ගාසා යුද්ධය සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාල සිසුන් අතර දෙමල ජාතිකවාදීන් විසින් ප්‍රවර්ධනය කරන ලද දේශපාලන ප්‍රශ්නවලට පිලිතුරක්

ඊශ්‍රායලයේ නෙතන්යා හු තන්ත‍්‍රයේ ජන සංහාරක ප‍්‍රහාරයේ දී ගාසා වැසියන්ට සහාය දෙන ලෙස ඉල්ලා, යාපනය විශ්වවිද්‍යාල සිසුන් අතර සසජාතශි කන්ඩායම් උද්ඝෝෂනය කරමින් සිටින විට, සිසුන් කිහිප දෙනෙක් පහත ප්‍රශ්නය ඇසූහ: “පලස්තීනුවන්ට සහාය දෙන පුලුල් ගෝලීය විරෝධතා ව්‍යාපාරයක් තියෙනවා; නමුත් ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති කාලයේ ආන්ඩුව විසින් දෙමල ජනතාව සමූල ඝාතනය කරන විට අපට සහාය දීමට එවැනි ගෝලීය ව්‍යාපාරයක් තිබුනේ නැහැ. ඇයි ඒ?''

මේ දැන් ගාසා හි සිදුවෙමින් පවත්නා දෑ සම්බන්ධයෙන් තැකීමක් හෝ එහි ජනයාට සහයෝගය දැක්වීමක් හෝ නොකලයුතු බවට ඇතැම් සිසුන් අතර හැඟීමක් විය. මෙය දෙමල ජාතිකවාදී පක්ෂ විසින් ප්‍රවර්ධනය කරන මතයක් බව පෙනී යයි.

2009 ජනවාරි 31 වැනි දින ශ්‍රී ලංකාවේ දෙමල ජනයාට එරෙහි ව උත්සන්න කෙරෙමින් පැවති සිවිල් යුද්ධයට විරෝධය පාමින් ලන්ඩන් නගරයේ පැවති ලක්ෂයකට අධික සෙනගක් සහභාගී වූ විරෝධතාව. මෙ වැනි විරෝධතාවකට මීට පෙර එවැනි සෙනගක් රැස් ව සිටියේ නැත.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට සහාය දෙන බවට ඔවුන්ගේ කයිවාරු තිබියදීත්, දෙමල ජාතිකවාදී පක්ෂ සාමාන්‍යයෙන් ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරය ගැන නොතැකීමක් පෙන්නුම් කරයි. ඔවුන් අනුයන යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ද මුනිවත රකියි.

පලමුවෙන්ම, ශ්‍රී ලංකාවේ යුද්ධයේදී දෙමල ජනයාට එරෙහි ජන සංහාරයට ගෝලීය විරෝධයක් නොතිබුනිය යන ප්‍රකාශය අසත්‍යයකි. ඒ වන විට ලෝකය නිදා සිටියේ නැත. ශ්‍රී ලංකාවේ මර්දනයට විරුද්ධ මහජන විරෝධතා, 2008 මූල්‍ය බිඳවැටීමෙන් පසු, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව තුල මතු වූ, ගෝලීය පන්ති අරගල රැල්ලක් සමග සමපාත විය.

ශ්‍රී ලංකා හමුදාව ඉදිරියට ඇදෙමින්, අප්‍රේල් වන විට එල්ටීටීඊය විසින් පාලනය කරන ලද ප්‍රදේශ මුල්ලිවයික්කාල්හි වර්ග කිලෝමීටර් 17 ක බිම් තීරුවකට සීමා කරමින්, 150,000ක සිවිල් ජනතාවක් කොටු කර ගනිද්දී, 2009 ආරම්භයේ සිටම ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ, ජර්මනියේ, ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ දැවැන්ත විරෝධතා පැවැත්වුනි.

● පෙබරවාරි 4, ප්‍රංශයේ සහ ජර්මනියේ මහජන විරෝධතා පැවැත්වුනි. මධ්‍යම බර්ලිනයේ දෙමල ජාතිකයන් 8000 ක් සීඩීයූ මූලස්ථානයේ සිට ඉන්දීය තානාපති කාර්යාලය දක්වා පෙලපාලි ගියහ. තමිල්නාඩුවේ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක විය.

● ජනවාරි 28, දෙමල ජනතාව 50,000 ක් පැරිසියේ දී උද්ඝෝෂනය කලහ.

