විත වන අතර, දැනට ධනවාදයට විරුද්ධ බලවේගයන්ගේ අතිමහත් බහුතරය සොයා ගත යුත්තේ සෝවියට් නිලධරයේ නායකත්වය හෝ එහි ආනුභාවය යටතේ ය.

“වෛෂයික සමාජ යථාර්ථය, සාරභූත වසයෙන් ධනපති පාලන තන්ත්‍රයෙන් හා ස්ටැලින්වාදී ලෝකයෙන් සමන්විත වන්නේ” යි පැබ්ලෝ ලියයි. මෙම කරුන ගැන ඔහු කොතරම් අවධාරනශීලී වී ද යත්, ඔහු එය දෙවරක් සටහන් කලේ ය. “වැඩි දුරටත්, අපි එයට කැමති වුවත් නැතත්, වෛෂයික සමාජ යථාර්ථය සමස්තයක් ලෙස මෙම මූලිකාංග දෙකෙන් සමන්විත වෙයි.” “අපි එයට කැමති වුවත් නැතත්” පමනක් එකතු කරමින්, මේ දැන් ප්‍රකාශ කර තිබුනු දෙය පැබ්ලෝ සරල ව පුනරුච්ඡාරනය කලා පමනක් නිසා, සෑබෑ “වැඩි දුරටත්” දෙයක් මෙහි නැත. එනම්, හතරවන ජාත්‍යන්තරයට කවරක් අවශ්‍ය කලත්, එය කවරක් කලත්, එහි කේඩරය ආත්මීය ලෙස කවරකට ආශා කලත්, “වෛෂයික සමාජ යථාර්ථය” සමන්විත වන්නේ ස්ටැලින්වාදී ලෝකයෙන් හා ධනපති පාලන තන්ත්‍රයෙනි. ඇයි? “මේ දැන් ධනවාදයට විරුද්ධ වන බලවේගයන් සොයා ගත යුත්තේ සෝවියට් නිලධරයේ නායකත්වය හෝ ආනුභාවය යටතේ” වන බැවිනි. (අවධාරනය ඈඳිනි)

පසුව එන ප්‍රකාශය සත්‍ය යයි උපකල්පනය කරමින්, එනම් කම්කරු පන්තියේ ධනපති-විරෝධී පරිශ්‍රමයන් “මේ දැන්” පවතින්නේ සෝවියට් නිලධරයේ නායකත්වය හෝ ආනුභාවය යටතේ යයි පිලිගත් විට, එය, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සඳහා, කම්කරු පන්තිය මත ස්ටැලින්වාදයේ දේශපාලනික ආනුභාවය බිඳින්නේ කෙසේද යනුවෙන් නම් කෙරෙන, විප්ලවවාදී නායකත්වය පිලිබඳ සාරභූත ගැටලුව පමනක් ම අවධාරනය කරයි. තව ද “වෛෂයික සමාජ යථාර්ථය” සමන්විත වූයේ “ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයෙන්” හා “ධනවාදී ලෝකයෙන්” යන ප්‍රකාශය, පවත්නා දේශපාලනික බලවේගයන්ගේ පෙලගැස්මට සමාජීය ව්‍යුහය තුල ම පවතින යම් අතිමූලික දෙයක තත්වය ආරෝපනය කලේ, “ස්ටැලින්වාදී පාලන තන්ත්‍රය” තාවකාලික දේශපාලනික “පිලිලයක්” යයි සලකනු වෙනුවට, එයට ඓතිහාසික ව අත්‍යවශ්‍ය සමාජීය ක්‍රියාකාරීත්වයක් පවරමිනි. “ස්ටැලින්වාදී පාලන තන්ත්‍රය” “වෛෂයික සමාජ යථාර්ථය” තුල මුල්බැස තිබුනේය යයි පැවසීම, එක්තරා අර්ථයකින්, ස්ටැලින්වාදය වනාහි නව සමාජ පන්තියක් යනුවෙන් රාජ්‍ය ධනවාදීන් ඉදිරිපත් කල ආස්ථානය උඩ යට මාරුකරමින් එම ආස්ථානයට අනුගත වීමකි.

හතරවන ජාත්‍යන්තරය දේශපාලන නායකත්වය දිනා ගැනීමට සටන් වදිනු ඇත්තා වූ පන්ති අරගලයේ වර්ධනයේ තැනට, සමාජවාදය සාක්ෂාත් කරගැනීම සඳහා වන යාන්ත්‍රනය ලෙස භූතප්ලවීය (මහත් ව්‍යසනකාරී) ලෝක යුද්ධයක් ආදේශ කරන පැබ්ලෝගේ “යුද්ධ-විප්ලව” න්‍යායය මෙම දිය කර හැරීම්වාදී ආස්ථානය සමග සම්බන්ධ කර තිබුනි. “එබඳු යුද්ධයක් ආරම්භයෙහි සිට ම, විශේෂයෙන් ම යුරෝපය සහ ආසියාව තුල, ජාත්‍යන්තර සිවිල් යුද්ධයක ස්වභාවය අත්පත් කර ගන්නවා ඇත. මෙම මහාද්වීප ඉක්මනින් ම, සෝවියට් නිලධරයේ, කොමියුනිස්ට් පක්ෂවල, සහ විප්ලවීය ජනතාවගේ පරිපාලනය, යටතට ගමන් කරනවා ඇත...” යි පැබ්ලෝ ලීවේ ය.

විප්ලවය හා යුද්ධය පිලිබඳ ව මෙම සංකල්ප දෙක, එකිනෙකට ප්‍රතිපක්ෂ හෝ වර්ධනයේ සැලකිය යුතු පරිදි එකිනෙකට වෙනස් අවධීන් දෙකක් වනවා වෙනුවට, එකිනෙකට වඩාත් සමීප වෙමින් ඇතැම් කොන්දේසි යටතේ ඇතැම් අවස්ථාවල එකිනෙකින් වෙන් කොට හඳුනා ගත නො හැකි පරිදි එකිනෙක හා බද්ධ වෙයි. ඒ වෙනුවට ඉස්මතු වනුයේ විප්ලව-යුද්ධය, යුද්ධ-විප්ලවය පිලිබඳ සංකල්පය යි. අපගේ යුගයේ විප්ලවීය මාක්ස්වාදීන්ගේ ඉදිරි දර්ශන හා දිශාවනිතිය රැඳිය යුත්තේ ඒ මත ය. [23]

පසුව පැබ්ලෝගේ ලතින් ඇමරිකානු ආධාරකරුවා වූ ජුවාන් පෝසාදාස් විසින් වැඩිදුර වර්ධනය කරන ලද පැබ්ලෝගේ “යුද්ධ-විප්ලව” න්‍යායය, යුද්ධය පිලිබඳ සාම්ප්‍රදායික මාක්ස්වාදී සංකල්පය උඩු යටිකුරු කලේ ය. ධනවාදය පෙරලා දැමීමේ හා අධිරාජ්‍යවාදී යුද්ධය අවසන් කිරීමේ වෛෂයික පදනම බවට කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරය පත් වනු වෙනුවට, විප්ලවයේ වින්නඹු මාතාව බවට පත් වූයේ අධිරාජ්‍යවාදී යුද්ධය යි. පැබ්ලෝගේ “විප්ලවවාදී” මනෝරාජ්‍යය තුල, ලෝකයේ බොහෝ ප්‍රදේශ තුල ධනපති දේපොල සබඳතා පෙරලා දැමීමේ ප්‍රගතිශීලී භූමිකාව නිලධරයට පවරා දෙමින් සහ දශකයකටත් අඩු කාලයකට පෙර, දෙවන ලෝක යුද්ධය සමයේ හා ඉන් ඉක්බිති ව අධිරාජ්‍යවාදය වෙනුවෙන් යුරෝපය හා ආසියාව තුල විප්ලවයෙහි ගෙල සිර කල ස්ටැලින්වාදයේ භූමිකාව නො තකා හරිමින්, එබඳු යුද්ධයක් සමස්ත යුරෝපය හා ආසියාව තුල බලය ගැනීමට ස්ටැලින්වාදී පක්ෂ “ක්ෂනික ව” මෙහෙයවනු ඇත.   

යුද්ධ-විප්ලව ප්‍රස්තුතය කරා මම පෙරලා පැමිනෙන්නෙමි. එහෙත් අපගේ ම දේශපාලනික ක්‍රියාකාරීත්වය අවබෝධ කරගැනීමට නො නස්නා අදාලත්වයක් දරන, පැබ්ලෝ විසින් ට්‍රොට්ස්කිවාදය සංශෝධනය කරනු ලැබීම තුල නියැලී තිබූ විධික්‍රමාත්මක කාරනා පිලිබඳ ව අප රක්නා උරුමය කෘතියෙන් විස්තීර්න ඡේදයක් යලිත් උපුටා දැක්වීමට මම කැමැත්තෙමි. එය වෛෂයිකවාදය පිලිබද ප්‍රශ්නය යි.

“පැබ්ලෝත් ඔහුගේ මිතුරෝත් තමන් අධිරාජ්‍යවාදයටත් එහි ස්ටැලින්වාදී මිතුරන්ටත් අනුගත වෙමින්, නිර්ධන පන්තියේ නායකත්වය දිනා ගැනීමට ට්‍රොට්ස්කිවාදීන්ට තිබෙන ශක්තිය පිලිබඳ ව විශ්වාසය තුරන් කර ගන්නා විට වෛෂයිකවාදී විධික්‍රමයක් ද වැලඳ ගත් හ. එම විධික්‍රමය, නිර්ධන පන්තියෙන් පරිබාහිර බලවේගයන්ටත් හතරවන ජාත්‍යන්තරය හැර අනෙක් දේශපාලනික ප්‍රවනතාවන්ටත් සියලු ඓතිහාසික ආරම්භකත්වයන් භාර දුන් දේශපාලනික ඉදිරි දර්ශනයකට මුලුමනින් උචිත වූයේ” යයි නෝර්ත් සහෝදරයා ලියයි.

