ඩේවිඩ් නෝර්ත් විසින්, ලියොන් ට්‍රොට්ස්කි සහ විසි-එක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය ග්‍රන්ථයේ තුර්කි භාෂා සංස්කරනය ඉස්තාන්බුල් පොත් ප්‍රදර්ශනයේදී හඳුන්වා දෙයි

“ඔහුගේ කාලයේ, ඔහුගේ කාලයට ඉදිරියෙන් සිටි සහ, දැන්, අපගේ කාලයේ මිනිසෙක්”

[මෙය “A man of his time, ahead of his time and, now, of our time” යන මැයෙන් 2023 නොවැම්බර් 07 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ලියොන් ට්‍රොට්ස්කි සහ විසි-එක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය ග්‍රන්ථයේ තුර්කි සංස්කරනය

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් විසින්, 2023 නොවැම්බර් 5 ඉරිදා තුර්කියේ ඉස්තාන්බුල් පොත් ප්‍රදර්ශනයේදී මෙම ප්‍රකාශයන් කරන ලදී.

ලියොන් ට්‍රොට්ස්කි සහ විසි-එක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය යන මගේ පොත ඉදිරිපත් කිරීමට අද අවස්ථාව ලැබීම ගැන මම කෘතඥ වෙමි. මෙම ඉදිරිපත් කිරීම සඳහා විශිෂ්ට පහසුකම් සැපයූ ඉස්තාන්බුල් පොත් ප්‍රදර්ශනයේ සංවිධායකයින්ටත්, මගේ පොත තුර්කි භාෂාවට පරිවර්තනය කිරීම ගැන තුර්කි සමාජවාදී සමානතා කන්ඩායමෙහි (Sosyalist Eşitlik Grubu) සහෝදරවරුන්ටත් කෘතඥතාව පල කිරීමට මට අවසර දෙන්න; ඔවුන්ගේ උත්සාහය නොතිබෙන්නට, ඇත්ත වශයෙන්ම, මෙම ඉදිරිපත් කිරීම කල නොහැකි වනු ඇත.

මගේ පොත, දශක හතරක් පුරා ලියැවුනු රචනා සහ දේශනවලින් සමන්විත ය. පොතේ ආරම්භක කොටස 1982 සරත් සෘතුවේ දී ලියන ලද රචනා හතරකින් සමන්විත වේ. පොත අවසන් වන්නේ, මා මීට මාස හතකට පෙර, එනම් 2023 අප්‍රේල් මාසයේදී ලියූ ප්‍රකාශයකිනි. පලමු රචනා ලියන විට, මා විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරයේ දශකයක පලපුරුද්දක් පමනක් ඇති සාපේක්ෂ වශයෙන් තරුනයෙකි. අවසාන ලේඛනය, මා යම් තරමක පුදුමයට පත් කරමින්, අවුරුදු 70 ක බයිබලයානු වයස ඉක්මවා ගිය සහ අඩ සියවසකට වැඩි කාලයක් හතරවන ජාත්‍යන්තරයේ ක්‍රියාකාරීව සිටි පුද්ගලයෙකුගේ ය.

කෙසේ වෙතත්, පොතේ ආරම්භක සහ සමාප්ති කොටස් ලිවීම වෙන් කෙරෙන වසර ගනනාව තිබියදීත්, එකම මූලික තර්කනයෙන් ඒවා සම්බන්ධිත ය; එනම්, මා පෙරවදනෙහි ලියා ඇති පරිදි, “ලියොන් ට්‍රොට්ස්කි විසිවන සියවසේ මුල් දශක හතර තුල සමාජවාදයේ ඉතිහාසයේ වඩාත්ම කැපී පෙනෙන චරිතය විය; ඔහුගේ උරුමය ලෝක සමාජවාදයේ ජයග්‍රහනය සඳහා වන සමකාලීන අරගලයේ තීරනාත්මක සහ අත්‍යවශ්‍ය න්‍යායික හා දේශපාලන පදනම ලෙස පවතී. පසුගිය වසර හතලිහක සිදුවීම්, ඉතිහාසය තුල ට්‍රොට්ස්කිට හිමි තැන සහ ඔහුගේ චිරස්ථායී දේශපාලන වැදගත්කම පිලිබඳ මෙම තක්සේරුව බලගතු ලෙස සනාථ කර ඇත.”

