මෝදි තුන්වන වාරය සුරක්ෂිත කර ගැනීම සඳහා විරුද්ධ පක්ෂයේ දූෂිත, දක්ෂිනාංශික ස්වභාවය මත විශ්වාසය රඳවයි

[මෙය Modi banks on venal, right-wing character of opposition to secure third term යන මැයෙන් 2024 අප්‍රේල් 17 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

අදියර හතකින් යුත් ජාතික මැතිවරනයේ පලමු අදියරේ දී, දකුනු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මැතිවරන කොට්ඨාශ 39 ද ඇතුලුව ලෝක් සභා මැතිවරන කොට්ඨාශ 100 කට වැඩි ගනනක ඉන්දියානුවන් මෙම සිකුරාදා ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. ජූනි 1 වැනිදා ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වේ. ජූනි 4 වැනි දින ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට නියමිත ය. ඉන්දියාවේ ද්විමන්ඩල පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 543 කින් යුත් ලෝක් සභාව පහල සහ වඩා බලවත් මන්ඩලය වේ.

දශක ගනනාවක් තිස්සේ පන්ති අරගලය යටපත් කර ඇති ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂ සහ ඒවාට අනුබද්ධ වෘත්තීය සමිති ද ඇතුලු සමස්ත ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයට එරෙහිව කම්කරු පන්තිය නව දේශපාලන මාවතක් සොයා බැලීමේ හදිසි අවශ්‍යතාවය මැතිවරනය විසින් ඉස්මතු කරයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, 2024 අප්‍රේල් 9 වන අඟහරුවාදා ඉන්දියාවේ චෙන්නායි හි ජාතික මැතිවරන සඳහා ප්‍රචාරක කටයුතු කරන අතරතුර මාර්ග සංදර්ශනයකදී භාරතීය ජනතා පක්ෂයේ (බීජේපී) ලකුන වන නෙලුම් මල ප්‍රදර්ශනය කරමින් [AP Photo/AP Photo]

මත විමසුම් පෙන්නුම් කරන්නේ නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් අන්ත දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂය (බීජේපී) සහ එහි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය අඛන්ඩව තෙවැනි වරටත් පස් අවුරුදු ධුර කාලයක් ලබා ගනු ඇති බවයි.

මෑතක් වන තුරුම ඉන්දියානු ධනේශ්වරය වඩාත් ප්‍රිය කල පාලක පක්ෂය වූ කොංග්‍රස් පක්ෂය, පක්ෂ 30 කට වඩා වැඩි සංඛ්‍යාවකින් යුත්, ඉන්දීය ජාතික සංවර්ධනය ඇතුලත් සන්ධානය නොහොත් ඉන්ඩියා (INDIA) ලෙස හඳුන්වනු ලබන ගරා වැටුනු විපක්ෂ මැතිවරන කන්ඩායමකට නායකත්වය දෙයි.

කොංග්‍රස් නායකයන් සහ ස්ටැලින්වාදීන් ඇතුලු ඔවුන්ගේ සහචරයෝ කියා සිටින්නේ, මෝදි සහ හින්දු අධිපතිවාදී බීජේපීය “ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමෙන්” වැලැක්වීමේ එකම ක්‍රමය ඉන්ඩියා (INDIA) සන්ධාන ආන්ඩුවක් පත් කර ගැනීම බව ය. ඉන්ඩියා (INDIA) ආන්ඩුවක් 'ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂක පවුරක්' නියෝජනය කරනවාට වඩා, එය 'ආයෝජක ගැති' ප්‍රතිසංස්කරන සහ චීන විරෝධී 'ඉන්දු-එක්සත් ජනපද ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වය' පිලිබඳ ඉන්දියානු පාලක පන්තියේ න්‍යාය පත්‍රය සමඟ ඉදිරියට යන විට, ඉන්දියාවේ කම්කරුවන් හා පීඩිතයන් සමඟ දැඩි ගැටුමකට පැමිනෙන දක්ෂිනාංශික ධනේශ්වර තන්ත්‍රයක් වනු ඇත.