වෛෂයිකවාදයේ ආස්ථානය, විප්ලවීය ප්‍රායෝගික භාවිතයට වඩා සමපේක්ෂනය යි; අරගලයට වඩා නිරීක්ෂනය යි. එය කල යුතු දේ විස්තර කරනවාට වඩා එය සිදුවන දේ යුක්ති සහගත කරයි. බලය අල්ලා ගෙන ඉතිහාසයේ ගමන් මග වෙනස් කිරීමට අදිටන් කර ගත් පක්ෂයක ප්‍රායෝගික භාවිතයට මග පෙන්වන න්‍යායයක් ලෙස තවදුරටත් ට්‍රොට්ස්කිවාදය දකිනු වෙනුවට, ඊට වඩා, හතරවන ජාත්‍යන්තරයට හතුරු නිර්ධන පන්තික නො වන බලවේගවල නායකත්වය යටතේ අවසන් වසයෙන් සමාජවාදය සාක්ෂාත් කර ගැනෙන ඓතිහාසික ක්‍රියාදාමයක් පිලිබඳ ව සාමාන්‍ය නිර්වචනය කිරීමක් ලෙස ට්‍රොට්ස්කිවාදය දකිනු ලැබෙන, ඉදිරි දර්ශනයකට මෙම විධික්‍රමයෙන් න්‍යායික අධස්ථලය සම්පාදනය කෙරුනි. සිදුවීම් දාමයෙහි කිසියම් ඍජු කාර්යභාරයක් ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් ට්‍රොට්ස්කිවාදයට සම්මානන කල යුතු වී නම්, ඒ හුදෙක්, ස්ටැලින්වාදීන්ගේත්, නව ස්ටැලින්වාදීන්ගේත්, අර්ධ-ස්ටැලින්වාදීන්ගේත්, සත්තකින් ම, ඒ හෝ මේ වර්ගයේ සුලුධනේශ්වර ජාතිකවාදීන්ගේත් කටයුතු අවිඥානකව හසුරුවන කිසියම් ආකාරයක උපවිඥානගත මානසික සන්තතියක් හැටියට පමනි.

පැබ්ලෝවාදය, මෙම අර්ථයෙන් ගත් කල්හි, සාවද්‍ය තක්සේරු කිරීම්වලින්, ව්‍යාජ පෙරදැකීම්වලින්, ක්‍රියා මාර්ගික සංශෝධනවලින් බොහෝ ඔබ්බට ගියේ ය. එය විද්‍යාත්මක සමාජවාදයේ සමස්ත පදනමට ම පහර එල්ල කල අතර මුලු ශතවර්ෂයක් පුරා පන්ති අරගලයේ වර්ධනයෙන් මාක්ස්වාදීන් වියුක්ත කර ගත් කේන්ද්‍රීය පාඩම් ද ප්‍රතික්ෂේප කලේ ය. නිර්ධන පන්තික අරගලයේත් නිර්ධන පන්ති ඒකාධිපතිත්වය ඓතිහාසික වසයෙන් සාක්ෂාත් කර ගැනීමේත් සවිඥානක අංගයේ අවශ්‍යතාව පැබ්ලෝ විසින් ප්‍රශ්නයට භාජන කෙරුනු කල්හි, විසි වන සියවසේ මාක්ස්වාදී න්‍යායයේ විශිෂ්ටතම ජයග්‍රහනය, එනම් පක්ෂය පිලිබඳ ලෙනින්වාදී සංකල්පය, පිරිහෙලනු ලැබින. පැබ්ලෝට සහ ඔහුගේ අනුගාමිකයන්ට අනුව, නිර්ධන පන්තිය න්‍යායිකව අධ්‍යාපනගත කිරීමට හෝ එය තම ඓතිහාසික කර්තව්‍යයන් පිලිබඳව සවිඥානක කරවීමට හෝ අවශ්‍යතාවක් නො වී ය. කම්කරු පන්තියේ ස්වයංසිද්ධ ව්‍යාපාරය මත ධනේශ්වර දෘෂ්ටිවාදයෙහි ආධිපත්‍යයට විරුද්ධව මාක්ස්වාදය සඳහා අරගලයක් කිරීම අවශ්‍ය නො වී    ය.

මේ අනුව, මාක්ස්වාදය, කම්කරු පන්තියේ පෙරමුනු බලඇනිය විසින් ජනතාවන් අතර තම අධිකාරය පිහිටුවා, සමාජවාදී විප්ලවය සඳහා ඔවුන් පුහුනු කොට සංවිධාන කරනු වස් යොදා ගැනෙන ක්‍රියාත්මක දේශපාලනික සහ න්‍යායික ආයුධයක් වීමෙන් වැලකුනි. ඒ වෙනුවට, එය, දැන් පවතින මොනයම් හෝ දේශපාලනික ප්‍රවනතා ඔස්සේ, ඒවා වෛෂයිකව රඳා තිබෙන පන්ති බලවේගයන් නො තකා, ඒවායෙහි අතීතය කෙතරම් කුප්‍රකට ද ක්‍රියා මාර්ගය කෙරතම් ප්‍රතිගාමී ද යන්න නො තකා, ස්වයංක්‍රීය සේ පෙනී යන අයුරින් ක්‍රියාත්මක වන, “ෙඑතිහාසික සන්තතිය” යනුවෙන් හැඳින්වෙන වියුක්තයක් මගින් හුදෙක් “සනාථ කරනු” ලැබුනි. [24]

වෛෂයිකවාදයට එරෙහි අරගලයට මාක්ස්වාදී ව්‍යාපාරය තුල දීර්ඝ ඉතිහාසයක් තිබේ. ලෙනින් මෙම ප්‍රශ්නය සමග පොර බදන, ඔහුගේ මුල් කාලීන රචනාවක් වන “නරොද්නික්වාදයේ ආර්ථික අන්තර්ගතය” යන්නෙන් අප රක්නා උරුමය උපුටා දක්වයි. ට්‍රොට්ස්කිගේ අවසන් රචනාවන්ගෙන් එකක් වන “පන්තිය, පක්ෂය හා නායකත්වය,” කම්කරු පන්තියේ නායකයන්ගේ ද්‍රෝහීත්වය විසින් ජනනය කරන ලද පරාජයන් සඳහා වගකීම, කම්කරු පන්තිය හා “වෛෂයික හේතූන්” මත පැටවූ අය හෙලිදරවු කිරීමකට කැප කෙරුනි. “ඓතිහාසික හැරුම් ලක්ෂ්‍යයවල තීරනාත්මක අවස්ථාවල දී දේශපාලන නායකත්වය, යුද්ධයක තීරනාත්මක අවස්ථාවල දී ප්‍රධාන අනදෙන්නාගේ භූමිකාව තරම් ම තීරනාත්මක සාධකයක් බවට පත් විය හැකිය” යි ට්‍රොට්ස්කි ලීවේ ය. “ඉතිහාසය ස්වයංක්‍රීය ක්‍රියා දාමයක් නො වේ. එසේ නො වේ නම්, නායකයන් කුමට ද? පක්ෂ කුමට ද? ක්‍රියා මාර්ග කුමට ද? න්‍යායික අරගල කුමට ද?” මී ලඟ දේශනය තුල විමර්ශනය කෙරෙනු ඇති පරිදි, සමාජවාදී කම්කරු සංගමය, 1960 ගනන් මුල, සකප පැබ්ලෝවාදීන් සමග යලි එකමුතුවීමට විරුද්ධව ගෙන ගිය සිය අරගලයේ දී, හැන්සන්ගේ හා සකපයේ වෛෂයිකවාදයට එරෙහිව සටන් වැදුනි.

ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය, පශ්චාත්-නූතනවාදය සහ ව්‍යාජ-වමේ දේශපාලනය

ස්ටෙයිනර් හා බ්‍රෙනර් මෙම කාරනාව සාවද්‍ය ලෙස ඉදිරිපත් කිරීමට (විශේෂයෙන් ම 6 හා 15 කොටස්) විරුද්ධ ව, වෛෂයිකවාදය පිලිබඳ නිවැරදි අවබෝධයක් විදාරනය කරනු ලබන, The Frankfurt School, Postmodernism and the Politics of the Pseudo-Left (ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය, පශ්චාත්-නූතනවාදය සහ ව්‍යාජ-වමේ දේශපාලනය) කෘතියේ එන “මාක්ස්වාදය, ඉතිහාසය සහ සමාජවාදී විඥානය” යන ලිපිය වෙත සහෝදරවරුනගේ අවධානය යොමු කිරීමට මම විශේෂයෙන් කැමැත්තෙමි. ස්ටෙයිනර් හා බ්‍රෙනර් ප්‍රතික්ෂේප කල, අපි අවධාරනය කරන කරුනක් වන ඉතිහාසය වනාහි නියාම-පාලිත සන්තතියක් ලෙස අවබෝධ කර ගැනීමක් වෛෂයිකවාදයෙන් අදහස් නො වේ. ඒ වෙනුවට, එහි ආස්ථානය වන්නේ, ධනවාදයෙහි පරස්පර-විරෝධයන්ගේ වෛෂයික වර්ධනය විප්ලවවාදී නායකත්වය පිලිබඳ මූලික ගැටලුව, එනම් “ආත්මීය සාධකය” පිලිබද ගැටලුව, විසඳනු ඇති බව යි.

මාක්ස්වාදීන්ට නම්, සමාජවාදී විඥානය උදෙසා අරගලය වනාහි ධනවාදයට එරෙහි අරගලයක් කල යුතු යයි පලල් කම්කරු ජනයා ඒත්තු ගන්වා ගැනීම පිලිබඳ කාරනයක් නො වේ; ඒ වෙනුවට, ධනේශ්වර පද්ධතියේ ගැඹුරුවන්නා වූ ආර්ථික හා සමාජ අර්බුදය මගින් උග්‍ර කෙරෙන, අතිරික්ත-ශ්‍රමය සූරාකෑමේ වෛෂයික සන්තතිය තුලින් පැන නගින එවන් අරගලවල අනිවාර්ය බව වටහා ගැනීමෙන් ආරම්භ කරන මාක්ස්වාදී ව්‍යාපාරය, නියාම පාලිත සන්තතියක් ලෙස ඉතිහාසය පිලිබදව විද්‍යාත්මක වැටැහීමක් ද ධනේශ්වර නිෂ්පාදන විධිය සහ එය විසින් පැන නංවනු ලබන සමාජ සම්බන්ධතාවන් පිලිබඳ ඥානයක් ද වර්තමාන අර්බුදයේ සැබෑ ස්වභාවය හා එහි ලෝක-ඓතිහාසික ගම්‍යයන් පිලිබඳ අභිනිවේෂයක් ද කම්කරු පන්තියේ දියුනු කොටස් තුල වර්ධනය කිරීමට යත්න දරයි. මෙය වනාහි නො දැනුවත් ඓතිහාසික සන්තතියක් දැනුවත් දේශපාලන ව්‍යාපාරයක් බවට ප්‍රතිවර්තනය කිරීම පිලිබඳ ප්‍රශ්නයකි; ලෝක ධනේශ්වර ක්‍රමයේ අර්බුදය උග්‍රවීමේ ප්‍රතිවිපාක පූර්වාපේක්ෂා කිරීමේ ද ඒ සඳහා සූදානම් වීමේ ද සිද්ධීන්ගේ තර්කනය එලිදරව් කරලීමේ ද ඒවාට සරිලන්නා වූ දේශපාලන ප්‍රතිචාරයක් මූලෝපායික ව සහ උපායික ව සූත්‍රගත කිරීමේ ද ප්‍රශ්නයකි.[25]