ඩේවිඩ් නෝර්ත් විසින් රචිත ලියොන් ට්‍රොට්ස්කි සහ විසි-එක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය ග්‍රන්ථයේ තුර්කි භාෂා සංස්කරනය ඉස්තාන්බුල් පොත් ප්‍රදර්ශනයේදී හඳුන්වා දෙයි. [ලෝසවෙඅ මාධ්‍ය]

මේ වසර මුලදී ලියැවුනු මෙම වචන පේලි නැවත කියවන විට මට සිතෙන්නේ, මේ වන විට ලෝකයාගේ ඇස් ඉදිරිපිට දිග හැරෙමින් පවතින ගාසා තීරයේ බිහිසුනු සිදුවීම් මගින් මෙම ඇගයීමේ වලංගුභාවය තහවුරු වී ඇති බවයි. සැතපුම් 25 ක් පමනක් දිග සහ සැතපුම් 5.5 ත් 7.5 ත් අතර පලල ප්‍රදේශයක ජීවත් වන සිරගත ජනගහනයක්, ඊස්රායල රාජ්‍යයේ සාපරාධී තන්ත්‍රය විසින් මෙහෙයවනු ලබන හමුදා විසින් සුනුවිසුනු කර දමනු ලැබේ. මිලියන 2.3 ක අනාරක්ෂිත ජනගහනයක් මතට සුදු පොස්පරස් (white phosphorus) සහිත රාත්තල් දෙදහසක බෝම්බ සහ උන්ඩ හෙලනු ලැබේ. මහලු අය, දරුවන් හෝ ලදරුවන් පවා ඉතිරි නොවේ. රෝහල් සහ පාසල් හිතාමතාම ඉලක්ක කර ගනිමින් සිටියි. එමෙන්ම මෙය සිදු කෙරෙන්නේ ලෝකයේ සෑම අධිරාජ්‍යවාදී පාලන තන්ත‍්‍රයකම නොමඳ සහයෝගය ඇතිවය. වොෂින්ටනයේ, ලන්ඩනයේ, පැරීසියේ සහ බර්ලිනයේ මානව හිමිකම් පිලිබඳ කුහක ස්වයං-ප්‍රකාශිත කප්පිත්තන් 'සටන් විරාමය' යන වචනය ඔවුන්ගේ දේශපාලන වාංමාලාවෙන් බැහැර කර තිබේ. පලස්තීනුවන් ඝාතනය කිරීම බාධා කරනුවස් කිසිවක් නොකල යුතුය.

ඊස්රායල රාජ්‍යය සහ එහි අධිරාජ්‍යවාදී හාම්පුතුන් විසින් ගාසා ජනතාවට එරෙහිව දියත් කරන ජන සංහාරක යුද්ධයට එරෙහිව ලොව පුරා මිලියන සංඛ්‍යාත වැඩකරන ජනතාව සහ තරුනයෝ විරෝධතා පා ගමන් යති. මෙම ඓතිහාසික අපරාධයට ඔවුන්ගේ ආන්ඩු හවුල් වීම ඔවුන්ගේ මනස් තෝන්තු කර තිබේ. සාධාරනීකරනය කිරීම පසෙක තිබීයේවා, මෙය පැහැදිලි කරන්නේ කෙසේද?

එහෙත් ඔවුන් අත්දකිමින් සිටින්නේ, වසර 85 කට පෙර ලියොන් ට්‍රොට්ස්කි විසින් “ධනවාදයේ මරන ලතෝනිය” ලෙස නිර්වචනය කල යුගයක දේශපාලන ප්‍රකාශනයන් ය. එය “කම්පන, අර්බුද, ව්‍යසන, වසංගත සහ මුර්ගත්වය” ඇති යුගයක් බව ඔහු ලිවීය. පාලක ප්‍රභූව හා කම්කරු පන්තිය අතර පන්ති ප්‍රතිවිරෝධතා වඩ වඩාත් තීව්‍ර වත්ම, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය තුල සෑම “මූලික සදාචාර ශික්ෂාවක් ම” අතුරුදහන් වේ: “බොරු කීම, අවලාද, අල්ලස, දූෂිතභාවය, බලහත්කාරය, මිනීමැරීම පෙර නොවූ විරූ පරිමානයන් දක්වා [වර්ධනය] වේ.”

