ජවිපෙ පුවත් වෙබ් අඩවිය යුනයිටඩ් ඔටෝ වර්කර්ස් පාවාදීම “විශිෂ්ට ජයග්‍රහනයක්” ලෙස වාර්තා කරයි

ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ පුවත් වෙබ් අඩවියක් වන ලන්කාටෲත් ඔක්තෝබර් 29 වැනි දා “ඇමරිකාවේ දැවැන්ත වෘත්තීය අරගලයක් ජය ගනී” යන මැයෙන් කෙටි පුවත් වාර්තාවක් පල කර තිබුනි.

“මාස දෙකක කාලයක් සියයට 40ක වැටුප් වර්ධකයක් ඉල්ලා” ජෙනරල් මෝටර්ස්, ෆෝර්ඩ්, ස්ටෙලන්ටිස් යන සමාගම් තුනේ කම්කරුවෝ ඒකාබද්ධ ව ගෙන ගිය අරගය “විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබා ගනිමින් නිමාවට පත් කර” ඇති බව පුවත වාර්තා කරයි. එම “විශිෂ්ඨ ජයග්‍රහනය” නම් සියයට 25ක වැටුප් වර්ධකයකට එකඟ වී වර්ජනය නතර කිරීමයි.

මෙම පුවතට තේමාව වී ඇත්තේ මේ වන විට යුනයිටඩ් ඔටෝ වර්කර්ස් වෘත්තීය සමිතිය විසින් පාවා දෙනු ලැබීමේ තර්ජනයට මුහුන දී ඇති ඇමරිකාවේ රථවාහන කම්කරුවන්ගේ වැටුප් අරගලයයි. ඇමරිකාවේ රථ වාහන කම්කරුවන් 2008 ලෝක ආර්ථික කඩා වැටීමේ පටන් දැවැන්ත ලෙස සමාජ ප්‍රතිවිප්ලවයට ගොදුරු වූ කම්කරුවන් කොටසකි. වත්මන් අර්බුදය හමුවේ මෝටර් රථ වාහන සමාගම් විදුලියෙන් දුවන වාහන නිෂ්පාදනයට යොමු වීමේ සූදානමත් සමග මෙම ප්‍රහාරය වඩාත් පුලුල් වීමට නියමිත ය.

ඇත්ත වශයෙන් ම සිදුව ඇත්තේ, කම්කරුවන් මත නිලධාරීවාදී ආධිපත්‍යයක් දරා සිටින යුනයිටඩ් ඔටෝ වර්කර්ස් වෘත්තීය සමිතිය සොච්චම් වැටුප් වැඩිවීමකට අරගලය පාවා දීමයි. කම්කරුවන්ගේ සාමාජික අරමුදල්වලින් ඉහල වැටුප් ලබන සහ සුඛෝපභෝගී ජීවිත ගත කරන මෙම සමිතියේ නිලධාරීන්, සමාගම්වල සහ ආන්ඩුවේ ප්‍රහාර කම්කරුවන් මත පැටවීමට ආන්ඩුව සහ සමාගම් කලමනාකාරීත්වය සමග සමීපව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට ය.

වෘත්තීය සමිතිය, සමාගම් ත්‍රිත්වය සමග වෙන වෙනම අත්සන් කරන බව කියන තාවකාලික ගිවිසුම් තුනක් කම්කරුවන් අතර ඡන්දයට දමා ඇත. කෙසේ නමුත් මෙම ගිවිසුම් සම්පූර්නයෙන් ම ප්‍රසිද්ධ කර ඇත්තේ ද නැත.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඔක්තෝබර් 31 වැනි දා පල කල තම ඉදිරිදර්ශනයේ දී මෙම ඊනියා විශිෂ්ඨ ජයග්‍රහනයේ යථා ස්වභාවය සහ වැටුප් අරගලය තුල වෘත්තීය සමිතියේ ද්‍රෝහි ක්‍රියාකලාපය එලිදරවු කලේ ය.