බීජේපී ආන්ඩුව ආසියාවේ පලමු හා දෙවන ධනවත්ම පුද්ගලයන් වන මුකේෂ් අම්බානි සහ ගෞතම් අම්බානි ඇතුලු ඉන්දියානු මහා ව්‍යාපාරිකයන්ගෙන් සහ සංගත මාධ්‍යවලින් දැඩි සහයෝගයක් ලබයි. ඔවුන් මෝදි ආන්ඩුව සලකන්නේ, පුද්ගලීකරනය කඩිනම් කිරීමටත්, කම්කරු හා පාරිසරික රෙගුලාසිවල ශේෂ ව ඇති දේ ද විනාශ කර දැමීමටත්, මහජන විරෝධය හමුවේ අනෙකුත් කම්කරු විරෝධී ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමටත්, ලෝක වේදිකාවේ ඔවුන්ගේ මහා බල අභිලාෂයන් ක්‍රියාවට නැංවීමටත් ඔවුන්ට ඇති හොඳම මාධ්‍ය ලෙස ය.

එහි වසර 10 ක පාලන කාලය තුල මෝදි ආන්ඩුව, වඩාත් ප්‍රකට ඒකාධිපති ස්වභාවයක් අත්කරගෙන ඇත. එහි ෆැසිස්ට් ක්‍රියාකාරික පදනම බලමුලු ගැන්වීම, වැඩෙන සමාජ කෝපය සහ අපේක්ෂා භංගත්වය ප්‍රතිගාමී මාර්ග ඔස්සේ හරවා යැවීම සහ කම්කරු පන්තිය බෙදීමේ අරමුන ඇතිව එය අඛන්ඩ වර්ගවාදී උසිගැන්වීම් වල නිරත වේ. එය පෙර නොවූ විරූ නිර්ලජ්ජිත භාවයකින් යුතුව ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් උල්ලංඝනය කිරීම, බොහෝ දුරට පාර්ලිමේන්තුව මගහැර යාම, 2019 ව්‍යවස්ථා කුමන්ත්‍රනයක් හරහා මුස්ලිම් බහුතරයක් වෙසෙන ජම්මු සහ කාශ්මීරයේ අර්ධ ස්වයං පාලන තත්ත්වය ඉවත් කිරීම සහ වාමාංශික දේශපාලන විරුද්ධවාදීන් බොරු ත්‍රස්තවාදී චෝදනා මත සිරගත කිරීම වැනි කූට කටයුතුවල නිරත වී ඇත. ජනවාරියේ දී, තවත් ඓතිහාසික අපරාධයක් ඒ මත තැබූ ඔවුන්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරනයේ ප්‍රකාශිත නියෝග කඩ කරමින්, දශක තුනකට පෙර, බීජේපීය විසින් උසිගන්වන ලද හින්දු අන්තවාදීන් විසින් විනාශ කරන ලද 16 වන සියවසේ මුස්ලිම් පල්ලියක් වූ බබ්‍රි මස්ජිදය පැවති භූමියේ, මෝදි හින්දු ජාතිකවාදී කෝවිලක් විවෘත කලේ, එය ජාතික සංදර්ශනයක් බවට පත් කරමිනි.

2002 මුස්ලිම් විරෝධී ගුජරාට් සංහාරය උසිගැන්වීමේ සහ එහි මුලසුන දැරීමේ ඔහුගේ භූමිකාව හේතුවෙන් ප්‍රථම වරට ජාතික ව ප්‍රසිද්ධියට පත් වූ මෝදි හින්දු “ප්‍රබල හින්දු නායකයෙකු” ලෙස සහ මිත්‍යාමය හින්දු රාම දෙවියන්ගේ භක්තිවන්ත අනුගාමිකයෙකු ලෙස ප්‍රවර්ධනය කිරීම වටා බීජේපී මැතිවරන ව්‍යාපාරය භ්‍රමනය වෙයි.

