ඉදිරිදර්ශන

“මනුෂ්‍යත්වයට එරෙහි යුද්ධයක්”: මාස හයක ගාසා ජනසංහාරය

(මෙය A “war against humanity”: Six months of the Gaza genocide මැයෙන් 2024 අප්‍රේල් 8දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)

ගාසා තීරය තුල එක්සත් ජනපද-ඊස්රායල ජනසංහාරය ආරම්භ කිරීමේ සිට මාස හයක් සැපිරීම අප්‍රේල් 7දා සනිටුහන් කලේ ය.

යන්තම් අර්ධ වසරක පරාසය තුල, ඊස්රායලය, ගාසා තීරයේ මිලියන 2.2ක ජනයාගෙන් මිලියන 1.9ක් අවතැන් කලේ ය. ඒ එහි සමස්ත ජනගහනයට ම ආහාර, ජලය හා සෞඛ්‍යාරක්ෂනයට ප්‍රවේශය අහිමි කරමින් සහ දසදහස් ගනනක් ජනයා මරනයට තල්ලුකෙරෙන, දෛනික මෙන්ම සැලසුම්සහගතව සංහාරයන් සිදුකරමිනි.

2024 අප්‍රේල් 4 බ්‍රහස්පතින්දා දකුනු ගාසා තීරයේ රෆා නගරයේ රෝහලක මෘත ශරීරාගාරයක දී, ගාසා තීරයට බෝම්බ හෙලීම හේතුවෙන් මරා දැමුනු තම දියනියන් දෙදෙනාගේ සිරුරු අසල හඬා වැටෙන අශ්රාෆ් අබූ ද්රාස්. (ඒපී ඡායාරූප/ෆාතිමා ශ්බායිර් ) [AP Photo/Fatima Shbair]

මේවනවිට සිදුව ඇති මරන සංඛ්‍යාව 33,137 කි. අතුරුදන් වූවන් එකතු කල විට, සැබෑ මරන සංඛ්‍යාව 44,000ට වඩා බෙහෙවින් වැඩි වනු ඇත. තවත් පුද්ගලයින් 75,815ක් තුවාල ලබා තිබේ.

හරියටම මාස හයක කාලය තුලදී, ගාසාවේ ජනගහනයෙන් සියයට 5.45ක් එක්කෝ මරා දමා, නැතහොත් තුවාලවල බඳුන් කර හෝ අතුරුදන් කර ඇත. මෙම සංඛ්‍යාව, ඇමරිකානු ජනගහනය හා සන්සන්දනාත්මක ප්‍රතිශතයක් ලෙස ගන්නේ නම් , දසලක්ෂ 18කට වැඩි මිනිසුන් සංඛ්‍යාවකි.

මේ සියල්ලෙන්ම වඩාත් කම්පනය දනවන කාරනාව වන්නේ, මරා දමන ලද අයගෙන් තුනෙන් දෙකක් ම කාන්තාවන් හා ලමුන් වීම යි. සෞඛ්‍ය සේවකයින්, මානුෂීය ආධාර බෙදන කම්කරුවන්, ජනමාධ්‍යවේදීන් හා කලාකරුවන් ඊස්රායලය විසින් හිතා මතා ම ඉලක්ක කර ඇත. වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් (ආහාර ආධාර දෙන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක්-පරි) ආරම්භක ජෝස් අන්ද්‍රේස් ඉරිදා කී පරිදි, ඊස්රායලය “මනුෂ්‍යත්වයට එරෙහි යුද්ධයක්” දියත් කරමින් සිටී.

ගෙවී ගිය මාස හයක කාලය තුල, බෝම්බ දැමීම, ආක්‍රමනය හා ගාසාව අවහිර කිරීම සාධාරනීකරනය කරනු වස්, එක්සත් ජනපද-ඊස්රායල සන්ධානය ඉදිරිපත් කරන සෑම කාරනාවක් ම මුසාවක් වසයෙන් හෙලිදරව්වී ඇත .

