ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයන් හි 13,000කට ආසන්න අනධ්‍යයන කම්කරුවෝ පසුගිය 02 දා සිට වැටුප් සහ දීමනා වැඩි කරන ලෙස ඉල්ලා අඛන්ඩ වැඩවර්ජනයක යෙදී සිටිති.
ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වනුයේ 'එම්සීඒ (මාසික හිලවු දීමනාව) සියයට 25කින් වැඩි කරනු' යන්නයි. 2015 දී රාජ්‍ය සේවකයන්ට ලබාදුන් සියයට 107 ක වැටුප් වැඩිවීමට අදාලව අනධ්‍යන සේවකයන්ට ලබා දුන්නේ සියයට 92 ක වැඩිවීමක් පමනක් බැවින් ඉන් ඇති වූ 'වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා ඉතිරි සියයට 15 ලබාදෙනු' යන්න තවත් ඉල්ලීමකි. වසර 8 ක් තිස්සේ මෙම ඉල්ලීම ඉදිරිපත් කල ද අනුප්‍රාප්තික ආන්ඩු සියල්ල එය ප්‍රතික්ෂේප කලහ.
මීට අමතරව, 'ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සුරක්ෂිත කරනු', 'විශ්වවිද්‍යාල පද්ධතියට අහිමි කල වැටුප් සහ දීමනා ලබා දෙනු', 'විශ්වවිද්‍යාල අරමුදල් කප්පාදු නොකරනු', 'අර්ථසාධක විශ්‍රාම වැටුප් කප්පාදුව නතර කරනු', 'කාර්ය මන්ඩල බඳවා ගැනීම් වහා සිදු කරනු' ආදී ඉල්ලීම් ද වේ.
අනෙකුත් ක්ෂේත්‍රයන් හි කම්කරුවන් මෙන්ම අනධ්‍යන සේවකයන් ද, අහස උසට නැගී ඇති ජීවන වියදම තවදුරටත් උහුලාගත නොහැකි තත්වයකට පත්ව සිටිති. වැඩිවැටුප් සඳහා සටනක් දියත් කිරීම දිගින් දිගටම කල් දමමින් සිටි අනධ්‍යන වෘත්තීය සමිති නිලධරයට 'සාමාජිකත්වයේ පීඩනය' නිසාම අවසානයේදී මෙම වර්ජනය දියත් කිරීමට සිදුවිය.
මෙම තතු තුල, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් පිරිසක්, වර්ජනයේ නිරත අනධ්‍යන කම්කරුවන් කීප දෙනෙකු සමඟ සාකච්ඡා කලහ.
මොරටුව විශ්වවිද්‍යාලයේ තරුන අනධ්‍යන කම්කරුවෙකු මෙසේ ප්‍රකාශ කලේය:
'මේ ආර්ථික අර්බුදය හමුවේ ගමන් වියදම් විශාල වශයෙන් ඉහල ගොස් තිබෙනවා. මම රැකියාවට එන්නෙ යන්නෙ යතුරුපැදියකින්. මේ සඳහා මට මසකට රුපියල් 12,000ක් විතර වැය වෙනවා නිවසේ අනිත් වැඩ කටයුතු සඳහා කරන ගමන් බිමන් වලට තවත් රුපියල් 6000ක් විතර යනවා. දරුවන් පාසලට යවන්න වාහනයට රුපියල් 10,000ක්. මේ මුදල මාසික වැටුපෙන් විශාල කොටසක්.
අනෙකුතු සහෝදර සේවකයන් සමඟ සැසඳූ විට තම නය වාරිකය අඩු නමුත්, ගමන් වියදම් සඳහා යන මුදලට සමාන මුදලක් නය ගෙවීමට වැයවන බව ඔහු පැවසීය. මේ තත්ත්වය යටතේ අගහිඟකම් පිරිමසා ගන්නේ ආහාර සඳහා කරන වියදම කපා දැමීමෙන්, බව ඔහු පැහැදිලි කලේය. ' දැන් අපේ පවුලේ, මාලු, මස් සහ බිත්තර පරිභෝජනය දවස් දෙකකට වරක් එක වේලක් විතරයි.'
ගොවිතැනින් ජීවිතය ගැටගසාගත් ඔහුගේ දෙමාපියන් දැන් වියපත් බැවින් ඔවුන් රැකබලා ගැනීමේ වගකීම ද ඔහු මත පැටවී ඇත. 'ජිවිත කාලයම ඖෂධ ගත යුතු ලෙඩ රෝග වලින් ඔවුන් පීඩා විඳිනවා. ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්නේ රජයේ රෝහලින්... නමුත් රජයේ රෝහල්වල නිසි පරිදි බෙහෙත් ලැබෙන්නේ නැහැ. බොහෝ විට ඒවායින් කොටසක් හෝ මිලදී ගැනීමට සිදුවෙනවා.'