● ජනවාරි 30, ටොරොන්ටෝ හි 50,000 ක් දෙනා විරෝධතා දැක්වූහ.

● ජනවාරි 31, මධ්‍යම ලන්ඩනයේ 100,000 කට වැඩි පිරිසක් විරෝධතා දැක්වූහ.

● අප්‍රේල් මාසය වන විට, ලන්ඩනය, පැරිසිය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාවේ දිනපතා පාහේ සිය ගනනක සිට දහස් ගනනක් දක්වා සහභාගී වූ විවිධ විරෝධතා පැවැත්විනි.

කොලඹ ආන්ඩුව විසින් සිදු කරනු ලබන අපරාධ නැවැත්විය හැකි ශක්තිමත් බලවේගයක් දක්වා මෙම විරුද්ධත්වය වර්ධනය කිරීම, හුදු ඉලක්කම්වලට වඩා දේශපාලන ඉදිරිදර්ශනයේ කාරනයක් විය.

ගෝලීය දෙමල සංසදය ඇතුලු කොටි හිතවාදී බෙදුම්වාදී සංවිධාන විසින් මෙම විරෝධතාවල දේශපාලනික ආධිපත්‍යය දරන ලදී. ඔවුහු මෙම විරෝධතා, කැනඩාවේ, එක්සත් රාජධානියේ, ජර්මනියේ, ප්‍රංශයේ සහ එක්සත් ජනපදයේ සහ අධිරාජ්‍ය ගැති ඉන්දියාවේ අධිරාජ්‍යවාදී ආන්ඩුවලට ආයාචනා කිරීම කරා යොමු කලහ. මෙම ප්‍රධාන බලවතුන්, ඇත්ත වශයෙන්ම, ජන සංහාරයේ දී කොලඹ ආන්ඩුවට සහයෝගය සහ දිරිගැන්වීම් ලබා දුන්හ. මෙම විරෝධතා වලට එල්ල වූ පොලිස් බලමුලු ගැන්වීම් සහ ප්‍රහාර මේ රටවල සැබෑ තත්වය පෙන්නුම් කරයි.

මෙම පෙලපාලි බොහෝ දුරට දෙමල ප්‍රජාවට සීමා වූයේ, ඒවා දෙමල ප්‍රජාවෙන් පිටත ප්‍රචාරය නොකිරීමට එහි සංවිධායකයන් තීරනය කර තිබූ බැවිනි.

2009 පෙබරවාරි 4, ජාත්‍යන්තර කර්තෘ මන්ඩල ප්‍රකාශයක , ලෝසවෙඅ මෙසේ සඳහන් කලේය:

“ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විසින් සිදු කරනු ලබන යුද අපරාධ, ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ සහ ගාසා තීරයේ දක්නට ලැබෙන්නාක් මෙන්, අධිරාජ්‍යවාදී බලවතුන් සහ ඔවුන්ගේ ජාතික ධනේශ්වර නියෝජිතයින් විසින් තම භූ දේශපාලනික අවශ්‍යතා සුරක්ෂිත කර ගැනීම සඳහා ම්ලේච්ඡ ක්‍රම වෙත වැඩි වැඩියෙන් හැරීමේ ප්‍රකාශනයකි. අන්තර්-අධිරාජ්‍යවාදී එදිරිවාදිකම් මගින් මෙහෙයවනු ලබන සහ 1930 ගනන් වලින් පසු ඇති වූ නරකම ලෝක ආර්ථික අර්බුදය මගින් උග‍්‍ර කරන ලද, මිලිටරිවාදයේ වර්ධනය, ප‍්‍රධාන ධනේශ්වර රටවල අයිතීන් හා ජීවන තත්වයන් නිර්දය ලෙස විනාශ කිරීම සමග අත්වැල් බැඳගනී. මෙය, විරැකියාවට හා කප්පාදු පිලිවෙත්වලට එරෙහිව යුරෝපය පුරා වැඩෙන ව්‍යාපාරයක කොටසක් ලෙස කම්කරුවන් හා තරුනයින් මිලියන දෙකහමාරක් ජනවාරි 29 දා ප‍්‍රන්සයේ වැඩවර්ජනවලට වීදිවලට ගෙන ආවේය.

