ශ්‍රී ලංකාව: ගාසා තීරයේ යුද්ධය සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ ගොලුවත

[මෙය Sri Lanka: Jaffna University Student Union’s silence on Gaza war යන මැයෙන් 2024 පෙබරවාරි 20 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ගාසා තීරය තුල ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධයෙන් අතිශයින් කම්පනයට පත්ව සිටින ලොව පුරා මිලියන ගනන් කම්කරුවෝ සහ තරුනයෝ යුද ගැටුම අවසන් කරන ලෙස ඉල්ලා සිටිමින්, ඔක්තෝබර් 7 දා සිට ගතවූ සෑම සතියක් පාසාම විරෝධතා දැක්වූහ. බොහෝ කාන්තාවන් සහ ලමුන් ඇතුලු 29,000 කට වැඩි පිරිසක් සමූල ඝාතනය කර ඇත. රෝහල්, පාසල් සහ අනෙකුත් යටිතල පහසුකම් විනාශ වී තිබේ.

ඊශ්‍රායල හමුදාව ආහාර, ජලය, ඉන්ධන, වෛද්‍ය ප්‍රතිකාර සහ විදුලිය ඇතුලු අත්‍යවශ්‍ය සැපයුම් අවහිර කර ඇති අතර එහි ප්‍රතිඵලය වී ඇත්තේ පුලුල්ව පැතිරුනු සාගින්න, රෝග සහ තව තවත් මරන ය. දැන් එය, මිලියන 1.5 ක් පලස්තීනුවන් කෲර තත්වයන් යටතේ ජීවත් වන රෆා වෙත මිනීමරු ප්‍රහාරයක් සූදානම් කරමින් සිටියි.

එක්සත් ජනපදය, සියලු අධිරාජ්‍යවාදී බලවතුන් සමග දේශපාලනිකව හා ද්‍රව්‍යමය වශයෙන්, දැවැන්තව ආයුධ සපයමින් ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ ම්ලේච්ඡ යුද්ධයට පිටුබලය සපයයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ශ්‍රී ලංකා ආන්ඩුව, විපක්ෂයේ සමගි ජන බලවේගය සමග එක්ව, හමාස් සංවිධානය පිලිබඳ එක්සත් ජනපදයේ හෙලා දැකීම් පුනුරුච්ඡාරනය කරමින් ඊශ්‍රායලය සමග පෙලගැසීම පුදුමයට කරුනක් නොවේ. විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන පීඩිත පලස්තීනුවන්ට එරෙහිව පීඩකයා වන ඊශ්‍රායලය සමඟ සැබැවින්ම පෙල ගැසෙමින් ප්‍රකාශ කරන්නේ ගැටුමේ දී තමන් “පැත්තක් නොගන්නා” බව යි.

ඉතිහාසයේ දැවැන්තම අපරාධයක් සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ (ජේයූඑස්යූ) ආකල්පය කුමක්ද: ගොලුවත රැකීමයි!

සසජාතශි සාමාජිකයෝ, 2023 නොවැම්බර්, ශ්‍රී ලංකාවේ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ කතා කරති.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් මේ පිලිබඳ විමසන ලදුව, ජේයූඑස්යූ නායක කේ. තුවාරහාන් ගත් කටටම මෙසේ පැවසීය. “ජාත්‍යන්තර වර්ධනයන් ගැන අප තකන්නේ නැහැ. අපි සලකන්නේ අපේ ප්‍රශ්න, දෙමල ජනතාවගේ ප්‍රශ්න ගැන විතරයි.” වෙනත් වචන වලින් කිවහොත්, 'ගාසාවේ මොනවා සිදුවුවත් අපට වැඩක් නැහැ.'

යාපනය විශ්ව විද්‍යාලයේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් කරන ලද උද්ඝෝෂනයකදී, ජේයූඑස්යූ කවුන්සිලයේ සාමාජිකයෙක් කෙලින් ම මෙසේ ප්‍රකාශ කලේ ය: “දැන් පලස්තීනුවන්ට සහය දක්වන පුලුල් ගෝලීය විරෝධතා ව්‍යාපාරයක් තියෙනවා, නමුත් ශ්‍රී ලංකා ආන්ඩුව යුද්ධයේදී දෙමල ජනයා ඝාතනය කරන විට අපට සහාය වීමට එවැනි ගෝලීය ව්‍යාපාරයක් තිබුනද?”