ට්‍රොට්ස්කි මෙම වචන ලිව්වේ සදාචාරවාදියෙකු ලෙස නොව, විප්ලවවාදියෙකු ලෙස ය. දෙවන ලෝක යුද්ධය අද්දර, 1938 දී ලියන ලද හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ලියවිල්ලේ ඔහු මෙසේ අනතුරු ඇඟවීය: “සමාජවාදී විප්ලවයක් සිදු නොවුවහොත්, ඊලඟ ඓතිහාසික කාලපරිච්ඡේදයේ දී, මානව වර්ගයාගේ සමස්ත සංස්කෘතියේම ව්‍යසනයකට තර්ජනය කෙරේ.”

ඊලඟ වසර හය තුල සිදු වූ සිදුවීම්, ඔහුගේ අනතුරු ඇඟවීම් සනාථ කිරීමක් විය. යුද්ධයකින් ශිෂ්ටාචාරය සම්පූර්නයෙන්ම සමූලඝාතනය නොවීම ට්‍රොට්ස්කිගේ ඉදිරිදර්ශනය ප්‍රතික්ෂේප වීමක් නොවේ. පලමු න්‍යෂ්ටික බෝම්බ 1945 වන තෙක් භාවිතයට ගෙන නොතිබුනි. පසුගිය ශතවර්ෂ කාර්තු තුන තුල සිදුවූ තාක්‍ෂනයේ වර්ධනය අනුව, ට්‍රොට්ස්කි විසින් පුරෝකථනය කල ව්‍යසනය දැන් ආසන්න අනතුරක් බවට පත්ව තිබේ.

මෙය මගේ පොතේ ඉදිරිපත්කොට ඇති කේන්ද්‍රීය තර්කය වෙත අපව ගෙන එයි. සමකාලීන ලෝකය කලඹා ඇත්තේ ද ට්‍රොට්ස්කි විසින් ඔහුගේ ජීවිත කාලය තුල විශ්ලේෂනය කරන ලද එම ආර්ථික, සමාජීය සහ දේශපාලන ප්‍රතිවිරෝධතා විසින්ම ය. අපි ජීවත් වන්නේ ට්‍රොට්ස්කි ඉතා හොඳින් හඳුනාගනු ඇති ලෝකයක ය. තාක්‍ෂනයේ කැපී පෙනෙන දියුනුව ගැන ඔහු මවිතයට පත් වනු ඇතැයි කෙනෙකුට සිතිය හැකිය; එහෙත්, ගෝලීය ආර්ථික අර්බුද, අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ නව පිපිරීම් සහ ගෝලීය පන්ති අරගලයේ තීව්‍රතාවය තුල ක්‍රියාත්මක වන බලවේගයන් බව ඔහු හොඳින්ම වටහා ගනු ඇත.

පසුගිය ශතවර්ෂයේ සියලුම ප්‍රධාන දේශපාලන චරිත අතරින් ට්‍රොට්ස්කි සුවිශේෂී වන්නේ, ඔහුගේ කෘතීන් අසාමාන්‍ය සමකාලීන අදාලත්වය රඳවා තබා ගැනීමයි. ඇත්ත වශයෙන්ම, ට්‍රොට්ස්කි තම දේශපාලන සමකාලීනයන් අතර—ලෙනින් නම් වූ එකම සුවිශේෂය හැරුනුකොට—අන් සියල්ලටම වඩා ඉහලට නැගි අතර, ඔහු ඔහුගේ කාලයට වඩා ඉදිරියෙන් සිටි බව පැවසිය හැකිය. වෛෂයික කොන්දේසි—විශේෂයෙන් 1923 ජර්මානු විප්ලවයේ පරාජයෙන් සහ 1924 දී ලෙනින් ගේ මරනයෙන් පසුව—ඔහු සහ ඔහු නියෝජනය කල දේශපාලන ප්‍රවනතාවය සහ ක්‍රියාමාර්ගය අවාසිදායක තත්වයක තැබීය.

