ඉදිරිදර්ශන

ඇකඩමි සම්මාන උලෙලේදී ඔපන්හයිමර් චිත්‍රපටයේ ජයග්‍රහනය

[මෙය Oppenheimer’s victory at the Academy Awards යන මැයෙන් 2024 මාර්තු 11 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ඇකඩමි සම්මාන උලෙලේදී ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ ඔපන්හයිමර් චිත්‍රපටයෙහි පුලුල් සාර්ථකත්වයට සැබෑ සහ දුරදිග යන අර්ථභාරයක් පවතී.

'පරමානු බෝම්බයේ පියා' ලෙස හඳුන්වනු ලබන න්‍යායාත්මක භෞතික විද්‍යාඥ ජේ. රොබට් ඔපන්හයිමර් (1904-1967) ගේ ජීවිතය සහ වෘත්තිය පිලිබඳ චරිතාපදාන චිත්‍රපටය, හොඳම චිත්‍රපටය, අධ්‍යක්ෂක, ප්‍රධාන සහ සහය නලුවා, කැමරාකරනය, සංස්කරනය සහ සංගීතයේ කාර්යසාධනය වෙනුවෙන්, උචිත ලෙස ම ඉරිදා (10) වැදගත් ගෞරව සම්මාන හතක් දිනා ගත්තේය.

ඔපන්හයිමර් හි සිලියන් මර්ෆි

චිත්‍රපටය පැතිර පවත්නා මානයන් සමාජමය වශයෙන් අර්ථාන්විත ය. නෝලන්ගේ නිර්මානය දැන් රටවල් දුසිම් ගනනක මිලියන 100 කට අධික ජනතාවක් විසින් නරඹා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් බිලියනයක බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ඇත; ජාත්‍යන්තරව චිත්‍රපට සම්මාන 333 ක් හිමි කරගෙන ඇත.

දීර්ඝ, බුද්ධිමය වශයෙන් අවධානග්‍රාහී සහ කලාත්මක වශයෙන් ආකීර්න නිර්මානයක් සඳහා මේ මට්ටමේ අර්ථසාධනයක් නොඇසූ තරම් ය. මහජනතාව සමඟ ඔපන්හයිමර් හි, පිලිස්තීනු විචාරකයන්ට අනුව 'විස්මිත' සහ 'අනපේක්ෂිත' විශිෂ්ට සාර්ථකත්වය, දශක ගනනාවක යුද්ධය, සමාජ පරිහානිය සහ ප්‍රජාතන්ත්‍රවාදයට වල කැපීම මෙන්ම න්‍යෂ්ටික වහ්නිජාලාව ඇතුලු වඩාත් පුලුල් හා ව්‍යසනකාරී ගැටුම්වලට ප්‍රතිචාර වශයෙන්, චින්තනයේ සහ හැඟීම්වල සිදුව ඇති අනුක වෙනස්වීම් පිලිබිඹු කරයි. මෙය කලාකරුවන් හෝ සාමාන්‍ය ජනතාව අතර දේශපාලනිකව ප්‍රකාශිත හැඟීමක් නොවේ, නමුත් එය අවිවාදයෙන්ම පුලුල් කාංසාව සහ බලගතු සංස්ථාපිත-විරෝධී අතෘප්තිය ගැන කථා කරයි.

උත්ප්‍රාසාත්මක ලෙස, හරියටම නෝලන්ගේ චිත්‍රපටය විවිධ බුහුමන් ලබන එම මොහොතේදී ම, බයිඩන් පරිපාලනය සහ එහි නැටෝ සහචරයින් රුසියාව සමඟ කෙතරම් සාහසික ව්‍යසනකාරී න්‍යෂ්ටික යුද්ධයක් සඳහා සූදානම් ව තිබේද යන්න පිලිබඳව මහජනතාව දැනුවත් විය. ඔපන්හයිමර් කෙරෙහි ඇති උනන්දුව, එවැනි බිහිසුනු, ලේවැකි වර්ධනයක් සඳහා මහජන සහයෝගයක් නොමැති බවට එක් දර්ශකයකි.