සියයට 40ක වැටුප් වර්ධකය වෙනුවට වෘත්තීය සමිති නිලධරය සමාගම් සමග එක් ව දැන් පැටවීමට යන සියයට 25ක වැටුප් වර්ධකය වනාහි, උද්ධමනය සමග සලකා බැලූ විට යථා වශයෙන් 2007 වසරේ කම්කරුවන්ගේ වැටුප් මට්ටම්වලට පහලින් සිටින පරිදි සිදු කෙරෙන වැටුප් වැඩි වීමකි.

මෙම වැටුප් වැඩි කිරීම සිදු කරනු ඇත්තේ සමාගමේ ලාභයෙන් නොව, විදුලි මෝටර් රථ නිෂ්පාදනයට මාරු වීමේ දී සිදු කරනු ලබන කර්මාන්තශාලා වසා දැමීම්, සහ කම්කරුවන් රැකියාවලින් දොට්ට දැමීම් මගිනි. මෙම ප්‍රහාරයේ දී සමාගම් සමග එක් ව සිටින වෘත්තීය සමිතිය කම්කරුවන් ඒ සම්බන්ධයෙන් අඳුරේ තබා ඇත.

මාස දෙකක් තුල ගෙන ගිය වැඩවර්ජනය කැඳවනු ලැබුනේ සමාගම්වල ලාභ ක්‍රියාවලියට බාධා නොවන සේ ය. මෙය කල් තියා සූදානම් කරගත් පාවාදීමේ ගිවිසුම් දැවැන්ත කම්කරු පන්තික විරෝධය මැද පෙරට දමා ගැනීමට සිදු කල රඟපෑමකි. වෘත්තීය සමිතිය රථවාහන කම්කරුවන්ගේ ජාත්‍යන්තර කාර්මික ශක්තිය බලමුලු ගැන්වීමට එරෙහි ව සිටියේ ය.

වැටුප් ඉල්ලීම කප්පාදු කිරීමට අමතරව, ස්ථර වැටුප් ක්‍රමය අවලංගු කිරීම ආදි කම්කරුවන්ගේ තවත් ප්‍රධාන ඉල්ලීම් මෙම තාවකාලික ගිවිසුමෙන් ඉවත දමා ඇත.

තම ලාභයට හානියක් නොවන පරිදි කම්කරුවන්ගේ දැවැන්ත විරෝධය ද සමනය කර ගනිමින් නව ගිවිසුම් සඳහා අවස්ථාව පාදා ගැනීමට හැකිවීම ධනපති පන්තිය පැත්තෙන් නම් ජයග්‍රහනයකි. එ නිසා ජනාධිපති බයිඩන්, ඩිමොක්‍රටික් පක්ෂයේ හොරනෑවක් වන නිව් යෝර්ක් ටයිම්ස් සහ මේ පාවාදීමට කොම්පැනිකාරයන් සමග එකට සිට වැඩ කරන වෘත්තීය සමිතියේ සභාපති ෂෝන් ෆේන් ද මෙය විශිෂ්ට ජයග්‍රහනයක් ලෙස හඳුන්වා දී ඇත. ජවිපෙ පුවත් වෙබ් අඩවිය පුනරුච්ඡාරනය කරන්නේ එයයි.

ජවිපෙ හි මෙම වාර්තාකරනය එහි දේශපාලනය සමග අත්‍යන්තයෙන් බැඳී පවතී. ජාතික ජන බලවේගය නම් වූ පෙරටු සන්ධානය හරහා මධ්‍යම පන්තිය ආමන්ත්‍රනය කරන ජවිපෙ, දූෂනය පිටුදැකීමෙන් සාර්ථක ජාතික ආර්ථිකයක් ගොඩ නැගිය හැකි බවට උද්ඝෝෂනය කරයි. එමෙන් ම අනික් අතට, තම ආන්ඩුවක් බලයට පැමිනියහොත් ජාමූඅ හි විධානයන් ක්‍රියාවට දමන බවට එය ධනපති පන්තියට සහතික වෙයි.