ඉන්දියාවේ රැකියා අර්බුදය

විරුද්ධ පක්ෂ “දූෂිතයින්”, “ජාතික විරෝධීන්” සහ මුස්ලිම් “හිතවාදීන්” ලෙස හංවඩු නොගසන විට, මෝදි, ඔහුගේ ප්‍රධාන හෙංචයියා වන ස්වදේශ ඇමති අමිත් ෂා සහ ඔවුන්ගේ ගෝලබාලයෝ ඉන්දියාවේ “ලෝකය පරදවන” ආර්ථික වර්ධනය සහ ලෝක කටයුතුවල ඉහල මට්ටම ගැන මැතිවරන ප්‍රචාරක ව්‍යාපාරයේදී උදම් අනති.

මෙයින් බොහෝමයක් ජාතිකවාදී වාචාල කතා ය. මෑත වසරවලදී ඉන්දියාවේ වර්ධනය බොහෝ දුරට මෙහෙයවනු ලැබුවේ, පෞද්ගලික ආයෝජනවලට වඩා, තිරසාර නොවන, මූල්‍ය-හිඟ රාජ්‍ය යටිතල පහසුකම්වල වියදමෙනි. මිලදී ගැනීමේ බල සාම්‍යයේ දී, ඉන්දියාව දැන් ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය වන මුත්, ගෝලීය වශයෙන් ඒකාබද්ධ නිෂ්පාදන, තොරතුරු තාක්ෂනය, ජෛව ඉංජිනේරු තාක්ෂනය සහ අනෙකුත් නවීන ක්ෂේත්‍ර සමඟ සුලු නිෂ්පාදන සහ බොහෝ සෙයින් පැරනි තාක්ෂනය මත පදනම් වූ දැවැන්ත “අවිධිමත්” ආර්ථිකයක පැවතීම හේතුවෙන් එය බොහෝ පැතිවලින් පසුගාමී ව පවතී.

බීජේපී පාලනය පැවති පසුගිය දශකය පුරා ද, ඇමරිකානු ආධිපත්‍යයෙන් යුත් ලෝක ධනේශ්වර පර්යායට මුලුමනින් ම ඒකාග්‍ර වීම පිනිස ඉන්දියානු ධනේශ්වරය අසාර්ථක වූ තම පශ්චාත් ස්වාධීන රාජ්‍ය කේන්ද්‍ර කර ගත් ජාතික සංවර්ධන මූලෝපාය අත හැර දැමූ පසුගිය 33 වසර තුල ද, සැලකිය යුතු ආර්ථික වර්ධනයක් අත් කර ගත් තරමට එහි ප්‍රතිපලය මුලුමනින් ම පාහේ ඒකාධිකාරී ව භුක්ති විඳිනු ලැබ ඇත්තේ පාලක ප්‍රභූව සහ ඔවුන්ගේ ඉහල-මධ්‍යම පන්තික හෙංචයියන් විසිනි. සමකාලීන ඉන්දියාවේ සමාජ අසමානතාවය, සමස්ථ දකුනු ආසියාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ උච්චතම අවස්ථාවට වඩා අන්ත ය. 2022-23 දී ජනගහනයේ ඉහලම සියයට 1, ඉන්දියානුවන් ඉපැයූ සියලුම ආදායමෙන් සියයට 22.6 ක් උදුරා ගත් අතර සියලු ධනයෙන් සියයට 40.1 ක් තබා ගත්තේය. ඉන්දියාවේ ආදායමෙන් සියයට 15 ක් පමනක් උපයන, ධනයෙන් සියයට 6.4 ක් පමනක් හිමි පහලම සියයට 50 වන ඉන්දියානුවන්ගෙන් අතිමහත් බහුතරයක් ජීවත් වන්නේ දරිද්‍රතාවයේ වන අතර ඕනෑම අවාසනාවන්ත තත්වයක් (රැකියාව අහිමි වීම, පවුල තුල අසනීප ආදිය) තමන්ව ආර්ථික අගාධයකට ඇද දමනු ඇතැයි යන බිය ඔවුන්ට පවතියි. එය එසේ නම්, ඉන්දියානුවන් මිලියන සිය ගනනක් අන්ත දරිද්‍රතාවය නිසා මන්දපෝෂනයෙන් පීඩා විඳිති.

