වරාය වෘත්තීය සමිති එකමුතුව කැඳවා තිබූ අකුරට වැඩ කිරීමේ උද්ඝෝෂනය අධිකරන වාරන නියෝගයක් මත නවතා දැමේ

වැඩි වැටුප් සහ තවත් ඉල්ලීම් ගනනාවක් මත, වරාය වෘත්තීය සමිති එකමුතුව (වවෘසඑ)දෙසැම්බර් 28 දා ට කැඳවා තිබූ අකුරට වැඩ කිරීමේ උද්ඝෝෂනය, අධිකරන වාරන නියෝගයක් මත නවතා දැමූ බව එම සමිති එකමුතුව කියා සිටී.

ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ (සලවපොසේස) මූලිකත්වයෙන් සහ වෘත්තීය සමිති 15ක සහභාගිත්වයෙන් පිහිටුවා ඇති වවෘසඑ දෙසැම්බර් 28 දා වරාය සේවකයන්ට නිකුත් කල ප්‍රකාශයක මෙසේ සඳහන් වෙයි: “ගරු අධිකරනය මගින් ලබාදෙන වාරන නියෝගයට ගරු කරමින් අද දවසේ අප විසින් ගැනීමට නියමිතව තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන බව ඔබවෙත දන්වා සිටිමු.”

දැවැන්ත උද්ධමනය හමුවේ තම වැටුප් ඉහල දමා ගැනීම, ප්‍රසාද දීමනා ලබාගැනීම, සුවිසල් පරිමානයෙන් ඉහල නංවා ඇති වරාය නිල නිවාස කුලිය පහල දමා ගැනීම හා පුද්ගලීකරනය නතර කිරීම වරාය කම්කරුවන්ගේ දැවෙන අවශ්‍යතාවන් බවට පත්ව ඇති අතර, එම අවශ්‍යතාවයන් සාක්ෂාත් කරනුවස් ඔවුන් අතර වර්ධනය වී ඇත්තේ දැඩි සටන්කාමිත්වයකි. මෙම වාතාවරනය හමුවේ, උක්ත “අකුරට වැඩ කිරීමේ” උද්ඝෝෂනය කැඳවීමට වවෘසඑ එකමුතුවට බල කෙරුනි.

කෙසේ නමුත් වවෘසඑ අත්හිටවනු ලැබූ මෙම උද්ඝෝෂනය ද කැඳවා තිබුනේ පාලකයන්ට පීඩනය යෙදීමෙන් ඉල්ලීම් දිනා ගැනීමේ බංකොලොත් වැඩපිලිවෙල යටතේම ය. වවෘසඑ මගින් 'වැටුප් ඉහල දමනු!' යන තේමාව යටතේ, ඔක්තෝබර් 26 දින හා දෙසැම්බර් 7 දින එවන් උද්ඝෝෂන දියත් කරන ලද නමුත් ඉන් කවර හෝ ප්‍රතිඵලයක් නොලැබිනි.

මෙම නායකත්වය යලියලිත් ප්‍රයත්න දරන්නේ, උද්ඝෝෂන මුවාවෙන් පාලකයන් සමග සාකච්ඡා වලට බඩගාමින් කම්කරුවන්ගේ විරෝධය සහ සටන්කාමිත්වය දියකර හැරීමටයි. දෙසැම්බර් 20 දින වරාය හා නාවික කටයුතු භාර පාර්ලිමේන්තු ඇමති නිමල් සිරිපාල ද සිල්වාට ලිපියක් යවමින් වවෘසඑ මෙසේ පවසයි: “ වගකිවයුතු වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳා ගැනීමට ඇති ඉඩකඩ බැහැර නොකරන නමුත් ....කාර්මික සාමය පවත්වා ගෙන යාම වෘත්තීය සමිති ලෙස අපිට පමනක් කල හැක්කක් නොවන බව නැවත නැවතත් ඔබ වෙත අවධාරනය කර සිටිමු”. වවෘසඑ විවෘතවම කියා සිටින්නේ, කම්කරුවන් තවදුරටත් තම පාලනය යටතේ මෙල්ල කර තබා ගැනීමට නොහැකි තත්වයට ඔවුනගේ කෝපය සහ සටන්කාමිත්වය වැඩෙමින් පවත්නා බවයි.

පසුගිය වසරේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව පලවා හරින ලද ශ්‍රී ලංකාවේ මහජන නැගිටීම පරයා යන නැගිටීමක් පුපුරායනු ඇතැයි ධනපති පාලක පංතිය මෙන්ම ඔවුන්ගේ වෘත්තීය සමිති ආවතේවකරුවෝද බියවැදී සිටිති.