ඔක්තෝබර් 7දා දේශසීමා හරහා හමාස් සංවිධානය කල කඩා පැනීමෙන් සති ගනනක් ඇතුලත හෙලිදරවු වූයේ, යුද්ධය සඳහා කඩතුරාව ලෙස සේවය ඔක්තෝබර් 7 ප්‍රහාරයේ සමස්ත මෙහෙයුම් සැලසුම ඊස්රායලය සතු ව තිබුනු බව යි. මෙම පූර්ව දැනුවත්කම තිබියදීම, ප්‍රහාරයට කලින් ක්ෂනිකවම ගාසා තීරයේ සිට මිලිටරි බලවේග ක්ෂනිකව දිගේලි නොකර ඔවුන්ට පසුබා සිටීමට නියෝග කොට තිබිනි.

දවස් කිහිපයක් තුල, ඊස්රායල මිලිටරිය ගාසාවේ ජනගහනයට එරෙහි ව දීර්ඝක-කාලයක් තිස්සේ සැලසුම් කර තිබුනු ජනසංහාරය ක්‍රියාවට දැමී ය. “අපි සටන් කරමින් සිටින්නේ මිනිස් සත්ත්වයන්ට එරෙහි ව, අපි ක්‍රියා කරන්නේ ඒ අනුව” යි ඔක්තෝබර් 9දා ඊස්රායල ආරක්ෂක ඇමති යෝව් ගැලන්ට් ප්‍රකාශ කලේ ය. “ගාසා තීරය සම්පූර්නයෙන් වටලෑමට මම නියෝග කර තිබෙනවා. විදුලිබලය, ආහාර, ඉන්ධන එහි නො තිබේවි.”

ප්‍රහාරයෙන් යන්තම් දවස් හතරකට පසුව, ඊස්රායල ජනාධිපති අයිසැක් හර්ට්සොග් මෙසේ ප්‍රකාශ කලේ ය: “මෙයට වගකීම දරන සමස්ථ ජාතියක්ම සිටිනවා. (මෙම ප්‍රහාරය ගැන) සිවිල් වැසියන් දැන සිටියේ නැත සහ ඔවුන් මෙයට සම්බන්ධ නැතයි යනාදී වසයෙන් කෙරෙන මෙම පූච්චානම සත්‍යයක් නො වෙයි... ඔවුන්ගේ කොඳු කඩන තෙක් අපි සටන් කරනවා.” කෘෂිකර්ම ඇමති අවි දික්ටර් මෙසේ ප්‍රකාශ කලේ ය: “අපි ගාසා නක්බාව ක්‍රියාත්මක කරනවා” -මෙහි නක්බාව යනු, 1947-48 සමයේ ඊස්රායල රාජ්‍යය නිර්මානය කරන විට සිදුකල ආරම්භක වාර්ගිකවිශුද්ධිකරනය පිලිබඳ සැඳහුමකි.

ජනසංහාරක අභිප්‍රායය ගැන මෙම ප්‍රකාශයන් සිදු කිරීමෙන් අනතුරු ව, ගාසාවෙහි සමාජ, ආර්ථික හා සංස්කෘතික ජීවිතයේ සියලු අංශ ක්‍රමානුකූල ව ඉලක්ක කරමින් නෙතන්යාහු ආන්ඩුව, සෑම රෝහලක්, පාසලක් හා නිවසක් ම සමතලා කරමින්, හැකිතාක් මිනිසුන්, ගැහැනුන් හා ලමුන් ප්‍රමානයක් මරා දැමීමට ඉදිරියට ගියේ ය.