නැතහොත්, පසුව හීලි විසින් විකෘත කරන ලද හා මුසාකරනය කරන ලද වාක්‍යාංශයක් තුල ලෙනින් ලියූ පරිදි: “හැකිතාක් නිශ්චිත, පැහැදිලි හා විවේචනාත්මක මාදිලියකින් යමෙකුගේ සමාජ විඥානය සහ සියලු ධනපති රටවල වැඩි දියුනු පන්තීන්ගේ විඥානය එයට අනුගත කල හැකි වන පරිදි, ආර්ථික පරිනාමයේ (සමාජ ජීවිතයෙහි පරිනාමයේ) මෙම වෛෂයික තර්කනය එහි පොදු හා අතිමූලික ලක්ෂන සහිතව සමාග්‍රහනය කරගැනීම මානව වර්ගයාගේ ඉහල ම කර්තව්‍ය යි.”[26]

පැබ්ලෝවාදය කරා ආපසු එන්නේ නම්, “යුද්ධ-විප්ලව” න්‍යායය, දෙවන ලෝක යුද්ධය කරා එලඹුනු වසරවල දී ට්‍රොට්ස්කි පැහැදිලිව ම පතුරු ගැසූ ආස්ථානය සත්‍ය වසයෙන් අනුමත කලේ ය. මෙය රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය පිලිබඳ අපගේ ම විශ්ලේෂනයට අදාලත්වයක් දරන අතර, නෝර්ත් සහෝදරයා හැඳින්වීම තුල එය උපුටා දැක්වී ය . 1937 ඩූවි කොමිසම ඉදිරියේ කල සාක්ෂි දීමේ දී, “යුද්ධය නිරන්තරයෙන් විප්ලවය නිෂ්පන්න කරන නිසා” ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය යුද්ධය ඉක්මන් කිරීමට පක්ෂපාතී වන්නේය යනුවෙන් “ජීපීයූයේ මිතුරන් විසින් පතුරුවා හරිනු ලබන මනඃකල්පිත න්‍යායයට” ට්‍රොට්ස්කි සැඳහුම් කලේ ය.

මෙක්සිකෝවේ කොයෝවාකාන්හි පැවති ඩූවි කොමිසමේ දී විභාගය අතරතුර දී සිය නීතිඥයා වන ඇල්බර්ට් ගෝල්ඩ්මන්ගෙන් උපදෙස් ගන්නා ලියොන් ට්‍රොට්ස්කි. ඔහුගේ වම් පසින් සිටින්නේ බිරිඳ නතාලියා ය.

“යුද්ධය සෑමවිට ම පාහේ සත්‍ය වසයෙන් ම විප්ලවය ඉක්මන් කර ඇත” යි ට්‍රොට්ස්කි පැහැදිලි කලේ ය.

එහෙත් මේ හේතුව නිසා ම, එය බොහෝ විට ගබ්සාමය ප්‍රතිඵලවලට තුඩු දී තිබේ. යුද්ධය සමාජීය පරස්පර-විරෝධයන් සහ මහජන අතෘප්තිය තියුනු කරයි. එහෙත් නිර්ධන පන්ති විප්ලවයේ විජයග්‍රහනය සඳහා එය ප්‍රමානවත් නොවේ. මහජනතාවන් තුල මුල් බැස ගත් විප්ලවවාදී පක්ෂයකින් තොර වූ කල, විප්ලවවාදී තත්ත්වය වඩාත් ම නරක පරාජයන්ට තුඩුදෙයි. කර්තව්‍යය වන්නේ යුද්ධය ‘ඉක්මන් කිරීම’ නොවේ- අවාසනාවන්ත ලෙස, මේ සඳහා සියලු රටවල අධිරාජ්‍යවාදීහු වැඩ කටයුතු කරමින් සිටිති, ඒ අසාර්ථකව ම නොවේ. කර්තව්‍යය වන්නේ, විප්ලවවාදී පක්ෂයක් සහ විප්ලවවාදී වෘත්තීය සමිති ගොඩනැගීම සඳහා වැඩ කරන ජනතාවන්ට අධිරාජ්‍යවාදීන් තවමත් ලබා දෙන කාලය උපයෝගී කර ගැනීම යි...

මානව ඉතිහාසයේ ගොරතර ම හා වඩාත් ම ඛේදවාචී ප්‍රපංචයන් වන්නේ යුද්ධය සහ විප්ලවය යි. ඔබට ඒවා සමග විහිලු කල නො හැකි යි. ඒවා ආධුනිකත්වය නොඉවසයි. යුද්ධය සහ විප්ලවය අතර අන්තර්-සම්බන්ධය අපි පැහැදිලි ව අවබෝධ කර ගත යුතු යි. අපේ මනාපය පරිදි ප්‍රේරනය කල නො හැකි වෛෂයික විප්ලවවාදී සාධක සහ විප්ලවයේ ආත්මීය සාධකය වන නිර්ධන පන්තියේ සවිඥානික පෙරටු බලඇනිය, එනම් එහි පක්ෂය අතර අන්තර්-සම්බන්ධය ද ඊට නො අඩු පැහැදිලිකමකින් යුතු ව අවබෝධ කර ගත යුතු යි. හැකි උපරිම ශක්තියෙන් යුතු ව මෙම පක්ෂය සූදානම් කිරීම අවශ්‍ය යි. (27)

පැබ්ලෝ මෙම අවබෝධය ඔලුවෙන් හිටුවී ය. “යුද්ධයට පෙර විප්ලවය සිදු වීමේ සහ සමහර විට යුද්ධය ම නො හැකියාවක් බවට පත්කරගැනීමේ අවස්ථා” ඉහල දමනු වස් “විප්ලවයෙහි ආත්මීය සාධකය” විසඳමේ අවශ්‍යතාව වෙනුවට, පැබ්ලෝට, ආත්මීය සාධකය විසඳීමෙන් තොර ව, විප්ලවය සාක්ෂාත් කිරීමේ යාන්ත්‍රනය බවට පත් වූයේ යුද්ධය යි. යුද්ධයේ ආධාරය සහිතව, ධනවාදී දේපොල සබඳතා පෙරලා දැමීම “වේගයෙන්” හා ප්‍රතිවිප්ලවවාදී ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයේ නායකත්වය යටතේ සිදු වනු ඇත.

මෙම සන්දර්භය ඇතුලත, හතරවන ජාත්‍යන්තරයේ භූමිකාව ප්‍රායෝගිකව ශූන්‍යය දක්වා ලඝු කරන ලදී. “එසේ වුවත්, අවසන් විග්‍රහයේ දී, වෛෂයික ක්‍රියා දාමය, ආත්මීය පර්යායක සියලු බාධක ඉක්මවා යමින්, එක ම නීර්නයකාරී සාධකය වන බව පමනක් නො ව, ස්ටැලින්වාදය මත් එක අතකින් පරස්පර-විරෝධී ප්‍රපංචයක්, අතර ම, අනෙක් අතින් ස්වයං-පරස්පර-විරෝධී ප්‍රපංචයක් වන බව ද සිතේ තබා ගැනීම, විප්ලවීය මාක්ස්වාදීන්ට නිරවද්‍ය දිශානතියක් සඳහා අවශ්‍ය ය” යි පැබ්ලෝ “අප යමින් සිටින්නේ ද?” යන ලිපිය තුල ලීවේ ය.

එහෙත්, “එක ම නීර්නයකාරී සාධකය” වන්නේ “වෛෂයික ක්‍රියා දාමය” නම් පක්ෂයෙහි භූමිකාව කුමක් ද? මෙම ප්‍රකාශය, විප්ලවයේ ගතිකය සහ පක්ෂයේ හා නායකත්වයේ තීරනාත්මක භූමිකාව පිලිබඳව ට්‍රොට්ස්කි ලියූ සෑම දෙයකටම මුලුමනින් ම එරෙහිව ගියේය. මෙම සාධකය, විප්ලවයේ කාල පරිච්ඡේදයේ දී, අඩු නොව, වඩා වැඩි අර්ථභාරයක් අත්පත් කරගනී. “එහෙත්, වෛෂයික පූර්වාවශ්‍යතා පරිනත බවට පත්වූ වහා ම සමස්ත ඓතිහාසික ක්‍රියා දාමයේ යතුර ආත්මීය සාධකය අතට, එනම් පක්ෂය අතට පත් වන” බව ට්‍රොට්ස්කි 1928 දී ලීවේ ය. “අතීත යුගයේ (එනම්, පලමුවන ලෝක යුද්ධයට පෙරාතු කාල පරිච්ඡේදයේ) ආශ්වාදයන් මත සවිඥානිකව හෝ අවිඥානිකව ශක්තිමත් වන අවස්ථාවාදය, සෑමවිට ම යොමු වන්නේ, ආත්මීය සාධකයේ භූමිකාව, එනම් පක්ෂයේ සහ විප්ලවවාදී නායකත්වයේ වැදගත්කම අඩුතක්සේරු කිරීමට යි.”[28]

තුන්වන ලෝක සම්මේලනයට සූදානම් කරන ලද යෝජනා සහ සම්මේලනයට පැබ්ලෝ ඉදිරිපත් කල වාර්තාව (“මහජනතාව කරා මාවත”), ඉදිරියට දමමින් පැවති දිය කර හැරීම්වාදී සංකල්ප මත පදනම්ව, ඕනෑම තැනක පවතින, ඕනෑම රූපාකාරයක් ගන්නා මහජන ව්‍යාපාරයන්ට “සැබැවින් ම ඒකාග්‍රවීමේ” ඉදිරිදර්ශනය වර්ධනය කලේ ය.