පසුගිය දශකය තුල මුලින්ම හඳුනාගත් “රැකියා විරහිත ආර්ථික වර්ධනය” පිලිබඳ ගැටලුව මෑත වසරවලදී වඩාත් උග්‍ර වී ඇත. ඉන්දියානු ආර්ථිකයේ අධීක්ෂන මධ්‍යස්ථානයට (the Centre for Monitoring of Indian Economy) අනුව, 2023 දී ඉන්දියාවේ තරුන විරැකියා රේට්ටුව සියයට 45.5 කි.

ඉන්දියාවේ රැකියා විරහිත අර්බුදයේ තවත් ඇඟවුමක් වන්නේ කෘෂිකර්මාන්තයේ නියැලී සිටින ශ්‍රම බලකායේ කොටස වැඩිවීමයි. කොවිඩ්-19 වසංගතයේ ආරම්භයේ දී, කිසිදු පූර්ව-අනතුරු ඇඟවීමකින් තොර ව, තමාගේ ආක්ෂාව තමා බලාගත යුතු බවට මෝදි ආන්ඩුව ප්‍රකාශ කිරීමෙන් පසු ව, ඉන්දියාවේ නගරවලින් පලා ගිය මිලියන සංඛ්‍යාත සංක්‍රමනික කම්කරුවන්ගෙන් බොහෝ දෙනෙක්, කෘෂිකාර්මික ආදායම බොහෝ දුරට එකතැන පල් වුව ද, කිසි විටෙකත් ආපසු පැමිනියේ නැත. සංවර්ධනය වෙමින් පවතින රටක ශීඝ්‍ර ධනේශ්වර වර්ධනයේ කොන්දේසි යටතේ අපේක්ෂා කල හැකි දෙයට හාත්පසින්ම වෙනස්ව, කෘෂිකර්මාන්තයේ නියැලී සිටින ශ්‍රම බලකායේ ප්‍රතිශතය 2018-19 දී සියයට 42.5 සිට, 2022-23 දී සියයට 45.8 දක්වා පසුගිය වසර පහ තුල සියයට 3.5 කට වඩා වැඩි වී ඇත.

චීනය සමග යුද්ධයට සූදානම් වන එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රාදේශීය පාලකයෙකු ලෙස

ඉන්දියාව ගෝලීය වේදිකාවේ මහා පෞර්ෂයක් බවට පත් කල බවට මෝදි සහ භාරතීය ජනතා පක්ෂයේ කියා පෑම්, නව දිල්ලිය ලෝක භූ දේශපාලනයේ ඉටු කරන මුලුමනින්ම ප්‍රතිගාමී භූමිකාව සම්බන්ධයෙන් විනා අන් දෙයක් එහි නැත. තමන්ට පෙර බලය හෙබ වූ කොන්ග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආන්ඩුව විසින් ගොඩනගන ලද ඉන්දු-එක්සත් ජනපද සන්ධානය මත පාදක ව, බීජේපී ආන්ඩුව, චීනයට එරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සාහසික, සර්වග්‍රාහී මිලිටරි-මූලෝපායික ප්‍රහාරයේ පෙරටුගාමී රාජ්‍යයක් බවට ඉන්දියාව පරිවර්තනය කර ඇත. ආසියාව, අප්‍රිකාව සහ ඉන්දියන් සාගර කලාපය පුරා චීන බලපෑමට එරෙහිව කටයුතු කිරීම සඳහා වොෂින්ටනය සමඟ වැඩ කිරීම; එක්සත් ජනපදය සහ එහි වැදගත්ම ආසියා පැසිෆික් සහචරයින් වන ජපානය සහ ඕස්ට්‍රේලියාව සමඟ ද්විපාර්ශ්වික, ත්‍රෛපාර්ශ්වික සහ චතුර්පාර්ෂ්වික මිලිටරි-ආරක්ෂක සබඳතා පුලුල් වන ජාලයකට ඉන්දියාව ඒකාබද්ධ කිරීම; ඉන්දියාව එක්සත් ජනපද ආයුධ නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම; එක්සත් ජනපද-චීන යුද්ධයක දී ඉන්දියාවේ මිලිටරිය එක්සත් ජනපදයට සහාය වන්නේ කෙසේද යන්න පිලිබඳ වොෂින්ටනයේ ඉල්ලීම පරිදි සැලසුම් සකස් කිරීම මෙයට ඇතුලත් ය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මැදපෙරදිග සගයින් සමග ඉන්දියානු වානිජ සහ භූ දේශපාලනික සබඳතා පුලුල් කිරීමේ එහි බලාපොරොත්තු ද ඇතුලු ඉන්දියාවේ නව “පෞර්ෂයට” අනුකූලව, නව දිල්ලිය පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය ගෙන යන ජන සංහාරක යුද්ධයට සහාය දීම සඳහා වොෂින්ටනය හා අනෙකුත් බටහිර බලවතුන් සමග එක් වී සිටී. මෝදි ආන්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අර්ථ විරහිත සටන් විරාම යෝජනාවක් සඳහා ඡන්දය දුන්නේ මාස ගනනක ඝාතනවලින් පසුව පමනි.