ඇත්ත වශයෙන්ම, නෝලන්ගේ චිත්‍රපටයට පුලුල් ප්‍රේක්ෂක පදනමක් ඇත. පෙබරවාරි අග දී කරන ලද යූගොව් (YouGov) සමීක්ෂනයක් ඇස්තමේන්තු කර ඇත්තේ, ඇමරිකානු ජනගහනයෙන් සියයට 22 ක් (එනම් වැඩිහිටියන් මිලියන 50 කට වඩා වැඩි සංඛ්‍යාවක් වනු ඇත) චිත්‍රපටය නරඹා ඇති බව යි; සියයට 90 ක් එයට “ආදරය” හෝ “කැමත්ත” ප්‍රකාශ කර ඇත; ජනමත විමසන්නන්ට අනුව, බොහෝ ඇමරිකානුවන් 'වෙනත් ඕනෑම නම්කල චිත්‍රපටයකට වඩා එය [හොඳම චිත්‍රපටයට හිමි සම්මානය] දිනාගත යුතු' යැයි පැවසූ අතර 'දිනනු ඇත්තේ කවුද' සඳහාද එයම සත්‍ය වේ. බොහෝ දෙනාට ඔපන්හයිමර් හෝ චිත්‍රපටයේ නිරූපිත ඓතිහාසික සිදුවීම් පිලිබඳ පුලුල් දැනුමක් නැත, නමුත් පැහැදිලිවම මෙම කරුනු සමඟ පොරබැදීම අත්‍යවශ්‍ය සහ හදිසි අවශ්‍යතාවයක් බවට ගැඹුරු හැඟීමක් තිබේ.

ඇකඩමි සම්මාන යනු කලාත්මක විශිෂ්ටත්වය හෝ ස්ථිරසාර ප්‍රගතිශීලී සමාජ අදහස් සම්බන්ධයෙන් කුප්‍රකට විශ්වාස කල නොහැකි බැරෝමීටරයකි. ඡන්දයෙන් ප්‍රකාශ වන්නේ, වාර්ගික හා අනන්‍යතා දේශපාලනය ඇතුලු සාධක රාශියකට හසු විය හැකි යම් සුලු-ධනේශ්වර සමාජ ස්ථරයක අදහස් ය. මෙවර ඇකඩමියේ සාමාජිකයින් 10,000 ක් පමන ඡන්දය ප්‍රකාශ කිරීම, ප්‍රතිඵලය වඩාත් විශ්වාසනීය බවට පත් කරනවා පමනි. අන් සියල්ලටම වඩා, සම්මාන මගින්, ඔපන්හයිමර් ගෝලීය සංස්කෘතික හා සමාජීය සංසිද්ධියක් බවට පත් වූ මාස අටක ක්‍රියාවලිය තහවුරු කර සම්පින්ඩනය කරයි.

ඉරිදා සිදුවීම සාපේක්ෂ වශයෙන් නිහඬය. ප්‍රථමයෙන්, 'රෆා දෙස බලනු', 'ඔබ බලා සිටින විට, බෝම්බ හෙලයි', 'ගාසා වැසියන්ට ජීවත් වීමට ඉඩ දෙනු' සහ 'ජන සංහාරය නොසලකා හරින කලාවෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?' යනුවෙන් සඳහන් පුවරු අතැතිව, “ජන සංහාරය අතරතුර ඔස්කාර් සම්මාන එපා!” සහ “සටන් විරාමයක්! මේ දැන්!' යනුවෙන් හඬ නඟමින් ගාසා තීරයේ සිදුවෙමින් පවතින ඊශ්‍රායල සමූහ ඝාතනයට විරෝධය පල කරන, කෝපයට පත් ජනකායකට මුහුන දීමට සහභාගිවූවන්ට සිදු විය. ලොස් ඇන්ජලීස් පොලිසිය විසින් විරෝධතාකරුවන් ඉවතට තල්ලු කිරීමට පෙර, රථවාහන ගමනාගමනය තාවකාලිකව අවහිර කල අතර සම්මාන උලෙල ආරම්භ කිරීම ප්‍රමාද කලේය. නලු මාර්ක් රුෆලෝ එම ස්ථානයට ඇතුලුවූයේ, “පලස්තීන විරෝධය අද රාත්‍රි ඔස්කාර් සම්මාන උලෙල වසා දමනු ඇත. මනුෂ්‍යත්වය දිනේවා!” යනුවෙන් කෑගසමිනි.

