ශ්‍රී ලංකාවේ විදුලි කම්කරුවන් දහස් ගනනක් ආන්ඩුවේ තර්ජන නොතකා පුද්ගලීකරනයට එරෙහිව තෙදිනක් විරෝධතාවයේ යෙදෙති

[මෙය, 'Thousands of Sri Lankan electricity workers hold three-day anti-privatisation protest, defying government threats' යන හිසින් 2024 ජනවාරි 04 දා පල වූ ලිපියේ පරිවර්තනයකි.]

ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) පෞද්ගලීකරනය කිරීමට විරෝධය පල කරමින් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ කම්කරුවන් 26,000ක් පමන ජනවාරි 3දා සිට දින තුනක ලෙඩ නිවාඩු විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කලහ. ඔවුන් එසේ කලේ ආන්ඩුවේ සහ කලමනාකාරීත්වයේ තර්ජන නොතකමිනි.

පෞද්ගලීකරණයට එරෙහිව ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් 2024 ජනවාරි 4 වැනි දින කොළඹදී විරෝධතාවයක නිරත වේ.

බදාදා සහ බ්‍රහස්පතින්දා දෙදින පුරා10,000කට ආසන්න පිරිසක්, රටේ උතුරු හා නැගෙනහිර ද ඇතුලුව, කොලඹ ලංවිම මූලස්ථානයෙන් පිටත පෙලපාලි ගියහ. ආන්ඩුව ප්‍රතිචාර දැක්වූයේ පොලිසිය සහ එහි සන්නද්ධ කැරලි මර්දන බලකාය බලමුලු ගැන්වීමෙනි. නාවික හමුදා සෙබලුන් සිය ගනනක් ජල ප්‍රහාරක රථ සමඟ ද යොදවා තිබුනි.

විදුලි සැපයුම සහ ඉන්ධන නිෂ්පාදනය අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නියෝග යටතේ, රැකියාවට නොපැමිනෙන සහ “මහස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ කෙටි නඩු විභාගයකින් පසු” වරදකරු කරනු ලබන ඕනෑම සේවකයෙකු වසර දෙකේ සිට පහ දක්වා සිරගත කල හැකි අතර, රුපියල් 2,000 ත් 5,000 ත් අතර දඩ මුදලක් හෝ දෙකම පැනවිය හැකිය. ඔවුන්ගේ 'චංචල සහ නිශ්චල දේපල' රජය විසින් අත්පත් කර ගත හැකි අතර ඔවුන්ගේ නම් 'වෘත්තීන් හෝ රැකියා සඳහා පවත්වාගෙන යන ඕනෑම ලේඛනයකින් ඉවත් කල හැකිය.'

ලංවිම වැඩබලන සාමාන්‍යාධිකාරී නරේන්ද්‍ර සිල්වා ජනවාරි 2 වැනිදා සිට සියලුම සේවකයන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කරමින් චක්‍රලේඛයක් නිකුත් කලේය. දෙසැම්බර් 19 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ලංවිම සේවකයින්ට සමාජ මාධ්‍ය වාරනයක් පනවා ඇති අතර, කම්කරුවන්ට “මන්ඩලයේ රහස් තොරතුරු හෙලිදරව් කිරීම”, අපහාසාත්මක, අසත්‍ය හෝ දේශපාලන ප්‍රකාශ හෝ “මිනිසුන් කුපිත කල හැකි සහ ආයතනය අපකීර්තියට පත් කල හැකි ප්‍රකාශ” නිකුත් කිරීම තහනම් කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විදුලිබල මන්ඩල පරිපාලනයේ සියලුම නියෝග පිලිපැදීමට අපොහොසත් වන ඕනෑම සේවකයෙකුට එරෙහිව පියවර ගන්නා ලෙස විදුලිබල මන්ඩලයේ කලමනාකාරිත්වයට උපදෙස් දී තිබේ.

ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව (ජේටීයූසී) විසින් දින තුනක අසනීප නිවාඩු ක්‍රියාමාර්ගය කැඳවන ලදී. එයට සමස්ත ලංකා විදුලි සේවක සංගමය (ඒසීඊඉයූ), සමගි සේවක සංගමය (ඒස්ඊයූ), ශ්‍රී ලංකා නිදහස් විදුලි සේවක සංගමය (එස්එල්එන්එන්ඊයූ), ඉංජිනේරු සංගමය, විදුලි අධිකාරී සංගමය, ලිපිකරුවන්ගේ සංගමය සහ රියදුරු සංගමය ඇතුලත් වේ. ඒසීඊඉයූ, එස්ඊයූ සහ එස්එල්එන්එන්ඊයූ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), සමගි ජන බලවේගය (සජබ) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) විසින් පාලනය කරනු ලැබේ.

වර්ෂාරම්භක සතිය තුල ලංවිම කම්කරුවන්ගේ මෙම ක්‍රියාමාර්ගය, වික්‍රමසිංහ ආන්ඩුවේ විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) නියම කරන ලද කප්පාදු පියවර සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට සම්බන්ධ ප්‍රහාර වලට එරෙහිව වර්ධනය වන කම්කරු පන්තියේ විරුද්ධත්වයේ කොටසකි. වැඩි වැටුප් ඉල්ලා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාමාර්ගවලට විරෝධය පල කරමින් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල රාජ්‍ය අංශයේ කම්කරුවන් මිලියනයක් පමන අරගල මාලාවකට සහභාගී වූහ. මෙම අරගල ජාත්‍යන්තරව කම්කරුවන්ගේ වැඩ වර්ජන හා විරෝධතා සමග සමපාත වේ.

ලංවිම කම්කරුවන්ට එරෙහි ආන්ඩුවේ මර්දනකාරී ක්‍රියාමාර්ග ආපසු කැරකී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද ප්‍රහාරවලට මුහුන දී සිටින කම්කරු පන්තියේ අනෙකුත් කොටස් වෙතද අරගලය පැතිර යාමට තුඩු දෙනු ඇතැයි පාලක ප්‍රභූවේ කන්ඩායම් භීතියට පත්ව ඇත.

ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වීමට සහ ඔහුගේ ආන්ඩුවට ඉවත් වීමට බල කල 2022 මහජන මහජන නැගිටීමේ පාඩම් තේරුම් ගැනීමට වික්‍රමසිංහ ආන්ඩුව අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින් බ්‍රහස්පතින්දා අයිලන්ඩ් හි කතුවැකියක මෙම උත්සුකයන් විස්තර කරන ලදී.

'දඩබ්බර ප්‍රවේශය අත්හරින ලෙස රජයට බලකරමු, විරෝධතාවයේ යෙදෙන ලංවිම වෘත්තීය සමිති නියෝජිතයන් සාකච්ඡා මේසයකට ගෙන විසඳුමකට පැමිනීමට උත්සාහ කරමු' යනුවෙන් පුවත්පත උපදෙස් දුන්නේය. වෙනත් වචන වලින් කිවහොත්, කම්කරු පන්තිය අවහිර කිරීමට සහ පුද්ගලීකරන සැලැස්ම ඉදිරියට ගෙන යාම සහතික කරගනුවස් වෘත්තීය සමිති සමග ගිවිසුමක් ඇති කර ගනිමු. ඇත්ත වශයෙන්ම, ලංවිම වෘත්තීය සමිති දැනටමත් එවැනි පාවාදීමක් සිදුකිරීමට ඇති කැමැත්තකට සංඥා කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් 2024 ජනවාරි 4 වන දින කොළඹින් පිටත ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පවත්වයි.