මෙම ප්‍රකාශයන් තුල ඇති නරුමත්වය පුදුම එලවයි.

ඊශ්‍රායලයේ පලස්තීන ජන සංහාරය සහ 2009 බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ලේ වැකි යුද්ධයේ අවසන් මාස කිහිපය තුල ශ්‍රී ලංකා හමුදාව විසින් දෙමල ජනයාට එරෙහිව සිදු කල ඝාතන අතර පැහැදිලි සමානකම් තිබේ.

එල්ටීටීඊ පාලනය යටතේ පැවති කිලිනොච්චිය, අලිමංකඩ සහ මුලතිව් 2009 ජනවාරි වන විට බිඳ වැටීමෙන් පසු, ශ්‍රී ලංකා හමුදාව ඉතිරිව සිටි එල්ටීටීඊ හමුදා සහ මිලියන භාගයකට ආසන්න දෙමල සිවිල් වැසියන් ගිනිකොනදිග වෙරල තීරයේ වඩවඩාත් කුඩා වන බිම්කඩකට පලවා හරින ලදී.

සිවිල් වැසියන් නිර්දය ලෙස කාලතුවක්කු හා ගුවන් බෝම්බ ප්‍රහාර වලට ලක් විය. ආරක්‍ෂක අමාත්‍යාංශය මිනිසුන්ට ආරක්‍ෂිතව සිටිය හැකි “යුද මුක්ත කලාප” නිවේදනය කල මුත්, පසුව මෙම ප්‍රදේශවලට බෝම්බ හෙලන ලදී. පෙබරවාරි 1 දා පුදුකුඩිඉරිප්පු රෝහලට හමුදාව ෂෙල් ප්‍රහාර එල්ල කරමින්, ඊනියා “යුද මුක්ත කලාපය” තුල පුද්ගලයන් නව දෙනෙකු මරා දමා තවත් 20 දෙනෙකුට තුවාල සිදු කලේය.

පෙබරවාරි 6 වන දින, එම නගරයේම පොන්නම්බලම් අනුස්මරන රෝහලට ද පහර දුන් අතර, පුද්ගලයන් 75 දෙනෙකු පමන මිය ගියේය. ඊශ්‍රායල ජාතිකයන් කල ආකාරයට ම, පසුදින ගුවන් හමුදාව ද මෙම යුද අපරාධය සාධාරනීකරනය කලේ, රෝහල තුල කොටි නායකයකු වූ සූසෙයි සැඟව සිටි බවට බොරු ප්‍රකාශ කරමිනි.

හියුමන් රයිට්ස් වොච් 2008 දෙසැම්බරයේ සිට යුද කලාපයේ සෞඛ්‍ය ආයතනවලට එල්ල වූ ප්‍රහාර 30 ක් ලේඛනගත කර තිබේ. ඊශ්‍රායල හමුදාව පලස්තීන ජනතාව කුසගින්නේ තැබීමට උත්සාහ කරනවා සේම, ශ්‍රී ලංකා හමුදා ද යුද කලාපයේ සිරවී සිටි දෙමල සිවිල් වැසියන්ට සැපයුම් දැඩි ලෙස සීමා කලේය.

2009 මැයි 18 වෙනිදා එල්ටීටීඊ හමුදා බලඇනිවල බිඳවැටීමෙන් පසු යුද්ධය අවසන් විය. යටත් වූ එල්ටීටීඊ නායකයින් ශ්‍රී ලංකා හමුදා විසින් ඝාතනය කරන ලදී. දෙමල සිවිල් වැසියන් 300,000 ක් පමන වවුනියාවේ පිහිටුවා තිබූ හමුදා පාලනය යටතේ පැවති රැඳවුම් කඳවුරුවලට යැවීය. ප්‍රධාන වශයෙන් තරුනයන් 11,000 ක් පමන රහසිගත “පුනරුත්ථාපන මධ්‍යස්ථාන” වෙත ගෙන යන ලදී. ඉන් බොහෝ දෙනෙක් නිකම්ම 'අතුරුදහන්' විය.

කොලඹ ආන්ඩුව සෑම සාහසික ක්‍රියාවක් ම වංක ලෙස ප්‍රතික්‍ෂේප කරමින්, කිසිදු සිවිල් වැසියෙකු මිය ගොස් නැති බව තරයේ ප්‍රකාශ කලේය. කෙසේ වුවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කලේ යුද්ධයේ අවසන් සති කිහිපය තුල පමනක් දෙමල සිවිල් වැසියන් 40,000 ක් සමූලඝාතනය කර ඇති බවයි.

