අයිඑම්එෆ් ශ්‍රී ලංකාවට දෙන ඇප නය මුදලේ දෙවන වාරිකය නිකුත් කරයි

[මෙය IMF releases second instalment of Sri Lankas bailout loanයන මැයෙන් 2023 ඔක්තෝබර් 23 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ඩොලර් බිලියන 3 ක ඇප නය පහසුකමේ දෙවන වාරිකය මුදා හැරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්), ශ්‍රී ලංකාව සමඟ එකඟතාවකට පැමිනි බව පසුගිය බ්‍රහස්පතින්දා (19) නිවේදනය කලේය.

2023 සැප්තැම්බර් 27 වැනි බදාදා, ශ්‍රී ලංකාවේ කොලඹ දී පැවති මාධ්‍ය හමුවක දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා ජ්‍යෙෂ්ඨ දූත මන්ඩල ප්‍රධානී පීටර් බෲවර් කතා කරමින්. [ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන] [AP Photo/Eranga Jayawardena]

මාර්තු මාසයේ පලමු වාරිකය නිකුත් කිරීමෙන් පසු, මාස හය සඳහා අයිඑම්එෆ් ඉලක්ක සපුරාලීමට ශ්‍රී ලංකා ආන්ඩුව අපොහොසත් වූ බැවින්, සැප්තැම්බර් මාසයේදී, අයිඑම්එෆ් කන්ඩායම සිදුකල සංචාරයෙන් පසුව, ඩොලර් මිලියන 330 දෙවන වාරිකය නිකුත් කිරීම අත්හිටුවීමට තීන්දු කලේ ය.

ඔක්තෝබර් 20දා මාධ්‍ය හමුවකදී ජ්‍යෙෂ්ඨ අයිඑම්එෆ් නියෝජිත පීටර් බෲවර් පැවසුවේ, සියලු 'පූර්ව ක්‍රියාමාර්ග' ක්‍රියාත්මක කිරීම සහ 'ස්වෛරී නය නියමිත වේලාවට ප්‍රතිව්‍යුහගත කෙරෙන බව තහවුරු කිරීම” යන කොන්දේසි ගිවිසුමට අන්තර්ගත වන බවයි.

“[බදු] ආදායම් ඉහල නැංවීම, මූල්‍ය අවදානම් අවම කිරීම සහ ශක්තිමත් පාලන ප්‍රතිසංස්කරන සහතික කිරීම මෙන්ම මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම” යනාදිය පූර්ව ක්‍රියාමාර්ගවලට ඇතුලත් බව බෲවර් කීවේ ය.

මෙහි තේරුම නම්, විදුලිය, ඉන්ධන, ගෘහස්ත ගෑස් සහ ජලය සඳහා රජයෙන් වෙන් කෙරෙන සහනාධාර කපාදැමීම යි. එමෙන්ම, වැඩකරන ජනයා මත ඉහල බදු හා වඩා දරදඬු බදු එකතු කිරීමේ පිලිවෙත් පටවමින් ද රජය සතු ව්‍යවසායන් (රසව්‍ය) තවදුරටත් පෞද්ගලීකරනය කරමින් ද ඔවුන් මත දරුනුතම කප්පාදු පියවරයන් පැනවීම මෙයින් ඇඟවුම් කරයි.

ආදායම වැඩි කිරීමට ආන්ඩුවේ කැපවීම සාදරයෙන් පිලිගනිමින් බෲවර් අවධාරනය කලේ, 'එක් අරමුනක් වන්නේ, දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 12 ඉක්මවන ආදායමක් ලබා ගැනීම' බවයි. මේ සඳහා දැනට පවතින දදේනියේ සියයට 9 මට්ටමට සාපේක්ෂව සියයට 33 ක දැවැන්ත වැඩිවීමක් ඉල්ලා සිටියි.