මෙම ජනසංහාරය, ඉදුරාම පෙන්වා දී ඇත්තේ, සියොන්වාදයේ ඉදිරි දර්ශනයේ බංකොලොත් හා ප්‍රතිගාමී බව යි. ඊස්රායලය සදාකාලික ව සිහිපත් කෙරෙනු ඇත්තේ මහා පරිමාන මිනී මැරීම සමග එහි හවුල්කාරිත්වය මගිනි. පලස්තීනුවන් ම්ලේච්ඡ ලෙස දශක ගනනාවක් පීඩනයට බඳුන් කිරීමේ සහ සමස්තයක් ලෙස යුදෙව් ජනයාගේ අවශ්‍යතා ඊස්රායල රාජ්‍යය සමග ව්‍යාජ ලෙස අනන්‍ය කිරීමේ ද අවසන් ප්‍රතිඵලය මෙම සංහාරය යි.

ඊස්රායලයෙන් ඔබ්බේ, ජනසංහාරය සමස්ත අධිරාජ්‍යවාදී පර්යාය කෙරෙහි හෙලා දැකීමක් ලෙස පෙනීසිටියි. එක්සත් ජනපද-නැටෝ අක්ෂයේ ධනපති බලයන්, නවීන යුගයෙහි විශාලතම අපරාධයන්ගෙන් එකකට සහයෝගය දී, සන්නද්ධකොට, අරමුදල් සපයා, දේශපාලනිකව සාධාරනීකරනය කර තිබේ.

ගාසාවේ මහජනයා සංහාරය කිරීමත් පිටුවහල් කිරීමත් සිය අභිප්‍රාය යැයි ඊස්රායල ආන්ඩුව විසින් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරද්දීත්, ගැටුම සම්බන්ධ කිසිදු සාකච්ඡාමය විසඳුමකට එහි විරුද්ධත්වය, බයිඩ්න් පාලනය විසින් පුනපුනා ප්‍රකාශ කර ඇත. සටන් විරාමයකට “හැකියාවක් නැතැ” යි නොවැම්බර් 9දා බයිඩන් කීවේ ය.

එයින් දින කීපයකට පසුව, වොෂින්ටනයේදී ජනසංහාරයට හිතැති රැලියක් ඇමතූ සෙනෙට් බහුතරයේ නායක චාල්ස් ශූමර්, එහි දී “අපි ඔබ (ඊස්රායලය) සමග සිටිනවා.... ඔබට අවශ්‍ය සහයෝගය ඔබ ලබා ගන්නා තෙක් අපි විවේක ගන්නේ නැහැ” යි බිරුසන් දුන්නේ ය.

මාස හයක කාලය පුරා, බයිඩන් පරිපාලනය ඊස්රායලය වෙත ආයුධ යැවීම් වාර 100ට අධික ගනනක් සිදුකර ඇත්තේ, නෙතන්යාහු ආන්ඩුවට එහි අභිමතය පරිදි, ගාසාවේ මහජනයා කුසගින්නේ තැබීමට, ඝාතනය කිරීමට හා වධබන්ධනයන්ට ලක්කිරීමට කොල එලිය දල්වා තිබෙන බව පැහැදිලි කරමිනි.

සිවිල් වැසියන් ආරක්ෂා කරනු වස්, ධවල මන්දිරය නෙතන්යාහු ආන්ඩුවට “පීඩනය යෙදීමට” උත්සාහ දරා ඇතැයි බයිඩන් පාලනය හා එක්සත් ජනපද මාධ්‍ය කරන කියාපෑම්වලට, මෙම යථාර්ථය පිහිටා තිබෙන්නේ, කටඋත්තර නැති ප්‍රතික්ෂේපනයක් ලෙසිනි.

සත්‍ය වසයෙන් ම, ධවල මන්දිරය විසින් නෙතන්යාහු සම්බන්ධයෙන් හුදු වාචික විවේචනයන් පමනක් ඉදිරිපත් කිරීමේ කාරනය තිබියදීම, ඊස්රායලයට හිස් චෙක් පතක් දුන්නාට සමාන (බයිඩ්න්) ආන්ඩුවේ පිලිවෙත අද දිනය දක්වා ම අඛන්ඩව පවතින එකකි.