“අපේ ව්‍යාපාරයෙහි ඉතිහාසයේ ප්‍රථම වතාවට, විශේෂයෙන් ම දෙවන ලෝක සම්මේලනයේ පටන්, එක් එක් රටක් තුල මහජනතාවගේ සැබෑ ව්‍යාපාරය ගෙන ඇති මාවත සහ එය හොඳින් ම ප්‍රකාශයට පත් වන රූපාකාර හා සංවිධාන පිලිබදව අනම්‍ය හා ක්‍රමානුකූල ලෙස ගවේෂනය කිරීම ද එම මාවතේ අප ගන්නා සංයුක්ත හා ප්‍රායෝගික පියවරයන් ද අපේ කේඩරයේ පරිනතභාවයට සාක්ෂි දරයි” යයි පැබ්ලෝ ඔහුගේ වාර්තාව තුල සඳහන් කලේ ය.

පැබ්ලෝගේ “මහජනතාව කරා මාවත” පදනම් වූයේ, එක් එක් රට තුල ජාතික සලකා බැලීම් මත මිස සමාජවාදී විප්ලවය සඳහා ගෝලීය ඉදිරිදර්ශනයක් මත නො වේ. “මහජනතාවගේ සැබෑ ව්‍යාපාරය අවබෝධ කර ගැනීමෙහි අර්ථය වන්නේ, සියල්ලට පලමුව එක් එක් රට තුල දේශපාලන තත්වය, එහි සුවිශේෂත්වයන්ගෙන්, එහි ගතිකත්වයෙන් යුතු ව නිවැරදි ව විශ්ලේෂනය කිරීමටත්, මහජනතාව කරා ලඟා වීමට වඩාත් ම යෝග්‍ය උපායන් අර්ථ දක්වා ගැනීමටත් හැකි වීම යි.”

පවත්නා නායකත්වයන්ගෙන් කම්කරුවන් දිනා ගන්නේ හා කම්කරුවන්ට සම්බන්ධ වන්නේ කෙසේ ද යනුවෙන්, මාක්ස්වාදී ව්‍යාපාරය සාම්ප්‍රදායිකව උපායික ප්‍රශ්න ලෙස සලකා තිබුනු කාරනා, දේශපාලනික ඉදිරිදර්ශනයෙහි උත්තරීතර ප්‍රශ්නයක් බවට පැබ්ලෝ විසින් ඉහල දමන ලද අතර, එහි කේන්ද්‍රීයත්වය අවබෝධ කර ගැනෙමින් තිබුනේ එම අවස්ථාවේ දී ය. “අපේ ව්‍යාපාරයේත් පොදුවේ නිර්ධන පන්ති ව්‍යාපාරයේත් ඉතිහාසයේ පලමුවරට – පලමුවරට පරිපූර්න ආකාරයකින් හා එතරම් ම විශාල පරිමානයකින් -- අප අවබෝධ කරගෙන ඇති දෙය වන්නේ, කොහි දී එය ප්‍රකාශයට පත් වූවත් එය පවතින ආකාරයෙන් මහජන ව්‍යාපාරය තුල අපේ ස්ථානය සොයා ගැනීමටත්, එහි ම අත්දැකීම හරහා ඉහල මට්ටම් කරා නැගීමට එයට ආධාර කිරීමටත් අප සමත් විය යුතු වීම යි...”

රූපික ස්වාධීනත්වය පිලිබඳව වේවා නොවේවා, සියලු සංවිධානාත්මක තැකීම්, කිසියම් රටක මහජන ව්‍යාපාරය ප්‍රකාශයට පත් වන කිසියම් තැනක, එයට සැබවින් ම බද්ධ වීමට හෝ එම ව්‍යාපාරයේ බලපෑම් කල හැකි වැදගත් ප්‍රවාහයකට බද්ධ වීමට හෝ යටත් කරවීමේ අවශ්‍යතාව පූර්න වශයෙන් හෝ කොටසක් වශයෙන් හෝ බැරෑරුම් ලෙස ගැඹුරින් හා සංයුක්තව වටහා නො ගත් එක ද ට්‍රොට්ස්කිවාදී සංවිධානයක්වත් දැන් ඇත්තේ නැත.[29]

සුලු-ධනේශ්වර එම්එන්ආර් සංවිධානයට දිශාගත වන ලෙස බොලීවියාවේ ට්‍රොට්ස්කිවාදී සංවිධානයට කල කැඳවුමක් ඇතුලුව, ලතින් ඇමරිකාවේ දේශපාලන තත්ත්වය පිලිබඳ විශේෂ යෝජනාවක් සම්මේලනය විසින් සම්මත කරන ලද අතර, එය, මී ලඟ දේශනය තුල විමර්ශනය කෙරෙනු ඇති පරිදි එම මහාද්වීපයේ කම්කරු පන්තියට විනාශකාරී විපාක ගෙන දීමට නියමිත වූ දියකරහැරීම්වාදී පිලිවෙතක ආරම්භය විය.

කැනන් පැබ්ලෝවාදයට එරෙහි සටන සියතට ගනිමින් විවෘත ලිපිය නිකුත් කරයි

1952දී, කැනන් පැබ්ලෝවාදයට එරෙහි සටන දියත් කල අතර, එය 1953 නොවැම්බරයේ දී විවෘත ලිපිය නිකුත් කිරීම තුල කූටප්‍රාප්ත විය. අප රක්නා උරුමයේ 16 හා 17 පරිච්ඡේද තුල මෙම ඉතිහාසය විමර්ශනය කිරීමේ දී, නෝර්ත් සහෝදරයා, පැබ්ලෝවාදයට විරුද්ධ වීමේ දී හා ජාත්‍යන්තර කමිටුව ආරම්භ කිරීමේ දී කැනන් (හා බන්ඩාට අනුව හීලි ද) යම් ආකාරයක තත්කාර්යවාදී උපාමාරු දැමීමක හෝ ඊටත් නරක දෙයක නියුක්ත වී යයි බන්ඩා ඔහුගේ “හේතු 27” තුල ඉදිරිපත් කල බොරුව හෙලිදරවු කිරීම හා එයට පිලිතුරු දීම සිදු කරයි. බන්ඩාට අනුව, 1953 භේදය වනාහි, “බ්‍රිතාන්‍යය හා ඇමරිකා එක්සත් ජනපදය තුල, ලේබර් ප්‍රතිසංස්කරනවාදී නිලධරයන් ද රාජ්‍යය ද දිශාවට වේගයෙන් නැඹුරු වෙමින් සිටියවුන් (නිදර්ශන වශයෙන් කැනන් සහ හීලි) ද බටහිර යුරෝපය තුල, ඉතාලියේ හා ප්‍රංශයේ ආධිපත්‍යය දරන ස්ටැලින්වාදී නිලධරයන්ගේ පීඩනයට අනුගත වෙමින් සිටියවුන් ද” අතර ගැටුමක් විය. [30]

නෝර්ත් සහෝදරයා සටහන් කරන පරිදි, 1953 පිලිබඳ මෙම අර්ථ නිරූපනය සත්‍ය වී නම්, එවිට ඒ සමයේ අව්‍යාජ ට්‍රොට්ස්කිවාදීන් පැබ්ලෝට විවේචනාත්මකව සහයෝගය දිය යුතුව තිබුනි, ඒ මක් නිසා ද කියතොත්, ජාත්‍යන්තර කමිටුව පිහිටුවීම එක්සත් ජනපදයේ හා යුරෝපයේ අධිරාජ්‍යවාදයට අනුගත වීමක් මත පදනම් වනු ඇති බැවිනි. අප රක්නා උරුමය විස්තීර්න ලෙස ප්‍රදර්ශනය කරන පරිදි, බන්ඩාගේ “විශ්ලේෂනය” සම්පූර්න ප්‍රබන්ධයක් විය.

ජේම්ස් පී. කැනන් මැද, මැක්ස් ශැට්මන් (වමේ) හා බිල් හේවුඩ් සමග 1922 මොස්කෝවේ දී

(බන්ඩා හීලි දක්වා ද විස්තීර්න කරන) 1953 කැනන්ගේ භූමිකාව අපකීර්තියට පත් කිරීමේ මුල් තිබුනේ, එහි ජාතිකවාදී පරිහානයේ ගමන් මාවතේ දී, පැබ්ලෝගෙන් කැනන්ගේ භේද වීම හුදු අප්‍රතිපත්තික උපාමාරුවක් වීය යන අදහස ප්‍රවර්ධනය කිරීම ආරම්භ කල කවිපහි පූර්ව ආස්ථානයන් තුල යි. “සාකච්ඡාවේ දී සකප සංශෝධනවාද-විරෝධී හා මාක්ස්වාදී ආස්ථානයක් නියෝජනය කල බව ද ඔවුන්ගේ වර්තමාන (1970 ගනන්වල) භ්‍රෂ්ටත්වය පනස් ගනන්වල ‘සම්මතධාරිත්වයට’ අසම්බන්ධිත යම් ආකාරයක අපගමනයක් බව ද යන නිගමනය කරා ව්‍යාපාරයට අලුතින් එන බොහෝ දෙනා එලඹීමේ හැකියාවක් පවතී” යි 1974 දී පල කල සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය කෘතියේ පලමු වෙලුමෙහි පෙරවදන තර්ක කලේ ය. ඊට ප්‍රතිකූලව, ජාත්‍යන්තර කමිටුව සිය ඉදිරිදර්ශනය විස්තාරනය කලේ, පැබ්ලෝවාදයට මෙන් ම, “කැනන්-ඩොබ්ස්-හැන්සන් ප්‍රවනතාවෙහි තත්කාර්යවාදයට සහ යාන්ත්‍රික නියතිවාදයට” ද විරුද්ධව යයි එය ප්‍රකාශ කලේ ය. “එක ම ධනාත්මකවාදී විධික්‍රමය බෙදා හදා ගත් නිසා, කැනන් සහ සකප නායකත්වයේ බහුතරය පැබ්ලෝට විරුද්ධව දේශපාලනික ව සටන් කිරීමට අසමත් වූ” බව එය වැඩි දුරටත් සඳහන් කලේ ය.[31]

සත්‍ය වසයෙන් ම 1960 ගනන් අග දී ආරම්භ කරන ලද කැනන්ගේ භූමිකාව මෙලෙස අවරෝහනය කිරීම, ඉදිරියට දමන ලද්දේ “ජාත්‍යන්තර ව්‍යාපාරයේ වැදගත්කමත් බ්‍රිතාන්‍යය තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයෙහි වර්ධනයේ දී එහි තීරනාත්මක භූමිකාවත්... පහත හෙලීමට” බව නෝර්ත් සහෝදරයා ලියන ලද හීලිගේ අභාවානුකථනයේ දී පෙන්වා දෙයි.

