සෝවියට් සංගමය තුල ධනවාදී පුනස්ථාපනයේ ප්‍රතිවිපාක සහ පැරනි සෝවියට් සංගමය තුල ට්‍රොට්ස්කිවාදය උදෙසා අරගලය

රුසියාවේ 'බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල' සංවිධානයේ නියෝජිතයෙකු වන ආන්ද්‍රෙයි රිට්ස්කි 2024 මැයි 4 වෙනි සෙනසුරාදා පැවැත්වුනු ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියේ දී කල කතාව පහත පල කෙරෙයි.

මෙම වීඩියෝව සිංහල උපසිරැසි සහිතයි. සිංහල උපසිරැසි සක්‍රීය කර ගැනීමට දකුනු පස පහල කෙලවරේ ඇති දැති රෝදය ක්ලික් කර subtitles යටතේ සිංහල භාෂාව තෝරා ගන්න.


1886 චිකාගෝ හි පැවති මැයි දින පෙලපාලි වලින් ආරම්භ වී 1889 දෙවන ජාත්‍යන්තරයේ පැරිස් සම්මේලනය මගින් ස්ථාපිත කෙරුන කම්කරු සහයෝගීතා දිනය සැමරීමට අද, මැයි දිනයේදී, නැවත වරක් එක්‍ රැස් වූ ජාත්‍යන්තර සහෝදරවරුන්ට සහ ශ්‍රාවකයන්ට මම මගේ සතුට හා උනුසුම් සුබ පැතුම් ප්‍රකාශ කරමි.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහයෝගීතාවයේ මෙම දිනයේ දී යුක්‍රේනයේ බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානයේ නිර්මාතෘ සහ නායකයා වන මගේ සහෝදර බොග්ඩාන් සයිරොටියුක් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන ලෙස මම ලෝකයේ කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමි. “යුක්‍රේනයේ භෞමික අඛන්ඩතාව උල්ලංඝනය කිරීම” පිලිබඳ බොරු චෝදනා මත යුක්‍රේන රහස් ඔත්තු සේවය (එස්බීයූ) විසින් පසුගිය සතියේ බොග්ඩාන් අත්අඩංගුවට ගැනුනි. ඔහු ජීවිතාන්තය දක්වා බරපතල සිර ගත කිරීමකට මුහුන දී සිටී

බොග්ඩාන් සයිරොටියුක් තම කාර්යාලයේ දී


බොග්ඩාන් කල එකම “අපරාධය” වන්නේ, යුක්‍රේනයට සැබවින් ම නිදහස් විය හැක්කේ අධිරාජ්‍යවාදයට හා යුද්ධයට එරෙහි ව ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එක් ව යුක්‍රේන කම්කරු පන්තිය ගෙන යන ස්වාධීන අරගලය තුලින් පමනක් බවට ඔහුට පැවති විශ්වාසය යි. යුක්‍රේන ජාතිකවාදය උමතු ලෙස වන්දනාමාන කිරීමට එරෙහිව මෙන් ම, පුටින් පාලනයේ ප්‍රතිගාමී රුසියානු ජාතිකවාදයට එරෙහිව ද යුද්ධය පිලිබඳ මාක්ස්වාදී අවබෝධය මත පදනම් වූ ප්‍රතිපත්තිමය දේශපාලන ආස්ථානයක් ඔහු වර්ධනය කලේ ය. අවම වශයෙන් යුක්‍රේනියානුවන් මිලියන භාගයකගේ සහ රුසියානුවන් දස දහස් ගනනකගේ ජීවිත බිලිගෙන ඇති මෙම භාතෘ ඝාතක යුද්ධයට තිත තැබීම සඳහා අපගේ සමස්ත ව්‍යාපාරය මෙන් ම, ඔහු ද රුසියාවේ සහ යුක්‍රේනයේ කම්කරුවන් අධිරාජ්‍යවාදී රටවල කම්කරුවන් සමග එක්සත් කිරීමට සටන් කර ඇත.

2023 නොවැම්බර් 7 යෙදී තිබුන ඔක්තෝබර් විප්ලවයේ 106 වැනි සංවත්සරයේ දී බොග්ඩාන් රතු හමුදාවේ සොල්දාදුවන් වෙනුවෙන් ඉදි කෙරුනු ස්මාරකයක් අසල.