කම්කරු පන්තිය හා ග්‍රාමීය දුගීන් තුල පවතින මහා සමාජ අතෘප්තිය පිලිබඳ දර්ශක ගනනාවක් තිබේ. මේවාට 2022-23 මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත මාර්ග ප්‍රවාහන සංස්ථාවේ සේවක වර්ජනය වැනි දිග්ගැස්සුනු වැඩ වර්ජන අරගල ගනනාවක් ඇතුලත් වේ.

බීජේපීහි මහජන සහයෝගයේ ශක්තිය පිලිබඳ ඔවුන්ගේ සියලු ප්‍රකාශයන් තිබිය දී ම, මහජන විරෝධයේ හදිසි පිපිරීමක් පිලිබඳව මෝදි, ෂා සහ බීජේපීය පැහැදිලි ව ම භීතියට පත් ව සිටිති. එබැවින්, ඔවුහු දහස් ගනන් ආරක්ෂක හමුදා බලමුලු ගන්වමින් සිටින අතර පෙබරවාරි සහ මාර්තු මාසවල ගොවීන් දිල්ලියට පෙලපාලි යාම වැලැක්වීම සඳහා පොලිස් රාජ්‍ය ක්‍රම භාවිතා කලහ.

තම දේශපාලන ආධිපත්‍යය පවත්වා ගැනීමට මුදල්, බලය, හිතවත් මාධ්‍ය සහ උමතු වර්ගවාදය සහ වෙනත් ආකාරයේ වාචාල කතා සහ උපාමාරු මත රැඳී සිටින බව තමන් ම හොඳ හැටි දන්නා නිසා, බීජේපීය තම ධනේශ්වර දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි ව තමන්ට හැකි සෑම දෙයක් ම කිරීමට නිර්දය වී ඇත. අරවින්ද් කෙජ්රිවාල්ගේ ඉරනම ඊට කදිම නිදසුනකි. ඉන්ඩියා (INDIA) සන්ධානයේ ප්‍රධාන හවුල්කරුවන්ගෙන් කෙනෙක් ද, දිල්ලි ප්‍රධාන අමාත්‍ය සහ ආම් ආද්මි පක්ෂයේ (ඒඒපී, Common Man’s Party) ප්‍රධාන නායකයා ද වන කෙජ්රිවාල් මාර්තු 21 සිට දේශපාලනිකව මෙහෙවන ලද දූෂන චෝදනා මත සිරගත කර ඇත.

ඉන්ඩියා (INDIA) සන්ධානය: කම්කරු පන්තියට දක්ෂිනාංශික උගුලක්

ඉන්දියාවේ පීඩිත ජනතාව කෙරෙහි මෝදි ආන්ඩුව දක්වන බිය සහ ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අභිලාෂයන් කෙරෙහි දක්වන සතුරුකම විරුද්ධ පක්ෂවල ද එසේ ම දැකිය හැකි ය.