ජවිපෙ නායකත්වය දරන වෘත්තීය සමිති මෙන් ම සෙසු වෘත්තීය සමිති ද මේ වන විට ලබන මස ඉදිරිපත් කෙරෙන අයවැයෙන් කම්කරුවන්ට රුපියල් 20,000ක වැටුප් වැඩි වීමක් ලබා ගැනීමට යැයි කියමින් කඩින් කඩ සීමිත විරෝධතා කැඳවමින් සිටියි. පසුගිය වසර තුනේ මිල ඉහල යාම් හා සසඳද්දී රුපියල් 20000ක් යනු ඉහල ගොස් ඇති මාසික වියදම් කලමනාකරනයට කිසිසේත් ප්‍රමානවත් නොවන සොච්චම් මුදලකි.

මෙම උද්ඝෝෂනය ද ගෙන යනු ඇත්තේ රුපියල් 20000ක් දිනා ගැනීමට නොව ඊටත් වඩා අඩු යමකට කම්කරුවන් තල්ලු කර දමා, එය විශිෂ්ට ජයග්‍රහනයක් ලෙස ඔජවඩවමින්, ජාමූඅ හි කප්පාදු අයවැය කම්කරුවන් මත පැටවීමටයි.

2021 වසරේ මාස තුනක් අඛන්ඩ ව ඇදී ගිය ගුරු වර්ජනය, මුල දී ඉල්ලා සිටි වැටුප් වැඩි කිරීමෙන් තුනෙන් එකකට කප්පාදුකොට පාවා දීමට එහි නායකත්වය ගෙන කටයුතු කල ජවිපෙ ලංකා ගුරු සේවා සංගමය ඇතුලු වෘත්තීය සමිති එකමුතුව කටයුතු කලේ ය.

ඇත්තෙන් ම රථවාහන කම්කරුවන්ගේ අරගලය ගෙන යාමට සිදු ව ඇත්තේ සමාගම්වලට එරෙහි ව පමනක් නොවේ. ඔවුන් නියෝජනය කරනවා යැයි කියන වෘත්තීය සමිතියට ද එරෙහි ව ය. ලංකාව සම්බන්ධයෙන් ද මේ කරුන වලංගු ය. කම්කරුවන්ට ආන්ඩුව සහ හාම්පුතුන් තම ජීවන කොන්දේසි තලා දැමීමට එරෙහි ව කරන අරගලය වෘත්තීය සමිති නිලධරයේ ග්‍රහනයට එරෙහි ව තම ස්වාධීනත්වය සඳහා කරන අරගලයක් වශයෙන් පෙරට ගත යුතු ව ඇත.

ඇමරිකාවේ මෝටර් රථ කම්කරුවන්ගේ අරගලය තුල මැදිහත් වී සිටින සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම හරහා අරගලය වෘත්තීය සමිති නිලධරයේ ග්‍රහනයෙන් බිඳීමට උද්ඝෝෂනය කරන්නේ මේ පදනම මතයි. ලෝසවෙඅ කේන්ද්‍ර කර ගෙන යමින් තිබෙන මෙම උද්ඝෝෂනය කර්මාන්තශාලාවල ක්‍රියාකාරී කමිටු පිහිටුවමින් කම්කරුවන්ගේ ආකර්ෂනය දිනා ගනිමින් තිබේ. එහි ප්‍රධාන ම අවස්ථාවක් වූයේ වෘත්තීය සමිතියේ සභාපති ධූරයට ක්‍රියාකාරී කමිටු සාමාජිකයෙකු වූ විල් ලේමන් තරග වැදීමයි.

මෙම හොර ගිවිසුම්වල සැබෑ ඇඟවුම් පහදා දෙන සසප, ඒවා ප්‍රතික්ෂේප කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම, මුල් ඉල්ලීම් දිනා ගැනීමේ සටන පෙරට ගෙන යනු වස් සෑම කම්හලක ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ තම උද්ඝෝෂනය සසප තීව්‍ර කර ඇත.

ශ්‍රී ලංකාවේ කම්කරුවන් ජාමූඅ හි ප්‍රහාරයන්ට එරෙහි ව ගෙන යන සටන සාර්ථක කර ගැනීමට ජාත්‍යන්තර පන්ති අරගලයේ මෙම පාඩම්වලින් සන්නද්ධ විය යුතු වේ.

Loading