වරාය සේවකයන්ගේ කාර්මික ක්‍රියාව වලක්වනුවස් පාලකයන් අධිකරනයෙන් ලබාගත් වාරන නියෝගයේ සැබෑ ඇඟවුම් සහ ඉන් මතු කෙරෙන දේශපාලන අභියෝගයන් කම්කරුවන්ගෙන් වසන් කිරීම සඳහා වවෘසඑ හි නායකයෝ විවිධ කුතර්ක ගොතති. වවෘසඑ වරාය සේවකයන්ට නිකුත් කල ප්‍රකාශයේ මෙසේ සඳහන් වෙයි: “තවත් සමහර සේවකයන් අපගෙන් විමසා සිටින්නේ පෙර නොතිබූ වාරන නියෝග අද වරාය පාලකයන් ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ ඇයිද යන කරුනයි. එදා සේවකයන්ට සතුරු බලවේග මිතුරු ලෙසින් වෘත්තීය සමිති සන්ධාන තුල රැඳී සිටිමින් පාලකයන්ගේ උවමනා වැටුප් සාකච්ඡා තුල දී ඉටුකල බව නොරහසකි. අද සිදුව ඇත්තේ, වරාය සේවකයාට සතුරුව කටයුතු කරන ලද පාලකයන්ගේ පිල්ලි පසෙකට විසිවී වරාය සේවකයාගේ සැබෑ හඬ නියෝජනය කිරීම සඳහා වරාය වෘත්තීය සමිති එකමුතුව ගොඩනැගී තිබීමයි.”

මෙය අභූතයකි. ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවත්, පවත්නා රනිල් වික්‍රමසිංහ ආන්ඩුවත් යන දෙකම, වැඩවර්ජන ඇතුලු කාර්මික ක්‍රියා පැනනැගි රාජ්‍ය ක්ෂේත්‍ර කීපයකටම මෙවන් අධිකරන වාරන නියෝග පනවනු ලැබූහ. එසේ කලේ, එම ක්ෂේත්‍රයන්හි 'පාලකයන්ගේ පිල්ලි පසෙකට විසිවී' සේවකයාගේ 'සැබෑ හඬ' නියෝජනය කරන වෘත්තීය සමිති එම ක්ෂේත්‍රයන්හි පැවති නිසා නොව, කම්කරුවන් අතර වැඩුනු සටන්කාමිත්වය පාලනය කරගැනීමට පවත්නා සමිති වලට නොහැකි බැවිනි. සමිතිවල පාලනයෙන් මිදී කම්කරුවන් දැවැන්ත පංති අරගල වලට සේන්දු වෙමින් සිටින බව ලොවපුරා පාලකයෝ අත්දකිමින් සිටිති.

සෑම රාජ්‍ය ක්ෂේත්‍රයක්ම පාහේ 'අත්‍යවශ්‍ය සේවාවන්' බවට පත්කොට එකී ක්ෂේත්‍රයන්හි වැඩවර්ජන නීති-විරෝධී බවට පත් කිරීම, අධිකරන නියෝග මගින් විරෝධතා උද්ඝෝෂන වාරනය කිරීම, ප්‍රති-ත්‍රස්ත පනත සහ අන්තර්ජාල මාධ්‍ය වාරන පනත ඇතුලු රුදුරු ප්‍රජාතන්ත්‍ර-විරෝධී පනත් ඉදිරියට දමමින් ආන්ඩුව සැරසෙන්නේ පංති යුද්ධයට යි. තමාගේම ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගා ගනිමින් දේශපාලන ප්‍රතිප්‍රහාරයකට සූදානම්වීම හැර කම්කරු පංතියට අන් විකල්පයක් නැත.

එවන් කම්කරු පංතික ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සම්බන්ධයෙන් පරම සතුරු ගොරකාන ඇතුලු වවෘසඑ නිලධරයමත් පාලකයන්ගේ පිල්ලි හැර අන් කවරක්ද? ජවිපෙ සමිති නායකයන් මේ දිනවල යෙදී සිටින්නේ, 'ජනවරමක්' මත ජාමූඅ හි න්‍යාය පත්‍රය ක්‍රියාවට නංවන බව කියාපාන ජවිපෙ හි නායකත්වයෙන් යුත් ධනපති ආන්ඩුවක් බලයට ගෙන ඒමේ මැතිවරන ව්‍යාපාරයේ ය. ආන්ඩුවට එරෙහිව වැඩෙන දැවැන්ත කම්කරු විරෝධය ඒ සඳහා ගසාකනුවස් ඔවුහු තම සෑම සමිති රැස්වීමක්ම ජවිපෙ මැතිවරන වේදිකාවන් බවට පත්කර ගනිති.