ප්‍රන්ස ශාඛාවේ බහුතරයට එරෙහි පැබ්ලෝගේ නිලධාරිවාදී පියවරයන් තුල නියුක්ත වූ දේශපාලන ප්‍රශ්න අවබෝධ කර ගැනීමට සහ තුන්වන ලෝක සම්මේලනයේ යෝජනා තුල ඉදිරියට දමන ලද ආස්ථානවල දුර-දිග යන අර්ථභාරය වටහා ගැනීමට අසමත් වීම ඇතුලු පැබ්ලෝවාදය ඉස්මතු වූ ආරම්භක වසරවල කැනන්ගේ වැරදි පෙන්වා දීමට ආපසු හැරී බැලීමේ දී නිශ්චිතව ම පුලුවන. පැබ්ලෝවාදයට එරෙහි සටන තුල සම්පූර්නයෙන් නියුක්ත වූ විට කැනන් මත් මෙම වැරදි පිලිගත්තේ ය. එහෙත්, පැබ්ලෝට එරෙහි කැනන්ගේ සටන හුදු උපාමාරුවක් වූ බව හා කැනන් “පැබ්ලෝට විරුද්ධ ව දේශපාලනිකව සටන් කිරීමට” අසමත් වූ බව මෙයින් නිගමනය කිරීම සේවය කරන්නේ ඓතිහාසික වාර්තාව විකෘත කිරීමට යි. කැනන්ගේ පසුකාලීන දේශපාලනික පරිහානිය නො තකා, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයෙහි ඉතිහාසය තුල කැනන්ගේ ම ආස්ථානය මුසාකරනය කරන එය, හීලී ඒ සමයේ අපේක්ෂා කල ද නො කල ද කැනන්ගේ විවෘත ලිපිය මත පදනම් වූ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලනික පදනම්වලට වලකැපී ය.   

පක්ෂයෙහි ඉතිහාසය සඳහා සුවිශේෂී අර්ථභාරයෙන් යුතු වන්නේ, පලමුව සකප තුල කොක්‍රාන්-ක්ලාක් ප්‍රවනතාවට එරෙහි සටන තුලත්, ඉන් පසුව සමස්තයක් ලෙස පැබ්ලෝවාදයටත් විරුද්ධ වත් කැනන් ගෙනගිය ආරක්ෂක සටන යි.

බර්ට් කොක්‍රාන් නායකත්වය දුන් එක්සත් ජනපදයේ පැබ්ලෝගේ ආධාරකරුවෝ, “පැරනි ට්‍රොට්ස්කිවාදය කුනු බක්කියට දමනු” යන ඉල්ලීම යටතේ, ව්‍යාපාරයෙහි ‍ඓතිහාසික සම්ප්‍රදායයන් සමස්තයක් ලෙස ප්‍රතික්ෂේප කිරීමක නිරත වූ හ. සකප තමන් “ට්‍රොට්ස්කිවාදී” යයි සඳහන් කිරීම නැවැත්විය යුතු යයි තර්ක කරමින්, 1951 අප්‍රේල් මාසයේ දී කොක්‍රාන් මෙසේ සඳහන් කලේ ය: “මේ නම දේශපාලනික නො වන සාමාන්‍ය ඇමරිකානුවා – එනම් අපගේ ඉමහත් ම උනන්දුවට පාත්‍ර ව සිටින පුද්ගලයා ම(!) -- අප කට්ටිවාදී ව්‍යාපාරයක් ලෙස, කිසියම් පුද්ගලයෙකුගේ, එද රුසියානුවකුගේ, අනුගාමිකයන් ලෙස ධාරනය කරගැනුමට මෙහෙයවයි.”[32]

කොක්‍රාන් ප්‍රකාශනය ලබා දෙමින් සිටියේ,සියලු සංශෝධනවාදී ප්‍රවනතාවන්ට ලාක්ෂනික වන, පක්ෂයෙහි ඉතිහාසය කෙරෙහි අබාධිතව සතුරු ආකල්පයක් දැරීමේ මනෝගතියකට ය. 1951 ජූලි-අගෝස්තු සමයේ ඔහු ප්‍රකාශ කලේ “අතීතයෙහි හෝ අප විසින් ම නිර්මානය කර ගත් කාල්පනික ලෝකයක හෝ ජීවිත් වීමට අපට පුලුවන් කමක් නැත” යනුවෙනි.

මොනයම් හෝ ක්වික්සට්වාදයක් වෙනුවෙන් වියහියදම් කිරීමට ද අපට නුපුලුවන. අපගේ ක්‍රියාමාර්ගය කම්කරු පන්තියේ ජාත්‍යන්තර අත්දැකීම් මත පදනම්ව පවතින අතර දිගට ම එසේ පවතිනු ඇත. එසේ ම ට්‍රොට්ස්කි ක්ෂනික වූත් අතිශයින් ම ඍජු වූත් අර්ථයකින් අප ව්‍යාපාරයේ ගුරුවරයා හා නායකයා විය. එහෙත් මේ දෙකරුනින් අද ඉතිහාසයට පසුබැස ඇති ස්ටැලින්-ට්‍රොට්ස්කි සටනෙහි හරි වැරදි පිලිබඳ ව කම්කරුවන්ට නිරවද්‍ය වැටහීමක් ලබා දීම මගින්, නැති නම් එසේ කිරීමට යත්න දැරීම අපගේ විප්ලවීය අපගේ විප්ලවීය යුතුකම යයි සැලකීම මගින්, අප ධජයට කම්කරුවන් ඒකරාශී කර ගැනුමෙහි අපට වැඩි සාර්ථකත්වයක් අත්පත් කර ගත හැකි වන බවක් කිසිසේත් ම ගම්‍ය වන්නේ නැත.[33]

මෙය අත්‍යසාමාන්‍ය ප්‍රකාශයකි. “ස්ටැලින්-ට්‍රොට්ස්කි” සටන – හරියට ම මෙය තනිපුද්ගලයන් දෙදෙනෙක් අතර ගැටුමක් මිස ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ජීවිතයත් මරනයත් අතර ප්‍රශ්න පිලිබඳ ව නො වූවාක් මෙන් – “ඉතිහාසය තුලට පසුබැස” තිබුනි. මෙය පවසනු ලැබුවේ 1951 දී ය, එනම්, ජීපීයූ ඒජන්තයෙකු විසින් ට්‍රොට්ස්කි ඝාතනය කරනු ලැබ යන්තම් වසර 11කට – 2012 හා අද දවස අතර කාල පරිච්ඡේදයට සමාන කාලයකට – පසුව ය. එය, සෝවියට් සංගමය තුල මහා විරේක කිරීම්වල සහ ට්‍රොට්ස්කිවාදීන් හා සමාජවාදී කම්කරුවන් මහා පරිමානයෙන් ඝාතනයන්ගේ සිට වසර 15ට අඩු කාලයක් විය. එහෙත්, ස්ටැලින් සෝවියට් සංගමය තුල නිලධාරිවාදී යාන්ත්‍රනයේ නායකත්වය තවමත් දරන කොන්දේසි යටතේ, මෙම ගැටුමේ “හරි වැරදි” ඈත අතීතයට පසුබැස තිබුනා යයි සලකන ලදි.

කොක්‍රාන්ටත් ඊ ලඟට ජාත්‍යන්තර ප්‍රවනතාවක් ලෙස පැබ්ලෝවාදයටත් එරෙහි සටන, සාමාජිකත්වය තුලට ගෙන යා යුතු බව හා සාමාජිකත්වයේ දේපොලක් බවට පත් විය යුතු බව කැනන් අවබෝධ කරගත්තේ ය.

විරුද්ධත්වයේ ප්‍රධාන ස්ථානයක් වූ නිව් යෝක් ශාඛාවේ සාමාජික රැස්වීමක් ඉදිරියේ, 1953 මැයි 24දා කැනන් කල කතාවක හඩ පටියකින් කොටසක් වාදනය කිරීමට මම කැමැත්තෙමි. කැනන් නියෝජනය කලේ කුමක් ද සහ ව්‍යාපාරයේ ඉතිහාසය කෙරෙහි ඔහුගේ ප්‍රවිෂ්ටය කවරක් ද යන්න පිලිබඳ අදහසක් එමගින් ලබා දෙයි. සහෝදරවරුන් මෙම පාසල සඳහා අපගේ ම අභිප්‍රේරනයන් නිසැක ව ම එම ප්‍රවිෂ්ටය තුල හඳුනා ගන්නවා ඇත.

ශාඛා රැස්වීමෙන් ජේම්ස් පී. කැනන්ගේ උපුටා ගැනීම්

මෙම කතාව හා එම කාල පරිච්ඡේදයේ අනෙකුත් කතා තුල, යුද්ධයෙන් පසු අවුරුදුවල සිදු වූ වෛෂයික තත්ත්වයේ හා පන්ති සබඳතාවල මාරුවීම්වලට විරුද්ධ පාර්ශවයේ ආස්ථානයන් සම්බන්ධ කිරීමට කැනන් ක්‍රියා කලේ ය. වෘත්තීය සමිති ඇතුලත සිදු වෙමින් පැවති ස්ථරායනයත් එහි මනෝගතීන් හා සංකල්ප පක්ෂය ඇතුලත ම ප්‍රකාශනය අත්පත් කර ගනිමින් තිබුනු ගතානුගතික ස්ථරයක ඉස්මතු වීමත්, පක්ෂයට තව දුරටත් නො සලකා හැරිය නො හැකි බව 1953 මැයි 11දා පක්ෂ බහුතර කන්ඩායම අමතමින් කැනන් විස්තර කලේ ය.