“ශ්‍රී ලංකාවේ මානුෂීය ව්‍යසනයට එරෙහිව ටොරොන්ටෝ, පැරිස්, ලන්ඩන් සහ බර්ලිනයේ විරෝධතාවලට දැනටමත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගී වී සිටිති. විරෝධතා වර්ගවාදී යුද්ධයට එරෙහිව සැබෑ කෝපය ප්‍රකාශ කරන මුත්, එය නැවැත්වීමට බටහිර බලවතුන් සහ ඉන්දියාව මැදිහත් විය යුතුය යන ඉල්ලීමට සීමා වේ. …

“ශ්‍රී ලංකාවේ සහ අධිරාජ්‍යවාදී රටවල ඩයස්පෝරාවේ දෙමල ජනතාවගේ මිතුරන් වන්නේ කම්කරු පන්තියයි. අධිරාජ්‍යවාදී ලෝක පර්යායට එරෙහි අරගලයේ කොටසක් ලෙස යුද්ධය අවසන් කිරීම, ශ්‍රී ලංකා ධනේශ්වර රාජ්‍යය පෙරලා දැමීම සහ දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහතික කිරීම සඳහා ශක්තියක් ඇති සහ ඒ සඳහා පන්ති අවශ්‍යතාවක් ඇති එකම සමාජ බලවේගය එයයි.

“විරැකියාවට හා සමාජ කප්පාදුවලට එරෙහිව ප්‍රංශයේ ජනවාරි 29 දා පැවති මහජන පෙලපාලි සහ විරෝධතා යුරෝපය පුරා අරගලයන්ට පෙරවදනකි. ප්‍රංශයේ සහ යුරෝපයේ දෙමල සහ සංක්‍රමනික කම්කරු පන්තිය සහ තරුනයින් මෙම අරගලවල අනිවාර්ය කොටසකි...”

මෙම විරෝධතාවල සංවිධායකයින් කම්කරුවන්ට හා තරුනයින්ට ආයාචනා කිරීමට නැඹුරු නොවූ අතර, ඇත්ත වශයෙන්ම, මෙම පෙලපාලිවලට මැදිහත් වෙමින් සමාජවාදී සමානතා පක්ෂ විසින් ගන්නා ලද එවැනි උත්සාහයන්ට දැනුවත්ව විරුද්ධ වූහ. එල්ටීටීඊ හිතවාදී සංවිධායකයෝ සසප උද්ඝෝෂකයන්ට ශාරීරික ප්‍රචන්ඩත්වයෙන් තර්ජනය කරමින් කිහිප වතාවක්ම ඔවුන්ට හිරිහැර කල අතර සහභාගිවන්නන්ට උද්ඝෝෂකයන් සමඟ සාකච්ඡා කිරීම තහනම් කලහ.

ඇත්ත වශයෙන්ම, පිටුවහල්ව සිටි දෙමල ජනයාගෙන් ලැබුනු ප්‍රතිචාරයෙන් ඔවුන් කම්පනයට පත් විය. ලන්ඩනයේ පෙලපාලිවලට 100,000 කට වඩා වැඩි පිරිසක් එක්රැස් විය. මහජන ව්‍යාපාරයක් වර්ධනය වනු දැකීමෙන් ඔවුන් කනස්සලු විය. ප්‍රකාශයේ සඳහන් වූ ආකාරයට:

“දෙමල ඊලම් විමුක්ති කොටි හිතවාදී වෙබ් අඩවිය වන ‘පුතිනම්’ පෙබරවාරි 1 වැනිදා “ඉන්දියාව, ඉන්දියාව සහ සියල්ල ඉන්දියාවයි” යන මැයෙන් ලිපියක් පල කලේය. … එය කනගාටුදායක ලෙස, “ධවල මන්දිරය, ඩව්නිං වීදිය, ඔටාවාහි වීදි සහ අනෙකුත් බටහිර අගනගරවල වීදි ඉදිරිපිට අපගේ විරෝධතා, අදාල ආන්ඩුවලට අපහසුතාවයක් පමනක් නිර්මානය කරනු ඇත,” සහ “ඔවුන්ට දැන් කිසිවක් කල නොහැකි වුවද, අපට පසුව බටහිර රාජ්‍යයන්ගේ සහාය අවශ්‍ය වන බැවින් අපි ඔවුන්ට කරදර නොකල යුතුයි...” යනුවෙන් තර්ක කලේය.

අධිරාජ්‍යවාදය සමග ඓතිහාසිකව බද්ධ වී ඇති ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව, එම යුද අපරාධ සිදු කලේ හුදෙක් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා නොව, ඇත්ත වශයෙන්ම ඉන්දීය උප මහද්වීපයේ අධිරාජ්‍යවාදී අවශ්‍යතා වෙනුවෙනි.

