යුද්ධයෙන් විනාශ වූ උතුරු පලාතේ ඩෙංගු රෝගය වේගයෙන් පැතිරෙයි

ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් විනාශ වූ උතුරු පලාතේ මේ වන විට ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානම ඉහල යමින් පවතී. යාපනය දිස්ත්‍රික්කයේ කුඩා දරුවෙකු සහ තරුනයන් දෙදෙනෙකු පසුගිය මාසය තුල රෝගයෙන් මිය ගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ, යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලබමින් සිටි 25 හැවිරිදි ගුනරත්නම් සුපිනා, අචුවේලි හි තෝප්පු ප්‍රදේශයේ 23 හැවිරිදි රවිචන්ද්‍රන් සරුජන් සහ මනිපායි හි තවඩි ප්‍රදේශයේ මාස 11ක් වයසැති මරුදන් ක්‍රිතිස් යන තිදෙනා ය. මේ අතර, නාඳුනන උන රෝගයක් හේතුවෙන් වවුනියාව රෝහලට ඇතුලත් කල 22 හැවිරිදි පිරසංකර් නමැති තරුනයෙකු ද මියගොස් තිබේ.

2023 වසරේ යාපනය ශික්ෂන රෝහල ඩෙංගු රෝගීන් 2505 දෙනෙකුට ප්‍රතිකාර ලබා දී ඇති අතර 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී තවත් පුද්ගලයින් 1000ක් ඩෙංගු රෝගයට ප්‍රතිකාර ලබාගෙන ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී සත්‍යමූර්ති, ජනවාරි 01 දා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කලේය. දෙසැම්බර් මාසයේදී පමනක් ඩෙංගු රෝගීන් 1276 දෙනෙකු හඳුනාගෙන ඇති බව ඔහු එහි දී පැවසීය. මෙම තත්ත්වයන්ට මුහුනදීම සඳහා තාවකාලික වාට්ටු දෙකක් විවෘත කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේය. එමෙන්ම, වැඩි වශයෙන් පීඩාවට පත්වන්නේ පාසල් සිසුන් බවද ඔහු පැවසීය.

දෙසැම්බර් මාසය තුල යාපනය ශික්ෂන රෝහලෙන් පුද්ගලයින් 943 දෙනෙකු ප්‍රතිකාර ලබා ඇති අතර, දරුනු ඩෙංගු රෝගය හේතුවෙන් දිනකට එවැනි රෝගීන් 60-80ක් ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂන රෝහලට ඇතුලත් කර ඇත.

2023 දී සමස්ත දිවයිනම ඩෙංගු රෝගයේ බලපෑමට ලක්ව ඇතිබව වාර්තාවලින් ප්‍රකාශයට පත්වේ. සමස්ත වසර තුල ඩෙංගු රෝගීන් 87,986 ක් හඳුනාගෙන ඇති අතර පසුගිය දෙසැම්බර් මාසයේ පමනක් 11498 කට රෝගය වැලඳී ඇත. ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයින් 335 දෙනෙකු ඩෙංගු රෝගයට ගොදුරු වේ. මේ තත්වය තුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62 ක් ඩෙංගු 'අධි අවදානම්' කලාප ලෙස නම්කර ඇත. මේ දත්ත මගින් පෙන්නුම් කෙරෙන්නේ 2024 වසර තුල ඩෙංගු උවදුර වඩාත් උග්‍රවිය හැකිබවයි.

තත්ත්වය නරක අතට හැරෙද්දී, ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පාලිත මහීපාල “ආසියානු කලාපයේ ඩෙංගු මර්දනය සහ ප්‍රතිකාර අතින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය ඉදිරියෙන්ම සිටී” යනුවෙන් බොරු පුරසාරම් දෙඩවීය. මහීපාල ගේ මෙම ප්‍රකාශයට විපරීතව, ලෝක සෞඛ්‍ය සංවිධානය, වේගයෙන් ම ඩෙංගු පැතිරෙන රටවල් තිහ අතරට ලංකාව ඇතුලත් කලේය.