2006 ජූනි 21 බදාදා, ශ්‍රී ලංකා සොල්දාදුවන් යාපනයේ මුර සංචාරයේ යෙදෙමින්. [AP Photo/Eranga Jayawardena]

අද දෙමල තරුනයන් හා කම්කරුවන් අතර පීඩිත පලස්තීනුවන්ගේ දුක්ඛිත තත්වය ගැන සැලකිය යුතු සහානුකම්පාවක් ඇති බවට සැකයක් නැත. යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් අතර නම් එවන් කම්පාවක් නැත.

එපමනක් නොව, ශ්‍රී ලංකාවේ දෙමල ජනයාට එරෙහි ම්ලේච්ඡ ප්‍රහාරයට එරෙහිව 2009 දී ගෝලීය විරෝධතා නොපැවති බව පැවසීම අමූලික බොරුවකි. ශ්‍රී ලංකාවේ මානුෂීය ව්‍යසනයට එරෙහිව ටොරොන්ටෝ, පැරිස්, ලන්ඩන් සහ බර්ලින් යන නගරවල උද්ඝෝෂන ඇවිලී ගියේය.

කෙසේ වෙතත්, එම විරෝධතා කොලඹ වාර්ගික යුද්ධයට එරෙහිව පුලුල්ව පැතිරුනු කෝපය ප්‍රකාශ කල අතර, විරෝධතාවල ආධිපත්‍යය දැරූ දෙමල පක්ෂ සහ සංවිධාන, බටහිර බලවතුන්ට සහ ඉන්දියාවට මැදිහත් වී එය නවත්වන ලෙසට කරන ඉල්ලීම් වලට විරෝධතා සීමා කලේය. කොලඹ කුරිරු මිලිටරි ප්‍රහාරයට පිටුබලය දුන් එම බලවතුන්ට ම ආයාචනා කිරීම මුලුමනින්ම නිෂ්ඵල ය.

පලස්තීන ජන සංහාරය පිලිබඳ ජේයූඑස්යූ හි නිහඬතාවය, එය සමග සමීප සබඳතා ඇති දෙමල පක්ෂවල අධිරාජ්‍ය ගැති දේශපාලනයේ නිෂ්පාදිතයකි. දිවයිනේ උතුරු හා නැගෙනහිර දෙමල ප්‍රභූන්ගේ බලය සහ වරප්‍රසාද ඉහල නැංවීම සඳහා බලය බෙදාගැනීමේ ගිවිසුමකට කොලඹ ආන්ඩුවට බලපෑම් කරන ලෙස, ඔවුන් සියල්ලෝම 'ජාත්‍යන්තර ප්‍රජාවෙන්'—සියල්ලටත් වඩා එක්සත් ජනපදයෙන්—අයැද සිටිති.

මෙම දෙමල පක්ෂ සියල්ලම, වොෂින්ටනය සහ නව දිල්ලිය අමනාප කර ගැනීමට අකමැති බැවින්, ගාසා තීරය සම්බන්ධයෙන් ජේයූඑස්යූ ට සමාන ආස්ථානයක් ගෙන ඇත.

ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ) ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන්, ඔක්තෝබර් 18 දා ගාසා තීරයේ අල්-අහ්ලි අරාබි රෝහලට ඊශ්‍රායල හමුදාව ප්‍රහාරයක් එල්ල කල විට, ට්විටර් හරහා විරෝධතා සටහනක් නිකුත් කලේය. දින දෙකකට පසු ඔහු පාර්ලිමේන්තුවේදී “කලාපය තුල සාමය ඇතිවීමට ඉඩ ලැබේවා' යි හිස් ආයාචනයක් නිකුත් කලේය.

දෙමල ජාතික ජනතා පෙරමුනේ (ටීඑන්පීඑෆ්) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, ඔක්තෝබර් 20 දා පාර්ලිමේන්තුවේදී කතා කරමින්, ඊශ්‍රායලය 'ජන සංහාරයක්' සිදු කරන බව ප්‍රකාශ කරමින්, 2009 දී දෙමල ජනයා මුහුන දුන් තත්වය ගැන අපැහැදිලි සඳහනක් කල මුත්, යුද්ධය අවසන් කරන ලෙස නම් ඉල්ලා සිටියේ නැත.