නොවැම්බර් 2 දා, කොලඹ පැවති සලවපොසේස සම්මේලනය මුලුමනින්ම කැපවී තිබුනේ ජවිපෙ බලයට ගෙනඒමේ මැතිවරන උද්ඝෝෂනයටයි. සම්මේලනය අවසන් කරමින් ගොරකාන කියා සිටියේ, මෙම ප්‍රහාර පරාජය කිරීම වරාය සේවකයාට තනිව කල නොහැකි බැවින්, “අපේ පක්ෂයට (ජවිපෙට) දේශපාලන බලය ලබා දිය යුතු” බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ වෘත්තීය සමිති එකමුතුව (වෘසඑ) කැඳවුම්කරු වසන්ත සමරසිංහ. වෛද්‍ය රසායනාගාර විද්‍යා විද්‍යාලයේ සභාපති රවී කුමුදේශ් සමරසිංහගේ වම් පසින් සිටී. [ඡායාරූපය: WSWS]

ජවිපෙ ආන්ඩුවක් යටතේ එහි සමිති, පාලකයන්ගේ අත්ගෙඩි ලෙස වැඩකලයුතු ආකාරය, ජවිපෙ නායකයෙකු වන වසන්ත සමරසිංහ විසින් එම සම්මේලනයේදී පෙන්වා දුන්නේ මෙසේය: “වෘත්තීය සමිති එකතුවෙලා ආන්ඩුවක් හැදුවනම් වෘත්තීය සමිතියි ආන්ඩුවයි දෙකක් වෙන්න බැහැ. එහෙම වෙන්න පුලුවන්ද? එහෙමනම් වෘත්තීය සමිති විසුරුවන්න ඕන.” ගොරකාන ඇතුලු සමිති නිලධරය, වරාය සේවකයාගේ සැබෑ හඬ නියෝජනය කිරීමට යන්නේ එලෙසිනි.

ගොරකානගේ නමින් දෙසැම්බර් 22 දා නිකුත් කල පත්‍රිකාවක මෙසේ සඳහන් වෙයි: “ප්‍රශ්නය දේශපාලනික නිසා උත්තරයට අදේශපාලනික විසඳුම් සොයා පලක් නැත……. රට විනාශ කරන ඔබ අපව පීඩාවට පත් කරන හොර දූෂිත හැත්ත පන්නා දැමීමට පෙල ගැසෙමු.” ගොරකානට අනුව එසේ පෙලගැසී කල යුත්තේ, “අපේ පක්ෂයට (ජවිපෙට) දේශපාලන බලය” ලබා දීමයි.

කෙසේ නමුත්, 2022 ඔක්තෝබර් 17 වැනිදා හිරු නාලිකාවේ සාකච්ඡාවක දී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කලේ, ලංකාව විදේශ නය පැහැර හැර තිබෙන බැවින් “ජාමූඅ වෙත යෑම නොවැලැක්විය හැකි දෙයක් ව පවතින” බවයි. කම්කරුවන්ගේ රැකියාවන්ට සහ සේවා කොන්දේසි වලට එල්ල කෙරෙමින් පවත්නා දැවැන්තම ප්‍රහාරයක් වන පුද්ගලීකරනය ඇතුලු ජාමූඅ හි රුදුරු කප්පාදු වේගයෙන් ක්‍රියාවට දැමීම සහ එයට එරෙහිව සටනට අවතීර්න වන කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් තලා දැමීම හැර ජවිපෙ ආන්ඩුවකට අන් විකල්පයක් නැත.

වවෘසඑ ඉඳහිට මතු කරන පුද්ගලීකරන විරෝධය අමු ප්‍රෝඩාවකි. දෙසැම්බර් 28 දා ට කැඳවා තිබූ උද්ඝෝෂන ව්‍යාපාරය තුල ද පුද්ගලීකරනය පිලිබඳ කවර හෝ ඉල්ලීමක් නොතිබුනු අතර එය හුදෙක්, වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් කීපයකට සීමා කෙරී පැවතුනි. 'වැටුප් සාකච්ඡා අරඹනු!, බෝනස් කප්පාදුව නවතනු! බදු අඩුකරනු, ගෙවල් කුලිය පහත හෙලනු!' ආදිය ඒ අතර විය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට නංවා ඇති පුද්ගලීකරනය තුලින් වරාය කම්කරුවන් ඇතුලු අනෙකුත් රාජ්‍ය ක්ෂේත්‍රයේ කම්කරුවන්ට එල්ලවන ප්‍රහාරයේ පරිමාව මෙම සමිති නිලධරය හොඳින්ම දනී.

දෙසම්බර් 7 උද්ඝෝෂනයෙන් පසු පැවති රැස්වීම අමතමින් සලවපොසේස ලේකම් නිරෝෂන් ගොරකාන පැවසුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවතින ගාලු වරායේ මුහුදු සීමාවේ කොටසක්ද ත්‍රීකුනාමල වරායේ අක්කර 11,000ක්ද කොලඹ වරාය සතු ඉඩම්ද විකිනීමට සූදානම් බව යි. නැගෙනහිර පර්යන්තය ද 'අනතුරේ' පවත්නා බව ඔහු කීවේය.