ඩෙංගු උවදුරෙන් ඉන්දියාව වඩාත්ම තර්ජනයට ලක්ව ඇති අතර, මාසයක් තුල පුද්ගලයින් 1000 කට ඩෙංගු ආසාදනය වී ඇති අතර ඉන් 55 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

මේ තත්ත්වය තුල, ලංකාව ද ඇතුලුව ලොවපුරා රටවල සෞඛ්‍ය බලධාරීන් ආන්ඩුව ආරක්‍ෂා කරමින් වසංගත රෝග පිලිබඳ සම්පූර්න වගකීම මහජනතාව මත පටවති. මහජනයාගේ නොතැකීම වසංගතයට හේතුව බව ඔවුහු පවසති.

මහජන සෞඛ්‍යයට බලපාන මූලික යටිතල පහසුකම් සම්පාදනය කිරීම ආන්ඩුවේ වගකීමකි. දැනට පවතින අධික මෝසම් වර්ෂාව හේතුවෙන් එක්රැස්වන ජලය නිවස්නා ප්‍රදේශ වලින් වහා ඉවත්ව යන පරිදි ජලාපවහන පද්ධතීන් ඉදිකර නොමැති තතු තුල සෑම තැනකම පාහේ ජලය එකතු වේ. පොල් කෝම්බ, හිස්ටින් සහ බෝතල් ආදී අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කවර හෝ විධිමත් සැලසුමක් ආන්ඩුවට හෝ පලාත්පාලන ආයතන වලට නොමැත.

මෙම තත්වය තුල ඩෙංගු රෝගය සම්ප්‍රේෂනය වීමට ප්‍රධාන හේතුව වන මදුරුවන් බෝවීම ඉහල මට්ටමක පවතී. රටේ අනෙකුත් ප්‍රදේශ හා සසඳන විට, යුද්ධයෙන් විනාශ වූ උතුරු සහ නැගෙනහිර පලාත් යටිතල පහසුකම් සහ පාරිසරික සෞඛ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉතා පසුගාමී ය. රෝහල්, පාසල් වැනි රජයේ ගොඩනැගිලිවල සනීපාරක්ෂක තත්ත්වය ඉතා දුර්වල ම්ට්ටමක පවතී.

රජයේ ආදායම් බදු වැඩි කිරීම හේතුවෙන්, වෛද්‍යවරුන් සහ හෙදියන් රට හැර යාම හේතුවෙන් වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ හිඟය උග්‍ර වී ඇති අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය විශාල අර්බුදයකට මුහුන දී ඇත. අනුප්‍රාප්තික ආන්ඩු විසින් දශක ගනනාවක් තිස්සේ කරන ලද කප්පාදු හේතුවෙන් මහජන සෞඛ්‍ය සේවය බිඳවැටීමේ අද්දරට පැමින තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමය පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ගෙන යන කුරිරු කප්පාදු වැඩපිලිවෙල විසින් මෙම තත්වය වඩාත් තීව්‍ර කර ඇත.

රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී යයි. යාපනය ශික්ෂන රෝහලේ වාට්ටු සියල්ල පිරී ඉතිරී යන බැවින් රෝගීන් බිම සහ පුටු මත වාඩි වී සිටිනබව ප්‍රතිකාර ලබා පැමිනි ඇතැම් රෝගීහු පැවසූහ.

ඖෂධ හිඟය සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ හිඟය හේතුවෙන් රෝගීහු දැඩි අවදානමකට මුහුන පා සිටිති. ඩෙංගු රෝගයෙන් මියගිය යාපනය විශ්වවිද්‍යාලයේ ගුනරත්නම් සුපිනා, තෙල්ලිපලෙයි රෝහලට ඇතුලත් කල අවස්ථාවේදී ලබාදුන් එන්නතක් අසාත්මිකවීම හේතුවෙන් මිය ගිය බව පැවසේ. උන වැලඳී යාපනයේ ග්‍රාමීය රෝහලකින් ප්‍රතිකාර ගත් රෝගියකු පැවසුවේ, තමන් ට ලබා දුන්නේ වේදනා නාශක පැනඩෝල් සහ විටමින් සී පෙති පමනක් බවයි.

