අත්අඩංගුවේ සිටි අයෙකුට වධහිංසා කිරීම සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති වරදකරු වෙයි: ධනපති රාජ්‍යයේ ආන්තික කුනුවීමේ ප්‍රකාශනයක්

දේශබන්දු තෙන්නකෝන් ෆේස්බුක්)

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් 2011 වසරේ දී නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස සේවය කරමින් සිටියදී, මිරිහාන පොලීසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුට වධහිංසා කල බවට එකී සැකකරු විසින් ගොනුකල පෙත්සමක් විභාග කල ශ්‍රේෂ්ඨාධිකරනය, තෙන්නකෝන් ඇතුලු පොලිස් නිලධාරීන් සිවුදෙනෙකු එකී චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පසුගිය සතියේ තීන්දු කලේය.

තම පුද්ගලික මුදලින් රුපියල් මිලියන 2 ක් පෙත්සම්කරුට වන්දි වසයෙන් ගෙවන ලෙස තෙන්නකෝන් ඇතුලු වරදකරුවන්ට නියෝග කල අධිකරනය, ඔවුන් සිවුදෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසමට අන කලේය. මීට අමතරව රජය විසින් රුපියල් ලක්ෂයක මුදලක් පෙත්සම්කරුට වන්දි වසයෙන් ගෙවියයුතු බවට ද අධිකරනය තීන්දු කලේය.

පොලීසිය තුලදී ද, කුඩා දරුවන් සහ බිරිඳ ඉදිරියේ තම නිවසේ දී ද, ඉහත පොලිස් නිලධාරීන් විසින් තමාට අමානුෂික ලෙස පහරදුන් බවට ද, බලහත්කාරයෙන් මිරිස්කුඩු ආඝ්‍රහනය කර වූ බවට ද, පෙත්සම්කරු චෝදනා ඉදිරිපත්කර තිබුනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ලෙස පත්කලේ සහ ව්‍යවස්ථාදායක කොමිසම විසින් එම පත්වීම අනුමත කලේ මෙම නඩුව ඇතුලු තවත් නඩු කීපයක් ඔහුට එරෙහිව විභාග වෙමින් පැවතියදී ය. එපමනක් නොව, දැන් ඔහු අධිකරනය විසින් වරදකරුවෙකු බවට තීන්දු කර තිබියදී පවා එම නිලයේ තවදුරටත් රැඳී සිටී.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් 'නීතීඥ සාමූහිකය' කියා සිටින්නේ, ජනාධිපති සහ ව්‍යවස්ථාදායක කවුන්සිලය 'මහජන විශ්වාසයට ප්‍රමුඛත්වය' දෙමින්, රජයේ ඉහල නිලතල වලට නිලධාරීන් පත් කිරීමේදී 'විශ්වාසවන්තභාවය' සහ 'යෝග්‍යභාවය' සැලකිල්ලට ගැනීම අත්‍යවශ්‍ය බවයි. තෙන්නකෝන් ඇතුලු සිවුදෙනා හිංසනය සම්බන්ධයෙන් වරදකරුවන් වී ඇති තතු තුල ඔවුන්ට එරෙහිව 'හිංසන පනත' යටතේ චෝදනා ඉදිරිපත් කිරීම නීතිපතිවරයාගේ වගකීම බව එම සාමූහිකය විසින් පසුගිය දා පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති උපුල් ජයසූරිය පැවසීය.

ධනපති සංස්ථාපිතයේම කොටසක් වන නීතීඥ සාමූහිකය උත්සුක වී ඇත්තේ ධනපති රාජ්‍යය කෙරෙහි 'මහජන විශ්වාසය' බිඳ වැටීම සම්බන්ධයෙනි. මොවුන් වැනි ඉහල මධ්‍යම පංතික කොටස් මෙන්ම, එම කොටස් මත දේශපාලනිකව පදනම් වන ව්‍යාජ-වාම පක්ෂ සහ සංවිධානයන් ද ධනපති රාජ්‍යය කෙරෙහි කම්කරු-පීඩිත මහජනතාවගේ විශ්වාසය බිඳ වැටීම සම්බන්ධයෙන් භීතියට පත්ව සිටිති. ඊනියා ව්‍යවස්ථා සංශෝධන සහ කොමිසන් සභා තුලින් ධනපති රාජ්‍යය ශුද්ධකර, 'නීතිගරුක අධිකරනයක්', 'විශ්වාසවන්ත පොලීසියක්', 'විනයගරුක හමුදාවක්' සහ 'දූෂනයෙන් තොර රටක්' පවත්වාගෙන යා හැකිය යන මිත්‍යාවේ එල්බ සිටින ඔවුහු, කම්කරු-පීඩිත මහජනතාවට ද එය ගිල්ලවීමට හාත්පසින්ම උත්සාහ දරති.