ට්‍රොට්ස්කිගේ ජීවිතයේ ගමන් මග—1917 ඔක්තෝබර් විප්ලවයේ සම-නායකයා ලෙස ඔහු කැපී පෙනෙන ලෙස බලයට නැගීම, 1923 සහ 1928 අතර ඔහු සෝවියට් සංගමයේ දේශපාලන බලයෙන් වැටීම සහ ඉන් පසු පිටුවහල් කිරීම සහ, 1940 දී ඔහු ඝාතනය කිරීම—ලෝක සමාජවාදී විප්ලවයේ වර්ධනයේ විවිධ අවධීන් විසින් නිර්නය කරන ලද්දේය; පිලිබිඹු කරන ලද්දේය. නූතන ඉතිහාසයේ වෙනත් කිසිදු චරිතයක්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ අවශ්‍යතාවල ආස්ථානයේ සිට, යුගයේ විප්ලවවාදී ගතිකය එලෙස අවබෝධ කර ගත්තේ හෝ එයට සවිඥානික ප්‍රකාශනයක් ලබා දුන්නේ නැත.

ට්‍රොට්ස්කි කටයුතු කල මූලික සමාජ-ආර්ථික ක්‍රියාවලීන් සහ දේශපාලන ඉදිරිදර්ශනයේ ගැටලු, අපේ කාලයේ ද එලෙස ම පවතී. අයිසැක් ඩොයිෂ්චර්, ඔහුගේ වෙලුම් තුනකින් යුත් ට්‍රොට්ස්කිගේ චරිතාපදානයේ ග්‍රන්ථනාමය ලෙස අනාගතවක්තෘවරයෙකුගේ (prophet) ප්‍රතිරූපය අමතක නොවන අයුරින් පුබුදු කලේය. බයිබලයානු රූපක භාවිතයට විරුද්ධ වීමට නීත්‍යානුකූල හේතු තිබේ. එහෙත්, සාහිත්‍යමය යෙදුමක් ලෙස, ට්‍රොට්ස්කි පිලිබඳ මෙම විස්තරය යුක්ති සහගත වේ. මක්නිසාද යත්, ඔහු ඔහුගේ කාලයේ, ඔහුගේ කාලයට ඉදිරියෙන් සහ, දැන්, අපගේ කාලයේ මිනිසෙකි.

සෝවියට් නිලධරයට සහ ස්ටැලින්ගේ නාමය සමග අනන්‍ය වූ ඒකාධිපති පාලන තන්ත‍්‍රයට එරෙහිව ට්‍රොට්ස්කි ගෙන ගිය අරගලය ඉතිහාසය විසින් මුලුමනින්ම සනාථ කර ඇති බවට මේ මොහොතේ දී තර්ක කිරීම අවශ්‍ය නොවේ. 1991 සෝවියට් සංගමය විසුරුවා හැරීම, ඔක්තෝබර් විප්ලවයේ මිනී වල කනින්නා ලෙස ස්ටැලින්ට එරෙහිව ට්‍රොට්ස්කිගේ අධිචෝදනාව ද, දේශපාලන විප්ලවයකින් පෙරලා නොදමන්නේ නම්, සෝවියට් සංගමය විනාශ වී ධනවාදය යලි හඳුන්වා දෙනු ඇති බවට ඔහුගේ අනතුරු ඇඟවීම ද තහවුරු කලේය.

ස්ටැලින්වාදී තන්ත‍්‍රයට එරෙහි ට්‍රොට්ස්කිගේ අරගලය ඉතිහාසය තුල ඔහුගේ ස්ථානය තහවුරු කර ගැනීමට ප‍්‍රමානවත් වනු ඇත. නිර්දය පීඩා හමුවේ ට්‍රොට්ස්කි මිනීමරු පාලනයකට එරෙහිව විප්ලවවාදී මූලධර්ම ආරක්ෂා කලේය. එහෙත් “තනි රටේ සමාජවාදය” නම් වූ මාක්ස්වාද-විරෝධී හා ප්‍රතිගාමී න්‍යායට ඔහුගේ විරුද්ධත්වය මත කේන්ද්‍රගත වූ, ස්ටැලින්වාදයට එරෙහි ට්‍රොට්ස්කිගේ අරගලයට යටින් පවතින ලෝක ඓතිහාසික වැදගත්කම පිලිබඳ කාරනය තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වේ.