පැමින සිටි අය, ඔක්තෝබර් මාසයේ විවෘත ලිපියක් නිකුත් කල නලුවන් සහ තවත් අයගෙන් සමන්විත කන්ඩායමක් වන Artists4Ceasefire (සටන් විරාමයක් සඳහා කලාකරුවෝ) ට සහය දක්වමින්, සමූහ ඝාතනය වහාම නතර කරන ලෙස ආයාචනා කරමින් ඇකඩමි සම්මාන උලෙලේදී රක්ත වර්න විරෝධතා සංකේත (red pins) පැලඳ සිටියහ. හොඳම මුල් (original) ගීතයට හිමි සම්මානය දිනාගත් ගායිකාවක් වන බිලී අයිලිෂ්, ඇගේ සොහොයුරු ෆිනියාස්, රෆලෝ, මහර්ෂලා අලි, රමී යූසෙෆ්, ආවා ඩුවර්නේ, රිස් අහමඩ්, ස්වෝන් අර්ලෝඩ් සහ තවත් අය සමඟ එම අල්පෙනෙති පැලඳ සිටියාය.

වේදිකාවේදී, නලු සිලියන් මර්ෆි, ඔපන්හයිමර් සඳහා හොඳම නලුවාට හිමි සම්මානය පිලිගනිමින්, “අපි හැමෝම ජීවත් වන්නේ ඔපන්හයිමර්ගේ ලෝකයක—මම මෙය සෑම තැනකම සාමය ඇති කරන්නන් වෙනුවෙන් කැප කිරීමට කැමතියි,” යනුවෙන් පැවසීය.

අධ්‍යක්ෂ ජොනතන් ග්ලේසර්, අවුෂ්විට්ස් හි අනදෙන නිලධාරියා පිලිබඳ ඔහුගේ ද සෝන් ඔෆ් ඉන්ටරස්ට් චිත්‍රපටිය සඳහා සම්මානය ලබා ගත් අතර ඔහු සහ වේදිකාවේ සිටින ඔහුගේ සගයන් වෙනුවෙන් ලිඛිත ප්‍රකාශයක් කියැවීය:

අප මෙම සියලු තේරීම් කරනු ලැබුවේ, අපගේ වර්තමානය පිලිබිඹු කිරීමට සහ එයට මුහුන දීම සඳහා ය. 'එදා ඔවුන් කල දේ බලන්න' යැයි නොකියනු—ඒ වෙනුවට, 'අපි දැන් කරන දේ බලන්න.' අමානුෂිකකරනය එහි නරකම තැනට ‌යොමු වන්නේ කොතැනද යන්න අපගේ චිත්‍රපටය පෙන්වයි. එය අපගේ සමස්ත අතීතය සහ වර්තමානය හැඩගස්වා ඇත.

මේ මොහොතේ අප මෙහි සිටින්නේ, බොහෝ අහිංසක මිනිසුන්ට එරෙහි එදිරිවාදිකමි වලට තුඩු දුන් වාඩිලෑමක් සඳහා තම යුදෙව්භාවය සහ හොලෝකෝස්ටය (සමූලඝාතනය) යොදා ගැනීම ප්‍රතික්ෂේප කරන මිනිසුන් ලෙසයි. ඔක්තෝබර් 7 ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයේ හෝ ගාසා තීරයට දැන් එල්ල වන ප්‍රහාරයන්ගේ සියලු වින්දිතයෝ මෙම අමානුෂිකකරනයේ ගොදුරු වෙති. අප මෙයට විරුද්ධ වන්නේ කෙසේද?