ඇත්ත වශයෙන්ම විප්ලවවාදී අරගල දුර්මුඛව තබාගැනීමේ යාන්ත්‍රනයක් වූ ජාතික ආර්ථිකයන් මත පනවා තිබූ සියලු බාධා බිඳ දමමින් ලෝක බැංකුවේ සහ ජාමූඅ හි නියෝග ක්‍රියාත්මක කල පලමු රටවල් අතර ශ්‍රී ලංකාව ද විය. කෙසේ වෙතත්, කම්කරු පන්තියේ විරුද්ධත්වය මතු වීමට පෙර, ජේ.ආර්. ජයවර්ධනගේ එජාප ආන්ඩුවට 1980 ගනන්වල සුලුතර ජනයාට එරෙහිව සිවිල් යුද්ධයක් අවුලුවාලීමට සිදු වූ අතර, ජාමූඅ සහ ලෝක බැංකු නියෝග වලට වෛෂයිකව විරුද්ධ වූ කැරැල්ලකට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන්, අවසානයේ, පන්ති අරගලය මැඩපැවැත්වීම සඳහා යොමු කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග රාජ්‍ය යාන්ත්‍රනයට සපයා දුන්නේය.

කෙසේ වෙතත්, සිවිල් යුද්ධයමත් ගෝලීය ප්‍රාග්ධනය ගලා ඒමට බාධාවක් වූ අතර, ශ්‍රී ලංකාවේ වෙනම දෙමල රාජ්‍යයක පැවැත්ම, ඉන්දියාවේ දකුනේ ප්‍රාන්තය වන තමිල්නාඩුවේ දෙමල ජාතිකවාදය ඇතුලු බෙදුම්වාදී ව්‍යාපාර දිරිමත් කරමින් දේශපාලන අස්ථාවරත්වයක් ඇති කිරීම දෙසට නැඹුරු විය.

බිල් ක්ලින්ටන්ගේ ජනාධිපති ධූර කාලයේ සිටම, චීනයේ නැගී එන බලපෑමට එරෙහිව සහ දකුනු ආසියාවේ තම අවශ්‍යතා සුරක්ෂිත කර ගැනීමට ඉන්දියාව සමඟ උපායමාර්ගික සන්ධානයක් වැදගත් බව එක්සත් ජනපදය ගනන් බලා තිබුනි. ගාසා තීරයේ යුද්ධය ඇත්ත වශයෙන්ම ඉලක්ක කර ඇත්තේ, චීනයට එරෙහි එහි යුද ධාවනයේදී ඉරානය යටත් කර ගැනීමට සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එහි ප්‍රහාරයේ නව පෙරමුනක් විවෘත කර ගැනීමටයි.

උත්ප්‍රාසාත්මක ලෙස, දෙමල පක්ෂවලට අවශ්‍ය වන්නේ තමන් එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් උපාය මාර්ගයේ ප්‍රයෝජනවත් ගෝලයන් ලෙස ඔප්පු කිරීමට ය. සිවිල් යුද්ධයේ ලේවැකි අවසානයෙන් පසුව, දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) සහ අනෙකුත් දෙමල ජාතිකවාදී පක්ෂ, දෙමල පීඩිත ජනතාව මුලුමනින්ම නිරායුධ කිරීම මගින්, සමස්ත විරෝධයම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා පිටුපසට යොමු කලේය.

මෙයින් වඩාත් කැපී පෙනෙන කාරනයක් නම්, 2015 දී එක්සත් ජනපද පිටුබලය ලද සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට පත් වූ විගස, මහින්ද රාජපක්ෂ පාලනයේ අවසන් මාසවල සම්මත කරන ලද යූඑන්එච්ආර්සී යෝජනා යටපත් කිරීමයි.

2009 අප්‍රේල් වන විට එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය 'යුද මුක්ත කලාපයට' කොටු වී සිටින දෙමල ජනයා පිලිබඳ කනස්සල්ලක් මවා පාමින් හැරීමක් ගත්තේය. ශ්‍රී ලංකාව චීනය දෙසට නැඹුරු වීම කෙරෙහි සහ ශ්‍රී ලංකාව තුල ලේ වැගිරීමක් ඉන්දියාව දේශපාලනික වශයෙන් අස්ථාවර කෙරෙන මහජන ව්‍යාපාරයකට තුඩුදියහැකිවීම සම්බන්ධයෙන් ඔවුන් දැක්වූ උත්සුකයන් මෙයට හේතු විය.