ඉතිහාසය තුල ට්‍රොට්ස්කිට හිමි තැන නම්, ලෝක සමාජවාදී විප්ලවයේ ශ්‍රේෂ්ඨතම න්‍යායාචාර්යවරයාගේ සහ මූලෝපායඥයාගේ ස්ථානයයි. ඔහු 1906 දී ප්‍රථම වරට සූත්‍රගත කල නොනවතින විප්ලවයේ න්‍යාය, රුසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය අවශ්‍යයෙන්ම නිර්ධන පංතියේ ආඥාදායකත්වය ලෙස යථාර්තවත් වන සමාජවාදී විප්ලවයක ස්වරූපය අත්කර ගනු ඇතැයි පෙරදුටුවා පමනක් නොවේ. ධනවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි නිර්ධන පංති අරගලය ගෝලීය ක්‍රියාවලියක් ලෙස වර්ධනය වූ බව ට්‍රොට්ස්කි හඳුනාගත්තේය. ට්‍රොට්ස්කිගේ දේශපාලන සුධීමත්භාවය එහි අති විශිෂ්ඨතම ප්‍රකාශනය සොයාගත්තේ මෙහිදී ය. දියුනු මෙන්ම ඌන සංවර්ධිත රටවල් (එනම්, ප්‍රමාද වූ ධනවාදී-ධනේශ්වර සංවර්ධනයක් ඇති) යන දෙකෙහිදී ම කම්කරු පන්තියේ අරගලය ජාතික වෙනුවට ජාත්‍යන්තර මූලෝපායක් මත පදනම් විය යුතු විය.

1928 දී, අල්මා ආටා හි (සෝවියට් සංගමයෙන් නෙරපා හැරීමට පෙර) පිටුවහලේ සිටියදී ට්‍රොට්ස්කි ලියූ ස්ටැලින්වාදී-පාලිත තුන්වන ජාත්‍යන්තරයේ වැඩපිලිවෙල පිලිබඳ ඔහුගේ විවේචනයේ මෙසේ සඳහන් විය:

1914 අගෝස්තු 4 වෙනිදා, ජාතික ක්‍රියාමාර්ගයන් සඳහා සදාකාලික මරනයේ සීනුව නාද විය. ධනවාදයේ ඉහලම වර්ධනයේ හා බිඳවැටීමේ යුගය වන වර්තමාන යුගයේ දී නිර්ධන පංතියේ විප්ලවවාදී පක්ෂයට පදනම් විය හැක්කේ, එම යුගයේ ස්වභාවයට අනුරූප වන ජාත්‍යන්තර වැඩපිලිවෙලක් මත පමනි. ජාත්‍යන්තර කොමියුනිස්ට් වැඩපිලිවෙලක් කිසිසේත්ම ජාතික වැඩසටහන්වල එකතුවක් හෝ ඒවායේ පොදු ලක්ෂනවල කවලමක් නොවේ. ජාත්‍යන්තර ක්‍රියාමාර්ගය ඉඳුරාම ඉදිරියට යා යුත්තේ, ලෝක ආර්ථිකයේ කොන්දේසි සහ ප්‍රවනතා සහ සමස්තයක් ලෙස ලෝක දේශපාලන ක්‍රමය එහි සියලු සම්බන්ධතා සහ ප්‍රතිවිරෝධතා විශ්ලේෂනය කිරීමෙනි. එනම්, එහි වෙන් වෙන් කොටස්වල අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිවිරෝධී අන්තර්-පරායත්තතාවය විශ්ලේෂනය කිරීමෙනි. වර්තමාන යුගයේදී, අතීතයට වඩා බොහෝ දුරට, නිර්ධන පංතියේ ජාතික දිශානතිය ගලා ආ යුත්තේ සහ ගලා ආ හැක්කේ ලෝක දිශානතියකින් මිස අනෙක් අතට නොවේ. කොමියුනිස්ට් ජාත්‍යන්තරවාදය සහ ජාතික සමාජවාදයේ සියලු ප්‍රභේද අතර මූලික හා ප්‍රධාන වෙනස ඇත්තේ මෙහි ය.