ජාතික හෝ ප්‍රාන්ත මට්ටමින් හෝ වේවා, බලයේ සිටින විට, ඉන්ඩියා සන්ධානය සමන්විත වන සියලුම පක්ෂ—ඉන්දියාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) (සීපීඑම්) සහ එහි කුඩා, පැරනි සහෝදර පක්ෂය වන ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය, (සීපීඅයි) ඇතුලු ව — “ආයෝජක ගැති” ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර තිබේ. ඒ හා සමානව, ඔවුන් සියල්ලෝම, ඉන්දියාවේ වොෂින්ටනය වැලඳ ගැනීමේ සහ චීන විරෝධී ඉන්දු-එක්සත් ජනපද සන්ධානය ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියේ මූලික ගල බවට පත් කිරීමේ හවුල්කරුවන් වී ඇත.

පරම්පරා ගනනාවක් තිස්සේ නේරු-ගාන්ධි පවුල විසින් පාරම්පරික දේපලක් ලෙස මෙහෙයවනු ලැබූ කොංග්‍රස් පක්ෂය, 2014 දී ආන්ඩු බලය අහිමි වීමේ සිට එක් මැතිවරන පරාජයක සිට තවත් පරාජයක් දක්වා දිගින් දිගට ම ප්‍රපාත ගත වී තිබේ. බලයට පැමිනීමේ දී, කොංග්‍රසයේ මහා ව්‍යාපාර දූෂන කෙරෙහි මහජන කෝපය ගසාකෑමට බීජේපීයට හැකි විය. එහෙත් ඊටත් වඩා බීජේපීය ඉහල යන රැකියා විරහිතභාවය, ආර්ථික අනාරක්ෂිතභාවය සහ සමාජ අසමානතාවය සහ නව ලිබරල් “ප්‍රතිසංස්කරන” සඳහා මානුෂීය මුහුනුවරක් දිය හැකි බවට කොංග්‍රස් ප්‍රකාශයේ පැහැදිලි අසාර්ථකත්වයෙන් පැන නැගි කෝපයෙන් වාසි ගත්තේ ය.

රැකියා උත්පාදනයට සහ වැටුප් වැඩි කිරීමට ප්‍රමුඛත්වය දීමට එහි සාමාජික පක්ෂ විවිධ ප්‍රතිඥා දෙමින් (ඉන්ඩියා සන්ධානයට තනි මැතිවරන වේදිකාවක් නොමැත) විශේෂයෙන්ම රැකියා අර්බුදය සම්බන්ධයෙන් ජනතා කෝපයට ඉන්ඩියා සන්ධානය මනාව ගනන් බලන ලද ආයාචනයක් කරමින් සිටී.

ඉන්ඩියා සන්ධානයේ පක්ෂවල දක්ෂිනාංශික වාර්තාව සලකා බලන කල මෙම ආයාචනා ආකර්ෂනයක් දිනා ගැනීමට අසමත් වුවහොත් එය පුදුමයට කරුනක් නොවේ.

ඇත්ත වශයෙන්ම ඒවා සම්පූර්නයෙන්ම හා පැහැදිලිවම වංචනික ය. කොංග්‍රස් පක්ෂ මැතිවරන ප්‍රතිපත්ති ප්‍රකාශය රාජ්‍ය අංශයේ සහ රජයට අයත් ව්‍යවසායන්හි (පීඑස්යූ) රැකියා සඳහා කොන්ත්‍රාත් ශ්‍රමය අවසන් කිරීම, බීජේපීයේ දක්ෂිනාංශික කම්කරු නීති “ප්‍රතිසංස්කරන” අවලංගු කිරීම සහ ගොවීන්ට භෝග සඳහා අවම සහතික මිලක් ලබා දීම සහතික කිරීම සමග මහා ව්‍යාපාරික සහාය ලබා ගැනීම ඉලක්ක කර ගත් පොරොන්දුවලින් ද යුක්ත වෙයි. අසාධාරන ලෙස බීජේපීය මහ ව්‍යාපාරවලට පනවා ඇති “පාලනයන්” ඉවත් කිරීම මගින් ව්‍යාපාර සඳහා “හිතකර, නිර්භීත සහ විශ්වාසදායක වාතාවරනයක්” ප්‍රතිස්ථාපනය කිරීම; මිලිටරි වියදම් ඉහල නැංවීම; සහ මතභේදාත්මක ඉන්දු චීන දේශසීමාවේ දී චීන පීඩනයට යටත් වීමේ (කොංග්‍රසය විවේචනය කරන ආකාරයට) මෝදිගේ ප්‍රතිපත්තිය අවසන් කිරීම එයට ඇතුලත් ය.