මෙම යුද්ධය පිලිබඳ ජාත්‍යන්තර කමිටුවේ සහ බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානයේ ස්ථාවරය මාක්ස්වාදයේ න්‍යායික හා ඓතිහාසික සම්ප්‍රදායන් තුල මුල් බැස ඇත. අපට නම් ඉතිහාසය අතිශයින් වැදගත් ය. සෝවියට් සංගමයේ ඉතිහාසය, එය විසුරුවා හැරීම සහ නව ධනේශ්වර පාලන තන්ත්‍ර පිහිටුවීම පිලිබඳ නිවැරදි අවබෝධයක් නොමැතිව, ධනවාදයේ නූතන අර්බුදයට සහ යුක්‍රේනයේ සහ මැදපෙරදිග යුද්ධවලදී දැනටමත් ගිනි අවුලුවා තිබෙන තුන්වන ලෝක යුද්ධයක තර්ජනයට එරෙහිව සටන් කිරීම සඳහා පැහැදිලි සහ ස්ථාවර ක්‍රියාමාර්ගයක් වර්ධනය කල නොහැකිය.

මාක්ස්වාදයේ සහ එහි න්‍යායික පදනම වන ඓතිහාසික භෞතිකවාදයේ වෛෂයික බලය වන්නේ එය ඉතිහාසය සමාජ පන්තිවල අරගලය ලෙස වටහා ගැනීම තුල ය. ධනපතියන් සහ කම්කරුවන් යනු ව්‍යවසායක ප්‍රතිවිරුද්ධ පැතිවල සිටින පුද්ගලයන් පමනක් නොවේ; තමන්ගේම ඓතිහාසික ද්‍රව්‍යමය ප්‍රතිවිරෝධී අවශ්‍යතා සහිත පන්ති දෙකකි.

අපට, පාලන තන්ත්‍රයක් තමා ව ම ඉදිරිපත් කිරීමට උත්සාහ කරන ආකාරයට වඩා එහි සමාජ පදනම වැදගත් වේ. මාක්ස්වාදී න්‍යායේ මෙම මූලික ප්‍රශ්නය, මාක්ස්වාදයේ හෝ බොල්ෂෙවික්වාදයේ අනුගාමිකයින් ලෙස පෙනී සිටීමට උත්සාහ කරන නමුත්, යථාර්ථයේ දී ධනේශ්වර ජාතිකවාදයට හෝ අධිරාජ්‍යවාදයට නමස්කාර කරන 'ව්‍යාජ වාමාංශිකයන්' විසින් බොහෝ විට ප්‍රතික්ෂේප කරනු ලැබේ.

කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්‍රික් එංගල්ස්


සෝවියට් සංගමය විසුරුවා හැරීම ස්ටැලින්වාදය විසින් කෙරුනු පාවාදීමේ නිෂ්පාදිතයක් පමනක් නොවේ; එය 1980 ගනන්වල නිෂ්පාදනය ගෝලීයකරනයට තුඩු දුන් ලෝක ආර්ථිකයේ වෙනස්වීම්වල ප්‍රතිඵලයක් ද විය. මෙම කොන්දේසි ස්ටැලින්වාදී නිලධරයේ ප්‍රායෝගික ප්‍රතිපත්තිය වූ “තනි රටක සමාජවාදය” සඳහා වූ පදනමට වල කැපී ය. ආවෘත අන්තයකට පැමින සිටි සෝවියට් නිලධරය කම්කරු පන්තියේ කැරැල්ලක් ඇති වේ යැයි බියෙන් සෝවියට් සංගමය ලෝක අධිරාජ්‍යවාදයට යලි ඒකාබද්ධ කිරීමට තීරනය කලේ ය.