කොක්‍රාන් හා ක්ලාක්ගේ[34] නායකත්වය යටතේ පැවති ප්‍රවනතාව තුල සකප මුහුන දුන් දේශපාලනික සංකල්ප, පැබ්ලෝ විසින් ඉදිරියට දමන ලද දියකර හැරීම්වාදී ආස්ථානයේ සුවිශේෂී ජාතික ප්‍රකාශනයක් බව කැනන් සහ ඔහුගේ ආධාරකරුවෝ 1953 වසරේ දී අවබෝධ කරගත් හ. එම නිසා, එය සමග පොර බැදිය හැකි වූයේ ජාත්‍යන්තරයේ මට්ටමිනි. 1953 ඔක්තෝබර් 25දා, හීලිට ලියූ ලිපිය තුල ඩොබ්ස් විස්තර කල පරිදි: “ජාත්‍යන්තර ව්‍යාපාරයට අපට කල හැකි හොඳ ම සේවය වනුයේ පැබ්ලෝවාදීන්ගේ සංශෝධනවාදී දියකරහැරීම්වාදී පිලිවෙතට විවෘත අභියෝගයක් එල්ල කරමින් පැබ්ලෝවාදී කුමන්ත්‍රනයේ මුලු මහත් ජාලය ම කපාගෙන යාම යයි අපි සිතමු. හතරවන ජාත්‍යන්තරය ආරක්ෂා කිරීමට ඒකරාශී වීමටත් බලය පැහැර ගැනුමට මාන බලන මෙම සංශෝධනවාදී කල්ලිය බැහැරලීමටත් ලෝකයේ සාම්ප්‍රදායික ට්‍රොට්ස්කිවාදීන්ට විවෘත ආයාචනයක් කිරීමට කාලය එලඹ ඇතැයි අපි සිතමු.

“අප දැන් මුහුන දෙන්නේ, අනාගතය සම්බන්ධයෙන් ගෙන බලන කල්හි, විසිපස් වසරකට පෙර දියත් කෙරුනු මුල් ට්‍රොට්ස්කිවාදී කේඩරය ඒකරාශී වූ, ඒ මහා සටන්වලට වඩා වැදගත්කමින් ද තීරනාත්මක බවින් ද අඩු සටනකට නො වේ. මෙම දේශපාලනික අනිවාර්යතා හමුවෙහි පටු මඩගැසීම් හා සංවිධානාත්මක උපාමාරු නො වැදගත් බවට වියැකී යයි. සම්මුති විරහිත දේශපාලනික අභියෝගයක් මගින් ඔබ එංගලන්තය තුල අනාගත ව්‍යාපාරයක් බවට පත් වන කන්ඩායමක් තුලට ඉක්මනින් ම ඔබගේ බලවේග ඝනීභූත කර ගනු ඇත.”[35]

නොවැම්බරය මුල දී, එක්සත් ජනපදය තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ආරම්භ කිරීමේ 25 වන සංවත්සරය සමරන පක්ෂ රැස්වීමක් වර්ජනය කිරීම නිසා කොක්‍රාන්, ක්ලාක් හා අනෙකුත් අය නෙරපීමෙන් පසු ව, ජාතික කමිටු පුන්සැසියකට කතාවක් කල කැනන්, පැබ්ලෝවාදයට එරෙහි අරගලය තුල පරදුවට තැබී තිබුනු කේන්ද්‍රීය ප්‍රශ්නය කැටිකොට දැක්වී ය: එනම්, විප්ලවවාදී නායකත්වය පිලිබඳ ප්‍රශ්නය සහ, ඒ හා බැඳී තිබුනු යුගයේ ස්වභාවය අවබෝධ කර ගැනීම:

පැබ්ලෝවාදයෙන් අපගේ භේද වීමත් – අපට දැන් පැහැදිලි ව පෙනී යන පරිදි -- එක ම ලක්ෂයකට සංගෘහිත වුව හොත්, එක ම ලක්ෂයකට සංකේන්ද්‍රනය වුව හොත් එය ම වෙයි: එනම්, පක්ෂය පිලිබඳ ප්‍රශ්නය ම වෙයි. පැබ්ලෝවාදයේ වර්ධනය, ක්‍රියාත්මක වීමේ දී ම අප දුටු හෙයින්, දැන් අපට එය පැහැදිලි සේ පෙනේ. පැබ්ලෝවාදී සංශෝධනාවදයේ සාරය වනුයේ, ට්‍රොට්ස්කිවාදයේ එකී කොටස, එනම් අද දවසේ එහි අත්‍යවශ්‍ය ම කොටස, පෙරලා දැමීම යි -- එනම්, මානව වර්ගයාගේ අර්බුදය, පක්ෂය පිලිබඳ ප්‍රශ්නය තුල සංගෘහිත වුනු කම්කරු ව්‍යාපාරයේ නායකත්වය පිලිබඳ අර්බුදය ලෙස වටහා ගැනීම පිලිබඳ කොටස යි.[36]

පැබ්ලෝවාදයට එරෙහි අරගලය තුල නිමග්න වී තිබුනු මූලධර්මාත්මක දේශපාලනික හා සංවිධානමය ප්‍රශ්න, 1953 නොවැම්බරයේ නිකුත් කල විවෘත ලිපිය තුල සම්පින්ඩනය කෙරුනි. එහි ආරම්භක කොටස්, “ට්‍රොට්ස්කිවාදයේ ක්‍රියා මාර්ගය” යන මාතෘකාව යටතේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගොඩනගනු ලැබූ අතිමූලික පදනම සාරාංශගත කල අතර, එම කොටස, ජාත්‍යන්තර කමිටුව පිහිටුවීමේ යෝජනාව තුලට සම්පූර්නයෙන් ඇතුලත් කරන ලදී.

උපුටා දක්වන්නේ නම්:

  1. ධනේශ්වර ක්‍රමයේ මර ලතෝනිය, එන්ට එන්ට ම දරුනු වන අවපාත, ලෝක යුද්ධ හා ෆැසිස්ට්වාදය බඳු ම්ලේච්ඡ ප්‍රපංච මගින් ශිෂ්ටාචාරය විනාශ වී යාමේ තර්ජනය ඉස්මතු කරයි. අද දින න්‍යෂ්ටික ආයුධවල වර්ධනය හැකි බැරෑරුම් ම ආකාරයට මෙම අනතුර අවධාරනය කරයි.
  2. අගාධයට කිඳා බැසීම වැලැක්විය හැකි වනුයේ, සමාජවාදයේ සැලසුම් ගත ආර්ථිකයෙන් ධනේශ්වර ක්‍රමය ලෝක පරිමාන ව විස්ථාපනය කිරීමෙන් හා ධනේශ්වර ක්‍රමය විසින් එහි මුල් දිනවල ආරම්භ කෙරුනු ප්‍රගතියේ සර්පිලාකාර ගමන යලි පටන් ගැනීමෙනි.
  3. සමාජයෙහි මෙය සාක්ෂ්‍යාත් කර ගත හැකි වනුයේ කම්කරු පන්තියේ නායකත්වය යටතේ පමනි. කම්කරුවන්ට බලයේ මාවත ගැනුම සඳහා, අද තරම්, අන් කිසිදාක සමාජ බලවේගවල ලෝක සම්බන්ධතාව යහපත් නොවූවත්, කම්කරු පන්තිය ම නායකත්වය පිලිබඳ අර්බුදයකට මුහුන දෙයි.
  4. මෙම ලෝක ඓතිහාසික අරමුන සපුරා ගනු වස් තමන් සංවිධාන වනු පිනිස, සෑම රටක ම කම්කරු පන්තිය, ලෙනින් විසින් වර්ධනය කෙරුනු ආකාරයේ විප්ලවීය සමාජවාදී පක්ෂයක් ගොඩනැංවිය යුතු ය: එනම්, ප්‍රජාතන්ත්‍රවාදය හා මධ්‍යගත භාවය අපෝහකාත්මකව සංයෝජනය කිරීමෙහි සමත් වන සටන් පක්ෂයකි - තීන්දුවලට එලඹීමෙහි ප්‍රජාතන්ත්‍රවාදයත්, ඒවා ක්‍රියාත්මක කිරීමෙහි මධ්‍යගත භාවයත්. අනුගාමිකත්වය විසින් පරිපාලනය කෙරෙන නායකත්වයක්, වෙඩිසැර හමුවෙහි ද විනය ගත ආකාරයට පෙරට යාමෙහි සමත් අනුගාමිකත්වයක්.
  5. මෙයට පවත්නා ප්‍රධාන බාධකය ස්ටැලින්වාදය යි. රුසියාවේ 1917 ඔක්තෝබර් විප්ලවයෙහි හොඳ නම ගසා කමින් එය කම්කරුවන් ආකර්ෂනය කර ගන්නේ, හුදෙක් පසුව, කම්කරුවන්ගේ විශ්වාසය පාවා දෙමින් ඔවුන් එක්කෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ තුරුල්ලට, උදාසීනත්වයට, ඇද දැමීමට හෝ ආපසු ධනේශ්වර ක්‍රමය පිලිබඳව ම මිථ්‍යාවන්ට ඇද හෙලීමට ය. ෆැසිස්ට් හෝ රාජාන්ඩුවාදී බලවේගයන්හි තහවුරු වීමේ රූපාකාරයෙන් හා ධනේශ්වර ක්‍රමය විසින් පෝෂනය කොට සූදානම් කෙරෙන අලුත් යුද පිපිරුම්වල රූපාකාරයෙන් කම්කරු පන්තිය, මෙම පාවාදීම්වලට වන්දිය ගෙවයි. හතරවන ජාත්‍යන්තරය එය පිලිසිඳ ගත් තැන් පටන් ම තමන්ගේ ප්‍රධාන කර්තව්‍යයන්ගෙන් එකක් බවට පත් කර ගත්තේ, සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය තුලත්, ඉන් බැහැරත් ස්ටැලින්වාදය විප්ලවීය අයුරින් පෙරලා දැමීම යි.
  6. හතරවන ජාත්‍යන්තරයේ බොහෝ කන්ඩායම් ද එහි ක්‍රියා මාර්ගයට හිතපක්ෂපාතී පක්ෂ හෝ කන්ඩායම් ද හමුවෙහි නම්‍ය උපායන් උදෙසා පවතින අවශ්‍යතාව විසින්, ස්ටැලින්වාදයට යටත් නොවී, අධිරාජ්‍යවාදයටත් (ජාතිකවාදී සංයුතීන් හෝ වෘත්තීය සමිති නිලධරයන් බඳු) එහි සියලුම සුලුධනපති ආයතනවලටත්, අනෙක් අතට අධිරාජ්‍යවාදයට යටත් නොවී (අවසාන විග්‍රහයේ දී අධිරාජ්‍යවාදයේ සුලුධනේශ්වර ඒජන්සියක් වන) ස්ටැලින්වාදයටත්, විරුද්ධව සටන් කල යුත්තේ කෙසේ දැයි ඔවුන් විසින් දැන ගනු ලැබීම වඩාත් ම අනිවාර්ය භාවයට පත් කෙරේ.[37]