2009 අප්‍රේල් 11 වැනි දින ලන්ඩනයේ පැවති විරෝධතා පා ගමන නැවතත් ලක්ෂයකට ආසන්න සෙනගක් ආකර්ෂනය කර ගත්තේ ය. එතැන් පටන් යුද්ධයේ අවසානය තෙක් ලන්ඩනයේ දෛනික පදනමින් පාහේ ස්වයංසිද්ධ සහ සංවිධානාත්මක විරෝධතාවන් පැවැත් වුනි.

අනෙක් අතට, 2009 දී, රාජපක්ෂ ආන්ඩුවට යුද්ධය තීව්‍ර කිරීමටත් සමාජ අයිතීන්ට පහර දීමටත් හැකි වන පරිදි ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති නායකයෝ පන්ති අරගලය මැඩපැවැත්වූහ.

ආන්ඩුවේ දෙමල ජනයාට එරෙහි මිලිටරි ප‍්‍රහාරයට හා සමාජ ප‍්‍රහාරවලට එරෙහිව කම්කරුවන් බලමුලු ගැන්වීමට එකහෙලා සටන් කලේ ශ‍්‍රී ලංකාවේ සසප පමනි. සසප මෙම ඉදිරිදර්ශනය සඳහා උද්ඝෝෂනය කරමින් 2009 පලාත් සභා මැතිවරනයට ඉදිරිපත් විය.

2009 දී දෙමල ජනයාගේ සමූලඝාතනයට විරුද්ධත්වයක් නොතිබූ බවට දැන් ප්‍රචාරය වන ව්‍යාජ තර්කය, සමහර දෙමල ජාතිකවාදීන් විසින් අධිරාජ්‍යවාදී බලවතුන් දෙසට තම නැඹුරුවීම වසන් කිරීමට ගොතන ලද්දකි.

කෙසේ වෙතත්, වර්තමානයේ ධනවාදයේ අර්බුදය 2009 ට වඩා බොහෝ ඉහල මට්ටමකට පැමින තිබේ. ආන්ඩුවේ ප්‍රහාරවලට පිටුපාමින් ගාසා ජන සංහාරයට එරෙහිව ලොව පුරා මහජන විරෝධතා තේරුම් ගත යුත්තේ මෙම සන්දර්භය තුල ය. 2020 ආසන්නයේ දී ලෝසවෙඅ, වත්මන් දශකය සමාජවාදී විප්ලවයේ දශකයක් ලෙස සංලක්ෂිත කල ඉදිරිදර්ශනයක් ප්‍රකාශයට පත් කලේය.

උතුරු හා නැඟෙනහිර පලාත්වල අලුතින් පටන්ගත් දෙමල විරෝධී ව්‍යාපාරය, දැවෙන සමාජ කෝපය, 2022 දී මෙන්, මහජන ව්‍යාපාරය වැලැක්වීම සඳහා වාර්ගික රේඛා ඔස්සේ වෙනතකට යොමු කිරීම අරමුනු කර ඇත. වික්‍රමසිංහ-ශ්‍රීලපොපෙ ආන්ඩුව, ජාමූඅ විසින් ඉල්ලා සිටින සමාජ ප්‍රහාර තව තවත් ඉදිරියට ගෙන යමින් තිබේ. මෙය සිංහල හා දෙමල කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් ඉල්ලා සිටී.

එහෙත් දෙමල ජනතාවට සුවිශේෂ වූ ප්‍රශ්න සහ දෙමල විසඳුමක් පිලිබඳ සූත්‍රය කොරොම්බල් කරමින් ශිෂ්‍ය සංගමය ඇත්ත වශයෙන්ම කරමින් සිටින්නේ, ධනේශ්වර පාලක ප්‍රභූව විසින් දේශපාලන බලය අල්ලාගෙන සිටින යල් පැන ගිය සමාජ ක්‍රමයට එරෙහිව, එනම් සිය පොදු සතුරාට එරෙහිව, සියලු ජනවර්ගවල හා ආගම්වල පීඩිතයන් ගේ එවන් ඒකාබද්ධ අරගලයක් වැලැක්වීමයි.

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) යාපනය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ, ප්‍රතිගාමී ජාතිකවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කර සසජාතශි සමග සම්බන්ධ වී විශ්වවිද්‍යාලය තුල එහි ශාඛාවක් පිහිටුවන ලෙසයි.

Loading