අයිඑම්එෆ් සමඟ එකඟතාවයකට පැමිනීමට ආසන්නව, ඔක්තෝබර් 20දා, ආන්ඩුව විදුලි ගාස්තු සියයට 18 කින් තවදුරටත් වැඩි කරන බව නිවේදනය කලේය “විදුලි අංශයේ මූල්‍ය අලාභ තුරන් කිරීම සඳහා හදිසි විදුලි ප්‍රතිසාධනයක් අතිශයින් වැදගත් බව අපි අවධාරනය කිරීමට කැමති” බව අයිඑම්එෆ් නියෝජිත කට්සියරිනා ස්විරිඩ්සෙනාකා මාධ්‍ය හමුවේදී කීවා ය.

අයිඑම්එෆ් කන්ඩායමේ සැප්තැම්බර් සංචාරයේ පටන්, ආන්ඩුව නැවතත් ඉන්ධන මිල ඉහල දමා පුද්ගලීකරනය වේගවත් කර ඇත. රජයේ ව්‍යවසාය ප්‍රතිසංස්කරන ඒකකය රජය සතු 'ලංකා හොස්පිට්ල් කෝපරේෂන්' සඳහා මිල ගනන් කැඳවා ඇති අතර 'හොටෙල් ඩිවලොපර්ස් ලංකා' සඳහා ද මිලදී ගැනීමේ කැමත්ත විමසා ඇත.

අනෙකුත් පුද්ගලීකරන වැඩසටහන් අතරට: රජයේ පාලනය යටතේ පැවැති සමුපකාර තොග ආයතනය (සතොආ) සැප්තැම්බර් අගදී වසා දමා රැකියා 300 ක් කපා දැමුවේය. රැකියා 1400 ක් විනාශ කරමින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වසා දමන බව ප්‍රකාශ කර ඇත. රැකියා කප්පාදු කිරීම සඳහා, ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාවේ කඩිනම් විශ්‍රාම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක් සති දෙකකට ඉහතදී ප්‍රකාශයට පත් කෙරිනි. විදුලිබල මන්ඩලයේ “ප්‍රතිසංස්කරන” වැඩසටහනක් ලබන සතිය වන විට නීතිපතිවරයා විසින් අනුමත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර 23දා නිවේදනය කලේය.

අයිඑම්එෆ් නය වැඩසටහනේ සැබෑ අරමුන මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගේ ප්‍රකාශයකින් හෙලිදරව් කෙරිනි. ඔහු කීවේ, 'නය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරමින් බහුපාර්ශ්වික නය හිමියන්ට ගෙවිය යුතු හිඟ මුදල් පියවීම සඳහා ආන්ඩුව අයිඑම්එෆ් නයෙහි දෙවන වාරිකය යොදා ගන්නා බව' යි.

ශ්‍රී ලංකාව පසුගිය වසරේ අප්‍රේල් 12දා ඩොලර් බිලියන 41 ක විදේශ නය පැහැර හැරීමක් ප්‍රකාශ කලේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන පරමාර්ථය වන්නේ, එම නය විදේශ ප්‍රාග්ධනයේ මෝරුන්ට ආපසු ගෙවීම සහතික කරගැනීම යි. අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල වනුයේ, දිවයිනේ ලාභ ශ්‍රමය සූරාකෑම සඳහා විදේශ ආයෝජන ගලා ඒමට කොන්දේසි සම්පාදනය කරන අතරතුර, එම මුදල් කම්කරුවන්ගෙන් හා දුගීන්ගෙන් මිරිකා ගැනීමයි.

යුරෝපීය අධිරාජ්‍යවාදී බලවත්තු සහ අනෙකුත් රටවලින් සමන්විත පැරිස් ක්ලබ් සාමාජිකයෝ, ශ්‍රී ලංකාවට “සහාය” දීමට ඔවුන් සමඟ පෙල ගැසෙන ලෙස චීනයෙන් ඉල්ලා සිටියහ. කෙසේ වෙතත්, කිසිදු නය දෙන රටක් මොනම හෝ අර්ථවත් සහයක් ලබා දීමට සූදානම් නැත. ඔවුන්ගේ අදිටන වන්නේ, මුදල් සම්පූර්නයෙන්ම ආපසු ලබා ගැනීම යි.