සියලුම දෙමල පක්ෂ, පලස්තීන ජනතාවගේ වියදමින් දෙවන ලෝක යුද්ධයෙන් පසුව අධිරාජ්‍යවාදී බලවතුන් විසින් අත්තනෝමතික ලෙස පිහිටුවන ලද සියොන්වාදී ඊශ්‍රායල රාජ්‍යය ආරක්ෂා කරති. සුවිශේෂී කාරුන නම්, ඊශ්‍රායලයට එක්සත් ජනපදයේ සහ යුරෝපීය බලවතුන්ගේ සහයෝගය සහ ගාසා තීරයේ එය කරගෙන යන ඝාතන ගැන ඔවුන් කට පියාගෙන සිටීමයි.

යුද්ධය අවසන් වීමෙන් පසු, එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ “මානව අයිතීන්” පිලිබඳ උත්සුකයන් මතු කිරීමට පටන් ගත්තේ, දෙමල, සිංහල හෝ මුස්ලිම් කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳ කිසිදු තැකීමක් නිසා නොව, චීනය සමඟ කොලඹ ආන්ඩුවේ සබඳතා කඩා බිඳ දැමීමට බලපෑම් කිරීමට ය. චීනය සමග යුද්ධයක් සඳහා එක්සත් ජනපදය විසින් මෙහෙයවන යුද සූදානම සමග පෙල ගැසෙමින් සිටි දෙමල පක්ෂ ද එය අනුගමනය කලේය.

ජේයූඑස්යූව ද ඒ සමග පෙලගැසුනි. 2022 සැප්තැම්බරයේ වාර්තාවක, එය, 'එක්සත් රාජධානිය, ඉන්දියාව, ඇමරිකාව සහ ජර්මනිය දෙමල ජනයාට සහයෝගය දැක්වීම සඳහා එක්ව ක්‍රියා කරයි' යනුවෙන් වංචාකාරී ලෙස ප්‍රකාශ කලේය. ඒ අතරම, බීජිනය ශ්‍රී ලංකාව මත සිය ආධිපත්‍යය පැතිරීමට උත්සාහ කරන බව පවසමින්, දෙමල ජනයාගේ අයිතීන් යටපත් කිරීම සඳහා කොලඹට සහාය දීම සම්බන්ධයෙන් එය චීනයට දෝෂාරෝපනය කලේය.

ගාසා තීරයේ සිදුවෙමින් පවතින සමූලඝාතන පිලිබඳ ජේයූඑස්යූහි නිහඬතාවය, දෙමල ජාතිකවාදී දේශපාලනයට එරෙහි අධිචෝදනාවකි. සෑම රටකම කම්කරුවන්ගේ හා තරුනයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා නොකරන අය 'අපේ ජනතාව' ලෙස හඳුන්වන අයගේ අයිතිවාසිකම් ද ආරක්ෂා නොකරති. අධිරාජ්‍යවාදය ඉදිරියේ වැඳ වැටෙන ජේයූඑස්යූ සහ දෙමල පක්ෂ උනන්දු වන්නේ දෙමල ධනේශ්වරයේ ධනය සහ වරප්‍රසාද ගැන පමනි.

ශ්‍රී ලංකා හමුදාව සිය කුරිරු ප්‍රහාර තීව්‍ර කරද්දී 2009 පෙබරවාරියේ ලියන ලද ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල ප්‍රකාශයක්, දෙමල ප්‍රභූ පැලැන්තියේ බංකොලොත් ජාතිකවාදී ඉදිරිදර්ශනය පෙන්වා දෙමින් මෙසේ ප්‍රකාශ කලේය:

දෙමල ඊලම් විමුක්ති කොටි හිතවාදී වෙබ් අඩවියක් වන පුතිනම් පෙබරවාරි 1 දා “ඉන්දියාව, ඉන්දියාව, සියල්ලම ඉන්දියාවයි” යන මාතෘකාවෙන් ලිපියක් පල කලේය. 'ධවල මන්දිරය, ඩව්නිං වීදිය, ඔටාවා හි වීදි සහ අනෙකුත් බටහිර අගනගරවල වීදි ඉදිරිපිට අපගේ විරෝධතා, ඒ ඒ ආන්ඩුවලට අපහසුතාවයක් ඇති කරයි' යනුවෙන් ශෝචනීය ලෙස තර්ක කල එය, 'ඔවුන්ට දැන් කිසිවක් කල නොහැකි වුවද, අපට පසුව බටහිර රාජ්‍යයන්ගේ සහාය අවශ්‍ය වේ, එබැවින් අපි ඔවුන්ට කරදර නොකල යුතු වෙමු...' යයි අයැද සිටියේය.