යුද්ධයට සහ විජිතකරනයට එරෙහි ජාත්‍යන්තර කමිටුවේ 1991 බර්ලින් සමුලුව

සෝවියට් සංගමය විසුරුවා හැරීම ජනගහනයෙන් අතිමහත් බහුතරයකට බියකරු සිහිනයක් විය. පැතිර යන දරිද්‍රතාවය, රාජ්‍ය දේපල කොල්ලකෑම, මංපැහැරීම, සමාජ අසමානතාවයේ විශාල වැඩිවීමක්, අධ්‍යාපනය, වෛද්‍ය විද්‍යාව සහ විද්‍යාවේ විනාශය ඉන් නිර්මානය කෙරුනි. කෙටියෙන් කියතොත් සාමාන්‍යයෙන් යුද්ධ සහ ස්වාභාවික විපත් ගෙන දෙන ආකාරයේ ව්‍යසනයකට රට පත් විය. සෝවියට් කම්කරු පන්තිය බෙදී බිඳී ගියේය. අලුතින් පිහිටුවන ලද රුසියානු, යුක්‍රේන සහ අනෙකුත් කතිප්‍යාධිකාර සමගින් අධිරාජ්‍යවාදය ජයග්‍රහනය සැමරීය. සෝවියට් සංගමයේ බිඳවැටීම අද යුක්‍රේනයේ භාතෘඝාතක යුද්ධය තුල නැවතත් දැනෙමින් තිබේ.

'සාමකාමී සහජීවනය' පිලිබඳ ස්ටැලින්වාදී පිලිවෙත අඛන්ඩව පවත්වාගෙන යාමෙන් තම අවශ්‍යතා වලට ගරු කරන සහ පිලිගන්නා සමාන පාර්ශවකරුවෙකු ලෙස අධිරාජ්‍යවාදය සමග වැඩ කල හැකි වෙතැයි රුසියානු කතිපයාධිකාරය විශ්වාස කලේය. නැටෝව සමග ඍජු යුද්ධයක තර්ජන නොතකා ගනුදෙනුවකට යාමේ අභිලාශය ඇතිව මේ දැන් පවා ක්‍රෙම්ලිනය වැඩ කරන්නේ මෙම සම්ප්‍රදාය තුල පිහිටාය

යුක්‍රේනය තුල නේටෝවේ වක්‍ර යුද්ධය පුපුරා යාමත් සමඟ, පුටින්ගේ පාලනතන්ත්‍රයේ සහ සෙලෙන්ස්කිගේ පාලනතන්ත්‍රයේ බොහෝ ආරක්ෂකයින් මතු වී ඇත. ඔවුන්ට එක් එක් පැත්තට සහය වීම ගැන තමන්ගේ ම තර්ක ඇත. එහෙත් මේ දෙ පාර්ශ්වයට පන්ති අරගලයක් ඇත්තේ නැත. මෙම තන්ත්‍ර දෙකේ ආරක්ෂකයෝ බොහෝ විට යුද්ධයට “වගකිව යුත්තා” කවුද යන්න ගැන වාද කිරීමට කැමති වෙති. මෙලෙස ඔවුහු ප්‍රශ්නය “එය ආරම්භ කලේ” කවුරුන්ද යන්නට මාරු කරති. නමුත් ට්‍රොට්ස්කිගේ නිවැරදි නිරීක්ෂනයට අනුව:

“තීරනාත්මක වැදගත්කමකින් යුත් ප්‍රශ්නය වන්නේ මුලින්ම ‘ආරම්භ කලේ’ කවුරුන් ද 'ආක්‍රමනිකයා' කවුරුන් ද යන්න නොව; යුද්ධයට නායකත්වය දෙන්නේ කුමන පන්තියද කවර ඓතිහාසික අරමුනක් වෙනුවෙන් ද යන්නයි. පීඩිත පංතිය හෝ පීඩිත ජාතියක් එහි විමුක්තිය සඳහා ‘ආක්‍රමනිකයාගේ’ භූමිකාව වෙනුවෙන් පෙනී සිටින්නේ නම්, අපි සැමවිටම එවැනි ආක්‍රමන සාදරයෙන් පිලිගනිමු”.