පෞද්ගලීකරනයට ලංවිම කම්කරුවන්ගේ ඇති ගැඹුරු විරෝධය නිසා වර්ජන හා විරෝධතා කැඳවීමට වෘත්තීය සමිතිවලට බලකෙරී ඇති අතර, වෘත්තීය සමිති තම සාමාජිකයින් වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව සැබෑ අරගලයක් තුල බලමුලු ගැන්වීමට විරුද්ධය. ඔවුන්ගේ අරමුන වන්නේ, ආන්ඩුවට එරෙහි අනාගත අරගල පිලිබඳ වාචාල කයිවාරු ගැසීම් සහ පොරොන්දු තුලින් කම්කරුවන් යටපත් කරන අතරම, සීමිත විරෝධතාවලට සීමා කිරීම ය.

ජේටීයූසී කැඳවුම්කරු සහ ඒසීඊඊයූ ලේකම් රන්ජන් ජයලාල් බදාදා පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ආන්ඩුව පෞද්ගලීකරන පනත වහා හකුලා නොගතහොත් වෘත්තීය සමිති 'විශාල' අරගලයක් සංවිධානය කරන බවයි.

“කංචන විජේසේකර වහාම මෙය (පුද්ගලීකරන පනත) ඉල්ලා අස්කර ගත යුතුයි,” ජයලාල් පැවසීය. “එහෙම බැරි වුනොත් මේ තුන්දින ක්‍රියාමාර්ගයෙන් පස්සේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දවසට අපි පාර්ලිමේන්තු වටරවුමට එනවා. පාර්ලිමේන්තුවේ පනත සම්මත කරන දිනට පෙර දින දහවල් 12 සිට වැඩවර්ජන කිරීමට අපි තීරනය කර තිබෙනවා.”

රජය සතු සමාගමේ කොලඹ මූලස්ථානයෙන් පිටත දී ලංවිම සේවකයින්ට ඊයේ ජයලාල් මෙසේ පැවසීය: “අපිට [රජයේ] චක්‍රලේඛවලින් වැඩක් නැහැ. අපේ අරගලයේදී අපිට මැරෙන්න වුනොත් මරනය සතුටින් භාරගන්න අපි සූදානම්.. අපි මේ අරගලය ජයග්‍රහනයකින් අවසන් කරනවා.”

කම්කරුවන්ගේ විරෝධය පාලනය කිරීමට මංමුලා සහගතව සිටින ජයලාල් සහ අනෙකුත් වෘත්තීය සමිති නායකයින් යලි යලිත් එවැනිම පුහු තර්ජන කර ඇත. අනෙකුත් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති මෙන්ම ලංවිම වෘත්තීය සමිති පෙරමුනද අවධාරනය කර ඇත්තේ හුදකලා විරෝධතා ආන්ඩුවට ගමන් මග වෙනස් කිරීමට බල කෙරෙනු ඇති බවයි.

පනත සම්මත වුවහොත් වෘත්තීය සමිති නීතිමය පියවර ගන්නා බවද ජයලාල් අඟහරුවාදා මාධ්‍ය වෙත පැවසීය. අනාගත නීතිමය තීරනයක් ගැන අනාවැකි කිව නොහැකි බව ඔහු පිලිගත් අතර, පෞද්ගලීකරනය අවහිර නොකරන බව උසාවිය දැනටමත් පැහැදිලි කර ඇත. ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරනය 'ආන්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරනවලට බාධාවක්' නොවන බව අවධාරනය කරමින් සමුපකාර තොග වෙලඳ සංස්ථාවට අනුයුක්තව සේවය කරන කම්කරුවන් සේවයෙන් පහ කිරීමට එරෙහිව වෘත්තීය සමිති විසින් ගොනු කරන ලද පෙත්සමක් ප්‍රතික්ෂේප කර ඇත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති පුද්ගලීකරනයට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයකට විරුද්ධ ය. දෙසැම්බර් 28 වැනිදා විදුලිබල, ටෙලිකොම්, තැපැල්, බැංකු, රක්‍ෂන ආදී රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති 40ක පමන නායකයෝ කොලඹ තැපැල් ශ්‍රවනාගාරයේදී රැස් වූහ.