මැයි 02 සිට වර්ජනයේ යෙදී සිටින ඔහු මැයි 07 කොලඹ පැවති උද්ඝෝෂනයට ද සහභාගි වී ඇත. 'මීට පෙර පැවති අඛන්ඩ වැඩ වර්ජනය අවසන් වුනේ ඉල්ලීම් දිනා ගෙන නෙවෙයි. ඉල්ලීම් දිනාගත් බවට වංචාකාරී ලෙස ප්‍රකාශ කරමින් නැවත වැඩට යෑමට වෘත්තීය සමිති නායකත්වය තීන්දු කලා.'
'ඒ පාවාදීමෙන් අපට එල්ලවුනේ සුලුපටු පහරක් නොවේ. තාවකාලිකව බඳවාගත් රියදුරන් ඉවත් කලා. ඒ වගේම අතිකාල ඉතා සුලු අගයකට සීමා කලා. අප ලබන පරාජයන් අපට දීර්ඝ කාලීනව බලපානවා. මෙම අරගලය ජයග්‍රහනයෙන් අවසන් කරන්නේ කොහොමද කියන එක සිතා බලන්න සිදුවෙනවා.'
ආන්ඩුවට බලපෑම් යෙදීම මගින් ඉල්ලීම් දිනාගැනීමේ බංකොලොත් සමිති පිලිවෙතට විපරීතව, සමාජවාදී සමානතා පක්ෂය සටන් වදින්නේ, විශ්වවිද්‍යාල ඇතුලු සියලු ක්ෂේත්‍රයන්හි කම්කරුවන්, ස්වාධීනව බලමුලු ගන්වමින්, ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි කම්කරු පංතික දේශපාලන ප්‍රතිප්‍රහාරයක් සූදානම් කිරීමට බවත් ලෝසවෙඅ වාර්තාකරුවෝ ඔහුට පැහැදිලි කලහ. එවන් දේශපාලන සටනකින් ධනපති ආන්ඩුව හෙලා කම්කරු-ගොවී ආන්ඩුවක් බලයට ගෙනැවිත් සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නැංවීමෙන් වැටප් ප්‍රශ්නය ඇතුලු අනෙකුත් ප්‍රශ්න ජයගත හැකි බව ද වාර්තාකරුවෝ පෙන්වා දුන්හ.
මොරටුව විශ්ව විද්‍යාලයේ නඩත්තු අංශයේ සේවයකරන තරුන කම්කරුවෙකු තම අදහස් මෙසේ ප්‍රකාශ කලේය:
'කෝවිඩ් වසංගතයෙන් ආර්ථික අර්බුදය දරුනු වෙන්න ඉස්සෙල්ල නය මුදල් ගෙවාගෙන ජීවත් වෙන්න මට පුලුවන්කම තිබුනා. දැන් හැම බඩුවකම මිල ඉහල ගිහිල්ලා. එලවලු සහල් මිල ඉහල යෑම දරාගන්න බැහැ. පොඩි මාලු කෑල්ලකට රුපියල් 80ක් විතර වියදම් වෙනවා. ඒ අනුව මාලු ආහාරයට ගැනීමට එක වේලකට රුපියල් 500ක් විතර වැය වෙනවා. පෝෂ්‍යදායි ආහාරවේලක් ලබාගැනීම එන්න එන්නම දුෂ්කරවෙමින් තිබෙනවා. දැන් කම්කරුවන්ගේ වැටුපෙන් විශාල ප්‍රමානයක් වියදම් වන්නේ ආහාර සඳහා ඒත් ප්‍රමානවත් ආහාර වේලක් ලැබෙන්නේ නැහැ.'
තම බිරිඳ රැකියාවක් නොකරන බැවින් එක් වැටුපකින් පමනක් ජීවිත ගැටගසා ගැනීමට සිදුව ඇති බව පැවසූ ඔහු, වියදම් අවම කරගනු වස්, රැකියාවට එන අතරේ දරුවන්, තම යතුරුපැදියෙන් පාසලට ඇරලවීම සහ ආපසු ගෙනයාම සිදු කරන බව කීවේය.
'ආන්ඩුවේ නය බර අප මත පටවල තිබෙනවා. ඒ නය අරන් තියෙන්නෙ අපේ ජීවිත සරුසාර කරන්න නෙවෙයි. ඒ නිසා සියලු විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කලයුතුයි කියන ඔබේ යෝජනාවට මම සම්පූර්නයෙන්ම එකඟයි.'