සෙලෙන්ස්කිගේ පාලන තන්ත්‍රයේ ආරක්ෂකයින්ගේ ප්‍රධාන තර්කය වන්නේ එය ජාතික ස්වයං නිර්න අයිතිය ආරක්ෂා කරන බවත් එම තන්ත්‍රය ඒකාධිපතිත්වයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ යුද්ධයක නිරතවන බවත් ය. බොග්ඩාන් සහෝදරයාට සිදු කරන වද හිංසා මේ සියලු යුද ප්‍රචාරනවල ව්‍යාජ බව හෙලිදරවු කරයි. පාලන තන්ත්‍රයට විරුද්ධ සියලු දෙනා ක්‍රෙම්ලිනයේ ඒජන්තයන් ලෙස ප්‍රකාශ කොට පීඩාවට, සිරගත කිරීමට හෝ මරනයට පත්කරන බවට පවා තර්ජනය කරති. සෙලෙන්ස්කි පාලනය ජනාධිපතිවරනය පැවැත්වීම ප්‍රතික්ෂේප කර ඇත. එය රටේ සියලුම විරුද්ධ පක්ෂ තහනම් කලේ ය. කම්කරු විරෝධී නීති හඳුන්වා දුන්නේ ය. මිලියන භාගයක් ජනතාව තමන්ගේ නොවන පන්ති අවශ්‍යතාවන් වෙනුවෙන් බලහත්කාරයෙන් මිලිටරියට බලමුලු ගන්වමින් සිටිති.

පුටින්ගේ පාලන තන්ත්‍රයේ ආරක්ෂකයින්ගේ ප්‍රධාන තර්කය වන්නේ එය නේටෝ අධිරාජ්‍යවාදයේ ආක්‍රමනකාරීත්වයට මුහුන දෙන බවත් රුසියාව රාජ්‍ය කැබලිවලට බෙදා වෙන් කිරීමකට එරෙහි ව ආරක්ෂා වීමට උත්සාහ කරන බවත් ය. පුටින් පාලනයේ සහ එහි යුක්‍රේනය ආක්‍රමනයේ ආරක්ෂකයෝ අධිරාජ්‍යවාදයේ අපරාධ පමනක් සිහිපත් කරමින් තමන්ගේ ම ඓතිහාසික වාර්තාව ගැන සඳහන් නොකිරීමට කැමැත්තක් දක්වති.

පුටින්ගේ පාලන තන්ත්‍රය මතුවූයේ නිලධරයේ ධනේශ්වර පුනස්ථාපනයෙන් සහ 1917 ඔක්තෝබර් විප්ලවයට එරෙහි ප්‍රතිගාමී ක්‍රියාවක් ලෙසයි. ස්ටැලින්වාදී නිලධරයේ උරුමක්කාරයා ලෙස එය එහි සියලු ප්‍රතිවිප්ලවවාදී ලක්ෂන උරුම කරගෙන ඇත. එහි ප්‍රධාන කාර්යය වන්නේ කතිපයාධිකාරය වෙනුවෙන් ධනේශ්වර පුනස්ථාපනයේ ජයග්‍රහන ආරක්ෂා කිරීමයි. යුක්‍රේනය සමග යුද්ධයෙන් පුටින්; “ආරක්ෂා කරන්නේ රුසියාව” නොව; රුසියානු බිලියනපතියන්ගේ බැංකු ගිනුම්වල ජාතික ස්වෛරීත්වයයි.

හිටපු ෆොක්ස් නිව්ස් මාධ්‍යවේදී ටකර් කාල්සන්, 2024 පෙබරවාරි 6දා රුසියාවේ මොස්කව් අගනුවර ක්‍රෙම්ලින් මන්දිරයේ දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වයි (ඡායාරූපය ගැව්රිල් ග්‍රිගොරොව් විසිනි/ක්‍රෙම්ලිනය) [Photo by Gavriil Grigorov/Kremlin]


යුක්‍රේනයේ යුද්ධය පුපුරා යාම දිනෙන් දින වර්ධනය වන රටේ දේශපාලන අර්බුදය උග්‍ර කර ඇත. ජනාධිපතිවරනයේ 'ධනාත්මක ප්‍රතිඵල', ආර්ථික ස්ථාවරත්වය සහ ඉදිරි සාර්ථකත්වය තිබියදී රට දෙදරා ගොස් ඇත. පාලක පන්තියේ තනි ක්‍රියාවක් මගින් නූතන රුසියාවේ ඉතිහාසයේ මෙතෙක් නොදුටු සමාජ කෝපයේ රැල්ලක් අවුලුවාලිය හැකිය. ආර්ථිකය තවත් විශාල පෙරලියකට ඔරොත්තු නොදෙන අතර ආර්ථික ස්ථාවරත්වය නොමැතිව ඉදිරිය යහපත් නොවනු ඇත.