බොහෝ විට වැරදි ලෙස උපුටා දක්වන ලද හෝ සන්දර්භයෙන් ගලවා ඉවත් කරන ලද ග්ලේසර්ගේ ප්‍රකාශ, සියොන්වාද-ගැති කොටස්වල දැඩි ප්‍රහාරයට ලක්ව ඇත.

සමස්තයක් ලෙස ගත් කල, සම්මාන උලෙල විසින් නරඹන්නාට විශාල සමාජ හා මානසික ආතතියක් ඇති කලේය. සහභාගිවූවෝ, විශාල වශයෙන්, තවමත්, සිත්වල බොහෝ දේ සිර කරගෙන සිටියහ. ට්‍රම්ප්ට සහ (සත්කාරක ජිමී කිමෙල් විසින් සමච්චල් කරන ලද) රිපබ්ලිකන් ෆැසිස්ට්වාදීන්ට පමනක් නොව, යුදවාදී බයිඩන්ට ද එරෙහිව පුලුල්ව පැතිරුනු විරුද්ධත්වයක් පවතී. එහෙත් එම සතුරුකම තවමත් පැහැදිලි දේශපාලන ප්‍රකාශනයක් සොයාගෙන නොමැත.

සංන්දර්ශනයේදී බාහිර ඔපය සහ මමායනය තිබුනේ වෙනදාට වඩා අඩුවෙනි. සිදුවෙමින් පවතින සිදුවීම් සහ ඔපන්හයිමර් හි පැවැත්ම සහ කේන්ද්‍රීයත්වය, සහ එක්තරා දුරකට, පුවර් තිංග්ස් (උචිත ලෙසට ම සම්මාන 17 න් 11 ක් චිත්‍රපට දෙක අතර බෙදී ගියේය), සාමාන්‍යයෙන් උත්සවය ඉහල නැංවීමට ක්‍රියා කල නමුත්, අපරිනත ලක්ෂන පැවතුනි. සියලු නන්දෙඩවිලි තිබියදී, සුදුසු ලෙසටම, (අයිලිෂ්ගේ ගීතය හැර) බාර්බි (Barbie) කිසිවක් දිනා ගත්තේ නැත.

ඔපන්හයිමර් මතු කරන ප්‍රශ්න ඉමහත් බලගතු වූ අතර, පැහැදිලිවම ප්‍රේක්ෂකයන් තුල කෙතරම් ප්‍රබල ප්‍රතිචාරයක් අවුලුවාලූයේද යත්, අනන්‍යතා දේශපාලන උන්මත්තකයන් ඉරිදා සිදුවීමෙන් පසු සාපේක්ෂ වශයෙන් නිහඬව සිටියහ; නැතහොත් ඔවුන්ගේ ප්‍රතිගාමී ඝෝෂාවට වාතාවරනය හිතකර නොවන බව තේරුම් ගත්හ. හොලිවුඩයේ නව, අප්‍රසන්න 'විවිධත්වයේ' නීති සහ එයට හිමි සලාක දැන් ක්‍රියාත්මක වුව ද, මේ අවස්ථාවේදී චිත්‍රපට නිෂ්පාදන ඒවා මග හැරීමට මාර්ග සොයාගෙන තිබේ. නමුත්, එය සැමවිටම එසේ නොවිය හැක.

නෝලන්ගේ චිත්‍රපටයේ උදාහරනය නැවතත් පෙන්වා දෙන්නේ, චිත්‍රපටකරනය යනු, ප්‍රධාන නිෂ්පාදනයක, සිය ගනනක සහ ඇතැම් විට දහස් ගනනක පවා ප්‍රයත්නයන් සහ කුසලතාවන් ඇතුලත් වන දැවැන්ත, සංකීර්න, සාමූහික කලා මාධ්‍යයක් බව ය. චිත්තාකර්ශනීය සහ සහ සංගතික හැඟීමක් දනවන, කලාත්මකව නිමැවූ කෘතියක් නිෂ්පාදනය කිරීම දැවැන්ත කාර්යයකි.