වෘත්තීය සමිති වල පාවාදීම් හේතුවෙන් දැනටමත් කොලඹ වරායේ විශාල කොටසක් පුද්ගලීකරනය කෙරී ඇත.1999 දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ආන්ඩුව යටතේ කොලඹ වරායේ එලිසබෙත් රැජින පර්යන්තය පුද්ගලීකරනය කරන ලද අතර, 2012 දී කොලඹ වරායේ දකුනු පර්යන්තය ඉදිකර පවත්වාගෙන යාමට චීනයේ “චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස්” චීනයට පවරාදෙනු ලැබින. ඊට උරනව සිටි වොෂින්ටනය හා නවදිල්ලිය කල බලපැම් යටතේ වෘත්තීය සමිතිවල අනුමැතියෙන් බටහිර පර්යන්තය ඉන්දියානු අදානි සමාගමට පවරාදී ඇත.

මෙම පුද්ගලීකරන ක්‍රියාවලිය තුල දසදහස් සංඛ්‍යාත කම්කරුවන්ට තම රැකියා අහිමි වූ අතර, රැකියාවේ නිරත කම්කරුවන්ගේ වැටුප් සහ සේවා කොන්දේසි වඩවඩාත් දුෂ්කර තත්වයන්ට පත්විය.

මෙම ප්‍රහාර පරාජය කරනුවස් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත පාදක වූ තමාගේම ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගාගැනීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගෙනයන වැඩකටයුතු සම්බන්ධයෙන් සමිති නිලධරය පරම වෛරීය. සසප සාමාජිකයන් තම වැඩපිලිවෙල අඩංගු පත්‍රිකා බෙදමින්, නොවැම්බර් 2 දින සලවපොසේස සම්මේලනය ඉදිරිපිටදී ද, දෙසැම්බර් 7 දින කොලඹ වරාය දොරටුව අභියසදී ද කල මැදිහත්වීම් නතර කිරීමට ඔවුන් දැරූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රයත්න නොතකා කම්කරුවෝ සසප සමග සාකච්ඡා වලට ඉදිරිපත්වූහ.

වරාය කම්කරුවෙක්මෙසේ පැවසීය: 'සලවපොසේස සූදානම් වන්නේ පාර්ලිමේන්තු මැතිවරනයකින් ජවිපෙ බලයට පත් කර කම්කරු පන්තිය මත රුදුරු ප්‍රහාර එල්ල කිරීමටයි. දනටමත් කම්කරුවන්ට මෙම නායකයන්ගෙන් ප්‍රශ්නයක් අහන්න බැහැ. තර්ජනය කරනවා. පාලකයන් සමග එක්ව කම්කරුවන් මර්දනයට ලක්කරනවා. කම්කරුවන් සමාජවාදී වැඩපිලිවලකින් සන්නද්ධ කිරීමට සසප හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය දරන ප්‍රයත්නයට සහයෝගය දෙනවා.'

වරාය කම්කරුවන්ට පනවා ඇති අධිකරන වාරනයෙන් යලිත් වරක් තහවුරු වී ඇත්තේ, සසප පැහැදිලි කර ඇති පරිදි, දිවයින පුරා සිටින අනෙකුත් කම්කරුවන්ට මෙන්ම වරාය සේවකයින්ට ද පුද්ගලීකරනය පරාජය කරමින්, තම රැකියා, වැටුප්, සේවා කොන්දේසි සහ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමේ සටන ඉදිරියට ගෙන යා හැක්කේ, වෘත්තීය සමිතිවලින්, සියලු ධනපති පක්ෂවලින් හා ව්‍යාජ වාම පක්ෂවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමෙන් පමනක් බවයි. වරාය ක්‍රියාකාරී කමිටුවට සම්බන්ධවී එම සටන තම අතට ගන්නා ලෙස, වරාය අධිකාරියට අයත් සියලු ශ්‍රේනීන්හි කම්කරුවන්ගෙන්, පුද්ගලීකරනය කෙරී ඇති කොටස්වල කම්කරුවන්ගෙන් සහ මිනිස්බල කම්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

සෑම කම්හලකම, වැඩබිමකම, වතුයායකම සහ නිවස්නා ප්‍රදේශයකම එසේ ගොඩනගා ගන්නා ක්‍රියාකාරී කමිටු, ජාත්‍යන්තර කම්කරු ක්‍රියාකාරී කමිටු සන්ධානය සමග ඒකාග්‍ර වෙමින් ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් මත සටන් වැදිය යුතු වෙයි.

Loading