වසර දෙකකට පසුව, නොනවතින විප්ලවයේ න්‍යාය පිලිබඳ ඔහුගේ වඩාත්ම සම්පූර්න සූත්‍රගත කිරීමේදී ට්‍රොට්ස්කි නූතන යුගයේ විප්ලවවාදී ක්‍රියාවලියේ ගමන් පථය මෙසේ පැහැදිලි කලේය:

ජාතික තලයේ ආරම්භ වන සමාජවාදී විප්ලවය, ජාත්‍යන්තර තලයේ දිග හැරී, ලෝක තලයේ පරිපූර්නත්වයට පත්වේ. මේ අනුව, සමාජවාදී විප්ලවය වචනයේ නව සහ පුලුල් අර්ථයකින් නොනවතින විප්ලවයක් බවට පත්වේ; එය නිමාවට පත්වන්නේ, අපේ මුලුමහත් පෘථිවි ගෝලය මත නව සමාජයේ අවසාන ජයග්‍රහනය තුල පමනි.

මෙම ඉදිරිදර්ශනය, 20 වැනි සියවසේ ඉතිහාසයේ පසුකාලීන ගමන් මග තුලින් සනාථ වී ඇත. ඇත්ත වශයෙන්ම, වර්තමාන සිදුවීම්, ට්‍රොට්ස්කිගේ ගෝලීය ඉදිරිදර්ශනයේ ඇඟවුම් වල තීරනාත්මක බවට සාක්ෂි දරයි. යුදෙව් ජනයා ඓතිහාසිකව අත්විඳි හිංසනයට විසඳුම සියොන්වාදයේ ජාතිකවාදී දෘෂ්ටිය තුලින් සොයා ගත යුතු බවට කෙරෙන කියාපෑම් තුල ඊස්රායල ආන්ඩුවේ අපරාධ දෘෂ්ටිවාදාත්මක සහ ක්‍රියාමාර්ගික වශයෙන් මුල් බැසගෙන ඇත. සමාජවාදී ව්‍යාපාරය සියොන්වාදී දෘෂ්ටිවාදයට එරෙහිව දශක ගනනාවක් පුරා නොනවතින අරගලයක් ගෙන ගොස් ඇත. සියොන්වාදී ව්‍යාපෘතියෙන් ගලා ආ හැකි ඛේදනීය ප්‍රතිවිපාක ගැන ට්‍රොට්ස්කි නැවත නැවතත් අනතුරු ඇඟවීය. දැන්, ඊස්රායල රාජ්‍යය පිහිටුවා වසර 75 කට පසු මෙම සියොන්වාදී මනෝරාජ්‍යය, වසර 80 කට පෙර යුරෝපීය යුදෙව්වන්ට එරෙහිව නාසීන් විසින් යොදාගත් ජන සංහාරක ප්‍රතිපත්ති වෙත යොමු වෙමින් අතිඝෝර තන්ත්‍රයක් බවට පිරිහී ඇත. එහෙත් සියොන්වාදයේ ප‍්‍රතිගාමී ස්වභාවය ජාතිකවාදයේ අනෙකුත් සියලු රූපාකාරයන්ගේ ප‍්‍රතිනිෂ්පාදනයකි. එය නිෂ්පාදන බලවේගවල ගෝලීය වර්ධනය හා පන්ති අරගලයේ ජාත්‍යන්තරකරනය මගින් අභිබවනය කෙරුනු ඉදිරිදර්ශනයකි. ජාතික-රාජ්‍යය මානව වර්ගයාගේ ප්‍රගතිශීලී සංවර්ධනය සඳහා වාහකයක් ලෙස පැවති යුගය අවසන් වී ඇත. ශිෂ්ටාචාරයේ පැවැත්ම දැන් මුලුමනින්ම බැඳී ඇත්තේ, ධනවාදය සහ ජාතික රාජ්‍ය පද්ධතිය පෙරලා දමා ලෝක සමාජවාදී සමූහාන්ඩුවකට සංක්‍රමනය වීම මත ය.

ට්‍රොට්ස්කි යනු 20 වැනි සහ 21 වැනි සියවස් දෙකෙහිම උත්තුංගම චරිතයයි. ලියොන් ට්‍රොට්ස්කි සහ විසිඑක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය කෘතිය ඔහුගේ ජීවිතය හා කාර්යයන් අධ්‍යයනය කිරීමටත්, සියල්ලටත් වඩා සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමටත් දායක වනු ඇතැයි මම අපේක්ෂා කරමි.

Loading