රුසියාවේ පාලක පන්තිය සිටින්නේ බරපතල අවුලක ය. අනෙක් අතට, එය නේටෝ අධිරාජ්‍යවාදයේ පීඩනයට ලක්ව ඇති අතර කතිපයාධිකාරයේ කන්ඩායම් කාකොටගැනීම්වලින් භේද බින්න වී සිටිති. එමෙන් ම, රුසියානු කම්කරු පන්තියේ කෝපය සැලකිල්ලට ගැනීමට ද ඔවුන්ට බලකෙරී ඇත. රුසියානු කතිපයාධිකාරය අධිරාජ්‍යවාදයට වඩා විප්ලවයට බිය වේ. කම්කරු පන්ති විප්ලවයකින් බොල්ෂෙවික් පක්ෂය බලයට පැමිනීමත් සමඟ පලමු ලෝක යුද්ධය රුසියාවේ දී අවසන් වූ බව එය හොඳින් සිහිපත් කරයි. අද ජාතික ආරක්ෂාව ගැන කෑමොර දෙන රුසියානු ප්‍රකෝටිපතියන්ට සහ දේශපාලකයන්ට අද දවසේ ඔවුන්ගේ නේටෝ “සතුරන්ගෙන්” හෙට විප්ලවයෙන් “ආරක්ෂාව” ඉල්ලා සිටීමට සිදුවන බවට කිසිදු සැකයක් නැත.

බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානය පැරනි සෝවියට් සංගමය තුල ට්‍රොට්ස්කිවාදයේ පුනර්ජීවනය සඳහා සටන් කරමින්, අධිරාජ්‍යවාදීන්ගේ සහ කතිපයාධිකාරීන්ගේ පාලනයට එරෙහිව කම්කරු පන්තියේ බලය සඳහා සටන් කරන කම්කරු පන්තියේ පක්ෂ නිර්මානය කිරීම සඳහා පසුබිම සූදානම් කරමින් සිටී.

තනි තනි පාලන තන්ත්‍රවල පමනක් නොව සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ ම ඉරනම තීරනය කෙරෙනු ඇති යෝධ අරගලවලට පැරනි සෝවියට් සංගමයේ කම්කරුවෝ හා තරුනයෝදැන් ඇදී යමින් සිටිති.

බොග්ඩාන් සයිරොටියුක් නිර්මානය කල ට්‍රොට්ස්කිගේ පිලිරුවක්

යුද්ධයෙන් හා විනාශයෙන් හැර අර්බුදය විසඳීමට කිසිදු ධනේශ්වර පාලනයකට හැකියාවක් නැත, මන්ද වෙනත් ඕනෑම මාර්ගයක් එහි මූලික ධනේශ්වර අවශ්‍යතාවලට පටහැනි වනු ඇත. ධනවාදයේ ප්‍රතිවිරෝධතා ජාතික දේශසීමා තුල සහ පුද්ගලික දේපල ආරක්ෂා කිරීමේ පදනම මත විසඳිය නොහැකියි. යුද්ධවලට තිත තැබීමට සහ මූලික අර්බුදය විසඳීමට හැකි වන්නේ ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙලින් සන්නද්ධ ජාත්‍යන්තර කම්කරු පන්තියට පමනයි. එහෙත්, එසේ කිරීමට නම්, එය ලොව පුරා සිටින තම සහෝදර සහෝදරියන් සමඟ එක්සත්කම සඳහා සටන් කල යුතුයි.

අද දින සැමරුම මෙම දිශාවට විශිෂ්ට පියවරකි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව දිගුකල් දිනේවා!

බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල දිගුකල් දිනේවා!

බොග්ඩාන් සයිරොටියුක් සහෝදරයා නිදහස් කරනු!

රුසියානු හා යුක්‍රේන කම්කරු පන්තියේ එකමුතුව සඳහා!

ජාතිකවාදය සහ අධිරාජ්‍යවාදය එපා!

ලෝක සමාජවාදී විප්ලවය කරා පෙරට!

Loading