රාජ්‍යය යනු සමස්ත මහජනතාවගේ අවශ්‍යතාවයන් නියෝජනය කරන උපකරනයක් බව ධනපතියන් සහ ඔවුනගේ මධ්‍යම පංතික ආවතේවකරුවන් යලියලිත් කියාපාති. මෙය පරිපූර්න වසයෙන්ම අසත්‍යයකි. ලෙනින් තම 'රජය සහ විප්ලවය' නම් කෘතියෙහි පෙන්වාදුන් පරිදි ධනපති රාජ්‍යය යනු, 'නිර්ධන පංතිය පාගා දැමීම සඳහා ධනපති පංතිය විසින් යොදාගනු ලබන මර්දනීය බලය යි.' පොලීසිය, හමුදාව, නීතිය සහ අධිකරනය එම මර්දනීය බලයේ රුදුරු උපකරනයන් ය. මේවා ශුද්ධකර පවත්වාගෙනයාම අභූතයකි.

කෙසේ වෙතත්, අදදින ලෝක ධනපති ක්‍රමය මුහුන දී සිටින ගැඹුරු පද්ධතිගත අර්බුදය හමුවේ, ධනපති රාජ්‍යයන්ගේ යතා ස්වභාවය ලොවපුරා බිලියන සංඛ්‍යාත කම්කරුවන් හමුවේ අනාවරනය වෙමින් පවතී. කෝවිඩ් වසංගතයෙන් මෙන්ම, යුක්‍රේන සහ ගාසා යුද්ධයන්ගෙන් ගැඹුරු කෙරුනු මෙම අර්බුදය හමුවේ ලොවපුරා ධනපති පාලක පංතීහු දැවැන්ත කප්පාදු හරහා එම අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවන අතර, එම කප්පාදු වලට එරෙහිව පැන නගින පංති අරගල තලා දැමීම සඳහා ආඥාදායක පාලන රූපයන් වෙත වේගයෙන් මාරු වෙමින් සිටිති.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් (ජාමූඅ) ලබා ගන්නා ඩොලර් බිලියන 3 ක ඇපනය වෙනුවෙන් එම අරමුදල පනවා ඇති කප්පාදු විධානයන් අකුරටම ක්‍රියාත්මක කරමින් සිටින ජනාධිපති වික්‍රමසිංහ, එම ප්‍රහාරයන්ට එරෙහිව පැන නගින කවර හෝ පංති අරගලයක් පොලීසිය සහ මිලිටරිය යොදා අතිශය මුර්ග ආකාරයෙන් මඩින අතරේ, 'ප්‍රති-ත්‍රස්ත පනත' සහ 'ඔන්ලයින් ක්‍රමවේදයන්ගේ ආරක්ෂාව පිලිබඳ පනත' ආදී ප්‍රජාතන්ත්‍ර-විරෝධී පනත් සම්මත කර ගැනීමේ වැඩකටයුතු වේගවත් කර ඇත.

පොලිස් රාජ්‍යයක් වෙතට වික්‍රමසිංහ යන මෙම වේගවත් ගමනේ දී ඒ සඳහා 'යෝග්‍ය' පොලිස්පතිවරයෙකු ඇතුලු අනෙකුත් නිලධාරීන් ඔහුට අත්‍යවශ්‍ය ය. පංති අරගල කුරිරු ලෙස තලා දැමීම සම්බන්ධයෙන් තෙන්නකෝන් කුප්‍රකට ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකල පසුගිය වසරේ මහජන නැගිටීමේ ප්‍රධාන විරෝධතා මධ්‍යස්ථානයක් වූ ගෝල්ෆේස් හි 'ගෝඨාගෝගම' හි එක්රැස්ව සිටි දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන්ට, එවකට අගමැති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) නායක මහින්ද රාජපක්ෂගේ උසිගැන්වීම මත මැයි 9 දා පොපෙ මැරයන් එල්ලකල ම්ලේච්ඡ ප්‍රහාරයේ සැලසුම් පිලිබඳව කල්තියා දැනසිටි තෙන්නකෝන් එය වැලැක්වීමට කවර හෝ පියවරක් නොගත් බවට ඔහුට චෝදනා එල්ල විය. තෙන්නකෝන් එවකට බස්නාහිර පලාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විය.