තීරනාත්මක දේශපාලනික වර්ධනයන් තුල ප්‍රකාශයට පත් වූ පරිදි, මෙම මූලික සංකල්පයන් පැබ්ලෝ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම විවෘත ලිපිය සවිස්තර ව හෙලිදරවු කරන ආකාරය අප රක්නා උරුමය කෘතියේ 18 වන පරිච්ඡේදය විස්තර කරයි. 1953 මාර්තුවේ දී සිදු වූ ස්ටැලින්ගේ මරනයට දක්වන ලද ප්‍රතිචාරය මේවාට ඇතුලත් වන අතර, පැබ්ලෝවාදී කන්ඩායම නිලධරයේ සහන නිරූපනය කලේ උපාමාරුවක් ලෙස නොව, ඒ වෙනුවට, කම්කරු පන්තිය සමග “බලය බෙදා ගැනීම” දෙසට ගත් පියවරයන් ලෙස ය. 1953 ජුනි මාසයේ නැගෙනහිර ජර්මනියේ කම්කරුවන්ගේ නැගිටීමට ප්‍රතිචාර ලෙස, ස්ටැලින්වාදී හමුදා භටයන් කම්කරුවන් ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීම පැබ්ලෝවාදීන් විසින් වෙස් ගන්වන ලද්දේ, “වඩා දැවැන්ත හා අව්‍යාජ සහන දීම දෙසට ගත් මාවතේ” කොටසක් ලෙස ය. අගෝස්තුවේ ප්‍රන්සයේ ඇති වූ යෝධ මහා වැඩ වර්ජනයට ප්‍රතිචාර වසයෙන්, පැබ්ලෝවාදීන් ක්‍රියා කලේ, ප්‍රන්ස ධනවාදය ශක්තිමත් කිරීමේ කොමියුනිස්ට් පක්ෂ පිලිවෙත හෙලිදරවු කරනු වෙනුවට, එම පක්ෂයට පිලිවෙතක් “නො තිබුනේ” යයි කියාපාමින් ස්ටැලින්වාදීන්ගේ පාවාදීම් ආවරනය කිරීමට යි.

සකල ආකාරවලින් ප්‍රකාශයට පත් වන පැබ්ලෝවාදයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රහාරයක් සඳහා කැඳවුම් කරමින්, ලිපිය සමාප්ත විය:

හකුලුවා දක්වතොත්: පැබ්ලෝගේ සංශෝධනවාදය හා සම්මතධාරී ට්‍රොට්ස්කිවාදය අතර බෙදුම් කඩන කොතරම් ගැඹුරු දැයි කිවහොත්, දේශපාලනික ව හෝ සංවිධානාත්මක ව හෝ කිසිදු සම්මුතියක් ඇති කර ගැනුමට පුලූවන් කමක් නැත. සැබවින් ම බහුතර මතය පිලිබිඹු කරන ප්‍රජාතාන්ත්‍රික තීන්දුවලට එලඹීමට අවසර නො දෙන බව පැබ්ලෝ කන්ඩායම පෙන්නුම් කර ඇත. ඔවුන්ගේ සාපරාධී පිලිවෙතට පූර්න යටත් වීමක් ඔවුහු ඉල්ලා සිටිත්. සියලුම සම්මතධාරී ට්‍රොට්ස්කිවාදීන් හතරවන ජාත්‍යන්තරයෙන් එලවා දැමීමට හෝ ඔවුන්ට මුකවාඩම් බැඳීමට හා මාංචු දැමීමට ඔවුහු අදිටන් කරගෙන සිටිත්...එහෙත් වෙනස් වීමේ ගුනාත්මක ලක්ෂය එලඹී ඇත. දේශපාලනික ප්‍රශ්න උපාමාරු පුපුරා ගෙන ඉස්මතු වී ඇති අතර, මෙතැන් පටන් සටන එලිමහනෙහි කෙරෙනු ඇත.

සමාප්තිය

කරුනු තුනක් සමගින් මෙය සමාප්ත කිරීමට මම කැමැත්තෙමි.

පලමුව, හීලි ද ඇතුලු ව කැනන් හා ඔහුගේ ආධාරකරුවෝ, ජාත්‍යන්තර කමිටුව බිහි කිරීම මගින්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය දිය කර හැරීමෙන් ආරක්ෂා කල හ. මෙම අරගලයෙන් තොර වූ කල, හතරවන ජාත්‍යන්තරය විප්ලවවාදී ප්‍රවනතාවක් ලෙස පැවතීම අවසන් විය හැකි ව තිබුනි. ඔහුගේ පසුකාලීන පරිහානිය තිබුන ද මෙම කර්තව්‍යය කොතරම් හදිසි සහ අත්‍යවශ්‍ය දැයි කැනන් අවබෝධ කර ගත්තේ ය. 1954 පෙබරවාරි 23දා, ලෙස්ලි ගුනවර්ධනට ලියූ ලිපියක් තුල “‘පැරනි ට්‍රොට්ස්කිවාදීන්ගේ’ කේඩර නියෝජනය කරනුයේ දීර්ඝ අරගලයෙහි රාශීභූත ප්‍රාග්ධනයයි” යි කැනන් ලීවේ ය.

ඔවුහු මතවාදය රැගෙන යන්නෝ වෙත්; ඔව්හු අපගේ මතවාදය – සමාජවාදී විඥානයේ මූලිකාංගය -- මහජන ව්‍යාපාරය වෙත රැගෙන යනු වස් දැනට අපට තිබෙන එක ම මානුෂ උපකරන වෙත්. පැබ්ලෝ කුමන්ත්‍රන කල්ලිය, මෙම කේඩර, එක් රටකට පසු ව අනෙක් රටෙහි, එකකට පසු ව එකක්, සුනුවිසුනු කිරීමට සිතාමතා ම පෙරට ගියේ ය. අප ද ඊට නො අඩු පරිමානයේ අධිෂ්ඨානයකින් – ඕනෑවට වඩා දිගු ප්‍රමාදයකින් අනතුරු ව වුවත් -- මෙම ද්‍රෝහී ප්‍රහාරයෙන් කේඩර ආරක්ෂා කර ගැනීමට පෙරට ගියෙමු. ජාත්‍යන්තර ව්‍යාපාරයට ඇති වගකීම පිලිබඳ අපගේ හැඟීම, එසේ කිරීමට අපට අනිවාර්යයෙන් ම අවශ්‍ය කරවී ය. විප්ලවීය කේඩර විනාශ කල නො හැකි ඒවා නො වේ. ඒ බව කොමින්ටර්නයේ ඛේදජනක අත්දැකීම අපට ඉගැන්වීය.[38]

කවිප සමග භේදය ද ඒ හා සමාන ලක්ෂනයක් දැරුවේ ය. එය වනාහි, හතරවන ජාත්‍යන්තරය ම විනාශ කිරීමට තර්ජනය කල දියකරහැරීම්වාදී හා අවස්ථාවාදී ප්‍රවනතාවකට එරෙහිව ව්‍යාපාරයෙහි සමස්ත ඉතිහාසය ආරක්ෂා කිරීමක් විය. වෙනස් කොන්දේසි යටතේ, අපි මෙම සංකල්ප පක්ෂයෙහි වැඩ කටයුතු තුලට ගෙන එමින් සිටින්නෙමු. වර්තමානයේ අපි පක්ෂය ඇතුලත අවස්ථාවාදී ප්‍රවනතාවකට එරෙහි සටනක නියැලී නො සිටින්නෙමු. එහෙත්, වෛෂයික තත්ත්වය විසින් ඉදිරියට දමනු ලබන කර්තව්‍යයන් පිලිබඳ අවබෝධයක් මත පදනම් වෙමින්, “දීර්ඝ අරගලයෙහි රාශීභූත ප්‍රාග්ධනය” මගින් සමස්ත පක්ෂය අධ්‍යාපනගත කිරීමට අපි උත්සාහ දරමින් සිටින්නෙමු. ආන්තික ව සංකීර්න දේශපාලන තත්ත්වයක් තුල පක්ෂය දිශාගත කිරීමටත්, පක්ෂය හරහා සමාජවාදී විප්ලවයේ දී කම්කරු පන්තිය දිශාගත කිරීමට හා එයට නායකත්වය දීමටත් අපට හැකි වනු ඇත්තේ මෙම පදනම මත පමනි.

දෙවනුව, මෙම සමාලෝචනයෙන් සහෝදරවරු උකහාගත යුතු එක් නිගමනයක් වේ නම්, එය වන්නේ, ඔබ අප රක්නා උරුමය    ඇතුලු කවිප සමග භේදයේ ලේඛන පරෙස්සමින් හා සවිස්තරව කියවිය යුතු බව යි. පැබ්ලෝවාදයේ සම්භවයන් හා පරිනාමය ද එහි අර්ථභාරය ද පිලිබඳ ප්‍රධාන කරුනු පමනක් මෙම දේශනය විසින් ඉඩ දෙන අවකාශය තුල සමාලෝචනය කිරීමට මට හැකි විය. මෙම සතියේ ඉදිරිපත් කෙරෙනු ඇති සියලු දේශන මෙන්, එහි අභිලාෂය වන්නේ පක්ෂය තුල සහ තනි පුද්ගල සාමාජිකයින් විසින් කල යුතු අධ්‍යයනයේ ආරම්භක ලක්ෂ්‍යයක් ලෙස සේවය කිරීම යි.

තෙවනුව, වසර 70කට පෙර හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ආරම්භ කිරීමට තුඩු දුන් අරගලය, මූලධර්ම විරහිත යලි එකමුතුවට එරෙහිව හීලි හා එස්එල්එල් නායකත්වය දුන් අරගලය ඇතුලුව කවිප සමග භේදය තුල කූටප්‍රාප්ත වූ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ඇතුලත “සිවිල් යුද්ධය” යනුවෙන් අප විස්තර කර ඇති 30-අවුරුදු කාල පාරිච්ඡේදයක් ආරම්භ කලේ ය. මේ සතියේ දේශනවල ප්‍රධාන විෂයය වන ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයෙහි ඉතිහාසයේ තුන්වන අවධිය ලෙස අප නම් කර ඇත්තේ මෙය යි.