රුසියාව හා චීනය ඉලක්ක කරගනිමින් ගෝලීය ආධිපත්‍යය සඳහා දරන පලල් අරගලයක කොටසක් වසයෙන්, ඉරානය ද ඇතුලු සමස්ත මැද පෙරදිග කලාපය පුරා එක්සත් ජනපද මිලිටරිවාදයෙහි පුපුරා යාමක කොටසකි, ඊස්රායල ජනසංහාරයට බයිඩන් පරිපාලනය දෙන ඒකායන සහයෝගය.

ගාසා ජනසංහාරය යෝධ හා වඩා දුරදිග යන සමාජීය හා දේශපාලනික විපාකයන් ඇතිකරනු ඇත. දැනට මත්, ගාසාවේ මහා පරිමාන මිනී මැරීම ඉරාක යුද්ධයෙන් මෙපිට විශාලතම ගෝලීය මහජන විරෝධතා අවුලුවා තිබේ. සිය යුද්ධයන් සාධාරනීකරනය කරනු වස්, “මානව හිමිකම්” අවසානයකින් තොර ව ගෙනහැර පාන අධිරාජ්‍යවාදී බලයන්, ජනසංහාරයට පහසුකම් සපයන්නන් හා එහි ඉත්තන් බව එය පෙන්වා දී තිබේ.

සියල්ලටත් වඩා, ගාසා ජනසංහාරය ධනවාදයේ අපරාධයකි. ධනපති සමාජ පර්යාය සෑම වර්ගයක ම සමාජ ම්ලේච්ඡත්වය සුජාතකරනය කරමින් සිටී: එයට, න්‍යෂ්ටික යුද්ධයේ සිට වැලැක්විය හැකි වසංගතයක් හේතුවෙන් සිදු වන සදාකාලික මහා පරිමාන මරන හා ජනසංහාරය දක්වා සියල්ල ඇතුලත් ය. අනාගත පරම්පරාවන් ගාසා ජනසංහාරය දැක ගනු ඇත්තේ, ධනපතිවාදී සමාජ පර්යායට එරෙහි බලගතු ධාරාවන්ගේ වර්ධනය අභිවර්ධනය කරන හැරුම් ලක්ෂ්‍යයක් ලෙස යි.

සියොන්වාදයේ තර්කනය: ජාතිකවාදී මිථ්‍යාවේ සිට ගාසා ජනසංහාරය දක්වා යන දේශනය තුල ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් විස්තර කරන පරිදි:

එහි සියලු භයංකාරත්වයන් තිබියදීම, දැනට පැවතීගෙන යන යුද්ධය, එක් වැදගත් දේශපාලන ප්‍රතිපාදනයක් කර ඇත. එය තරුනයන් අවදි කර තිබේ. එය ලෝකයේ ඇස් විවර කර ඇත. එය සියොන්වාදී පාලන තන්ත්‍රය ද එහි අධිරාජ්‍යවාදී ආධාරකරුවන් අපරාධකරුවන් ලෙස හෙලිදරවු කර තිබේ. ලෝකය හරහා හඹා යන්නා වූ ද මෙම ජනසංහාරයට වගකිව යුත්තන් මතින් හඹා යනු ඇත්තා වූ ද කෝපයේ උදම් රල ධාරාවක් එමගින් ජනනය කර ඇත.

කර්තව්‍යය වන්නේ, තවමත් දේශපාලනික ව විෂමරූපී ස්වභාවයකින් යුතුව වර්ධනය වන මෙම විරෝධය, කම්කරු පන්තියට දිශාගත වන සමාජවාදී ඉදිරි දර්ශනයක් මත පදනම් වන සවිඥානික ව්‍යාපාරයක් බවට හැරවීම යි.

Loading