මෙම පහරදීම සම්බන්ධ පරීක්ෂන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා තෙන්නකෝන් වෙනත් ස්ථානයකට මාරු කරන ලෙස නීතිපතිවරයා විසින් එවක සිටි පොලිස්පතිට උපදෙස් දුන් නමුත් එය ක්‍රියාත්මක නොවුනි. තෙන්නකෝන්, ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ කවයේ සමීප හිතවතෙකු බව කුප්‍රකට ය. මහින්ද රාජපක්ෂගේ ශ්‍රීලපොපෙහි වාරුවෙන් ජනාධිපති තනතුරේ සිටින වික්‍රමසිංහ, වැඩබලන පොලිස්පති ලෙස තෙන්නකෝන් පත්කර ගැනීමේදී රාජපක්ෂ කවය සමග ඔහුගේ ඇති සමීප සම්බන්ධය ද සැලකිල්ලට ගෙන ඇති බව නිසැක ය.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගේ මගපෙන්වීම යටතේ තෙන්නකෝන් යෙදී සිටින නවතම කාර්යය වන්නේ, සංවිධානාත්මක අපරාධකරුවන් සහ ඒවාට අනුබද්ධ පුද්ගලයන් හසුකර ගැනීම සඳහා පොලිසිය එහි විශේෂ කාර්ය බලකාය (එස්ටීඑෆ්) සමග ඒකාබද්ධකොට ඔහුගේ ප්‍රධානත්වයෙන් දියත්කර ඇති “විශේෂ මෙහෙයුම” යි.

පසුගිය සතියේ ඇල්පිටියේ පැවති රැස්වීමක් අමතමින් ඇමති අලස් කියා සිටියේ, ක්‍රියාත්මක වෙමින් පවතින අපරාධ රැල්ල තුරන් කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බැවින් පාතාල සහ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරීන් සියලු දෙනාම වහා පොලිසියට භාරවියයුතු බවයි. එසේ නොවේනම් 'දුටු තැන වෙඩි තබා මරා දැමීමට' මුහුන දෙන ලෙස ඔහු තර්ජනය කලේය.

'දුටු තැන වෙඩි තබා මරා දැමීම' පොලිස් රාජ්‍යයක ලක්ෂනයක් බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞශල්‍ය නවරත්න ඩේලිමිරර් පුවත්පතට මෙසේ පවසා ඇත: “රටේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරනය විසින් පාලනය කරන පාලන ක්‍රමයක් තිබියදී ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු ප්‍රසිද්ධියේ මෙවැනි ප්‍රකාශයක් කරන්නේ කෙසේද? නීති පද්ධතියක් ක්‍රියාත්මක වන විට දුටු තැන වෙඩි තබා මරා දැමීමට මෙය පොලිස් රාජ්‍යයක් නොවේ.'

'ශ්‍රී ලංකා ආන්ඩුව 'පාතාලය මර්දනය කිරීමට විශේෂ මෙහෙයුමක්' ප්‍රකාශයට පත් කරයි' යන හිසින් 2023 සැප්තැම්බර් 9 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල ලිපියකින් මෙම මෙහෙයුමේ සැබෑ අර්ථය මෙසේ පැහැදිලි කෙරුනි:

'කෙසේවෙතත්, වික්‍රමසිංහගේ ඊනියා “අපරාධවලට එරෙහි” මෙහෙයුම්වල සැබෑ ඉලක්කය වන්නේ කම්කරු පන්තිය සහ පීඩිත ජනයා බවට අප අනතුරු අඟවමු. ආන්ඩුව, එය විසින් ක්‍රියාවට දමන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) කප්පාදු පිලිවෙත්වලට එරෙහිව වැඩෙමින් පවත්නා මහජන විරුද්ධත්වයට මුහුන දෙමින් සිටින අතර එම විරෝධය මර්දනය කිරීමටත් කම්කරු පන්තිය බිය ගැන්නවීමටත් නීතියට පරිබාහිර ක්‍රියාවන් යොදාගනිමින් පවතී.'

එම ලිපිය මෙසේද සඳහන් කරයි:

'සංවිධානාත්මක අපරාධවලට එරෙහි පොලිස් සහ මිලිටරි මෙහෙයුම්, පාලනයේ ආඥාදායක ක්‍රම සඳහා සූදානම්වීම් සහ කම්කරු පන්තියට එරෙහිව ධනපති රාජ්‍යය බලමුලු ගැන්වීමේ සහ ගොඩනැංවීමේ බොහෝ වැඩසටහන්වලින් තවත් එකකි.'

Loading