1953 දී පැබ්ලෝ සමග සන්ධානගත වූ සහ 1963 යලි එකමුතුවට සහභාගි වූ සංවිධාන සම්බන්ධයෙන් ගත හොත්, ඔවුන් අද දින පවතින්නේ නම්, ඔවුන් අද සිටින්නේ අධිරාජ්‍යවාදයේ ආධාරකරුවන් හා වෘත්තීය සමිති යාන්ත්‍රනයේ ආරක්ෂකයන් වන “ව්‍යාජ-වම” තුල යි. පැබ්ලෝවාදී ගුරුකුලය හරහා ගමන් කල සමහරු අගමැතිවරුන්ගේ හා ජනාධිපතිවරුන්ගේ මට්ටම දක්වා නැගී ඇත. එහි 70-වසරක ඉතිහාසය තුල හා එහි වර්තමාන භාවිතාව තුල ට්‍රොට්ස්කිවාදයේ ඉදිරි දර්ශනය ආරක්ෂා කරන්නේ හා දරා සිටින්නේ ජාත්‍යන්තර කමිටුව පමනි. ලෝක සමාජවාදී විප්ලවයේ පක්ෂය එයයි.


[1]

“විවෘත ලිපිය හා ජාත්‍යන්තර කමිටුව පිහිටුවීම”, ඇමරිකානු එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්, කම්කරු මාවත ප්‍රකාශන, 2009 ජනවාරි, 100 පිටුව.

[2]

ඩේවිඩ් නෝර්ත්, අප රක්නා උරුමය: හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයට එකතු කිරීමක්, කම්කරු මාවත ප්‍රකාශන, 1990 අගෝස්තු, 254 පිටුව

[3]

“ඩේවිඩ් නෝර්ත්ගෙන් මයික් බන්ඩාට ලිපියක්: 1984 ජනවාරි 23”, The ICFI Defends Trotskyism (හතර වන ජාත්‍යන්තයේ ජාත්‍යන්තර කමිටුව ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කරයි), https://www.wsws.org/en/special/library/the-icfi-defends-trotskyism-1982-1986/05.html

[4]

නෝර්ත්, අප රක්නා උරුමය, කම්කරු මාවත ප්‍රකාශන, 687 පි.

[5]

ලියොන් ට්‍රොට්ස්කි, In Defense of Marxism (මාක්ස්වාදයේ ආරක්ෂාව සඳහා) කෘතියේ එන “යුද්ධය තුල සෝවියට් සංගමය” (ලන්ඩන්, නිව් පාක් ප්‍රකාශන, 1971), 7 පි.

[6]

ඉහත කෘතියේ එන “ජේම්ස් පී. කැනන්ට ලිපියක්, 1939 සැප්තැම්බර් 12” 1 පි.

[7]

“යුද්ධය තුල සෝවියට් සංගමය,” ඉහත කී කෘතිය, 22-23 පිටු

[8]

අප රක්නා උරුමය කෘතියේ උපුටා දක්වා ඇත. කම්කරු මාවත ප්‍රකාශන, 139 පි.

[9]

ඉහත කෘතියෙහි උපුටා දක්වා ඇත. 141 පි.

[10]

ඉහත කී කෘතියෙහි උපුටා දක්වා ඇත. 152 පි.

[11]

ඉහත කී කෘතිය, 30 වන සංවත්සර සංස්කරනය, මේහ්‍රිං ප්‍රකාශන, 2018, xxxvi පිටුව

[12]

ඇමරිකානු එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ ෙඑතිහාසික හා ජාත්‍යන්තර පදනම්, කම්කරු මාවත ප්‍රකාශන, 101 පි.

[13]

ඉහත කී කෘතියේ උපුටා දක්වා ඇත. 103 පි.

[14]

ඉහත කී කෘතියේ උපුටා දක්වා ඇත. 103-104 පිටු

[15]

මයිකල් පැබ්ලෝ, “යුගෝස්ලාවියාවේ පන්ති ස්වභාවය පිලිබඳ ව,” Socialist Workers Party International Information Bulletin (සමාජවාදී කම්කරු පක්ෂයේ ජාත්‍යන්තර තොරතුරු බුලටීනය), 1949 දෙසැම්බර්

[16]

ඉහත කී කෘතිය

[17]

අප රක්නා උරුමය කාතියේ උපුටා දක්වා ඇත. කම්කරු මාවත ප්‍රකාශන, 235 පි.

[18]

ඉහත කී කෘතියේ උපුටා දක්වා ඇත. 240 පි.

[19]

ඉහත කී කෘතිය. 240-241 පිටු

[20]

ඉහත කී කෘතිය. 254 පි.

[21]

මයිකල් පැබ්ලෝ, “අප යමින් සිටින්නේ කොහි ද?” (1951 ජනවාරි), SWP International Information Bulletin (සකප ජාත්‍යන්තර තොරතුරු බුලටීනය), 1951 මාර්තු.

[22]

ඉහත කී කෘතිය.

[23]

අප රක්නා උරුමය කෘතිය තුල උපුටා දක්වා ඇත. කම්කරු මාවත ප්‍රකාශන, 249 පි.

[24]

ඉහත කී කෘතිය. 251-252 පිටු

[25]

ඩේවිඩ් නෝර්ත්, මාක්ස්වාදය, ඉතිහාසය සහ සමාජවාදී විඥානය, කම්කරු මාවත ප්‍රකාශන, 2007 ජනවාරි, 103 පි.

[26]

වී. අයි.ලෙනින්, Materialism and Empirio-Criticism (භෞතිකවාදය සහ අනුභූතිවාදී විචාරය) කෘතියේ එන “බොග්ඩනොව් මාක්ස් නිවැරදි කරන්නේ හා ‘වර්ධනය කරන්නේ’ කෙසේ ද,” 6.2 පරිච්ඡේදය,

https://www.marxists.org/archive/lenin/works/1908/mec/six2.htm

[27]

ලියොන් ට්‍රොට්ස්කි, “යුද්ධය විප්ලවය ඉක්මන් කිරීම ගැන අපගේ ආස්ථානය,” Fourth International (හතරවන ජාත්‍යන්තරය), අංක 11, https://www.marxists.org/history/etol/newspape/fi-is/no11/trotsky.htm

[28]

ලියොන් ට්‍රොට්ස්කි, The Third International After Lenin (ලෙනින්ගෙන් පසු තුන්වන ජාත්‍යන්තරය) කෘතියේ එන “කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ කෙටුම්පත් ක්‍රියා මාර්ගය: මූලධර්ම පිලිබඳ විවේචනයක්,” (නිව් යෝක්, පාත්ෆයින්ඩර් ප්‍රකාශන, 1996), 101 පි.

[29]

අප රක්නා උරුමය කෘතියේ උපුටා දක්වා ඇත. කම්කරු මාවත ප්‍රකාශන, 257 පි.

[30]

අප රක්නා උරුමය කෘතිය තුල උපුටා දක්වා ඇත. කම්කරු මාවත ප්‍රකාශන, 269 පි.

[31]

Trotskyism vs. Revisionism (සංශෝධනවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය), පලමු වෙලුම: හතරවන ජාත්‍යන්තරය තුල පැබ්ලෝවාදයට එරෙහි අරගලය (ලන්ඩන්, නිව් පාක් ප්‍රකාශන, 1974) xii; xvi    පිටු

[32]

අප රක්නා උරුමය තුල උපුටා දක්වා ඇත, කම්කරු මාවත ප්‍රකාශන, 274 පි.

[33]

අප රක්නා උරුමය තුල උපුටා දක්වා ඇත, කම්කරු මාවත ප්‍රකාශන, 278 පි.

[34]

බර්ට් කොක්‍රාන් හා ඔහුගේ ප්‍රධාන ආධාරකරුවා වූ ජෝර්ජ් ක්ලාක් ඇමරිකානු සමාජවාදී සංගමය පිහිටුවීම කරා ඉදිරියට ගියේ, 1954 මැයි මාසයේ දී කොක්‍රාන් ලියූ පරිදි, “හෙට දිනයේ විප්ලවවාදී පක්ෂ, අපේ ව්‍යාපාරයේ සම්ප්‍රදායය අවශ්‍ය වශයෙන් පිලිගැනීමේ අර්ථයෙන් වේවා, විප්ලවවාදී ධූරාවලිය තුල ට්‍රොට්ස්කිගේ ස්ථානය ගැන අපේ තක්සේරුව සම්බන්ධ අර්ථයෙන් වේවා, හෝ ට්‍රොට්ස්කිගේ සියලු සුවිශේෂී තක්සේරු කිරීම් සහ සටන් පාඨවල අර්ථයෙන් වේවා ට්‍රොට්ස්කිවාදී නො වනු ඇත” යන්න ඒත්තු ගැනීමේ පදනම මත ය. (“අපේ දිශානතිය”). මෙම සංවිධානයේ ප්‍රකාශනය (දි ඇමරිකන් සෝෂලිස්ට් -ඇමරිකානු සමාජවාදියා) 1960 ගනන්වල “නව වමක්” සඳහා වන ව්‍යාපාරයක් විසින් වර්ධනය කරනු ලබන ආස්ථාන පූර්වාපේක්ෂා කලේ ය. “සමාජ ආතතියේ හා අරගලයේ නව දශකයක් හැට ගනන් විසින් හඳුන්වා දීමට නියමිත නම් – එය එසේ වනු ඇතැයි පෙන්නුම් කරන බොහෝ සලකුනු පවතී- වසර විස්සකට පෙර හැර ගිය තැනින් යලි පටන් ගැනීමට ඉතිරි වී තිබෙන කුඩා රැඩිකල් කන්ඩායම්වලට හැකි යයි සිතීම නිෂ්ඵල ය...එම නාට්‍යය හමාරය. වර්තමානයේ කම්කරු, ලිබරල් හා නීග්‍රෝ ව්‍යාපාර තුල දෙපා විහිදාගෙන සිටින මූලාශ්‍රයන්ගෙන් නායකත්වය අනිවාර්යයෙන් ම පැමිනෙනු ඇති අතර, ජාතියේ සැලකිය යුතු කොටසක පක්ෂපාතීත්වය නො වේ නම් අවධානය දිනා ගනු ඇත.” (“රැඩිකල්වරුන්ගේ ඊ ලඟ පරම්පරාව,” දි ඇමරිකාන් සෝෂලිස්ට්, 1959 ජුනි)   

[35]

අප රක්නා උරුමය තුල උපුටා දක්වා ඇත. කම්කරු මාවත ප්‍රකාශන, 308 පි.

[36]

ඉහත කී කෘතියේ උපුටා දක්වා ඇත. 311 පි.

[37]

අප රක්නා උරුමය තුල උපුටා දක්වා ඇත. සම්පූර්න ලිපිය සදහා,

[38]

අප රක්නා උරුමය තුල උපුටා දක්වා ඇත. කම්කරු මාවත ප්‍රකාශන, 336-337 පි

Loading