පසුගිය සතියේ, චීනයේ එක්සිම් බැංකුව, ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු ද්විපාර්ශ්වික නය ඩොලර් බිලියන 4.2 ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා “ප්‍රධාන මූලධර්ම සහ දර්ශක කොන්දේසි” සඳහා එකඟ විය. තවමත් විස්තර ලබා ගත නොහැකි වූ මේ කාරනය ගැන මාධ්‍ය වාර්තා කලේ, “බීජිං බලධාරීන් “හෙයාකට්” ප්‍රතික්ෂේප කර ඇති” බවයි—වෙනත් වචන වලින් කිවහොත්, සමස්ත නය මුදලින් කිසිදු ප්‍රමානයක් අඩු කිරීමට (හෙයාකට්) එකඟතාවක් ප්‍රකාශ නැති බව යි.

ශ්‍රී ලංකාවේ සංගත ක්ෂේත්‍රය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නය වාරිකය නිදහස් කිරීම සාදරයෙන් පිලිගත්තේය. කොලඹ කොටස් වෙලෙඳපොල මාස තුනක ඉහලම එක්දින ලාභයක් සමඟ ක්ෂනික ඉහල යාමේ ප්‍රවනතාවක් පෙන්නුම් කලේය. මහා ව්‍යාපාරිකයින්ගේ ලංකා වානිජ මන්ඩලය ආන්ඩුවට සුබ පතමින් ප්‍රකාශයක් නිකුත් කල අතර “වත්මන් ප්‍රතිසංස්කරන න්‍යාය පත්‍රයේ වේග ශක්තිය පවත්වා ගන්නා ලෙස” ඉල්ලා සිටියේය.

කම්කරුවන් සහ දුප්පතුන් සම්බන්ධයෙන් ගත් කල, මෙහි පනිවිඩය වන්නේ, ඔවුන්ගේ රැකියා, වැටුප් සහ ජීවන තත්වයන් මත නිර්දය ප්‍රහාරයකි. නිල සංඛ්‍යාලේඛනවලට අනුව, 2013 පාදක වර්ෂය ලෙස ගත් විට, රාජ්‍ය අංශයේ සේවකයින්ගේ මූර්ත වැටුප් ඒකක 100 ට සාපේක්ෂව 2023 මැද වන විට ඒකක 58 දක්වා පහත වැටී ඇත. කෘෂිකර්මාන්තය, පෞද්ගලික කර්මාන්ත සහ සේවා අංශවල මූර්ත වැටුප් ඒකක 82 දක්වා පහත වැටුනි.

ආන්ඩුවට අනුව, පසුගිය වසරේ සැප්තැම්බර් සඳහා වූ සියයට 70 ට සාපේක්ෂව මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී උද්ධමන අනුපාතය සියයට 0.8 ක් විය. ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ගනන් සීඝ්‍රයෙන් ඉහල යමින් පවතින බැවින්, වැඩකරන ජනතාවගේ සැබෑ තත්වය මෙයින් වසන් කෙරේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සඳහන් කලේ, රටේ ජනගහනයෙන් සියයට 60 ක් දැන් වියදම් අඩු ආහාර විකල්ප සොයමින් සිටින බවයි. ලෝක බැංකුවේ ඇස්තමේන්තු අනුව, ජනගහනයෙන් සියයට 28 ක් දැන් දරිද්‍රතාවේ සිටිති.

යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයෙන් සහ දැන් ගාසා තීරයේ පලස්තීන ජනතාවට එරෙහි අධිරාජ්‍යවාදී පිටුබලය ලබන ඊශ්‍රායල යුද්ධයෙන් උත්සන්න කෙරුනු, කොවිඩ්-19 වසංගතයත් සමඟ පුපුරා ගිය ගැඹුරු ආර්ථික අර්බුදයකට ආන්ඩුව මුහුන දී සිටී.