අධිරාජ්‍යවාදී බලවතුන් සහ ඉන්දියාව ඔවුන්ගේ ගැලවුම්කරුවන් ලෙස සැලකීමට සැමවිටම නැඹුරු වූ දෙමල ජාතිකවාදී දේශපාලනය ගැන පුතිනම් ලිපිය වෙලුම් ගනනක හෙලිදරව්වකි.. එය දෙමල ඩයස්පෝරාවෙන් ඉල්ලා සිටියේ, ඔවුන්ගේ අධිරාජ්‍යවාදී ස්වාමිවරුන් 'ලැජ්ජාවට පත් නොකරන' ලෙසත්, ඔවුන්ට සේවය කරන ලෙස සහ ඔවුන්ගේ සහාය ලබා ගන්නා ලෙසත් ය. ඔවුන් අද කරන්නේත් හරියටම එයයි: ඊශ්‍රායලයේ ජන සංහාරයට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ලබා දෙන සහයෝගය ගැන ලැජ්ජාවට පත් නොකර, ඔවුහු පාත්තරයට ඉඳුල් ටිකක් වැටෙතැයි යන නිෂ්ඵල බලාපොරොත්තුවෙන් සිටිති.

ජාත්‍යන්තර කර්තෘ මන්ඩල ප්‍රකාශය මෙසේ පැහැදිලි කලේය: “ශ්‍රී ලංකාවේ සහ අධිරාජ්‍යවාදී රටවල ඩයස්පෝරාවේ දෙමල ජනතාවගේ මිතුරන් වන්නේ කම්කරු පන්තිය යි. අධිරාජ්‍යවාදී ලෝක පර්යායට එරෙහි අරගලයේ කොටසක් ලෙස යුද්ධය අවසන් කිරීම, ශ්‍රී ලංකාවේ ධනේශ්වර රාජ්‍යය පෙරලා දැමීම සහ දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහතික කිරීම සඳහා බලය ඇති සහ පන්ති අවශ්‍යතා ඇති එකම සමාජ බලවේගය එයයි.”

අද ශ්‍රී ලංකාවේ, මැද පෙරදිග හා ලොව පුරා සිටින කම්කරුවන් හා තරුනයින්, ශ්‍රී ලංකාවේ දිග්ගැස්සුනු වාර්ගික යුද්ධයේ ලේ වැකි අවසානයෙන් අවශ්‍ය දේශපාලන පාඩම් උකහා ගත යුතුව ඇත. මූලික ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් ගාසා තීරයේ, ශ්‍රී ලංකාවේ හෝ වෙනත් කිසිම තැනක අධිරාජ්‍යවාදයට කන්නලව් කිරීමෙන් ආරක්ෂා කරගත නොහැක. ඒ වෙනුවට දිශානතිය විය යුත්තේ ධනවාදයට අවසන් තිත තැබීම සඳහා සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත අධිරාජ්‍යවාදයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ගොඩනැගීමයි.

අන් සියල්ලටත් වඩා, මෙයින් අදහස් කරන්නේ ජාතිය, ආගම හෝ වාර්ගික පදනම මත කම්කරුවන් බෙදීමට සේවය කරන සියලු ආකාරයේ ජාතිකවාදය සහ වර්ගවාදය ප්‍රතික්ෂේප කිරීමයි. කොලඹ දේශපාලන සංස්ථාපිතයේ සිංහල ස්වෝත්තමවාදය මෙන්ම ජේයූඑස්යූ සහ දෙමල ධනේශ්වර පක්ෂ විසින් අනුයන දෙමල ජාතිකවාදය ද කම්කරු පන්තියට ව්‍යසනයක් බව ඔප්පු වී හමාරය.

පලස්තීනුවන්ට එරෙහිව එක්සත් ජනපදයේ පිටුබලය ලබන සියොන්වාදී තන්ත්‍රය විසින් ගෙනයන ජන සංහාරයට එරෙහිව අප හා එක්වන ලෙසත්, අධිරාජ්‍යවාදී පීඩනය සහ ලෝක යුද්ධයක් කරා ධාවනය අවසන් කිරීමට කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීමට උදව් කරන ලෙසත් අපි දෙමල, මුස්ලිම් සහ සිංහල කම්කරුවන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

Loading