වැදගත් නිර්මාන දැනටමත් සිදුවෙමින් පවතී. හොඳම කලාකරුවන්ට සමහර මහා සමාජ ගැටලු පිලිබඳ තියුනු, ප්‍රතිභාසම්පන්න අවබෝධයක් ඇත. උදාහරනයක් ලෙස, ඔපන්හයිමර් හි හැරී ටෲමන් (ගැරී ඕල්ඩ්මන්) සම්බන්ධ කෙටි සිදුවීම් පෙල, නෝලන්ගේම දෘෂ්ටිකෝනයෙන් ඔබ්බට යන ආකාරයෙන්, ඇමරිකානු ජනාධිපතිවරයා කුරිරු යුද අපරාධකරුවෙකු බව හෙලි කරයි. ඒවා තුල පවතින කලා කෞෂල්‍යය මේ අවස්ථාවේ දී කලාකරුවන්ගේමත් අවබෝධය අභිබවා යයි. නමුත්, අවබෝධය යනු ‌වර්ධනය වන්නක් බව අවිවාදිතය.

ගැටලුව වන්නේ ධනවාදය බවට වැඩෙන හැඟීමක් බොහෝ කලාකරුවන්ට ඇති බව කෙනෙකුට පැවසිය හැකිය; නමුත් ධනවාදයෙහි නොවිසඳිය හැකි ප්‍රතිවිරෝධතාවල නියම ස්වභාවය සහ, සියල්ලටත් වඩා, පිලියමේ ස්වභාවය ඔවුන්ගේ විඥානයෙන් පරිබාහිරව පවතී.

ලියොන් ට්‍රොට්ස්කි පෙන්වා දුන් පරිදි, කලාව 'අඳුරු හා නො පැහැදිලි මනෝගතීන් සඳහා අවශ්‍ය වචන රිද්මයක් සොයා ගනී; එය චින්තා හා හැඟීම් සමීප කරයි. නැත හොත් ඒ එකිනෙක අතර වෙනස දක්වයි; එය පුද්ගලයාගේ ද ප්‍රජාගණයේ ද ආධ්‍යාත්මික අනුභූතිය ආඪ්‍ය කරයි; එය හැඟීම් පිරිපහදු කරයි; ඒවා වඩාත් සුනම්‍ය බවට ද වඩාත් ප්‍රතිචාරී බවට ද පත් කරයි; එය කල්තියා ම චින්තා සම්භාරය විශාලිත කරයි - එසේ කරන්නේ අත්දැකීම් රැස් කර ගැනීමේ පෞද්ගලික විධික්‍රමයෙන් නො වේ; එය පුද්ගලයා ද සමාජ කණ්ඩායම ද පන්තිය හා ජාතිය ද අධ්‍යයනය කරවයි.'

('සාහිත්‍යය හා විප්ලවය', පරි. සුචරිත ගම්ලත්)

සිදුවීම්, නව ආවේගයන් නිර්මානය කරමින්, 'උපවිඥානයේ කවචය' බිඳ දමයි. චිත්‍රපට නිෂ්පාදකයින් සහ අනෙකුත් කලාකරුවන් තුල, තවමත් ලෝකය පිලිබඳ ඔවුන්ගේ අවබෝධය නිශ්චිත ලෙස දේශපාලනික වශයෙන් සකස් වී නොමැති වුවද, ගාසා තීරයේ බිහිසුනු බව අවිවාදයෙන් ම බොහෝ දෑස් විවර කරයි. එය වඩාත් සංකීර්න, දිග්ගැස්සුනු ක්‍රියාවලියකි. සියල්ලටත් වඩා, එය රඳා පවතින්නේ මහජනතාවගේ දේශපාලන වර්ධනය සහ ධනවාදයේ අත්තිවාරම්වලට සෘජුව හා දැනුවත්ව පහර දෙන කම්කරු පන්තියේ ව්‍යාපාරයක් පැන නැගීම මත ය. එය පැමිනෙනු ඇත. ඉරිදා සිදුවීම කැපී පෙනෙන ඉම් ලකුනකි.

Loading