තම සමාජ හා ජීවන කොන්දේසි මත අයිඑම්එෆ් විසින් ඇනවූ ප්‍රහාරවලට එරෙහිව මතුවන කම්කරුවන්ගේ අරගල හිතාමතා සීමා කිරීම හෝ අවහිර කිරීම වෘත්තීය සමිති විසින් කරගෙන යනු ලැබේ.

22දා සාමාජිකයින් 15,000 ක් පමන නියෝජනය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දිගුකාලීන දීමනා ඉල්ලා සංකේත වැඩවර්ජනයක් පැවැත්වීය. සාමාජිකයින් 23,000 ක් පමන සහිත විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක සංගම්, වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් ඔක්තෝබර් 11 දා දිවා ආහාර පැයේ දී පිකට් උද්ඝෝෂනයක් කලහ.

රුපියල් 20,000 ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින්, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව පසුගිය මාසයේ තවත් විරෝධතාවක් පැවැත්වීය. එම ඉල්ලීම ම මුල්කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති එකමුතුව ද 22දා පිකට් උද්ඝෝෂනයක් ගෙනගියේ ය.

කෙසේ වෙතත්, මෙම සියලු වෘත්තීය සමිති අයිඑම්එෆ් කප්පාදු පියවරවලට සහ කොලඹ තන්ත‍්‍රයේ මර්දනකාරී නීතිවලට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට විරුද්ධ ය. මෙම පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 45 පිලිබඳව ශ්‍රේෂ්ඨාධිකරනය විමර්ශනය අවසන් කල වහාම අන්තර්ජාල ආරක්ෂන පනත් කෙටුම්පත (ඕඑස්බී) සම්මත කිරීමට වික්‍රමසිංහ ආන්ඩුව බලා සිටී. සමාජ මාධ්‍ය වේදිකාවලට මුකවාඩම් බැඳීම අරමුනු කරගත් ඕඑස්බී ක්‍රියාත්මක කිරීමට ආන්ඩුව අදිටන් කරගෙන සිටී.

මෙම වෘත්තීය සමිති බොහොමයක් පාලනය කරනු ලබන්නේ විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මෙන්ම පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන විසිනි. මෙම සියලු පාර්ශව අයිඑම්එෆ් වැඩසටහනට කැපවී සිටියි.

වෘත්තීය සමිති නිලධරයන් ඕනෑම ඒකාබද්ධ අරගලයක් අවහිර කරමින් සිටින්නේ, එවැනි සටනක් මගින් දේශපාලන ප්‍රශ්න සහ එම වෘත්තීය සමිති මුලුමනින්ම බැඳී සිටින ධනේශ්වර ක්‍රමයට එරෙහිව සටන් කිරීමේ අවශ්‍යතාව පැනනංවන බව ඔවුන් දන්නා බැවිනි.

කම්කරු පන්තියේ හදිසි කර්තව්‍යය වන්නේ, වැඩෙන සමාජ අර්බුදයට විරුද්ධ පක්ෂ හා වෘත්තීය සමිති වෙතින් විසඳුම් සෙවීම වෙනුවට, අරගලය තමන්ගේ අතට ගැනීමයි. ඒ සඳහා කම්කරුවන් කර්මාන්තශාලාවල, වතුයායවල සහ අසල්වැසි ප්‍රදේශවල සහ ගම්බද ගොවීන් අතර, ඔවුන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ජාලයක් සංවිධානය කල යුතුය.

කම්කරු පන්තියේ එවන් දේශපාලන ව්‍යාපාරයක්, මර්දනකාරී වික්‍රමසිංහ ආන්ඩුව පෙරලා දැමීම සහ සමාජවාදී පිලිවෙත්වලට කැපවී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා සටන් කිරීමට ග්‍රාමීය ජනතාව පෙලගැස්වීම සඳහා පදනම දමනු ඇත. විදේශ නය ප්‍රතික්ෂේප කරමින්, කම්කරුවන්ගේ පාලනය යටතේ බැංකු හා මහා සමාගම් ඇතුලු ප්‍රධාන සංගත ජනසතු කරනු ඇත්තේ එවන් ආන්ඩුවක් විසිනි.

Loading