උතුරේ ප්‍රාථමික හා ප්‍රාදේශීය රෝහල් තිබුන ද මහජනතාවට ගුනාත්මක සහ ප්‍රමානවත් සේවාවන් ලබාදීමට අවශ්‍ය පහසුකම් ඒවායේ නොමැත. ඒ නිසා බොහෝ රෝගීන් යාපනය ශික්ෂන රෝහලට මාරු කල යුතු වෙයි.

උදාහරනයක් ලෙස කයිට්ස් මූලික රෝහලේ තත්ත්වය පිලිබඳව එහි සේවකයකු මෙසේ කීවේය: “නයිනතිව්, පුංගුඩුතිව්, වේලනි, කරෙයිනගර්, අනලතිව් වැනි දූපත් වල ප්‍රාදේශීය රෝහල් සහ මන්ඩයිතිව් සහ එළුවතිව් වැනි ප්‍රාථමික සෞඛ්‍ය සායන සඳහා ප්‍රධාන රෝහල කයිට්ස් මූලික රෝහලයි. එම රෝහලට හෙදියන් 46ක් අවශ්‍යයි; නමුත් මෙහි සේවය කරන්නේ හෙදියන් 18 දෙනයි. අනියම් සේවකයන් 76ක් අවශ්‍යයි. නමුත් මෙතන ඉන්නේ කම්කරුවන් 24යි.”

මෙම රෝහලේ වසංගත රෝග විද්‍යාගාර අංශයට සේවකයන් හතර දෙනෙකු අවශ්‍ය වන නමුත් මෙහි එම අංශයේ සේවය කරන්නේ එක් අයෙකු පමනි. ඔහු නිබාඩු ලබා ගන්නා දින වලදී චාවකච්චේරි, කොප්පෙයි රෝහල් කරා රුධිර සහ මුත්‍රා සාම්පල යැවීමට සිදුවන බව ඔහු පැවසීය.

කයිට්ස් රෝහලේ හෙදියන් සඳහා නවාතැන් පහසුකම් ද ප්‍රමානවත් නොවේ. “දෙතුන් දෙනෙක් එකට ඉන්න තත්ත්වයක් තියෙනවා. හෙද හෙදියන් සඳහා ඇඳුම් මාරු කිරීමේ පහසුකම් ද අඩු යි. ඒ වගේම ඖෂධ හිඟයක් තිබෙනවා. විශේෂයෙන්ම දරුවන්ට අවශ්‍ය ඖෂධ හිඟයි” ඔහු කීවේය.

කරෙයිනගර් ප්‍රාදේශීය රෝහලට ගිය රෝගියෙකු තම අත්දැකීම විස්තර කලේ මෙසේය: “මම මගේ අසනීපය සඳහා රුධිර පරීක්ෂාවක් කිරීමට කරෙයිනගර් රෝහලට ගියා. එහිදී මගේ ලේ එකතු කර පරීක්ෂා කිරීම සඳහා කයිට්ස් රෝහලට යැව්වා. එහි යන්ත්‍රය අලුත්වැඩියා කෙරෙන බැවින්, මගේ ලේ සාම්පලය චාවකචේරි රෝහලට යැවූ බව දැන ගත්තා. පරීක්‍ෂන ප්‍රතිඵල ලබා ගැනීමට කරෙයිනගර් රෝහලට ගිය විට මා ඇතුළු 27 දෙනකුගේ වාර්තා අස්ථාන ගතවී ඇති බව අපට කිව්වා. අපි කොහොමද මේ වගේ ප්‍රතිකාර ගන්නේ?”

මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීමේ සටන අලුත් අවුරුද්දේ කම්කරු පන්ති අරගලවල කේන්ද්‍රය විය යුතු බවට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ අලුත් අවුරුදු ප්‍රකාශය කල අවධාරනයේ නිරවද්‍යතාවය මෙම වර්ධනයන් විසින් සනාථ කරයි. “ජීවිතයට සහ සෞඛ්‍යයට ඇති මූලික අයිතීන් සහ මහජන සෞඛ්‍යය සඳහා සියවස් ගනානාවක් පුරා ගෙන යන අරගලය ඇතුළුව ගැඹුරු සමාජ ගැටලු මෙම සටනේ හදවතේ පවතී.”

Loading