ආගමික ආයතනවලින් රාජ්‍යය වෙන් කිරීමේ මූලධර්මය ආරක්ෂා කිරීම සඳහා ඉන්දීය සන්ධානයේ ප්‍රකාශයන් නොඅඩු ලෙස ම ව්‍යාජ ය. කොන්ග්‍රස් පක්ෂය දශක ගනනාවක් තිස්සේ හින්දු දක්ෂිනාංශයට අනුගත වී, එයට නිහඬ අනුමැතිය ලබා දී ඇත. මාධ්‍යයේ කොටසක් පවා කොංග්‍රසයේ ප්‍රතිපත්ති “චූල හින්දුත්වවාදී” ලෙස නම් කර ඇත. ඉන්ඩියා සන්ධානය ආරම්භ කර නායකත්වය දුන් මූලික පක්ෂ සමූහය අතර ෆැසිස්ට්වාදී, විවෘත ව හින්දුත්ව-ගැති සහ පෙර බීජේපී සගයෙකු වන ශිව් සේනා (යූබීටී) සිටීම ම, “අනාගමික” ආරක්ෂක පවුරක් වන බවට එහි ප්‍රකාශයන්ගේ ව්‍යාජ බව වඩාත් විශද ව හෙලි කරයි.

ස්ටැලින්වාදී සීපීඑම් සහ සීපීඅයි, ඉන්දියානු මාඕවාදී විමුක්ති කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) සමග, ප්‍රතිගාමී ඉන්ඩියා සන්ධානයට “ප්‍රගතිශීලී” මුහුනුවරක් ලබාදීමේ උත්සාහයේ ප්‍රධාන භූමිකාව ඉටු කරයි. දශක ගනනාවක් තිස්සේ, ස්ටැලින්වාදීන් සහ ඔවුන්ගේ වාම පෙරමුන පන්ති අරගලය යටපත් කර, කම්කරු පන්තිය මහා ව්‍යාපාරික කොංග්‍රස් පක්ෂයට සහ දක්ෂිනාංශික කුල-වාදී හා ජාති-භේදවාදී පක්ෂ රාශියකට දක්කා ඇත. එහි ප්‍රතිඵලය වී ඇත්තේ බීජේපීය සහ එහි හින්දු ෆැසිස්ට් සහචරයින් වෙන කවරදාටත් වඩා ශක්තිමත් වීමයි.

ගෝලීය ධනේශ්වර අර්බුදයේ කොන්දේසි යටතේ, වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ එකම ශක්‍ය මූලෝපාය වන්නේ, පන්ති අරගලය සහ ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ මූලෝපාය සහ ක්‍රියාමාර්ගය මත පදනම් වීම ය. ඉන්දියානු කම්කරුවන් සිය අරගල එක්සත් කල යුතු අතර, කම්කරු ආන්ඩුවක් සහ ඉන්දියානු හා ලෝක ආර්ථිකය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීම සඳහා වන අරගලයේ දී ධනේශ්වරයේ සියලු දේශපාලන නියෝජිතයින්ට එරෙහි ව ග්‍රාමීය පීඩිතයන් තමන් පිටුපස පෙලගස්වා ගනිමින් ලොව පුරා කම්කරුවන් සමග එක් විය යුතු ය.

Loading