රැස්වීමේදී, ඔවුන් වංචනික ලෙස කියා සිටියේ, ඒකාබද්ධ සටනක් සංවිධානය කරන බවයි. ආන්ඩුව පෞද්ගලීකරන ප්‍රතිපත්ති අවසන් නොකරන්නේ නම්, තමන් “විශාල, ඒකාබද්ධ අරගලයක්” සංවිධානය කරන බව පසුව මාධ්‍ය වෙත පැවසූහ. මෙම ප්‍රකාශයන්ට පටහැනිව, වෘත්තීය සමිති රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ සටන් කිරීමට ඇති කැමැත්ත සහ අධිෂ්ඨානය හීන කිරීමට තම උපරිමය කරමින් සිටිති.

ලංවිම පුද්ගලීකරනය වනාහි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ආන්ඩුවට නියම කරන ලද ප්‍රතිපත්ති යටතේ පෞද්ගලීකරනයට නියමිත ඛනිජ තෙල් සංස්ථාව, වරාය, දුම්රිය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුලු සිය ගනනක් රාජ්‍ය ව්‍යවසායන්ට අත්වීමට නියමිත ඉරනමේ කොටසකි. ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක ඇපදීමේ නයට හිලව් වශයෙන් ඉටු කල යුතු මෙම ජාමූඅ ඉල්ලීම්, රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ රැකියා මිලියන භාගයක් පමන සෘජුවම විනාශ කිරීමට හේතු වනු ඇත.

කැබිනට් මන්ඩලය විසින් අනුමත කර ඇති වත්මන් සැලැස්ම යටතේ, විදුලිබල මන්ඩලය විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂනය, බෙදා හැරීම, වෙලඳාම, සැපයුම සහ ප්‍රසම්පාදනය පුද්ගලික ආයතන වෙත විකුනා දැමීම සඳහා වෙන් වෙන් කොටස් 14 කට බෙදා ඇත. ජනවාරි 3 වනදා විදුලිබල හා බලශක්ති අමාත්‍ය විජේසේකර ට්විටර් සටහනක් මගින් හෙලිදරව් කලේ සැලැස්ම දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

විපක්ෂයේ සජබ, ජවිපෙ සහ ශ්‍රීලනිප සහ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන විසින් පාලනය කරනු ලබන ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති බහුතරයක් ජාමූඅ හි ඉල්ලීම් වලට විරුද්ධ නැත. තේරී පත් වුවහොත්, ඊනියා පාර්ලිමේන්තු විපක්ෂ මෙම කප්පාදු පියවර නිර්දය ලෙස ක්‍රියාත්මක කරනු ඇත.

ආන්ඩුවේ පුද්ගලීකරන න්‍යාය පත්‍රයට සහ ජාමූඅ හි සියලුම කුරිරු ඉල්ලීම් වලට එරෙහිව සටන් කිරීම සඳහා, කම්කරුවන්ට සටන තමන් අතට ගැනීමට සිදුවේ.

මෙයින් අදහස් කරන්නේ කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරනු ලබන සහ වෘත්තීය සමිති නිලධරයන්ගෙන් සහ සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව, සෑම වැඩපලකම, කම්හලකම, වතුකරයේ සහ නිවහන් ප්‍රදේශයකම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමයි.

අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ ධනේශ්වර ප්‍රභූවට එරෙහිව ග්‍රාමීය දුගීන් පෙලගස්වා ගනිමින් කම්කරු පන්තියේ ඒකාබද්ධ ස්වාධීන දේශපාලන හා කාර්මික අරගලයකි. ධනේශ්වර පාලනය අහෝසි කර සමාජවාදී ප්‍රතිපත්ති වලට කැප වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම එහි අරමුන විය යුතු යි.

Loading