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කම්කරුවෙකු වන සම්පත් එම විශ්වවිද්‍යාලය අසල කුඩා නිවසක ජීවත්වන අතර, එය ගොඩනගාගෙන ඇත්තේ විවිධ නය ලබා ගැනීමෙනි. නය සඳහා මසකට රුපියල් 35000 ක් පමන ගෙවීමට සිදුවන අතර, එය ඔහුගේ වැටුපෙන් භාගයකට ආසන්නවේ.
'සෑම අනධන සේවකයෙකුම ජීවත් වන්නේ විශාල නය බරක් ඇතිව. බොහෝ දෙනෙකුට මටත් වඩා වැඩි වාරිකයක් මාසිකව ගෙවන්න සිදුවෙනවා. එවැනි තත්ත්වයක් යටතේ ජීවත්වීම සඳහා ඔවුන් විශාල ලෙස අතිකාල කිරීමට නැඹුරු වී සිටිනවා. මට දවස් 30ම වැඩ කරන්න සිදුවෙලා තිබෙනවා. කම්කරුවෙකුට රැකියාව කිරීමෙන් පසු තම පවුලත් සමඟ නිදහසේ ජීවත් වීමට ඇති කාලය සම්පුර්නයෙන්ම නැතිම වෙලා ගිහිල්ලා.'
මෙවර අරගලයට අනධ්‍යන සේවකයන් ගේ සහභාගිත්වය පෙරට වඩා ක්‍රියාශීලීබව තමා නිරීක්ෂනය කල බවත්, එයට හේතුව ඔවුන් මුහුනදෙන දුෂ්කර කොන්දේසි ජය ගැනීමට ඔවුන් සතුව පවත්නා අධිෂ්ඨානය යැයි තමා විශ්වාස කරන බවත් සම්පත් පැවසීය.
වෘත්තීය සමිති ගැන තම බලගතු අප්‍රසාදය පල කරමින් ඔහු මෙසේ පැවසීය:
'වෘත්තීය සමිතිවල ද්‍රෝහී හැසිරීමට කම්කරුවන් බොහොමයක් විරුද්ධයි. ඒත් ඒ ද්‍රෝහීකම් වලට හේතුව න්‍යායිකව තර්කානුකූලව පැහැදිලි කර ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. නිෂ්පාදනයේ ගෝලීයකරනය ඒවායේ පරිවර්තනයට හේතු වූ බව මම දැන ගත්තෙ, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සමග සාකච්ඡා කල පසුවයි. අපි, වෘත්තීය සමිති වලින් ස්වාධීන, කම්කරුවන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන හැටියට ක්‍රියාකාරී කමිටු ගොඩනගාගත යුතුයි කියල සසප ඉදිරිපත් කරන යෝජනාවට මම සම්පූර්නයෙන්ම සහාය දෙනව.'
යාපනය විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවකයෙකු වන ආර්.තුසාන්තන් :
'මම යාපනය විශ්වවිද්‍යාලයේ පාලනය යටතේ පවතින කිලිනොච්චි විශ්වවිද්‍යාලයේ වසර දෙකක් සේවය කරනවා. අපේ ඉල්ලීම් සර්ව සාධාරන නිසා මම මේ වර්ජනයට සහභාගි වුනා. දැනට ලැබෙන වැටුප කිසිසේත්ම ප්‍රමානවත් නැහැ. යාපනයේ සිට කිලිනොච්චිය දක්වා මගේ මාසික ගමන් වියදම විතරක් රුපියල් 25,000 ක්. කෑම බීම, නඩත්තුව සහ වෛද්‍ය ගාස්තු අසාමාන්‍ය ලෙස ඉහල ගිහිල්ල.
'මගේ අම්මයි, තාත්තයි, නංගියි ජිවත් කිරීමට ඇති එකම අදායම් මාර්ගය මගේ වැටුප. දෙමල හා සිංහල කම්කරුවන්ගෙ ඒකාබද්ධ අරගලයට මම පූර්න සහයෝගය පලකරනවා.'
යාපනය විශ්වවිද්‍යාලයේ තිවාකර්
'වෘත්තීය සමිති සාකච්ඡා කරමින් විශාල කාලයක් දැනටමත් නැති කරල තිබෙනවා. මේ ආන්ඩුව ආර්ථික අර්බුදයකට මුහුනදී සිටින තත්වය මත සාකච්ඡා කරල වැටුප් වැඩිකර ගන්න බැහැ. යථාර්ථයේ දී කම්කරුවන් සමගියෙන් සිටින නමුත් ධනපති පක්ෂ අනුබද්ධ වෘත්තීය සමිති විසින් ඔවුන් පාලනය කරමින් භේදය ඇතිකරනවා.
'දෙමල සහ සිංහල කම්කරුවන් එකිනෙකා සමඟ සහෝදරත්වයෙන් ජීවත් වීමට සූදානම්. නමුත් උතුරෙත් දකුනෙත් ධනපති පක්ෂ අපිව බෙදනවා.